News Category
From Date
To Date
Maximum Number of Result

සුරේෂ් සලේ ගැන විශ්‍රාමික මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂ කියන කතාව..

Jun 18, 2026 at 09:41 AM
|

හමුදා නිලධාරියකුට වැඩියෙන්ම වටින්නේ ඔහුගේ නිල ඇඳුමය. ඒ සා වටිනා නිල ඇඳුම බොහෝ කාලයක් පුරා ඇඳීමට මේජර් ජෙනරාල් සුරේෂ් සලේට ඉඩ ලැබුණේ නැත. ඊට හේතුව නිල ඇඳුම අඳිනවාට වඩා වටිනාකමින් වැඩි රාජකාරියක් ඔහුට රට වෙනුවෙන් පැවරුණු නිසාය. ඒ රාජකාරිය කරන්නෝ නිල ඇඳුම වෙනුවට අඳින්නේ සිවිල් ඇඳුමය. සුරේෂ් සලේට රාජකාරි දිවියේදී නිල ඇඳුම පසෙකින්  තැබීමට වූයේ  ඔහු බුද්ධි නිලධාරියකු වන නිසාය. එනමුත් ඔහු මීට 38 වසරකට පෙර දෙවැනි ලුතිනන්වරයකු ලෙස අධිකාරි ලැබුවේ සන්නද්ධ බුද්ධි අංශ නිලධාරියකු ලෙස නොවෙයි. 

එදවස යුද හමුදාවේ සන්නද්ධ බුද්ධි බළකායක් (M.I.C) තිබුණේ නැත. අනූව දශකයේ මුල එය ආරම්භ වන්නේ කර්නල් ලයනල් බලගල්ලගේ ප්‍රධානත්වයෙනි. පසු කාලයක ඔහු යුද හමුදාපති ධුරයටද පත් වුණේය. සුරේෂ් සලේ යුද හමුදාවට එක් වන්නේ නිත්‍ය කැඩෙට් නිලධාරීන් බඳවා ගැනීමේ පාඨමාලා අංක 27 යටතේය.

"සුරේෂ් සලේ වගේම මමත් යුද හමුදාවට බැදුණේ 1987 මාර්තු 16 වැනිදා. ඒ ඉන්ටේක් 27යටතේ. අපේ කණ්ඩායමේ 76 දෙනෙක් හිටියා. ඒ  76 දෙනා අතරින් සලේ කියන්නේ හරිම අහිංසක, නිහඬ වගේම දක්ෂ කෙනෙක්. ඔහුගේ කායික සෞඛ්‍ය සහ  ශාරීරික හැකියාවත් ඉතාම හොඳ මට්ටමක තිබුණා. දක්ෂම නිලධාරීන් දහදෙනා අතරේ හැමදාම සලේගේ නම තිබුණා. මම පාඨමාලාවේ දහවැනියා හැටියට අධිකාරි ලබද්දි  සුරේෂ් සලේ  නවවැනියා හැටියට අධිකාරිය ලැබුවා. ඒ නිසා මට ඔහුව ඒ දවස්වලත් හොඳට මතකයි. 1987  මාර්තු 16 වැනිදා පුහුණුවට එක්වුණු 27 වන බඳවාගැනීම් කණ්ඩායමේ අපි 1988 දෙසැම්බර් දහ වැනිදා අධිකාරි ලබා යුද හමුදා  නිලධාරීන් ලෙස සේවයට පිවිසුණා. 76ක් සිටි අපේ කණ්ඩායමෙන් 56 පමණ තමයි අධිකාරි ලැබුවේ".

