News Category
From Date
To Date
Maximum Number of Result

සෞදි අරාබියේ විශාලතම ගැටලුව එහි සතුරාගේ කුඩාම අවි විය හැකිය

Oct 19, 2026 at 03:11 PM
|

රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර්  රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.

ගුවන් තොටුපළවල් සහ තෙල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින්, යේමනයේ ගැටුමට සෞදි අරාබිය මැදිහත් වීමේ පිරිවැය ඉහළ නැංවීමටත්, සාම ගිවිසුමක කොන්දේසි පිළිබඳව යළි සලකා බැලීමට එරට නායකත්වයට බල කිරීමටත් අන්සාර් අල්ලාහ් සංවිධානය උත්සාහ කරයි.

හූතිවරුන්ගේ නවතම ප්‍රහාර මාලාව සෞදි අරාබියට විශේෂ වැදගත්කමක් ඇති ස්ථාන ඉලක්ක කර තිබේ. ඔක්තෝබර් 13 වැනිදා සවස් කාලයේදී, සෞදි අරාබියේ ධහ්රාන්හි පිහිටි සෞදි අරම්කෝ (Saudi Aramco) සමාගමේ මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල විය. එම ස්ථානය සමාගමේ ප්‍රධාන කළමනාකරණ මෙහෙයුම් සිදුකරන මධ්‍යස්ථානයයි. සෞදි බලශක්ති අමාත්‍යාංශය එහි ගින්නක් ඇති වූ බව වාර්තා කළද, වාසනාවකට මෙන් කිසිවකු මියගොස් නොතිබිණි.

රියාද්හි පිහිටි තෙල් පිරිපහදුවකට සහ කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ද ප්‍රහාර එල්ල කළ බව අන්සාර් අල්ලාහ් සංවිධානය ප්‍රකාශ කළේය. මෙම ඉලක්ක තෝරාගැනීමෙන් පෙනී යන්නේ, රාජධානියේ සමස්ත තෙල් ආදායමම අවදානමට ලක් කිරීමත්, එරට ජාත්‍යන්තර ගුවන් සම්බන්ධතා අඩාල කිරීමත් හූතිවරුන්ගේ අරමුණ වී ඇති බවයි.

මෙම ඉලක්කවලින් තවත් කරුණක් පැහැදිලි වේ. එනම්, සෞදි නායකයන්ගේ තීරණවලට සෘජුව බලපෑම් කිරීමට මෙම ව්‍යාපාරය උත්සාහ කරන බවයි. තෙල් යටිතල පහසුකම් මගින් රජයට ආදායම් ලැබෙන අතර, ගුවන් තොටුපළවල් රට බාහිර ලෝකය සමඟ සම්බන්ධ කරයි. රාජධානිය කෙරෙහි පවතින විශ්වාසය ද මෙම පහසුකම් දෙකෙහිම ආරක්ෂාව මත රඳා පවතී. එබැවින් සීමිත හානියක් වුවද, එම හානිය සිදුකිරීමට යොදාගත් අවිවල පිරිවැයට වඩා බෙහෙවින් විශාල බලපෑමක් ඇති කළ හැකිය.

ගැටුමට හේතුව කුමක්ද?

හූතිවරුන්ට සෞදි අරාබිය සමඟ ගැටුම් ඇතිකරගැනීම පිළිබඳ තමන්ගේම ඉතිහාසයක් තිබේ. මෙම ව්‍යාපාරය යේමනයේ උතුරු ප්‍රදේශයෙන් බිහි වූ අතර, 2004 සිට 2010 දක්වා මධ්‍යම රජයට එරෙහිව යුද්ධ මාලාවක නිරත විය. 2014 දී ඔවුහු අගනුවර වන සානා නගරය අත්පත් කරගත්හ.

ඔවුන්ගේ නැගී ඒමට යේමනයේ දේශපාලන ක්‍රමය, ප්‍රාදේශීය ගැටුම් සහ රාජ්‍ය ආයතන බිඳවැටීම බලපෑවේය. ඉරානයෙන් ලැබුණු සහාය, ඒ වන විටත් තමන්ගේම සමාජ පදනමක් සහ දේශපාලන අරමුණු සහිතව ස්ථාපිත වී තිබූ බලවේගයක් තවදුරටත් ශක්තිමත් කළේය.

2015 දී සෞදි අරාබිය යේමනයට මැදිහත් වීමත් සමඟ, එම ව්‍යාපාරයේ ප්‍රධාන විදේශීය සතුරා ලෙස රියාද් පාලනයේ ස්ථානය තහවුරු විය. සෞදි රාජධානියේ අරමුණ වූයේ තම දකුණු දේශසීමාව අසල සතුරු බලවේගයක් බලය තහවුරු කරගැනීම වැළැක්වීම සහ ජාත්‍යන්තර පිළිගැනීම ලැබූ යේමන රජයට සහාය දීමයි.

හූති නායකත්වයට අනුව, යුද්ධය ඔවුන්ගේ පැවැත්මට එල්ල වූ තර්ජනයක් මෙන්ම තම ආධාරකරුවන් එක්රැස් කරගැනීමේ සටන් පාඨයක් ද බවට පත්විය. විදේශීය ආක්‍රමණයක් පිළිබඳ අදහස ඉදිරියට ගෙන ඒමෙන්, යේමනය තුළ බලය අත්පත් කරගැනීම සඳහා වූ තම අරගලය ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කිරීමේ සටනක් ලෙස නිරූපණය කිරීමට එම ව්‍යාපාරයට හැකි විය.

