News Category
From Date
To Date
Maximum Number of Result

තෙල් සහ මුදල් වෙනුවෙන් වූ 75 වසරක යුද්ධය: පෙට්‍රෝ-ඩොලර් ආධිපත්‍යය වෙනුවෙන් ඇමරිකාව ගෙන ගිය සටන පර්සියානු ගල්ෆ් කලාපය විනාශය අද්දරට රැගෙන ආ අයුරු

Mar 20, 2026 at 01:30 PM
|

1953 ඉරානයේ සිදු වූ CIA කුමන්ත්‍රණයේ සිට 2026 ගල්ෆ් බලශක්ති යුද්ධය දක්වා, නීති නොමැති  බලහත්කාරයේ රටාව

 ආචාර්ය ජගත් චන්ද්‍රවංශ විසිනි, 2026 මාර්තු 19

 ගල්ෆ් කලාපය

ඉරානයේ බොරතෙල් අපනයනයෙන්  90% ක් පමණ හසුරුවන ‘කාර්ග් දූපතේ’ (Kharg Island) පර්යන්ත කළාපයට මෙම මස මුලදී ඇමරිකානු ප්‍රහාරක යානා මගින්  ප්‍රහාර එල්ල කරන විට, එමගින්  සිදු වූයේ කලාපීය ගැටුමක් උග්‍ර කිරීමකට වඩා වැඩි යමකි. ඇමරිකාව විසින් වසර 75ක් පුරා ගොඩනැගෙමින් තිබූ ගැටුමක ගිනි පුපුර දල්වනු ලැබීය. මෙය න්‍යෂ්ටික අවි  පිළිබඳව හෝ නාවික ගමනාගමනයේ නිදහස පිළිබඳ යුද්ධයක් නොව, මැදපෙරදිග ජාතීන්ට තමන්ගේ  සම්පත් පාලනය කිරීමට සහ තමන් කැමති මුදල් ඒකකයක් තෝරා ගැනීමට ඇති මූලික අයිතිය පිළිබඳව වූ යුද්ධයකි.

සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය පුරා විසිරී ඇති බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉරාන ඩ්‍රෝන යානා ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින පසුබිමක් තුළ අද වන විට මෙම ගැටුමේ සැබෑ ස්වරූපය නිරාවරණය වී ඇත. ඒ සඳහා මිත්‍ර පාර්ශවයන්ගේ සහාය, එක්සත් ජාතීන්ගේ අවසරයක් හෝ අවම වශයෙන් "නීති මත පදනම් වූ ජාත්‍යන්තර ක්‍රියාපටිපාටියක්" පිළිබඳව මවාපෑමකින් හෝ තොරව  එක්සත් ජනපදය අද  තනිවම සටන් කරමින් සිටී. ඔවුන් සටන් කරන්නේ 1974 සිට ඇමරිකානු ගෝලීය ආධිපත්‍යයට පදනම සැපයූ "පෙට්‍රෝ-ඩොලර්" (petrodollar) පද්ධතිය රැක ගැනීම සඳහා ය. ඒ සඳහා ඔවුන්ට ඉතිරිව ඇති එකම මාර්ගය අසීමිත ලෙස තම මිලිටරි බලය භාවිතා කිරීම පමණි.

“රහස්‍ය” වර්ගීකරණයෙන් ඉවත් කරන ලද (declassified) ලේඛන, රාජ්‍ය තාන්ත්‍රික වාර්තා සහ නිල ප්‍රකාශ මගින් සනාථ කෙරෙන, වසර 75ක් පුරා දිවෙන එම යුද්ධයේ කතාව මෙයයි. අප අද මුහුණ දෙන මෙම භයානක ප්‍රපාතය අද්දරට  පැමිණියේ මෙලෙසිනි.

 සැලසුම් සිතියම: ඉරානය 1953

 දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර අටක් ගතවන විට මෙම රටාව ස්ථාපනය කිරීම සිදු විය. 1951 දී, ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ අගමැති මොහොමඩ් මොසාඩෙක් (Mohammad Mosaddegh), 'ඇන්ග්ලෝ-ඉරාන තෙල් සමාගම' (Anglo-Iranian Oil Company) ජනසතු කළ අතර, බ්‍රිතාන්‍යයන් සතුව තිබූ තම ජාතියේ තෙල් සම්පතේ පාලනය තම ජාතිය සතු කර ගත්තේය.

