ග්‍රීක බුදුන්
ක්‍රිස්ටෝෆර් අයි. බෙක්විත් (Christopher I. Beckwith) ලියපු “Greek Buddha: Pyrrho's Encounter with Early Buddhism in Central Asia” පොත ගැන විචාරයක්.
=== === === === ===
ක්‍රිස්තු පූර්ව 327 දී, මහා ඇලෙක්සැන්ඩර් රජතුමාගේ හමුදාව පර්සියානු අධිරාජ්‍යය බිඳ දාලා, වර්තමාන ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය පිහිටලා තියෙන ප්‍රදේශ හරහා ගමන් කරලා ඉන්දු නිම්නය අල්ලගත්තා. මේ මහා දේශපාලනය පෙරැළියේ කතාව අපි හැමෝ ම වගේ දන්නවා. ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවත් එක්ක ග්‍රීසියේ එලිස් (Elis) නගරයේ ඉඳලා ආපු විශේෂ පුද්ගලයකුත් හිටියා. ක්‍රිස්තු පූර්ව 365 - 270 කාලයේ ජීවත්වෙච්ච පීරෝ (Pyrrho) තමයි ඒ විදිහට ඇවිල්ලා තිබුණේ. අවුරුදු කීපයකට පස්සේ, ආගන්තුක දර්ශනයකුත් ඇරැගෙනයි ඔහු ආපහු ග්‍රීසියට ගියේ. කිසිම දෙයක් නිශ්චිතව දැනගන්න බැරි බවත්, ඒ අවබෝධය ඇති කරගැනීමෙන් හිත සන්සුන් වන බවත් පීරෝ කිව්වා. මෙන්න මේ විදිහටයි ග්‍රීක චින්තනයේ සංශයවාදය (Skepticism) ආරම්භ වුණා කියලා කියන්නේ.
ඉන්දු නිම්නයේ කරක්ගහද්දි, පීරෝ මුණගැහුණේ කවුද? ඔහු ග්‍රීසියට ඇරැගෙන ආපු දර්ශනයේ මුල මොකක්ද? අවුරුදු දෙදාහකට වැඩි කාලයක් මේ ප්‍රශ්නවලට උත්තර හෙව්වා. ඇමෙරිකාවේ ඉන්දියානා (Indiana) විශ්වවිද්‍යාලයේ මධ්‍යම යුරේසියානු අධ්‍යයන අංශයේ භාෂා අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය ක්‍රිස්ටෝෆර් බෙක්විත් 2015 දී පළ කරපු “Greek Buddha: Pyrrho's Encounter with Early Buddhism in Central Asia” පොතෙන් මේ ප්‍රශ්නවලට නිශ්චිත උත්තරයක් ලබාදෙන්න උත්සාහ කරනවා. පීරෝ මුණගැහුණේ ඒ යුගයේ හිටිය බෞද්ධයෝ කියලත් ඔහුගේ දර්ශනය බුදු දහමේ ග්‍රීක ස්වරූපයක් කියලත් ක්‍රිස්ටෝෆර් බෙක්විත් තමන්ගේ පොතෙන් කියනවා.
අවුරුදු දෙදාහකට වඩා පරණ සාක්‍ෂියක් මත පදනම් වෙලා තමයි ක්‍රිස්ටෝෆර් බෙක්විත් තමන්ගේ මතය ඉදිරිපත් කරන්නේ. ඒ සාක්‍ෂිය හැදෙන්නේ මෙහෙමයි.
පීරෝ දාර්ශනිකයාට ටිමොන් (Timon) කියලා ශිෂ්‍යයෙක් හිටියා. ක්‍රිස්තු පූර්ව 320 – 230 කාලයේ තමයි ඒ ගෝලයා ජීවත්වෙලා තියෙන්නේ. මේ ගෝලයා තමන්ගේ ගුරුන්නාන්සේ ගැන සටහනක් ලියලා තියෙනවා. ඒ සටහන ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවසේ ජීවත්වෙච්ච ඇරිස්ටොක්ලීස් (Aristocles) කියන ලේඛකයා විසින් තමන්ගේ “දර්ශනය පිළිබඳ” (On Philosophy) කියන පොතෙන් උපුටලා දක්වනවා. ඒ පොත සේවනය කරපු සිසේරියාවේ යුසීබියස් (Eusebius of Caesarea, ක්‍රිස්තු වර්ෂ 265 – 339) කියන ඉතිහාසඥයා තමන්ගේ “ශුභාරංචිය සඳහා සූදානම” (Preparation for the Gospel) කියන පොතෙන් ටිමොන් කියපු කතාව නැවතත් උපුටලා දක්වනවා.
