ශ්‍රී ලංකාවේ අධිකරණ ස්වාධීනත්වය සහ විදේශ ආයෝජන කෙරෙහි එහි බලපෑම: නීතිමය හා ආර්ථික විශ්ලේෂණයක්
සාරාංශය
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ඔවුන් දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ගිවිසුම් බලාත්මක කිරීමේ හැකියාව, ඵලදායී නීතිමය ප්‍රතිකර්ම ලබාගැනීමේ හැකියාව සහ අධිකරණයේ ස්වාධීනත්වය ඇතුළු රටේ නීතිමය හා ආයතනික රාමුවේ ගුණාත්මකභාවය ද ඇගයීමට ලක් කරති.
ස්වාධීන, අපක්ෂපාතී, දක්ෂ සහ පෞද්ගලික පාර්ශ්වයන්ට මෙන්ම රාජ්‍යයට එරෙහිවද නීතිය බලාත්මක කිරීමට හැකියාව ඇති අධිකරණ පද්ධතියක් මඟින් තම අයිතිවාසිකම් ආරක්ෂා වන බවට ආයෝජකයන් තුළ විශ්වාසයක් ඇති කරයි.
1978 දී ආර්ථික ලිබරල්කරණ ප්‍රතිපත්ති හඳුන්වාදීමෙන් පසු ශ්‍රී ලංකාව සෘජු විදේශ ආයෝජන (Foreign Direct Investment – FDI) ආකර්ෂණය කර ගෙන ඇත.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (Board of Investment – BOI) අනුව, 1978 සිට 2023 දක්වා ශ්‍රී ලංකාවට ලැබුණු සමුච්චිත සෘජු විදේශ ආයෝජන ප්‍රවාහය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 21.9 ඉක්මවා ඇත. එමෙන්ම රජය විසින් පසුව වාර්තා කර ඇති පරිදි, 2025 වර්ෂයේදී පමණක් ශ්‍රී ලංකාව ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.057 ක සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගෙන ඇත.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට ඊට වඩා විශාල ප්‍රමාණයක විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ඇති හැකියාව ආයෝජන පරිසරයේ පවතින දුර්වලතා හේතුවෙන් තවදුරටත් සීමා වී ඇත.
මෙම ලිපිය මඟින් විදේශ ආයෝජනයේ අර්ථය සහ වැදගත්කම, ශ්‍රී ලංකාව මෙතෙක් ආකර්ෂණය කරගෙන ඇති විදේශ ආයෝජන ප්‍රමාණය, අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ සංකල්පය සහ, වඩාත් වැදගත් ලෙස, අධිකරණ ස්වාධීනත්වය දුර්වල වූ විට ආයෝජන කෙරෙහි ඇති විය හැකි අහිතකර බලපෑම් විමර්ශනය කරයි.
අධිකරණ ස්වාධීනත්වය තිරසාර විදේශ ආයෝජන සඳහා අවශ්‍ය නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ පරිසරයක අත්‍යවශ්‍ය අංගයක් බව මෙම ලිපිය තර්ක කරයි. අධිකරණ ස්වාධීනත්වය අහිමි වීම හෝ දුර්වල වීම දේශපාලනික හා නියාමන අවදානම වැඩි කරයි; ගිවිසුම් සහ දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම දුර්වල කරයි; ගනුදෙනු පිරිවැය වැඩි කරයි; ආයෝජක විශ්වාසය අඩු කරයි; අවසානයේදී විදේශ ප්‍රාග්ධනය තරඟකාරී වෙනත් රටවලට යොමු වීමට හේතු විය හැකිය.
1. හැඳින්වීම
විදේශ ආයෝජන නූතන ආර්ථික සංවර්ධනයේ අත්‍යවශ්‍ය සංරචකයක් බවට පත්ව ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල් විදේශ ප්‍රාග්ධනය, තාක්ෂණය, විශේෂඥ දැනුම, කළමනාකරණ කුසලතා සහ ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ප්‍රවේශය ලබා ගැනීම සඳහා එකිනෙකා සමඟ තරඟ කරති.
විදේශ ආයෝජන මඟින් රැකියා නිර්මාණය, අපනයන සංවර්ධනය, තාක්ෂණික දියුණුව, යටිතල පහසුකම් සංවර්ධනය සහ රජයේ ආදායම් වැඩි කිරීම සඳහා දායක විය හැකිය.
ශ්‍රී ලංකාව සඳහා විදේශ ආයෝජනයේ වැදගත්කම විශේෂයෙන් ඉහළය. 1977–1978 කාලයේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදීමෙන් පසු බලයට පත් වූ රජයන් විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පිහිටුවීම, ආයෝජන දිරිගැන්වීම්, නිදහස් වෙළඳ හා අපනයන සැකසුම් ක්‍රමවේද සහ විවිධ නීතිමය හා ආයතනික ප්‍රතිසංස්කරණ හරහා විදේශ ආයෝජකයන් දිරිමත් කිරීමට කටයුතු කර ඇත.
කෙසේ වෙතත්, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ආර්ථික දිරිගැන්වීම් පමණක් ප්‍රමාණවත් නොවේ.
රටකට විශාල ප්‍රමාණයක ප්‍රාග්ධනය ආයෝජනය කරන විදේශ ආයෝජකයෙකුට මූලික ප්‍රශ්නයකට පිළිතුරු ලබාගත යුතුය: එනම්
“පෞද්ගලික පාර්ශ්වයක් සමඟ හෝ රජය සමඟම ආරවුලක් ඇති වූ විට, ස්වාධීන අධිකරණ ආයතනයක් මඟින් අපක්ෂපාතී හා ඵලදායී ප්‍රතිකර්මයක් ලබාගත හැකිද?”
මෙම ප්‍රශ්නය අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ සංකල්පය සමඟ සමීපව සම්බන්ධ වේ.
විදේශ ආයෝජකයෙකු වාණිජ අවදානම භාර ගැනීමට සූදානම් විය හැකිය. විනිමය අනුපාතවල වෙනස්කම්, පාරිභෝගික ඉල්ලුමේ වෙනස්කම් සහ සාමාන්‍ය ව්‍යාපාරික තරඟය වැනි අවදානම් ඔහු පිළිගත හැකිය.
එහෙත් රජයක්, දේශපාලනික වශයෙන් බලවත් සමාගමක් හෝ රාජ්‍ය නිලධාරියෙකු තම දේපළ හෝ ගිවිසුම්ගත අයිතිවාසිකම්වලට මැදිහත් වුවහොත් සහ එවැනි අවස්ථාවක අධිකරණයට ඵලදායී ප්‍රතිකර්මයක් ලබාදීමට නොහැකි හෝ අකමැති වුවහොත් එම අවදානම පිළිගැනීමට ඔහු අකමැති වනු ඇත.
එබැවින් අධිකරණ ස්වාධීනත්වය ව්‍යවස්ථාමය මූලධර්මයක් ලෙස පමණක් නොව, ආයෝජක විශ්වාසයට දායක වන ආර්ථික සාධකයක් ලෙස ද සැලකිය යුතුය.
2. විදේශ ආයෝජනයේ අර්ථය
විදේශ ආයෝජනයන්ට විවිධ අර්ථ තිබේ. එබැවින් එකී අර්ථ පිළිබඳව පළමුව විමසා බැලිය යුතුය.
2.1 සාමාන්‍ය අර්ථය
විදේශ ආයෝජනය යනු එක් රටක පුද්ගලයෙකු, සමාගමක් හෝ ආයතනයක් විසින් වෙනත් රටක පිහිටි ව්‍යාපාරයකට හෝ ආර්ථික ක්‍රියාකාරකමකට ප්‍රාග්ධනය, වත්කම් හෝ වෙනත් ආර්ථික සම්පත් ආයෝජනය කිරීම ලෙස පුළුල් ලෙස අර්ථ දැක්විය හැකිය.
ඒ අනුව විදේශ ආයෝජකයා ආර්ථික ප්‍රතිලාභයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් ජාතික සීමාවන් හරහා ප්‍රාග්ධනය මාරු කරයි.
