සංස්කෘතියේ ආණ්ඩුවක්..
ආණ්ඩුවක් කියන්නේ රටක ජාතික සංස්කෘතියේ නියෝජිත ආයතනයක්. තමන්ගේ ජාතික සංස්කෘතීක් ආරක්‍ෂා කරගෙන ඒවා පෝෂණය කිරීමේ වගකීම ආණ්ඩුවලට පැවැරිලා තියෙනවා. සංස්කෘතිය ආරක්‍ෂා කිරීමේ දී පිටස්තර සංස්කෘතික ආක්‍රමණවලට එරෙහි සටනක් කරන්න ආණ්ඩුවලට සිද්දවෙනවා. ඒ වගේ ම, අභ්‍යන්තරික සංස්කෘතික ගැටලු විසඳාගන්නත් ආණ්ඩු මහන්සිවෙන්න ඕන. සංස්කෘතිය පෝෂණය කිරීම වෙනුවෙන් අභ්‍යන්තර සංස්කෘතික නවෝත්පාදන සිද්දකිරීමේ සහ පිටස්තරින් හොඳ, ඒ වගේ ම ගැලැපෙන සංස්කෘතික ආභාෂයන් ලබාගැනීමේ කාර්යයටත් ආණ්ඩුවල නායකත්වය ලැබෙන්න ඕන.
1949 ඉඳලා මේ දක්වා ම, චීන මහජන ආණ්ඩුව විසින් චීනයේ ජාතික සංස්කෘතිය ආරක්‍ෂා කරලා පෝෂණය කිරීමේ වගකීම ඉතාමත් හොඳින් ඉටු කරලා තියෙනවා. මේ ලිපියෙන් ඒ ගැන කියන්නම්.
මහජනතාවගේ පොදු යහපත සහ ප්‍රගතිය අරමුණු කරගෙන තමයි චීන මහජන ආණ්ඩුව විසින් තමන්ගේ හැම ප්‍රතිපත්තියක් ම හඳුන්වලා දෙන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ. ඉතින් 1949 ඉදලා චීන මහජන ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරපු සහ දැනටත් ක්‍රියාත්මක කරන සංස්කෘතික ප්‍රතිපත්තිවලත් මේ මහජන කේන්ද්‍රීය ලක්‍ෂණය දකින්න පුළුවන්. ලිබරල්වාදය රජ කරන ඇමෙරිකාව වගේ රටවල්වල පුද්ගල කේන්ද්‍රීය ඇගැයීම් ඉස්සරහට දාලා සංස්කෘතික නිෂ්පාදනය සිද්දවෙන බව අපි දන්නවා. ඒත් පොදු සාමූහිකත්වය ප්‍රමුඛ කරගන්න චීනය වගේ රටකට එහෙම කරන්න බෑ. ඉතින් ඇමෙරිකාවේ පුද්ගලාන්තික ලිබරල් “නිදහස” මිනුම් කෝදුවක් කරගෙන චීනයේ සංස්කෘතික භාවිතාව අගයන්නත් බෑ.
චීන මහජන ආණ්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්තිය මූලික වශයෙන් ලක්‍ෂණ තුනක් සහිත එකක්.
උඩින් කියපු විදිහට, චීන මහජන ආණ්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්තියේ මූලික ම ස්වභාවය තමයි ඒක මහජනයා අරමුණු කරගත්ත, මහජනයාට සේවය කිරීම වෙනුවෙන් හඳුන්වලා දීලා ක්‍රියාත්මක කරන එකක් වීම. ඕනෑ ම ස්වාධීන රාජ්‍යයක සංස්කෘතිය නිර්මාණය කරන්නේ ඒ රටේ මිනිස්සු විසින්. ඉතින් චීන ආණ්ඩුව විසින් “සංස්කෘතික නිර්මාපකයෝ සහ එහි සරන්නෝ” කියන මූලික ම ඇගැයීම තමන්ගේ ජනතාවට ලබාදීලා තියෙනවා. “සංස්කෘතික ඵල බුදින්නෝ” වෙන්නෙත් ජනතාව ම තමයි. ඊට අමතරව, සංස්කෘතික ජයග්‍රහණයන් පිළිබඳව විනිශ්චයන් ලබාදීමේ කාර්යයේත් ජනතාව නිරතවෙනවා.