 ඊට වොෂින්ටනයෙන් සහ ලන්ඩනයෙන් ලැබුණු ප්‍රතිචාරය වේගවත් සහ තීරණාත්මක විය. 1953 අගෝස්තු මාසයේදී, සී.අයි.ඒ. (CIA) සංවිධානය විසින් 'ඔපරේෂන් ඇජැක්ස්' (Operation Ajax) මෙහෙයවන ලදී. එහිදී වීදි සටන් කල්ලි සංවිධානය කිරීම, නිලධාරීන්ට අල්ලස් දීම සහ මොසාඩෙක්ව බලයෙන් පහ කිරීම ද සිදු විය. ඔහු වෙනුවට බටහිර බලවතුන් විසින් මොහොමඩ් රේසා ෂාහ් පහ්ලවි (Mohammad Reza Shah Pahlavi) රජකමට පත් කරන ලදී. ඔහු ඉදිරි වසර 26 පුරා ඇමරිකාවේ විශ්වාසවන්ත සේවාදායකයෙකු ලෙස කටයුතු කළේය.

 (ලේඛනගත සාක්ෂි: දශක ගණනාවක මර්දනයෙන් පසුව 2017 දී නිකුත් කරන ලද, ඉරානය පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 'එක්සත් ජනපදයේ විදේශ සබඳතා' (Foreign Relations of the United States volume on Iran)වෙළුම මගින් CIA හි භූමිකාව තහවුරු කරයි.) එම ලේඛනවලින් හෙළි වන්නේ මෙම මෙහෙයුම "රජයේ ඉහළම මට්ටම් විසින් සංකල්පනය කර, අනුමත කරන ලද එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ ක්‍රියාවක්" බවයි.

 එමගින් ලබාදුන් පාඩම පැහැදිලිය: තෙල් සම්පත් පිළිබඳ ස්වාධීන හැසිරවීම සහ පාලනය කිසිසේත්ම ඉවසනු නොලැබේ. ඉන් පසුව සිදු වූ සෑම දෙයකටම පදනම වැටුනේ එලෙසිනි.

පෙට්‍රෝ-ඩොලරය: 1974

1971 දී ජනාධිපති රිචඩ් නික්සන් විසින් ඩොලරය සඳහා වූ 'රන් ප්‍රමිතිය' (gold standard) අවසන් කළ විට, ඇමරිකානු ඩොලරය පැවැත්ම පිළිබඳ බරපතල අර්බුදයකට මුහුණ දුන්නේය. රන් ආවරණයක් නොමැතිව, ලෝකයේ සංචිත මුදල් ඒකකය ලෙස එහි තත්ත්වය පවත්වා ගන්නේ කෙසේද?

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 'විදේශ සබඳතා' වෙළුම්වල ලේඛනගත කර තිබෙන පරිදි, සෞදි අරාබිය සමග ඇති කරගත් පෙරළිකාර ගනුදෙනුවක් මගින් එම ප්‍රශ්නය විසඳා ඊට නිසි පිළිතුර ලැබුණේ 1974 දීය. 1974 මාර්තු 1 වන දින ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ නියෝජ්‍ය සහකාර ලේකම්වරයා විසින් එවන ලද විදුලි පණිවුඩයක් මගින් එහි කොන්දේසි මෙසේ විස්තර කර තිබුණි:

 "සෞදි ජාතිකයන් ඔවුන්ගේ අතිරික්ත ආදායමෙන් සැලකිය යුතු කොටසක් එක්සත් ජනපදය තුළ ආයෝජනය කරනවාට අපි කැමතියි... ඒ වෙනුවෙන් ඔබට මිලිටරි ආරක්ෂාව සඳහා අපට දිගුකාලීන සැපයුම් ගිවිසුම් ඇති කර ගත හැකියි."

 ඒ ආකාරයට "පෙට්‍රෝ-ඩොලර්" පද්ධතිය බිහි විය. සෞදි අරාබිය සිය තෙල් සඳහා මිල නියම කරනු ලබන්නේ ඩොලර්වලින් පමණක් වන අතර, එමඑමගින් ලැබෙන  මුදල් ඇමරිකානු භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කරනු ලබයි. ඒ වෙනුවෙන්, එක්සත් ජනපදය ඔවුන්ට මිලිටරි ආරක්ෂාව සපයයි. සෑම ජාතියකටම තෙල් අවශ්‍ය වූ බැවින්, සෑම ජාතියකටම ඩොලර් ද අවශ්‍ය විය. ඒ අනුව ඩොලරය රත්තරන්වලින් නොව, තෙල් සහ ඇමරිකානු හමුදා බලය මගින් සුරක්ෂිත විය.

 මෙම සැකසුමට අභියෝග කරන ඕනෑම රටකට එල්ල වන නිසැක තර්ජනය, ඉදිරි දශක කිහිපය තුළ ඉතා ඛේදජනක ලෙස පැහැදිලි විය.