විදේශ ආයෝජනය පහත ආකාරයට වර්ග කළ හැකිය:
(අ)සෘජු විදේශ ආයෝජන (FDI);
(ආ) කොටස් හා සුරැකුම්පත් ආශ්‍රිත ආයෝජන (Portfolio Investment);
(ඇ) විදේශ ණය සහ වෙනත් බාහිර මූල්‍යකරණයන්
(ඈ) හවුල් ව්‍යාපාර;
(ඉ)විදේශීය හිමිකාරීත්වය ඇති ව්‍යාපාරවල ලාභ නැවත ආයෝජනය කිරීම; සහ
( ඊ) යටිතල පහසුකම් සහ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම.
අධිකරණ ස්වාධීනත්වය සහ ආයෝජන අතර සම්බන්ධතාව විශ්ලේෂණය කිරීමේදී සෘජු විදේශ ආයෝජන විශේෂයෙන් වැදගත් වේ.
2.2 සෘජු විදේශ ආයෝජන
සෘජු විදේශ ආයෝජනය යනු සාමාන්‍යයෙන් විදේශීය ආයෝජකයෙකු වෙනත් රටක ව්‍යාපාරයක් ස්ථාපිත කිරීම, අත්පත් කර ගැනීම හෝ එහි දිගුකාලීන හිමිකමක් පවත්වාගෙන යාම සහ එම ව්‍යාපාරය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් පවත්වා ගැනීමයි.
Portfolio Investment හා සසඳන විට FDI සාමාන්‍යයෙන් දිගුකාලීන ආයෝජනයන්ය.
උදාහරණ ලෙස:
විදේශීය සමාගමක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම;
විදේශ ආයෝජකයෙකු හෝටලයක් ස්ථාපිත කිරීම;
විදේශීය සමාගමක් තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ (IT/BPO) ව්‍යාපාරයක් ආරම්භ කිරීම;
වරාය යටිතල පහසුකම් සඳහා ආයෝජනය;
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති;
සමාගම් අත්පත් කර ගැනීම හෝ ස්ථාපිත කිරීම; සහ
ශ්‍රී ලාංකික සහ විදේශීය සමාගම් අතර හවුල් ව්‍යාපාර.
FDI හි දිගුකාලීන ස්වභාවය නිසා නීතිමය පරිසරය විශේෂයෙන් වැදගත් වේ.
කර්මාන්තශාලාවක් ස්ථාපිත කරන ආයෝජකයෙකු එම ආයෝජනය වසර 10, 20 හෝ 30ක් පවා ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යාමට අපේක්ෂා කළ හැකිය. එබැවින් ආයෝජකයා ආයෝජනය කරන දිනයේ පවතින නීතිය පමණක් නොව, අනාගතයේදී ද එම ආයෝජනය ආරක්ෂා කරනු ලබන්නේද යන්න සලකා බැලිය යුතුය.
3. ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන
ශ්‍රී ලංකාවේ නූතන විදේශ ආයෝජන ක්‍රමවේදය 1977–1978 කාලයේ ආරම්භ වූ ආර්ථික ලිබරල්කරණ ක්‍රියාවලිය සහ පසුව වර්ධනය වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මත පදනම් වූ ආයෝජන ප්‍රවර්ධන රාමුව සමඟ සමීපව සම්බන්ධ වේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විදේශ ආයෝජන ඇතුළු ආයෝජන පහසුකම් සැපයීමේ ප්‍රධාන රාජ්‍ය ආයතනය වේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විශේෂයෙන් විදේශ ආයෝජන සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රධාන රාජ්‍ය ආයතනය ලෙස හඳුනාගෙන ඇත.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව, 1978 සිට 2023 දක්වා ශ්‍රී ලංකාවට ලැබුණු සමුච්චිත FDI ප්‍රමාණය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 21.9කි.
පහත දැක්වෙන දත්ත මඟින් වාර්ෂිකව විදේශ ආයෝජන ප්‍රවාහයේ සැලකිය යුතු උච්චාවචනයක් ද පෙන්වයි:
වර්ෂය FDI ප්‍රවාහය (ඇ.ඩො. මිලියන)
2014 1,616
2015 970
2016 801
2017 1,710
2018 2,367
2019 1,189
2020 687
2021 780
2022 1,076
2023 737
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පසුව වාර්තා කළ පරිදි 2025 වර්ෂයේදී සත්‍ය වශයෙන් ලැබුණු FDI ප්‍රමාණය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.057ක් වූ අතර, එය 2024 වර්ෂයට සාපේක්ෂව 72%ක වර්ධනයකි.
එබැවින් මෙම ලිපියේ අරමුණු සඳහා, විවෘත ආර්ථික ප්‍රතිපත්තිය/BOI යුගය ආරම්භ වූ 1978 සිට ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 22කට වැඩි සමුච්චිත FDI ප්‍රමාණයක් ආකර්ෂණය කරගෙන ඇති බව සඳහන් කිරීම සාධාරණය. කෙසේ වෙතත්, නිශ්චිත සමුච්චිත සංඛ්‍යාව භාවිතා කරන සංඛ්‍යාන ක්‍රමවේදය සහ BOI දත්ත මාලාව හා ගෙවුම් ශේෂ දත්ත මාලාව සංසන්දනය කරන්නේද යන්න මත වෙනස් විය හැකිය.
කෙසේ වෙතත්, ආයෝජන යෝජනා සහ සත්‍ය වශයෙන් ලැබුණු FDI අතර පැහැදිලි වෙනසක් කළ යුතුය.
උදාහරණයක් ලෙස, 2025 ජනවාරි සිට ජුනි දක්වා BOI විසින් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.669ක ආයෝජන යෝජනා වාර්තා කර තිබුණද, පළමු කාර්තුවේ සත්‍ය වශයෙන් ලැබුණු FDI ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 203ක් පමණ විය.
මෙම වෙනස ඉතා වැදගත් වේ. රටකට විශාල වටිනාකමකින් යුත් ආයෝජන යෝජනා ලැබුණද, එම යෝජනාවලට අනුරූප ප්‍රාග්ධනය සත්‍ය වශයෙන් රටට පැමිණීම අනිවාර්ය නොවේ.
ආයෝජන යෝජනා සත්‍ය ආයෝජන බවට පරිවර්තනය වීම ආර්ථික, දේශපාලනික, නියාමන සහ නීතිමය අවදානම් පිළිබඳ ආයෝජකයාගේ තක්සේරුව මත සැලකිය යුතු ලෙස රඳා පවතී.
4. විදේශ ආයෝජකයන්ට නීතිමය නිශ්චිතභාවය අවශ්‍ය වන්නේ ඇයි?
විදේශ ආයෝජනය යනු ආයෝජකයාට සාපේක්ෂව සීමිත දේශපාලන පාලනයක් ඇති පරිසරයකට පෞද්ගලික ප්‍රාග්ධනය මාරු කිරීමකි.
එබැවින් විදේශ ආයෝජකයෙකු සාමාන්‍යයෙන් ආයෝජන තීරණයක් ගැනීමට පෙර කරුණු ගණනාවක් පරීක්ෂා කරයි.
ඒවා අතර:
(අ) දේශපාලන ස්ථාවරත්වය;
(ආ) සාර්ව ආර්ථික ස්ථාවරත්වය;
(ඇ) බදු ක්‍රමය;
(ඈ) විදේශ විනිමය පාලන රෙගුලාසි;
(ඉ) කම්කරු නීති;
(ඊ) යටිතල පහසුකම්;
(උ) වෙළඳපොළ වෙත ප්‍රවේශය;
(ඌ) දූෂණය;
(එ) බුද්ධිමය දේපළ ආරක්ෂාව;
(ඒ) දේපළ අයිතිවාසිකම් ආරක්ෂාව;
(ඔ) ගිවිසුම් බලාත්මක කිරීමේ හැකියාව;
(ඕ) ආරවුල් විසඳීමේ ක්‍රමවේදවල ඵලදායීතාව;
( ක) නියාමන පුරෝකථනීයතාව; සහ
(ග) අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය.