දර්ශනවාදය තුළ, “ඇරිස්ටොක්ලිස් ඡේදය” (Aristocles Passage) කියලයි මේ උපුටනය හැඳින්වෙන්නේ. පීරෝගේ දර්ශනය පිළිබඳ කරුණු ඇතුළත් මුල් ම ලේඛනය විදිහට මේ ඡේදය සැළැකෙනවා. සතුටින් සහ සාමකාමීව ජීවත්වෙන්න කැමැති පුද්ගලයෙක් විසින් අවධානය යොමු කළ යුතු කරුණු තුනක් තියෙනවා කියලයි තමන්ගේ ගුරුවරයා උපුටා දක්වමින් මේ සටහනින් ටිමොන් කියන්නේ.
ඒ කාරණා තුන මෙහෙමයි.
1. දේවල්වල ස්වභාවය කුමක්ද?
2. ඒවා කෙරෙහි අපගේ ආකල්පය මොන වගේ විය යුතු ද?
3. එහෙම ආකල්පයක් ඇති කරගැනීමෙන් අපිට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද?
මේ ප්‍රශ්න තුනට පීරෝ උත්තර දෙනවා.
1. කිසිම වෙනසක් නැතුව හැම දෙයක ම අස්ථාවර සහ තීරණය කරන්න බැරි ස්වභාවයක් තියෙනවා. ඉතින් අපේ ඉන්ද්‍රියයන්ගේ උදව්වෙන් අපි දැනගන්න දේවල් සහ ඒ අනුව අපි ඇති කරගන්න අපේ අදහස් සත්‍යය ද, අසත්‍යය ද කියලා නිශ්චිතව කියන්න පුළුවන්කමක් අපිට නෑ.
2. අපි අපේ ඉන්ද්‍රියයන් සහ අදහස් පිළිබඳ විශ්වාසයක් තියාගන්නේ නැතුව, කිසිම පක්‍ෂග්‍රාහී බවත් නැතුව, අපි නිරීක්‍ෂණය කරන දේවලවල “උස් - මිටිකම්” ගැන හිතන්නේ නැතුව ඉන්න ඕන. මේ ලෝකයේ තියෙන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් “ඒක එහෙම වෙනවාට වඩා නොවෙන්න ඉඩක් තියෙනවා” කියලත් එහෙමත් නැතිනම් “ඒක එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්” කියලා මධ්‍යස්ථව හිතන්න සහ ක්‍රියා කරන්න හැකියාවකුත් අපිට තියෙන්න ඕන.
3. මෙහෙම ආකල්පයක් ඇති කරගන්න පුද්ගලයා වචනයෙන් විස්තර කරන්න බැරි නිහඬ බවක් ඇති කරගන්නවා. ඒ හරහා හිතේ සම්පූර්ණ නිසල බව (සැනැසීම) උපද්දවාගන්නවා.
මෙන්න මේ දාර්ශනික අදහස තමයි බටහිර දර්ශන ඉතිහාසය තුළ තියෙන සංශයවාදී (Skepticism) චින්තනයේ මූලික පදනම විදිහට සැළැකෙන්නේ.
ක්‍රිස්ටෝෆර් බෙක්විත් ඔහුගේ “Greek Buddha” පොතෙන් මේ කාරණා තුන බුදුදහමේ ත්‍රිලක්‍ෂණයට සමාන කරනවා. “කිසිම වෙනසක් නැතුව හැම දෙයක ම තියෙන අස්ථාවර සහ තීරණය කරන්න බැරි ස්වභාවය” ඔහු සමාන කරන්නේ අනිත්‍යයට. “ඉන්ද්‍රියයන් සහ අදහස් පිළිබඳ විශ්වාසයක් තියාගන්නේ නැතුව මධ්‍යස්ථ විදිහට නිරීක්‍ෂණය කරන” ලෝකය තුළින් අනාත්ම ස්වභාවය ප්‍රකාශ කෙරෙනවා කියලා ඔහු කියනවා. මුල් කරුණු දෙකට පටහැනිව ක්‍රියාකිරීමෙන් ඇතිවෙන ගැටලු සහ ඒ මග පෙන්වීම අනුව ක්‍රියාකිරීමෙන් ඇතිවෙන සැනැසීම ඔහු දුකටත් දුකෙන් මිදීමටත් සමාන කරනවා.