 හැරවුම් ලක්ෂය: 1979

 1979 ඉරාන විප්ලවය මගින් CIA ආයතනය විසින් පත් කරන ලද ෂාහ් රජුව බලයෙන් පහ කරනු ලැබූ අතර, ඇමරිකානු බලපෑමට එරෙහි ඉස්ලාමීය ජනරජයක් ස්ථාපිත කරන ලදී. වොෂින්ටනය විසින්  ඉරානය සමග තිබූ සබඳතා බිඳ දමා, පුළුල් සම්බාධක පැනවූ අතර, ඉරානය ප්‍රධාන සතුරෙකු ලෙස සැලකීමට පටන් ගත්තේය.

 මෙහිදී තීරණාත්මක කරුණක් වන්නේ, 1957 දී "සාමය සඳහා පරමාණුව" (Atoms for Peace) වැඩසටහන යටතේ ඇමරිකාව විසින්ම ආරම්භ කරන ලද ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සඳහා වූ සියලු සහයෝගයන් එක්සත් ජනපදය විසින් ඉවත් කර ගැනීමයි. අද වන විට එක්සත් ජනපදයේ එදිරිවාදිකම් සඳහා මූලිකම හේතුව ලෙස ඉදිරිපත් කෙරෙන න්‍යෂ්ටික යටිතල ව්‍යුහය, දශක දෙකකට ආසන්න කාලයක් ඇමරිකානු-ඉරාන සහයෝගීතාවයේ සංකේතයක් විය. එය තර්ජනයක් බවට පත් වූයේ ඉරානය ඇමරිකාවේ සේවාදායකයෙකු බවට පත්වීම නතර කළ විට පමණි.

මුදල් ඒකකයට  අභියෝගකෙරුවෝ: ඉරාකය සහ ලිබියාව

පෙට්‍රෝ-ඩොලර් පද්ධතිය 2000 මුල් කාලයේ දී එහි පළමු බරපතල පරීක්ෂණවලට මුහුණ දුන්නේය.

ඉරාකය 2000-2003

එක්සත් ජාතීන්ගේ "ආහාර සඳහා තෙල්" (Oil-for-Food) වැඩසටහන යටතේ, සදාම් හුසේන්ගේ පාලනය යටතේ තිබූ ඉරාකය ඩොලර් වෙනුවට යුරෝ (Euro) මුදලින් තෙල් විකිණීම ආරම්භ කළ අතර, ඔවුන්ගේ සංචිතවලින් ඩොලර් බිලියන 10ක් පමණ මුදල් ප්‍රමාණයක් යුරෝ බවට පරිවර්තනය කළේය. 2000 මැයි මාසයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු වාර්තා මෙම විකිණීම් පිළිබඳව සාක්ෂි දරයි. අනෙකුත් ඔපෙක් (OPEC) රටවල් ද මෙය අනුගමනය කළේ නම්, ඩොලරය සඳහා වූ ගෝලීය ඉල්ලුම දැවැන්ත ලෙස පහත වැටීමට ඉඩ තිබුණි.

 2003 මාර්තු මාසයේදී එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කළේය. ඒ සඳහා ප්‍රසිද්ධියේ ඉදිරිපත් කළ හේතු කාරණාව වූයේ "විශාල ජනකායකට විනාශය ළඟා කළ හැකි   ආයුධ" (weapons of mass destruction) සන්තකයේ තබා ගැනීමයි. නමුත් එවැනි ආයුධ කිසිවක් හමු නොවීය. ආක්‍රමණයෙන් පසු එක්සත් ජනපදය විසින් පිහිටුවන ලද රජය සිදු කළ පළමු ක්‍රියාවන්ගෙන් එකක් වූයේ, ඉරාක තෙල් අලෙවිය නැවතත් ඇමරිකානු ඩොලර් වෙත මාරු කර ගැනීමයි. එහි පණිවුඩය ඉතා පැහැදිලි විය: එනම් ඩොලරය අත්හැරීම යනු පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ (regime change) අවදානම භාර ගැනීමයි.