ලෝක බැංකුව ආයෝජන, වාණිජ කටයුතු සහ ආර්ථික වර්ධනය සඳහා දේපළ අයිතිවාසිකම්වල ආරක්ෂාව සහ ගිවිසුම් බලාත්මක කිරීමේ නිශ්චිතභාවයේ වැදගත්කම අවධාරණය කර ඇත.
එසේම, ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය පිළිබඳ පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත්තේ අධිකරණ අකාර්යක්ෂම වූ විට ව්‍යාපාරික ආයතන අවම ලෙස ආයෝජන සහ ගනුදෙනු සිදු කරන බවත්, අධිකරණ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම නව ආයෝජන සඳහා ආයෝජක විශ්වාසය සහ මූල්‍යකරණය වැඩි කිරීමට බලපාන බවයි.
එබැවින් අධිකරණය රටක ආර්ථික යටිතල පහසුකම්වල කොටසක් ලෙස සැලකිය හැකිය.
5. අධිකරණ ස්වාධීනත්වයේ අර්ථය
අධිකරණයේ ස්වාධීනත්වය යන්නට ද විවිධ අර්ථ තිබේ.එබැවින් ඒවා පිළිබඳව මඳක් විමසා බැලිය යුතුය.
5.1 සාමාන්‍ය නිර්වචනය
අධිකරණ ස්වාධීනත්වය යනු විනිසුරුවන්ට විධායකය, ව්‍යවස්ථාදායකය, දේශපාලන පක්ෂ, පෞද්ගලික අවශ්‍යතා හෝ වෙනත් බාහිර පාර්ශ්වයන්ගෙන් සිදුවන අනිසි මැදිහත්වීම්, බලපෑම්, පීඩනය හෝ තර්ජනවලින් තොරව අධිකරණ බලය ස්වාධීනව සහ අපක්ෂපාතීව ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාවයි.
අධිකරණ ස්වාධීනත්වයට ආයතනික සහ පුද්ගල යන මානයන් දෙකක් ඇත.
ආයතනික ස්වාධීනත්වය-; Institutional Independence
ආයතනික ස්වාධීනත්වය යනු අධිකරණය ආයතනයක් ලෙස විධායකය සහ ව්‍යවස්ථාදායකය යන රාජ්‍ය බල අංශවලින් ප්‍රමාණවත් ස්වාධීනත්වයක් පවත්වා ගැනීමයි.
පුද්ගල විනිසුරු ස්වාධීනත්වය- Individual Independence
පුද්ගල විනිසුරු ස්වාධීනත්වය යනු තනි විනිසුරුවරයෙකුට පහත කරුණු මත පදනම්ව නඩුවක් තීරණය කිරීමට හැකි වීමයි:
(අ) ව්‍යවස්ථාපිත නීති එනම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව; විෂයානුභද්ද පනත්;
(ආ) පිළිගත් නීති මූලධර්ම;
(ඇ) සාක්ෂි; සහ
(ඈ) අධිකරණ පූර්වාදර්ශ,
එසේ නොමැතිව දේශපාලන උපදෙස්, පෞද්ගලික අවශ්‍යතා හෝ ප්‍රතිවිපාක පිළිබඳ බිය මත නොව එලෙස තීරණ ගැනීමට සිදු වුවහොත් එය අධිකරණ ස්වාධීනත්වය සපූර්ණයෙන්ම යටපත්වීමකි.
6. ශ්‍රී ලංකාවේ අධිකරණ ස්වාධීනත්වය සඳහා ව්‍යවස්ථාමය ආරක්ෂාව
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XV වන පරිච්ඡේදය තුළ “අධිකරණයේ ස්වාධීනත්වය” යන සංකල්පය ව්‍යවස්ථාමය වශයෙන් පිළිගෙන ඇත.
107 වන ව්‍යවස්ථාව මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ පත්කිරීම සහ ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ආරක්ෂණ සලසා ඇත.
විනිසුරුවරුන් යහපත් හැසිරීම පවතින තාක් කල් ධුරය දරන අතර, ඔවුන් ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඔප්පු කළ විෂමාචාරයක් හෝ අබලතාවක් මත ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ක්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතුය.
108 වන ව්‍යවස්ථාව මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් ද ආරක්ෂාවක් සලසා ඇති අතර, පත්වීමෙන් පසුව එම වැටුප් අඩු කිරීමට නොහැකි භාවය පිළිබඳව ආරක්ෂාව සලසා ඇත.
මෙම විධිවිධාන වැදගත් වන්නේ අධිකරණ ස්වාධීනත්වය යනු “අධිකරණය ස්වාධීන වේ” යන ප්‍රකාශයකින් පමණක් පවත්වාගෙන යා නොහැකි බැවිනි. අනිසි මැදිහත්වීම්වලින් අධිකරණය ආරක්ෂා කිරීම සඳහා ආයතනික ආරක්ෂණය ද අවශ්‍ය වේ.
එවැනි ආරක්ෂණ ක්‍රම අතර සාමාන්‍යයෙන් පහත කරුණු පිළිබඳව සුරක්ෂිත භාවය ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කර දී ඇත.
(අ) විනිසුරු ධුර කාලය සුරක්ෂිත කර තිබීම;
(ආ) විනිවිදභාවයෙන් යුත් පත්කිරීමේ ක්‍රියාවලිය;
(ඇ)අත්තනෝමතික ධුරයෙන් ඉවත් කිරීමට එරෙහි ආරක්ෂාව;
(ඈ) ප්‍රමාණවත් වැටුප් සහ දීමනා පිළිබඳ සුරක්ෂිතභාවය තහවුරු කර තිබීම;
( ඉ) ආයතනික ස්වාධීනත්වය; අපක්ෂපාතී නඩු බෙදාහැරීම;
(ඊ) දේශපාලන පීඩනයෙන් නිදහස;
(උ) වෘත්තීයමය අධිකරණ පරිපාලනය; සහ
අධිකරණ තීන්දු ඵලදායීව ක්‍රියාත්මක කිරීම.
7. නීතියේ ආධිපත්‍යයේ අංගයක් ලෙස අධිකරණ ස්වාධීනත්වය
අධිකරණ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය සමඟ වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධ වේ.
නීතියේ ආධිපත්‍යය යනු සෑම දෙනාම නීතියට අනුකූලව ක්‍රියා කළ යුතු බවයි. එනම් රජය ද නීතියට යටත් විය යුතුය යන මූලධර්මයයි.
මෙම මූලධර්මය විදේශ ආයෝජකයන් සඳහා විශේෂයෙන් වැදගත් වේ.
විදේශ ආයෝජකයෙකු රජයේ ආයතනයක් හෝ පෞද්ගලික සමාගමක් සමඟ ගිවිසුමකට එළඹිය හැකිය. ඔහු ඉඩමක් හෝ වෙනත් දේපළක් අත්පත් කර ගත හැකිය. ශ්‍රී ලංකා නීතිය යටතේ සමාගමක් පිහිටුවා ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක් ආයෝජනය කළ හැකිය.
පසුව එම ආයෝජකයාගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් යම් හබයක් ඇතිවුවහොත් එම හබයට සම්බන්ධ රජයේ හෝ පෞද්ගලික පාර්ශ්වයේ ක්‍රියාව නීත්‍යානුකූලද යන්න තීරණය කළ හැකි ස්වාධීන ආයතනයක් තිබිය යුතුය.
එම කාර්යය ඉටු කරන්නේ අධිකරණයයි.
එබැවින් ස්වාධීන අධිකරණයක් ආයෝජකයන්ට “නීතිමය රක්ෂණ යාන්ත්‍රණයක්” ලෙස හැඳින්විය හැකි ආරක්ෂාවක් සපයයි.
ආයෝජකයා සෑම නඩුවක්ම ජය ගැනීමට බලාපොරොත්තු නොවේ. ඔහු අපේක්ෂා කරන්නේ ආරවුලක් ඇති වූ විට එය නීතියට අනුව අපක්ෂපාතී ආයතනයක් මඟින් තීරණය කරනු ඇති බවයි.
එම අපේක්ෂාව ආයෝජක විශ්වාසයට දායක වේ
8. අධිකරණ ස්වාධීනත්වය සහ ආයෝජන පරිසරය අතර සම්බන්ධතාවය
ආයෝජන පරිසරය යනු ව්‍යාපාර කටයුතු සිදු කරන නීතිමය, දේශපාලනික, ආර්ථික, ආයතනික සහ නියාමන තත්ත්වයන්ගේ සමස්ත එකතුවයි.
