සංචාරක ප්‍රවර්ධනය වෙස්මුහුණක් පමණයි.. ඇතුළේ තියෙන්නේ සහචරයාට සැලකීමයි.. මහජන බදු මුදල්වලින් චෙවෝන් ඩැනියෙල්ගේ උපසභාපති ධුරය සමරනවාද?.. - විමල් ප්‍රශ්න කරයි..
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ ආසියානු විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා මහරාජා සමූහයට අයත් MTV පෞද්ගලික සමාගමට මහජන මුදල්වලින් රුපියල් කෝටි දහයකට අධික මුදලක් ලබාදීමට රජය කටයුතු කිරීම වර්තමාන ආණ්ඩුවේ සහචර ධනවාදී ප්‍රතිපත්තිය මනාව හෙළි කරන සිදුවීමක් බවයි.
සංචාරක ප්‍රවර්ධනය යන නාමය ඉදිරියට දමා සිදුකරන මෙම වියදම පිටුපස ඇත්තේ සහචර ව්‍යාපාරිකයන්ට සැලකීමේ අරමුණක් බවත්, මහජනතාවට සහන ලබාදීමට මුදල් නොමැති බව පවසන ආණ්ඩුව තමන්ට සමීප ව්‍යාපාරිකයන් වෙනුවෙන් මහජන බදු මුදල් නිර්ලෝභීව වැය කරන බවත් වීරවංශ මහතා චෝදනා කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (03) පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ආසියානු විකාශන සංගමයේ 63 වැනි මහා සමුළුව, ඊට අදාළ රැස්වීම්, සංගීත උළෙල සහ විනෝද චාරිකා වැඩසටහන 2026 ඔක්තෝබර් මාසයේ සිට නොවැම්බර් 3 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජනා කර ඇති බවත්, ඒ සඳහා MTV පෞද්ගලික සමාගමට අනුග්‍රහකත්වය ලබාදීමට විජිත හේරත් අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු පැවසීය.
මුදල් අමාත්‍යවරයා සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එම යෝජනාවට එකඟතාව පළ කර ඇති බව සඳහන් කළ වීරවංශ මහතා, අදාළ කැබිනට් පත්‍රිකාව අනුව මුදල් කොටස් දෙකකින් ලබාදීමට යෝජනා කර ඇති බව පෙන්වා දුන්නේය. ඒ අනුව පළමු අදියරේදී 60%ක්ද, දෙවැනි අදියරේදී රුපියල් මිලියන 40%ක්ද ලබාදීමට යෝජනා කර ඇති බව ඔහු සඳහන් කළේය.
මෙම මුදල් සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සතු අරමුදල්වලින් ලබාදීමට යෝජනා කර ඇති බවත්, එම අරමුදල් වෙනත් කිසිවකුගේ පෞද්ගලික ධනය නොව මෙරට ජනතාවගේ සහ සංචාරක ක්ෂේත්රයේ නියැළෙන ජනතාවගේ මුදල් බවත් ඔහු අවධාරණය කළේය.
මෙම වියදම සාධාරණීකරණය කිරීම සඳහා MTV සමාගම ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති වාර්තාවේ සංචාරක ව්‍යාපාරයට විශාල ප්රවර්ධනයක් ලැබෙන බවත්, ශ්‍රී ලංකා සන්නාමය ජාත්‍යන්තරයට ගෙන යාමට හැකිවන බවත්, රටවල් විශාල සංඛ්‍යාවක සාමාජික රූපවාහිනී නාලිකා ඔස්සේ වැඩසටහන් විකාශය වන බවත් සඳහන් කර ඇතැයි ඔහු පැවසීය.
එහෙත් මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් සඳහා සත්කාරකත්වය දැරීමට පෞද්ගලික රූපවාහිනී ආයතනයක්ම තෝරාගත යුත්තේ ඇයිද යන්න ප්‍රශ්න කළ වීරවංශ මහතා, මීට පෙර මෙවැනි සමුළු පැවැත්වූ මොන්ගෝලියාව, තුර්කිය සහ දකුණු කොරියාව එම කටයුතු සඳහා තම රටවල රාජ්‍ය මාධ්‍ය ආයතන යොදාගෙන ඇති බව පෙන්වා දුන්නේය.
2025දී මොන්ගෝලියාව වෙනුවෙන් එරට රාජ්‍ය පොදු විකාශකයා වන MNB ආයතනයත්, 2024දී තුර්කිය වෙනුවෙන් TRT ආයතනයත්, 2023දී දකුණු කොරියාව වෙනුවෙන් KBS රාජ්‍ය සේවා විකාශන ආයතනයත් සත්කාරකත්වය දැරූ බව ඔහු සඳහන් කළේය.
එම රටවල් මහජන මුදල් යොදාගෙන තිබුණේ තම රටවල රාජ්‍ය මාධ්‍ය ආයතන හරහා බවත්, ශ්‍රී ලංකාවේදී පමණක් පෞද්ගලික මාධ්‍ය ආයතනයකට මහජන මුදල් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් පවතින බවත් ඔහු පැවසීය.
“මෙතැන තිබෙන්නේ ක්‍රෝනි කැපිටලිසම්, එහෙම නැත්නම් සහචර ධනවාදයයි. හොරි කහපිය, ගිනි පිඹපිය' කියන විට ඒවා කරන තමන්ගේ සහචරයන්ට මහජනතාවගේ ධනයෙන් කෝටි දහයකට වැඩි මුදලක් ලබාදෙනවා. සංචාරක ප්‍රවර්ධනය කියන්නේ ඒ සඳහා යොදාගන්නා වෙස්මුහුණක් පමණයි” යනුවෙන්ද ඔහු චෝදනා කළේය.
මෙම ව්‍යාපෘතියේ වියදම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් වීරවංශ මහතා පැවසුවේ, එහි විනෝද චාරිකා වැඩසටහන සඳහා පමණක් රුපියල් එක්කෝටි විසිහය ලක්ෂ දහඅටදහසක මුදලක් (රු. 12,618,000) වෙන් කර ඇති බවයි.
බදු බරින් පීඩාවට පත්ව සිටින ජනතාවට ජීවත්වීමට පවා අසීරු තත්ත්වයක් උද්ගතව තිබියදී, නිවාස අහිමිව සහ නායයෑම්වලින් පීඩාවට පත්ව සිටින ජනතාව තවමත් දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටියදී මෙවැනි විනෝද චාරිකා සඳහා කෝටි ගණනින් මුදල් වෙන් කිරීම පිළිගත නොහැකි බව ඔහු පැවසීය. විශේෂයෙන්ම විනෝද චාරිකා සහ රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් මීට පෙර පාර්ලිමේන්තුවේදී දැඩි විවේචන එල්ල කළ ජනාධිපතිවරයාගේ වර්තමාන ආණ්ඩුව මෙවැනි වියදමකට එකඟ වීම බරපතළ පරස්පරයක් බවද ඔහු සඳහන් කළේය.
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වන බවද සඳහන් කළ වීරවංශ මහතා, තමන් දන්නා පරිදි අධ්යක්ෂ මණ්ඩලය මෙම යෝජනාව අනුමත කර නොමැති බව පැවසීය. අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය නොලැබීමෙන් පසුව විජිත හේරත් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කර එය අනුමත කරගෙන ඇති බවටද ඔහු චෝදනා කළේය.
එමෙන්ම Compact Disc සහ Delegates' Docket Book වැනි කටයුතු සඳහාද ලක්ෂ ගණනින් සහ මිලියන ගණනින් මුදල් වැය කර ඇති බවත්, මෙවැනි වැඩසටහනකින් සැබෑ සංචාරක ප්රවර්ධනයක් අපේක්ෂා කරන්නේ නම් ජාතික රූපවාහිනිය හෝ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වැනි රාජ්‍ය මාධ්‍ය ආයතන යොදාගැනීමට හැකියාව තිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය. ජාතික රූපවාහිනිය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ආසියානු විකාශන සංගමයේ සාමාජිකයන් බවත්, එම ආයතන හරහා මෙම සමුළුවට සත්කාරකත්වය දැරීමෙන් මීටත් වඩා හොඳ ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව තිබූ බවත් ඔහු පැවසීය.
