සටන් විරාමය බොරුවක්!
අන්තර්ජාතික
භූ දේශපාලනයේ එක් ප්‍රවේශයක් වන සම්පත් දේශපාලනය විසින් මේ වන විට ලෝකය බිහිසුණු
අන්තයක් වෙත රැගෙන විත් තිබේ. මෙහිදී, ඉරාන තෙල්
සම්පත තමන් වෙත නතු කර ගැනීම පිණිස, එක් රැයකින්
ශිෂ්ටාචාරයක් මානව ඉතිහාසයෙන් අතු ගා දමන්නට තරම් සැහැසිවූත්, නීචවූත් අන්තයක් කරා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය
පැමිණ ඇත්තේ හෙට දවසේ ලෝක ආධිපත්‍යය උදෙසා තෙල් සම්පත කෙබඳු තීරණාත්මක භූමිකාවක්
නිරූපණය කරන්නේද යන්න පිළිබඳ පැහැදිලි ලකුණක් සනිටුහන් කරමිනි.
මෙම පසුබිම තුළ, ඇතැම් අන්තර්ජාතික දේශපාලන විශ්ලේෂකයින් විසින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වනු ලබමින් ඇත්තේ “ඇමරිකානු හිට්ලර්” යනුවෙනි. එසේම, ඔවුන් විසින් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඇතුළු කවය සමාන කර ඇත්තේ හිම්ලර්, ගොබෙල්ස් ඇතුළු හිට්ලර්ගේ ප්‍රධාන නිලධාරීන්ගේ කවයටය. එක්සත් ජනපද ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම පුද්ගලයින් ලෙස කෙසේ අර්ථ ගැන්වුනද, ඔවුන් ඉරානයට එරෙහි යුද්ධය තුළ නිරූපණය කරන භූමිකාව කෙසේ වර නැගුණද ඔවුන් මේ ලෝක දේශපාලන මොහොතේ සිදු කරමින් ඇත්තේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ඔවුන් වෙත පවරන ලද ඓතිහාසික භූමිකාව ඉටු කිරීමක් බව අප අමතක නොකළ යුතුය.
40 වසරකට පෙර දුටු සිහිනය හඹා යාම
ඉරානයට එරෙහි එක්සත් ජනපද - ඊශ්‍රායල යුද්ධය තුළ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුද්ගල භූමිකාවේ ස්වභාවය විසින් ඊට වඩාත් නරුම පෙනුමක් ලබා දී ඇති අතර, මතුපිටින් පෙනෙන්නේ මෙම යුද්ධය ඔහුගේ පුද්ගල අභිලාෂයක් උදෙසා ඇරඹුනක් හා පවත්වාගෙන යන්නක් ලෙසිනි. එසේම, කොහේවත් තිබුණු යුද්ධයකට එක්සත් ජනපදය අනවශ්‍ය අතපෙවීමක් කරන ලෙසිනි. නමුත්, ඇත්තෙන්ම ගත් විට එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් සිය දෙවන ධුර කාලය තුළ මේ හඹා යමින් ඇත්තේ එක්සත් ජනපදය අදින් වසර 40ක පමණ සිට දුටු සිහිනයකි.
ඉරානයේ තෙල් සම්පතේ හදවත බඳු කාර්ග් දූපත එක්සත් ජනපදයට නතු කරගැනීම පිණිස සිදු කරන මිලිටරි ප්‍රහාර හා වාග් ප්‍රහාර සම්බන්ධව අන්තර්ජාතික ජනමාධ්‍ය වෙතින් අද ඊයේ වාර්තා වුවද, මෙම සැලසුමේ මුල් ඇත්තේ අදින් වසර 40ක් පමණ දුර ඈතය. එනම්, පසුගිය සියවසේ 80 දශකයේය. අදින් හරියටම අවුරුදු 40කට ඉහත, 1986 මාර්තුවේ එක්සත් ජනපද සී.අයි.ඒ. සංවිධානයේ Alternatives to Khark: Implications of New Iranian Facilities To Export Oil … මැයෙන් යුතු බුද්ධි විශ්ලේෂණ වාර්තාවේ මෙසේ සඳහන් වන්නේය.
