News Category
From Date
To Date
Maximum Number of Result

Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද? – ‘ප්‍රේමණීය උගුල’ ඔත්තු බැලීමේ ආන්දෝලනය AI බල අරගලය පිළිබඳ ප්‍රශ්න මතු කරයි

Nov 17, 2026 at 11:07 AM
|

චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන කාන්තාවක සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනයක් හේතුවෙන් Nvidia නිර්මාතෘවරයාගේ ඉවත්වීමත් සමඟ, චීනයට එරෙහි චිප් සීමා කිරීම් විවේචනය කළ වොෂින්ටනයේ බලවත්ම හඬක් නිහඬ කිරීමෙන් වාසි අත්වන්නේ කාටද යන දේශපාලනිකව සංවේදී ප්‍රශ්නය මතුව තිබේ.

චීන ව්‍යාපාරික කාන්තාවක වන ඇලිස් හුවාං (Alice Huang) සමඟ පැවැති සම්බන්ධතාවක් ඇතුළු විවාහයෙන් පිටත සබඳතා පිළිබඳ තොරතුරු හෙළිදරව් වීමෙන් පසු, Nvidia නිර්මාතෘ ජෙන්සන් හුවාං (Jensen Huang) pasugiya බ්‍රහස්පතින්දා(12) සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඇලිස් හුවාං යනු Nvidia සමාගමේ පාරිභෝගිකයකු වූ සිංගප්පූරුවේ Megaspeed International සමාගමේ හිටපු ප්‍රධානියාය. ඇය විසින් චීන රජයේ බුද්ධි අංශ වෙනුවෙන් බඳවා ගනු ලැබූ කාන්තාවක විය හැකි බවත්, එමඟින් Nvidia ප්‍රධානියාට බලපෑම් කරමින් චීනයට AI චිප් අපනයනය කිරීම සම්බන්ධයෙන් පනවා ඇති සීමා ලිහිල් කිරීමට වොෂින්ටනය පෙළඹවීම ඇගේ අරමුණ විය හැකි බවත් ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීන් නිර්නාමිකව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඇමරිකානු-චීන තාක්ෂණික යුද්ධය තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති මොහොතක මෙම ආන්දෝලනය මතුව තිබේ. එමෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර සැලසුම් කර තිබූ සමුළුවට දින කිහිපයකට පෙර මෙම සිදුවීම වාර්තා විය.

චීනයට එරෙහි දැඩි සීමා කිරීම් වෙනුවෙන් ඇමරිකානු කොංග්‍රසයේ දැඩි මතධාරීන් බලපෑම් කරමින් සිටින පසුබිමක හුවාංගේ ඉවත්වීමෙන් දේශපාලනික වාසි ලබන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ප්‍රශ්න මතුව තිබේ.

හුවාංගේ ඉවත්වීම වටා ගොඩනැඟී ඇති අභිරහස සහ ගෝලීය AI කර්මාන්තයේ පාලනය අත්පත් කර ගැනීම සඳහා පවතින අරගලය පිළිබඳව RT මෙහිදී විමසා බලයි.

හුවාංගේ ඉවත්වීමෙන් වාසි ලබන්නේ කාටද?

හුවාංගේ ඉවත්වීමත් සමඟ චීනයට ඇමරිකානු AI තාක්ෂණය ලබාගැනීමේ අවස්ථා පවත්වාගෙන යා යුතු බවට වොෂින්ටනය තුළ ප්‍රබලව හඬ නැඟූ පුද්ගලයකු අහිමි වී තිබේ. එමඟින් චීනයට එරෙහි දැඩි ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වයන්ට සැලකිය යුතු දේශපාලන වාසියක් අත්විය හැකිය.

චීනය ඇමරිකානු තාක්ෂණයෙන් සම්පූර්ණයෙන්ම වෙන් කිරීමෙන් සිදුවන්නේ තමන්ගේම තාක්ෂණික ස්වාධීනත්වය ගොඩනැඟීම සඳහා බීජිං පාලනය තවදුරටත් වේගවත් කිරීම බව Nvidia නිර්මාතෘවරයා අවස්ථා ගණනාවකදී අනතුරු අඟවා තිබිණි.

මැයි මාසයේ Fox Business නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී Huawei සමාගමේ වර්ධනය පෙන්වා දෙමින් ඔහු මෙසේ පැවසීය.

“අප නොමැති පසුබිමක ඔවුන් වේගයෙන් දියුණු වෙමින් සිටිනවා.”

ඔහුගේ ඉවත්වීමත් සමඟ Nvidia සමාගමේ චීනය සමඟ පැවැති ගනුදෙනු පිළිබඳ විමර්ශන සහ අපනයන පාලනය තවදුරටත් දැඩි කිරීම සඳහා කොංග්‍රසයෙන් එල්ල වන ඉල්ලීම් තීව්‍ර වී තිබේ.

චීනය පිළිබඳ ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විශේෂ කමිටුවේ සභාපති, රිපබ්ලිකන් පක්ෂ නියෝජිත ජෝන් මූලෙනාර් (John Moolenaar), මෙම සිදුවීම පදනම් කර ගනිමින් චීන බුද්ධි අංශ ජෙන්සන් හුවාං හරහා සංවේදී තොරතුරු ලබාගෙන තිබේද සහ ඇමරිකානු තාක්ෂණික ප්‍රතිපත්තියට බලපෑම් කර තිබේද යන්න පිළිබඳ ප්‍රශ්න මතු කර තිබේ.

