News Category
From Date
To Date
Maximum Number of Result

සුරේෂ් සලේ ගැන විශ්‍රාමික මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂ කියන කතාව..

Jun 18, 2026 at 09:41 AM
|

හමුදා නිලධාරියකුට වැඩියෙන්ම වටින්නේ ඔහුගේ නිල ඇඳුමය. ඒ සා වටිනා නිල ඇඳුම බොහෝ කාලයක් පුරා ඇඳීමට මේජර් ජෙනරාල් සුරේෂ් සලේට ඉඩ ලැබුණේ නැත. ඊට හේතුව නිල ඇඳුම අඳිනවාට වඩා වටිනාකමින් වැඩි රාජකාරියක් ඔහුට රට වෙනුවෙන් පැවරුණු නිසාය. ඒ රාජකාරිය කරන්නෝ නිල ඇඳුම වෙනුවට අඳින්නේ සිවිල් ඇඳුමය. සුරේෂ් සලේට රාජකාරි දිවියේදී නිල ඇඳුම පසෙකින්  තැබීමට වූයේ  ඔහු බුද්ධි නිලධාරියකු වන නිසාය. එනමුත් ඔහු මීට 38 වසරකට පෙර දෙවැනි ලුතිනන්වරයකු ලෙස අධිකාරි ලැබුවේ සන්නද්ධ බුද්ධි අංශ නිලධාරියකු ලෙස නොවෙයි. 

එදවස යුද හමුදාවේ සන්නද්ධ බුද්ධි බළකායක් (M.I.C) තිබුණේ නැත. අනූව දශකයේ මුල එය ආරම්භ වන්නේ කර්නල් ලයනල් බලගල්ලගේ ප්‍රධානත්වයෙනි. පසු කාලයක ඔහු යුද හමුදාපති ධුරයටද පත් වුණේය. සුරේෂ් සලේ යුද හමුදාවට එක් වන්නේ නිත්‍ය කැඩෙට් නිලධාරීන් බඳවා ගැනීමේ පාඨමාලා අංක 27 යටතේය.

"සුරේෂ් සලේ වගේම මමත් යුද හමුදාවට බැදුණේ 1987 මාර්තු 16 වැනිදා. ඒ ඉන්ටේක් 27යටතේ. අපේ කණ්ඩායමේ 76 දෙනෙක් හිටියා. ඒ  76 දෙනා අතරින් සලේ කියන්නේ හරිම අහිංසක, නිහඬ වගේම දක්ෂ කෙනෙක්. ඔහුගේ කායික සෞඛ්‍ය සහ  ශාරීරික හැකියාවත් ඉතාම හොඳ මට්ටමක තිබුණා. දක්ෂම නිලධාරීන් දහදෙනා අතරේ හැමදාම සලේගේ නම තිබුණා. මම පාඨමාලාවේ දහවැනියා හැටියට අධිකාරි ලබද්දි  සුරේෂ් සලේ  නවවැනියා හැටියට අධිකාරිය ලැබුවා. ඒ නිසා මට ඔහුව ඒ දවස්වලත් හොඳට මතකයි. 1987  මාර්තු 16 වැනිදා පුහුණුවට එක්වුණු 27 වන බඳවාගැනීම් කණ්ඩායමේ අපි 1988 දෙසැම්බර් දහ වැනිදා අධිකාරි ලබා යුද හමුදා  නිලධාරීන් ලෙස සේවයට පිවිසුණා. 76ක් සිටි අපේ කණ්ඩායමෙන් 56 පමණ තමයි අධිකාරි ලැබුවේ".