“ඉරාක ජාතිකයන් කාර්ග් දූපතෙහි ඉරාන අපනයන පර්යන්ත ක්‍රියාත්මක කිරීමෙන් ඉවත් කළත් නැතත්, ඉපැයීම් පවත්වා ගැනීමටත්, එහි ආර්ථිකය පවත්වා ගැනීමටත්, ඉරාකයට එරෙහි යුද්ධය දිගටම කරගෙන යාමටත් හැකි වන පරිදි, ටෙහෙරානය නව තෙල් අපනයන පහසුකම් සංවර්ධනය කරමින් සිටී. කාර්ග්හි සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සමඟ, මෙම වසන්තය වන විට ඉරානයට දිනකට බැරල් මිලියන 6ක් සහ 1986 අග භාගයේදී මිලියන 7 ක වෙරළබඩ තෙල් සඳහා විභව අපනයන ධාරිතාවක් ලබා දෙනු ඇත. එය මෑත වසරවල එහි අපනයන මට්ටමට වඩා බෙහෙවින් වැඩිය. නව පහසුකම් වෙතින් සැලකිය යුතු අතිරික්ත පැටවීමේ ධාරිතාවක් ලබා දීමෙන්, මෙම අපනයන මට්ටම වඩාත් ආරක්ෂිත කරනු ඇත. තෙල් මිල පහත වැටීම හමුවේ ආදායම පවත්වා ගැනීම සඳහා තෙල් නැව්ගත කිරීම් ඉහළ නැංවීම සඳහා එහි බැරල් මිලියන 1ක අතිරික්ත නිෂ්පාදන ධාරිතාවයෙන් කොටසක් භාවිත කිරීමේ විකල්පයද ඒවා ටෙහෙරානයට ලබා දෙනු ඇත.
නව පහසුකම්, ඉරාක ගුවන් යානා සඳහා ඇති පරාසය තුළ පිහිටා ඇති අතර, බැග්ඩෑඩ් ඒවාට සහ ඒවා පටවන ලද නැව්වලට පහර දෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. කෙසේ වෙතත්, ඒවා සපයන අතිරික්ත ධාරිතාව සහ සමහර නව පහසුකම් ඉක්මනින් අලුත්වැඩියා කළ හැකි විභවය, ඉරාකයට ඉරානය මූල්‍යමය වශයෙන් මිරිකීම වඩාත් දුෂ්කර කරනු ඇත. ඉරාක ජාතිකයන් මෙතෙක් භාවිත කර ඇති ප්‍රමාණයට වඩා සැලකිය යුතු ලෙස ආක්‍රමණශීලී උපක්‍රම අනුගමනය නොකරන්නේ නම්, තෙල් මිල යුද්ධය කෙසේ වුවත් ටෙහෙරානයට දේශීයව නොසන්සුන්තාවක් ඇති කළ හැකි සහ ඉරාන යුද ප්‍රයත්නය අඩපණ කළ හැකි මෘදු ප්‍රතිපත්තියක් වළක්වාගැනීමට මෙම නව පහසුකම් උපකාරී වනු ඇත.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, කමේනි ජීවත්ව සිටියදී ඉරානයේ සාමය සඳහා හෝ ටෙහෙරානයේ සැලකිය යුතු දේශපාලන වෙනසක් සඳහා ඉරාන කොන්දේසි මෘදු කිරීම සඳහා ඉරානයේ නව තෙල් අපනයන විකල්ප දැනටමත් දුර්වල බලාපොරොත්තු තවදුරටත් අඳුරු කරනු ඇත. ඒ සමඟම, ඉරානය බලාපොරොත්තු සුන්වීමෙන් ගල්ෆ් අරාබි තෙල් පහසුකම්වලට පහර දීමෙන් හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට උත්සාහ කිරීමෙන්, පර්සියානු ගල්ෆ් කලාපයේ යුද්ධය නාටකීය ලෙස උත්සන්න කිරීමේ අවදානම ඒවා අඩු කරනු ඇත.