ඉතින් මහ ජනතාවගේ පොදු, පුළුල් සංස්කෘතික සහ අධ්‍යාත්මික අවශ්‍යතා සපුරාලීම කියන වගකීම චීන සංස්කෘතික නිෂ්පාදන කාර්යයේ ප්‍රවේශ දොරටුව විදිහට සැළැකෙනවා. ඒ වගේ ම, මහ ජනතාවට පොදු, සාමූහික, පුළුල් විමුක්තියක් අත්පත් කරදීමේ පරම අරමුණ මේ කාර්යයේ අවසාන ඉලක්කය විදිහට සැළැකෙනවා.
සංස්කෘතික වශයෙන් පසුගාමී මිනිස්සුන්ට ජාතික සෞභාග්‍යය වෙනුවෙන් කැපැවෙන්න බෑ. සාමූහිකත්වය වෙනුවට පුද්ගලිකත්වය මුල් කරගත්ත මිනිස්සුන්ට තමන්ගේ ජාතික සෞභාග්‍යය වෙනුවෙන් මහා බලයක් මුදාහරින්නත් බෑ. බෙදිච්ච, වෙන්වෙච්ච මිනිස්සු එකිනෙකා එක්ක කාකොටාගෙන විනාශවෙනවා. ඒ විනාශයන්ගේ සමස්ත ප්‍රතිඵලයක් විදිහට ජාතිය ම දුර්වල වෙලා බිඳ වැටෙනවා. ඉතින් සාමූහික විදිහට ප්‍රීතියෙන් ඉන්න, අධ්‍යාත්මික වශයෙන් පොහොසත් ජනතාවක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් චීන මහජන ආණ්ඩුව තමන්ගේ සංස්කෘතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ කාර්යය කැප කරලා තියෙනවා.
ආරම්භක යුගයේ දී, චීන මහජන ආණ්ඩුවට පැවැරිලා තිබුණේ රට ගොඩනැගීමේ වගකීමක්. අවුරුදු සීයකට වැඩි කාලයක් නින්දාවට ලක්වෙච්ච, හැම අතින් ම පිරිහෙච්ච රටක් නැගිට්ටවන්න නම් ඒ වෙනුවෙන් කැපැවෙන ජනතාවක් ඇති කරගන්න ඕන. ඉතින් චීන මහජන ආණ්ඩුවේ මුල් යුගයේ සංස්කෘතික ප්‍රතිපත්ති තුළින් මේ අරමුණ දැකගන්න පුළුවන්. විවිධ බෙදීම්වලින් පීඩාවට පත්වෙච්ච, ඊට අමතරව රටට අවශ්‍ය පොදු සාමූහිකත්වය වෙනුවට ලිබරල් ඇගැයීම්වලට කැමැති නාගරික (විශේෂයෙන් ම උගත් සහ තරුණ) ජනතාවක් හිටිය රටක ඒ සංස්කෘතික රෝගවලට ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවකුත් ඇතිවෙලා තිබුණා. ඒ මහා ජාතික ප්‍රතිකාරය “සංස්කෘතික මහා විප්ලවය” විසින් ලබාදුන්නා.
ඉතින් චීන මහජන ආණ්ඩුව විසින් ආරම්භක යුගයේ දී, උක්ත මූලික අරමුණු වෙනුවෙන් කැපැවෙච්ච අධ්‍යාපන, ප්‍රචාරක, කලා සාහිත්‍ය කටයුතුවලින් පෝෂණය කරපු සංස්කෘතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා. මේ කාර්යයන් සඳහා අවශ්‍ය සංස්කෘතික ආයතන පිහිටුවීමක් ඒ කාලයේ දී ම සිද්දවුණා. ඒ ක්‍රියාමාර්ගවලින් ජනතාව සංස්කෘතික වශයෙන් සන්නද්ධ කළා. ඒ කාලයේ සංස්කෘතික නිෂ්පාදනවල ඵල මහජනතාව භුක්ති වින්දා.