මෙලෙස කියන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂය. යුද හමුදාවේ භාෂාවෙන්ම කියන්නේ නම් සලේ හා උපාලි ‘බැචාලා’ ය. ඒ බැචාලාගේ  පිරිසේ සිටි බොහෝ දෙනෙක් මේජර් ජෙනරාල් නිලය දරා ඉසිඹු ලැබුවේ යුද හමුදාවේ නමක් ඉතිරි කරමිනි. මේජර් ජෙනරාල්වරු වූ නිශාන්ත හේරත්, සුජීව සෙනරත් යාපා, සංජය වනසිංහ, වන්දික මාහිංකන්ද, සුමිත් ප්‍රේමලාල්, ප්‍රියන්ත ගමගේ, උපුල් පිලපිටිය, අශෝක පීරිස් , සාරද සමරකෝන්, චම්පක රණසිංහ, සමන්ත ද සිල්වා මෙන්ම  බ්‍රිගේඩියර් කුමාර ඊශ්වරන් හා  ප්‍රියන්ත කල්දේරා ද ඒ අතර සිටියහ. 

මේ පිරිස අතර සිටි සංජය වනසිංහ විශ්‍රාම ලැබුවේ යුද හමුදාවේ දෙවැනි පුටුව වූ මාණ්ඩලික ප්‍රධානී තනතුර දරා ය.  ඔහු යුද හමුදාපති වූවානම් එය ලෝක වාර්තාවකි. ඒ ඔහුගේ පියා වූ ජෙනරාල් හැමිලටන් වනසිංහ ද හිටපු හමුදාපතිවරයකු වන නිසාය. සිය බැචා ගැන මේ කතාව කියන උපාලි රාජපක්ෂ කොමන්ඩෝ රෙජිමේන්තුවට අයත් නිලධාරියෙකි. කොමාන්ඩෝ රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපතිවරයා ලෙස ද රාජකාරි කළ  ඔහු යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ, 68 වන සේනාංකාධිපති මෙන්ම මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති ධුරයද දරා ඇත්තේය.

මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂ කියන හැටියට මුල් අවදියේ සුරේෂ් සලේගේ එකම සිහිනය වී තිබුණේ ‘සිග්නල්’ හෙවත්  ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බළකායට එකතු වීමය. එනමුත් ඔහු අධිකාරිය ලැබුවේ ගැමුණු හේවා බළඇණියේ දෙවැනි ලුතිනන්වරයකු ලෙසය. එවකට ඔහුගේ රෙජිමේන්තුවේ ප්‍රධානියා හැටියට රාජකාරී කර තිබුණේ බ්‍රිගේඩියර් හලංගොඩයි. බ්‍රිගේඩියර් හලංගොඩගේ නායකත්වයෙන් යුත් ගැමුණු රෙජිමේන්තුවේ වසරක පමණ සේවයකින් අනතුරුව, තමන් දිගු කලක් සිහින දුටු  ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බළකායට එක්වීමට සලේට අවස්ථාව හිමි වූවේ ය. එතැන් සිට ඔහුගේ වෘත්තීය ජීවිතය බුද්ධි සහ සන්නිවේදන ක්ෂේත්‍රය ඔස්සේ ඉදිරියට ගමන් කළේය. සුරේෂ් සලේගේ ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බළකායට එක්වීමේ සිහිනය කොතරම් ප්‍රබලද යන්න ඔහුගේ කණ්ඩායම් සගයකු  වූ උපාලි රාජපක්ෂ ඉතා සමීපව දැක තිබුණේ ය.

