ඉන්දු- ලංකා ගිවිසුමට එරෙහිව බෝගහ යටින් 1987 ජුලි 28 වීදි බැස්ස ජවිපෙ 2වැනි කැරැල්ලට අදට වසර 39යි..
1971 අප්‍රේල් කැරැල්ලේ 16වැනි සමරුව නිමිත්තෙන් වසර 1987 අප්‍රේල් 5වැනිදා රෝහණ විජේවීරගේ හඬපටයක් නිකුත් විය. එහි සඳහන් වූයේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රැල්ලක් ඇතිවී ඇති බවත් ඊළඟ අරගලය ඇතිවෙන්නේ ශ්‍රී ලංකාවෙන් බවය. ශ්‍රී ලංකාව දැන් විප්ලවයෙන් ගැබ්බරව සිටින බව එමගින් කියා සිටි විජේවීර වැඩිදුරටත් අවධාරණය කළේ දැන් අපි එළඹ සිටින්නේ අරගලයේ 11වැනි පැයට බවය.
ජවිපෙ 2වැනි කැරැල්ල 1986 ආරම්භ වූවද එය බෞතිස්ම කරනු ලැබුවේ 1987 ජුලි 28වැනිදා කොටුව බෝගහ අසලින් ආරම්භ වූ උද්ඝෝෂණයෙන් සමඟය. එම 1987 වසර ආරම්භයේදී මැයි 01 දෙදෙනෙකු පොලිස් වෙඩි තැබීමෙන් මියගොස් තිබූ අතර 1987 අප්‍රේල් 15 පල්ලකැලේ හමුදා කඳවුරට පහරදි අවි පැහැරගෙන තිබිණි. එමෙන්ම ඉන්දියාව මගින් 1987 ජුනි 4වැනිදා ගුවනින් පරිප්පු හෙළන ලදී. 1987 ජුනි 7 ජවිපෙ මගින් කටුනායක ගුවන් කඳවුරට සහ රත්මලාන ආරක්ෂක පීඨයට කඩා පැන අවි පැහැරගෙන තිබිණි. එමෙන්ම එජාප රජය මගින් 1987 ජුනි 22වැනිදා සරසවි සිසුන් 88 දෙනෙකු එක රැයින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබිණි. රට තුළ දෝලනය වූයේ මෙවැනි වාතාවරණයකි.
මේ සියල්ල අතරතුරදී ඉන්දීය රජය මගින් ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමට පිඹුරුපත් සකස් කරගෙන යන ලදී. මේ සදහා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි, ජනාධිපති ජයවර්ධන සමඟ සහ ප්‍රභාකරන් සමඟ නිරන්තර සාකච්ඡා පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජෝතීන්ද්‍රනාත් ඩික්සිත් සහ අමාත්‍ය ගාමීණී දිසානායක එහි ප්‍රධාන භූමිකාව සිදු කළේය. කපුකම කළේ හින්දු පුවත්පතේ සම කර්තෘ එන්. රාම්ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13වන වරට සංශෝධනය කරමින් පළාත් සභා හඳුන්වාදීමට යෝජිත ඉන්දු ලංකා ගිවිසුම රටටම පිළිලයක් බව අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුද 1987 ජුලි 9 ප්‍රකාශ කළහ. යෝජිත ගිවිසුමට එරෙහිව අවි අමෝරාගෙන සිටියේ ජවිපෙ අදිසි නායකත්වය දුන් මව්බිම සුරකීමේ ව්‍යාපාරයයි. එහි නායකයින් වූයේ හැඩිගල්ලේ පඥ්ඥාතිස්ස මහනාහිමියෝ, මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුළු කිහිප දෙනෙකි.