මෙලෙස කියන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂය. යුද හමුදාවේ භාෂාවෙන්ම කියන්නේ නම් සලේ හා උපාලි ‘බැචාලා’ ය. ඒ බැචාලාගේ  පිරිසේ සිටි බොහෝ දෙනෙක් මේජර් ජෙනරාල් නිලය දරා ඉසිඹු ලැබුවේ යුද හමුදාවේ නමක් ඉතිරි කරමිනි. මේජර් ජෙනරාල්වරු වූ නිශාන්ත හේරත්, සුජීව සෙනරත් යාපා, සංජය වනසිංහ, වන්දික මාහිංකන්ද, සුමිත් ප්‍රේමලාල්, ප්‍රියන්ත ගමගේ, උපුල් පිලපිටිය, අශෝක පීරිස් , සාරද සමරකෝන්, චම්පක රණසිංහ, සමන්ත ද සිල්වා මෙන්ම  බ්‍රිගේඩියර් කුමාර ඊශ්වරන් හා  ප්‍රියන්ත කල්දේරා ද ඒ අතර සිටියහ. 

මේ පිරිස අතර සිටි සංජය වනසිංහ විශ්‍රාම ලැබුවේ යුද හමුදාවේ දෙවැනි පුටුව වූ මාණ්ඩලික ප්‍රධානී තනතුර දරා ය.  ඔහු යුද හමුදාපති වූවානම් එය ලෝක වාර්තාවකි. ඒ ඔහුගේ පියා වූ ජෙනරාල් හැමිලටන් වනසිංහ ද හිටපු හමුදාපතිවරයකු වන නිසාය. සිය බැචා ගැන මේ කතාව කියන උපාලි රාජපක්ෂ කොමන්ඩෝ රෙජිමේන්තුවට අයත් නිලධාරියෙකි. කොමාන්ඩෝ රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපතිවරයා ලෙස ද රාජකාරි කළ  ඔහු යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ, 68 වන සේනාංකාධිපති මෙන්ම මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති ධුරයද දරා ඇත්තේය.

මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂ කියන හැටියට මුල් අවදියේ සුරේෂ් සලේගේ එකම සිහිනය වී තිබුණේ ‘සිග්නල්’ හෙවත්  ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බළකායට එකතු වීමය. එනමුත් ඔහු අධිකාරිය ලැබුවේ ගැමුණු හේවා බළඇණියේ දෙවැනි ලුතිනන්වරයකු ලෙසය. එවකට ඔහුගේ රෙජිමේන්තුවේ ප්‍රධානියා හැටියට රාජකාරී කර තිබුණේ බ්‍රිගේඩියර් හලංගොඩයි. බ්‍රිගේඩියර් හලංගොඩගේ නායකත්වයෙන් යුත් ගැමුණු රෙජිමේන්තුවේ වසරක පමණ සේවයකින් අනතුරුව, තමන් දිගු කලක් සිහින දුටු  ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බළකායට එක්වීමට සලේට අවස්ථාව හිමි වූවේ ය. එතැන් සිට ඔහුගේ වෘත්තීය ජීවිතය බුද්ධි සහ සන්නිවේදන ක්ෂේත්‍රය ඔස්සේ ඉදිරියට ගමන් කළේය. සුරේෂ් සලේගේ ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බළකායට එක්වීමේ සිහිනය කොතරම් ප්‍රබලද යන්න ඔහුගේ කණ්ඩායම් සගයකු  වූ උපාලි රාජපක්ෂ ඉතා සමීපව දැක තිබුණේ ය.

