News Category
From Date
To Date
Maximum Number of Result

අනුරපුර පූජා භූමියේ කෝවිල් හදන්න පුරාවිද්‍යාවෙන් අවසර නෑ..

Oct 19, 2026 at 09:00 AM
|

අනුරපුර පූජා නගර සංවර්ධනයට නව සැලසුමක්…

ටෙරාකොටා ඇතිරුම දවාලට ගිනියම් වෙනවා…

දොරටුවල රජ කාලේ පඩිපෙළ ගලවල පාට ගඩොල් අතුරලා…

වැලි මළුවේ ටෙරාකොටා ඇතිරීම හානියක් බව පර්යේෂණයකින් ඔප්පු වෙලා…

වාහනවලින් නිකුත් වෙන විෂ දුම බෝධියට අහිත කරයි…   

2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය. 

18 හැවිරිදි ඇන්ඩි්‍රයාස් ගීසා හි පිහිටි මීටර් 146ක් (අඩි 480) පමණ උස මහ පිරමීඩයට මිනිත්තු 8ක් වැනි කෙටි කාලයකින් නැඟ වීඩියෝ සහ ඡායාරූපගත කොට ඒ මොහොතේම අන්තර්ජාලයට ද මුදාහැර තිබේ. ඊජිප්තු සංචාරක පොලිසියේ අත්අඩංගුවට පත් ඇන්ඩි්‍රයාස් වරද පිළිගෙන විදේශීය සංචාරයකු ලෙස එහි සුන්දරත්වය රූපගත කිරීම පමණක් තම අරමුණ වූ බව පැවසීමත් සමග ජීවිතාන්තය දක්වා ඊජිප්තුවට ඇතුළුවීම තහනම් කොට එරටින් පිටුවහල් කිරීමට කටයුතු කර තිබිණි.   

ඊජිප්තු පාරාවෝවරුන්ගේ සුසාන භූමි ලෙස සැලකෙන වසර 4500කට වඩා පැරැණි ලෝක පුදුමවලින් එකක් වන පිරමීඩවල පූජනීයත්වයට සහ ඓතිහාසික වටිනාකමට හානි වන බැවින් එහි ආරක්‍ෂාව සඳහා ඊජිප්තු රජය එහි නැඟීම සපුරා තහනම් කොට ඇත. ඊජිප්තුව පමණක් නොව ලෝකයේ සියලු ම රටවල පුරාවිද්‍යා ස්ථාන මහත් ගෞරවයෙන් ආරක්‍ෂා කරන බව සැබෑය. ලෝකයේ පුරාවිද්‍යා නීතිය ද අතිශය ප්‍රබල ය. අපේ රටේ ද පුරාවිද්‍යා නීතිය බලසම්පන්න ය. 2015 වර්ෂයේදී මඩකලපුව ප්‍රදේශයෙන් පැමිණි 21 හැවිරිදි තරුණියක් කොණ්ඩ කටුවකින් සීගිරියේ කැටපත් පවුර මත නමක් සහ වෙනත් සලකුණක් කිරීමේ වරදට පුරාවිද්‍යා නිලධාරීන් සහ ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පුරාවිද්‍යා ආඥාපනත යටතේ නඩු විභාග කිරීමෙන් අනතුරුව වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරිණි. එවැනි බලසම්පන්න පුරාවිද්‍යා නීතියක් සහිත මෙරට සම්බුද්ධ ශාසනයේ මුදුන් මල්කඩක් වන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ සිදු වෙමින් පවතින ඉදිකිරීම්, කැණීම් සම්බන්ධයෙන් එම නීතිය කෙසේ බලපා ඇති දැයි බැතිමතුන්ට ගැටලුවකි.   