ලිබියාව 2009-2011

 මුඅම්මර් ගඩාෆි, අප්‍රිකානු සංගමයේ සභාපති ලෙස, තෙල් අලෙවිය සහ මහාද්වීපික වෙළඳාම සඳහා රන් ආවරණයක් සහිත "රන් ඩිනාර්" (Gold Dinar) නම් වූ සාර්ව අප්‍රිකානු මුදල් ඒකකයක් නිර්මාණය කිරීමට යෝජනා කළේය. හිලරි ක්ලින්ටන්ගේ ධූර කාලයට අයත්, 2011 අප්‍රේල් මාසයේදී “රහස්‍ය” වර්ගීකරණයෙන් ඉවත් කරන ලද රාජ්‍ය දෙපාර්තමේන්තු විද්‍යුත් තැපෑලක මෙසේ සඳහන් විය:

"ගඩාෆිගේ රජය සතුව රන් ටොන් 143ක් ඇත... එය ලිබියානු රන් ඩිනාර් මත පදනම් වූ සාර්ව අප්‍රිකානු මුදල් ඒකකයක් පිහිටුවීමට භාවිතා කිරීමට අදහස් කෙරේ. මෙම සැලසුම නිර්මාණය කර ඇත්තේ ප්‍රංශ භාෂාව කතා කරන අප්‍රිකානු රටවලට ප්‍රංශ ෆ්‍රෑන්ක් (French franc) සඳහා විකල්පයක් ලබා දීම පිණිස ය."

එම විද්‍යුත් තැපෑලෙහි වැඩිදුරටත් සඳහන් වූයේ ප්‍රංශ බුද්ධි අංශ මෙම සැලසුම සොයාගත් බවත්, එය "ලිබියාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා ප්‍රංශය මැදිහත් වීමට ජනාධිපති නිකොලස් සර්කෝසි ගත් තීරණයට බලපෑ බවත්" ය.

වර්ෂ 2011 දී එක්සත් ජනපදය සහ ප්‍රංශය ප්‍රමුඛ නේටෝ (NATO) හමුදා ලිබියානු සිවිල් යුද්ධයට මැදිහත් විය. ගඩාෆි බලයෙන් පහ කර මරා දමන ලදී. ලිබියාව අවුල් ජාලයකට ඇද වැටුණි. "රන් ඩිනාර්" සංකල්පය එහි නිර්මාතෘ සමගම මිය ගියේය. එහි ගැබ් වූ පණිවුඩය ඉතා දරුණු ලෙස තහවුරු විය.

 චීන සාධකය: 2015-2025

 ලොව විශාලතම බලශක්ති ආනයනකරුවා ලෙස චීනය නැගී සිටීම යන කරුණ මෙම ගණනය කිරීම්වල මූලධර්ම වෙනස් කර ඇත.

 ඉරානය: 2018 දී එක්සත් ජනපදය JCPOA න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව, ඉරානය චීනය සමග සිය බලශක්ති වෙළඳාම චීන 'යුවාන්' (Yuan) මුදල්වලින් කිරීම වැඩි වැඩියෙන් සිදු කළේය.

 සෞදි අරාබිය

 2022 දී, සෞදි අරාබිය තම බොරතෙල්වලින් කොටසක්  'යුවාන්' (yuan) මුදලින් කිරීම පිළිබඳව චීනය සමග බැරෑරුම් සාකච්ඡා ආරම්භ කළේය. 2022 මාර්තු මාසයේදී වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) වාර්තා කළේ, "දශක ගණනාවක් පැරණි එක්සත් ජනපද ආරක්ෂක සහතික කිරීම් පිළිබඳව සෞදි වැසියන් තුළ වර්ධනය වෙමින් පවතින අතෘප්තිය හේතුවෙන් මෙම වසරේ සාකච්ඡා වේගවත් වී ඇති" බවයි. චීනය දැන් සෞදි තෙල් අපනයනයෙන් 25% කට වඩා මිලදී ගනී.

 2024 වන විට, වසර 50 ක් පැරණි එක්සත් ජනපද-සෞදි පෙට්‍රෝ-ඩොලර් ගිවිසුම ප්‍රසිද්ධියේ අලුත් කිරීමකින් තොරව කල් ඉකුත් විය. 2025 වන විට, චීනයට අලෙවි කරන සෞදි තෙල්වලින් ආසන්න වශයෙන් 45% ක් සඳහා මිල නියම කර තිබුණේ යුවාන් මුදලිනි. තවද සෞදි බැංකු චීනයේ CIPS දේශසීමා ගෙවීම් පද්ධතියට එක් විය.

කටාර් රාජ්‍යය

2022 නොවැම්බර් මාසයේදී, කටාර් රාජ්‍යය චීනය සමග සිය විශාලතම LNG (ද්‍රව ස්වභාවික වායු) සැපයුම් ගිවිසුමට අත්සන් තැබීය. එය යුවාන් මුදලින් මිල නියම කරන ලද වසර 27කට බලපැවැත්වෙන ගිවිසුමකි. කටාර් බලශක්ති අමාත්‍යවරයා එය හැඳින්වූයේ "LNG කර්මාන්ත ඉතිහාසයේ දීර්ඝතම සැපයුම් ගිවිසුම" ලෙසයි.

