වසර 2,300 කට පමණ පෙර ඉරානයේදි සිදුවූ, "සුප්‍රකට සූසා මංගලෝත්සවය"..
'ඉරානය' ගැන කතා කරන කොට අපට අමතක කරන්නම බැරි කෙනෙක් තමයි, මහා ඇලෙක්සැන්ඩර් රජු. ලෝක ඉතිහාසයේ එදා මෙදාතුර බිහිවූ අති දක්ෂම හමුදා නායකයා. වයස විසි ගණන් වලදී ග්‍රීසියේ සිට ඉන්දියාව දක්වා විශාල අධිරාජ්‍යයක් නිර්මාණය කළේ ඔහු. ඒත්, ඔහුට නොහැකි වූ එක දෙයක් තිබුණා. ඒ හදවත් බලෙන් එකතු කිරීම!
අද මේ කතා කරන්නේ අදින් අවුරුදු 2,300 කට පමණ පෙර ඉරානයේදි සිදුවූ, "සුප්‍රකට සූසා මංගලෝත්සවය" ගැන. මෙය හුදෙක් විවාහයක් විතරක් නෙවෙයි, ඉතිහාසයේ සිදුවූ, මහා "සමාජ විද්‍යාත්මක" අත්හදා බැලීමක්!
ඇලෙක්සැන්ඩර් තමන්ගේ මැසිඩෝනියානු හමුදාව සමඟ එදා පර්සියානු අධිරාජ්‍යය (අද ඉරානය) ආක්‍රමණය කරලා දිනාගත්තට පස්සේ, ඔහුට අවශ්‍ය වුණේ මිලිටරි ජයග්‍රහණයට එහා ගිය දෙයක්..
ඔහු හිතුවා, ලෝකයේ හොඳම සංස්කෘතීන් දෙක එනම් ග්‍රීක (බටහිර) හා පර්සියානු (නැගෙනහිර) එකට මිශ්‍ර කරලා අලුත් හා බලවත්ම ශිෂ්ටාචාරයක් බිහිකරන්න. ඒ සඳහා ඔහු තෝරාගත් ආයුධය වුණේ,
"විවාහය!"
ක්‍රි.පූ. 324 දී ඉරානයේ පැරණි අගනුවරක් වූ සූසා නගරයේදී, මේ මහා විවාහ උත්සවය පැවැත්වුණා. එය ඇදහිය නොහැකි තරම් සුඛෝපභෝගී උත්සවයක්. එහිදී ඇලෙක්සැන්ඩර් තනි විවාහයක් නෙවෙයි, විවාහ දෙකක් කර ගත්තා!
පර්සියාවේ අවසන් රජු වූ තුන්වන ඩේරියස්ගේ දියණිය වු ස්ටාටෙයිරා හා ඩේරියස්ට පෙර පර්සියාව පාලනය කළ ආටාක්සර්ක්සීස් III ගේ දියණිය වූ පැරිසැටිස්.
ඇලෙක්සැන්ඩර්ගේ අතිජාත මිතුරා සහ සමීපතම සෙන්පතියා වූ හෙෆේස්තියන්, විවාහ වූයේ ස්ටාටෙයිරාගේ සහෝදරිය වූ ඩ්‍රයිපෙටිස් සමඟ. මේ නිසා ඇලෙක්සැන්ඩර් සහ හෙෆේස්තියන් මස්සිනාලා බවට පත් වුණා..
ඇලෙක්සැන්ඩර්ගේ ප්‍රධාන සෙන්පතිවරු 80 දෙනෙකුට පර්සියානු රදල කාන්තාවන් 'බලෙන්' වගේ විවාහ කර දීමට කටයුතු සූදානම් කළා. මංගල උත්සවය පැවැත්වුණේ පර්සියානු චාරිත්‍ර වාරිත්‍ර වලට අනුව!
අලුත් මනාල යුවලවල් වලට මහා පරිත්‍යාග ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි, යුද්ධය අතරතුර ආසියානු කාන්තාවන් හා විවාහ වී සිටි සාමාන්‍ය සෙබළුන් 10,000 දෙනෙකුගේ විවාහයන් නීත්‍යානුකූල කළා..
පිටතින් මේක ලෝකයේ ලොකුම සුරංගනා කතාව වගේ පෙනුණත්, අභ්‍යන්තරයේ වූ කතාව සම්පූර්ණයෙන්ම වෙනස්! මැසිඩෝනියානු ජාතිකයන් හැමදාම පර්සියානුවන් හෙවත් ඉරාන ජාතිකයන් ගැන හිතුවේ පරාජිතයන් ලෙසයි.