‘මේ පිවිසුම් දොරටු හාරන්න හොඳ ද… කවුද මේවා කරවන්නේ… මේ දොරටුවල හදන්න දෙයක් තිබුණේ නෑ නේ… ප්‍රතාපවත්, ගාම්භීර පෙනුමකින් මේ දොරටු විවෘතව තිබුණනේ. රෝද පුටු තල්ලු කරන්න විශේෂ මං තීරු ඕනෙ නෑ. මෙච්චර කාලයකට මිනිස්සු වන්දනා කරගෙන ගිය විදිහට ඒ දේවල් කරගනී. වැදගත් වෙන්නේ අපේ හෙළ උරුමය වෙනස් නොකිරීම. මේවා බැතිමතුන්ට ආදරයට කරන දේවල් නෙමෙයි යටිකූට්ටු වැඩ…’ ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන සැදැහැවතුන්ට ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගැටලු තිබෙන බව එම වචනවලින් පැහැදිලි ය. පසුගිය දිනෙක ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගැනීමට ගිය අවස්ථාවේදී උතුරු දොරටුවෙන් ඇතුළුවීමට පෝලිමේ සිටිනවිට එම වචන කනවැකීමත් සමග මම ඕනෑකමින් හාරා තිබෙන දොරටුව විපරම් කළෙමි. වළේ දිග, පළල ද අඩි විස්සකට වැඩි ය. ගැඹුර ද අඩි 4කට වැඩි ය. ඒ ආසන්නයෙන් ප්‍රාකාර බැම්ම ද කඩා තිබෙන අයුරු පෙනේ.   

“බටහිර, නැගෙනහිර දොරටුත් හාරලා, ගල් පඩි ඉවත් කර ගල් අල්ලලා තියෙන්නේ. ප්‍රාර්ථනා ගල් දෙකත් ඉවත් කරලලු. සංඝමිත්තා තෙරණියගේ රූපයත් නැතිලු. ඉතිහාසය පුරාවට තිබුණු දේවල් මතු පරම්පරාවටත් දැකබලාගැනීමට තියෙන්නෙ ඕනෑ. කවුරු කළත් ඉතිහාසය මකා දැමීම වැරදියි. ශ්‍රී මහා බෝධියට හඳුන්කූරු දුම, පොල් තෙල් විෂයි කියල පහන් ගෙවල් ඈතට අරගෙන ගිහින්, බෝධි මළුව කිට්ටුවෙන්ම වාහන පාර්ක් එකක් හදාගෙන. මඟ දෙපස කාපට් අතුරලා. වැලි මළුව ටෙරාකොටා ගල්වලින් පුරවල. ඉර මුදුන් වෙනකොට අඩියක් තියන්න බෑ, යටිපතුල් පිච්චෙනවා. ගල් මතු පිටින් දැඩි රස්නයක් පිට වෙනවා. මේ දේවල් බෝධින් වහන්සේගේ පැවැත්මට අහිතකර වෙන්න පුළුවන්. ඒත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බවක් පේන්න නෑ…” හාරා තිබෙන දකුණු දොරටුව දෙස බලාගෙන දෝමනස්සෙන් කතා කරන බැතිමතුන්ට සවන් දී සිටිනවිට ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ නව ඉදිකිරීම් සම්බන්ධයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් සිදු කරන ලද පර්යේෂණ වාර්තාවේ කරුණු මගේ මතකයට නැඟිණි.   

එම පර්යේෂණ කණ්ඩායම තාක්‍ෂණික විමර්ශනය සිදු කර ඇත්තේ ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ සම්ප්‍රදායික වැලි පිරවුම් මතුපිට වෙනුවට ටෙරාකොටා (terracotta) සහ අනෙකුත් බිම් ඇතිරුම් ද්‍රව්‍ය භාවිත කිරීමෙන් ඇති විය හැකි පාරිසරික හා ඉංජිනේරුමය ප්‍රතිවිපාක ඇගයීම සඳහා ය. ශ්‍රී මහා බෝධිය අවට භූමිය සාමාන්‍ය පදික නිමාවක් පමණක් නොව, වර්ෂා ජල කාන්දුවීම, පාංශු තෙතමනය, මතුපිට උෂ්ණත්වය, බැතිමතුන්ගේ සුවපහසුව, භූදර්ශන කාර්යසාධනය සහ ජීවමාන උරුමය පරිශ්‍රයේ දිගුකාලීන සංරක්‍ෂණය කෙරෙහි බලපාන සමස්ත පාරිසරික පද්ධතියක කොටසකි. ලෝකයේ අතිශය වැදගත් ජීවමාන උරුම වෘක්ෂයකින් කේන්ද්‍රගත වූ උත්තුංග පරිසරයකි. නිරන්තරයෙන් පාවහන් රහිතව ගමන් කරන බැතිමතුන් විසින් භාවිත කරන එම පරිශ්‍රයට හා යෝජිත මතුපිට ප්‍රතිකාර පාරිසරික වශයෙන් සුදුසු ද යන්න එම අධ්‍යයනය මගින් විමර්ශන කර ඇත.   