"සටන් බිමේ යුද්ධ කරනවාට වඩා මොළය වෙහෙසවමින් කරන කටයුතුවලට සලේගේ දැඩි උනන්දුවක් තිබුණා. ඔහුගේ බුද්ධි මට්ටම ඉතා ඉහළයි. සලේ යුද්ධ බිමේදී  දුර්වලයි කියලා නොවෙයි මම මේ කියන්නේ. පුහුණු කාලයේදී ඉතා උනන්දුවෙන්, කම්මැළි නැතුව, කාර්ය ශූරව හැම දෙයක්ම ඔහු කළා. මම හැමදාම හැම පුහුණුවකදීම පළමුවෙනියා වුණත් කවදාවත් මට පළමුවෙනියා වෙන්න බැරිවුණු දෙයක් තියෙනවා. ඒ තමයි හැතැප්ම දිවීම. ක්‍රීඩා ඇඳුම ඇඳගෙන හැතැප්මක් දුර  දුවද්දී  හැමදාම සලේ මාව පහු කරගෙන යනවා.  සලේ දුවන්නෙ 4-5 වෙනියට වගේ. මම දුවන්නේ 5-6 ට වගේ. ශරීරයෙන් පොඩි වුණාට ඔහුගේ කායික ශක්තියත් උපරිමයෙන් තිබුණා. අපි නම් දෙයක් වුණාම ගහගන්න හරි යනවනේ. සලේ එහෙම දරුණු නෑ. ඔහු හරිම අහිංසක, සුහදකෙනෙක්. ඒ නිසා සංග්‍රාම භූමියට ගිහින් සතුරාට වෙඩි තියනවාට වඩා උපායශීලීව කටයුතු කරලා  සතුරා පරාජය කළොත් හොඳයි කියලා සලේට හිතෙන්න ඇති. මොකද හැම වෙලාවකම නායකයෙක් හමුදා නිලධාරියෙක් තුළ තිබිය යුතු උපායශීලීත්වය ඔහු තුළ අඩුවක් නැතුව තිබුණා. සලේ සංඥා බළකාය තෝරගත්තේ ඒ නිසා වෙන්න ඇති කියලා මට හිතෙනවා." 

දියතලාවේ යුද හමුදා විද්‍යා පීඨයේ පුහුණු කාලය අතරතුර ඇතැම් දිනවල සලේගේ  මවුපියන් සිය පුතාගේ සුව දුක් දුක් බැලීමට පැමිණි බවත් සලේ මෙන්ම ඔහුගේ මව සහ පියාද ඉතාම අහිංසක තැනැත්තන් බවත් සලේගේ පවුල පිළිබඳව දන්නේ මොනවාදැයි අප විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් උපාලි රාජපක්ෂ පැවැසුවේය. ඔහු කියන හැටියට සලේගේ පවුලේ අයගේ තොරතුරු ගැන සමාජ මාධ්‍ය වෙන ප්‍රචාරය වන තොරතුරු බොහොමයක් බොරු ය.

‘‘සුරේෂ් සලේගේ තාත්තා මැලේ ජාතිකයෙක්. අම්මා කතෝලික කාන්තාවක්.  කොහොම වුණත් සලේගේ පවුලේ ඉස්ලාම් භක්තිකයන් වගේම කතෝලික සහ බෞද්ධාගමිකයෙනුත් ඉන්නවා. සලේගේ තාත්තා තුවාන් හරීෂ් සලේ සහ අම්මා අතර අවුරුදු දහයක පමණ වයස් පරතරයක් තිබිලා තියෙනවා. දැන් සමහරු ඒකත් අල්ලගෙන මඩ ගහනවා. ඒවා හරිම පහත් දේවල්.  සලේත්  එක්ක පවුලේ පිරිමි දරුවෝ හතර දෙනයි. සලේ පවුලේ දෙවැනියා.  ඔහුට වැඩිමල් සහෝදරයා ටිරෝන් සලේ. තුන්වැනියා සෙල්වින් සලේ. බාලයා රමේෂ් සලේ. මේ හතර දෙනාම හරිම අහිංසකයි. ඒ වගේම ඉතාම දක්ෂයි." 