“අපනයන පාලනයන් පැනවීමට එරෙහිව ප්‍රබලතම හඬක් නැඟූ පුද්ගලයකු වන්නේ හුවාං. මෙම සිදුවීම ඒ පිළිබඳ සාකච්ඡාවට සම්පූර්ණයෙන්ම නව ආලෝකයක් එක් කරනවා” යැයි මූලෙනාර් පැවසීය.

ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු කමිටුවේ සභාපති බ්‍රයන් මාස්ට් (Brian Mast) ද චිප් ජාවාරම් වැළැක්වීම සහ උසස් අර්ධ සන්නායක නිෂ්පාදන උපකරණ සඳහා ප්‍රවේශය සීමා කිරීම ඇතුළු ආරක්ෂක පියවර දැඩි කළ යුතු බවට බලපෑම් කර තිබේ.

ට්‍රම්ප්, හුවාං “ඉතා ගෞරවනීය පුද්ගලයකු” ලෙස හඳුන්වමින් ඔහු ආරක්ෂා කළේය. ඇලිස් හුවාං ඔත්තු බැලීමේ කටයුතුවලට සම්බන්ධ බවට එල්ල වන චෝදනා පිළිබඳව තමන් දැන සිටි බවට වන අදහස ජෙන්සන් හුවාං ප්‍රතික්ෂේප කිරීම තමන් විශ්වාස කරන බවද ට්‍රම්ප් පැවසීය.

කෙසේ වෙතත්, මෙම ආන්දෝලනය චීනයට එරෙහි දැඩි සීමා කිරීම් වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වයන්ට, ඔවුන්ගේ ප්‍රබලතම විරුද්ධවාදියකුට එරෙහිව නව දේශපාලන අවියක් ලබා දී ඇති බව පෙනේ.

චීන විරෝධී දැඩි මතධාරීන්ටද? නැතිනම් AI තරගකරුවන්ටද වැඩි වාසියක්?

හුවාංගේ හදිසි ඉවත්වීමෙන් ඇමරිකානු තාක්ෂණික සමාගම්වල තරගකරුවන්ට වාසි අත්වන්නේද යන්න පිළිබඳවද ප්‍රශ්න මතුව තිබේ.

ස්වාධීන මාධ්‍යවේදී ලී ෆෑන්ග් (Lee Fang) පෙන්වා දෙන්නේ ඇමරිකානු AI සමාගම්වල තරගකරුවන්ට මෙම තත්ත්වයෙන් වාසි අත්විය හැකි බවයි. ඔහුගේ අදහසට අනුව, ඇමරිකානු තාක්ෂණික සමාගම්වලට අභියෝගයක් වී ඇති අඩු වියදම් සහිත චීන විවෘත මූලාශ්‍ර AI ආකෘති (Open-source AI Models) පිළිබඳව හුවාං දැක්වූ සහයෝගයද මෙහිදී වැදගත් වේ.

Huawei සහ TikTok ඉලක්ක කර ගනිමින් මීට පෙර ක්‍රියාත්මක වූ ව්‍යාපාරවලටද ඔහු මෙය සමාන කර තිබේ.

Venice AI නිර්මාතෘ එරික් වෝර්හීස් (Erik Voorhees) ඊටත් වඩා දැඩි ප්‍රකාශයක් කරමින් හුවාං ඉවත් කිරීම “කුමන්ත්‍රණකාරී බල පෙරළියක්” (Coup) ලෙස හඳුන්වා තිබේ.

මාධ්‍යවේදී ග්ලෙන් ග්‍රීන්වෝල්ඩ් (Glenn Greenwald) ද ඇමරිකාවේ බලවත්ම තාක්ෂණික ව්‍යාපාරිකයකු ඉවත් කිරීමට හේතුව විවාහයෙන් පිටත සබඳතා පමණක්ද යන්න ප්‍රශ්න කර තිබේ.

ඔහු X සමාජ මාධ්‍යයේ මෙසේ ලියා තිබිණි.

“ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටදැයි මම දන්නේ නැහැ. නමුත් එය සිදු කළ පුද්ගලයාට අතිවිශාල බලයක් තිබෙන බව මම දන්නවා.”

මෙම ඉවත්වීම සිලිකන් නිම්නයේ (Silicon Valley) ද දැඩි ප්‍රතිචාරයක් ඇති කළේය.

Binance නිර්මාතෘ චැංපෙන්ග් ෂාඕ (Changpeng Zhao) එය “වැරැද්දක්” ලෙස හැඳින්වූ අතර Epic Games ප්‍රධානී ටිම් ස්වීනි (Tim Sweeney) එය “කනගාටුදායක දිනයක්” ලෙස විස්තර කළේය. ජෙන්සන් හුවාං බඳවා ගැනීමට ලැබීම “ගෞරවයක්” වනු ඇතැයි ඉලෝන් මස්ක් ද ප්‍රකාශ කර තිබිණි.