සිරිමා බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රිලනිප නායකත්වයෙන් යුත් මව්බිම සුරකීමේ සංවිධානය ගිවිසුමට එරෙහිව 1987 ජුලි 28වැනිදා විරෝධතාව පැවැත්වීමට තීරණය කළේ ටවුන් හොල්හි විහාර මහා දේවි උද්‍යානයේ බුදු පිළිමය ඉදිරිපිටදීය. ජවිපෙ අදිසි නායකත්වය දුන් මවිබිම සුරකිමේ ව්‍යාපාරය එදින විරෝධතාවය පැවැත්වීමට තීරණය කරතිබුණේ කොටුව බෝගහ අසළදීය. සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් සිරිමා බණ්ඩාරනායක රොස්මීඩ් පෙදෙසේදී හමුවූ අතර විහාර මහා දේවි අසළ විරෝධයද බෝගහ අසළට ගෙන ගොස් ආණ්ඩු විරෝධී අරගලය වඩාත් සාර්ථක කරගැනීමට එක්වන ලෙස ඉල්ලා සිටියහ. ඇය ඇතුළු ශ්‍රිලනිපයේ මවිබිම සුරකීමේ සංවිධානයට එම තීරණයට අනුගත වන්නට සිදුවිය. මෙම සියලු සාකච්ඡාවන්ට ලියුම්කරු Dharman Wickremaretne සහභාගි විය.
කොටුව බෝගහ අසළ විරෝධතාවය ආරම්භ කිරීමට තීරණය කර තිබුණේ උදෑසන 8.00ටය. එයට ප්‍රධාන හේතුව වූයේ උදෑසන දුම්රියෙන් සහ බස් රථවලින් වැඩට පැමිණෙන පිරිස්ද පාසැල් සිසුන්ද කොළඹට දිනපතා පැමිණෙන දහස් ගණන් ජනයාද එක්කර ගැනීමට ඇති එය සුදුසුම ස්ථානය බැවිනි. උදෑසන පෙරවරු 6.30ට පමණ ලේඛකයා එම ස්ථානයට යනවිට ඇතැම් ජවිපෙ නායකයින් කිහිප දෙනෙක් සහ බොහෝ ක්‍රියාකාරියන් කොටුව අවට විවිධ ස්ථානවලදී දක්නට ලැබිණි. ඒ අතර එච්.බී හේරත් සහ ගාමිණි විජේගුණසේකර එහි සම්බන්ධීකාරවරුන් බවට පත්වි තිබිණි. දිවයින පුවත්පතේ එවකට කර්තෘ මණ්ඩලිකයක වූ ලියුම්කරු Dharman Wickremaretne සමඟ ගිය ඡායාරූප ශිල්පින් වුයේ ගාමීණි අක්මීමන සහ චන්ද්‍රසිරි වීරසිංහය. එදින එළිවනවිට යෝජිත ගිවිසුමට, බෙදුම්වාදයට සහ එජාප එරෙහිව මුළු කොළඹම රක්ත වර්ණ පෝස්ටර් සහ වැකි වලින්ද කනු කළු කොඩි වලින්ද සරසා තිබිණි.
ගිවිසුමට අගමැති ප්‍රේමදාස, ඇමතිවරුන් වන ලලිත් ඇතුළත්මුදල සහ ගාමිණී ජයසුරිය ගේ සහායක් නොමැති බවට පුවත්පත්හි මාධ්‍ය ශිර්ෂ පාඨ විය. එබැවින් එජාපය තුළ සිටි ප්‍රේමදාස හිතැති කෙසෙල්වත්තේ 200ක පමණ කාන්තාවන් ප්‍රමුඛ කණ්ඩායමක්ද පැමිණ තිබිණි. අගමැතිතුමාට ජයවේවා කියමින් හඬ නගනවා ඇසිණි.උදෑසන 9.00 පමණ වන විට කොටුව බෝගහ අසලට 3,000කට ආසන්න පිරිසක් එක්වී සිටියහ. මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි ඇතුළු පිරිසක් විරෝධතා ව්‍යාපාරයේ නායකත්වය ගත්තේය. මහජන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන එහි සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේය. ශ්‍රිලනිප නායකයින් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, රිචඩි පතිරණ ඇතුළු ශ්‍රිලනිප නායකයින් කිහිප දෙනෙක්ද එහි විය.
ගිවිසුමට එරෙහිව කොටුවේ දී ඇරඹෙන විරෝධතාව ආණ්ඩුව පලවා හරින දැවැන්ත සටනක වෙඩි මුරය බවට පරිවර්තනය කිරීමට ජවිපෙ 1987 ජුලි මස මුල් භාගයේ සිටම කටයුතු සූදානම් කර තිබිණි. අන්තරේ ඉහළම පෙළේ නායකයින් විශාල කණ්ඩායමක් රත්මලාන පන්සලකට 1987 ජුලි 11වැනිදා කැදවා තිබිණි. ඩී.එම්.ආනන්ද එහිදී කියා සිටියේ සටන හරි තැනින් පටන් ගැනීමට හැකි තාක් පිරිස් කොටුව විරෝධයට එක්කර ගතයුතු බවය. ජවිපෙ නායකයෙක් වන එච්.බී හේරත්ද ජුලි මැදදී ජවිපෙ භික්ෂු අංශයේ ජාතික කමිටුවේ භික්ෂූන් වහන්සේලා අමතා කොටුව බෝගහ අසල විරෝධතාව ප්‍රබලතම සහ පුළුල්තම වැඩසටහනක් බවට පත්කිරීමට ඔවුනට වගකීම් පැවරූහ.