"සටන් බිමේ යුද්ධ කරනවාට වඩා මොළය වෙහෙසවමින් කරන කටයුතුවලට සලේගේ දැඩි උනන්දුවක් තිබුණා. ඔහුගේ බුද්ධි මට්ටම ඉතා ඉහළයි. සලේ යුද්ධ බිමේදී  දුර්වලයි කියලා නොවෙයි මම මේ කියන්නේ. පුහුණු කාලයේදී ඉතා උනන්දුවෙන්, කම්මැළි නැතුව, කාර්ය ශූරව හැම දෙයක්ම ඔහු කළා. මම හැමදාම හැම පුහුණුවකදීම පළමුවෙනියා වුණත් කවදාවත් මට පළමුවෙනියා වෙන්න බැරිවුණු දෙයක් තියෙනවා. ඒ තමයි හැතැප්ම දිවීම. ක්‍රීඩා ඇඳුම ඇඳගෙන හැතැප්මක් දුර  දුවද්දී  හැමදාම සලේ මාව පහු කරගෙන යනවා.  සලේ දුවන්නෙ 4-5 වෙනියට වගේ. මම දුවන්නේ 5-6 ට වගේ. ශරීරයෙන් පොඩි වුණාට ඔහුගේ කායික ශක්තියත් උපරිමයෙන් තිබුණා. අපි නම් දෙයක් වුණාම ගහගන්න හරි යනවනේ. සලේ එහෙම දරුණු නෑ. ඔහු හරිම අහිංසක, සුහදකෙනෙක්. ඒ නිසා සංග්‍රාම භූමියට ගිහින් සතුරාට වෙඩි තියනවාට වඩා උපායශීලීව කටයුතු කරලා  සතුරා පරාජය කළොත් හොඳයි කියලා සලේට හිතෙන්න ඇති. මොකද හැම වෙලාවකම නායකයෙක් හමුදා නිලධාරියෙක් තුළ තිබිය යුතු උපායශීලීත්වය ඔහු තුළ අඩුවක් නැතුව තිබුණා. සලේ සංඥා බළකාය තෝරගත්තේ ඒ නිසා වෙන්න ඇති කියලා මට හිතෙනවා." 

දියතලාවේ යුද හමුදා විද්‍යා පීඨයේ පුහුණු කාලය අතරතුර ඇතැම් දිනවල සලේගේ  මවුපියන් සිය පුතාගේ සුව දුක් දුක් බැලීමට පැමිණි බවත් සලේ මෙන්ම ඔහුගේ මව සහ පියාද ඉතාම අහිංසක තැනැත්තන් බවත් සලේගේ පවුල පිළිබඳව දන්නේ මොනවාදැයි අප විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් උපාලි රාජපක්ෂ පැවැසුවේය. ඔහු කියන හැටියට සලේගේ පවුලේ අයගේ තොරතුරු ගැන සමාජ මාධ්‍ය වෙන ප්‍රචාරය වන තොරතුරු බොහොමයක් බොරු ය.

‘‘සුරේෂ් සලේගේ තාත්තා මැලේ ජාතිකයෙක්. අම්මා කතෝලික කාන්තාවක්.  කොහොම වුණත් සලේගේ පවුලේ ඉස්ලාම් භක්තිකයන් වගේම කතෝලික සහ බෞද්ධාගමිකයෙනුත් ඉන්නවා. සලේගේ තාත්තා තුවාන් හරීෂ් සලේ සහ අම්මා අතර අවුරුදු දහයක පමණ වයස් පරතරයක් තිබිලා තියෙනවා. දැන් සමහරු ඒකත් අල්ලගෙන මඩ ගහනවා. ඒවා හරිම පහත් දේවල්.  සලේත්  එක්ක පවුලේ පිරිමි දරුවෝ හතර දෙනයි. සලේ පවුලේ දෙවැනියා.  ඔහුට වැඩිමල් සහෝදරයා ටිරෝන් සලේ. තුන්වැනියා සෙල්වින් සලේ. බාලයා රමේෂ් සලේ. මේ හතර දෙනාම හරිම අහිංසකයි. ඒ වගේම ඉතාම දක්ෂයි." 