ඉරානය සාකච්ඡා මේසයට ගෙන ඒමට බල කිරීම සඳහා ඉරාකයට නව උපක්‍රම සලකා බැලීමට සිදුවනු ඇති අතර, එය ගුවන් ප්‍රහාර අනෙකුත් ආර්ථික ඉලක්ක වෙත සහ සමහර විට ඉරාන නගර වෙත ව්‍යාප්ත කළ හැකිය. කෙසේ වෙතත්, ජනාධිපති සදාම් හුසේන්ට යුද්ධය අවසන් කළ නොහැකි බව තවත් ඉරාක ජාතිකයින් නිගමනය කරනු ඇත.”
පසුගිය සියවසේ 80 දශකය යනු ඉරාකය එක්සත් ජනපදය සමග සහයෝගීතාවයෙන් යුතුව, ගල්ෆ් කලාපය තුළ එක්සත් ජනපද භූ දේශපාලන න්‍යාය පත්‍රය සාක්ෂාත් කරදීම සඳහා කටයුතු කරමින් සිටි අවධියයි. එහිදී ඉරානයට එරෙහිව යුද වැදුණු ඉරාකයේ ජනාධිපතිවරයා වූයේ පසුකලෙක එක්සත් ජනපදය විසින්ම බලයෙන් පෙරළා දැමුණු සදාම් හුසේන්ය. ඉහත උපුටනයේ සඳහන් වන ආකාරයේ ගුවන් ප්‍රහාර ඉන් 40 වසරකට පසු මේ මොහොතේ ඊශ්‍රායලය හා එක්සත් ජනපදය විසින් ඉරානයේ නගර හා ආර්ථික මර්මස්ථාන වෙත කරමින් සිටින ආකාරය නාටකීය ලෙස කෙතරම් සමානද, එදා ඉරාකයේ සදාම් හුසේන් නිරූපණය කළ භූමිකාව අද නිරූපණය කරමින් ඇත්තේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුය. එදා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා රොනල්ඩ් රේගන් වූ අතර, අද ඩොනල්ඩ් ට්‍රම්ප්ය. පිටපත එමමය. නළුවන් පමණක් වෙනස් වී ඇතිවා පමණි.
ඒ නිසා මේ මොහොතේ ඩොනල්ඩ් ට්‍රම්ප් යනු මෙම යුද්ධයේ තීරකයා ලෙස හඳුන්වනවාට වඩා එක්සත් ජනපදයේ සැබෑ පාලන තන්ත්‍රය වන “ගැඹුරු රාජ්‍යයේ” (Deep State) අධිරාජ්‍යවාදී මූලෝපායික වුවමනාවන් අනුව නැටවෙන රූකඩයක් බව පැහැදිලිය. ඒ රූකඩය එකවර විහිලුකාරයෙක් ලෙසද, දේශපාලන උම්මත්තකයෙක් ලෙසද, බිහිසුණු අධිරාජ්‍යවාදී පීඩකයෙක් ලෙසද කරන රංගනය නම් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයකු වෙතින් මෙලෙස එකවර කිසි විටෙකත් දක්නට නොලැබුණු එකකි. මේ කවර නිරූපණය හරහා වුව ක්‍රියාවට නැංවෙන්නේ එක්සත් ජනපද “ගැඹුරු රාජ්‍යයේ” සැලසුමයි. ඒ ගැඹුරු රාජ්‍යය සමන්විත වන්නේ එක්සත් ජනපද පාලන තන්ත්‍රය, සී.අයි.ඒ. සංවිධානය, යුද තාක්ෂණ සමාගම් ඇතුළු ප්‍රමුඛ සමාගම් කවයෙනි.
