අධිරාජ්‍යවාදයට එරෙහිව රුධිරයෙන් ඉතිහාසය ලියූ උඩරට මහා විරුවෝ: වීර මොනරවිල කැප්පෙටිපොළ සහ වීර මඩුගල්ලේ නිලමේවරුන්ගේ ඓතිහාසික සැමරුම..
හැඳින්වීම: අධිරාජ්‍යවාදයට එරෙහි සිංහලයේ අභීත නැගිටීම
1815 මාර්තු 2 වැනි දින අත්සන් තැබුණු උඩරට ගිවිසුම මගින් සිංහලේ ස්වාධීනත්වය බ්‍රිතාන්‍ය කිරීටයට පවරා දීමත් සමඟ, සියවස් ගණනාවක් පුරා අඛණ්ඩව පැවති සිංහල රාජවංශය, දේශීය පාලන තන්ත්‍රය සහ සම්ප්‍රදායික සමාජ-ආගමික ව්‍යුහය බරපතළ අභියෝගයකට ලක් විය. ඉංග්‍රීසි පාලකයන් විසින් උඩරට ගිවිසුමේ කොන්දේසි (විශේෂයෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ 5 වැනි වගන්තිය) උල්ලංඝනය කරමින් සිදු කළ දැඩි දරදඬු පාලනයට සහ ස්වදේශිකයන්ට සිදු කළ අසාධාරණකම්වලට එරෙහිව 1817-1818 වර්ෂවලදී පැන නැගුණු ප්‍රථම නිදහස් සටන හෙවත් ඌව-වෙල්ලස්ස මහ කැරැල්ල, ලාංකේය ඉතිහාසයේ අභිමානවත්ම මෙන්ම ඛේදනීයම පරිච්ඡේදයකි.
සෑම වසරකම නොවැම්බර් 26 වැනි දින අප ගෞරවයෙන් සමරනු ලබන්නේ එම මහා නිදහස් සටනට නායකත්වය දෙමින්, 1818 නොවැම්බර් 26 වැනි දින මහනුවර බෝගම්බර වැව අසබඩදී ඉංග්‍රීසි අසිපතට ගෙල දී දිවි පිදූ වීර මොනරවිල කැප්පෙටිපොළ මහ නිලමේතුමාගේ සහ වීර මඩුගල්ලේ උඩ ගබඩා නිලමේතුමාගේ අමරණීය වීරත්වයයි.
ඉතිහාසය තුළ අමතක වූ අසමසම සටන් නායකයා: වීර මඩුගල්ලේ නිලමේතුමා
1818 නිදහස් සටන පිළිබඳව කතා කිරීමේදී මොනරවිල කැප්පෙටිපොළ මහ නිලමේතුමා පිළිබඳව ඉතා පුළුල් ලෙස සාකච්ඡා වුවද, ඊට වසර දෙකකට පෙර සිටම නිදහස් අරගලයේ බීජ රෝපණය කළ සහ කෙසේ හෝ පරදේශක්කාර ආක්‍රමණිකයන්ගෙන් මාතෘභූමිය මුදා ගත යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රියාකල වීර මඩුගල්ලේ උඩ ගබඩා නිලමේතුමා පිළිබඳව වර්තමානයේ කියවෙන්නේ ඉතා අල්ප වශයෙනි.