සුරේෂ් සලේ මෙන්ම ඔහුගේ සොයුරන් තිදෙනාද අධ්‍යාපනය ලබා ඇත්තේ සිංහල  පාසලක් වන කොළඹ මහානාම විද්‍යාලයෙනි. ඔවුන් අතරින් වැඩිමහල් සොහොයුරා වන ටිරෝන් මේ වන විට විදේශගතව සිටින්නේය. තෙවැනි සහ සිව්වැනි සොයුරන් දෙදෙනාද තම වෘත්තීය ජීවිතය සඳහා   ආරක්ෂක අංශම තෝරාගෙන තිබීම ද  විශේෂත්වයකි. සෙල්වින් සලේ, කොමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස සේවය කරමින් මෙහෙයුම් රැසකට දායක වූ විරුවෙකි. කොමන්ඩෝ රෙජිමේන්තුව සිය ඉතිහාසයේ මුහුණ දුන් බිහිසුණුම සටනට මුහුණ දී දිවි බේරා ගත් අයෙකි. ජයසිකුරු මෙහෙයුම අතරතුර තුවාල ලැබීම හේතුවෙන් වෛද්‍ය හේතු මත මේ වන විට යුද හමුදා සේවයෙන් ඉවත්ව සිටියි. "මන්නකුලම් සටන කමාන්ඩෝ ඇසින්" කෘතිය රචනා කළේද ඔහුය. අනෙක් සොහොයුරා වන රමේෂ් සලේ දැනට යුද හමුදා විනයාරක්ෂක රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල්වරයකු ලෙස සේවය කරන්නේ ය. තම එක් සොයුරෙක් කොමාන්ඩෝ  රෙජිමේන්තුවත් තවත් සොයුරෙක් යුද හමුදා පොලිසියත් තෝරා ගනිද්දී ගැමුණු හේවා බළකායේ සිට සංඥා බළකායට මාරු වූ සුරේෂ් සලේ කෙටි කලකින් සන්නද්ධ බුද්ධි බළකාය තෝරා ගත්තේය. බුද්ධි බළකායට ඔහු  පත්වීමට ඔහු සතු සුවිශේෂී කුසලතා මෙන්ම, දෙමළ භාෂාව ඇතුළු භාෂා කීපයක් චතුර ලෙස හැසිරවීමට  තිබූ හැකියාව ද ප්‍රධානම හේතුවක් වන්නට ඇත. ඉන්පසුව සලේගේ ජීවිතයේ වූ සුවිශේෂී වෙනස්කම් සම්බන්ධයෙන් උපාලි රාජපක්ෂ මෙලෙස මතකය අවදි කළේය. 

"මගේ මතකයේ හැටියට 96  ජුනි මාසයේදී වගේ සලේ මේජර් වුණා. මම දන්න විදිහට ඔහු අවුරුදු දහයක පමණ කාලයක් මේජර් තනතුරේම හිටියා. මමත් අවුරුදු දාහතරක් මේජර් තනතුරේ ඉඳලා තියෙනවා. සලේ යුද්ධ කළේ නෑ කියලා සමහරු අද කියනවනේ. ඒ කතාව බොරුවක්. ඔහුත් යම් තරමකට හෝ ඒ යුද කටයුතුවලට දායක වුණා. ඔහු  බුද්ධි නිලධාරියෙක්. මේ නිසා ඔහු කළ මෙහෙයුම් ගැන  ඔහුට කියන්න පුළුවන්කමක් නෑ. 2009 යුද්ධයෙන් පසුව එල්ටීටීඊය වන්නි කැලේ නැවැත නැගිටීම වැළැක්වීමට  ඔහු විශාල මෙහෙයක් කළා. නමුත් ඒ ගැන වැඩිදුර තොරතුරු හෙළි කරන්න බැහැ. ඉන්පසුව සුරේෂ්ට පුහුණු පාඨමාලා කිහිපයකට විදේශගත වුණා කියලත් මට දැනගන්න ලැබුණා. 2016 අවුරුද්දේ සුරේෂ් මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ රාජකාරි කටයුතුවලට ගියා. 2018 අවුරුද්දේ අවසාන කාලයේදී යුද හමුදාපති හැටියට මහේෂ් සේනානායක පත් වුණා. ඔය අතර සුදුසුකම් අනුව 

ජාතික ආරක්ෂක විද්‍යාලයේ පාඨමාලාව සඳහා ඉන්දියාවට යන්න අවස්ථාවක්  තිබෙන බව සලේට  දැන ගන්න ලැබිලා තියෙනවා. ඒ අනුව  2018 අවසාන කාලයේ ලංකාවට ආ සලේ සති දෙකක් ඇතුළත අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන  ඉන්දියාවට ගියා. සලේත් සමග තවත් නිලධාරීන් දෙන්නෙක් ඒ පාඨමාලාව හදාරන්න ගිහින් තියෙනවා." 