චීනයට රිදෙන්නට, ඉරානයට පහරදීම
සීතල යුද අවධිය තුළ සෝවියට් රුසියාව, එක්සත් ජනපදයේ මහා අනෙකා වූයේ යම් සේද නූතන සීතල යුද අවදියේ එක්සත් ජනපදයේ මහා අනෙකා වන්නේ චීනයයි. මෙම තත්ත්වය තුළ චීනයේ ශීඝ්‍ර ආර්ථික වර්ධනය අඩාල කිරීම පිණිස ඊට හිතවත් රාජ්‍ය අඩපණ කිරීම මේ ගෝලීය දේශපාලන මොහොතේ එක්සත් ජනපද භූ දේශපාලන න්‍යාය පත්‍රයේ වැඩි බරක් සහිත සැලසුම් අතර වේ. ඉරානයට එරෙහි එක්සත් ජනපද - ඊශ්‍රායල යුද්ධයේ සැබෑ නිලය ඇත්තේ මෙතැනය. නොඑසේව, ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ සැලසුමකට එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් අසුවූ බවට නැගෙන අදහස් මෙම යුද්ධය පිළිබඳ වැරදි කියවා ගැනීමකි.
ලොව ප්‍රමුඛ පෙළේ නූතන වාමාංශික බුද්ධිමතකු ලෙස සැලකෙන, පෘතුගාලයේ Coimbra විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය Boaventura de Sousa Santos සඳහන් කරන ආකාරයට, “එක්සත් ජනපදයේ මහා ප්‍රතිවාදියා රුසියාව නොව, චීනය බව අපි දැන් දනිමු. එක්සත් ජනපදය දැනට සම්බන්ධ වී සිටින ප්‍රධාන යුද වේදිකා තුන වන යුක්රේනය, පලස්තීනය (සහ පොදුවේ මැද පෙරදිග) සහ චීන මුහුද යන සියල්ලම එකම එල්ලයකට ඉලක්ක කර ඇත. එනම්, චීනය හුදකලා කිරීම සහ චීනය යුරෝපයට සහ එක්සත් ජනපද බලපෑම් ප්‍රදේශවලට ප්‍රවේශ වීම වැළැක්වීමයි. යුද්ධය සැමවිටම අවසාන විසඳුම වන අතර, බොහෝ විට පාලන තන්ත්‍රය වෙනස් කිරීම, අස්ථාවර කිරීම, එනම් චීනය කෙරෙහි දුරස්ථභාවය සහ සතුරුකම ඇති කිරීමට හැකි වන පරිදි දේශපාලන වෙනස්කම් ඇති කිරීම සඳහා ඉලක්කගත රටවල අභ්‍යන්තර ජීවිතයට ක්‍රියාකාරී මැදිහත්වීම් සිදු කරයි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයෙන් යම් නිදහසක් අපේක්ෂා කරන ජාත්‍යන්තර සන්ධානවල (BRICS, ෂැංහයි සහයෝගිතා සංවිධානය) ප්‍රමුඛ රට චීනය බව අප මතක තබා ගත යුතුය. පාලන තන්ත්‍රය වෙනස් කිරීම (Regime change) යනු සීතල යුද්ධයේ සිට සංවර්ධනය කරන ලද උපාය මාර්ගයකි. ඇත්තෙන්ම, පාලන තන්ත්‍රය වෙනස් කිරීම යටත් රාජ්‍යවල අභ්‍යන්තර ජීවිතයට මැදිහත් වීමට අධිරාජ්‍යය විසින් භාවිත කරනු ලබන එක් උපාය මාර්ගයක් පමණි.”
එක්සත් ජනපදය ඉරානය සම්බන්ධව සිදු කරමින් ඇත්තේ මෙයයි. ඉරානය තුළ එක්සත් ජනපද ගැති පාලන තන්ත්‍රයක් ස්ථාපිත කර එහි තෙල් සම්පත එක්සත් ජනපද සමාගම් යටතට ගැනීමයි.