කරුණාතිලක ජයසුන්දර වික්‍රමසේකර රාජපක්ෂ වාහල නායක නිසි මුදියන්සේ නම් ප්‍රභූ පරපුරට අයත් මඩුගල්ලේ උඩ ගබඩා නිලමේතුමා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ මෙන්ම ඉන් ප්‍රථම ඌව-වෙල්ලස්ස දිසාවේ ධුරයද පසුව උඩ ගබඩා නිලමේ ධුරය ඇතුළු ප්‍රධාන රාජ්‍ය තනතුරු රැසක් දැරූ අතිශය කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකි.කන්ද උඩරට රාජධානියේ පරිපාලන ව්‍යුහය තුළ ‘උඩ ගබඩා නිලමේ’ යනු රජතුමාගේ පරම විශ්වාසය දිනූ, අතිශය වගකීම් සහගත ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙකි .රජ වාසලේ අභ්‍යන්තර පෞද්ගලික භාණ්ඩාගාරය වූ ‘උඩ ගබඩාව’ තුළ තැන්පත් කර තිබූ රාජ්‍යය සතු රන්රිදී, මුතු මැණික්, වටිනා ඇත්දළ, රාජකීය ආභරණ මෙන්ම රාජ්‍යයේ අතිශය රහසිගත ලිපි ලේඛන, රාජකීය සන්නස් සහ ඔප්පු තිරප්පු සියල්ල සුරක්ෂිත කිරීමේ භාරකාරත්වය පැවරී තිබුණේ එතුමාටය. 1815 දී බ්‍රිතාන්‍යයන් විසින් උඩරට රාජධානිය යටත් කර ගැනීමෙන් පසු, තම දෑස් මෙන් ආරක්ෂා කළ එම අමිල රාජකීය වස්තුන් සහ වටිනා විස්තර සටහන් කර තිබූ තල් පත් මිටිවල තිබූ දැනුම් සම්භාරය සහ ජාතික උරුමය අධිරාජ්‍යවාදීන් විසින් කිසිදු වගවිභාගයකින් තොරව යුද කොල්ලය ලෙස සිය රටට ගෙන යන පරදේශක්කාර කොල්ලකරුවන් සිදු කරමින් යන හානිය, උඩ ගබඩාව භාර මඩුගල්ලේ තරම් නිරීක්ෂණය කල වෙනකෙකු සිටියයි සිතිය නොහැක.
1815 උඩරට ගිවිසුමට අත්සන් තැබීම පවා ප්‍රතික්ෂේප කළ ,ඉතාමත් උපක්‍රමශීලි සටන් නායකයෙකු වූ මඩුගල්ලේ නිලමේතුමා වනගතව විශාල කුඹුක් බෙනයක සැඟවී තම හමුදා සංවිධානය කලේ බහුලවම ගරිල්ලා සටන් ශෛලයෙනි. බ්‍රිතාන්‍ය සේනාංක දුම්බර කඳු වළල්ලට ඇතුල් වූ විට සෙබළුන් විශාල සංක්‍යාවකට දැඩි හානි පැමිණවූ මඩුගල්ලේගේ සේනාවන්ගෙන් බේරීම බ්‍රිතාන්‍යන්ට ඉතාමත් අසීරුවිය.
තම ජිවිත, දූ දරුවන්, වත්කම්, දේපල නින්දගම් නොතකා දළදා වහන්සේ සහ තම රට ජාතිය බේරාගැනීම් වෙනුවෙන් මුලින්ම ඉදිරිපත් වූ මඩුගල්ලේ, වරදාන වරප්‍රසාද වලට යට නොවුණු අතිශය කීර්තිමත් යුධ වීරයෙකි.
එතුමා එවකට උඩරට රාජධානියේ සිටි විශිෂ්ටතම අසිපත් සටන්කරුවා (Best Swordsman) ලෙස ද ප්‍රකට විය. මේ නිසා බ්‍රිතාන්‍ය පාලකයෝ එතුමාගේ රණශූරත්වයට සහ සංවිධාන ශක්තියට දැඩි බියක් මෙන්ම අතිශය උදහසක් දැක්වූහ.
බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව රාජද්‍රෝහී වීමේ චෝදනාව මත නඩු විභාගයකින් වරදකරු වී දඬුවම් ලැබූ පළමු සිංහල නිදහස් අරගල සටන් නායකයා වන්නේ මඩුගල්ලේ නිලමේතුමාය.