1978 දි, ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වලා දුන්නාට පස්සේ මහ ජනතාව සාමූහික විදිහට ඒ වෙනුවෙන් යොමු කරවීමේ වගකීමත් චීන මහජන ආණ්ඩුව පවරාගත්තා. ඉතින් ඒ දෙවැනි යුගයේ දී, චීන මහජන ආණ්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්ති අලුත් අවශ්‍යතා වෙනුවෙන් සම්පාදන කෙරුණා. ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වලා දුන්නාට පස්සේ වෙළෙඳපොළ ක්‍රමය ඉස්සරහට ආපු හින්දා සංස්කෘතික කර්මාන්ත අංශයටත් තැනක් ලැබෙන්න පටන්ගත්තා. ඒ කාර්යය දිරිගන්වන්නත්, තමන් ම මැදිහත් වෙලා සංස්කෘතික කර්මාන්ත ඇති කරන්නත් චීන මහජන ආණ්ඩුව යොමුවුණා.
චීන පොදු නිෂ්පාදන පක්‍ෂයේ 18 වැනි ජාතික සම්මේලනයෙන් පස්සේ, මහජන ආණ්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙන්නේ තුන්වැනි යුගයක් වෙනුවෙන්. චීන ලක්‍ෂණ සහිත නූතන සමාජවාදී රාජ්‍යයක් ගොඩනැගීම තමයි මේ තුන්වැනි යුගයේ අරමුණ බවට පත්වෙලා තියෙන්නේ. පුරුදු විදිහට, මහ ජනතාව කේන්ද්‍ර කරගෙන ම මේ තුන්වැනි යුගයේ සංස්කෘතික ප්‍රතිපත්තිත් ක්‍රියාත්මක කෙරෙනවා. “සංස්කෘතික බෙදා හදාගැනීම්” වගේ භාවිතාවනුත් අලුත් සංස්කෘතික ප්‍රතිපත්තියට එකතුවෙලා. ඒ වගේ ම, මහජනතාවගේ “සංස්කෘතික හිමිකම්” වෙනුවෙනුත් අලුත් ප්‍රතිපත්ති කැප කරලා. මේ හැම වැඩක් ම වෙද්දි, සංස්කෘතික නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිවෙන්න ඕන බවත් චීන මහජන ආණ්ඩුව දන්නවා. ඉතින් මේ හැම පැත්තකින් ම අලුත් සංස්කෘතික ප්‍රතිපත්ති පෝෂණය කෙරිලා තියෙනවා.
අර්ථාන්විත සංස්කෘතික නිර්මාණ සිදුකිරීමේ අවශ්‍යතාව තමයි චීන මහජන ආණ්ඩුව ක්‍රියාත්මක කරන සංස්කෘතික ප්‍රතිපත්තිවල දෙවැනි ස්වභාවයෙන් ප්‍රකාශ කෙරෙන්නේ. කිසිම තේරුමක් නැති සංස්කෘතික නිෂ්පාදනවලින් කාටවත් වැඩක්වෙන්නේ නෑ. එහෙම වැඩ කරන එකෙන් ජාතියේ සංස්කෘතික, මානව සහ ආර්ථික සම්පත් විනාශවෙනවා. ඉතින් රටේ තියෙන හැම සම්පතක් ම ප්‍රශස්ත විදිහට පාවිච්චි කරලා, ඉතාමත් හොඳ සහ ප්‍රයෝජනවත් සංස්කෘතික නිෂ්පාදන සිදුකිරීමේ අවශ්‍යතාව වෙනුවෙනුත් චීන මහජන ආණ්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙනවා. චීනයේ සංස්කෘතික නියාමන කාර්යය සිද්දවෙන්නේ මේ සාධනීය කාර්යය වෙනුවෙන් මිසක් බටහිර බල කඳවුර විසින් පුන පුනා කියන වාරණයක් වෙනුවෙන් නෙවෙයි. 1949 ඉඳලා අද දක්වා ම මේ සාධනීය ප්‍රවේශයත් දැකගන්න පුළුවන්.
සංස්කෘතික නිෂ්පාදනවලින් පොළඹවන්නේ රට ඇතුළේ ජීවත්වෙන මහ ජනතාව විතරක් නම් නෙවෙයි. සංස්කෘතික නිෂ්පාදනවල ජාත්‍යන්තර භාවිතාවකුත් තියෙනවා. ඕනෑ ම රටකට ජාත්‍යන්තර මට්ටමින් තමන්ගේ බලය තහවුරු කරගන්න නම් ඒ රටේ සංස්කෘතික බලයත් වර්ධනය කරගන්න වෙනවා. මෙහෙම වර්ධනය කරගන්න “මෘදු බලය” විසින් රාජ්‍යයකට ජාත්‍යන්තර ආකර්ෂණයක් ලබාදෙනවා. චීන මහජන ආණ්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්ති මේ අරමුණ වෙනුවෙනුත් ක්‍රියාත්මක වෙනවා.