සුරේෂ් සලේ මෙන්ම ඔහුගේ සොයුරන් තිදෙනාද අධ්‍යාපනය ලබා ඇත්තේ සිංහල  පාසලක් වන කොළඹ මහානාම විද්‍යාලයෙනි. ඔවුන් අතරින් වැඩිමහල් සොහොයුරා වන ටිරෝන් මේ වන විට විදේශගතව සිටින්නේය. තෙවැනි සහ සිව්වැනි සොයුරන් දෙදෙනාද තම වෘත්තීය ජීවිතය සඳහා   ආරක්ෂක අංශම තෝරාගෙන තිබීම ද  විශේෂත්වයකි. සෙල්වින් සලේ, කොමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස සේවය කරමින් මෙහෙයුම් රැසකට දායක වූ විරුවෙකි. කොමන්ඩෝ රෙජිමේන්තුව සිය ඉතිහාසයේ මුහුණ දුන් බිහිසුණුම සටනට මුහුණ දී දිවි බේරා ගත් අයෙකි. ජයසිකුරු මෙහෙයුම අතරතුර තුවාල ලැබීම හේතුවෙන් වෛද්‍ය හේතු මත මේ වන විට යුද හමුදා සේවයෙන් ඉවත්ව සිටියි. "මන්නකුලම් සටන කමාන්ඩෝ ඇසින්" කෘතිය රචනා කළේද ඔහුය. අනෙක් සොහොයුරා වන රමේෂ් සලේ දැනට යුද හමුදා විනයාරක්ෂක රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල්වරයකු ලෙස සේවය කරන්නේ ය. තම එක් සොයුරෙක් කොමාන්ඩෝ  රෙජිමේන්තුවත් තවත් සොයුරෙක් යුද හමුදා පොලිසියත් තෝරා ගනිද්දී ගැමුණු හේවා බළකායේ සිට සංඥා බළකායට මාරු වූ සුරේෂ් සලේ කෙටි කලකින් සන්නද්ධ බුද්ධි බළකාය තෝරා ගත්තේය. බුද්ධි බළකායට ඔහු  පත්වීමට ඔහු සතු සුවිශේෂී කුසලතා මෙන්ම, දෙමළ භාෂාව ඇතුළු භාෂා කීපයක් චතුර ලෙස හැසිරවීමට  තිබූ හැකියාව ද ප්‍රධානම හේතුවක් වන්නට ඇත. ඉන්පසුව සලේගේ ජීවිතයේ වූ සුවිශේෂී වෙනස්කම් සම්බන්ධයෙන් උපාලි රාජපක්ෂ මෙලෙස මතකය අවදි කළේය. 

"මගේ මතකයේ හැටියට 96  ජුනි මාසයේදී වගේ සලේ මේජර් වුණා. මම දන්න විදිහට ඔහු අවුරුදු දහයක පමණ කාලයක් මේජර් තනතුරේම හිටියා. මමත් අවුරුදු දාහතරක් මේජර් තනතුරේ ඉඳලා තියෙනවා. සලේ යුද්ධ කළේ නෑ කියලා සමහරු අද කියනවනේ. ඒ කතාව බොරුවක්. ඔහුත් යම් තරමකට හෝ ඒ යුද කටයුතුවලට දායක වුණා. ඔහු  බුද්ධි නිලධාරියෙක්. මේ නිසා ඔහු කළ මෙහෙයුම් ගැන  ඔහුට කියන්න පුළුවන්කමක් නෑ. 2009 යුද්ධයෙන් පසුව එල්ටීටීඊය වන්නි කැලේ නැවැත නැගිටීම වැළැක්වීමට  ඔහු විශාල මෙහෙයක් කළා. නමුත් ඒ ගැන වැඩිදුර තොරතුරු හෙළි කරන්න බැහැ. ඉන්පසුව සුරේෂ්ට පුහුණු පාඨමාලා කිහිපයකට විදේශගත වුණා කියලත් මට දැනගන්න ලැබුණා. 2016 අවුරුද්දේ සුරේෂ් මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ රාජකාරි කටයුතුවලට ගියා. 2018 අවුරුද්දේ අවසාන කාලයේදී යුද හමුදාපති හැටියට මහේෂ් සේනානායක පත් වුණා. ඔය අතර සුදුසුකම් අනුව 

ජාතික ආරක්ෂක විද්‍යාලයේ පාඨමාලාව සඳහා ඉන්දියාවට යන්න අවස්ථාවක්  තිබෙන බව සලේට  දැන ගන්න ලැබිලා තියෙනවා. ඒ අනුව  2018 අවසාන කාලයේ ලංකාවට ආ සලේ සති දෙකක් ඇතුළත අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන  ඉන්දියාවට ගියා. සලේත් සමග තවත් නිලධාරීන් දෙන්නෙක් ඒ පාඨමාලාව හදාරන්න ගිහින් තියෙනවා." 