1818 ඌව වෙල්ලස්ස කැරැල්ල ආරම්භ වුනේ එක්වරම නොවන අතර 1818 මහ කැරැල්ලට වසර දෙකකට පෙර, එනම් 1816 දී, ඉහගම රතනපාල හිමියන් සමඟ එක්ව ශ්‍රී දළදා වහන්සේ සුරක්ෂිත කිරීම සඳහා වෙනත් ස්ථානයකට වැඩම කරවීමට උත්සාහ කළ බවට හා බින්තැන්න කෝවිලට පුද පූජා පවත්වමින් ඉංග්‍රීසීන් පලවා හැරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් මිල්ලෑව සහ ඇහැළේපොළ/එක්නැලිගොඩ පාර්ශ්වයන් විසින් පැමිණිලි ඉදිරිපත් කරන ලදී. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහි වීම නිසා, 1816 දෙසැම්බර් 7 වැනි දින ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේදී ජෝන් ඩොයිලි ඇතුළු බ්‍රිතාන්‍ය ඉහල නිලධාරීන් සහ සිංහල නිලමේවරුන්ගෙන් සමන්විත ජූරි සභාවේ ඒකමතික තීන්දුවෙන් නිලමේතුමා වරදකරු බව ප්‍රකාශයට පත්විය. අනතුරුව ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ගේ නියෝගයෙන් මඩුගල්ලේ නිලමේතුමාගේ සියලු නිලතල, ගොඩ-මඩ ඉඩම් සහ වත්කම් රාජසන්තක කෙරිණි. (එම දේපළ විකුණා ලැබුණු මුදල් බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන්ගේ විශ්‍රාම ගිණුමට බැර කළ බව ඉංග්‍රීසි වාර්තාවල සඳහන් වේ).
පසුව උඩ ගබඩා නිලමේතුමා, එතුමාගේ බාප්පා වන මඩුගල්ලේ වාසල ගජනායක නිලමේතුමා සහ එතුමාගේ පුත්‍රයා වන මඩුගල්ලේ වන්නකු නිළමේතුමන් (වාසලේ ගණකාධිකාරී) යන තිදෙනාම කොළඹ, වත්තල, මීගමුව සහ පුත්තලම හරහා පා ගමනින්ම යාපනය බලකොටුවට රැගෙන ගොස් වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමකට යටත් කෙරිණි. නමුත් ගජනායක නිලමේතුමා සහ වන්නකු නිලමේතුමා පළමුව නිදහස් වූ අතර, මඩුගල්ලේ උඩ ගබඩා නිලමේතුමාට නිදහස ලැබුණේ 1817 අගෝස්තු මාසයේදී එංගලන්තයේ 4 වැනි ජෝර්ජ් රජුගේ (රීජන්ට් කුමරුගේ,) රාජාභිෂේකය නිමිත්තෙන් ප්‍රකාශයට පත් කෙරුණු පොදු සමාවක් යටතේය.(තමන්හට කලින් නිදහස ලබාදුන්නත් මඩුගල්ලේගේ සිත බ්‍රිතාන්‍යන්ට නම්මා ගන්නට නොහැකි විය )
සිරදඬුවමින් නිදහස් වී සිය උපන් ගම වන මඩුගල්ලේ බලා පැමිණි එතුමා, යළිත් රහසිගතව සටන් පුහුණුවීම් සහ සේනා සංවිධානය කිරීමේ කටයුතුවල නිරත විය. 1818 වෙල්ලස්සේ කැරැල්ල ආරම්භ වූ වහාම දුම්බර, තෙල්දෙණිය, හේවාහැට, බින්තැන්න සහ වලපනේ යන පුළුල් ප්‍රදේශ ආවරණය වනසේ නිදහස් සටනට සෘජුවම නායකත්වය දුන් එතුමා 1816 දී සහ 1818 දී වශයෙන් දෙවරක්ම අධිරාජ්‍යවාදීන්ගේ දඬුවමට ලක් වූ එකම නිදහස් සටන් නායකයා ද විය.
බ්‍රිතාන්‍යයන්ගේ කෲර මර්දනය සහ මඩුගල්ලේ නිලමේතුමාගේ අභීත ප්‍රතිරෝධය
1817-1818 නිදහස් අරගලය මර්දනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් යුද නීතිය (Martial Law) පනවා ඉතා අමානුෂික හා කෲර මර්දනකාරී පිළිවෙතක් (Scorched Earth Policy) අනුගමනය කරන ලදී. ඔවුහු සිංහල ජනතාව අනුකම්පා විරහිතව ඝාතනය කළ අතර, ගම්මාන හා නිවාස ගිනි තබා විනාශ කිරීම නිසා අතිවිශාල ජනතාවකට උන්හිටිතැන් අහිමි වී අවතැන් වීමට සිදුවිය. කැරලිකරුවන් කුසගින්නේ තබා දුර්වල කිරීමේ අරමුණින් ඇළ දොළ, වාරිමාර්ග, වගා බිම් සහ කුඹුරු සම්පූර්ණයෙන්ම විනාශ කර දැමූ බ්‍රිතාන්‍ය හමුදා සහ ඔවුන්ට සහාය දුන් පිරිස්, ගම්වැසියන් සතු ගවයන් මරා ආහාරයට ගත්හ. එපමණක් නොව, බ්‍රිතාන්‍ය පාලකයන් විසින් සිය නිලධාරීන්ට, සොල්දාදුවන්ට සහ සහායකයන්ට නොමසුරුව මත්පැන් ලබා දුන් අතර, මත්පැන්වලින් මත් වූ ඔවුහු අහිංසක කාන්තාවන් සහ තරුණියන් දූෂණය කර ඝාතනය කරමින් මහා ඛේදවාචකයක් නිර්මාණය කළහ.