සිසුන් එකසිය තිහක් පමණ සිටි එම පාඨමාලාවේදී දක්ෂතම සිසුන් පස්දෙනා අතරට සුරේෂ් සලේ ද  තේරී පත්ව ඇත්තේය. එහිදී සිසුවකු විසින් ඉදිරිපත් කරන ලද හොඳම පර් යේෂණ නිබන්ධනයට හිමි සම්මානය දිනාගෙන ඇත්තේද සුරේෂ් සලේ විසින් සම්පාදනය කරන ලද පර්යේෂණ ග්‍රන්ථයයි. 

"2019 වර්ෂයේ අග භාගයේදී විතර අර පාඨමාලාව සාර්ථකව අවසන් කරලා සුරේෂ් සලේ ලංකාවට ආවා. එතකොට පාස්කු ප්‍රහාරය වෙලා ඉවරයි. 2019 අවුරුද්දේ මාර්තු මාසයේ මන්නාරමේදී සලේව දැක්කා කියලා කවුරු හරි කියලා තිබුණා. ඒත් එහෙම වෙන්න විදිහක් නෑ. පාඨමාලාව හදාරන අතරතුරු සලේ වරින්වර ලංකාවට ආවද නැද්ද කියල කාට වුණත් අවශ්‍ය නම් හොයලා බලන්න පුළුවන්නේ. කොහොම වුණත් සලේ ලංකාවට එද්දි  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා. අර පාඨමාලාවේදී දැක්වූ දක්ෂතා නිසා වගේම යුද හමුදාවේ හිටපු බුද්ධි සන්නද්ධ අධ්‍යක්ෂ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සලේට ජාතික බුද්ධි ප්‍රධානී  තනතුර දෙනවා. ඒ පත්වීම වෙද්දිත් පාස්කු ප්‍රහාරය වී අවසන්. ජාත්‍යන්තර ත්‍රස්තවාදී ජාලයට දැඩි බලපෑමක් කළ සලේ ත්‍රස්තවාදින්ගේ  මූල්‍යමය අධාර ජාලය අඩපණ  කිරීමට  ප්‍රංශයේදිත්  මැලේසියාවෙදිත් ඉතා සූක්ෂමව කටයුතු කළා."

විශ්‍රාමික මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂ කියූ ආකාරයට මේජර් ජෙනරාල් සුරේෂ්  සලේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ මෙහෙයුම් සඳහාද  බුද්ධි  නිලධාරියකු ලෙස දායක වී ඇත්තේය. 2006–2009 ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරයා ලෙස රාජ්‍යතාන්ත්‍රික සේවයේ  කටයුතු කළ ඔහු 2012–2016 යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස යුද හමුදා  හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ  අධ්‍යක්ෂවරයා ලෙස පත් වුණේ ය. 2016 සිට  2018 වර්ෂය දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය  උපදේශකවරයකු ලෙස රාජ්‍යතාන්ත්‍රික සේවයේ ද සේවය කළේය. 2019  ජනවාරි  සිට  නොවැම්බර් දක්වා කාල සීමාවේ ඉන්දියාවේ නව දිල්ලියේ පිහිටි ජාතික ආරක්ෂක  විද්‍යාලයෙන්  උසස් ආරක්ෂක අධ්‍යයන පාඨමාලාවක් හැදෑරූ සුරේෂ් සලේ බ්‍රිගේඩියර් ධුරයේ සිටි  මේජර්  ජෙනරාල් ධුරයට උසස් කෙරුණි. අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයේ  අධ්‍යක්ෂවරයා  ලෙසද පත් විය. සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් මෙහෙයවනු ලබන  මෙම ආයතනයට, හමුදා බුද්ධි අංශ නිලධාරියකු පත් කළ පළමු අවස්ථාව මෙය වීමද  විශේෂත්වයකි. 2024 වසරේ වූ දේශපාලන වෙනස්වීම් සමග මේජර් ජෙනරාල් සුරේෂ් සලේ  එම  ධුරයෙන් ඉවත් කෙරිණි. 2024 අගභාගයේ බුද්ධි අංශ සේවයෙන් විශ්‍රාම  ගැනීමෙන් පසු, ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ප්‍රතිපත්ති සම්පාදක ආයතනයක  ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ලෙස කෙටි කලක් කටයුතු කළේය. 