 2026 ආරම්භයේ දී බහු-මුදල් (multi-currency) බලශක්ති වෙළඳපොළක් නිර්මාණය වී ඇත.

 2026 ගල්ෆ් බලශක්ති යුද්ධය

 2026 මාර්තු 13 වන දින, එක්සත් ජනපදය ඉරානයේ බොරතෙල් අපනයනයෙන්  90% ක් පමණ හසුරුවන 'කාර්ග් දූපත' (Kharg Island) ට ප්‍රබල හමුදා ප්‍රහාර එල්ල කළේය. මාර්තු 16 වන දින එක්සත් ජනපද මධ්‍යම විධානය (U.S. Central Command) නිකුත් කළ ප්‍රකාශයක් මගින් තහවුරු කළේ "ඔපරේෂන් එපික් ෆියුරි" (Operation Epic Fury) මගින් නාවික ඩ්‍රෝන පහසුකම් සහ මිසයිල යටිතල පහසුකම් ඇතුළු "ඉරාන හමුදා ඉලක්ක 90 කට වඩා" විනාශ කර ඇති බවයි.

මෙහිදී තීරණාත්මක කරුණ වන්නේ වොෂින්ටනය තනිවම ක්‍රියා කිරීමයි. වාර්තා වන පරිදි නේටෝ (NATO) සාමාජිකයින් සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) රටවල්වලට යුද නැව් එවන ලෙස එක්සත් ජනපදය කළ ඉල්ලීම් ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. ඇමරිකාව ඉදිරියට ගියේ මිත්‍ර පාර්ශවයන්ගේ එකඟතාවයකින් තොරව, එක්සත් ජාතීන්ගේ අවසරයකින් තොරව, හෝ අවම වශයෙන් සිය කලාපීය හවුල්කරුවන්ව දැනුවත් කිරීමකින් හෝ තොරවය.

ඉරානය කලක සිට අනතුරු ඇඟවූ පරිදිම නිවැරදිව ප්‍රතිප්‍රහාර එල්ල කළේය. ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ ඉරාකය පුරා ඇති ප්‍රධාන පිරිපහදු, ගෑස් ක්ෂේත්‍ර සහ අපනයන පර්යන්ත වෙත එල්ල විය. තීරණාත්මක පහසුකම් කිහිපයකම නිෂ්පාදන කටයුතු ඇණ හිටියේය. ඉරාන විදේශ අමාත්‍යවරයා සෘජුවම ප්‍රකාශ කළේ: ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන්නේ නම්, ටෙහෙරානය විසින්  "ඇමරිකානු සමාගම් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් හිමිකාරිත්වය දරන කලාපයේ ඕනෑම බලශක්ති මධ්‍යස්ථානයකට" ප්‍රහාර එල්ල කරන බවයි.

මානුෂීය පිරිවැය: 4,000කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර මිලියන සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇත.

ආර්ථික බලපෑම:

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 108 ඉක්මවා ගොස් ඇත, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ඵලදායී ලෙස වසා දමා ඇත, සහ ගෝලීය තෙල් සැපයුමෙන්  20% ක් ඇණහිට ඇත. මෙය ඉතිහාසයේ විශාලතම බලශක්ති කම්පනයයි.

මුදල් ඒකක කෙරෙහි බලපෑම:

 යුවාන් මත පදනම් වූ බලශක්ති වෙළඳාමට පහසුකම් සලසන යටිතල පහසුකම්—එනම් සෞදි පිරිපහදු, කටාර් LNG පර්යන්ත, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වරායන් ඉරාන ආක්‍රමණශීලීත්වය පිළිබඳ මවාපෑමක් සහිතව ගෙන යන යුද්ධය නිසා හානියට පත් වී හෝ විනාශ වී ඇත.

ඇමරිකාව සැබවින්ම සටන් කරන්නේ කුමක් සඳහාද?

2026 ගල්ෆ් බලශක්ති යුද්ධය මූලික වශයෙන් ඉරාන න්‍යෂ්ටික අවි පිළිබඳ යුද්ධයක් නොවේ (එය ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරන හේතුව වුවද). එය "පෙට්‍රෝ-ඩොලර්" පද්ධතියේ වේගවත් බිඳ වැටීම සහ එම බිඳ වැටීම, තමන් සතු එකම මාර්ගය වන මිලිටරි බලය හරහා නැවැත්වීමට වොෂින්ටනය තුළ ඇති දැඩි අධිෂ්ඨානය පිළිබඳ යුද්ධයකි.