මෙම බිහිසුණු වාතාවරණය මධ්‍යයේ වුවද මඩුගල්ලේ නිලමේතුමා සටන අත්හැරියේ නැත. එතුමාගේ ප්‍රබලත්වය කොතෙක්ද යත්, 1818 මාර්තු 19 වැනි දින බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් විශේෂ ප්‍රකාශනයක් නිකුත් කරමින්, කැරලිකාර නායකයන් අල්ලා දෙන අයට පිරිනමන ත්‍යාග මුදල් ප්‍රකාශයට පත් කළ අතර, මඩුගල්ලේ නිලමේතුමා අල්ලා දෙන්නෙකුට පගෝදි 1000ක දැවැන්ත ත්‍යාගයක් නියම කළේය. විශේෂයෙන්, පරණගම සටන් පෙරමුණේදී කැප්පෙටිපොළ නිලමේතුමා ඉවත්ව ගිය පසුව පවා, බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙන් ගෙන්වූ කුලී හේවායන් (Sepoys) හමුවේ පසුබසිමින් සිටි සටනේ නායකත්වය සියතට ගෙන ඉදිරියට ගෙන ගියේ මඩුගල්ලේ නිලමේතුමාය.
අවසන් සටන් මෙහෙයුම් සහ අත්අඩංගුවට පත්වීම
1818 සැප්තැම්බර් මාසය වන විට බ්‍රිතාන්‍ය හමුදා මඩුගල්ලේ නිලමේතුමා අල්ලා ගැනීමට දැවැන්ත හමුදා මෙහෙයුම් මාලාවක් දියත් කළහ:
* 1818 සැප්තැම්බර් 22: බ්‍රිතාන්‍ය භටයන් 70 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තෙල්දෙණියට කඩා වැදුණු අතර, මඩුගල්ලේ නිලමේතුමාගේ මඟ පෙන්වීම යටතේ තෙල්දෙණියේ ජනතාව බ්‍රිතාන්‍ය පාලනයට යටත් වීම ප්‍රතික්ෂේප කළහ.
* සැප්තැම්බර් 27 – 28: දින පහකට පසු කැරලිකරුවන්ගේ තත්ත්වය දුර්වල වෙද්දී, නිලමේතුමා යටතේ සේවය කළ බ්‍රිතාන්‍යයන්ගේ මුදල් වලට ඔත්තුලබා දුන් ද්‍රෝහී විදානේවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ බ්‍රිතාන්‍ය හමුදා සැප්තැම්බර් 28 උදෑසන මඩුගල්ල ගම්මානයට ඇතුළු වී විදානේවරයාගේම නිවසේ සැඟවී සිටියහ. තෙල්දෙණියේ අණදෙන නිලධාරී කැප්ටන් ඩොබින් අමතර හමුදා බලඇණියක් එවූ නමුත්, හමුදා පැමිණෙන බව දැනගත් මඩුගල්ලේ නිලමේතුමා උපායශීලීව එතැනින් පලා ගියේය.
* සැප්තැම්බර් 29 – ඔක්තෝබර් 1: ලුතිනන් කර්නල් හාඩි (Colonel Hardy) සහ ඔහුගේ භට පිරිස් දුම්බර දෙසට ගොස් ඔක්තෝබර් 1 වැනි දින නිලමේතුමා අල්ලා ගැනීමට උත්සාහ කළ නමුත්, එතුමා නැවත පලා යාමට සමත් වූ අතර බ්‍රිතාන්‍ය හමුදා උපකරණ තොගයක් ද සියතට ගත්තේය.