සමස්ත සරසවි පද්ධතියද ප්‍රධාන පාසැල්වල සිසු කණ්ඩායම්ද රටපුරා ප්‍රධාන නගරවලට කැදවා ගෙන ඒමේ වැදගත්කමද ඔහු පහදා දුන්නේය. ජවිපෙ සමස්ත කාඩර්වරුන්ම රටේ ප්‍රධාන නගරවලට කැදවා විරෝධතා ව්‍යාපාරය මෙහෙයවන්නට සැලසුම් සකස් කෙරිණි.
වසර 1987 ජුලි 28 පෙරවරු 11.30 පමණ වන විට 20,000කට ආසන්න පිරිසක් කොටුව බෝගහ අසලට එක්වූ අතර කොටුවට එන සියළු මාවත් ඔවුන්ගේ හිස් ගොඩවල්වලට වැසී තිබිණි. භික්ෂූන් වහන්සේලාගේ සෙත් පිරිත් හඬ දසත පැතිරී ගියේය. ඒ අතර තාප්පයක් මත නැගි මිනිසෙක් පිරිස ආමන්ත්‍රණය කළේය. ඔහු ජවිපෙ නායකයෙකු වූ එච්. බී. හේරත්ය. මේවාට විසදුම් සොයා රටේ පාලකයා සොයා රජගෙදරට යාමට සූදානම් වන්නැයි ප්‍රකාශ කළේය.
දසතින් කඳුළු ගෑස් ප්‍රහාර බෝගහ දෙසටත් පිරිස දෙසටත් එල්ලවූයේ ඉන් පසුවය. වෙලාව මධ්‍යයන වී තිබිණි. ජනගඟ කැලඹිණි. සිරිමා බණ්ඩාරනායක වටකරගත් ආරක්ෂක නිලධාරිහු ඇය බෝගහ අසල විහාරගෙට පළමුවද දෙවනුව වාහනයකට නග්ග ගත්තාය. බේබි හාමු කොහේදැයි කලබලයෙන් ඇසූ ශ්‍රිලනිපයේ ඉන්ද්‍රපාල අබේවීර විසින් මන්ත්‍රී අනුර බණ්ඩාරනායක රැගෙන වාහනය දෙසට පියඹා ගියේය. සෑම දෙනාම කඳූළු ගෑස්වලින් නැහැවී තිබූ බැවින් තත්ත්වය ඉතා උණුසුම් විය.
මේ සියල්ල අතරතුර එක් භික්ෂුවක් පමණක් පැයක් පමණ කඳුළු ගෑස්වලට නොබියව මුහුණ දෙමින් තනියම විරෝධතාවයේ නිරතව සිටින අයුරු දක්නට ලැබිණි. පසුව ආරක්ෂක භටයින් පිරිසක් හිමිනම ඔසවා වාහනයකට දමන ලදී. එම භික්ෂුව නමින් කෑගල්ලේ විමල සාමනේර හිමිය. උන්වහන්සේ පිටුවල ධම්මකීර්ති හිමි නොහොත් ලෙනින් හාමුදුරුවන්ගේ ගෝලයෙකි. අසූවේ ජූලි වර්ජනයෙන් රැකියාව අහිමිවූ ලෙනින් හාමුදුරුවෝ ජවිපෙය වෙනුවෙන් ජීවිතයම කැපකල අයෙකි. පසු කාලයේ ධම්මකීර්ති හිමි 1989 අගෝස්තු 22වැනිදා පැහැරගෙන ගොස් තිරස්චින ලෙස ඝාතනයට ලක්වූවේය.