අධිකරණ ස්වාධීනත්වය ආයෝජන පරිසරයට බලපාන්නේ එකිනෙකට සම්බන්ධ ක්‍රමවේද කිහිපයක් හරහාය.
8.1 දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම
විදේශ ආයෝජනවලට බොහෝ විට පහත දෑ ඇතුළත් වේ:
ඉඩම්; ගොඩනැගිලි; යන්ත්‍රෝපකරණ; බුද්ධිමය දේපළ; සමාගම් කොටස්; මූල්‍ය වත්කම්; තාක්ෂණය; සහ ගිවිසුම්ගත අයිතිවාසිකම් යනාදියයි.
ආයෝජකයන් ට පෙනී ගියහොත් තම දේපළ අයිතිවාසිකම් අත්තනෝමතික ලෙස උල්ලංඝනය කළ හැකි බවත් එවැනි අවස්ථාවක අධිකරණයට ඵලදායී ප්‍රතිකර්මයක් ලබාදිය නොහැකි බව එවිට ඔවුන්ගේ ආයෝජනයේ අවදානම ඉහළ යයි.
ඉහළ අවදානමක් ඇති විට බොහෝ ආයෝජකයන් ආයෝජකයන් පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹෙයි
(අ) ඉහළ ප්‍රතිලාභයක් ඉල්ලා සිටීම;
(ආ) ආයෝජනයේ ප්‍රමාණය අඩු කිරීම;
(ඇ) ආයෝජනය කල් දැමීම;
(ඈ) දේශපාලන අවදානම් රක්ෂණයක් ලබා ගැනීම; හෝ
(ඉ) වෙනත් රටකට ආයෝජනය යොමු කිරීම.
එබැවින් අධිකරණ ස්වාධීනත්වය FDI හි මූලික ආර්ථික පදනමක් වන දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට දායක වේ.
9. ගිවිසුම් ආරක්ෂා කිරීම සහ බලාත්මක කිරීම
නූතන ආයෝජනය මූලික වශයෙන් ගිවිසුම් මත පදනම් වේ.
විදේශ ආයෝජකයෙකු පහත පාර්ශ්ව සමඟ ගිවිසුම්වලට එළඹිය හැකිය:
(අ) රජය;
(ආ) රජය සතු ව්‍යවසායන්;
(ඇ) දේශීය සමාගම්;
(ඈ) සේවකයන්;
(ඉ) සැපයුම්කරුවන්;
(ඊ) බැංකු;
(උ) බෙදාහරින්නන්;
(ඌ) ඉදිකිරීම් සමාගම්; සහ
(එ) වෙනත් ආයෝජකයන්.
එබැවින් මේ කරුණු වලට අදාළ ගිවිසුම් විශ්වාසනීය ලෙස බලාත්මක කළ නොහැකි නම්, එම ගිවිසුම්වල ආර්ථික වටිනාකම අඩු වේ.
ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය පිළිබඳ ලෝක බැංකුවේ පර්යේෂණ මඟින් ද කාර්යක්ෂම අධිකරණ සහ ගිවිසුම් බලාත්මක කිරීම වැඩි ආයෝජනය හා ආයෝජක විශ්වාසය සමඟ සම්බන්ධවන බව පෙන්වා දී ඇත.
එබැවින් ස්වාධීන අධිකරණයක් ගිවිසුම්ගත අවිනිශ්චිතතාව අඩු කරයි.
10. අධිකරණ ස්වාධීනත්වය අහිමි වූ විට හෝ දුර්වල වූ විට සිදුවන්නේ කුමක්ද?
එහි අහිතකර ප්‍රතිවිපාක සැලකිය යුතු ලෙස ආයෝජනා පරිසරය විනාශ වීමට බලපානු ඇත.
10.1 දේශපාලන අවදානම වැඩි වීම
විනිසුරුවන් දේශපාලන බලපෑමකට යටත් බවට හැඟීමක් ඇති වුවහොත්, දේශපාලනික වශයෙන් සංවේදී ආරවුල් අපක්ෂපාතීව තීරණය නොවනු ඇතැයි විදේශ ආයෝජකයන් සිතීමට ඉඩ ඇත.
උදාහරණයක් ලෙස:
විදේශ ආයෝජකයා එදිරිව රජය සතු ව්‍යවසාය
ආරවුලක් සලකා බලමු.
අධිකරණය රජයේ දේශපාලන බලපෑමට යටත් බව ආයෝජකයා විශ්වාස කරන්නේ නම්, අධිකරණයෙන් ඵලදායී ප්‍රතිකර්මයක් ලබාගත හැකිද යන්න පිළිබඳව ඔහු සාධාරණ ලෙස සැක කළ හැකිය.
එබැවින් දේශපාලන අවදානම ආර්ථික පිරිවැයක් බවට පත්වේ.
10.2 නියාමන අවිනිශ්චිතතාව වැඩි වීම
විදේශ ආයෝජකයන්ට පුරෝකථනය කළ හැකි පරිසරයක් අවශ්‍ය වේ. මින් අදහස් වන්නේ
නීති කිසිදා වෙනස් නොවිය යුතු බව නොවෙයි. ආයෝජකයන් අපේක්ෂා කරන්නේ නීති වෙනස් කළ යුත්තේ නීත්‍යානුකූල, විනිවිදභාවයෙන් යුත් සහ පුරෝකථනය කළ හැකි ක්‍රියාපටිපාටියක් තුළින් බවයි.
ස්වාධීන අධිකරණය අත්තනෝමතික පරිපාලන ක්‍රියාමාර්ගවලට එරෙහි පවුරක් ලෙස ක්‍රියා කරයි.
අධිකරණ සමාලෝචනය- judicial review- අකාර්යක්ෂම වූ විට, නියාමන බලධාරීන්ට අධික අභිමතානුසාරි බලයක් ලැබිය හැකිය.
එමඟින් පහත සඳහන් ප්‍රතිපාක ඇතිවියිය හැක
(අ) අත්තනෝමතික බලපත්‍ර නිකුත් කිරීමේ තීරණ;
(ආ) එක් එක් ආයුජකයන්ට වෙනස් ලෙස සැලකීම-discrminatory treatment ;
(ඇ) තෝරාගත් පාර්ශ්වයන්ට පමණක් නීතිය බලාත්මක කිරීම;
(ඈ) නීති විරෝධී බදු අය කිරීම;
(ඉ) බලපත්‍ර අත්තනෝමතික ලෙස අවලංගු කිරීම; සහ
(ඊ) නොගැළපෙන පරිපාලන තීරණ
ඇති විය හැකිය.
එහි ප්‍රතිඵලය වන්නේ දැඩි ආයෝජන අවිනිශ්චිතතාවයක් රට තුළ නිර්මාණය වීම
11. ආයෝජක විශ්වාසය අහිමි වීම
ආයෝජක විශ්වාසය මූලික වශයෙන් මානසික මෙන්ම ආර්ථික සාධකයක් ද වේ.
ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ආයෝජනයක් සලකා බලන බහුජාතික සමාගමක් මාස ගණනක් හෝ වසර ගණනක් පවා නිසි පරීක්ෂාවක් (Due Diligence) සිදු කළ හැකිය.
එහි දී අදාළ ආයෝජකයාගේ නීතිඥයන් සහ උපදේශකයන් පහත සඳහන් කරුණු පිළිබඳව පරීක්ෂා කර බලයි.
(අ) නීතියේ සඳහන් වන්නේ කුමක්ද?
යන්න පමණක් නොව,
(ආ) නීතිය උල්ලංඝනය කළහොත් සිදුවන්නේ කුමක්ද? යන්නයි.
දෙවන ප්‍රශ්නයට පිළිතුර මූලික වශයෙන් රඳා පවතින්නේ අධිකරණ පද්ධතියේ ඵලදායීතාව සහ ස්වාධීනත්වය මතය.