එසේ නොකර MTV සමාගමට අනුග්‍රහය ලබාදීමේ අරමුණ ෂෙවෝන් ඩැනියෙල් මහතාට ආසියානු විකාශන සංගමයේ උපසභාපති ධුරය ලැබීම සම්බන්ධයෙන් සතුටු වීම සහ එම ආයතනයට විශේෂ සැලකිල්ලක් දැක්වීම බවටද වීරවංශ මහතා චෝදනා කළේය.
ෂෙවෝන් ඩැනියෙල් මහතාට එම සංගමයේ උපසභාපති ධුරය හිමිවූ ශ්‍රී ලංකාවේ පළමු පුද්ගලයා වීම වෙනුවෙන් මහජන බදු මුදල් කෝටි දහයක් වැය කළ යුතුදැයි ප්‍රශ්න කළ ඔහු, මහජන ධනය සාංඝික දේපළක් සේ සලකා වියදම් කරන බවට ආණ්ඩුව කළ ප්‍රකාශවල සැබෑ ස්වභාවය මෙම ගනුදෙනුවෙන් හෙළිවන බවද පැවසීය.
මෙම සමුළුවේ ප්‍රවර්ධන වැඩසටහනේදී සීගිරිය රාවණාගේ නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද වීරවංශ මහතා විවේචනයක් එල්ල කළේය. සීගිරිය කාශ්‍යප රජු සමඟ සම්බන්ධ මෙරට ඉතිහාසය පදනම් කරගෙන ඉදිරිපත් කිරීම වෙනුවට රාමායණය හා සම්බන්ධ රාවණා පිළිබඳ ඉන්දියානු ආඛ්‍යානයක් එහිදී ඉදිරිපත් කර ඇති බව ඔහු පැවසීය.
රාවණා පිළිබඳ කතාන්දරයක් සහ විශ්වාසයක් ඇතැම් පිරිස් අතර පැවැතියද, සීගිරිය රාවණාගේ නිර්මාණයක් බව තහවුරු කරන නිල පුරාවිද්‍යාත්මක සාක්ෂි හෝ මහාවංශය, චූලවංශය වැනි ඉතිහාස මූලාශ්රවල සඳහනක් නොමැති බව ඔහුගේ අදහස විය. එවැනි ඉතිහාසමය වශයෙන් තහවුරු නොකළ කතාවක් ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනක් තුළින් විදේශිකයන්ට ඉදිරිපත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ වැරදි අදහසක් ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.
මෙම සියලු කරුණු එකට ගත්විට මහජන මුදල් සහචරයන් පිනවීම සඳහා යොදාගන්නා ආකාරය පැහැදිලි වන බව පැවසූ වීරවංශ මහතා, වතුකරයේ පෞද්ගලික වතු හිමියන්ට සේවක වැටුප් වැඩි කිරීමේ බරෙන් කොටසක් රජය විසින් දැරීමද එවැනි සහචර ධනවාදී ක්‍රියාමාර්ගයකට උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේය.
වතු හාම්පුතුන් තමන් ලබන ආදායමෙන් සේවකයන්ගේ වැටුප් වැඩි කළ යුතු වුවත්, ඒ වෙනුවට මහජන බදු මුදල් යොදාගෙන සේවක වැටුප් වැඩි කිරීමේ බර රජය භාරගෙන ඇති බවත්, එමඟින් වතු හිමියන්ගේ ලාභ ඉහළ යාමට ඉඩ සැලසෙන බවත් ඔහු චෝදනා කළේය.
බාල ගල්අඟුරු ගනුදෙනුව, කන්ටේනර් 323 සිදුවීම, වතු කම්කරු වැටුප් ප්රශ්නය සහ MTV සමාගමට ලබාදීමට යෝජිත මුදල් යන සියල්ල එකම සහචර ධනවාදී ප්රතිපත්තියක කොටස් බවද ඔහු සඳහන් කළේය. ගල්අඟුරු ගනුදෙනුවෙන් රටට සිදුවූ හානිය සම්බන්ධයෙන්ද ඔහු ආණ්ඩුවට චෝදනා කළ අතර, එම සිදුවීම පිළිබඳ කරුණු අනාවරණය වීමත් සමඟ හිටපු අමාත්‍යවරයාට ධුරයෙන් ඉවත්වීමට සිදුවූ බවද පැවසීය.
මේ අතර, ලාෆ්ස් ගෑස් සමාගමේ වැඩි කොටස් ප්‍රමාණයක් ධම්මික පෙරේරා මහතා විසින් මිලදී ගැනීමෙන් පසුව හම්බන්තොට ගබඩා පර්යන්තයේ ඉඩකඩ ලබාදීම ඇතුළු සිදුවීම්ද රටේ ගෑස් අර්බුදයට සම්බන්ධ සහචරයන්ට සැලකීමේ ක්‍රියාමාර්ග ලෙස වීරවංශ මහතා හැඳින්වීය. ඉරානයෙන් වෙනත් ක්‍රමයකට ගෑස් ගෙන්වීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද ගැටලු ඇතිකර තිබෙන බවට චෝදනා කළ ඔහු, අවසානයේ ගෑස් ලබාගැනීමට නොහැකිව පෝලිම්වල සිටීමට සිදුවී ඇත්තේ සාමාන්‍ය ජනතාවට බව පැවසීය.
ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂය නිහඬව සිටීමද විවේචනය කළ වීරවංශ මහතා, ඇතැම් දේශපාලනඥයන් පෞද්ගලික මාධ්‍ය ආයතනවලින් ලැබෙන ප්‍රචාරය අහිමිවනු ඇතැයි බියෙන් මෙවැනි මාතෘකා ගැන කතා නොකරන බවට චෝදනා කළේය.
“සවලෙන් බෙදන්න කිව්වේ ජනතාවටයි. නමුත් සවලෙන් බෙදන්නේ සහචරයන්ටයි. ජනතාවට කන්හැන්දක්වත් නැහැ. අස්වැසුම ලබාගත් ලක්ෂ 14ක පමණ ජනතාවක් සහනවලින් ඉවත් කරනවා. ඒ සඳහා මුදල් නැහැ කියනවා. නමුත් සහචරයන්ට කෝටි දහයක් ලබාදෙනවා. මේක තමයි අද ආණ්ඩුවේ සමාජවාදය” යනුවෙන් ඔහු පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ ගම් මට්ටමේ සාමාජිකයන් සිතන පරිදි මෙම ආණ්ඩුව සහෝදරත්වය හා සමානාත්මතාව පදනම් කරගත් ගමනක නොයෙදෙන බවත්, ධම්මික පෙරේරා, චෙවෝන් ඩැනියෙල් සහ මහරාජා පවුලට සමීප පිරිස් සමඟ ගමන් කරන බවත් ඔහු චෝදනා කළේය. මෙම සහචර ධනවාදී ගමන පරාජය කිරීමට සියලු දෙනා එකතු විය යුතු බවත්, අතීතයේ පැවැති සහචර ධනවාදයටත් වඩා දරුණු තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතැබීම සියලු දෙනාගේ වගකීමක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ප්‍රතිත්‍රස්ත පනතෙන් වෘත්තීය සමිති හා මාධ්‍ය නිදහස මර්දනය කළ හැකියි
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීමට තමන් විරුද්ධ නොවන බවත්, එවැනි වැඩසටහන් සඳහා රාජ්‍ය මාධ්‍ය ආයතන යොදා නොගෙන පෞද්ගලික සහචර ආයතනයකට මහජන මුදල් ලබාදීම පිළිබඳව තමන් විරෝධය පළ කරන බවත්ය.
විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් මහරාජා මාධ්‍ය ජාලයෙන් ලැබෙන සුළු ප්‍රචාරයක් පවා අපේක්ෂාවෙන් සිටින බැවින් මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කිරීමට මැළිවන බවද ඔහු පැවසීය.
මේ අතර, යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එම පනත මඟින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, මාධ්‍ය නිදහස සහ සාමාන්‍ය ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් මර්දනය කිරීමට අවස්ථාව සැලසිය හැකි බවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කළ යුතු බවට අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයේ පක්ෂ හඬ නැඟූ බව සිහිපත් කළ ඔහු, යහපාලන ආණ්ඩු සමයේදී එම පනත වෙනුවට ආදේශක පනතක් ගෙන ඒමට උත්සාහ කළ බවද සඳහන් කළේය.