පීරෝ හිටිය කාලයේ, බුදු දහම ග්‍රීක ලෝකයට හඳුන්වා දෙන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය වෙලා තිබුණා ද? මේ ප්‍රශ්නයට උත්තර දෙන්න ක්‍රිස්ටෝෆර් බෙක්විත් ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් (Kandahar) ප්‍රදේශයේ තියෙන “අශෝක ලිපිය” සාක්‍ෂියට කැඳවනවා. ග්‍රීක සහ අරමයික (Aramaic) භාෂාවලින් තමයි ඒ ශිලා ලිපිය ලියලා තියෙන්නේ. ඉතින් බුද්ධ ධර්මය ග්‍රීක භාෂාවෙන් දේශනාකිරීම ඒ කාලයේ සිද්දවෙච්ච බවට මේ සෙල්ලිපිය සාක්‍ෂි දරනවා කියලයි ක්‍රිස්ටෝපර් බෙක්විත් කියන්නේ. ඒ හින්දා, පීරෝ බුදුදහමින් ලබාගත්ත අදහස් ග්‍රීක භාෂාවට ගලප්පලා ප්‍රකාශකිරීම පුදුමයට කාරණයක් නෙවෙයි කියලා ඔහු අවධාරණය කරනවා.
ඊට අමතරව, ක්‍රිස්ටෝපර් බෙක්විත් මේ “Greek Buddha” පොතෙන් තවත් විශේෂ අදහසක් ඉදිරිපත් කරනවා. ඒ කාලය, ගන්ධාරය සහ බැක්ට්‍රියාව (Bactria) ඇතුළත් මධ්‍ය ආසියානු ප්‍රදේශයේ බුදුදහම පැතිරිලා තිබුණු බවයි ඔහු ඒ තුළින් කියන්නේ. ක්‍රිස්තු පූර්ව 9 වැනි සියවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 4 වැනි සියවස දක්වා මධ්‍යම ආසියාවේ සහ නැගෙනහිර යුරෝපයේ ජීවත්වෙච්ච සිතියන්වරු (Scythians) සහ බුදුන්වහන්සේ අතර නෑදෑකමක් තිබුණු බවත් ඔහු කියනවා. “ශාක්‍යමුනි” (Sage of the Sakyas) කියන හැඳින්වීම “සකයන්ගේ මුනි” (Sage of the Scythians) විදිහට ගැනීමෙන් තමයි ඔහු මේ හිතුවක්කාර නිගමනයට එළැඹෙන්නේ. සරතුස්ත්‍ර (Zarathustra / Zoroaster) කියන ශාස්තෘවරයා විසින් දේශනා කරපු සොරොස්ත්‍රියානු (Zoroastrianism) ඒක-දේවවාදී ආගමට ප්‍රතිචාරයක් විදිහට මේ ප්‍රදේශයට බුදුදහම හඳුන්වා දෙනු ලැබූ බවත් ක්‍රිස්ටෝපර් බෙක්විත් කියනවා. මේ අදහස් ඉතාමත් හිතුවක්කාර ඒවා බව අමුතුවෙන් කියන්න ඕන නෑ.
මේ පොත ලියන්න ක්‍රිස්ටෝපර් බෙක්විත් ග්‍රීක, පාලි, ගන්ධාරී කියන භාෂාවලින් තියෙන මූලාශ්‍ර ආශ්‍රය කරලා තියෙනවා. ඒවායේ පරිවර්තන ගැන තෘප්තිමත් නැති අවස්ථාවල දී ඔහු විසින් ම අලුත් පරිවර්තන ඉදිරිපත් කරනවා. ඉතින් ඔහු තමන්ගේ මතය තහවුරු කරන්න ගොඩක් මහන්සිවෙලා තියෙන බව හොඳට ම පැහැදිළියි.