අධිකරණ ස්වාධීනත්වය පිරිහුණහොත්, නීතිය ලේඛනවල පමණක් පවතින නමුත් ප්‍රායෝගිකව ඒවා බලාත්මක කළ නොහැකි බව ආයෝජකයන් නිගමනය කළ හැකිය.
එම අවබෝධය ආයෝජන අධෛර්යමත් කිරීමේ බලවත් සාධකයක් විය හැකිය.
12. ගනුදෙනු පිරිවැය වැඩි වීම
දුර්වල අධිකරණ ආයතන ව්‍යාපාරික පිරිවැය වැඩි කරයි. එම අමතර ව්‍යාපාරික පිරිවැය පහත සඳහන් දෑ වෙනුවෙන් ඇතිවිය හැක.
(i) අතිරේක නීතිඥයන් සේවයේ යෙදවීම;
(ii) වඩාත් ශක්තිමත් ගිවිසුම් සහතික ඉල්ලා සිටීම;
(iii) ජාත්‍යන්තර බේරුම්කරණය ඉල්ලා සිටීම;
(iv) දේශපාලන අවදානම් රක්ෂණයක් ලබා ගැනීම;
(v) ඉහළ ආරක්ෂක තැන්පතු ඉල්ලා සිටීම; හෝ
(vi) එම ආයෝජන ගනුදෙනුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම. එමගින් ඔහුට ආයෝජන අවස්ථා අහිමිවීමේ පිරිවැයක් ඇතිවනු ඇත.
කාර්යක්ෂම අධිකරණ නොමැති වීමෙන් සමාගම් වටිනාකම් අඩු ආයෝජන සහ ගනුදෙනු සිදු කිරීමට පෙළඹෙන බව ලෝක බැංකුව පෙන්වා දී ඇත.
එබැවින් අධිකරණ අකාර්යක්ෂමතාව සහ ස්වාධීනත්වයේ ඌණතාවය ආයෝජනය මත පැනවෙන අතිරේක බද්දක් ලෙස ක්‍රියා කළ හැකිය.
13. විදේශ ණය සපයන්නන් කෙරෙහි බලපෑම
මෙම ගැටලුව මුල් ආයෝජකයාගෙන් ඔබ්බට ද පැතිරෙයි.
විශාල විදේශ ආයෝජන ව්‍යාපෘති සඳහා බොහෝ විට පහත ආයතනවලින් මූල්‍යකරණය අවශ්‍ය වේ: එනම් ජාත්‍යන්තර බැංකු; සංවර්ධන මූල්‍ය ආයතන; විදේශ බැඳුම්කර හිමියන්; සහ ආයතනික ආයෝජකයන්.
මෙම ආයතන ද තම ආරක්ෂිත අයිතිවාසිකම් සහ ගිවිසුම්ගත අයිතිවාසිකම් බලාත්මක කළ හැකිද යන්න තක්සේරු කරති.
ප්‍රමාණවත් ස්වාධීනත්වයක් නොමැති බව හෝ රජයේ අවශ්‍යතාවලට එරෙහිව දේශීය අධිකරණ තීරණයක් ලබාදීමට අකමැති විය හැකි බවට හැඟීමක් ඇති විට විදේශීය ක්‍රියාකරුවන් සහ ණය සපයන්නන් දේශීය අධිකරණ පද්ධතිය මත රඳා සිටීමට අකමැති විය හැකි බව ලෝක බැංකුව පෙන්වා දෙයි.
එබැවින් දුර්වල අධිකරණයක් FDI පමණක් නොව, ජාත්‍යන්තර මූල්‍යකරණය ලබා ගැනීමට ඇති හැකියාව සහ පිරිවැය කෙරෙහි ද බලපෑම් කළ හැකිය.
14. රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව සහ යටිතල පහසුකම් කෙරෙහි බලපෑම
මෙම ගැටලුව ශ්‍රී ලංකාව සඳහා විශේෂයෙන් වැදගත් වන්නේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශාල ප්‍රමාණයක ප්‍රාග්ධනය අවශ්‍ය වන බැවිනි.උදාහරණ ලෙස:වරාය; ගුවන් තොටුපළ;
පුනර්ජනනීය බලශක්තිය;මහාමාර්ග;විදුලි සංදේශ; සංචාරක කර්මාන්තය; සැපයුම් හා ප්‍රවාහන සේවා; සහ නාගරික සංවර්ධනය.
මෙවැනි ව්‍යාපෘති සඳහා සාමාන්‍යයෙන් ආයෝජකයන් සහ රජය අතර දිගුකාලීන ගිවිසුම් අවශ්‍ය වේ. වසර 20–30ක් පුරා ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක දී පහත කරුණු සම්බන්ධයෙන් ආරවුල් ඇතිවීම නොවැළැක්විය හැකිය: එනම්, ගාස්තු; බදු; ඉඩම්; නියාමන වෙනස්කම්; පාරිසරික අවශ්‍යතා; බලපත්‍ර; සහන ගිවිසුම්; සහ
රජයේ වගකීම් යනාදිය.
එවැනි ආරවුල් ඇති වූ විට ස්වාධීන අධිකරණයක් වැදගත් ආයතනික ආරක්ෂාවක් සපයයි.
එවැනි ආරක්ෂාවක් නොමැති විට ආයෝජකයන් ජාත්‍යන්තර බේරුම්කරණය ඉල්ලා සිටීමට හෝ එම අධිකරණ බල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම මඟහැරීමට ඉඩ ඇත.
15. අධිකරණ ස්වාධීනත්වය සහ රාජ්‍යයේ අත්තනෝමතික ක්‍රියා
ස්වාධීන අධිකරණයක වැදගත්ම කාර්යයක් වන්නේ රාජ්‍යය පාර්ශවයක් වන ආරවුලක රජය එම ආරවුලේ පාර්ශ්වකරුවෙකු පාර්ශවයක් වීම පමණක් නොව එහි අවසාන විනිශ්චයකරුවෙකු
යන දෙකම බවට පත්වීම වැළැක්වීමයි.
විදේශ ආයෝජකයෙකුට රජයේ ආයතනයක් සමඟ ගිවිසුම්ගත ආරවුලක් ඇති වූ බව සලකමු.
විධායකය නියාමන ආයතනය පාලනය කරන්නේ නම්, බලාත්මක කිරීමේ යාන්ත්‍රණයට බලපෑම් කරන්නේ නම් සහ අධිකරණයටද ඵලදායී ලෙස බලපෑම් කළ හැකි නම්, ආයෝජකයා මුහුණ දෙන්නේ ව්‍යුහාත්මක අසමතුලිතතාවයකටය.
ස්වාධීන අධිකරණයක් මෙම අසමතුලිතතාව නිවැරදි කරන්නේ රාජ්‍යය ද පෞද්ගලික පාර්ශ්වයන්ට අදාළ වන නීතියටම යටත් බව සහතික කිරීමෙනි.
විදේශ ආයෝජකයන්ට දේශීය පාර්ශ්වයන්ට වඩා දේශපාලනික බලපෑම අඩු විය හැකි බැවින් මෙය විශේෂයෙන් වැදගත් වේ.
16. අධිකරණ ස්වාධීනත්වය සහ දූෂණය
අධිකරණ ස්වාධීනත්වය දූෂණය සමඟ ද වැදගත් සම්බන්ධතාවක් ඇත.
විනිසුරුවන් දේශපාලන හෝ වෙනත් අනිසි බලපෑම්වලට ආයතනික වශයෙන් අවදානමට ලක්වන්නේ නම්, අධිකරණ තීන්දු පිළිබඳ විශ්වාසනීයත්වය දුර්වල විය හැකිය.
දේශපාලන සම්බන්ධතා, මුදල් හෝ පෞද්ගලික සබඳතා මඟින් ආරවුල්වල ප්‍රතිඵලවලට බලපෑම් කළ හැකි බවට පවතින හැඟීමක් ආයෝජන පරිසරයට අතිශයින් හානිකර වේ.
විදේශ ආයෝජකයන් සාමාන්‍යයෙන් කැමති වන්නේ: අවිධිමත්, බලපෑම් භාවිතා කිරීම අවශ්‍ය වන අවිනිශ්චිත පද්ධතියකට වඩා පුරෝකථනය කළ හැකි නීතිමය පද්ධතියකටය.