Andreessen Horowitz ආයෝජන සමාගමේ හවුල්කරුවකු වන මාර්ටින් කැසාඩෝ (Martin Casado) මෙසේ ලියා තිබිණි.

“අඳුරු, අඳුරු දිනයක්. ඇමරිකාවටත් බටහිර ලෝකයටත් ගත් භයානක තීරණයක්.”

මාධ්‍යයටද පිළිතුරු දීමට ප්‍රශ්න තිබේ

මෙම පුවත මාධ්‍ය වෙත ලැබුණු ආකාරය පිළිබඳවද ප්‍රශ්න මතුව තිබේ.

ජෙන්සන් හුවාංගේ සබඳතාව පිළිබඳ පුවත මුලින්ම අනාවරණය කිරීමට දායක වූ New York Times මාධ්‍යවේදී ට්‍රිප් මික්ල් (Tripp Mickle), The Daily පොඩ්කාස්ට් වැඩසටහනට එක්වෙමින් එම පුවත පිළිබඳ විමර්ශනය ආරම්භ වූ ආකාරය හෙළි කළේය.

ඔහු පැවසුවේ තමන් සහ එම පුවතට සම්බන්ධ අනෙක් මාධ්‍යවේදිනිය වන ඇනා ස්වන්සන් (Ana Swanson), Megaspeed සමාගම පිළිබඳ විමර්ශනය ආරම්භ කළේ තාක්ෂණික කර්මාන්තයට සම්බන්ධ නිර්නාමික පුද්ගලයකුගෙන් ලැබුණු තොරතුරක් මත බවයි.

මෙම හෙළිදරව්ව හේතුවෙන් මාධ්‍යවේදීන් හිතාමතාම Megaspeed සමාගම වෙත යොමු කරනු ලැබුවේද යන්න පිළිබඳ සැක තවදුරටත් වැඩි වී තිබේ. එම තොරතුරු ලබා දුන්නේ කවුරුන්ද සහ එසේ කිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ ප්‍රශ්නද මතුව ඇත.

වොෂින්ටනය මේ පිළිබඳව දැන සිටියේ කවදා සිටද?

මෙම සිදුවීමේ අභිරහස තවත් තීව්‍ර වූයේ ඇලිස් හුවාං සමඟ ජෙන්සන් හුවාං පැවැත්වූ සම්බන්ධතාව පිළිබඳව ඇමරිකානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මාස කිහිපයකට පෙර සිටම දැන සිටි බවට වාර්තා පළවීමත් සමඟය.

Axios වාර්තාවකට අනුව, ජනාධිපති ට්‍රම්ප්ගේ මැයි මාසයේ චීන සංචාරයට පෙර, රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) ගේ අධීක්ෂණය යටතේ ඉතා රහසිගත බුද්ධි තොරතුරු සංදේශයක් (Intelligence Memorandum) සංසරණය වී තිබේ.

ඇලිස් හුවාං පිළිබඳ ඔත්තු නිරීක්ෂණ සහ සිංගප්පූරුවේ පිහිටි Nvidia පාරිභෝගික සමාගමක් වන Megaspeed සම්බන්ධ චිප් ජාවාරම් පිළිබඳ විමර්ශනයක් මත පදනම් වූ එම අනතුරු ඇඟවීම වාණිජ ලේකම් හොවාර්ඩ් ලට්නික් (Howard Lutnick) වෙතද ලැබී තිබූ බව වාර්තා වේ. රුබියෝ විසින් ට්‍රම්ප් ජනාධිපතිවරයාටද මේ පිළිබඳ දැනුම් දී තිබේ.

Megaspeed සමාගම AI පරිගණක යටිතල පහසුකම් සපයන ආයතනයකි. එමඟින් පාරිභෝගිකයන්ට Nvidia හි ප්‍රබල ප්‍රොසෙසර භාවිත කරමින් පරිගණක සේවා ලබාගත හැකිය. චීනයට සෘජුවම උසස් චිප් අපනයනය කිරීමේ සීමා මඟහැරීම සඳහා මෙවැනි සේවාවන් භාවිත කළ හැකි බවට සැකයක් පවතී.

මේ අතර, වොෂින්ටනය චීන ගැනුම්කරුවන්ට සෘජුවම චිප් අලෙවි කිරීමටද අවසර ලබා දෙමින් සිටියේය. මැයි මාසයේ Reuters වාර්තාවකට අනුව, චීන සමාගම් දහයකට පමණ Nvidia හි H200 ප්‍රොසෙසර මිලදී ගැනීම සඳහා අවසර ලබා දී තිබුණද, එම අවස්ථාව වන විට ඒවා බෙදාහැරීම ආරම්භ වී නොතිබිණි.

එම අනුමැතීන් Megaspeed සමාගම පිළිබඳ විමර්ශනයෙන් වෙන් වූ කරුණක් වන අතර, බුද්ධි අංශ අනතුරු ඇඟවීම හා ඒවා ලබා දුන් කාලය අතර සම්බන්ධතාවය තවමත් පැහැදිලි නැත.

මෙම ගැටුම ට්‍රම්ප් පාලනයේ ඉහළම මට්ටම් දක්වාම පැතිර ගිය බව වාර්තා වේ.