ක්‍ෂේත්‍ර මිනුම්, ඉංජිනේරු නිරීක්‍ෂණ, තාප රූපගත කිරීම, වායු ගුණාත්මකභාවය නිරීක්‍ෂණය, භූදර්ශන ඇගයීම සහ අදාළ විද්‍යාත්මක හා ඉංජිනේරු සාහිත්‍ය සමාලෝචනය ද අධ්‍යයන විමර්ශනයට ඇතුළත් ය. හිස් ටෙරාකොටා, ඝන ටෙරාකොටා, වැලි, ගල්, කොන්ක්‍රීට්, තාර, තණකොළ සහ තාවකාලික කාපට් ආවරණ සහිත මතුපිටවල උෂ්ණත්වය, සෙවණ ඇති සහ ඍජු සූර්ය කිරණයට නිරාවරණය වූ නියෝජිත තත්ත්වයන් ද අධ්‍යයන කොට ඇත. ස්ථාන පහක සහ විවිධ උස මට්ටම්වල වායු ගුණාත්මකභාවය ද ඇගයීමට ලක් කර ඇති අතර, වෘක්ෂලතා ආවරණය, බැතිමතුන්ගේ භාවිතය, පාරිසරික නිරාවරණය සහ ද්‍රව්‍යවල අපේක්‍ෂිත දිගුකාලීන කාර්යසාධනය ඒකාබද්ධ ඉංජිනේරු ඇගයීමකින් සලකා බලා ඇත.   

මතුපිට උෂ්ණත්ව පරීක්‍ෂණයෙන් ඉතා පැහැදිලි හා වැදගත් ප්‍රතිඵල ලැබී ඇති බව ද සැබෑ ය. ඇතුළු මළුව තුළ ඇගයීමට ලක් කළ ප්‍රධාන මතුපිට අතරින් හිස් ටෙරාකොටා බිම් ඇතිරුම් මාධ්‍යය නිරන්තරයෙන්ම උපරිම උෂ්ණත්වයන් වාර්තා කළ ඇති අතර, ඝන ටෙරාකොටා බිම් ඇතිරුම් මාධ්‍යය සාපේක්‍ෂව ඊට අඩු අගයක් පෙන්නුම් කර ඇත. වැලි පිරවුම් මතුපිට දවසේ සැලකිය යුතු කාලයක් තුළ වඩා හිතකර තාප කාර්යසාධනයක් පෙන්නුම් කර ඇත. සාමාන්‍ය උණුසුම් දේශගුණික තත්ත්වයක ඍජු සූර්ය කිරණයට නිරාවරණය වූ පොළොව මතුපිට ස්ථාන කිහිපයක උෂ්ණත්වය දිගු කාලයක් සෙල්සියස් අංශක 40 ඉක්මවා ගොස් තිබූ බව ද වාර්තා වී තිබේ. එවැනි දේශගුණික තත්ත්වයක් තුළ වැලි මතුපිට ඝන බිම් ඇතිරුම් ද්‍රව්‍යවලින් ප්‍රතිස්ථාපනය කිරීම තුළ මතුපිට උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි අතර පාවහන් රහිතව ගමන් කරන බැතිමතුන්ගේ සුවපහසුව අඩු විය හැකි බව ද තහවුරු වී ඇත. සාමාන්‍ය ද්‍රව්‍ය වර්ගයකින් නිපදවා තිබුණ ද හිස් සහ ඝන ටෙරාකොටා ඒකක දෙක වෙනස් තාප කාර්යසාධනයක් පෙන්නුම් කළ ඇති අතර, පදික ඒකකයේ අභ්‍යන්තර ව්‍යුහය ද එහි තාප හැසිරීමට සැලකිය යුතු බලපෑමක් ඇති කරන බව තහවුරු වී ඇත. මතුපිට වර්ණයට වඩා ඍජු සූර්ය නිරාවණය ප්‍රබල බලපෑමක් ඇති කරන බව ද විමර්ශනයේදී තහවුරු වී ඇත. තාවකාලික රැහැන් කාපට් සහ රබර් කාපට් ආවරණ රහිත දෙපාවලට ආරක්‍ෂිත පදික ස්ථරයක් වුව ද, ස්වාභාවික සෙවණ හෝ වෘක්ෂලතා මගින් ලබාදෙන උෂ්ණත්ව මට්ටමට ළඟා විය නොහැකි බව ද සනාථ වී ඇත. කාපට් දිගුකාලීන තාප කළමනාකරණ විසඳුමක් ලෙස නොව, කෙටි කාලීන පියවරක් ලෙස සලකා බැලිය හැකි බව ද එම පර්යේෂණ වාර්තාවේ සඳහන් වී තිබිණි.   