ඇත්තෙන්ම, ක්‍රිස්ටෝපර් බෙක්විත් ඉදිරිපත් කරන මේ අදහස මුළුමනින් ම අලුත් එකකුත් නෙවෙයි. පීරෝගේ දර්ශනයට ඉන්දියානු බලපෑමක් තිබුණා කියලා තෝමස් මැක්-එවිලි (Thomas McEvilley) වගේ පඬිවරු කියලා තියෙනවා. උදාහරණයක් විදිහට, ඔහු ලියපු “පුරාතන චින්තනයේ හැඩගැස්ම: ග්‍රීක සහ ඉන්දීය දර්ශන පිළිබඳ සංසන්දනාත්මක අධ්‍යයනයක්” (The Shape of Ancient Thought Comparative Studies in Greek and Indian Philosophies) කියන පොතේ තියෙන නිරීක්‍ෂණ සඳහන් කරන්න පුළුවන්. පීරෝගේ අදහස් ග්‍රීක චින්තන සම්ප්‍රදාය තුළින් ම ඉපැදිලා, වර්ධනය වෙච්ච ඒවා කියලා තර්ක කරන පඬිවරුත් ඉන්නවා. ඩිමොක්‍රිටස් (Democritus, ක්‍රිස්තු පූර්ව 460 - 370) සහ හෙරක්ලීටස් (Heraclitus, ක්‍රිස්තු පූර්ව 535 - 475) වගේ දාර්ශනිකයන්ගේ අදහස් පීරෝට බලපෑවා කියලයි ඒ අය කියන්නේ.
කොහොම වුනත්, 2016 අවුරුද්දේ, යොහන්නස් බ්‍රොන්ක්හොර්ස්ට් (Johannes Bronkhorst) පළ කරපු “බ්‍රාහ්මණයෝ දිනුවේ කොහොම ද?” (How the Brahmins Won) කියන පොතෙන් ඔහු ක්‍රිස්ටෝපර් බෙක්විත්ගේ අදහස් ඉතාමත් තදින් විවේචනයට ලක් කෙරෙනවා. “මහා ඇලෙක්සැන්ඩර්ගේ සමයේ ගන්ධාරයේ බුද්ධාගම පැවතියේ ද?” (Was there Buddhism in Gandhāra at the Time of Alexander?) කියලා ලියලා තියෙන ඒ පොතේ 10 වැනි උපග්‍රන්ථයෙන් තමයි ඔහු ඒ විවේචනය ඉදිරිපත් කරන්නේ.
යොහන්නස් බ්‍රොන්ක්හොර්ස්ට් මේ උපග්‍රන්ථයෙන් මුලින් ම ක්‍රිස්ටෝපර් බෙක්විත්ගේ ක්‍රමවේදය විවේචනය කරනවා. තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න බෙක්විත් විශ්වාස කරන්නේ දිනදාතම් සහිත මූලාශ්‍ර විතරයි. මේ ක්‍රමවේදය “කළුවරේ යතුරක් නැතිවෙච්ච එකෙක් ලයිට් කනුවක් යටට ගිහිල්ලා ඒක හොයනවා වගේ වැඩක්” කියලයි යොහන්නස් බ්‍රොන්ක්හොර්ස්ට් කියන්නේ. දිනදාතම් නැති මූලාශ්‍ර ඕන තරම් ඓතිහාසික කරුණු විමර්ශනවලට යොදාගන්නවා. ඉතින් ඒ අනුව සළකලා බැලුවාම, බෙක්විත්ගේ ක්‍රමවේදය ඉතාමත් දුර්වල එකක්.
ජෛන මහාවීර ජීවත්වුණේ බුදුරජාණන්වහන්සේ වැඩ හිටිය කාලේ ම කියලා අපි දන්නවා. අපේ බෞද්ධ මූලාශ්‍රවල ඒ ගැන විස්තර තියෙනවා. ඒ වගේ ම, බුදුරජාණන්වහන්සේ වැඩ හිටිය කාලයේ ආජීවකයෝ මහ පිරිසක් හිටිය බවත් මූලාශ්‍රවලින් කියනවා. බෞද්ධ මූලාශ්‍රවලත් ජෛනයෝ ගැන සහ ආජීවකයෝ ගැන කියද්දි, ඒ සම්ප්‍රදායයන් බුදුදහමට පස්සේ ඇතිවෙච්ච ඒවා කියලා ක්‍රිස්ටෝපර් බෙක්විත් තර්ක කරනවා. ඒ වෙනුවෙන්, අශෝකගේ ස්තම්භ ලිපියක් බොරු එකක් කියලා කියන්නත් ඔහු දරදඬුවෙනවා. ඒ ලිපියේ ජෛනයෝ සහ ආජීවකයෝ ගැන සඳහන් කරලා තියෙන හින්දයි ඔහු ඒක බොරුවක් කියලා හංවඩුගහන්නේ.