එහෙත් එම යෝජිත ආදේශක පනතටත් වඩා භයානක පනතක් වර්තමානයේ ගෙන ඒමට සූදානම් වන බව ඔහුගේ චෝදනාව විය.
ත්‍රස්තවාදී ලේබලය යොදාගෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මර්දනය කිරීමටත්, මාධ්‍ය නිදහස කප්පාදු කිරීමටත්, ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සීමා කිරීමටත් මෙවැනි නීතියක් භාවිත කළ හැකි බව ඔහු පැවසීය.
පොලිසිය තුළ සැකකරුවන් රඳවා තබාගැනීමේ කාලය පැය 24 සිට පැය 72 දක්වා දීර්ඝ කිරීම සම්බන්ධයෙන්ද ප්‍රශ්න කළ ඔහු, එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් පොලිස් මර්දනකාරී රාජ්‍යයක් බිහිවීමේ අවදානමක් පවතින බව සඳහන් කළේය.
ත්‍රස්තවාදය පිළිබඳ අනාගත අවදානම් වැළැක්වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන තිබිය යුතු බව පිළිගන්නා නමුත් ඒ මුවාවෙන් සාමාන්‍ය සිවිල් සහ දේශපාලන ක්‍රියාකාරකම් මර්දනය කිරීමට ඉඩ නොදිය යුතු බවද ඔහු අවධාරණය කළේය.
එවැනි පනතකට එරෙහිව පාර්ලිමේන්තුව තුළ පමණක් නොව මහජනතාව අතරද විරෝධයක් ගොඩනැඟිය යුතු බව පැවසූ ඔහු, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ජනතාව මහපාරට බැසීමෙන් ඇතිවූ දේශපාලන වෙනසද සිහිපත් කළේය.
“ආර්ථිකය ගොඩනඟන්න ආණ්ඩුවට සැලැස්මක් නැහැ”
වර්තමාන ආණ්ඩුවට රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා නිශ්චිත මාර්ගෝපදේශයක් හෝ සැලැස්මක් නොමැති බවත්, සමාජීය ජීවිතය නඟාසිටුවීමට සහ බලශක්ති අර්බුදයෙන් මිදීමටද නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති බවත් වීරවංශ මහතා චෝදනා කළේය.
'හොරු අල්ලනවා' යන දේශපාලන ආඛ්‍යානයට මුවාවී ආණ්ඩුව තමන්ගේ සැබෑ ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරමින් සිටින බවද ඔහු පැවසීය. ඇතැම් අප්‍රිකානු රටවල මෙන් දේශපාලන ප්‍රතිවාදීන්ගේ ඡන්ද අයිතිය අහිමි කිරීමෙන් බලය පවත්වාගෙන යාමේ මාර්ගයක් ආණ්ඩුව තෝරාගෙන ඇතැයිද ඔහු චෝදනා කළේය.
ජනතාව දිගින් දිගටම පීඩාවට පත්වීම සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ කලකිරීම හේතුවෙන් කවර හෝ අවස්ථාවක බලවත් මහජන විරෝධයක් මතුවිය හැකි බවත්, එවැනි අවස්ථාවක පොලිසිය සහ හමුදාව ඇතුළු ආයතන පවා අක්‍රිය හෝ මධ්‍යස්ථ තත්ත්වයකට පත්විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.
ආණ්ඩුව මේ ආකාරයෙන් දිගටම ගමන් කළහොත් එය ඉතිහාසයේ වෙනත් පාලකයන්ට අත්විඳීමට සිදුවූවාටත් වඩා දරුණු හා වේදනාකාරී ප්‍රතිඵලයකට මුහුණදීමට සිදුවනු ඇතැයිද වීරවංශ මහතා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
ඉන්දියාවේ විරෝධතා දෙස බලා විපක්ෂය පාඩම් ඉගෙනගත යුතුයි
විපක්ෂයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවද අදහස් දැක්වූ වීරවංශ මහතා, ඉන්දියාවේ දිල්ලියේ පැවැත්වෙන 'දිල්ලි චලෝ' විරෝධතා ව්‍යාපාරය දෙස මෙරට විපක්ෂය අවධානය යොමු කළ යුතු බව පැවසීය.
අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ පවා ඉන්දියානු ජනතාව මහපාරට බැස ආණ්ඩුවට අභියෝග කරමින් මැතිවරණ කොමසාරිස්වරයා ඉවත් කරන ලෙස ඉල්ලා සිටින බවත්, එවැනි අභියෝගාත්මක අවස්ථාවක පවා ජනතාව සමඟ සිටින බවත් ඔහු සඳහන් කළේය. එවැනි මහජන හැඟීම් සහ වේදනාව අව්‍යාජව නියෝජනය කිරීමට වර්තමාන ශ්‍රී ලංකාවේ නිල විපක්ෂයට හැකියාවක් ඇතැයි තමන් විශ්වාස නොකරන බවද ඔහු පැවසීය.
අවසානයේ අදහස් දැක්වූ වීරවංශ මහතා, වර්තමාන ආණ්ඩුව තමන් ජනතාවගේ ආණ්ඩුවක් බව ප්‍රකාශ කළද, එහි ක්‍රියාකලාපය පිළිබඳව ප්‍රශ්න රැසක් පවතින බව සඳහන් කළේය. ආණ්ඩුවට සහාය දක්වන බව කියන ඇතැම් විද්වත් කණ්ඩායම් පිළිබඳවද විවේචනාත්මකව අදහස් දැක්වූ ඔහු, එවැනි විද්වත් සම්මේලන පැවැත්වීම පිළිබඳව තමන් දුටු බවත්, මෙරට විද්වතුන්ගේ ස්වභාවය පිළිබඳවද ප්‍රශ්න මතුවන බවත් ප්‍රකාශ කළේය.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී කළ සම්පූර්ණ දේශනය
“සුබ උදෑසනක් වේවා, මාධ්‍යවේදී ඔබ සියලු දෙනාටම.
අද මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට අපි හදිසියේම තීරණය කළේ, අපේ රටේ මහජන බදු මුදල් ඉතා නිවැරදිව හා පාරදෘශ්‍යව යොදා ගැනීමේ පරමාදර්ශී භාවිතාවක නියැළෙනවාය යන බලාපොරොත්තුව මහජනතාව තුළ ඇති කරමින් බලයට පැමිණි අනුර කුමාර ජනාධිපතිවරයාගේ වර්තමාන ආණ්ඩුව, බලයට පැමිණි වහාම ක්‍රියාත්මක කළ ඇතැම් වැඩපිළිවෙළ පිළිබඳව රටේ ජනතාව දැනුවත් කළ යුතු නිසයි.
කන්ටේනර් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරව රට තුළට ඇතුළු කරගත්තා වගේ, බාල ගල්අඟුරු නියමිත ප්‍රමාණයටත් වඩා නැව් දෙකක් අඩුවෙන් ගෙනැවිත් මේ රටේ විදුලිබල ක්ෂේත්රය අර්බුදයෙන් අර්බුදයට ඇද දැම්මා වගේ, මේ රටේ ගොවියාගේ වීවලට නියම මිලක් නොලැබෙන ආකාරයට ඉන්දියාවෙන් සහල් ගෙන්වා යටිමඩි ගහන්න කටයුතු කරමින් එම ඉන්දියානු සහල්වලින් මේ රටේ පාරිභෝගික වෙළෙඳපොළ පුරවා තමන් සන්තර්පණය වුණා වගේ, දැන් තවත් අලුත් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ තමයි තමන්ගේ සහචරයන්ට ඉතා ඉහළින් සැලකීමේදී, ඒ සඳහා මහජන ධනය යොදා ගැනීමේ මෙහෙයුම.
මෙහිදී ඔබේ අවධානය යොමු කරවන්න කැමතියි. විජිත හේරත් අමාත්‍යවරයා විසින් පසුගිය දිනවල අමාත්‍ය මණ්ඩල සංදේශයක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. මුදල් අමාත්‍යවරයා සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාත් ඊට තමන්ගේ සම්පූර්ණ එකඟතාව ලබාදී තිබෙනවා.