එමෙන්ම ජලය පහසුවෙන් කාන්දු වියහැකි වැලි මතුපිට වෙනුවට අඩු පාරගම්‍යතාවක් ඇති බිම් ඇතිරුම් ද්‍රව්‍ය භාවිත කිරීම ජලවිද්‍යාත්මක අවදානමක් ඇති කරයි. ස්වාභාවික වැලි මගින් වර්ෂා ජලය පසට කාන්දුවීම, පාංශු වායු හුවමාරුව සහ භූමිය තුළ තෙතමනය චලනයවීම පහසු කරයි. ඝන බිම් ඇතිරුම් ද්‍රව්‍යවලින් විශාල වපසරියක් ආවරණය කිරීමෙන් ඍජු ජල කාන්දුවීම අඩු විය හැකි අතර, මතුපිට ආසන්න පාංශු තෙතමන තත්ත්වය වෙනස් විය හැකි ය. ඒ තුළින් ජය ශ්‍රී මහා බෝධිය සහ පරිවාර බෝධින් වහන්සේට බලපෑම් ඇති විය හැකි බව ද පෙන්නුම් කර ඇත. කෙටි කාලීන පහසුව හෝ එකම ආකාරයේ නිමාවක් ලබාගැනීම වෙනුවෙන් සම්ප්‍රදායික වැලි හා වෘක්ෂලතා භූදර්ශනයේ පාරිසරික වාසි අහිමි නොකළ යුතු බව එම පර්යේෂණයේ නිගමනය වී ඇත. ස්වාභාවික ජල කාන්දුවීම ආරක්‍ෂා කරන, මතුපිට උෂ්ණත්වය අවම කරන, නඩත්තු කටයුතු පහසු කරන, පාවහන් රහිත දෙපයින් ගමන කරන බැතිමතුන්ගේ සුව පහසුව වැඩි කරන, සහ ජය ශ්‍රී මහා බෝධිය සඳහා අත්‍යවශ්‍ය මූල, කලාප හා ක්‍ෂුද්‍ර දේශගුණික තත්ත්වයන් රැකගැනීම උදෙසා කටයුතු කළ යුතු බව ද එම පර්යේෂණයේ නිගමනය වී ඇත. ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ යම් සැලසුමක් ක්‍රියාත්මක කළ යුත්තේ සුදුසු මතුපිට ද්‍රව්‍ය, වෘක්ෂ, වෘක්‍ෂලතා, ජලාපවහනය, නිරීක්‍ෂණය සහ උරුමයට සංවේදී ඉංජිනේරු සැලසුමක් ආකාරයට බව ද එහි නිගමනය වී ඇත.   

එහෙත් ලෝකයේ අතිශය වැදගත් ජීවමාන උරුම වෘක්ෂය වන ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩ සිටින මළුව සමීපයේම වාහන නැවතුම්පොළක් ස්ථාපනය කොට ඇත. විශාල වශයෙන් වාහනවලින් නිකුත් කෙරෙන අහිතකර ක්‍ෂුද්‍රාංශු හා සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ළපටි පත්‍රවලට තදබල ලෙස හානි කරන අතර, වාහනවලින් නිකුත් කරන ඕසෝන් හා සල්ෆර් ඩයොක්සයිඩ් යන විෂ වායු නිසා ළපටි පත්‍ර දුඹුරු පැහැ ගැන්වී මැළැවී යෑම හා පත්‍ර පතනය (කොළ වැටීම) වැනි රෝග තත්ත්වයන් ඇති විය හැකි බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා පෙන්වා දී තිබේ. එමෙන්ම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පරිවාර බෝධින් මෙන් නොව ප්‍රමාණයෙන් කුඩා, අතිශයින්ම සුවිශේෂී ආකාරයෙන් වැඩෙන පූජනීය ශාකයකි. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වායු දූෂණයට ද බෙහෙවින්ම සංවේදී වෙති. එහෙයින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ සෞඛ්‍යයට සුළු වශයෙන් හෝ හානියක් වේ යැයි අනුමාන කළ හැකි යමක් වේ නම් එය වළක්වා ගැනීම අදාළ ආයතනවල සහ ලෝක බෞද්ධයා සතු වගකීමකි. එමෙන්ම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ උදෙසා කරන උතුම්ම ගෞරවය නම් පිරිසිදු පරිසරයක, යහපත් පසුබිමක් මැද වැඩෙන්නට ඉඩ හරස උදා කරලීම බව ද සිහිපත් කළ යුතු ය.   