සිසුන් එකසිය තිහක් පමණ සිටි එම පාඨමාලාවේදී දක්ෂතම සිසුන් පස්දෙනා අතරට සුරේෂ් සලේ ද  තේරී පත්ව ඇත්තේය. එහිදී සිසුවකු විසින් ඉදිරිපත් කරන ලද හොඳම පර් යේෂණ නිබන්ධනයට හිමි සම්මානය දිනාගෙන ඇත්තේද සුරේෂ් සලේ විසින් සම්පාදනය කරන ලද පර්යේෂණ ග්‍රන්ථයයි. 

"2019 වර්ෂයේ අග භාගයේදී විතර අර පාඨමාලාව සාර්ථකව අවසන් කරලා සුරේෂ් සලේ ලංකාවට ආවා. එතකොට පාස්කු ප්‍රහාරය වෙලා ඉවරයි. 2019 අවුරුද්දේ මාර්තු මාසයේ මන්නාරමේදී සලේව දැක්කා කියලා කවුරු හරි කියලා තිබුණා. ඒත් එහෙම වෙන්න විදිහක් නෑ. පාඨමාලාව හදාරන අතරතුරු සලේ වරින්වර ලංකාවට ආවද නැද්ද කියල කාට වුණත් අවශ්‍ය නම් හොයලා බලන්න පුළුවන්නේ. කොහොම වුණත් සලේ ලංකාවට එද්දි  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා. අර පාඨමාලාවේදී දැක්වූ දක්ෂතා නිසා වගේම යුද හමුදාවේ හිටපු බුද්ධි සන්නද්ධ අධ්‍යක්ෂ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සලේට ජාතික බුද්ධි ප්‍රධානී  තනතුර දෙනවා. ඒ පත්වීම වෙද්දිත් පාස්කු ප්‍රහාරය වී අවසන්. ජාත්‍යන්තර ත්‍රස්තවාදී ජාලයට දැඩි බලපෑමක් කළ සලේ ත්‍රස්තවාදින්ගේ  මූල්‍යමය අධාර ජාලය අඩපණ  කිරීමට  ප්‍රංශයේදිත්  මැලේසියාවෙදිත් ඉතා සූක්ෂමව කටයුතු කළා."

විශ්‍රාමික මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂ කියූ ආකාරයට මේජර් ජෙනරාල් සුරේෂ්  සලේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ මෙහෙයුම් සඳහාද  බුද්ධි  නිලධාරියකු ලෙස දායක වී ඇත්තේය. 2006–2009 ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරයා ලෙස රාජ්‍යතාන්ත්‍රික සේවයේ  කටයුතු කළ ඔහු 2012–2016 යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස යුද හමුදා  හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ  අධ්‍යක්ෂවරයා ලෙස පත් වුණේ ය. 2016 සිට  2018 වර්ෂය දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය  උපදේශකවරයකු ලෙස රාජ්‍යතාන්ත්‍රික සේවයේ ද සේවය කළේය. 2019  ජනවාරි  සිට  නොවැම්බර් දක්වා කාල සීමාවේ ඉන්දියාවේ නව දිල්ලියේ පිහිටි ජාතික ආරක්ෂක  විද්‍යාලයෙන්  උසස් ආරක්ෂක අධ්‍යයන පාඨමාලාවක් හැදෑරූ සුරේෂ් සලේ බ්‍රිගේඩියර් ධුරයේ සිටි  මේජර්  ජෙනරාල් ධුරයට උසස් කෙරුණි. අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයේ  අධ්‍යක්ෂවරයා  ලෙසද පත් විය. සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් මෙහෙයවනු ලබන  මෙම ආයතනයට, හමුදා බුද්ධි අංශ නිලධාරියකු පත් කළ පළමු අවස්ථාව මෙය වීමද  විශේෂත්වයකි. 2024 වසරේ වූ දේශපාලන වෙනස්වීම් සමග මේජර් ජෙනරාල් සුරේෂ් සලේ  එම  ධුරයෙන් ඉවත් කෙරිණි. 2024 අගභාගයේ බුද්ධි අංශ සේවයෙන් විශ්‍රාම  ගැනීමෙන් පසු, ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ප්‍රතිපත්ති සම්පාදක ආයතනයක  ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ලෙස කෙටි කලක් කටයුතු කළේය. 