ඒ වෙන මොකක්වත් නොවෙයි. ආසියානු විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා සමුළුව, ඊට අදාළ රැස්වීම්, සංගීත උළෙල සහ විනෝද චාරිකාව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම වෙනුවෙන් MTV පෞද්ගලික සමාගමට අනුග්‍රහය ලබාදීම සඳහා තමයි මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන්නේ.
ඒ කැබිනට් පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා, ABU 63 වැනි මහා සමුළුව සහ ඊට අදාළ රැස්වීම්, ABU සංගීත උළෙල සහ විනෝද චාරිකා වැඩසටහන සමඟ 2026 ඔක්තෝබර් මාසයේ 30 සිට නොවැම්බර් 3 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී MTV පෞද්ගලික සමාගම විසින් සත්කාරකත්වය දරමින් පැවැත්වීමට යෝජනා කර ඇති බව.
එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව 60%ක් පළමුවත්, මිලියන 40%ක් දෙවනුවත් වශයෙන් කොටස් දෙකකට රුපියල් කෝටි දහයකට අධික මුදලක් මේ MTV පෞද්ගලික සමාගමට, එහෙම නැත්නම් මහරාජා රූපවාහිනී ආයතනයට, එහෙමත් නැත්නම් තුන්හුලස් නාලිකාවේ ආණ්ඩුවේ සියලුම වැරහැලි, කුණු රොඩු සහ දැලි තැවුණු වස්ත්‍ර සෝදන නාලිකා ආයතනයට ලබාදීමට යනවා.
මහජනයා, මේ රටේ අහිංසක මිනිස්සු දැන් ටින් එකක් ගන්න පෝලිමේ ඉන්නවා. ටින් එකක් ගත්තත් එහි පතුල ගෙවෙනකම්ම හූරගෙන කන්න සිදුවී තිබෙනවා. ඒ සියල්ල බදු මුදල්වලින්. ඒ අහිංසක මිනිසුන්ගේ බදු මුදල්වලින් කෝටි දහයක් දෙනවා වෙන මොකටවත් නොවෙයි, ඒ ආයතනයේ අනුග්‍රහය යටතේ ආසියානු විකාශන සංගමයේ 63 වැනි මහා සමුළුව පැවැත්වීමට.
මේ කැබිනට් පත්‍රිකාව සමඟ MTV ආයතනය ව්‍යාපෘති වාර්තාවකුත් ඉදිරිපත් කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ හැකි ආකාරයේ සුරංගනා කතාවක් තමයි ඒ වාර්තාවේ තිබෙන්නේ. ඔවුන් කියනවා, මේ වැඩසටහන හරහා සංචාරක ව්‍යාපාරයට විශාල රුකුලක් ලැබෙනවා, ශ්‍රී ලංකා සන්නාමය ඉහළට ඔසවා තැබෙනවා, රටවල් විශාල සංඛ්‍යාවක සාමාජික නාලිකා ඔස්සේ මේ වැඩසටහන් විකාශය වෙනවා, ඒ නිසා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට විශාල ආලෝකයක් ප්‍රචාරයක් ලැබෙනවා කියලා.
ඒ තර්කය මත තමයි සංචාරක ප්‍රවර්ධන අධිකාරියෙන් මේ කෝටි දහයකට අධික මුදල ගෙවන්නේ. සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ කාරියාංශයේ තිබෙන්නේ වෙන කාගේවත් මුදල් නොවෙයි. මේ රටේ ජනතාවගේ මුදල්. මේ රටේ සංචාරක ව්‍යාපාරය තුළ කටුක අත්දැකීම් ලබමින් ජීවත්වන මිනිසුන්ගේ මුදල්. එතකොට මේ ආකාරයෙන් ගොඩනැඟුණු අරමුදලකින් කෝටි දහයකට වැඩි මුදලක් ලබාදෙන්නේ ඇයි? මේ සඳහා සත්කාරකත්වය දැරීමට අවශ්‍ය නම්, ඒ කටයුත්ත සිදුකිරීමට මහරාජාගේ රූපවාහිනී සමාගමම තිබිය යුතුද?
ඔවුන්ගේම ව්‍යාපෘති වාර්තාවේ හරි අපූරු කතාවක් තිබෙනවා. මීට පෙර වෙනත් රටවල් මේ සඳහා අනුග්‍රහය දක්වා තිබෙන බව එහි සඳහන් වෙනවා. 2025දී මොන්ගෝලියාව, 2024දී තුර්කිය සහ 2023දී දකුණු කොරියාව මේ සඳහා සත්කාරකත්වය දරා තිබෙනවා.
හැබැයි එහි නොකියන කාරණයක් තිබෙනවා. 2025දී මොන්ගෝලියාව සත්කාරකත්වය දරා තිබෙන්නේ එ් රටේ රාජ්‍ය පොදු විකාශකයා වන MNB (Mongolian National Broadcaster) ආයතනය මූලික කරගෙනයි. එසේ නොමැතිව එරට සිටින පෞද්ගලික සහචර තැරැව්කරුවකුට මුදල් පොම්ප කරලා නොවෙයි.
2024දී තුර්කියේ TRT (Turkish Radio and Television Corporation) ආයතනයට තමයි සත්කාරකත්වය භාරදී තිබෙන්නේ. එය රජයේ ආයතනයක්. රජය මුදල් යොදවා රජයේ ආයතනයක් මඟින් එම කටයුත්ත සිදුකිරීමේ කිසිදු වරදක් නැහැ. ඒ විතරක් නොවෙයි, 2023දී දකුණු කොරියාවේ අනුග්‍රහකත්වය දක්වා තිබෙන්නේ එරට ප්‍රධාන රාජ්‍ය සේවා විකාශකයා වන KBS (Korean Broadcasting System) නමැති රාජ්‍ය සන්නිවේදන ආයතනයයි. රජයේ මුදල් යොදවා තිබුණේ නම් ඒ මුදල් යොදවා තිබෙන්නේ එම රාජ්‍ය ආයතනයටයි.
එතකොට මෙතැන මොකක්ද සිදුවන්නේ?
මෙතැන තිබෙන්නේ 'ක්‍රෝනි කැපිටලිසම්' (Crony Capitalism), එනම් සහචර ධනවාදයයි! හොරි කහපිය, ගිනි පිඹපිය' කියන විට හොරි කහන, ගිනි පිඹින තමන්ගේ සහචරයන්ට මහජනතාවගේ ධනයෙන් කෝටි දහයකට වැඩි මුදලක් ලබාදීලා ඇති පදමට සතුටු වෙයන් කියන එකයි මේ කරන්නේ. දැන් මේ ලබාදෙන මුදල්වල වියදම් පැත්ත බලන්න. ඒවා ඇසුවාමත්, දැක්කාමත් පුදුම හිතෙනවා.
මේ වැඩසටහනේ විනෝද චාරිකාවක් තිබෙනවා. ඒ සඳහා අපේ මහජනතාවගේ මුදල්වලින් පමණක් රුපියල් එක්කෝටි විසිහය ලක්ෂ දහඅටදහසක් (රු. 1,26,18,000/-) වෙන් කර තිබෙනවා. කෝටියකට වැඩියි විනෝද චාරිකාවට!
ඒගොල්ලන් විනෝද චාරිකා යන්නේ මහජනතාව බදු බරින් හතරගාතෙන් වැටී සිටින අවස්ථාවකයි. අර දිට්වා එකෙන් අසරණවූ මිනිස්සු ඉන්න හිටින්න තැනක් නැතිවූ මිනිසුන් තවමත් හූල්ලනවා. කදුකරේ නායයෑමෙන් මිනිසුන්ට ආතක් පාතක් නැතිවී තිබෙනවා.
අපේ අනුර කුමාර ජනාධිපතිතුමා මීට පෙර පාර්ලිමේන්තුවේදී විනෝද චාරිකා සඳහා මෙවැනි වියදම් කිරීම ගැන උගුරේ නහර ඉලිප්පෙන තරම් හඬ නඟා කොතරම් ප්‍රකාශ කළාද? කොතරම් හෙළා දැක්කාද? දැන් විනෝද චාරිකාවකට රුපියල් එක්කෝටි විසිහය ලක්ෂ දහඅටදහසක්! මේ ආකාරයට තවත් වියදම් මේ ව්‍යාපෘතියේ තිබෙනවා.