පාස්කු ප්‍රහාරය වන කාල සීමාවේදී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ලංකාවේ නොසිටි නිසා කාට වුවද ඒ පිළිබඳව සොයා බැලිය හැකි බවද විශ්‍රාමික මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂ කියන්නේය.  පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීමට තමා කිසිසේත්ම විරුද්ධ නොවන නිසා ඊට අදාළ කිසිදු නීතිමය කටයුත්තක් පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තුවක් නැති බව කියන ඔහු තවම වරදකරුවෙක් වී නැති සුරේෂ් සලේට මනුෂ්‍යත්වයෙන් සැලකිය යුතුය යන්න පමණක් අවධාරණය කරන්නේය.

"අපි මේ රට ආරක්ෂා කරගන්න කය වෙහෙසලා යුද්ධ කරද්දී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ තමන්ගේ බුද්ධිය මෙහෙයවමින් මේ රට වෙනුවෙන් විශාල කැප කිරීම් සමුදායක් කරලා තියෙනවා. එහෙම කැපකිරීම් කළ වටින මනුස්සයෙක්ට අද වෙලා තියෙන දේ ගැන කනගාටුයි. ඇත්තටම සලේ කියන්නේ අපේ රැහේ සගයෙක්. ඕනෑම කෙනෙක් වරදක් කරලා තියෙනවනම්, ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පවත්වලා වරද තහවුරු වූ පසුව අදාළ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ ගැන කිසිම විවාදයක් නෑ. අපි ඒ නීති කටයුතුවලට මැදිහත් වෙන්නේ හෝ බාධා කරන්නේ නෑ.  මේ රටේ නීතිය  හැමෝටම එක සේ බලපැවැත්විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. චෝදනා විමර්ශනය කරන අවස්ථාවේදී වගේම නීති ක්‍රියාවලිය පුරාම, සෑම පුද්ගලයකුටම මනුෂ්‍යත්වයෙන්, ගෞරවයෙන් සහ සාධාරණව සැලකීම උතුම් ගුණාංගයක් කියලයි අපි හිතන්නේ. අනෙක තවම වරදකරුවෙක් කියලා  තහවුරු වෙලා නැති පුද්ගලයෙක්  වරදකරුවෙක් ලෙස හංවඩු ගසමින් ඒ පුද්ගලයාගේ ආත්මය විනාශ කරන්න සමාජයට නම් කොහෙත්ම අයිතියක් නැහැ. එහෙම කරන මිනිස්සු කරන්නේ මනුෂ්‍යත්වයටත් නිගාවක්." 

"සාමාන්‍යයෙන් හමුදා නිලධාරි කණ්ඩායම්  අවුරුද්දකට වතාවක් මුණගැහෙනවනේ. හැම අවුරුද්දකම මාර්තු 16 වැනිදා අපේ කණ්ඩායම මුණ ගැහෙනවා. අවස්ථා කිහිපයකදීම සලේ ඒ හමුවට ආවෙත් නෑ. මම හිතන්නේ ඔහුට යම් අනතුරක් තිබෙනවා කියලා දැනෙන්න ඇති. ඒ නිසා ඔහු වඩාත් පරිස්සම් වුණා කියලයි මට හිතෙන්නේ. ලබන අවුරුද්දෙ මාර්තු මාසයට අපේ කණ්ඩායමට අවුරුදු හතළිහයි. ඒ හතළිහේ සැමරුමට සලේ එනවනම් මම කැමැතියි. ඔහුට ඒ සඳහා සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුරේෂ් සලේ කියන්නේ මටත් වඩා වටින මනුස්සයෙක්. මම ඒක හැමදාම කියනවා. වරදක් කරලා තියෙන කෙනෙක්ට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා මම කිසිම තැනක කියන්නේ නැහැ. නමුත් සුරේෂ්  සලේ පාස්කු ප්‍රහාරය වගේ අපරාධයකට වචනයකින් හෝ දායක වෙයි කියලා මට විශ්වාස කරන්න අමාරුයි. මේ වගේ ක්‍රියාවකට සම්බන්ධ නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ සම්බන්ධයෙන් නීතිමය විමර්ශන කෙරෙන එක හොඳයි. එතකොට ඔහුගේ නිර්දෝෂීභාවය නීතියෙන්ම සනාථ වෙනවනේ.  නමුත් මේ ක්‍රියාවලියේදී මානුෂීය වෙන්න කියලයි අපි කියන්නේ. ඔහු ඇත්තටම වරදක් කරලා නැත්නම් දැන් මේ ඔහු විඳින වධ හිංසාවලට අනාගතයේදී කවුද වන්දි ගෙවන්නේ. ආරක්ෂක අංශ පැත්තකින් තියමුකෝ. සලේ වරදකරුවෙක් කියලා කියන්න මේ සමාජයට තියෙන අයිතිය මොකක්ද කියන එක මට ප්‍රශ්නයක්."