පාස්කු ප්‍රහාරය වන කාල සීමාවේදී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ලංකාවේ නොසිටි නිසා කාට වුවද ඒ පිළිබඳව සොයා බැලිය හැකි බවද විශ්‍රාමික මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂ කියන්නේය.  පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීමට තමා කිසිසේත්ම විරුද්ධ නොවන නිසා ඊට අදාළ කිසිදු නීතිමය කටයුත්තක් පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තුවක් නැති බව කියන ඔහු තවම වරදකරුවෙක් වී නැති සුරේෂ් සලේට මනුෂ්‍යත්වයෙන් සැලකිය යුතුය යන්න පමණක් අවධාරණය කරන්නේය.

"අපි මේ රට ආරක්ෂා කරගන්න කය වෙහෙසලා යුද්ධ කරද්දී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ තමන්ගේ බුද්ධිය මෙහෙයවමින් මේ රට වෙනුවෙන් විශාල කැප කිරීම් සමුදායක් කරලා තියෙනවා. එහෙම කැපකිරීම් කළ වටින මනුස්සයෙක්ට අද වෙලා තියෙන දේ ගැන කනගාටුයි. ඇත්තටම සලේ කියන්නේ අපේ රැහේ සගයෙක්. ඕනෑම කෙනෙක් වරදක් කරලා තියෙනවනම්, ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පවත්වලා වරද තහවුරු වූ පසුව අදාළ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ ගැන කිසිම විවාදයක් නෑ. අපි ඒ නීති කටයුතුවලට මැදිහත් වෙන්නේ හෝ බාධා කරන්නේ නෑ.  මේ රටේ නීතිය  හැමෝටම එක සේ බලපැවැත්විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. චෝදනා විමර්ශනය කරන අවස්ථාවේදී වගේම නීති ක්‍රියාවලිය පුරාම, සෑම පුද්ගලයකුටම මනුෂ්‍යත්වයෙන්, ගෞරවයෙන් සහ සාධාරණව සැලකීම උතුම් ගුණාංගයක් කියලයි අපි හිතන්නේ. අනෙක තවම වරදකරුවෙක් කියලා  තහවුරු වෙලා නැති පුද්ගලයෙක්  වරදකරුවෙක් ලෙස හංවඩු ගසමින් ඒ පුද්ගලයාගේ ආත්මය විනාශ කරන්න සමාජයට නම් කොහෙත්ම අයිතියක් නැහැ. එහෙම කරන මිනිස්සු කරන්නේ මනුෂ්‍යත්වයටත් නිගාවක්." 

"සාමාන්‍යයෙන් හමුදා නිලධාරි කණ්ඩායම්  අවුරුද්දකට වතාවක් මුණගැහෙනවනේ. හැම අවුරුද්දකම මාර්තු 16 වැනිදා අපේ කණ්ඩායම මුණ ගැහෙනවා. අවස්ථා කිහිපයකදීම සලේ ඒ හමුවට ආවෙත් නෑ. මම හිතන්නේ ඔහුට යම් අනතුරක් තිබෙනවා කියලා දැනෙන්න ඇති. ඒ නිසා ඔහු වඩාත් පරිස්සම් වුණා කියලයි මට හිතෙන්නේ. ලබන අවුරුද්දෙ මාර්තු මාසයට අපේ කණ්ඩායමට අවුරුදු හතළිහයි. ඒ හතළිහේ සැමරුමට සලේ එනවනම් මම කැමැතියි. ඔහුට ඒ සඳහා සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුරේෂ් සලේ කියන්නේ මටත් වඩා වටින මනුස්සයෙක්. මම ඒක හැමදාම කියනවා. වරදක් කරලා තියෙන කෙනෙක්ට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා මම කිසිම තැනක කියන්නේ නැහැ. නමුත් සුරේෂ්  සලේ පාස්කු ප්‍රහාරය වගේ අපරාධයකට වචනයකින් හෝ දායක වෙයි කියලා මට විශ්වාස කරන්න අමාරුයි. මේ වගේ ක්‍රියාවකට සම්බන්ධ නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ සම්බන්ධයෙන් නීතිමය විමර්ශන කෙරෙන එක හොඳයි. එතකොට ඔහුගේ නිර්දෝෂීභාවය නීතියෙන්ම සනාථ වෙනවනේ.  නමුත් මේ ක්‍රියාවලියේදී මානුෂීය වෙන්න කියලයි අපි කියන්නේ. ඔහු ඇත්තටම වරදක් කරලා නැත්නම් දැන් මේ ඔහු විඳින වධ හිංසාවලට අනාගතයේදී කවුද වන්දි ගෙවන්නේ. ආරක්ෂක අංශ පැත්තකින් තියමුකෝ. සලේ වරදකරුවෙක් කියලා කියන්න මේ සමාජයට තියෙන අයිතිය මොකක්ද කියන එක මට ප්‍රශ්නයක්."