ඒ විතරක් නොවෙයි, මේ ගනුදෙනුව නිසා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයාත් ඉල්ලා අස්වී තිබෙනවා කියලයි වාර්තා වෙන්නේ. මේක ඉතාම පාරිශුද්ධ ගනුදෙනුවක් නම් සභාපතිවරයකුට එසේ ඉල්ලා අස්වීමට සිදුවන්නේ නැහැ. මා දන්නා තරමින් අධ්යක්ෂ මණ්ඩලය මේ ගනුදෙනුව අනුමත කරලා නැහැ. ඉන් පසුව තමයි විජිත හේරත් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට මේ යෝජනාව ඉදිරිපත් කරලා, කැබිනට් මණ්ඩලයේ බලය භාවිත කරමින් එය අනුමත කරගන්නේ.
ඒ විතරක් නොවෙයි, Welcome pac for gests සහ Delegates' Docket Book වැනි දේ සඳහාත් ලක්ෂ හතලිහක්, මිලියන හතරක පමණ මුදලක් වැය කරනවා. මේ සියල්ලටම මුදල් වෙන් කර තිබෙනවා.
මෙහි ප්රශ්නය වන්නේ මෙයයි. අපි හිතමු මේ ABU සමුළුව පැවැත්වීමෙන් ශ්‍රී ලංකාවට සංචාරක ව්‍යාපාරය පැත්තෙන් හෝ වෙනත් පැත්තකින් හෝ සැබෑ වාසියක් ලැබෙනවා කියලා. එසේ නම් ඒ සඳහා යොදාගත යුත්තේ රාජ්‍ය ආයතනයි. ඒ සංගමයේ අපේ සාමාජිකයන් තමයි ජාතික රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව. ඔවුන් මේ කියන MTV නාලිකාවටත් වඩා ඉහළ මට්ටමේ සාමාජිකයන්. එහෙම නම් මෙයින් සැබෑ ප්රවර්ධනයක් සහ වාසියක් ලබාගැනීමට අවශ්‍ය නම් කළ යුතුව තිබුණේ රජයේ ආයතන හරහා එම සමුළුවට සත්කාරකත්වය දැරීමයි.
ඒක නොකර තමන්ගේ සහචර නාලිකාවේ ෂෙවෝන් ඩැනියෙල්ට අදාළ සංගමයේ උපසභාපති ධුරය ලැබුණා කියලා සතුටු වෙන්න අපේ සල්ලි පුච්චන්නේ ඇයි? ෂෙවෝන් ඩැනියෙල්ට ආසියානු විකාශන සංගමයේ උපසභාපති ධුරය ලැබුණු ශ්‍රී ලංකාවේ ප්‍රථමයා කියලා ස්වයං වින්දනයක් ලබන්න මේ රටේ මහජනතාවගේ කෝටි දහයක් පුච්චන්න ඕනෑද? ඒකටද මේ රටේ මහජන බදු මුදල් තිබෙන්නේ? මේවා සාංඝික ධනය වගේ පාවිච්චි කරනවා කියලා නේද කිව්වේ? ඔය සාංඝික ධනයද ෂෙවෝන් ඩැනියෙල්ට උපසභාපති ධුරයක් ලබාගැනීමට පුච්චන්නේ? සාංඝික ධනය තමයි ඒ පාවිච්චි කරන්නේ!
ජාතික රූපවාහිනියත් මේ සංගමයේ සාමාජිකයෙක්. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවත් එහි සාමාජිකයෙක්. අනෙක් කාරණය තමයි මේ වැඩසටහනේ ප්‍රධාන සංකේතය ලෙස සීගිරිය යොදාගෙන තිබීම. නමුත් ඔබ එම වැඩසටහන නැරඹුවා නම් දකින්න ඇති, සීගිරිය කාශ්‍යප රජු සමඟ සම්බන්ධ ඉතිහාස කතාවක් ලෙස නොවෙයි එහි ඉදිරිපත් කරන්නේ. රාමායණයේ තිබෙන ඉන්දියානු කතාවට අවශ්‍ය රාවණාගේ කතාවක් සීගිරියට සම්බන්ධ කරමින් තමයි එය ඉදිරිපත් කරන්නේ. එතැනදී අරමුණත් වෙනස් වෙනවා. න්‍යාය පත්‍රයත් වෙනස් වෙනවා. අපේ කෝටි දහයක් වැය කරලා ඉන්දියානු ව්‍යාපෘතියට අවශ්‍ය ආකාරයට සීගිරිය රාවණාගේ නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරනවා.
රාවණා ගැන ප්‍රබන්ධ කතාවක් තිබෙනවා. ඉන්දියානු විශ්වාසයක් තිබෙනවා. මෙරට ඇතැමුන් ද එය විශ්වාස කරනවා. නමුත් අපේ රටේ නිල පුරාවිද්‍යාත්මක සාක්ෂි සහිතව අනාවරණය කර තිබෙන ඉතිහාස කතාවක හෝ අපේ ඉතිහාස ග්‍රන්ථයක එවැන්නක් සඳහන් වෙලා නැහැ. මහාවංශයේවත්, චූලවංශයේවත්, වෙනත් ඉතිහාස මූලාශ්‍රයකවත් එවැන්නක් නැහැ. එසේ නොවන, කිසියම් පිරිසකගේ කතාබහේ පමණක් තිබෙන කතාවක් මේ රටේ කෝටි දහයක් වැය කරලා ගොඩනඟන ප්‍රවර්ධන ව්‍යාපෘතියකදී සීගිරිය රාවණාගේ නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරනවා.
රාම පවතිනවා නම් රාවණාත් ඉන්න ඕනෑ. රාවණා නැත්නම් රාම කෙනකුත් නැහැ කියන අදහසක් තිබෙනවා. රාම හිටියා කියලා පෙන්වන්න නම් රාවණා කෙනකුත් හිටියා කියලා පෙන්වන්න ඕනෑ. ඒ සඳහා අවශ්‍ය ආඛ්‍යානය තමයි සිරස නාලිකාව මේ වැඩසටහන තුළින් ඉදිරිපත් කරන්නේ. ඒ ඉන්දියානු ආඛ්‍යානය තමයි මෙහිදී විදේශිකයන්ට ඉදිරිපත් කර තිබෙන්නේ.
ඒ විදේශිකයන් මේ වැඩසටහන දැකලා ආපසු ගිහින් සීගිරිය කියන්නේ රාවණාගේ නිර්මාණයක් කියලා හිතාගෙන ඉන්නවා. ඒ අනුව පේනවා මේ කෝටි දහයක් එක් පැත්තකින් වැය කරන්නේ ෂෙවෝන් ඩැනියෙල්ලාට උපසභාපති ධුරයක් ලබාගැනීම වෙනුවෙන්. ඒ මුදල් වැය කරලා ඔවුන්ට ආශ්වාදයක් ලබාදෙනවා. විනෝද චාරිකාවට විතරක් රුපියල් එක්කෝටි විසිහය ලක්ෂයකට වැඩි මුදලක් වියදම් කරනවා.
මේ ව්‍යාපෘතිය තුළ තවත් අතිවිශාල නාස්තිකාර වියදම් ප්‍රමාණයක් තිබෙනවා. මේ සියල්ලෙන්ම පේන්නේ අපි කලින් සඳහන් කළ 'මහජන ධනය සාංඝික දේපළක් සේ සලකා වියදම් කරනවා' කියන කතාව පට්ටපල් බොරුවක්, කෙබරයක් බවයි. එය ඇස් පනාපිටම සනාථ වී තිබෙනවා. මේ සියල්ල සහචරයන් පිනවීමේ වැඩපිළිවෙළක්.
වතුකරයේ තේ වතු හිමියන් මේ ආණ්ඩුවේ සහචරයන් බවට පත්වී සිටිනවා. ඒ හාම්පුතුන් තමන් ලබන ආදායමෙන් සේවකයන්ගේ වැටුප් වැඩි කරලා ගෙවිය යුතුයි. නමුත් ඒ වෙනුවට ඔවුන් වෙනුවෙන් අපේ බදු මුදලින් සේවකයන්ට වැඩි වැටුප් ගෙවනවා. මාසයකට රුපියල් බිලියන ගණන් වැය කරන්නේ කා වෙනුවෙන්ද? හාම්පුතා වෙනුවෙන්!