Axios වාර්තාවකට අනුව, Megaspeed සමාගම අසාදු ලේඛනයට (Blacklist) ඇතුළත් කිරීමට නැවත නැවතත් අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් එසේ නොකිරීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් (Scott Bessent), වාණිජ ලේකම් ලට්නික් සමඟ ගැටුමකට ගොස් තිබේ.

කෙසේ වෙතත්, වාණිජ දෙපාර්තමේන්තුව එවැනි ගැටුමක් සිදු වූ බව ප්‍රතික්ෂේප කර තිබේ. මේ වන විට චිප් අපනයනය සහ චීනය වෙත චිප් වෙනත් මාර්ගවලින් යොමු කිරීම පිළිබඳ සැකසහිත සිදුවීම් සම්බන්ධයෙන් ලට්නික්ගේ දෙපාර්තමේන්තුව කොංග්‍රස් විමර්ශනයකටද මුහුණ දෙමින් සිටී.

ඇමරිකානු බලධාරීන්ට මාස ගණනකට පෙර සිටම අනතුරු ඇඟවීම් ලැබී තිබුණේ නම්, මෙම චෝදනා ප්‍රසිද්ධ අර්බුදයක් බවට පත්වූයේ වර්තමානයේ පමණක් වන්නේ ඇයි?

මෙම ආන්දෝලනයට සිංගප්පූරුව සම්බන්ධ වූයේ කෙසේද?

චීන බුද්ධි අංශ සමඟ ඇලිස් හුවාංට සම්බන්ධතා ඇතැයි කියන චෝදනාව Nvidia නිර්මාතෘවරයා වටා ඇති වූ ආන්දෝලනයේ ප්‍රධාන අංගයක් බවට පත්වීමට බොහෝ කලකට පෙර සිටම සිංගප්පූරු බලධාරීන් ඇගේ හිටපු සමාගම වූ Megaspeed International පිළිබඳ විමර්ශනය කරමින් සිටියහ.

pasugiya බ්‍රහස්පතින්දා(12) නිකුත් කළ නිවේදනයකින් සිංගප්පූරු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, සිංගප්පූරුව හරහා මැලේසියාවට යැවූ සේවාදායක පරිගණක (Servers) සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ සැකයක් මත 2025 පෙබරවාරි මාසයේදී පොලිසිය Megaspeed සමාගම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බවයි.

2025 ජුනි මාසයේදී ඇලිස් හුවාංගෙන් ප්‍රශ්න කර තිබූ අතර ඇගේ විදේශ ගමන් බලපත්‍රයද අත්අඩංගුවට ගෙන තිබිණි.

කෙසේ වෙතත්, 2026 පෙබරවාරි වන විට ඇය විසින් සැක කෙරුණු වැරදි සිදු කළ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව විමර්ශකයන් තීරණය කර තිබිණි.

Megaspeed සමාගමේ ඇය දැරූ භූමිකාව පිළිබඳව දැනුවත්ව සාවද්‍ය තොරතුරු සැපයීම සම්බන්ධයෙන් ඇයට අවවාදයක් ලබා දී තිබූ අතර, නැවත සිංගප්පූරුවට ඇතුළුවීමද තහනම් කර තිබිණි.

විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කරුණ වන්නේ, ඇය කිසිදු අවස්ථාවක ඔත්තු බැලීමේ චෝදනාවක් යටතේ විමර්ශනයට ලක් නොවූ බව සිංගප්පූරුව අවධාරණය කිරීමයි.

මේ අතර, ඇලිස් හුවාං චීන රජය වෙනුවෙන් කටයුතු කළ බවට ඉදිරිපත් වන ඔත්තුකාරියක පිළිබඳ ආඛ්‍යානය ඇමරිකාව තුළම වැඩි වැඩියෙන් ප්‍රශ්න කිරීමට ලක්වෙමින් තිබේ.

CNN වාර්තාවකට අනුව, ඇලිස් හුවාං බීජිං පාලනය වෙනුවෙන් කටයුතු කළ බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබේද යන්න පිළිබඳව ඇමරිකානු බුද්ධි අංශ නිලධාරීන් අතර මතභේද පවතී.

ඇමරිකානු නීතිපති ටොඩ් බ්ලැන්ච් (Todd Blanche) ප්‍රකාශ කර ඇත්තේ ඇයගේ චෝදනා ලත් බුද්ධි අංශ සම්බන්ධතා පිළිබඳව අධිකරණ දෙපාර්තමේන්තුව තවමත් “කිසිදු නිගමනයකට පැමිණ නැති” බවයි.

මෙම තත්ත්වය මූලික ප්‍රශ්නයක් ඉතිරි කරයි. එනම්,නිශ්චිත සාක්ෂි නොමැතිව ඔත්තු බැලීමේ චෝදනාවක් මෙතරම් ප්‍රබල ආන්දෝලනයක් බවට පත්වූයේ කෙසේද?

ඇමරිකානු තාක්ෂණික ආධිපත්‍යයට Nvidia මෙතරම් වැදගත් වන්නේ ඇයි?

1993 වසරේ ජෙන්සන් හුවාං විසින් ආරම්භ කරන ලද Nvidia සමාගම, ගෝලීය AI වර්ධනයට අවශ්‍ය උසස් ප්‍රොසෙසර සපයන ප්‍රමුඛතම සමාගම බවට පත්ව තිබේ.