එබැවින් ස්වාධීන අධිකරණයක් දූෂණය සහ අවිධිමත් ආරවුල් විසඳීමේ ක්‍රම ආකර්ෂණීය වීම අඩු කිරීමට දායක වේ.
17. ආයෝජකයන්ගේ සමානාත්මතාවය සහ අධිකරණ ස්වාධීනත්වය
සෞඛ්‍ය සම්පන්න ආයෝජන පරිසරයක් සඳහා නීතිය ඉදිරියේ සමානාත්මතාවය අවශ්‍ය වේ.
විදේශ ආයෝජකයන් විදේශිකයන් වන නිසාම විශේෂ සැලකිල්ලක් නොලැබිය යුතුය. එසේම දේශපාලන සම්බන්ධතා නොමැති නිසා ඔවුන්ට අවාසිදායක ලෙස ද සැලකිය නොයුතුය.
ස්වාධීන අධිකරණයක් මඟින් වෙනස්කම් සහිත හෝ අසාධාරණ රාජ්‍ය ක්‍රියාමාර්ගවලට එරෙහිව නීතිමය අභියෝගයක් ඉදිරිපත් කිරීමේ යාන්ත්‍රණයක් සපයයි.
පරිපාලන අභිමත බලය පුළුල් වන රටවල මෙය විශේෂයෙන් වැදගත් වේ.
18. ශ්‍රී ලංකාවේ සන්දර්භය
ශ්‍රී ලංකාව ආයෝජන රාමුව සංවර්ධනය කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර, රට තවදුරටත් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගනිමින් සිටී.
රජය වාර්තා කළ පරිදි 2025 වර්ෂයේදී FDI ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.057ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ආර්ථික අර්බුදය සමයේ පැවති පහළ මට්ටම්වලින් සැලකිය යුතු ප්‍රකෘතිමත් වීමක් පෙන්නුම් කරයි.
කෙසේ වෙතත්, රටේ ආර්ථික ප්‍රමාණය සහ පවතින ආයෝජන හැකියාව සැලකිල්ලට ගත් විට සමුච්චිත FDI කාර්යසාධනය තවමත් සාපේක්ෂව මධ්‍යස්ථ මට්ටමක පවතී.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇති පරිදි, ශ්‍රී ලංකාවේ රජයන් වෙනස් වීම බොහෝ විට ආර්ථික ප්‍රතිපත්තිවල වෙනස්කම් සමඟ සම්බන්ධ වී ඇත.
එවැනි ප්‍රතිපත්ති අස්ථාවරත්වයම අවිනිශ්චිතතාවක් ඇති කළ හැකිය.
එබැවින් රජය වෙනස් වීමෙන් ආයෝජකයන්ගේ නීතිමය අයිතිවාසිකම් අත්තනෝමතික ලෙස වෙනස් නොවන බව සහතික කිරීම සඳහා අධිකරණය විශේෂ ආයතනික යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කරයි.
19. දිගුකාලීන ආයෝජන වත්කමක් ලෙස අධිකරණ ස්වාධීනත්වය
එබැවින් අධිකරණ ස්වාධීනත්වය ශ්‍රී ලංකාවේ ආර්ථික යටිතල පහසුකම්වල කොටසක් ලෙස තේරුම් ගත යුතුය.
රටක් ආයෝජනය කරන්නේ:මාර්ග;වරාය;ගුවන් තොටුපළ; විදුලිය;විදුලි සංදේශ; සහ
ඩිජිටල් යටිතල පහසුකම් වැනි දෑ සඳහාය. එයට හේතුව එම පහසුකම් ආර්ථික ක්‍රියාකාරකම්වල පිරිවැය අඩු කරන බැවිනි.
ස්වාධීන අධිකරණයක් ද එවැනිම කාර්යයක් ඉටු කරයි.එනම් ස්වාධීන අධිකරණයක් විසින්සඳහන් අවිනිශ්චිතතාවයන් සහ අවදානම් අවම කරයි
(අ) නීතිමය අවිනිශ්චිතතාව;
(ආ) ගිවිසුම්ගත අවිනිශ්චිතතාව;
(ඇ) දේශපාලන අවදානම;
(ඈ) ගනුදෙනු පිරිවැය;
(ඉ) බලාත්මක කිරීමේ පිරිවැය; සහ
(ඊ) ආයෝජන අවදානම
එබැවින් අධිකරණ ස්වාධීනත්වය ආයතනික යටිතල පහසුකමක් ලෙස සැලකිය හැකිය.
20. අධිකරණ ස්වාධීනත්වය සහ FDI අතර හේතු-ඵල සම්බන්ධතාවය.
අධිකරණ සාධීනත්වය යහපත් ආකාරයට පවතින විට එය ආයෝජන ශක්‍යතාවයට ඇති කරන යහපත් බලපෑම පහත් සඳහන් ලෙස සංක්ෂිප්ත කර දැක්විය හැකිය.
අධිකරණ ස්වාධීනත්වය යහපත් ලෙස පැවතීම
↓
එවිට අපක්ෂපාතී හා පුරෝකථනය කළ හැකි අධිකරණ තීරණ ඇතිවීම
↓
එහි ප්‍රතිඵලයක් ලෙස දේපළ සහ ගිවිසුම්ගත අයිතිවාසිකම් ඵලදායී ලෙස ආරක්ෂා කිරීම
↓
එමගින් නීතියේ නිශ්චිත භාවය වැඩිවීම
↓
ඒ නිසා දේශපාලනික මැදිහත්වීම අඩුවීම සහ නෛතිකමය අවදානම අඩුවීම.
↓
එමගින් ආය්‍යකයන්ගේ විශ්වාසය වැඩිවීම.
↓
එහි ප්‍රතිඵලයක් ලෙස අඩු ප්‍රාග්ධන පිරිවැය සහ ගනුදෙනු පිරිවැය ඇතිවීම.
↓
එහි අවසාන ප්‍රතිඵලය ආයෝජකයන් ආයෝජනය කිරීමට වැඩි කැමැත්ත දැක්වීම
↓
එවිට විදේශ සෘජු ආයෝජන-FDI- වැඩිවීම
↓
මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ රැකියා + තාක්ෂණ හුවමාරුව + අපනයන + ආර්ථික වර්ධනය
ඊට ප්‍රතිවිරුද්ධව අධිකරණ ස්වාධීනත්වය නොමැති වුවහොත් හෝ දුර්වල වුවහොත් පහත සඳහන් චක්‍රීය ප්‍රතිවිපාක ඇතිවිය හැක.
අධිකරණ ස්වාධීනත්වය නොමැති වීම හෝ දුර්වල වීම
↓
දේශපාලන මැදිහත්වීම / අවිනිශ්චිතතාව වැඩිවීම
↓
අධිකරණ පිළිබඳ විශ්වාසය අඩුවීම
↓
දේපළ හා ගිවිසුම්වල ආරක්ෂාව දුර්වල වීම
↓
එමගින් වැඩි නීතිමය හා දේශපාලන අවදානම ඇතිවීම
↓
ඒ නිසා ආයෝජන පිරිවැය වැඩි වීම
↓
ප්‍රතිඵලයක් ව්‍යාපෘති ප්‍රමාද වීම හෝ අවලංගු කිරීම
↓
එවිට ආයෝජකයන් ප්‍රාග්ධනය වෙනත් රටවලට යොමු කිරීම.
↓
එවිට රටෙහි FDI අඩු වීම
21. සැබෑ අධිකරණ ස්වාධීනත්වය සහ දෘශ්‍ය අධිකරණ ස්වාධීනත්වයේ - Perceived Independence of Judiciary - වැදගත්කම
සැබෑ අධිකරණ ස්වාධීනත්වය මෙන්ම සංජානනය කරන ලද අධිකරණ ස්වාධීනත්වය ද වැදගත් වේ.
අධිකරණයට ස්වාධීනත්වය පිළිබඳ විධිමත් ව්‍යවස්ථාමය සහතික තිබිය හැකිය. නමුත් විනිසුරුවන් දේශපාලනික වශයෙන් බලපෑමට ලක්ව සිටින බව ආයෝජකයන් විශ්වාස කරන්නේ නම් ආයෝජන පරිසරයට අහිතකර බලපෑමක් ඇති විය හැකිය.
