අබුඩාබියේ සර්පයා දුටුවා ද?..
එක්සත් අරාබි එමිර් රාජ්යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
අබුඩාබි රජ පවුල ලෝකයේ ධනවත් ම පවුල් අතරින් එකක් විදිහට සැළැකෙනවා. මේ රජ පවුලට අයිති ධනයේ වටිනාකම ඩොලර් බිලියන 300 ක් විතර ඇති කියලයි ඇස්තමේන්තු කරලා තියෙන්නේ. මේ රජ පවුල බ්රිතාන්යයේ දේපොළ වෙළෙඳාම්, ක්රීඩා, විදුලි සංදේශ සහ මූල්ය ඇතුළු ක්ෂේත්ර විශාල ප්රමාණයකත් තමන්ගේ ධනය ආයෝජනය කරලා තියෙනවා. ලන්ඩන් නගරයේ ප්රධානතම ඉඩම් හිමියන්ගෙන් කෙනෙක් විදිහට මේ රජ පවුල සැළැකෙනවා. 2004 – 2022 කාලයේ UAE රාජ්යයේ ජනාධිපතිවරයා විදිහට කටයුතු කරපු කලීෆා බින් සයීඩ් අල් නායන් (Khalifa bin Zayed Al Nahyan) ලන්ඩන් නගරයේ මේෆෙයාර් (Mayfair), නයිට්ස්බ්රිජ් (Knightsbridge) වගේ ප්රභූ ප්රදේශවල පවුම් බිලියන 5.5කට වඩා වැඩි වටිනාකමක් තියෙන දේපොළ කන්දරාවකුත් හිමි කරගෙන හිටියා. මේ පවුලේ ආයෝජන ලන්ඩනයත් බලාපොරොත්තු වෙනවා. ලන්ඩනයට මෙහෙම අය නැතුව බෑ.
අබුඩාමි රජ පවුලේ අයට එංගලන්තයත් ලන්ඩන් අගනුවරත් එක්ක ඉතාමත් ළඟ සම්බන්ධයක් තියෙනවා. මේ අය නිතර නිතර ලන්ඩනයේ කරක් ගහනවා.
පහුගිය දවස්වල මේ රජ පවුලට අදාළ “ලොකු” ප්රවෘත්තියක් පත්තරවල පළවුණා. වෙනත් මාධ්ය විසිනුත් මේ විස්තරේ වාර්තා කරන්න ඇති. ඒ ගැන දැනුමක් මට නෑ.
මාරා අල් නායන් (Mahrah Al Nahyan) කියන්නේ එක්සත් අරාබි එමිර් රාජ්යයේ (United Arab Emirates - UAE) බලය හිමි පවුලේ (උඩින් කියපු රජ පවුලේ) කාන්තාවක්. විවාහයකින් තමයි ඇය අල් නායන් (Al Nahyan) රජ පවුලට එකතුවෙලා තියෙන්නේ. දැන් ඇයගේ වයස අවුරුදු 32 යි.
පහුගිය ජුනි 13 වැනි දා, මාරා අල් නායන් බටහිර ලන්ඩනයේ පාරක් අයිනේ වැටකට හේත්තුවෙලා සිහිය නැතුව වාඩිවෙලා ඉඳිද්දි පාරේ යන මිනිස්සු ඇයව දැක්කා. ඇය ළඟ ම පිරිමියෙකුත් සිහිය නැතුව වැටිලා හිටියා. ඒ කිට්ටුවෙන් අවුරුදු තුනක පුංචි දරුවෙකුත් සෙල්ලම් කර කර හිටියා. ඒ දරුවා සපත්තු, සෙරෙප්පු මොකක්වත් දාගෙන හිටියෙත් නෑ. ඒ ළමයා තනියෙන් ම පාර අයිනේ කඩදාසි කොළයක් පස්සේ පන්නනවා දැකපු මිනිස්සු කලබල වුණා. ළමයා පාරට ගියා නම් අනතුරට පත්වෙනවා. එහෙම නැතිනම් අපරාධකාරයෙක්ට ළමයා ඇරැගෙන යන්නත් පුළුවන්. ඉතින් මිනිස්සු පොලීසියට දැනුම් දුන්නා. හදිසි රාජකාරි කරන අය ඇවිල්ලා ඒ දරුවා තමන් භාරයට ගත්තා. විනාඩි 30 කට පස්සේ මාරා අල් නායන්ට සිහිය ආවා.