අප ඉදිරියේ දක්නට ඇති සාක්ෂි පිළිබඳව සලකා බලන්න. ගෝලීය සංචිතවල ඩොලරයේ කොටස 56% දක්වා පහත වැටී ඇත. එය 1995 න් පසු වාර්තා වූ අවම අගයයි. සෞදි අරාබිය දැන් චීනයට අලෙවි කරන තෙල්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් යුවාන් මුදලින් අලෙවි කරයි. කටාර් හි ප්‍රධාන LNG ගිවිසුම් යුවාන් මුදලින් නාමකරණය කර ඇත. බ්‍රික්ස් (BRICS) ජාතීන් විකල්ප ගෙවීම් පද්ධති සක්‍රීයව ගවේෂණය කරමින් සිටී.

පෙට්‍රෝ-ඩොලර් පක්ෂපාතිත්වය සඳහා ආර්ථික වශයෙන් තරඟ කිරීමට එක්සත් ජනපදයට නොහැකිය. ලොව විශාලතම බලශක්ති ආනයනකරුවා වන චීනයට වඩා හොඳ මිලක් ලබා දීමට ඔවුන්ට නොහැකිය. බීජිං පාලනය සිය ස්වෛරී හවුල්කරුවන්ට දක්වන රාජ්‍ය තාන්ත්‍රික ගෞරවය ලබා දීමට ද ඔවුන්ට නොහැකිය. ආර්ථික තරඟකාරිත්වය අසාර්ථක වූ විට, ඉතිරි වන්නේ මිලිටරි බලය පමණි.

ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සහ කලාපීය ප්‍රතිප්‍රහාර අවුලුවාලීම හරහා වොෂින්ටනය බලාපොරොත්තු වන්නේ, පෙට්‍රෝ-ඩොලරයට අභියෝග කරන ප්‍රබලම සතුරාට දඬුවම් කිරීම, ඇමරිකානු ආරක්ෂක කුඩය (security umbrella) තවදුරටත් අත්‍යවශ්‍ය බව ගල්ෆ් රාජ්‍යයන්ට පෙන්වා දීම, යුවාන් පදනම් කරගත් වෙළඳාමට පහසුකම් සලසන යටිතල පහසුකම් අස්ථාවර කිරීම සහ එක්සත් ජනපදය තවමත් අභියෝගයකින් තොරව සිටින එකම ක්ෂේත්‍රය වන "මිලිටරි බලය" හරහා ඇමරිකානු ප්‍රමුඛත්වය නැවත තහවුරු කිරීමයි.

ස්වෛරීභාවය විනාශ කිරීම

මෙම උපායමාර්ගයේ පිරිවැය දරා ගැනීමට සිදු වී ඇත්තේ එක්සත් ජනපදය ආරක්ෂා කරන බව පවසන ජාතීන්ටමය.

සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය තමන් ඉල්ලා නොසිටි, අනුමත නොකළ සහ මග හැරීමට උත්සාහ කළ ඇමරිකානු යුද්ධයක සෘජු ප්‍රතිඵලයක් ලෙස තම තීරණාත්මක යටිතල පහසුකම් ගිනි ගන්නා අයුරු බලා සිටී. ඇමරිකානු ආධිපත්‍යය සංරක්ෂණය කර ගැනීමේ යුද්ධයක කොටස්කරුවන් වීම නිසා හානියේ තමන්ගෙ කොටස (collateral damage) ලෙසට ඇමරිකානු තාක්ෂණයෙන් නිපදවන ලද, ඇමරිකානු සමාගම්වලට අර්ධ වශයෙන් හිමි ඔවුන්ගේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන, ගෑස් සැකසුම් මධ්‍යස්ථාන සහ අපනයන පර්යන්ත විනාශ වෙමින් පවතී.

 ඉරානයට සිදුවන විනාශය ඊටත් වඩා සෘජු ය. ඉරාන තෙල් අපනයනයෙන් 90% ක මාර්ගය වූ කාර්ග් දූපත අකර්මණ්‍ය කර ඇත. තම සම්පත්, තම සන්ධාන සහ මුදල් ඒකකය පිළිබඳව ස්වෛරී තීරණ ගැනීමට ඉරානයට ඇති හැකියාව, එනම් වසර 75ක් තිස්සේ වොෂින්ටනය නිවා දැමීමට උත්සාහ කළ එම ස්වාධීනත්වයම මෙහි පැහැදිලි ඉලක්කයයි.