ආයෝජන තීරණ ගනු ලබන්නේ අවදානම පිළිබඳ සංජානනය මතය.
එබැවින් ශ්‍රී ලංකාව විධිමත් ව්‍යවස්ථාමය ආරක්ෂණ පවත්වා ගැනීම පමණක් නොව පහත කරුණු ද සහතික කළ යුතුය:
(අ) අධිකරණ පත්කිරීම් විශ්වාසනීය වීම;
(ආ)විනය ක්‍රියාමාර්ග විනිවිදභාවයෙන් සිදු කිරීම;
(ඇ) විනිසුරුවන් අනිසි බලපෑම්වලින් ආරක්ෂා කිරීම;
(ඈ) දේශපාලන බලධාරීන් අධිකරණ තීන්දු ගරු කිරීම;
(ඉ)රජයට එරෙහි තීන්දු ක්‍රියාත්මක කිරීම;
(ඊ);අධිකරණ පරිපාලනය වෘත්තීයමය ආකාරයෙන් පවත්වාගෙන යාම; සහ
(උ) අධිකරණය අපක්ෂපාතී බවට මහජන සහ ආයෝජක විශ්වාසය තහවුරු කිරීම.
22. අධිකරණ ස්වාධීනත්වය යනු අධිකරණ ආධිපත්‍යය නොවේ.
අධිකරණ ස්වාධීනත්වය සහ අධිකරණ ආධිපත්‍යය එකිනෙකට සමාන නොවේ.
ස්වාධීන අධිකරණයක් යනු විනිසුරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ නීතියට ඉහළින් සිටින බවක් නොවේ.එහෙත් අධිකරණ ස්වාධීනත්වය යනු විනිසුරුවන්ට බාහිර අනිසි බලපෑමකින් තොරව තම ව්‍යවස්ථාමය සහ නීතිමය කාර්යයන් ඉටු කිරීමට හැකි වීමයි.
විනිසුරුවන් ද නීත්‍යානුකූල ව්‍යවස්ථාමය ක්‍රමවේද තුලින් වගවීමට යටත් විය යුතුය.
එම නිසා රාජ්‍යයක ප්‍රධාන අරමුණ විය යුත්තේ වගවීමෙන් තොර අධිකරණයක් නොව, ස්වාධීන, අපක්ෂපාතී, දක්ෂ සහ වගකීම් සහිත අධිකරණයක් නිර්මාණය කිරීමයි.
ආයෝජන සම්බන්ධයෙන් මෙම වෙනස විශේෂයෙන් වැදගත් වේ. මන්ද, ආයෝජකයන්ට අවශ්‍ය වන්නේ:
(අ) අත්තනෝමතික රාජ්‍ය ක්‍රියාමාර්ගවලින් ආරක්ෂාව; සහ
(ආ) අධිකරණ තීන්දු ආර්ථික හෝ දේශපාලන අවශ්‍යතා මත නොව නීතිය මත පදනම් වන බවට විශ්වාසය යි.
23. ජාත්‍යන්තර ආයෝජන ආරක්ෂාව සහ ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ආයෝජන ආරක්ෂණ රාමුවේ කොටසක් ද වේ.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, ශ්‍රී ලංකාව ආයෝජන අර්බුද නිරාකරණය කිරීම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය- ICSID - පාර්ශ්වකරුවෙකු වන අතර, 1958 වසරේ විදේශ බේරුම්කරණ තීන්දු පිළිගැනීම සහ බලාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්ක් සම්මුතියේ ද අත්සන්කරුවෙකි.
මෙම යාන්ත්‍රණ විදේශ ආයෝජකයන්ට අතිරේක ආරක්ෂාවක් සපයයි.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර බේරුම්කරණයේ පැවැත්ම දේශීය අධිකරණ ස්වාධීනත්වයේ වැදගත්කම ඉවත් නොකරයි.
දේශීය අධිකරණ තවදුරටත් පහත කරුණු සම්බන්ධයෙන් වැදගත් වේ:
(අ) අතුරු නියෝග;
(ආ) බේරුම්කරණ තීන්දු බලාත්මක කිරීම;
(ඇ) බේරුම්කරණ තීන්දු අභියෝග කිරීම; සහ
(ඈ) පහත සඳහන් ආරවුල් විසදීම සඳහ;
(i) සමාගම් ආරවුල්;
(ii) දේපළ ආරවුල්;
(Iii) නියාමන තීරණ;
(iv) අපරාධ ක්‍රියාමාර්ග;
(v) බදුකරණය;
(vi) බංකොලොත්භාවය;
(vii) ගිවිසුම්ගත අයිතිවාසිකම් බලාත්මක කිරීම.
එබැවින් ජාත්‍යන්තර බේරුම්කරණය විශ්වාසනීය දේශීය අධිකරණ පද්ධතියකට ආදේශකයක් නොව, එය සම්පූර්ණ කරන යාන්ත්‍රණයක් විය යුතුය.
24. ශ්‍රී ලංකාව සඳහා ප්‍රතිපත්තිමය නිර්දේශ
ශ්‍රී ලංකාවට FDI සැලකිය යුතු ලෙස වැඩි කිරීමට අවශ්‍ය නම්, අධිකරණ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම ආයෝජන උපායමාර්ගයේ කොටසක් විය යුතුය.
24.1 විනිසුරුවන්ගේ ධුර ආරක්ෂා කිරීම
ව්‍යවස්ථාමය විධිවිධානවලට අනුකූලව විනිසුරුවන්ට ආරක්ෂිත ධුර කාලයක් ලබා දිය යුතු අතර, රජයට අප්‍රිය තීන්දු ලබාදීම හේතුවෙන් අත්තනෝමතික ලෙස ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ බියක් ඇති නොවිය යුතුය.
24.2 විනිවිදභාවයෙන් යුත් අධිකරණ පත්කිරීම්
අධිකරණ පත්කිරීම් සම්බන්ධයෙන් කුසලතාව, අවංකභාවය, වෘත්තීය නිපුණතාව සහ ස්වාධීනත්වය ප්‍රධාන නිර්ණායක බවට මහජනයා සහ ආයෝජකයන් තුල විශ්වාසයක් ඇති කළ යුතුය.
24.3 අධිකරණ වැටුප් ආරක්ෂා කිරීම
මූල්‍යමය සුරක්ෂිතතාව අධිකරණ
ස්වාධීනත්වයේ වැදගත් අංගයකි.
24.4 වාණිජ යුක්තිය ශක්තිමත් කිරීම
සංකීර්ණ වාණිජ සහ ආයෝජන ආරවුල් කාර්යක්ෂමව විසඳීම සඳහා විශේෂිත යාන්ත්‍රණ තවදුරටත් සංවර්ධනය කළ යුතුය.
24.5 නඩු ප්‍රමාදය අවම කිරීම
“යුක්තිය ප්‍රමාද වූ විට යුක්තිය ප්‍රතික්ෂේප කරනු ඇත.” මෙම විශ්වයේ මූලධර්මය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. දිගුකාලීන නඩු ප්‍රමාදයන් ආයෝජන පිරිවැය වැඩි කරන අතර විදේශ ආයෝජකයන් අධෛර්යමත් කරයි.
24.6 අධිකරණ තීන්දු බලාත්මක කිරීම
තීන්දුවක් ඵලදායීව බලාත්මක කළ නොහැකි නම් එහි ආර්ථික වටිනාකම සීමා වේ.
24.7 අධිකරණ තීන්දු ගරු කිරීම
රජයට අවාසිදායක තීන්දු ඇතුළුව නීත්‍යානුකූල අධිකරණ තීන්දු සියලු රාජ්‍ය බල අංශ විසින් ගරු කළ යුතුය.
24.8 විනිවිදභාවය වැඩි කිරීම
අධිකරණ ක්‍රියාපටිපාටි, තීන්දු සහ පරිපාලන ක්‍රියාවලීන් විනිවිදභාවයෙන් යුක්ත හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි විය යුතුය.