"පාස්කු ප්‍රහාරය ගැන අපිටත් දුකයි. ඒ වගේම වසර තිහක් පුරා පැවැති කුරිරු යුද්ධය ගැනත් අපිට දුකයි. යුද්ධයෙන් මොනතරම් මිනිස් ජීවිත අහිමි වුණාද. අපේ ආරක්ෂක අංශ ලොකු කැප කිරීමක් කරලත් ඔවුන්ට ඉතිරි වුණේ යුද අපරාධ චෝදනා විතරනේ. අද ප්‍රභාකරන් ගැනවත් නැති තරහක් සමහරුන්ගේ හිත් තුළ සලේ ගැන තියෙනවා. ඔහු මොනවා කළාටද කියලා මට හිතා ගන්න බැහැ.  වරදක් කරලා තියෙනවා නම් ඒක හොයන්න විදිහක් තියෙනවනේ. අම්මගෙ වයස බිරිඳගෙ වයස පවුලේ තොරතුරු පවා අරගෙන සලේට  මේ තරම් අපහාස කරන එක අපිට දරාගන්න බෑ. ඔහු  දක්ෂයෙක්. රාජ්‍ය සේවා බුද්ධි ප්‍රධානී තනතුර ඔහුට ලැබුණේ ඒ දක්ෂකම නිසයි.  ඔහු සේවය කළේ ශ්‍රී ලංකා ජනරජයට, රට පාලනය කළ රාජ්‍ය නායකත්වයට මිස පුද්ගලික නමකට නොවෙයි. කවුරු රට පාලනය කළත් සුරේෂ් සලේ තමන්ගෙ වගකීම ඉටුකරන බව මට විශ්වාසයි. එකම අරමුණක් වෙනුවෙන් සටන් කළ අපේ සගයෙක්ට මේ තරම් අවලාද නැගෙද්දී අපිටත් වේදනයි." 

උපාලි රාජපක්ෂ කියන ආකාරයට ඔහුට සුරේෂ් සලේ අවසාන වතාවට මුණගැසී ඇත්තේ මීට අවුරුදු පහකට පමණ පෙරය.  ඇතැම් අවස්ථාවල සුරේෂ් සලේට තම මිතුරන් එකතු වූ සුහද හමු පවා මග හැරී තිබුණේය. එම නිසා දැනට එල්ල වී ඇති සියලු චෝදනාවලින් නිදහස් වී, ලබන වසරේ මාර්තු 16 වැනිදා පැවැත්වීමට නියමිත කැඩෙට් නිලධාරීන් බඳවාගැනීම් කණ්ඩායම් 27හි හතළිස්වන සංවත්සරයට සහභාගි වීමට විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට හැකියාව ලැබේවායි විශ්‍රාමික මේජර් ජෙනරාල්  උපාලි රාජපක්ෂ හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේය.

- නිරෝෂා වාසල

සති අග අරුණ 

2026.06.14

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.