මෙහි ඇති උත්ප්‍රාසය ප්‍රබලය. එක්සත් ජනපදය සටන් කරන්නේ මැදපෙරදිග ජාතීන්ට තම සම්පත් පාලනය කිරීමට හෝ තමන්ගේම මුදල් ඒකකයක් තෝරා ගැනීමට ඉඩ නොදෙන පද්ධතියක් රැක ගැනීමටය. නමුත් කාර්ග් දූපතට වැටෙන සෑම බෝම්බයක්ම, සෞදි පිරිපහදුවකට වදින සෑම ඩ්‍රෝන ප්‍රහාරයක්ම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම මගින් සිදුවන්නේ වොෂින්ටනය වැළැක්වීමට උත්සාහ කරන එම වෙනසම වේගවත් වීමයි. පෙට්‍රෝ-ඩොලර් පද්ධතිය සුරැකෙන්නේ නැත; එය ඇමරිකාව ආරක්ෂා කරන බව පවසන කර්මාන්තවල සුන්බුන් යට වැළලී යමින් පවතී.

 නීති මත පදනම් වූ අනුපිළිවෙලක අවසානය

දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපදය සිය විදේශීය ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමට "නීති මත පදනම් වූ ජාත්‍යන්තර අනුපිළිවෙල " (rules-based international order) ගැන සඳහන් කළේය. අද වන විට එම පද්ධතිය නටබුන් වී ඇත.

2026 ගල්ෆ් බලශක්ති යුද්ධය සනිටුහන් කරන්නේ සීතල යුද්ධයෙන් පසු පැවති ඒක-ධ්‍රැවීය (unipolar) යුගයේ අවසානයයි. එක්සත් ජනපදය අද සටන් කරන්නේ තනිවමය: නේටෝව යුද නැව් එවීම ප්‍රතික්ෂේප කළේය; ගල්ෆ් මිත්‍ර රටවල් ඊට සහභාගී වීම ප්‍රතික්ෂේප කළහ; එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියක් නොමැත; චීනය සහ රුසියාව ඇමරිකානු ක්‍රියාමාර්ගවලට විවෘතව විරුද්ධ වෙති.

මෙහිදී කිසිදු නීතියක් ක්‍රියාත්මක නොවේ, ඇත්තේ බලහත්කාරය පමණි. එක්සත් ජනපදය ඉරානයට පහර දෙන්නේ මිත්‍ර පාර්ශවයන්ගේ එකඟතාවයකින් තොරව, ජාත්‍යන්තර අවසරයකින් තොරව, අවම වශයෙන් බහුජාතික සන්ධානයක මවාපෑමක් හෝ නොමැතිවය. ඔවුන් ක්‍රියා කරන්නේ කිසිදු සීමාවකින් තොරව, පැහැදිලි කිරීමකින් තොරව සහ වගවීමකින් තොරවය.

ඓතිහාසික වාර්තා සනාථ කරන්නේ මෙයයි: එක්සත් ජනපදය දැන් ක්‍රියා කරන්නේ කිසිදු නීති ක්‍රමවේදයකින් තොරවය. ඇත්තේ සීමා රහිතව සහ පැහැදිලි කිරීම් රහිතව බලය භාවිතා කිරීම පමණි.

ස්වෛරීභාවය පිළිබඳ ගැටළුව

මෙම වසර 75ක ගැටුමේ හදවතෙහි පවතින්නේ මූලික ප්‍රශ්නයකි: එනම්, මැදපෙරදිග ජාතීන්ට තම සම්පත් සහ තමන්ගේම මුදල් ඒකකය පිළිබඳව ස්වාධීන තීරණ ගැනීමට අයිතියක් තිබේද?

එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් කල, එම ප්‍රශ්නයට පිළිතුර නිරන්තරයෙන්ම "නැත" යන්නයි. මොසාඩෙක්ගේ ජාතිකකරණයේ සිට සදාම්ගේ යුරෝ මුදල් මාරුව දක්වාත්, ගඩාෆිගේ රන් ඩිනාර් යෝජනාවේ සිට අද පවතින යුවාන් මත පදනම් වූ වෙළඳාම දක්වාත්, වොෂින්ටනය මෙම ස්වෛරී ආර්ථික තීරණ සලකා ඇත්තේ මිලිටරිමය ප්‍රතිචාරයක් අවශ්‍ය වන තර්ජන ලෙසය.