පීරෝගේ අදහස් තුන ත්‍රිලක්‍ෂණයට සමාන කරද්දි, ක්‍රිස්ටෝපර් බෙක්විත් “අනාත්ම” අදහස පටලවාගන්න ආකාරයත් යොහන්නස් බ්‍රොන්ක්හොර්ස්ට් පෙන්නනවා. බුද්ධ ධර්මය ගැන ප්‍රමාණවත් අවබෝධයක් ලබා නොගෙන අදහස් ඉදිරිපත් කරද්දි තමයි මේ ආරවුල ඇතිවෙලා තියෙන්නේ.
“ශාක්‍යමුනි” නාමයට ක්‍රිස්ටෝපර් බෙක්විත් ලබාදෙන අර්ථයත් යොහන්නස් බ්‍රොන්ක්හොර්ස්ට් විසින් විවේචනයට ලක් කරනවා. මේ විවේචනය සඳහා ඔහු ස්ටෙෆාන් බවුම්ස් (Stefan Baums) කියන භාෂා විශාරදයාගේ නිරීක්‍ෂණත් උදව් කරගන්නවා. ගන්ධාරී භාෂාවේ ශක ජනතාවගේ නම -g- අක්‍ෂරයෙන් ලියැවෙන බවත්, ශාක්‍යමුනි කියන නම -k- අක්‍ෂරයෙන් විසි වතාවකට වැඩි ප්‍රමාණයක් ලියැවී ඇති බවත් ස්ටෙෆාන් බවුම්ස් පෙන්නලා තියෙනවා. ඒ හින්දා, “ශක” සහ “ශාක්‍ය” වචන දෙක එක ම වචනයෙන් ආපු ඒවා කියලා කියන එකේ අර්ථයක් නෑ..
ඉතින් ඇලෙක්සැන්ඩර්ගේ කාලයේ ගන්ධාරයේ බෞද්ධයන් සිටි බවක් ක්‍රිස්ටෝපර් බෙක්විත්ගේ කෘතියේ තියෙන කරුණුවලින් සනාථවෙන්නේ නැති බවයි යොහන්නස් බ්‍රොන්ක්හොර්ස්ට් නිගමනය කරන්නේ.
ක්‍රිස්තු පූර්ව 300 දී විතර, මෙගස්තීනස් (Megasthenes) පාටලීපුත්‍රයට ගියේ සෙලියුකස් I නිකාටෝර් (Seleucus I Nicator, ක්‍රිස්තු පූර්ව 359 - 281) රජතුමාගේ දූතයෙක් විදිහටයි. ඒ වෙද්දි, පීරෝ “ඉන්දියාවෙන් ආපහු ගිහිල්ලා” අවුරුදු 25 ක් විතර ගතවෙලා තිබුණා. ක්‍රිස්ටෝපර් බෙක්විත් තමන්ගේ කතාව කියන්න මෙගස්තීනස් ගාවගන්නවා. මෙගස්තීනස් කියන්නේ පාටලීපුත්‍රයට ගිහිල්ලා ලබාගත්ත සෘජු අත්දැකීම් මුල් කරගෙන “ශ්‍රමණයෝ” ගැන ලියපු කෙනෙක්. හැබැයි ඔහු “ශ්‍රමණයෝ” කියලා කිව්වේ බෞද්ධ භික්‍ෂූන්වහන්සේලාට විතරක් නෙවෙයි. ප්‍රශ්නය තියෙන්නේ මෙගස්තීනස්ගේ කාලයේ දී “යවන බිම්වල” බුදුදහම ව්‍යාප්ත වෙලා තිබුණා ද කියන එකයි. එහෙම තිබුණා නම්, ඇලෙක්සැන්ඩර්ගේ සහ මෙස්තීනස්ගේ කාලයේ යවන බිම් ගැන ලියපු වාර්තාවලත් “ශ්‍රමණයෝ” ගැන සඳහන් කිරීමේ විශාල ඉඩක් තියෙනවා. ඒ වගේ ම, එහෙම “ශ්‍රමණයෝ” ඒ බිම්වල හිටියා නම් පාටලීපුත්‍රයේ දී එහෙම අය දැකීම මෙගස්තීනස්ට අලුත් අත්දැකීමක් (මැජික් එකක්) වෙන්නෙත් නෑ.