“මම මිනීමැරුමක් කළා ද? ඇයි ඔයගොල්ලෝ වටවෙලා ඉන්නේ? ඇයි මේ ගැන ඔච්චර වදවෙන්නේ?” කියලා මාරා අල් නායන් වටේ හිටිය අයගෙන් ඇහුවා. තමන් හිටිය තත්ත්වය ගැනවත් දරුවා ගැනවත් ඇයට තේරුමක් තිබුණේ නෑ. සිහිය ආවත් ඇයගේ සිහිකල්පනාව හොඳ මට්ටමක තිබුණේ නෑ. තව තවත් කරුණු පරීක්ෂා කරද්දි ඇත්ත කාරණය හෙළිදරව් වුණා. මාරා අල් නායන් සහ ඇය අසළ වැටිලා හිටිය හාදයා එකතුවෙලා අධික විදිහට කොකේන් පාවිච්චි කරලා තිබිච්ච හින්දා තමයි මේ ඇබැද්දිය සිද්දවෙලා තිබුණේ.
මාරා අල් නායන්ගේ අත් බෑගයේ තිබිලා මත්ද්රව්ය පාවිච්චි කරන්න ගන්න උපකරණත් හොයාගෙන තියෙනවා. හැබැයි ඒ බෑග් එකේ නීති විරෝධි මත්ද්රව්ය තිබුණේ නෑ කියලයි පොලිසිය කියන්නේ. ඉතින් මාරා අල් නායන් කරපු වැරැද්ද දරුවා නො සළකා හැරීම කියන කාරණයට සීමා කළා. ඇය සවුත්වර්ක් ක්රවුන් (Southwark Crown) උසාවියේ දී ඒ චෝදනාවට වැරැද්ද පිළිගත්තා. ළමයා ගැන හිතන්නේ නැතුව සිහිය නැතුව ඉන්න එක වැරැද්දක් තමයි. සිහිය නැතිවුණේ අධික විදිහට කොකේන් පාවිච්චිකිරීමෙන් වුනත් පොලිසිය සහ අධිකරණය ඒ කාරණය නො සළකා හැරියා. ඉතින් ඉදිරියට ළමයා ගැන හොඳ අවධානයෙන් ඉන්න කියලා ජෙරමි ජොන්සන් (Jeremy Johnson) නඩුකාරයා ඇයට අවවාද කළා.
“ලොකු වැරැද්දක්” කරලා තිබුණේ නැති හින්දා, උසාවිය මාරා අල් නායන්ට බරපතල දඬුවමක් ලබාදුන්නෙත් නෑ. ඒ වෙනුවට, අවුරුදු දෙකක් ප්රජා සේවා කටයුතුවලට සම්බන්ධවෙන්න කියන දඬුවම තමයි ඇයට පැනෙව්වේ. ඒ වගේ ම, නඩු වියදම් විදිහට පවුම් 6,114 ක (රුපියල් ලක්ෂ 7 ක විතර) මුදලක් ගෙවන්නත් ඇයට සිද්දවුණා. අපිට නම් ඒක ගොඩක් ලොකු මුදලක්.