හාම්පුතා සේවකයාගේ කාර්යක්ෂමතාව වැඩි කරලා, පැයකට කඩන තේ දළු ප්‍රමාණය වැඩි කරලා තව තවත් ලාභ ලබනවා. අපි ඒ වෙනුවෙන් වැටුප් ගෙවනවා, අපේ මහජන ධනයෙන්! අන්න ඒක තමයි සාංඝික දේපළවලට සලකන විදිහ!
ඒ නිසා මේ සියල්ලෙන් පැහැදිලිව පෙනෙනවා, බාල ගල්අඟුරු මගඩියෙන් කෝටි ප්‍රකෝටි ගණනින් මේ රටට හානි සිදුකර තිබෙන බවත්, මුදල් හොරකම් කර තිබෙන බවත්. අද ඒ කරුණු සනාථ වන මට්ටමට පැමිණ තිබෙන නිසා තමයි හිටපු අමාත්‍යවරයාට අකමැත්තෙන් හෝ ධුරයෙන් ඉවත් වීමට සිදුවුණේ. මේ සියල්ලෙන්ම අපට පෙනෙන්නේ කියන කතාව සහ කරන භාවිතාව අතර ඉතා පැහැදිලි පරස්පරයක් ඇතිවී තිබෙන බවයි.
අද මේ රටේ ගෑස් අර්බුදයක් තිබෙනවා. ඒ සඳහාත් තවත් සහචරයකු සිටිනවා. ධම්මික පෙරේරා මහතා ලාෆ්ස් ගෑස් සමාගමේ වැඩි කොටස් ප්‍රමාණයක් මිලදී ගත්තා. ඒ මිලදී ගැනීමෙන් පසුව ෂෙල් සමාගමට අයත් හම්බන්තොට ගබඩා පර්යන්තයේ ඉඩ ලබාදුන්නා. ඊළඟට වෙනත් ක්‍රමයකින් ඉරානයෙන් ගෑස් ලබාගෙන ගෙන්වීමට සූදානම් වූ වැඩපිළිවෙළත් සමඟ අද ඒ ව්‍යාපාරය අර්බුදයට පත් කර තිබෙනවා. ඒ සහචරයාට සැලකීම නිසා අවසානයේ මේ රටේ මිනිසුන්ට ගෑස් ලබාගැනීමට පෝලිම්වල සිටීමට සිදුවී තිබෙනවා. ගෑස් නොමැතිව හූල්ලමින් උයාපිහා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
ඒ නිසා මේ සියලු අර්බුද සහචරයන්ට සැලකීමේ ව්‍යාපාරයේ ප්රතිඵලයි. MTV ජාලය සහචරයෙක්. ෂෙවෝන් ඩැනියෙල් ආසියානු විකාශන සංගමයේ උපසභාපති කරනවා. සහචරයාට සතුට ලබාදෙනවා. අපේ සංචාරක අරමුදලෙන් කෝටි දහයක් වැය කරනවා!
ඒ නිසා අපි කියන්නේ මෙහි සැබෑ අරමුණ සංචාරක ප්‍රවර්ධනය නම්, ජාතික රූපවාහිනිය හරහා හෝ රජයේ මාධ්‍ය ආයතන යොදාගෙන මේ සමුළුවට සත්කාරකත්වය දැරීමට හැකියාව තිබුණා. එමඟින් මීටත් වඩා හොඳ ප්‍රතිඵල ලබාගැනීමටත් හැකියාව තිබුණා.
නමුත් එය කළේ නැහැ. මේ අවස්ථාව භාවිත කළේ සහචරයාට සැලකීමටයි. 'දද කහපිය කිව්වොත් කහන, හොරි පිඹපිය කිව්වොත් පිඹින' සහචරයාට සැලකීමට තමයි මේ රටේ මහජනතාවගේ බදු මුදල් කෝටි දහයකට වැඩි ප්‍රමාණයක් යොදාගෙන තිබෙන්නේ.
පාර්ලිමේන්තුවේ මහත්වරුන් විශාල පිරිසක් ඉන්නවා. මේ කාරණය ගැන ප්‍රශ්න කිරීමට ඒ එක් මහත්මයකුටවත් කොන්දක් තිබේවිද කියලා මම දන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? 'හොරි කහපිය, ගිනි පිඹපිය' කියලා තමන්ටත් අනාගතයේදී කියවාගැනීමට බලාපොරොත්තු වෙනවා ඇති. ඒ නිසා තමන්ගේ චරිතය අවුල් වෙයි කියලා හිතලා මේවා ගැන කතා නොකර ඉන්නවා.
වෙනත් මාතෘකා කතා කරනවා. අලියා ගැන, ඇතුන් ගැන එහෙම කතා කරනවා. ඒවා ගැන කතා කිරීම හොඳයි. නමුත් මේවා ගැනත් කතා කළ යුතුයි. ඇයි මේවා ගැන කතා නොකරන්නේ? මේවා තහනම් මාතෘකාද? සිරසෙන් තමන්ට යම් ප්‍රචාරයක් ලැබීමට තිබෙන අවස්ථාව නැතිවෙයි කියලා බියෙන්ද මේවා ගැන කතා නොකරන්නේ? අපි නම් ඒවා මත තීරණ ගන්නේ නැහැ.
මේ 'ක්‍රෝනි කැපිටලිසම්', එනම් සහචර ධනවාදයයි! 'සවලෙන් බෙදන්න' කිව්වේ මිනිසුන්ටයි. නමුත් සවලෙන් බෙදන්නේ සහචරයන්ටයි. සාමාන්‍ය මිනිසුන්ට කන්හැන්දක්වත් නැහැ! 'අස්වැසුම' ප්රතිලාභ ලබාගත් ලක්ෂ 14ක පමණ ජනතාවක් අනුකම්පාවකින් තොරව ඉවත් කරනවා. කන්හැන්දෙන් ලබාදුන් අස්වැසුම ප්රතිලාභ ලක්ෂ 14ක් කපා දමනවා. ඒ සඳහා මුදල් නැහැ කියනවා. නමුත් සහචරයාට කෝටි දහයක් ලබාදෙනවා. 'ඔබ මේ ආතල් එක අරගෙන, උපසභාපතිකමත් ලබාගෙන සතුටින් ප්‍රමුදිතව ඉන්න, මගේ සහචරයා' කියනවා වගේ තමයි මේ කරන්නේ!
අද මහලොකු සමාජවාදී කතා කියමින්, සමානාත්මතාව ගැන කතා කරමින් දේශපාලන ව්‍යාපාරයක් යටතේ ලංකාවට ලැබී තිබෙන පාලන තන්ත්රයේ ස්වභාවය තමයි මේ. ඒ නිසා සවලෙන් දෙන්නේ සහචරයන්ටයි. පෞද්ගලික වතු හිමියන්ට සවලෙන් දෙන්නේ! අර කන්ටේනර් 323 හිමිකරුවන්ට දුන්නේ සවලෙන්! බාල ගල්අඟුරු හොරකම කළ අයට දුන්නේ සවලෙන්! මේ ආසියානු විකාශන සංගමයේ මහා සමුළුව පැවැත්වීමට මහරාජා සමාගමට දුන්නෙත් කෝටි දහයක් සවලෙන්!
නමුත් අස්වැසුම ලබාගත් ලක්ෂ 14ක ජනතාව කපා දමනවා. කන්හැන්දෙන් ලබාදුන් සහනයත් ඔවුන්ගෙන් ඉවත් කරනවා. ඒ නිසා අපට පෙනෙනවා මේ අයගේ කතාවයි භාවිතාවයි අතර අහසට පොළොව වගේ වෙනසක් තිබෙන බව. ඒ නිසා මේ රටේ පොදු ජනතාවගෙන් අපි ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා, මේ තත්ත්වය ඉතා හොඳින් තේරුම් ගන්න කියලා.