අන්තර්ජාතික දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන ආකාරයට, ඉරාන ගැටුමට චීනය සාපේක්ෂව ගොදුරු වී ඇති නමුත් අඩු බාහිර ඉල්ලුම එහි අපනයනවලට බලපෑ හැකි අතර, එහි ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් අඩපණ විය හැකිය. ඉරානයට එරෙහි එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ ප්‍රහාර මගින් අවුලුවන ලද ගෝලීය බලශක්ති ප්‍රවාහයන්ට ඇති වන බාධාව, ලොව විශාලතම තෙල් ආනයනකරු වන චීනයට බලශක්ති ආරක්ෂාව, අපනයන ඔරොත්තු දීමේ හැකියාව සහ භූ දේශපාලනික උපාය මාර්ගය පිළිබඳ දැඩි පරීක්ෂණයකි. බීජිං හි දැවැන්ත තෙල් තොග සහ විවිධාංගීකරණය වූ මූලාශ්‍ර කෙටි කාලීන ආරක්ෂාවක් ලබා දෙන නමුත්, ඉරානය සම්බන්ධයෙන් දිගුකාලීන ගැටුමක් දේශීය ආර්ථික පීඩනයන් උග්‍ර කළ හැකි අතර චීනයේ ගෝලීය ඉලක්ක අඩපණ කළ හැකිය.
ඉරානය දිගු කලක් චීනය සඳහා අත්‍යවශ්‍ය, වට්ටම් සහිත බලශක්ති ප්‍රභවයක් ලෙස කටයුතු කර ඇත. ඉරානයේ යටිතල පහසුකම් සහ ආරක්ෂක සහයෝගීතාවයේ ආයෝජනය සඳහා චීනයට වෙළෙඳපොළ මිලට වඩා අඩු මිලකට ඩොලර් බිලියන 400ක තෙල් ලබා ගැනීම සඳහා ඉරාන - චීන වසර 25 ක සහයෝගීතා ගිවිසුම අත්සන් කළ 2021 සිට මෙය විශේෂයෙන් සිදුවී ඇත. 2025 අවසානය වන විට, චීනය ඉරානයෙන් දිනකට බොර තෙල් බැරල් මිලියන 1.4ක් පමණ ආනයනය කරමින් සිටි අතර, එය එහි මුළු බොරතෙල් ආනයනයෙන් 13% ක් සහ ටෙහෙරානයේ තෙල් අපනයනයෙන් 80% සිට 90% දක්වා ප්‍රමාණයක් නියෝජනය කරයි.
චීනයට තෙල් විකිණීම, ඉරානයට ලාභදායී වූ සේම, වැදගත් ජීවනාලියක්ද වී ඇත. කෙසේ වෙතත්, එහි තෙල් අලෙවි ආදායම චීනයෙන් භාණ්ඩ ආනයනය කිරීමට හෝ චීන සමාගම්වලට ඔවුන්ගේ සේවාවන් සඳහා ගෙවීමට පමණක් භාවිතා කළ හැකි විණි. මේ අනුව, ඉරානය අපනයන සහ ආනයන යන දෙකටම අනුව චීනය මත වැඩි වැඩියෙන් යැපෙන්නට විය.
පෙබරවාරි 28 වන දින එක්සත් ජනපද-ඊශ්‍රායල් ප්‍රහාර ආරම්භ වූ දා සිට, යටිතල පහසුකම් හානි සහ නැව්ගත කිරීම නැවැත්වීම හේතුවෙන් ඉරාන නිෂ්පාදනය සහ අපනයන බිඳ වැටී ඇත. චීනයට මෙය ඉරානයෙන් තෙල් ආනයනය කිරීමේදී සැලකිය යුතු ක්ෂණික හිඟයක් ඇති කර තිබේ. ගෝලීය ආතතීන්ගෙන් දැනටමත් පීඩාවට පත්ව ඇති වෙළඳපොළක ඉහළ ආදේශන මිල ගණන්වලට මුහුණ දීමට චීනයට සිදුවේ.