එහි චිප් සහ මෘදුකාංග ලොව පුරා දත්ත මධ්‍යස්ථාන සහ කෘත්‍රිම බුද්ධි පද්ධතිවල මූලික පදනම බවට පත්ව ඇති බැවින්, එම සමාගම වොෂින්ටනයේ බීජිං සමඟ පවතින තාක්ෂණික තරගයේ උපායමාර්ගික වත්කමක් බවට පත්ව තිබේ.

උසස් ප්‍රොසෙසර සහ අර්ධ සන්නායක තාක්ෂණය අපනයනය කිරීම පාලනය කිරීමෙන්, නවීනතම AI තාක්ෂණය සංවර්ධනය කිරීමට අවශ්‍ය පරිගණක බලය ලබාගත හැකි රටවල් තීරණය කිරීමේ හැකියාව ඇමරිකාව සතු වේ.

චීනයේ හමුදා සහ බුද්ධි අංශ හැකියාවන් වර්ධනය වීම වැළැක්වීම සඳහා මෙම සීමා කිරීම් අත්‍යවශ්‍ය බව වොෂින්ටනය පවසයි.

එහෙත් විවේචකයන් පෙන්වා දෙන්නේ මෙය ඇමරිකාවේ ආර්ථික හා භූ දේශපාලනික ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන පුළුල් තාක්ෂණික සීමා කිරීමේ උපායමාර්ගයක් බවයි.

හුවාංගේ ස්ථාවරය මෙතරම් තීරණාත්මක වූයේ එබැවිනි. චීනයට එරෙහිව ඇමරිකාව ක්‍රියාත්මක කරන තාක්ෂණික ආධිපත්‍යය පවත්වා ගැනීමේ ප්‍රධාන මෙවලමක් වූ අපනයන සීමා කිරීම් ඔහු ප්‍රසිද්ධියේ අභියෝගයට ලක් කළේය.

ඇමරිකානු චිප් සීමා කිරීම්වලින් චීනයට වාසියක් අත්වේද?

චීනයේ තාක්ෂණික නැඟී සිටීම පාලනය කිරීම සඳහා වොෂින්ටනය ක්‍රියාත්මක කරන ව්‍යාපාරය, එහි අරමුණට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයක් ඇති කරමින් ඇමරිකානු පාලනයෙන් ස්වාධීන AI කර්මාන්තයක් ගොඩනැඟීමට බීජිං පාලනය තවදුරටත් පෙළඹවීමේ අවදානමක් පවතී.

Huawei ඇතුළු චීන සමාගම් ඇමරිකානු ප්‍රොසෙසර සඳහා දේශීය විකල්ප සංවර්ධනය කරමින් සිටින අතර, තාක්ෂණික ස්වයංපෝෂිතභාවය ළඟා කර ගැනීම සඳහා බීජිං පාලනය දැඩි උත්සාහයක නිරතව සිටී.

අගෝස්තු මාසයේදී නිකුත් කළ නියාමන වාර්තාවකින් Nvidia අනතුරු අඟවා තිබුණේ ඇමරිකානු අපනයන පාලනයන් සහ චීනයේම සීමා කිරීම් හේතුවෙන් එරට දත්ත මධ්‍යස්ථාන පරිගණක වෙළෙඳපොළෙන් තම සමාගම ප්‍රායෝගිකව බැහැර වී ඇති බවයි.

Nvidia සමාගම පෙන්වා දුන්නේ තමන් චීන වෙළෙඳපොළෙන් බැහැර වීම හේතුවෙන් තරගකාරී සමාගම්වලට තම සංවර්ධක ජාල සහ පාරිභෝගික පදනම පුළුල් කර ගැනීමට අවස්ථාව ලැබෙන බවයි. එමඟින් ලොව පුරා ඇමරිකානු තාක්ෂණයට අභියෝගයක් එල්ල විය හැකි බවද සමාගම අවධාරණය කර තිබේ.

හුවාං නැවත නැවතත් පෙන්වා දුන් මූලික පරස්පරතාවය එයයි. චීනයට Nvidia තාක්ෂණය ලබාගැනීම අවහිර කිරීමෙන් ඇමරිකාවේ බලපෑම දුර්වල වී චීන තරගකරුවන් ශක්තිමත් විය හැකිය.

එහෙත් වොෂින්ටනයේ ජාතික ආරක්ෂාව පිළිබඳ දැඩි මතධාරීන්ගේ අදහස ඊට වෙනස්ය. ඔවුන් පවසන්නේ ප්‍රබල ප්‍රොසෙසර චීනයට අලෙවි කිරීමෙන් එරට හමුදා සහ තාක්ෂණික හැකියාවන් ඉහළ නැංවීමේ අවදානමක් පවතින බවයි.

හුවාංගේ ඉවත්වීමෙන් මෙම විවාදයේ ප්‍රබල හඬක් අහිමි වී ඇත. එහෙත් මූලික උභතෝකෝටිකය තවමත් පවතී.