* ඔක්තෝබර් 28: ලුතිනන් විලියම් ඕ'නීල් (Lieutenant William O'Neill) විසින් අල්ලා ගත් ගල් තුවක්කුවක් සහිත පුද්ගලයෙකුගෙන් ලද ඔත්තුවකට අනුව, පස්වරු 3.00ට පමණ භටයන් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පරවාහගම අසල (කහල්ල ප්‍රදේශයේ) නිලමේතුමා සැඟවී සිටි මන්දිරයක් වටලන ලදී. එහිදී කැප්පෙටිපොළ සහ පිළිමතලව්වේ නිලමේවරුන් අත්අඩංගුවට පත් වුවද, මඩුගල්ලේ නිලමේතුමා නැවතත් බ්‍රිතාන්‍යයන්ගෙන් මිදී පලා යාමට සමත් විය.
(බ්‍රිතාන්‍යන්ට මඩුගල්ලේ නාමයටද වෛර කරන්නට හේතුව එතුමාගේ ස්ථානෝචිත ප්‍රඥාවයි )
* නොවැම්බර් 2: අවසානයේ නිගාවෙල්ල, පුබ්බිලිය, කොංගහවෙල, උඩුගොඩ කෝරළය සහ මාතලේ යන ප්‍රදේශවල ගම්වාසීන් පිරිසක් ලබා දුන් ඔත්තුවක් මත, 73 වන රෙජිමේන්තුවේ එන්සයින් සූට්බ්‍රෙඩ් (Ensign Suitbread) ප්‍රමුඛ භට කණ්ඩායමක් විසින් ඇළහැර අසල මාතලේ කයිකාවල මුරපොළේදී වීර මඩුගල්ලේ නිලමේතුමා අත්අඩංගුවට ගන්නා ලදී. (මෙම පාවාදීම වෙනුවෙන් එම ගම්වාසීන්ට ත්‍යාග මුදල් සහ වඩාත් ලිහිල් බදු සහන පිරිනැමීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කළේය).
බෝගම්බර වධක භූමියේ අමරණීය වීරත්වය සහ පවුලේ උරුමය
නොවැම්බර් 13 වැනි දින යුද අධිකරණය හමුවට පමුණුවනු ලැබූ කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ නිලමේවරුන්ට මරණ දඬුවම නියම විය. 1818 නොවැම්බර් 26 වැනි දින උදෑසන මහනුවර බෝගම්බර වැව අසබඩ වධක භූමිය වෙත කැඳවාගෙන ආ එතුමන්ලා දෙපළ, දළදා මාලිගාව දෙසට හැරී වැඳ නමස්කාර කරමින් ගාථා පාඨ සජ්ඣායනා කර ඉංග්‍රීසි වධකයාගේ අසිපතට සිය ගෙල පාමින් මාතෘභූමිය වෙනුවෙන් අභීතව දිවි පිදූහ.
මඩුගල්ලේ නිලමේතුමාගේ මරණයෙන් පසුව පවා බ්‍රිතාන්‍යයන්ගේ වෛරය නිම නොවීය. එතුමාගේ බිරිඳ (හලංගොඩ කුමාරිහාමි) කළුතරටත්, දරුවන් සිව්දෙනා කොළඹටත් පිටුවහල් කෙරිණි. මඩුගල්ලේ නිලමේතුමාගේ සියලු වත්කම් හා දේපළ රාජසන්තක කර තිබූ හෙයින්, පසුව ඔවුනට පෙරළා පැමිණීමට සිදු වූයේ ඇයගේ දෙමාපියන්ගෙන් ඇයට උරුම වූ මාතලේ දේපළවලටය. පසුකාලීනව කොටුවේගෙදර මඩුගල්ලේ ලේකම් නිලමේතුමා සමඟ ව්වාහ වූ කුමාරිහාමි සහ දරුවන්හට මාතලේ කොටුවේගෙදර ලේකම් නිලමේතුමාගේ දේපළ හිමි විය. රාජසන්තක කළ ඉඩම්වලින් නැවත බිම් කොටසක් පවුලට හිමි වූයේ 1820 වසරේදී මහනුවර උඩිස්පත්තුවෙනි.මඩුගල්ලේ උඩ ගබඩා නිලමේතුමාගේ වැඩිමහල් පුත්‍රයාගේ මුණුබුරෙකු වූ පී. බී. මඩුගල්ලේ නිලමේතුමාට නැවත රටේ මහත්තයා තනතුරක් ද හිමි විය.