චීන මහජන ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන්නේ වෙනත් රටවල් ආක්‍රමණය නො කරන, වෙනත් රටවල්වල අභ්‍යන්තර කටයුතුවලට ඇඟළි නො ගහන විදේශ ප්‍රතිපත්තියක්. ඉතින් මේ විදේශ ප්‍රතිපත්තියට අනුගත වෙන විදිහට තමයි චීනයේ “මෘදු බලය” නිර්මාණය කිරීමත් සිද්දවෙන්නේ.
සංස්කෘතික නිෂ්පාදන කාර්යය එක තැන පල්වෙන වැඩක් වෙන්න බෑ. ඒ වගේ ම, කලින් තිබුණු තැනින් පහළට වැටෙන්නත් බෑ. ඒ කියන්නේ සංස්කෘතික නිෂ්පාදනය දිගින් දිගට ම ඉස්සරහට යන්න ඕන. ඒ නිෂ්පාදනයේ ප්‍රමාණාත්මක වගේ ම ගුණාත්මක වර්ධනයක් තියෙන්නත් ඕන. චීන මහජන ආණ්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්තිවල තියෙන තුන්වැනි ලක්‍ෂණයෙන් මේ ප්‍රගතිය වෙනුවෙන් කැපැවීමේ ස්වභාවය ප්‍රකාශ කෙරෙනවා.
කාලයට, යුගයට ගැලැපෙන විදිහට කොච්චර ඉස්සරහට ගියත් තමන්ගේ සංස්කෘතික නිෂ්පාදනවල චීන ලක්‍ෂණය රැකගන්න ඕන බවත් චීන මහජන ආණ්ඩුව දන්නවා. ඉතින් මහජන ආණ්ඩුවේ ඉදිරිගාමී සංස්කෘතික ප්‍රතිපත්තිත් චීන ලක්‍ෂණවලින් අනූනයි.
චින මහජන ආණ්ඩුවේ සංස්කෘතික ප්‍රතිපත්තිත්, ඒ මාර්ගයෙන් කෙරෙන සංස්කෘතික නිෂ්පාදනයත් අහසින් කඩාගෙන වැටෙන්නේ නෑ. මේ හැම වැඩකට ම අදාළ විද්‍යාවත් චරණයත් ඉතාමත් හොඳින් වර්ධනය කරගන්න ඕන. සංස්කෘතික විෂයයට අදාළව චීනයේ සිද්දවෙන අධ්‍යාපන, පර්යේෂණ සහ සංවර්ධන කටයුතුවලින් මේ අංශයේ වර්ධනය බලාගන්න පුළුවන්.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
අද (2026 ජුනි 14 වැනි දා ඉරිදා) “ඇත්ත” පුවත්පතේ පළ කර තිබෙන “චීන පෙරැළිය” ලිපි මාලාවේ 45 වැනි කොටස
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පළාත් සභාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව..
වත්මන් ආණ්ඩුව ලබා ගත් විදෙස් ණය ඩොලර් මිලියන 1,850 පනී..
භාණ්ඩාගාර මංකොල්ලය: වැරැද්ද කාගෙද?.. මහ බැංකුවයි-භාණ්ඩාගාරයයි මූණට මූණ ඇනකොටා ගනී!
විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව: ගුරු, විදුහල්පති සේවා වල ස්වාධීනතාවය නැති කරල, වැටුප් විශ්මතාවයක් නෑ කියන්නයි මේ හදන්නෙ - ඒකාබද්ධ ගුරුසේවා සංගමය
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්
ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..
සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..
MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ගේන්න යනවා.. – හර්ෂ ද සිල්වා
ලෝකයේ බලශක්ති අර්බුදයක් ඇති වීමට හේතුව අමෙරිකාව සහ චීනයේ බල ඝට්ටනය ද?.. - ගෝලීය බලශක්ති අර්බුදයේ ඇත්ත කතාව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..