දළදා මාලිගාවට පැමිණෙන බැතිමතුන්ට කෙටි දුරක් පා ගමනින් යා හැකි නම්, සිරිපා වන්දනාවේ යන බැතිමතුන්ට ශ්‍රී පාද කන්ද තරණය කළ හැකි නම්, ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කරගැනීමට පැමිණෙන බැතිමතුන්ට කෙටි දුරක් පා ගමනින් පැමිණීමට බැරිකමක් නැත. බැතිමතුන් බහුතරය අදටත් දෙපයින් ඇවිදගෙනැවිත් ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කරගෙන යන බව සැබෑ ය. අඩි දහයක්වත් පයින් ඇවිදගෙන නොයන ප්‍රභූ පෙළැන්තිය වෙනුවෙන් ලෝකයේ උත්තම ශාකය අනතුරේ හෙළීම මහා අපරාධයකි. ඉන්දියාවේ ආග්‍රා හි පිහිටි ටජ් මහලේ සිට ආසන්නතම සහ ප්‍රධාන වාහන නැවතුම්පොළට ඇති දුර ප්‍රමාණය මීටර් 800ක් පමණ වේ. වාහන නැවතුම්පොළේ සිට ප්‍රධාන පිවිසුම් දොරටුව වෙත ළඟාවීමට පා ගමනින් මිනිත්තු 10ක් පමණ ගත වේ. ඉන්දීය රජය එවැනි නීති පනවා ඇත්තේ පරිසර දූෂණයෙන් ස්මාරකය ආරක්‍ෂා කරගැනීම සඳහා ය.   

ජාතික ජන බලවේග පාලනය තුළ මෙරට ප්‍රභූන් නැත. එහෙයින් ශ්‍රී මහා බෝධිය සමීපයෙහිම පිහිටි වාහන නැවතුම්පොළ ඉවත් කළ හැකි ය. එමෙන්ම ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ වැලි මළුවේ ටෙරාකොටා ඇතිරීම පාරිසරික ගැටලු රාශියකට හේතුවක් බව විද්‍යාත්මක පර්යේෂණයකින් සනාථ වී තිබිය දී, ඒ සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු කර තිබියදී, එම ගල් ඉවත් කරන ලෙසට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලිඛිතව දැනුම් දී තිබෙන පසුබිමක නීතිය අකුරට ම ක්‍රියාත්මක රටේ ජය ශ්‍රී මහා බෝ සමිඳු සෙවණේ ටෙරාකොටා ඉවත් නොකිරීම විශ්මයට කාරණයකි.   

ටෙරාකොටා ඉවත් කරන්න දැනුම් දීලා තියෙන්නේ   ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ නව ඉදිකිරීම් සහ අනුරාධපුර පූජා භූමියේ කෝවිලක් ඉදිකිරීමට යන බවට පැතිර යන කතා සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ මහතාගෙන් අපි විමසා සිටියෙමු. පහතින් පෙළගැසෙනුයේ අපේ ප්‍රශ්නවලට ඔහු ලබාදුන් පිළිතුරු ය.   

ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ටෙරාකොටා ඇල්ලුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිවද?

ටෙරාකොටා ඇල්ලීම වැරදි කියල අපි තීරණය කරල තියෙනවා. වැලි මාළුවේ තියෙන්න ඕන වැලි. ටෙරාකොටා මළුවක් වෙන්න බෑ. රෝද පුටුවක් යෑමට ප්‍රමාණවත් කොටසක් තියල ඉතිරිය ඉක්මණින් ඉවත් කරන ලෙසට නායක හාමුදුරුවන්ට ලිඛිතව දැනුම් දීලා තියෙනවා.   

ඒත් අදටත් වැලි මළුවේ ටෙරාකොටා ඉවත් කරල නෑ…?

ඒ ගැන අපි සොයා බලන්නම්.   

ජය ශ්‍රී මහා බෝධියට ඇතුළු වන පිවිසුම් දොරටු හාරලා තියෙනවා. එම කැණීම් සිද්ධ වුණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ ද?ඔව්… ඒ කැණීම් සහ සංරක්‍ෂණ කටයුතු සිද්ධ කෙරුණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව.   