ඔවුන්ගේ 'උසස්' ග්‍රීක සංස්කෘතිය පර්සියානු චාරිත්‍ර සමඟ මිශ්‍ර කිරීමට ඔවුන් කැමති වුණේ නැහැ. ඔවුන් මේක දැක්කේ තමන්ගේ අනන්‍යතාවට කරන ලද බරපතල අපහාසයක් ලෙස! මේ නිසා ඇලෙක්සැන්ඩර් පර්සියානු ඇඳුම් ඇඳීම, පර්සියානු රාජකීය චාරිත්‍ර අනුගමනය කිරීම සහ පර්සියානු කුමරියන් විවාහ කර ගැනීම, ඔහුගේ සෙන්පතිවරුන්ට පෙනුණේ රජු "තමන්ගේ සංස්කෘතිය පාවා දී ඇති" බවට ලකුණක් ලෙස. ඔවුන් බිය වුණා, රජු පර්සියානුවන් සමඟ වැඩි වැඩියෙන් එකතු වී, තමන් කොන් කරයි කියා..
ආදරය කියන්නේ හදවතින් එන දෙයක්. මෙහිදී වූයේ උසස් නිලධාරීන්ගේ පෞද්ගලික ජීවිතයට බලහත්කාරයෙන් ඇඟිලි ගැසීමක්. සෙන්පතිවරුන් තමාට විවාහ කර දුන් කාන්තාවන් දෙස බැලුවේ ආදරයෙන් නෙවෙයි, කිසියම් කාර්යයක් ඉටු කිරීමට රජු විසින් භාර දුන් වස්තුවක් ලෙස. කෙටියෙන් කිවහොත්, ඇලෙක්සැන්ඩර්ට අවශ්‍ය වුණේ පාලම් හදන්න, නමුත් ඔහුගේ සෙන්පතිවරුන්ට අවශ්‍ය වුණේ තාප්ප බැඳීමට!
ඉතිහාසය කොච්චර සරදම්කාරීද කියනවා නම්, ඇලෙක්සැන්ඩර් මහා රජු මේ මංගල්‍යය පැවැත්වූවාට පස්සේ ජීවත් වෙලා හිටියේ, හරියටම එක අවුරුද්දක් පමණයි. ක්‍රි.පූ. 323 දී ඔහු අනපේක්ෂිත ලෙස මිය ගියා. ඔහුගේ මරණයත් අදටත් අභිරහසක්. ඒ ගැන පසුව කතා කරමු. එත් ඇලෙක්සැන්ඩර්ගේ මරණයත් සමඟ සිදු වූයේ කුමක්ද? සියල්ල එකවර කඩා වැටුණා!
ඇලෙක්සැන්ඩර්ගේ මරණයෙන් පසු බලය බෙදී යාමට පටන් ගත් අතර ඔහුගේ සෙන්පතිවරු කළ පළමු දේ වුණේ තමන්ට බලහත්කාරයෙන් කරවූ විවාහයන් අවලංගු කිරීම. සෙන්පතිවරුන් 80 දෙනාගෙන් 79 දෙනෙකුම තම පර්සියානු භාර්යාවන්ව දික්කසාද කළා..
මෙසේ ඔවුන්, 'නැගෙනහිර-බටහිර එක්සත් කිරීමේ සිහිනය' ඇලෙක්සැන්ඩර්ගේ සොහොන සමඟම වළ දැමුවා. ඒත් මේ මහා අසාර්ථකත්වය තුළ එකම එක ව්‍යතිරේකයක් තිබුණා.. ඒ තමයි ඇලෙක්සැන්ඩර්ගේ ප්‍රමුඛතම සෙන්පතියෙකු වූ, සෙලියුකස් I නිකේටර්!
ඔහු තමාට විවාහ කර දුන් පර්සියානු කුමරිය වූ අපාමාව, දික්කසාද කළේ නැහැ.. ඔවුන්ගේ විවාහය දිගටම පැවතුණා. පසුව, සෙලියුකස් විසින් මැදපෙරදිගින් සහ ආසියාවෙන් විශාල කොටසක් අල්ලා අධිරාජ්‍යයක් නිර්මාණය කළා. එය "සෙලියුකීය රාජවංශය" ලෙස හැඳින්වෙනවා...
මේ අධිරාජ්‍යයේ පාලකයන් වූයේ සෙලියුකස් හා අපාමා යුවළේ දරුවන් වූ නිසා, නැගෙනහිර සහ බටහිර සම්මිශ්‍රණය පිළිබඳ ඇලෙක්සැන්ඩර්ගේ සිහිනය, යම්තාක් දුරකට ඉෂ්ට වූයේ, මෙසේ එක් පවුලක් හරහා පමණයි!
"ඉතින්, ඇලෙක්සැන්ඩර් විවාහ කරගත් කුමාරිකාවන්ට මොකද වුණේ?"