ආර්ථික ආරක්ෂක හේතූන් මත, 2026 ආරම්භයේදී තීව්‍ර වූ එක්සත් ජනපද ඉරාන තර්ජන හේතුවෙන් පැන නගින විභව බලශක්ති අර්බුදයකට චීනය සූදානම් විය. වසරේ මුල් මාස දෙක තුළ, තොග ගබඩා කිරීම සඳහා චීන තෙල් ආනයනය 16% කින් ඉහළ ගියේය. ජනවාරි සහ පෙබරවාරි මාසවලදී රුසියාව චීනයට දිනකට බැරල් 300,000 ක් පමණ අපනයනය කළේය. නමුත් චීනයට මෙය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. දැන් හෝමූස් සමුද්‍ර සන්ධියේ සිරවී සිටින ගල්ෆ් කලාපයෙන් චීනයේ තෙල් ආනයනය රුසියාවෙන් ආනයනය කරන ලද ප්‍රමාණය මෙන් අවම වශයෙන් දෙගුණයකි.
වෙනත් වචන වලින් කිවහොත්, කෙටි කාලීනව, චීනය තවමත් වෙළෙඳපොළ මිලට වඩා අඩු මිලකට තම තෙල් ආනයනයෙන් හොඳ කොටසක් හදිසියේම වසා දැමීමේ ප්‍රතිවිපාක සමඟ කටයුතු කළ යුතුව ඇති අතර, තෙල් මිල ඉහළ යාමක සන්දර්භය තුළ, එය දිගු කාලයක් සඳහා බැරලයකට ඩොලර් 100 ක් පමණ විය හැකිය.
මේ ආකාරයට, ඉරානයට එරෙහි එක්සත් ජනපද - ඊශ්‍රායල යුද්ධය චීන ආර්ථිකයට සැලකිය යුතු නිශේධනාත්මක බලපෑමක් කරනු ඇති බව පැහැදිලිය.
ඉරාන සංස්කෘතික උරුමය වැනසීම
ඉරානයට එරෙහි ඇමරිකානු සහ ඊශ්‍රායල යුද්ධයේ කුරිරු ස්වභාවය ඉරානයේ සංස්කෘතික උරුමයට එල්ල කරන ප්‍රහාරවලින්ද පැහැදිලි වේ. ඉරාන මූලාශ්‍රවලට අනුව කෞතුකාගාර, ඓතිහාසික ගොඩනැගිලි සහ සංස්කෘතික ස්ථාන 131 කට වඩා හානි වී ඇත. මෙම ම්ලේච්ඡත්වය ඉරාන සංස්කෘතියට සහ ඉතිහාසයට පමණක් නොව, සමස්තයක් ලෙස මානව වර්ගයාගේ උරුමයටද පහර දීමක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
වාර්තාවලට අනුව යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන බොහොමයකට හානි සිදුවී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ස්ථාන සංස්කෘතික හා ස්වාභාවික උරුමයන් ඇතුළත් ස්ථාන ලෙස පිළිගෙන ඇත්තේ, ඒවා මනුෂ්‍යත්වයට කැපී පෙනෙන වටිනාකමක් එක් කරන ස්ථාන ලෙස සලකමිනි. ඒවා මූලධාර්මික වශයෙන් ගත් විට ජාත්‍යන්තර ගිවිසුමක් යටතේ නීතිමය ආරක්ෂාව භුක්ති විඳින අතර, ඒවාට එල්ල කරන ලද ප්‍රහාර මගින් එක්සත් ජනපදය ජාත්‍යන්තර නීතිය විවෘතවම අවඥාවට ලක් කර තිබේ.
ඉරානයේ
ප්‍රහාරයට ලක් වූ ඇතැම් මන්දිර හුදකලා ගොඩනැගිලි නොව කෞතුකාගාර ජාල වේ. මෙම
ස්ථානවලට සිදුවන හානිය ලේඛනාගාර, විවිධ
එකතු සහ පර්යේෂණ පැවැත්වීමේ හැකියාවට බලපා
ඇත.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයේ සංස්කෘතික උරුම ස්ථාන පමණක් නොව එහි දැනුම හා අධ්‍යයන මධ්‍යස්ථාන ද විනාශ කිරීමට කටයුතු කරමින් සිටී. ඉරාන විදේශ අමාත්‍යාංශයට අනුව, ඉරාන විශ්ව විද්‍යාල සහ පර්යේෂණ මධ්‍යස්ථාන ගණනාවක් ප්‍රහාරවලට ලක් වී ඇත. ඉරාන විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය සහ ඉස්ෆහාන් තාක්ෂණ විශ්ව විද්‍යාලය ඒ අතර වේ. විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඊශ්‍රායලය හා එක්සත් ජනපදය ශිෂ්ටාචාරයේ සහ ප්‍රගතියේ පදනම වන සමුච්ඡිත දැනුම මකා දැමීමට උත්සාහ කරමින් සිටින බවයි.