මළුවට සමීපයෙහි වාහන නැවතුම්පළ බෝධින් වහන්සේට බලපෑමක් නේද?

ඒ ගැන විද්‍යාත්මක පරීක්‍ෂණයක් කරන්න කමිටුවක් පත් කරල තියෙනවා. ඇවිදින්න බැරි අයත් ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කරගන්න එනවා. ඒ අයගේ ගමන් පහසුව ගැනත් හිතන්න ඕනෑ. ඉදිරියේදී අනුරාධපුර පූජා භූමියේ ‘නේචර් සිටි ප්ලෑන්’ කියල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරගෙන යනවා. ඒ සැලසුම තුළ පූජා භූමිය තුළ වාහන පාර්ක් හතරක් හදන්න නියමිතයි.   

ඒ සැලසුම තුළ කෝවිලක් ඉදිකිරීමක් තියෙනවද?

නෑ… නෑ… කිසිම කෝවිලක් ඉදිකිරීමේ සැලසුම නෑ. බෞද්ධ ආගමික පූජා භූමියේ පුරාවිද්‍යා භූමිය තුළ කෝවිලක් ඉදිකරන්න අපි අවසර දෙන්නේ නෑ. පූජා නගරයට සමීපයෙහි පෞද්ගලික ඉඩමක කෝවිලක් ඉදිකළොත් අපිට කරන්න දෙයක් නෑ.   

- තරංග රත්නවීර   

සම්බන්ධිත පුවත් | Related News

රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ සහ ආර්ථිකයේ ඉදිරි ගමන තීරණය කිරීමට තිබූ රුපියල් බිලියන 129.6 ක (ඇමරිකානු ඩොලර් මිලියන 392 ක) දැවැන්තම ඒකාබද්ධ සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතියෙන් (SACLH) චීන රජයට අයත් China Merchants Port Holdings (CMPort) සමාගම නිල වශයෙන් ඉවත් වෙලා ඉවරයි..
ශ්‍රී ලංකාවේ භික්ෂුවක් සමාජ දේශපාලන ප්‍රශ්නයක් ගැන ආවේගයෙන් කතා කළහොත් මෙරට නිරාගමිකයන් සියල්ලෝ වහ වහා සැදැහැවත් බෞද්ධයන් බවට පත් වී බෞද්ධ පිළිවෙත් රැකිය යුතු ආකාරය ගැන, සිල්වත් වී බවුන් වැඩිය යුතු ආකාරය ගැන භික්ෂූන්ට උපදෙස් සපයති.
අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ප්‍රධාන පුවත්

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..

මහා සංඝරත්නයට සහ පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ රැඳී සිටීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතාඅභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබේ.

සෞදියේ තෙල් සහ ගුවන් පහසුකම් ඉලක්ක කරමින් හූතිවරුන්ගෙන් අඛණ්ඩ ප්‍රහාර.. – රියාද් පාලනයට එල්ලවන පීඩනය තීව්‍ර වෙයි..

විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.

වෛද්‍ය ස්ථාන මාරු ප්‍රමාදයෙන් පර්යන්ත රෝහල් සේවා බිඳවැටීමේ අවදානමක්.. - GMOA අනතුරු අඟවයි..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පෙන්වා දී ඇති පරිදි, වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් මෙන්ම අක්‍රමිකතා හේතුවෙන් පර්යන්ත රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකවල සේවා බිඳවැටීමේ දැඩි අවදානමක් මතුව තිබේ.

සටන අත්හරින්නේ නෑ.. - පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමි..

කොට්ටේ ක්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ සමස්ත බෞද්ධ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ගත් වගකීම අත් නොහරින බව එහි අනුනායක කොටපිටියේ රාහුල නාහිමියෝ පැවැසූහ.

හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්.. - චම්පික රණවක හෙළිකරයි..

පසුගිය 17 වැනිදා දිවයින පුරා ඇති වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් මෙරට ආර්ථිකයට රුපියල් කෝටි 400 ඉක්මවන දැවැන්ත අලාභයක් සිදුව ඇති බව හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්‍රකාශයක්..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔබ නිසා ඔබේ ජාතික අනන්‍යතාව අහිමි වෙමින් පවතීද?..

අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති දඬුවම සහ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් සමස්ත සංඝයා වහන්සේට සහ බෞද්ධ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසති.

ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විට මතුව ඇති කතිකාව අතරතුර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී ජාතික සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..

දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.