මුලින්ම අපි එයාල කවුද කියල දැනගමු. ඔවුන් තමයි, පර්සියාවේ අවසන් රජු වූ පරාජිත තුන්වන ඩේරියස්ගේ දියණිය වු ස්ටාටෙයිරා හා ඩේරියස්ට පෙර පර්සියාව පාලනය කළ ආටාක්සර්ක්සීස් III ගේ දියණිය වූ පැරිසැටිස්.
ඇලෙක්සැන්ඩර් පර්සියාව යටත් කර ගැනීමෙන් පසු, ඔහු තම පාලනයට නීත්‍යානුකූල භාවය ලබා ගැනීම සඳහා, මෙසේ රාජවංශ දෙකෙන්ම විවාහයන් සිදු කළා..
එහෙත් ඇලෙක්සැන්ඩර් මහා රජු ක්‍රි.පූ. 323 දී අනපේක්ෂිත ලෙස මිය ගිය පසු, ඔහු ගොඩනැඟූ දේශපාලන තත්ත්වය ඉතා ඉක්මනින් වෙනස් වුණා. ඇලෙක්සැන්ඩර්ගේ පළමු බිරිඳ වූ රොක්සානා සහ සෙන්පතිවරු තම බලය තහවුරු කර ගැනීමට කටයුතු කළා..
යම් විදියකින් පැරිසැටිස් හෝ ස්ටාටෙයිරා ගැබ්ගෙන සිටියා නම්, එය රොක්සානාගේ සහ ඇගේ පුතු වන ඇලෙක්සැන්ඩර් IV ගේ දේශපාලන අනාගතයට තර්ජනයක්. ඒ නිසා, ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ ඇලෙක්සැන්ඩර්ගේ මරණයෙන් සුළු කලකට පසු, රොක්සානා විසින් ස්ටාටෙයිරා හා පැරිසැටිස් යන කුමරියන් ඝාතනය කළ බව!
මේ කතාව හුදෙක් ඉතිහාස පාඩමක් විතරක් නෙවෙයි. එය මනුෂ්‍ය ස්වභාවය ගැනත්, බලහත්කාරයෙන් දේවල් වෙනස් කිරීමේ සීමාවන් ගැනත් අපට වැදගත් පාඩම් කියා දෙනවා. ඇලෙක්සැන්ඩර් මිලිටරි ජයග්‍රහණ නම් බලහත්කාරයෙන් ලබා ගත්තා.
නමුත් බලහත්කාරයෙන් කරවන ඕනෑම වෙනසක් පිටතින් ලස්සනට පෙනුණත්, ඇතුළතින් කුණු වී යාමට වැඩි කාලයක් යන්නේ නැහැ. සැබෑ සංස්කෘතික සම්මිශ්‍රණයකට කාලය අවශ්‍යයි. එය පරම්පරා ගණනාවක් තිස්සේ සෙමින් සෙමින් සිදුවිය යුතු දෙයක්. ඇලෙක්සැන්ඩර්ට අවශ්‍ය වුණේ, මේ ක්‍රියාවලිය දින කිහිපයකින් අවසන් කරන්න.
ඉතින් එහේ මගුල්, අවමගුල් වෙන කොට මෙහේ මොකද වුණේ ? ක්‍රි.පූ. 324 වසරේ ලංකාවේ පාලනය කළ බවට මහා වංශයේ සඳහන් වන්නේ පණ්ඩුකාභය රජතුමා. විජය රජු ගෙන් පසුව ලංකාවේ රාජ්‍ය බලය තහවුරු කළ පණ්ඩුකාභය රජු, අනුරාධපුරය නගරයක් ලෙස ගොඩනංවා එය රාජධානියේ කේන්ද්‍රස්ථානය බවට පත් කළා.
ඒ කාලයේ රටේ ගම් හා නගර සීමා සලකුණු කිරීම සහ නිලධාරීන් පත් කිරීම කරමින් සිටි බව මහා වංශයේ සඳහන් වේ. එමෙන්ම ඔහු අභය වැව වැනි වාරිමාර්ග ඉදි කළ බව ද සඳහන්. ඇලෙක්සැන්ඩර් රජුගේ විවාහය සිදු වූ ක්‍රි.පූ. 324 වන විට බුදු දහම ලංකාවට පැමිණ තිබුණේ නැහැ. ඇලෙක්සැන්ඩර් රජුගේ මරණයට වසර 70-80 කට පමණ පසුවයි බුදු දහම ශ්‍රී ලංකාවට ලැබුණේ..
ඇලෙක්සැන්ඩර් මහා රජු පර්සියානු කුමරියන් විවාහ කර ගෙන යුග ගණනාවකට උරුමකම් කියන අධිරාජ්‍යයක් නිර්මාණය කිරීමට උත්සාහ කළ මොහොතේ, ශ්‍රී ලංකාවේ පණ්ඩුකාභය රජු යටතේ මෙරට පළමු සංවිධානාත්මක රාජධානිය ගොඩනැගෙමින් තිබුණා.පසුව එය පැරණි ලෝකයේ අමතක කළ නොහැකි අගනුවරක් බවට පත්වුණා.