මාර්තු මාසයේදී, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ලෙබනනයේ පුරාණ නගරයක් වන ටයර් අසලට එල්ල විය. එය ලෝකයේ අඛණ්ඩව ජනාවාස වූ පැරණිතම නගරවලින් එකකි. ගුවන් ප්‍රහාර මගින් වසර 3,000ක් පැරණි නෙක්‍රොපොලිස් කේන්ද්‍ර කරගත් අල්-බාස් පුරාවිද්‍යා භූමියට පිවිසෙන දොරටුවට හානි සිදු විය. එම ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින කෞතුකාගාරයක ජනේල පුපුරුවා හරින ලදී. ලෙබනනයේ බාල්බෙක් පුරාවිද්‍යා භූමියේ ප්‍රධාන රෝම දෙවොල් වෙතටද ඊශ්‍රායලය ප්‍රහාර එල්ලකර ඇත.
ඉරානයේ සහ ලෙබනනයේ මෙම ස්ථානවලට එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය හිතාමතාම පහර දුන් බවට කිසිදු සැකයක් නැත. යුනෙස්කෝව ඉරානයේ සියලුම ලෝක උරුම ස්ථාන පිළිබඳව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දැනුම්වත් කර තිබූ අතර, ඔවුන්ට තොරතුරු ලැබුණු බව එම රටවල් දෙකම තහවුරු කර තිබූ බවද වාර්තා වේ.
එක්සත් ජනපදය දැනුවත්ව ඉරානයේ හමුදා ඉලක්කවල සිට එහි සිවිල් යටිතල පහසුකම් සහ සංස්කෘතික උරුමයන් වෙත අවධානය යොමු කර ඇත. ට්‍රම්ප් “ඔවුන්ගේ සෑම විදුලි බලාගාරයක්ම” විනාශ කරන බවට තර්ජනය කළේය. ඔහු “ඒවා නැවත ගල් යුගයට ගෙන යාමට” සූදානම් විය. මෙම බිහිසුණු තර්ජනය ජාත්‍යන්තර නීතිය පමණක් නොව මානව ශිෂ්ටාචාරයම ප්‍රතික්ෂේප කිරීමකි. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සිය සතුරන්ගේ සංස්කෘතිය, ඓතිහාසික මතකය සහ සමාජ ඒකාබද්ධතාවය මකා දැමීමට උත්සාහ කරමින් සිටින බවත්, මානව වර්ගයාගේ මේ වටිනා සහ ප්‍රතිස්ථාපනය කළ නොහැකි උරුමය අහිමි වීම ඔවුන්ට කිසිදු කම්පාවක් හෝ බලපෑමක් ඇති කරන්නේ නැති බවත් මේ පිළිබඳව උනන්දුවන විද්වතුන් පෙන්වා දී ඇත.
එක්සත් ජනපදයට සම්පත් සඳහා යුද්ධයේදී මානව ශිෂ්ටාචාරය පවා වැදගත් නොවන බව මෙයින් පැහැදිලිව පෙනේ.