"පාස්කු ප්‍රහාරය ගැන අපිටත් දුකයි. ඒ වගේම වසර තිහක් පුරා පැවැති කුරිරු යුද්ධය ගැනත් අපිට දුකයි. යුද්ධයෙන් මොනතරම් මිනිස් ජීවිත අහිමි වුණාද. අපේ ආරක්ෂක අංශ ලොකු කැප කිරීමක් කරලත් ඔවුන්ට ඉතිරි වුණේ යුද අපරාධ චෝදනා විතරනේ. අද ප්‍රභාකරන් ගැනවත් නැති තරහක් සමහරුන්ගේ හිත් තුළ සලේ ගැන තියෙනවා. ඔහු මොනවා කළාටද කියලා මට හිතා ගන්න බැහැ.  වරදක් කරලා තියෙනවා නම් ඒක හොයන්න විදිහක් තියෙනවනේ. අම්මගෙ වයස බිරිඳගෙ වයස පවුලේ තොරතුරු පවා අරගෙන සලේට  මේ තරම් අපහාස කරන එක අපිට දරාගන්න බෑ. ඔහු  දක්ෂයෙක්. රාජ්‍ය සේවා බුද්ධි ප්‍රධානී තනතුර ඔහුට ලැබුණේ ඒ දක්ෂකම නිසයි.  ඔහු සේවය කළේ ශ්‍රී ලංකා ජනරජයට, රට පාලනය කළ රාජ්‍ය නායකත්වයට මිස පුද්ගලික නමකට නොවෙයි. කවුරු රට පාලනය කළත් සුරේෂ් සලේ තමන්ගෙ වගකීම ඉටුකරන බව මට විශ්වාසයි. එකම අරමුණක් වෙනුවෙන් සටන් කළ අපේ සගයෙක්ට මේ තරම් අවලාද නැගෙද්දී අපිටත් වේදනයි." 

උපාලි රාජපක්ෂ කියන ආකාරයට ඔහුට සුරේෂ් සලේ අවසාන වතාවට මුණගැසී ඇත්තේ මීට අවුරුදු පහකට පමණ පෙරය.  ඇතැම් අවස්ථාවල සුරේෂ් සලේට තම මිතුරන් එකතු වූ සුහද හමු පවා මග හැරී තිබුණේය. එම නිසා දැනට එල්ල වී ඇති සියලු චෝදනාවලින් නිදහස් වී, ලබන වසරේ මාර්තු 16 වැනිදා පැවැත්වීමට නියමිත කැඩෙට් නිලධාරීන් බඳවාගැනීම් කණ්ඩායම් 27හි හතළිස්වන සංවත්සරයට සහභාගි වීමට විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට හැකියාව ලැබේවායි විශ්‍රාමික මේජර් ජෙනරාල්  උපාලි රාජපක්ෂ හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේය.

- නිරෝෂා වාසල

සති අග අරුණ 

2026.06.14

සම්බන්ධිත පුවත් | Related News

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.