ඇමරිකාවේ තාක්ෂණික ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා ගන්නා පියවර අවසානයේ චීනයට ඇමරිකානු ආධිපත්‍යයෙන් මිදීමට උපකාරී වේද?

Nvidia සමාගමේ පාලනය දැන් හිමිවන්නේ කාටද?

හුවාංගේ ඉවත්වීමත් සමඟ Nvidia සමාගම තුළ නායකත්ව අර්බුදයක් මතුව තිබේ. 

Wired සඟරාවේ වාර්තාවකට අනුව, සමාගමේ අභ්‍යන්තර සංවාද මණ්ඩපයක පළ වූ, සේවකයන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් නැවතත් හුවාං ගෙන්වා ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය සලකා බැලිය යුතු බවට වූ යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් අදහස් 1,600කට අධික සංඛ්‍යාවක් පළ වී තිබිණි. ඒවායින් බොහොමයක් හුවාං නැවත පැමිණීම වෙනුවෙන් පෙනී සිටි අදහස් බව වාර්තා වේ.

Nvidia සමාගමේ දිගුකාලීන ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය (CFO) වන කොලෙට් ක්‍රෙස් (Colette Kress) අන්තර්වාර ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත් කර ඇති අතර, ස්ථිර අනුප්‍රාප්තිකයකු සොයා ගැනීමේ කටයුතු සමාගම ආරම්භ කර තිබේ.

Reuters වාර්තාවකට අනුව, ක්‍රෙස් සහ Nvidia හි ප්‍රවීණ නිලධාරියකු වන, සමාගමේ CUDA පරිගණක වේදිකාව සංවර්ධනය කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ඉයන් බක් (Ian Buck), එම තනතුර සඳහා සලකා බැලිය හැකි පුද්ගලයන් අතර සිටිති.

Arm සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රෙනේ හාස් (Rene Haas) සහ AMD ප්‍රධානී ලීසා සු (Lisa Su) යන අයගේ නම්ද ඉදිරිපත් වී තිබේ.

Polymarket ඔට්ටු ඇල්ලීමේ වේදිකාවේද ඉයන් බක් ප්‍රමුඛ අපේක්ෂකයකු ලෙස ඉදිරියට පැමිණ තිබේ. එමෙන්ම Nvidia සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි අධ්‍යක්ෂවරියක වන ජෙන්සන් හුවාංගේ දියණිය මැඩිසන් හුවාං (Madison Huang) සහ Apple සමාගමේ දෘඩාංග අංශයේ ප්‍රධානී ජොනී සෘජි (Johny Srouji) යන අයගේ නම්ද සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම ඔට්ටු ඇල්ලීමේ ප්‍රවණතා මඟින් Nvidia අධ්‍යක්ෂ මණ්ඩලයේ සැබෑ තීරණය පිළිබඳ කිසිදු සහතිකයක් නොලැබේ.

මේ අතර ට්‍රම්ප්ද මෙම අනුප්‍රාප්තික තරගයට මැදිහත් වී තිබේ. Apple සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ වත්මන් විධායක සභාපති ටිම් කුක් (Tim Cook) එම තනතුරට පත් කිරීම සඳහා ඔහු සහාය පළ කර තිබේ.

ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ මෙසේ ප්‍රකාශ කර තිබිණි.

“පුරාවෘත්තයකට පසු තවත් පුරාවෘත්තයක් පැමිණෙයි.”

මෙම අනුප්‍රාප්තික සාකච්ඡාව ඊශ්‍රායලය දක්වාද ව්‍යාප්ත වී තිබේ. එරට මාධ්‍ය වාර්තා මඟින් Nvidia හි තාක්ෂණික ප්‍රධානී මයිකල් කගන් (Michael Kagan), Mellanox නිර්මාතෘ එයාල් වෝල්ඩ්මන් (Eyal Waldman) සහ Apple සමාගමේ ජොනී සෘජි යන අයගේ නම්ද ඉදිරිපත් කර තිබේ. මෙම තිදෙනාටම ඊශ්‍රායල තාක්ෂණික ක්ෂේත්‍රය සමඟ ශක්තිමත් සම්බන්ධතා පවතී.

හුවාං වෙනුවට පත්වන කවර පුද්ගලයකුට වුවද, ඇමරිකානු-චීන තාක්ෂණික ගැටුම උත්සන්න වෙමින් පවතින තත්ත්වයක් තුළ සමාගමේ පාලනය භාර ගැනීමට සිදුවනු ඇත. එහි බලපෑම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පමණක් සීමා නොවේ.

චීනය ඇමරිකානු තාක්ෂණික පද්ධතිය තුළ රඳවා ගැනීමට සහාය දැක්වීමේ හුවාංගේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යනවාද, නැතහොත් චීනයට එරෙහි දැඩි සීමා කිරීම් වෙනුවෙන් පෙනී සිටින වොෂින්ටනයේ පාර්ශ්වයන් සමඟ වඩාත් සමීපව කටයුතු කරනවාද යන්න නව ප්‍රධානියාට තීරණය කිරීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත්, මෙහි වඩාත් පුළුල් ප්‍රශ්නය වන්නේ හුවාං වෙනුවට පත්වන්නේ කවුරුන්ද යන්න පමණක් නොවේ.