අද ජනතා විමුක්ති පෙරමුණේ ගම් මට්ටමේ සිටින මිනිසුන් 'මේ සහෝදරයන්ගේ පක්ෂයේ ගමනක් මේ යන්නේ' කියලා හිතනවා නම්, මෙතැන කිසිම සහෝදරයෙක් නැහැ. අද ධම්මික පෙරේරා සහෝදරයා, ෂෙවෝන් ඩැනියෙල් සහෝදරයා, මහරාජාගේ පුතා සහෝදරයා... ඒ සහෝදරයන් සමඟ යන ගමනක් තමයි මේ යන්නේ! ගමේ සිටි සහෝදරයන්ගේ පරමාර්ථ සහ අභිලාෂ මුදුන්පත් වන ගමනක් නොවෙයි මේ යන්නේ.
මේ යන්නේ සහචර ධනවාදයයි. ක්‍රෝනි කැපිටලිසම්! ඒ නිසා මේ ගමන වළක්වන්නත්, ආපසු හරවන්නත් අපි සියලු දෙනාම එකතු වෙමු. මේ රටේ අතීතයේ පැවැති සහචර ධනවාදය ගැන කට ලොකුවට කතා කරලා, ඊටත් වඩා දරුණු ආකාරයේ සහචර ධනවාදයකට පාර හදනවා නම්, එය පරාජයට පත් කිරීම අප සියලු දෙනාගේ අනුල්ලංඝනීය වගකීමක් බව අපි ඉතා කරුණාවෙන් විශ්වාස කරනවා.
ඔබට ප්‍රශ්න තිබෙනවා නම් අහන්න පුළුවන්.”
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ විමල් වීරවංශ මහතා ලබාදුන් පිළිතුරු
මාධ්‍යවේදියාගේ ප්රශ්නය: සාමාන්‍යයෙන් මේ කාලය ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන කාලයක්. සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් නම්, සංචාරක ප්‍රවර්ධනය සඳහා මෙවැනි වැඩසටහනක් පැවැත්වීම වැදගත් නොවේද?
විමල් වීරවංශ මහතාගේ පිළිතුර: “මම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්වලට විරුද්ධත්වයක් පළ කළේ නැහැ. මම පෙන්වා දුන්නේ මොන්ගෝලියාවේ, තුර්කියේ සහ දකුණු කොරියාවේ වගේ මේ සඳහා අපේ රටේ රාජ්‍ය ආයතනයකට සත්කාරකත්වය දැරීමට අවස්ථාව ලබාදිය යුතුව තිබූ බවයි.
MTV ආයතනයටත් කලින් මේ සංගමයේ සාමාජිකයකු වන ජාතික රූපවාහිනියට රජයේ අරමුදල් ලබාදීලා මීටත් වඩා හොඳින් මේ කටයුත්ත කරන්න තිබුණා. සංචාරක ප්‍රවර්ධනය කියන්නේ වෙස්මුහුණක් විතරයි. ඇතුළේ තිබෙන කතාව තමයි සහචරයාට සැලකීම සහ ඒ වෙනුවෙන් කෝටි දහයක් වැය කිරීම.”
මාධ්‍යවේදියාගේ ප්රශ්නය: සාමාන්‍යයෙන් විපක්ෂය මේ කාරණය සම්බන්ධයෙන් වැඩි හඬක් නඟන බවක් පෙනෙන්නේ නැහැ. ඔබතුමා ඒ ගැන එසේ සිතන්නේ ඇයි?
විමල් වීරවංශ මහතාගේ පිළිතුර: “ඒ අහිංසකයෝ බලාගෙන ඉන්නවා මහරාජාගේ නාලිකාවෙන් කීයක් හරි, තත්පර කීයක් හරි තමන්ට ලැබෙනකම්. ඒ තත්පර කිහිපය ලැබුණත් ඔවුන් ස්වයං වින්දනයක් ලබනවා. ඒ බාල ප්‍රචාරය ගැන හිඟන මානසිකත්වයෙන් බලන දේශපාලනඥයන්ට මේ වගේ මාතෘකා අල්ලන්න බැහැ. ඔවුන් බලන්නේ 'අනේ, පිනට මට තව තත්පර පහක් වැඩි කරලා දෙන්න' කියලා හරි ලබාගන්නයි. ඒකට බාධාවක් වන මාතෘකා ඔවුන් කතා කරන්නේ නැහැ.”
මාධ්‍යවේදියාගේ ප්රශ්නය: ඔබතුමා ඉල්ලන්නේ නැද්ද තත්පර ගානක්?
විමල් වීරවංශ මහතාගේ පිළිතුර: “නැහැ, නැහැ. මම මේ සහචර ධනවාදයත් එක්ක හොඳට ගැටුණු කෙනෙක්. ඒකේ ඉතිහාස කතාව කියන්න ගියොත් තව ගොඩක් වෙලාවක් යනවා. ඒ නිසා මට ඒ අවදානම ගැන, කවුරුන් හෝ ගහයි කියලා බියක් නැහැ. මම මේ හැම දෙයකටම පදම් වෙච්ච මනුස්සයෙක්.”
මාධ්‍යවේදියාගේ ප්රශ්නය: දැන් සමාජයේ කතාබහට ලක්වී තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PSTA) සහ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත (CTA) සම්බන්ධයෙන් විපක්ෂය හඬක් නැඟුවත්, ඒ සම්බන්ධයෙන් විපක්ෂයෙන් වැඩි හඬක් ඇසෙන්නේ නැහැ නේද?
විමල් වීරවංශ මහතාගේ පිළිතුර: “මම මේ රටේ පාර්ලිමේන්තුවේ සිටින නිල විපක්ෂයට යෝජනා කරනවා ඉන්දියාව දිහා බලන්න කියලා. එහි අයහපත් කාලගුණ තත්ත්වයක් තිබෙනවා. එවැනි තත්ත්වයක් තිබියදීත් දිල්ලියේ 'දිල්ලි චලෝ' කියමින් ජනතාව මහ පාරට බැහැලා මේ ආණ්ඩුවට අභියෝග කරනවා. මැතිවරණ කොමසාරිස්වරයා ඉවත් කරන්න කියලා ඔවුන් ඉල්ලා සිටිනවා.
ඔවුන් 'දිල්ලි චලෝ' කියාගෙන කුණාටුවක් මැදින්, සුළිසුළඟක් මැදින් පාරට ආවා. නමුත් මේ කට්ටියට වැස්සකුත් නැහැ. කුඩේ ඉහළගෙන ඉන්නවා. එවැනි අසංවේදී, නිර්වින්දනය නිල විරුද්ධ පක්ෂයකට මේ රටේ පොදු ජනතාව තුළ තිබෙන බරපතළ ප්‍රකම්පනය සහ වේදනාව අව්‍යාජව නියෝජනය කළ හැකියැයි අපි විශ්වාස කරන්නේ නැහැ.
මාධ්‍යවේදියාගේ ප්රශ්නය: ඔබතුමාලගේ ආණ්ඩු වලින් නේද ඔය පී එස් ටී ඒ ගෙනාවේ..?
විමල් වීරවංශ : දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තිබුණා. විපක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු දෙනාම කිව්වේ මේ පනත ඉවත් කළ යුතුයි කියලා. මට මතකයි, ඊට පස්සේ යහපාලන ආණ්ඩු සමයේත් මේ පනත වෙනුවට ආදේශක පනතක් ගෙනාවා. නමුත් ඒ ආදේශක පනතටත් වඩා භයානක පනතක් තමයි දැන් ගෙන එන්නේ.
මේ පනතේ ත්රස්තවාදයට කිසිදු අවුලක් නැහැ කියලා දැන් අධිකරණ අමාත්‍යවරයා කියනවා. දෙමළ ඊළම ගැන කතා කරන්න මේ පනතෙන් බාධාවක් නැහැ කියනවා. ඒ කියන්නේ එවැනි කාරණාවලට ප්‍රශ්නයක් නැහැ කියන එකයි. නමුත් මේ පනත යොදාගෙන 'ත්‍රස්තවාදය' කියන ලේබලය ගහලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දඩයම් කරන්න පුළුවන්. මාධ්‍ය නිදහස කප්පාදු කරන්න පුළුවන්. ත්‍රස්තවාදී ලේබලය ගහලා ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් මරා දමන්න පුළුවන්.