වෙඩි පිට වෙඩි හඬ ඇසිණි. කළුවන් දුම් රොටුවලින් අහස් කුසේ දිස්විය. ඒ බස් ගිනි තැබීමෙනි. මිනිසුන් හිස් ලූ ලූ අත දිවූහ. පිරිස කණ්ඩායම් වශයෙන් පැති කිහිපයකට බෙදී ගියෝය. සූදානම්කල සටන්පාඨ පත්‍රිකා බෙදා හැරිණි. ගිවිසුම් සහ ආණ්ඩු විරෝධී සටන්පාඨ හඬ නැගිණි. ලේක්හවුසිය ඇතුළු ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල විය. සතර අතට පෙළපාලි 10ක් පමණ විසිර ගිය අතර ඒ සෑම පෙළපාලියකම දහසකට අධික පිරිසක් විය.
ගිවිසුම් විරෝධී එම අරගලයේදී කොටුව බෝගහ අසළ වෙඩි තැබීමෙන් ප්‍රථමයෙන් මියගියේ මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසු ක්ලිෆඩ් පෙරේරාය. ජවිපෙ සමස්ථ ලංකා වෘත්තිය සමිති සම්මේලනයේ කාර්යාල භාරකරු පාතේගම මාතුපාල විසින් බිම ඇදවැටුණු ක්ලිෆඩ් ඔසවා ගත්තේය. මාතුපාලගේ අතටද වෙඩි උණ්ඩයක් වැදිණි. එම ස්ථානයේම මොරටු සරසවියේ සිසු නිමල් ලියනගේ ඇතුළු 21 දෙනෙකුගේ සිරුරු සවස්වන විට කොළඹ රෝහලේ මෘතශරීරාගාරයට ගෙනවිත් තිබිණි. ඉන් දෙදෙනෙක් හඳුනාගත නොහැකි විය. ක්ලිෆඩ්ගේ පියා සේවය කළේ මිලර්ස් ආයතනයේය. පසුදින ඔහු හඳුනාගත් පුතාගේ සිරුර රෝහලෙන් ගෙනයෑමටද ලියුම්කරු Dharman Wickremaretne සහාය වූ අතර ලියුම්කරු අධ්‍යාපනය ලැබූ කොළඹ ආනන්ද විදුහලේ සමකාලිනයෙකු වූ ක්ලිෆඩ්ගේ අවසන් කටයුතුවලටද සහභාගි විය.
බෝගහ අසලින් බෞතිස්ම කල ජවිපෙ 2වැනි කැරැල්ල රටපුරාම පැතිර ගියේය. වසර 1987 ජුලි 28 සිට අගෝස්තු 02 දක්වා පැවති. ගිවිසුම් විරෝධතාවයන්හිදී වෙඩි ප්‍රහාරවලින් විරෝධතාකරුවන් 132ක් මිය ගියෝය. භික්ෂූන් 56 දෙනෙකු ඇතුළු 712ක් අත්අඩංගුවට ගෙන තිබිණි. එම දින 05 තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් 2,527ක් සිදුවූ බව රජය ප්‍රකාශ කළේය. එජාප ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග වලට එරෙහිව ජනතා දැනුවත්කර සංවිධාන ගත කරනවාට වඩා ජනතාව පීඩාවට පත්වන ආකාරයේ ක්‍රියාවන්ට බෝගහ යටින් ආරම්භ වූ 2වැනි කැරැල්ල සමඟ ජවිපෙ අවතීරණ විය.
එම දින 5 තුළදී ජවිපෙ කැරළිකරුවන් විසින් තංගල්ල එජාප මන්ත්‍රී ජිනදාස වීරසිංහ ඝාතනය කළේ 1987 ජුලි 31වනදාය. අගුණකොලපැලැස්සේදී විරෝධතාකරුවන්ට මැදීවූ මන්ත්‍රීවරයා වෙඩිතබා මරා දමා තිබිණි. ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ කාලයේ ගම් සභාපතිවරයෙකු වූ ඔහුගේ ඝාතනයෙන් පසු චිට් මන්ත්‍රී ධූරයට පත් කළේ ඔහුගේ පුතාය.