සටන් විරාම මිථ්‍යාව
“අද රාත්‍රියේ මුළු ශිෂ්ටාචාරයක්ම මිය යනු ඇතැයි” තර්ජනය කිරීමෙන් පැය දහයකට පසු, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා සවස Truth Social හි ප්‍රකාශයක් පළ කරමින් කියා සිටියේ, ඉරානය “හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම, වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට එකඟ වීම මත, කොන්දේසි සහිතව ඉරානයට බෝම්බ හෙලීම සහ ප්‍රහාරය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන” බවයි. එක්සත් ජනපදය දැනටමත් සියලු මිලිටරි අරමුණු සපුරා ඇති අතර, ඒවා ඉක්මවා ගොස් ඇති බවත් එක්සත් ජනපදය සහ ඉරානය නිශ්චිත ගිවිසුමක් සමඟ බොහෝ දුර ගොස් ඇති බවත් එක්සත් ජනපද ජනාධිපතිවරයා තවදුරටත් කියා තිබිණ. එසේම, ඉරානයද සටන් විරාමය පිළිගත් අතර කොන්දේසි මාලාවක්ද ඉදිරිපත් කර තිබිණ.
ඇත්තටම, මෙතැනදී සටන් විරාමය අවශ්‍ය වූයේ ඉරානයට නොව
එක්සත් ජනපදයටය. ඊට හේතුව, එක්සත් ජනපදය
මුලින් ගණන් තැබූ ආකාරයට වඩා වෙනස් ඉමක් වෙත මෙම යුද්ධය ඇදී යන්නට වීමය. ඒ
හේතුවෙන් එක්සත් ජනපදය අනපේක්ෂිත අර්බුද කරා ගමන් කරමින් තිබීමය. අනෙක් අතට, මෙම සටන් විරාම කාලය එක්සත් ජනපදය සිය මිලිටරි
උපක්‍රම සමාලෝචනය කිරීම හා අනාගත ප්‍රහාර හැඩතල වෙනස් කිරීම සඳහා යොදාගනු ඇති බව
නිසැකය.
මෙම ලිපිය ලියන අවස්ථාව වන විට, ඊශ්‍රායලය විසින් මිනිත්තු 10ක් තුළ ලෙබනනයේ ඉලක්ක 100කට පමණ ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවත්, ඉන් ලෙබනන වැසියන් 250ක් පමණ මියගොස් ඇති බවත් වාර්තා විණි. ඊශ්‍රායලය මෙසේ ප්‍රහාර එල්ල කර තිබුනේ, එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කළ සටන් විරාමයට තම රටද අනුගතව කටයුතු කරන බව ප්‍රකාශ කර තිබූ පසුබිමකය. එසේම, මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් ඉරානය නැවතත් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට කටයුතු කර තිබිණි.
මෙම තත්ත්වය තුළ සටන් විරාමයේ ඊළඟ නිමේෂය ගැන සිතාගත නොහැකි අතර, එය දිගුකල් පවතිනු ඇතැයි කිසිසේත්ම අනුමාන කළ නොහැකිය.
එක්සත් ජනපදය අරමුණු කරන්නේ ඉරාන තෙල් සම්පත තමන්ගේ ආර්ථික - දේශපාලන න්‍යාය පත්‍රයක් තුළ කළමනාකරණය කරගත හැකි විසඳුමකි. එක්සත් ජනපදයට 40 වසරක් තිස්සේ තමන් දුටු සිහිනය සැබෑ කර ගත හැකි වනු ඇත්තේ එබඳු ප්‍රවේශයක් තුළ පමණි. නමුත් ඒ සිහිනය සැබෑ කරගැනීමට ඉරානයට, එක්සත් ජනපදයට හා ඊශ්‍රායලට ගෙවන්නට සිදුවන වන්දිය කිසිවකුටත් තක්සේරු කළ නොහැකි තරම්ය. එසේම, ලෝකයේ අනෙකුත් රටවලට මෙන්ම මානව වර්ගයාටද ගෙවන්නට සිදුවනු ඇති වන්දිය සිතාගත නොහැකි තරම් බිහිසුණු වනු ඇති බව නිසැකය.
- ප්‍රභාත් චින්තක මීගොඩගේ
(දිවයින පුවත්පතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
අමෙරිකාවෙන් ශ්රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්..
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..
නීතීඥ සංගමයෙන් ජනපතිට දැඩි විරෝධයක්..