මැදපෙරදිග ජාතීන් සඳහා එම පිළිතුර නොසැලෙන, අධික පිරිවැයක් දරන සහ වඩ වඩාත් බලාපොරොත්තු රහිත වන "ඔව්" යන්නයි. ඉරානය සිය තෙල් ජාතිකකරණය කළ අතර කුමන්ත්‍රණයකට මුහුණ දුන්නේය. ඉරාකය සිය විදේශ මුදල් විවිධාංගීකරණය කළ අතර ආක්‍රමණයට භාජනය විය. ලිබියාව අප්‍රිකානු මුදල් ඒකකයක් යෝජනා කළ අතර විනාශයට පත් විය. සෞදි අරාබිය සහ කටාර් යුවාන් වෙත නැඹුරු වූ අතර දැන් ඔවුන්ගේ බලශක්ති යටිතල පහසුකම් ගිනි ගන්නා අයුරු බලා සිටිති.

ස්වෛරීභාවය වෙනුවෙන් ගෙවන්නට සිදු වූ මිල අතිමහත්ය. එහෙත් ඒ සඳහා වූ ආශාව අඩු වී නැත. අද වන විට ඉරාන පර්යන්ත මත ඇමරිකානු බෝම්බ වැටෙන විටත්, සෞදි පිරිපහදු වෙත ඉරාන ඩ්‍රෝන ප්‍රහාර එල්ල වන විටත්, එම ආශාව වෙන කවරදාටත් වඩා දැඩිව ඇවිළෙමින් තිබේ.

මීළඟට කුමක් සිදුවේද?

මැදපෙරදිග බලශක්ති ස්වාධීනත්වය සඳහා වූ වසර 75ක යුද්ධය දැන් එහි අවසාන අදියරට එළඹෙමින් තිබේ. පෙළඹවීම සහ සහයෝගීතාවය සඳහා වූ සෑම මෙවලමක්ම අවසන් කර ඇති එක්සත් ජනපදය, දැනටමත් ඉතිහාසයට එක්වී හමාර වූ ආධිපත්‍යයක් රැක ගැනීම සඳහා තනිවම සටන් කරමින් සිටී.

පෙට්‍රෝ-ඩොලර් පද්ධතිය කඩා වැටෙමින් පවතී. චීනය දැන් අත්‍යවශ්‍යම පාරිභෝගිකයා වී ඇත. යුවාන් මුදලින් සිදුවන බලශක්ති වෙළඳාම දැන් යථාර්ථයකි. ආර්ථික විද්‍යාව සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය හරහා අහිමි වූ දෙයක් මිලිටරි බලය මගින් රැකගත නොහැකිය.

යුද්ධයේ සෑම දිනක්ම බලශක්ති නිෂ්පාදකයින් ඩොලරයෙන් තව තවත් ඈත් කරවයි. විනාශ වන සෑම පහසුකමක්ම, විකල්ප සැපයුම් මාර්ග සුරක්ෂිත කර ගැනීමේ හදිසි අවශ්‍යතාවය චීනයට මතක් කර දෙයි. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමන සෑම අවස්ථාවක්ම ඩොලරය මත පදනම් වූ තෙල් වෙළඳාමේ ඇති අවදානම පෙන්නුම් කරයි.

එක්සත් ජනපදය සටන් කරන්නේ මැදපෙරදිග ජාතීන්ට තම සම්පත් පාලනය කිරීමට හෝ තමන්ගේම මුදල් ඒකකයක් තෝරා ගැනීමට ඉඩ නොදෙන පද්ධතියක් රැක ගැනීමටය. මැදපෙරදිග ජාතීන් වසර 75ක් තිස්සේ සටන් කරන්නේ ඒ දෙකම සිදු කිරීමට තමන්ට ඇති අයිතිය වෙනුවෙනි.

මෙයයි එම ගැටුම. මෙයයි එහි ඉතිහාසය. තවද මෙයයි අනාගතය. එය දැන් ගල්ෆ් කලාපය පුරා ගිනිදැල් මදින් දිගහැරෙමින් පවතී. 

කර්තෘ සටහන: මෙම ලිපිය පදනම් වී ඇත්තේ වර්ගීකරණයෙන් ඉවත් කරන ලද රජයේ ලේඛන, නිල ප්‍රකාශ සහ එවකට වාර්තා වූ තොරතුරු මත ය. 'එක්සත් ජනපදයේ විදේශ සබඳතා' (Foreign Relations of the United States) වෙළුම්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු වාර්තා, හිලරි ක්ලින්ටන්ගේ විද්‍යුත් තැපැල් ලේඛනාගාරය සහ එක්සත් ජනපද මධ්‍යම විධානයේ ප්‍රකාශ ඇතුළු ප්‍රාථමික මූලාශ්‍ර සොයා ගැනීමට සහ සනාථ කර ගැනීමට 'DeepSeek AI' සහාය ලබා ගන්නා ලදී.

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.