පැය 24ක් පොලිසිය තුළ රඳවා තබාගත් තරුණයන්ට සිදුවන දේ දැක්කාම, ඒ කාලය පැය 72ක් කළොත් මොකද වෙන්නේ? මේක සම්පූර්ණයෙන්ම පොලිස් මර්දනකාරී මානසිකත්වයකින් පිරුණු රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක් තිබෙනවා. යුද්ධයක් පැවැති කාලයක තිබුණු නීතියයි, යුද්ධයක් නැතිව අපි ඉදිරියට ගමන් කරන සමාජයක තිබිය යුතු නීතියයි එකිනෙකට වෙනස්.
අනාගතයේ ඇතිවිය හැකි ත්‍රස්තවාදී තත්ත්වයන් ගැන අවධානය යොමු කරමින් සකස් කළ ඇතැම් වගන්ති තිබෙනවා. අපි ඒවා සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට සාමාන්‍ය ප්රජාතන්ත්රවාදී සිවිල් මහජන ක්‍රියාකාරීත්වය සහ දේශපාලන ක්‍රියාකාරීත්වය මර්දනය කිරීමට යනවා නම් ඒකට ඉඩ දෙන්න බැහැ. ඉඩ දිය යුතු නැහැ. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා පවත්ව පවත්ව ඉඳලා හරියන්නේ නැහැ. ඒ සඳහා සටනට බහින්න ඕනෑ. මහ පාරට ඒ සටන ගෙන යා යුතුයි. විරුද්ධ පක්ෂයේ කවුරුන් හෝ නායකත්වයක් තිබෙනවා නම් ඒ කටයුත්ත කළ යුතුයි.
මාධ්‍යවේදියාගේ ප්රශ්නය: ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටත් අවසානයේ ජනතාව පාරට බැස්ස නිසා යන්න සිදුවුණා. ආණ්ඩුව හිතන්නේ නැද්ද ආයෙත් ජනතාව පාරට බැස්සොත් අපටත් යන්න වෙයි කියලා? එහෙම හිතන එක සාධාරණ නැද්ද?
විමල් වීරවංශ: ආණ්ඩුවට එහෙම හිතන්න පුළුවන් වුණත්, බැරි වුණත්, හරි වුණත්, වැරදි වුණත් දැන් ආණ්ඩුව තෝරාගත් මාර්ගයේ ගමන් කරනවා. ආණ්ඩුවට ආර්ථිකය ගොඩනඟන්න කිසිම මාර්ගෝපදේශයක් නැහැ. කිසිම සැලැස්මක් නැහැ. අඳුරේ අතපත ගානවා. සමාජීය ජීවිතය නඟාසිටුවීමට කිසිම සැලැස්මක් නැහැ. බලශක්ති අර්බුදයෙන් මිදීමට කිසිම සැලැස්මක් නැහැ. එහෙම නම් මේ රටේ තිබෙන දැවෙන ප්‍රධාන ප්‍රශ්නවලට ආණ්ඩුවට උත්තර නැහැ. එතකොට ආණ්ඩුවට තිබෙන උත්තරය මොකක්ද? 'හොරු අල්ලනවා' කියන ආඛ්‍යානයට මුවා වීමයි.
අතීතයේදී මැතිවරණ ජයග්‍රහණය කළේ ඡන්ද මංගල්‍යවලින්. නමුත් වර්තමානයේ ඇතැම් අප්‍රිකානු රටවල තිබෙනවා ප්‍රතිවාදියාගේ ඡන්ද අයිතිය නැති කිරීමෙන් ජයග්‍රහණය කිරීමේ ක්‍රමයක්. මේ ආණ්ඩුව තෝරාගෙන තිබෙන්නේත් ඒ මාර්ගයයි.
ආණ්ඩුව හිතනවා ඒ මාර්ගයේ දිගටම ගමන් කරන්න පුළුවන් කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ මඟින් සිදුවන්නේ කවුරුත් නොසිතන ආකාරයේ ප්‍රතික්‍රියාවකට මේ සමාජය කවර හෝ මොහොතක පෙළඹීමයි. එය වළක්වන්න බැහැ. දැන් අනුර කුමාර මහත්තයාගේ ගම අනුරාධපුරේද කොහේද? තඹුත්තේ ගමෙන් නොවෙයිනේ ඔය සහචරයන්ට සලකන්න කෝටි දහය ගණනේ මුදල් ගෙනෙන්නේ!
මේ සියල්ල දැකලා, දරාගෙන, ඉවසලා, ඉවසලා, ඉවසලා, විපක්ෂයේ නිල නායකත්වයක් තිබුණත් නැතත්, රටේ මහජනතාව තමන් විසින්ම තීරණය කරලා ඉතා බලවත් ප්රතිවිරෝධයකින් නැඟී සිටින මොහොතක් එනවා. ඒ වෙලාවට පොලිසිය සහ හමුදාව නීතිරීති තිබුණත් ඒවා අක්‍රිය හෝ මධ්‍යස්ථ තත්ත්වයකට පත්වෙනවා. නීතිරීති තිබුණා කියලා ඒ ආයතන සක්‍රිය වෙන්නේ නැහැ. ඒ වෙලාවට ඒවා අක්‍රිය වෙනවා.
දැනටත් ඒ මිනිස්සු බලාගෙන ඉන්නේ එවැනි තත්ත්වයක් ඇතිවන වෙලාවක් ගැනයි. අපටත් වඩා ඒ ආයතනවලට මේ නායකත්වය එපා වී තිබෙනවා. රටේ නායකත්වය සිදුකරන මේ ක්‍රියාකාරකම් නිසා ඒ තත්ත්වය ඇතිවී තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව හිතුවාට වෙනත් මාවතක් නැහැ කියලා, ඒක ඇත්ත. ආණ්ඩුව දැන් තෝරාගෙන තිබෙන්නේ හරි ගියත් වැරදුණත් මේ මාවතේ ගමන් කිරීමයි. ඒක හරියයි කියලා හිතාගෙන යනවා.
නමුත් ඒක හරියන්නේ නැහැ. වරදිනවා! ඉතිහාසයේ වෙනත් කාටත් වැරදුණාට වඩා දරුණු සහ ඉතා වේදනාකාරී ආකාරයෙන් තමයි ඒක වරදින්නේ!”
මාධ්‍යවේදියාගේ ප්රශ්නය: ජනතාව තමයි හැම වෙලාවෙම කියන්නේ, රට වටාම කියන්නේ මේ ජනතාව අපිත් එක්ක ඉන්නවා, මේක ජනතාවගේ ආණ්ඩුවක් කියලා. ඒ ගැන ඔබතුමා මොකද කියන්නේ?”
විමල් වීරවංශ මහතාගේ පිළිතුර: “ඔව්, මම දැක්කා අර විද්වතුන්... කොණ්ඩේ මෙන්න මේ තරම් වවාගත්තු විද්වතුන්, ටී ෂර්ට් කෑලි ගහපු, කනේ කරාබු ගහපු විද්වතුන්.. එහෙම විද්වතුන්ගේ සම්මේලනයකුත් පවත්වනවා මම දැක්කා!
අපේ රටේ විද්වතුන් හරි අමුතු විද්වතුන්...”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සංචාරක ප්‍රවර්ධනය වෙස්මුහුණක් පමණයි.. ඇතුළේ තියෙන්නේ සහචරයාට සැලකීමයි.. මහජන බදු මුදල්වලින් චෙවෝන් ඩැනියෙල්ගේ උපසභාපති ධුරය සමරනවාද?.. - විමල් ප්‍රශ්න කරයි..
ඇමෙරිකා-ඉරාන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි.. ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා යුද්ධයක් ව්‍යාප්ත වීමේ අවදානමක්..
ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර මරා දමා මාලය කඩාගත් සෝමරත්න රාජපක්ෂ.. දෙමළ ඩයස්පෝරාවට වීරයා වූ ද්‍රෝහියාගේ කතාව..
ABU සමුළුවේ සත්කාරකත්වය සිරසයි.. අනුග්‍රහය සංචාරක කාර්යංශයයි..
ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව
"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF
ඉන්ධන මිල ඉහළට..
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..