නිගමනය: ඓතිහාසික යුක්තිය, ජාතික ප්‍රතිපත්තිය සහ අනාගත පරපුරේ වගකීම
1817-1818 ප්‍රථම නිදහස් සටන යනු හුදු සන්නද්ධ කැරැල්ලක් පමණක් නොව, එය සිංහලේ ස්වෛරීභාවය, සංස්කෘතික අනන්‍යතාව සහ සම්බුද්ධ ශාසනය සුරැකීම උදෙසා සමස්ත ජාතියක් කළ අසමසම පරිත්‍යාගයකි. එහෙත්, යටත්විජිතවාදී ලේඛන මත පදනම්ව ලියැවුණු ඇතැම් ඉතිහාස කතා තුළ වීර මඩුගල්ලේ උඩ ගබඩා නිලමේතුමා වැනි පුරෝගාමී නායකයන්ට හිමි විය යුතු නිසි ගෞරවය සහ ඓතිහාසික ස්ථානය මෙතෙක් සම්පූර්ණයෙන්ම ලැබී නොමැති බව ශාස්ත්‍රීය විමර්ශනයේදී පැහැදිලි වේ.
බ්‍රිතාන්‍ය ආණ්ඩුවට පක්ෂපාතීව කටයුතු කළේ නම් විශාල වලව්, මන්දිර ගොඩනඟා සිය පවුල රාජකීයත්වයෙන් ජීවත් කරවීමට ඕනෑ තරම් අවකාශ තිබියදීත්, මඩුගල්ලේ නිලමේතුමා ඒ සියලු සැප සම්පත් මාතෘභූමිය වෙනුවෙන් පරිත්‍යාග කර විශේෂයෙන්ම, 1817 දී පොදු සමාව යටතේ යාපනය සිර කඳවුරෙන් නිදහස් කළ විට එතුමා බ්‍රිතාන්‍යයන්ට පක්ෂපාතීව කටයුතු කරනු ඇතැයි අධිරාජ්‍යවාදීන් තුළ පැවති බලාපොරොත්තුව පවා සිඳ බිඳ දමමින්, 1816 සිට බෝගම්බර වධක භූමියේදී සිය ගෙල සිඳ දමන මොහොත දක්වාම එතුමා අචල අධිරාජ්‍ය විරෝධී ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළේය.
1816 දී පළමු වරට රාජද්‍රෝහී චෝදනා ලබා සිරගතවී , යළි පැමිණ 1818 මහ සටන අවසානය දක්වාම මෙහෙයවා දිවි පිදූ මඩුගල්ලේ නිලමේතුමාගේ චරිතය යළි කියවීම, ඓතිහාසික යුක්තිය ඉටු කිරීමකි. ජාතියක ඉදිරි ගමන සහ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය ශක්තිමත් වන්නේ සිය සැබෑ ඉතිහාසය නිවැරදිව හඳුනාගෙන, දේශය වෙනුවෙන් දිවි පිදූ සැබෑ විරුවන්ට නිසි ගෞරවය ලබා දීමෙන් පමණි. එබැවින්, මෙම විරුවන්ගේ චරිතාපදාන සහ අධිරාජ්‍ය විරෝධී අරගලයේ සැබෑ තතු ජාතික අධ්‍යාපන විෂය මාලාවන් සහ පර්යේෂණ ඔස්සේ අනාගත පරපුර වෙත නිවැරදිව සම්ප්‍රේෂණය කිරීම අප සතු ජාතික වගකීමකි.
වීර මඩුගල්ලේ නිලමේතුමා ඇතුළු 1818 නිදහස් සටනේ සියලු විරුවන්ගේ නාමය සදා අමරණීය වේවා!