තුන්වැනි ධර්ම සංගායනාවෙන් පස්සේ, අශෝක අධිරාජයා විසින් යවන ප්‍රදේශයට මහාරක්ඛිත මහ රහතන්වහන්සේ ප්‍රමුඛ ධර්මදූත කණ්ඩායමක් යවපු බව අපේ ඉතිහාස මූලාශ්‍රවල සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ, ගන්ධාරය ප්‍රමුඛ යවන බිම්වලට බුදුදහමේ ආශ්‍රය ලැබිලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 165 – 130 කාලයේ, සාගලපුරය (වර්තමාන සියල්කොට්) ආශ්‍රිත ප්‍රදේශ පාලනය කරපු මිලින්ද (Menander I) රජතුමාගේ කාලයේ නම් ඒ බිම්වල බුදුදහම ප්‍රචලිත වෙලා තිබුණු බව “මිලින්ද ප්‍රශ්නය” සේවනය කරන අපි හොඳින් ම දන්නවා. හැබැයි ඒ වෙද්දි, පීරෝගේ “ඉන්දියානු ගමන” සිද්දවෙලා අවුරුදු 160 ක් විතර ගතවෙලා ඉවරයි.
ඉතින් ක්‍රිස්ටෝපර් බෙක්විත් තමන්ගේ මතය තහවුරු කරන්න ප්‍රබල සාක්‍ෂි ඉදිරිපත් කරලා තියෙනවා කියලා නිගමනය කරන්න අමාරුයි. හැබැයි පීරෝට බෞද්ධ භික්‍ෂූන්වහන්සේලා මුණගැහුණේ නෑ කියලා තීන්දු කරන්න පුළුවන්කමකුත් අපිට නෑ. ඇලෙක්සැන්ඩර්ගේ කාලයේ යවන බිම්වල බුදුදහම ප්‍රචලිත වෙලා තිබුණේ නැතත් හුදකලාව සමහර ස්ථානවල භික්‍ෂූන්වහන්සේලා සුළු පිරිසක්වත් වැඩ ඉඳීමේ ඉඩක් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම පිරිසක් එක්ක ඇති කරගත්ත අදහස් හුවමාරුවලින් පීරෝ බුදුදහම ගැන අදහසක් ඇති කරගත්තා කියලත් හිතන්නත් පුළුවන්. හැබැයි මේ කාරණය තහවුරු කරන්න පුළුවන් සාක්‍ෂි හොයාගන්න පුළුවන් ද කියන එකයි ප්‍රශ්නය.
මේ මොන අඩුපාඩු තිබුණත්, ක්‍රිස්ටෝපර් බෙක්විත්ගේ “Greek Buddha: Pyrrho's Encounter with Early Buddhism in Central Asia” කියන්නේ කියවන්න වටින රසවත් පොතක්.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
වෙස්මුහුණු ගැලවුණු යුරෝපීය යුක්තිය: අර්බුදයකට මැදි වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය..
උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකියි.. - මහ බැංකු අධිපති කියයි
මාළුවකු ලබාදීම මෙන්ම මාළු ඇල්ලීමට අවශ්‍ය හැකියාව ද ලබාදීම යන ආදර්ශය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා- ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු Wei Huaxiang මැතිතුමා
ජනපති අනුර පළාත් සභා ඡන්ද නොපවත්වා 2029 ජනාධිපතිවරණයට තනි අශ්වයාගේ රේස් එකක් සැලසුම් කරනවාද?.. - ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද..
NPP ආණ්ඩුවේ ප්‍රගතිය එකමිටට කියපු ඩී.වී. චානක..
"මාතලේ අළු විහාරයේ ප්‍රේරණ කලාපයේ හදපු පල්ලියක් ලොකු කරන්න අවසර දීලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරලා.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ.. එය මහජනතාව සතුයි.. - ශ්‍රී පාදස්ථානාධිපති හිමි
2035 වන විට ඉස්ලාම් ආගම ලොව විශාලතම ආගම බවට පත්වන බවට පිව් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් පුරෝකථනයක්..
අමෙරිකා, රුසියා, චීන බලවතුන්ගේ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අද..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නැවත කැඳවීම දෙසැම්බර් 01 වැනිදා..
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..
ගෝලීය බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා මොනවාද?..