ඔහුගේ ඉවත්වීම ඇමරිකාවේ AI උපායමාර්ගයේ මූලික වෙනසක ආරම්භය සනිටුහන් කරනු ඇත්ද?

Who wanted Nvidia’s Huang out? ‘Honeypot’ scandal raises questions over AI power struggle

සම්බන්ධිත පුවත් | Related News

කියුබාවේ හවානා නුවර පැවැති බෝ නොවන රෝග පිළිබඳ සම්මන්ත්‍රණයකට සහභාගී වීමෙන් පසු එරට වත්මන් තත්ත්වය පිළිබඳව විශේෂ සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ, කියුබාව මේ වන විට දැඩි මානුෂීය අර්බුදයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටින බවයි.
රටේ පවතින වත්මන් පාලන තන්ත්‍රය සහ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් අනුරාධපුර සිදුවීම මුල් කරගනිමින් මහා සංඝරත්නය අපකීර්තියට පත් කිරීමේ අරමුණින් ව්‍යාජ ප්‍රවෘත්ති පුවත් නිර්මාණය කරමින් සංසරණය කරන බවට චෝදනා එල්ල වේ.
" අපි අනුරාධපුරය ඇතුළු නගර 04 ක් " සිටි බ්‍රෑන්ඩින් " කරනවා. උදාහරණයකට ප්‍රංශයෙ පැරිස් නුවර වගේ"
පුරාණ අනුරාධපුර නගරය යනු කුමක්ද යනුවෙන් පුරාවිද්‍යාඥයෙකුගෙන් විමසුවහොත්, ඔවුන් එය විස්තර කරනු ඇත්තේ පුරාණ ගඩොල් අත්තිවාරම්, කැටයම් කළ ගල් කුළුණු, නටබුන් වූ ස්තූප සහ පස් යට මිහිදන්ව ඇති පුරාවස්තු වලින් සමන්විත විශාල භූමි ප්‍රදේශයක් ලෙස විය හැකිය.
රටේ රාළ දිගටම අපේ රටේ විමර්ශන ක්‍රියාවලිය ඇතුළේ සිද්ධවෙන බරපතල වංචා ගැන කතා කරනවා.නීතියේ ආධිපත්‍යය කියන වචනවලට මුවාවෙලා,පෞද්ගලික න්‍යාය පත්‍ර,ඉදේශපාලන න්‍යාය පත්‍ර වෙනුවන් මිනිස්සුන් ජීවිත කාලකණ්ණි කරන හැටි ඉවසන්න බැරි තැන තමයි මේ සටනට අත ගැහුවේ.රටේ රාළ කියන මේ තිත්ත ඇත්ත කතාව ඊයේ (12) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ ශාලාව ඇතුළේ දෝංකාර දුන්නා.
ඊයේ (12) අනුරාධපුර රුවන්වැලි මහ සෑ භූමියේ බලංගොඩ කස්සප හාමුදුරුවෝ සහ තවත් ගිහි පැවිදි පිරිසක් කරගෙන ගිය සමකාමි උපවාසය නිල බලය සහ මැර බලය යොදවලා අවසන් කරන්න පොලිසිය සහ ජවිපෙ මැරයන් සමත්වුනා.රටේ රාළ මුල ඉඳන්ම ඔය උපවාසයට විරුද්ධ උන කෙනෙක්.ඒත් මේ ම්ලේච්ඡ ප්‍රහාරය කිසිසේත් අනුමත කරන්න බෑ.
ඊලග අයවැය වෙනවිට මේවාගෙන් සිදුවෙලා තියෙන ටික ගලපන්න. 2025 අයවැයෙන් කරනවා කිව්ව ඒවා #ඇඩ්වකාටා එකේ,ජනනාත් ප්‍රනාන්දු සැසදීමක් කරලා තියනවා .
වසර දෙදහසකට වැඩි ඉතිහාසයක් ඇති බෞද්ධ ශිෂ්ටාචාරයක් රැකගනිමු. එහි පූජනීය භූමිය වාණිජ සංවර්ධන කලාපයක් බවට පත් නොකරන්න.
මීට වසර තිස්පහකට පෙර, 1991 අගෝස්තු මාසයේදී සෝවියට් සංගමය සිය අවසන් ගිම්හාන සමය ගත කරමින් සිටියේය.

ප්‍රධාන පුවත්

රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

රාජ්‍ය බිඳ වැට්ටවීමට නම් සමාජය බිඳවැට්ටවිය යුතු බවත්, මේ රාජ්‍ය බිඳ වැට්ටවීම සඳහා බලවේග රාශියක් අතීතයේ සිටම විවිධ අයුරින් ක්‍රියාත්මක වුවත් එසේ බිඳ දැමීමට නොහැකි වූ බවත්, එහෙත් මේ වන විට මෙම බලවේග ඉතා සූක්ෂම ලෙස ක්‍රියාන්විතයන් දියත්කර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..

භූ දේශපාලනික ආතතීන් උත්සන්න වෙමින්, ආරක්ෂණවාදය ඉහළ යමින් සහ ගෝලීය ආර්ථික සහයෝගීතාව අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින පසුබිමක, ෂෙන්ෂෙන් නුවර පැවැත්වෙන 33 වැනි APEC ආර්ථික නායක සමුළුව කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් අවස්ථාවක් වනු ඇත.

ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා නොවැම්බර් 15 වැනිදා රුසියානු සමූහාණ්ඩුවේ මොස්කව් නුවරදී පැවැති නව යටත්විජිතවාදයේ නූතන භාවිතයන්ට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ (For the Freedom of Nations) මහා සභා රැස්වීමට ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී විය.

අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධන උපදේශක සභාවේ සම සභාපති ලෙස ක්‍රියාකරන වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඤානතිලක හිමිපාණන් විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අන්තර්ජාලයේ යම් ආන්දෝලනයක් ඇතිවීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..

චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන ව්‍යාපාරික කාන්තාවක වන ඇලිස් හුවාං (Alice Huang) සමඟ පැවැති සබඳතාවක් හෙළිදරව් වීමත් සමඟ ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදන සමාගම වන Nvidia හි නිර්මාතෘ ජෙන්සන් හුවාං (Jensen Huang) සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, ගෝලීය කෘත්‍රිම බුද්ධි (AI) බල අරගලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම (පළමු වසරට) වාර්ෂිකව හතළිස් දහසකින් පමණ අඩු වී ඇතැයි සමීක්ෂණයකින් තොරතුරු හෙළිවී ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.

අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, 2027 වර්ෂයේ අයවැය ඉදිරිපත් කිරීම සජීවීව නැරඹීම සඳහා අදාළ දෙපාර්තමේන්තු සහ ආයතනවල සියලුම මණ්ඩල නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සපයන ලෙස දැන්වූ ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා යමින් සැකකරුවන් වසරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සහ නීතිවිරෝධී මූලික පරීක්ෂණයක් පැවැත්වීම අභියෝගයට ලක්කරමින් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ශාන්ත ජයතිලක මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික සම්බාධක සහ නාවික අවහිර කිරීම් හරහා ඉරාන ජනතාව සාගින්නට ඇද දැමීමට තර්ජනය කරමින් සිටින බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි චෝදනා කරයි.

NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදන සමාගම වන NVIDIA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ ජෙන්සන් හුවාන් (Jensen Huang) සිය ධුරයෙන් ඉවත් කිරීම පිටුපස ඇත්තේ ඔහුට එල්ල වී ඇති චීන කාන්තාවක් හා සම්බන්ධ ඔත්තු බැලීමේ චෝදනාවක් නොව, කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ ඒකාධිකාරය පවත්වා ගැනීමට උත්සාහ කරන පාර්ශ්වයන්ගේ දේශපාලන කුමන්ත්‍රණයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක්..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී විවෘත කළ දඹුල්ලේ එළවළු හා පලතුරු ගබඩා කිරීමේ උෂ්ණත්ව හා ආර්ද්‍රතා පාලිත ගබඩා සංකීර්ණයේ සවිකර තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා තඹ බට සොරාගෙන ගොස් ඇති බවට දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

දූෂණ චෝදනා එල්ලවී ඇති ආණ්ඩුවේ මැති ඇමති ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට...

වත්මන් ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනෙකු දූෂණ චෝදනාවලට ලක්ව ඇති බව පවසමින් ඊට අදාළ නාමලේඛනයක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය.

මාළු වැඩි තැන් හඳුනගන්න හැකි තනි තාක්ෂණික මෙවලමක් දැනට ලෝකයේ නෑ.. - ‘මාළු ඇප්’ එක සහ තාක්ෂණික යථාර්ථය ගැන INORA ආයතනය හෙළිකරයි..

මත්ස්‍ය ගහණය වැඩි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා ජංගම දුරකථන යෙදවුමක් (Mobile App) නිර්මාණය කිරීම සරල කාර්යයක් නොවන බවත්, ඒ සඳහා විශාල මූල්‍ය ආයෝජනයක් සහ විශේෂිත තාක්ෂණික දැනුමක් අවශ්‍ය බවත් INORA - Institute of Ocean Resources Analysis ආයතනයේ විධායක අධ්‍යක්ෂ අයේෂ් ඉන්ද්‍රනාත් රණවක පවසයි.

ට්‍රම්ප්ගෙන් න්‍යෂ්ටික අවි අඩු කිරීමේ නව යෝජනාවක්.. – පුටින් සහ ෂී ජින්පින් චීනයේදී ඓතිහාසික සාකච්ඡාවක..

ලෝකයේ පවතින න්‍යෂ්ටික අවි සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු කිරීම අරමුණු කරගනිමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

ඩයස්පෝරාව සතුටු කිරීමට ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය 'දේශපාලන ත්‍යාගයක්' ලෙස බෙදා දීමේ උත්සාහයක!.. - නීතිඥ නුවන් බැල්ලන්තුඩාවගෙන් අනාවරණයක්..

ජනාධිපතිවරයා විසින් සිය අයවැය යෝජනා මඟින් ද්විත්ව පුරවැසියන්ට සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට අපේක්ෂා කරන සහන සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් නොමැති බවත්, එය හුදෙක් දේශපාලන ත්‍යාග ලබාදීමේ වැඩපිළිවෙළක් වී ඇති බවත් දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.