- ආචාර්ය දුලිප් පලිහවඩන
අධ්‍යක්ෂ
ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන හා උපායමාර්ගික පර්යේෂණායතනය
ආශ්‍රිත ග්‍රන්ථ හා මූලාශ්‍ර
1. තෙන්නකෝන් විමලානන්ද (1961), උඩරට මහ කැරැල්ල (1818 වැන්නේ මහ කැරැල්ල නමින් ඉතිහාසයේ හඳුන්වනු ලබන සිංහලයන්ගේ නිදහස් සටන පිළිබඳ රහස්‍ය ලේඛන), සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.
2. තෙන්නකෝන් විමලානන්ද (පරිවර්තනය: රත්නායක තිලකරත්න), 1818 උඩරට මහ කැරැල්ල - ප්‍රථම කාණ්ඩය (ස්වාධීනත්වය පතා කළා වූ පළමු යුද්ධයේ හා ජාතිය පාවාදීමේ කතාව), සූරිය ප්‍රකාශකයෝ.
3. ආනන්ද එස්. පිළිමතලව්වේ (2012), සිංහලේ නොහොත් උඩරට රාජධානියේ අවසන් සමය සහ ප්‍රථම නිදහස් සටනේ නායකවරුන් (පරිවර්තනය: දීප්ති හොරගොඩ), ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශන, පන්නිපිටිය (9 වන පරිච්ඡේදය - මඩුගල්ලේ උඩ ගබඩා නිලමේ).
4. මහදිසාවේ බණ්ඩාර ඇටිපොළ (2012), තුන් සිංහලයේ පරාධීනත්වය තුළින් මතු වූ වීර මොණරවිල කැප්පෙටිපොළ මහනිලමේ, සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.
5. පී. ඊ. පීරිස් (2002), ත්‍රි සිංහල අවසන් අදියර (1796-1815) (පරිවර්තනය: මහාචාර්ය සුචරිත ගම්ලත් සහ සේපාල විජේසේකර), ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ.
6. අජිත් තලවත්ත (2009), කන්ද උඩරට රාජධානිය සහ 1818 කැරැල්ල, ආරිය ප්‍රකාශකයෝ, වරකපොල.
7. ජාතික භික්ෂු පෙරමුණ (2009), නිදහස් සටනේ නොනිමෙන ආලෝකය - ඉහගම රතනපාල නාහිමි, ජාතික භික්ෂු පෙරමුණ, කොළඹ.
8. Daily Mirror (2017 December 18), "Madugalle the forgotten hero", Wijeya Newspapers Ltd.
9. 1817-1818 නිදහස් අරගලය සහ මඩුගල්ලේ නිලමේතුමාගේ අවසන් සටන් මෙහෙයුම් පිළිබඳ ඓතිහාසික වාර්තා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..
භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..
බක්මීටියාව රක්ෂිතයෙන් අක්කර 1,100ක් අනවසර වගාකරුවන්ට බෙදාදීමේ සූදානමක්..- පරිසරවේදීගෙන් විරෝධය..
ප්‍රභාකරන්ගේ නිවෙස බලන්න ඉන්දීය මන්ත්‍රී යයි.. - තමන්ගේ සම්බන්ධයක් නැති බව ඉන්දීය මහකොමසාරිස් කියයි..
"ආර්ථික වර්ධනයට නිශ්චිත ඉලක්කයක් නැහැ.. මහ බැංකුවේ ප්‍රධාන අරමුණ උද්ධමනය පාලනය කිරීමයි" - මහ බැංකු අධිපති කියයි
හොර පාස්පෝට් සම්බන්ධයෙන් වටගලට, වරුණ ගෙන් අනතුරු ඇඟවීමක්.. පවුල් පිටින් හොර පාස්පෝට් හැදූ අය ගැන හොයන්නත් කියයි..
"තමන්ගේ පක්ෂයට හරවගන්න බැරි හාමුදුරුවන්ට ආණ්ඩුව දොස් කියනවා.. සංස්කෘතිය, ආගම රැකගන්න යනකොට ජාතිවාදයක් කියල කියනවා.." - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
ලෝක බලවතුන් තිදෙනාගේ එකඟතා මැද යුද ගැටුම් නව වටයකින් ඇවිළීමේ අවදානමක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
කිසිම සභාපති කෙනෙක් මෙහෙම පඩියක් අරගෙන නෑ.. - ජනපති අනුරගේ පරණ මිත්‍රයා උවිඳු, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිගේ පඩිය ගැන කියන කතාව..
2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි
මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා
ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..