රජය 1987 ජුලි 28 රාත්‍රියේ ඇදිරි නීතිය පැනවීය. ගිවිසුම අත්සන් කිරීමට රජීව් ගාන්ධි එන බවට වාර්තා විය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ 1987 ජුලි 29වැනිදා පස්වරුවේය. ඒ වන විට මුළු රටම ගිනි ජාලාවක පැටලෙමින් තිබිණි
ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පෙර රටපුරා එයට එරෙහිව නායකත්වය දෙන්නේයැයි තොරතුරු ලැබී ඇති සියළුම සරසවි සිසු නායකයින් අත්අඩංගුවට ගැනීමේ මහා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය. ඒ අනුව එක් රැයින් එම මෙහෙයුම ක්‍රියාත්මක විණි. ඒ සරසවි සිසුන් අත්අඩංගුවට ගත් දීපව්‍යාප්ත මෙහෙයුම ක්‍රියාත්මක වුණේ 1987 ජුනි 22වැනිදා මහ රෑය. රහස් පොලිස් වාර්තා අනුව සරසවි සිසුන් 310ක් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම ක්‍රියාත්මක විය. මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී කොළඹ, කැළණිය, මොරටුව සහ ජයවර්ධනපුර සරසවියන්හි සිසු නායකයින් අත්අඩංගුවට ගැනිමට රජයට සහාය වුයේ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ.එල්. ධර්මසිරි ඇතුළු පිරිසකි.
එහෙත් අදාල ස්ථානයන්හිදී අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ සිසු නායකයින් 88 දෙනෙකු පමණි. ඒ අතර ශිෂ්‍යාවක් සහ පැවිදි හිමිවරුන් 10දෙනෙකුද විය. එවැනි මෙහෙයුමක් පිළිබඳව තෙදිනකට පමණ පෙර යම් ඉවක් වැටී තිබුණු හෙයින් බොහෝ දෙනා සිය නවාතැන් වෙනස්කර තිබිණි. එය එකවර අත්අඩංගුවට ගත් විශාලතම සරසවි සිසු පිරිස විය.
- ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne ලියයි.
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතික විරෝධය දක්වයි..
සෞදි අරාබියේ විශාලතම ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයකින් හානි – පුවත් වාර්තා පවසයි
ඉරානයෙන් ජෝර්දානයේ ඇමරිකානු හමුදා කඳවුරට හදිසි මිසයිල ප්‍රහාරයක් – යුද උණුසුම යළිත් ඉහළට
ඊනියා සත්ව සුබසාධනය සහ සංස්කෘතික අනන්‍යතාවය: පනත් කෙටුම්පතක් හමුවේ පෙරහැර මංගල්‍යයේ අනාගතය අනතුරේද?
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි..
"විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීම අල්ලසක්.. ජන මත විචාරණයක් අවශ්‍යයි" - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා
"අපි කිසිදු යුද්ධයක් ආරම්භ කළේ නැහැ.. යුක්‍රේනයට බටහිර භූමි ප්‍රදේශ අහිමි වීම වැළැක්විය නොහැකියි".. - රුසියානු ජනාධිපති පුටින්ගෙන් විශේෂ ප්‍රකාශයක්
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා නම් ජනමත විචාරණයකට යන්නැයි නීතීඥ සංගමය කියයි..
අලුතෙන් එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක බුද්ධාගම කියන පරිච්ඡේදය රැකුනොත් හොඳයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
වෙනත් අයගේ සිත් රිදේවි කියා දළදා පෙරහැර කොට කරන්න උගත්කමක් නැති අම්බරුවෝ සැරසෙනවා.. - උලපනේ හිමියන්ගෙන් සැර ප්‍රකාශයක්
කසාවත තුළ ගොඩනැගී තිබෙන ජාතික බලය සංස්කෘතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණය ගැන අගලකඩ හිමිගෙන් සැර ප්‍රකාශයක්.. මඩ බළකායෙන් එල්ලවන තර්ජන ගැනත් හෙළිකරති..
විනිසුරු වයස වැඩි කිරීම හිතුවක්කාර අශිෂ්ඨ තීරණයක් .. මාලිමාවේ කිසි සාකච්චාවක් කලේ නෑ.. මට කට වහං ඉන්න කිවුවා..- මාලිමා නායකත්ව මණ්ඩල ලාල් විජේනායක
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ පුද්ගල කේන්ද්‍රීය 22 වන ව්‍යවස්ථා සංශෝධනයට සමාජයේ සෑම අතකින්ම විරෝධය පළවී අවසන්.. - උදය ගම්මන්පිල
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි..
ලාල් කාන්ත ඇමතිකමෙන් එලවන තුරු අරගල කරනවා.. - අනුරාධ තෙන්නකෝන්