මේ සිද්දියෙන් පස්සේ, මාරා අල් නායන් මහත්මිය සරේ (Surrey) ප්රාන්තයේ වෝකිං (Woking) නගරයේ තියෙන ප්රයෝරි සායනයේ (Priory clinic) ප්රතිකාර ලබාගන්නවා. ඒක මානසික සෞඛ්ය ගැටලු සහ විවිධ ඇබ්බැහිවීම් සඳහා ප්රතිකාර ලබාදෙන පුද්ගලික රෝහලක්. මාරා අල් නායන් “සෑහෙන පසුතැවිල්ලකින් සහ ඇබ්බැහිය ජයගැනීමේ අධිෂ්ඨානයෙන්” ප්රතිකාර ලබාගන්නවා කියලා ඇයගේ නීතිඥයා කියනවා. දැන් ඇය මාස තුනක නේවාසික ප්රතිකාර කාලය අවසන් කරලා දිනපතා උපදේශන සහ ප්රතිකාර ලබාගන්න පටන් ඇරැගෙන තියෙන බවත් කියනවා.
මේ සිද්දිය අපිට කියන්නේ මොකක්ද?
මේක තනි හදකලා සිදුවීමක් නෙවෙයි. සවුදි අරාබිය, UAE, කටාර්, කුවේට්, ඕමාන්, බහරේන් කියන මැද පෙරදිග සල්ලිකාර රටවල්වල ඇතිවෙලා තියෙන සදාචාර පරිහාණියේ තරම මේ සිදුවීමෙන් එළියට ආවා. බටහිර අධිරාජ්යවාදී රටවල් පස්සේ යන මේ ධනවත් අරාබි රටවල්වල පිරිස් - විශේෂයෙන් ම, පාලනයට සම්බන්ධ පවුල්, නාමිකව ඉස්ලාම් ආගමික සදාචාර කතාවක් ඉස්සරහට දාගෙන බටහිරින් ලැබෙන හැම වනචරකමක් ම ඉතාමත් තදින් බදාගෙන ඉන්නවා. මේ වෙද්දි, සවුදි අරාබිය යේමනයේ අන්සාර් අල්ලාහ් ප්රහාර හමුවේ නන්නත්තාර වෙලා ඉන්නෙත් සවුදි අරාබියේ සහ UAE උදව් ලබන යේමනයේ කණ්ඩායම් පැනලා යන්නෙත් මේ හින්දා ම තමයි. කොච්චර සල්ලි, මිල මුදල් තිබුණත් සදාචාරයෙන් පිරිහිච්ච අයට ඔළුව උස්සගෙන ඉන්න අමාරුයි. අපේ අය ගැනත් හිතලා බලන්න.
- ආචාර්ය වරුණ චන්ද්රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
අද, හෙට සහ අනිද්දා දීප ව්යාප්ත විදුලි කප්පාදුවක්..
කොටුව මහේස්ත්රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..
සෞදියේ තෙල් සහ ගුවන් පහසුකම් ඉලක්ක කරමින් හූතිවරුන්ගෙන් අඛණ්ඩ ප්රහාර.. – රියාද් පාලනයට එල්ලවන පීඩනය තීව්ර වෙයි..
වෛද්ය ස්ථාන මාරු ප්රමාදයෙන් පර්යන්ත රෝහල් සේවා බිඳවැටීමේ අවදානමක්.. - GMOA අනතුරු අඟවයි..
සටන අත්හරින්නේ නෑ.. - පූජ්ය කොටපිටියේ රාහුල අනුනාහිමි..
හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්.. - චම්පික රණවක හෙළිකරයි..
ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්රකාශයක්..
ඔබ නිසා ඔබේ ජාතික අනන්යතාව අහිමි වෙමින් පවතීද?..
අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති..
ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්ය අගලකඩ සිරිසුමන හිමි
ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්යවශ්ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..
මහ සඟරුවන විහාරමහා දේවී උද්යානයේ ආරම්භ සත්යග්රහය අද තුන්වැනි දිනටත්..
භික්ෂු සත්යග්රහයට පහර දීමක්..?
ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්යාංශය
නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..