24.9 විකල්ප ආරවුල් විසඳීම ශක්තිමත් කිරීම
වාණිජ බේරුම්කරණය සහ මැදිහත්වීම සාමාන්‍ය අධිකරණ පද්ධතියට ආදේශකයක් ලෙස නොව, එය සමඟ සමගාමීව සංවර්ධනය කළ යුතුය.
24.10 ආර්ථික ප්‍රතිපත්තිවල අඛණ්ඩතාව පවත්වා ගැනීම
අධිකරණ ස්වාධීනත්වයට පමණක් පුරෝකථනය කළ නොහැකි ආර්ථික ප්‍රතිපත්තිවලට සම්පූර්ණ විසඳුමක් ලබාදිය නොහැක.
එබැවින් අධිකරණ ස්වාධීනත්වය පහත දැක්වෙන පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහනක කොටසක් විය යුතුය:
(i) නියාමන ප්‍රතිසංස්කරණ;
(ii) රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය;
(iii) ආයෝජන ආරක්ෂාව;
(iv) දූෂණ විරෝධී ක්‍රියාමාර්ග;
(v) පරිපාලන ප්‍රතිසංස්කරණ; සහ
(vi) ආර්ථික ප්‍රතිපත්තිවල අඛණ්ඩතාව.
25. නිගමනය
විදේශ ආයෝජනය මූලික වශයෙන් අවදානම සහ විශ්වාසය පිළිබඳ තීරණයකි.
විදේශ ආයෝජකයෙකු ශ්‍රී ලංකාව ආකර්ෂණීය ආයෝජන අවස්ථා සපයන්නේද යන්න පමණක් නොව, ආයෝජනයේ සමස්ත ජීවිත කාලය පුරාම එම ආයෝජනය ආරක්ෂා කරන නීතිමය හා ආයතනික පරිසරයක් රට තුළ පවතින්නේද යන්න ද විමසයි.
විවෘත ආර්ථික ප්‍රතිපත්තිය/BOI යුගය ආරම්භ වූ 1978 සිට ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 22කට වැඩි සමුච්චිත සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කරගෙන ඇති අතර, 2025 වර්ෂයේදී FDI ප්‍රවාහය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.057ක් දක්වා ළඟා වී ඇත.
කෙසේ වෙතත්, අනාගතයේදී ඊට වඩා සැලකිය යුතු ලෙස විශාල FDI ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වීම මූල්‍ය දිරිගැන්වීම් මත පමණක් නොව, ආයතනවල විශ්වාසනීයත්වය මත ද රඳා පවතී.
අධිකරණ ස්වාධීනත්වය එවැනි ආයතනික සාධකයකි.
විදේශ ආයෝජන සඳහා අධිකරණ ස්වාධීනත්වයේ වැදගත්කම සරල ප්‍රකාශයකින් මෙසේ සාරාංශ කළ හැකිය:
“ප්‍රාග්ධනය අවස්ථා සොයයි; නමුත් දිගුකාලීන ප්‍රාග්ධනය සොයන්නේ ආරක්ෂාවයි.”
විදේශ ආයෝජකයන්ට අවශ්‍ය ආරක්ෂාව හුදෙක් භෞතික ආරක්ෂාවක් නොවේ. එය නීතිමය ආරක්ෂාවකි—දේපළ අයිතිවාසිකම් ගරු කරනු ලබන බවටත්, ගිවිසුම් බලාත්මක කළ හැකි බවටත්, පරිපාලන බලය නීතියට යටත් බවටත්, ආරවුල් අපක්ෂපාතී ආයතනයක් මඟින් තීරණය කරනු ලබන බවටත් ඇති සහතිකයයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝක බැංකුවේ පර්යේෂණ මඟින් කාර්යක්ෂම අධිකරණ, ගිවිසුම් බලාත්මක කිරීම සහ ආයෝජක විශ්වාසය අතර සම්බන්ධතාව හඳුනාගෙන ඇත.
ජාත්‍යන්තර ආයෝජන භාවිතය තුළ ද දේශීය අධිකරණ අකාර්යක්ෂම, පක්ෂග්‍රාහී හෝ ප්‍රමාණවත් ලෙස ස්වාධීන නොවන බවට හැඟීමක් ඇති විට විදේශ ආයෝජකයන්ට එම අධිකරණ මත රඳා සිටීමට අකමැති විය හැකිය.
ඒ අනුව අධිකරණ ස්වාධීනත්වය දුර්වල වීමේ ප්‍රතිවිපාක අධිකරණ ශාලාවෙන් බොහෝ දුරට ඔබ්බට විහිදේ.
එය:
දේශපාලනික සහ නියාමන අවදානම වැඩි කළ හැකිය;
දේපළ සහ ගිවිසුම්ගත අයිතිවාසිකම් ආරක්ෂා කිරීම දුර්වල කළ හැකිය;
ගනුදෙනු පිරිවැය වැඩි කළ හැකිය;
ප්‍රාග්ධන පිරිවැය ඉහළ නැංවිය හැකිය;
දිගුකාලීන ආයෝජන අධෛර්යමත් කළ හැකිය; සහ
අවසානයේදී විදේශ ප්‍රාග්ධනය තරඟකාරී වෙනත් රටවලට යොමු කළ හැකිය.
ඊට ප්‍රතිවිරුද්ධව, ස්වාධීන, අපක්ෂපාතී, කාර්යක්ෂම, දක්ෂ සහ ගරුත්වයට පාත්‍ර වූ අධිකරණයක් ශ්‍රී ලංකාව සඳහා වැදගත් තරඟකාරී වාසියක් බවට පත්විය හැකිය.
එබැවින් අධිකරණ ස්වාධීනත්වය හුදෙක් ව්‍යවස්ථාමය අවශ්‍යතාවක් හෝ විනිසුරුවන් සහ නීතිඥයන් සම්බන්ධ කරුණක් ලෙස පමණක් ලෙස නොසැලකිය යුතුය.
එය ආර්ථික අවශ්‍යතාවක් සහ තිරසාර විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ උපායමාර්ගයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ද පිළිගත යුතුය.
ආචාර්ය නීතිඥ රාජා ගුණරත්න.
ජේෂ්ඨ කථිකාචාර්ය
නීති අධ්‍යාන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාව විවෘත විශ්ව විද්‍යාලය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..
22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්.. - නිගමනය කථානායකට..
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරේ..
‘හමුදා රහසක්’: රුසියාවේ ‘නීත්‍යානුකූල ඉලක්ක’ පිළිබඳ පුටින් කියෙව් සහ ලන්ඩනය දෙගිඩියාවට පත් කරයි — ප්‍රධාන ප්‍රකාශ
මාලිමා මන්ත්‍රීවරු 159ට එරෙහිව දිනන දකුණින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හැම ඒකාධිපතියෙක්ම කියන්නේ තමන්ගේ තීරණ ජනතාව වෙනුවෙන් කියලයි.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
22ට එරෙහි පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
රේගු වංචාව වසන් කළැයි ජනාධිපති ලේකම්ට එරෙහිව බරපතළ චෝදනාවක්!.. පරීක්‍ෂණ වාර්තාව එළියට..
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් සැබෑ කරුණු සඟවලා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් සියල්ල හෙළිකරයි..
22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද..
ෂී ජින්පින් ටිබෙටයේ දැවැන්ත මුදාගැනීමේ මෙහෙයුමකට නියෝග කරයි..
Xizang ස්වයං පාලන කලාපයේ ආපදාවෙන් මියගිය චීන ජාතිකයන් වෙනුවෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ශෝකය.. අන්තර් දේශසීමා ආපදා රාමුවක අවශ්‍යතාව පෙන්වා දෙයි..
22ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට.. - විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්..
විනිසුරු විශ්‍රාමික වයස දීර්ඝ කිරීම අධිකරණ ස්වාධීනත්වයට හානියක්ද? - ආචාර්ය නීතිඥ රාජා ගුණරත්නගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජය දී ඇති පිළිතුරු සාවද්‍යයි.. - දිනන දකුණ
ඉරානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් මින්හාඩ් ගුවන් හමුදා කඳවුරට ඩ්‍රෝන ප්‍රහාරයක්..