හිතන්න, ඇලෙක්සැන්ඩර් රජු දීර්ඝ කාලයක් ජීවත් වෙමින් එසේ ජාතින් මිශ්‍ර කිරීම දිගටම කරගෙන ගියා නම්, අද ලෝකය කොහොම තැනක් වේවිද? අද දවසේ අප දකින ඉරාන-ඊශ්‍රායල ගැටුම හෝ බටහිර බලවතුන් මැදපෙරදිගට ඇඟිලි ගැසීම දෙස බලන විට එදා ඇලෙක්සැන්ඩර් අසාර්ථක වූ තැනම, අදත් ලෝකය අසාර්ථක වෙමින් පවතින බව නේද පෙන්නේ?
ඇලෙක්සැන්ඩර් පර්සියාව යුදමය වශයෙන් දිනාගත්තා. අදත් යුධ බලයෙන් ඕනෑම රටක් යටත් කරගත හැකියි. නමුත් ඇලෙක්සැන්ඩර්ට එදා තේරුම් නොගිය සත්‍යය එනම්, සංස්කෘතීන් සහ මිනිස් මනෝභාවයන් එසේ බලහත්කාරයෙන් වෙනස් කළ නොහැකි බව. එදා මැසිඩෝනියානු සෙන්පතියන් පර්සියානු කුමරියන්ව ප්‍රතික්ෂේප කළේ යම් සේද, අදත් මැදපෙරදිග කලාපය තුළ බටහිර ප්‍රජාතන්ත්‍රවාදය හා සංස්කෘතික ආකෘතීන් බලහත්කාරයෙන් පැනවීමට දරන උත්සාහයන් දේශපාලන අස්ථාවරත්වයට මග පාදා තිබෙනවා.
නූතන ලෝකයේත් බලවත් රටවල් දුර්වල රටවල් සමඟ ඇති කරගන්නා "ආර්ථික විවාහ" හෙවත් ආර්ථික ගිවිසුම් දෙස බලන්න. මේවා පිටතින් සාමකාමී ලෙස පෙනුනත්, ඇලෙක්සැන්ඩර්ගේ සෙන්පතියන් මෙන්, දෙපාර්ශවයම සිටින්නේ එකිනෙකා කෙරෙහි සැකයෙන් සහ වෛරයෙන්!
එක් පසෙකින් ඉරානය ප්‍රමුඛ කණ්ඩායම සහ අනෙක් පසින් බටහිර හිතවාදී කණ්ඩායම අතර පවතින වත්මන් යුද්ධය, එදා සූසා මංගල්‍යයේදී මතු වූ ඒ සංස්කෘතික නොගැලපීමේම දිගුවක් වැනියි.
අද ලෝකයටත් අවශ්‍ය වන්නේ බලහත්කාරයෙන් පටවන විසඳුම් නොව, සෙලියුකස් සහ අපාමා මෙන් එකිනෙකාගේ අනන්‍යතාවන්ට ගරු කරමින් ගොඩනැගෙන සහජීවනයයි. ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍යය ඔහුගේ මරණයත් සමඟ වසරක් ඇතුළත කැබලි වලට කැඩී ගියත්, පණ්ඩුකාභය රජු දැමූ අඩිතාලම මත අනුරාධපුර රාජධානිය වසර 1,000 කට වඩා නොසැලී පැවතුණා.
කොහොමද එහෙම වුණේ? ඇලෙක්සැන්ඩර් උත්සාහ කළේ පිටතින් දේවල් එකතු කරන්නටයි. නමුත් පණ්ඩුකාභය රජතුමා කළේ, වැව් අමුණු ඉදි කරමින්, ග්‍රාම සීමා පනවමින් රට ඇතුළතින් ශක්තිමත් වීමයි. අද ලෝකයේත්, මිසයිල හෝ බලහත්කාර විවාහ වලින් (ගිවිසුම් වලින්) සාමය ගොඩනැගිය නොහැකි බව, ඉතිහාසය මෙසේ අපට මතක් කර දෙනවා. ඇලෙක්සැන්ඩර්ගේ පර්සියානු කුමරියන්ගේ කඳුළු, අදත් මැදපෙරදිග යුද පිටි වලින් අපට ඇසෙනවා විය හැකියි. අවසන් වශයෙන්, සැබෑ ජයග්‍රහණය යනු 'රාජ්‍යයන්' යටත් කර ගැනීම නොව, මිනිස් සිත් එකිනෙකාට ගරු කරන තැනට ගෙන ඒමයි, තවත් විග්‍රහයකින් හමුවෙමු.
(සාගර දියගම ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා
මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි
ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝග වහා හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේදී පැවති විරෝධතාව..