වර්තමාන උත්සන්න වීම තුළ ද මෙම තර්කය අදාළ වේ. යේමන රජයේ හමුදා විසින් දියත් කරන ප්‍රහාරයකට සෞදි අරාබිය සහාය දීම, හූතිවරුන් අත්පත් කරගෙන සිටින ප්‍රදේශ සහ සාකච්ඡාවලදී ඔවුන් සතු කේවල් කිරීමේ බලය තර්ජනයට ලක් කරයි. රාජධානිය තුළ ගැඹුරට ප්‍රහාර එල්ල කිරීමෙන්, එම සහාය ලබාදීමේ පිරිවැය ඉහළ නැංවීමට ඔවුහු උත්සාහ කරති.

ඔවුන්ගේ ගණනය කිරීම පැහැදිලිය. එනම්, යුද්ධයට සෞදි අරාබිය තවදුරටත් මැදිහත් වන සෑම අවස්ථාවකදීම, සෞදි භූමිය තුළද ඊට මිලක් ගෙවීමට සිදුවන තත්ත්වයක් ඇති කිරීමයි.

හූතිවරුන්ගේ ඉල්ලීම් ද නිශ්චිතය. හූතිවරුන්ගේ මර්මස්ථාන වලටප්‍රහාර නතර කිරීම, යේමනය තුළ ඔවුන්ගේ විරුද්ධවාදීන්ට ලබාදෙන සහාය සීමා කිරීම, ප්‍රවාහන හා වෙළෙඳ සීමා ඉවත් කිරීම සහ ආදායම් බෙදාගැනීම හා ගෙවීම් සම්බන්ධ ගිවිසුම්dha ඇතුළත් වේ.

මෙම කරුණු නවතම උත්සන්න වීමට බොහෝ කලකට පෙර සිටම සාකච්ඡාවට ලක්වෙමින් පැවතිණි. 2023 දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ සාම මාර්ග සිතියමක රාමුවට, රටපුරා සටන් විරාමයක්, රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම, තෙල් අපනයන යළි ආරම්භ කිරීම සහ සානා ගුවන්තොටුපළ හා හුදයිදා වරාය සම්බන්ධ සීමා ලිහිල් කිරීම ඇතුළත් විය.

රියාද් පාලනයට දැරීමට සිදුවන පිරිවැය ඉහළ නැංවීමෙන්, සහන ලබාගැනීමටත්, තමන් අත්පත් කරගත් ප්‍රදේශවල පාලනය තවදුරටත් පවත්වාගෙන යාමටත් අන්සාර් අල්ලාහ් සංවිධානය බලාපොරොත්තු වේ. එහෙත් එවැනි කොන්දේසි යටතේ සටන් විරාමයක් ඇති වුවහොත්, යේමනයේ බලය බෙදාගත යුතු ආකාරය පිළිබඳ ගැටලුව විසඳීමකින් තොරව හූතිවරුන්ගේ ස්ථාවරය තවදුරටත් තහවුරු විය හැකිය.

සෞදි අරාබියට එල්ල කරන ප්‍රහාර හූතිවරුන්ගේ අභ්‍යන්තර දේශපාලන අරමුණු සඳහා ද ප්‍රයෝජනවත් වේ. රාජධානියේ ගැඹුරු ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීමට තමන්ට ඇති හැකියාව පෙන්වීමෙන්, තම ආධාරකරුවන් අතර ඇති පිළිගැනීම ශක්තිමත් කරගැනීමට එම ව්‍යාපාරය උත්සාහ කරයි.

රියාද් සමඟ ගැටුම පවත්වාගෙන යාමෙන්, විදේශීය මැදිහත්වීම්වලට එරෙහිව යේමනය ආරක්ෂා කරන බලවේගය තමන් බව ප්‍රකාශ කිරීමට ද හූතිවරුන්ට අවස්ථාව ලැබේ. එම ප්‍රකාශය තමන්ගේ බලය තහවුරු කරගැනීමේ උත්සාහය සාධාරණීකරණය කිරීමට ද ඔවුහු යොදාගනිති.

ඉරානයෙන් ලැබෙන හමුදාමය සහ තාක්ෂණික සහාය හූතිවරුන්ගේ හැකියාවන් සැලකිය යුතු ලෙස පුළුල් කර ඇති බවට සැකයක් නැත. එහෙත් ටෙහෙරානය සමඟ පවතින සම්බන්ධතාව නිසා, යේමනයේ බල අරගලය තුළ අන්සාර් අල්ලාහ් සංවිධානයට ඇති තමන්ගේම අවශ්‍යතා සහ සෞදි අරාබිය සමඟ පවතින ගැටුම අහෝසි නොවේ.

හූතිවරුන්ගේ සියලු ක්‍රියා ඉරානයේ නියෝග ක්‍රියාත්මක කිරීමක් ලෙස පමණක් විස්තර කිරීමෙන්, ගැටුමේ දේශීය මූලයන් හෝ හූති නායකත්වයේ අරමුණු නිසි ලෙස පැහැදිලි කළ නොහැකිය.

වඩාත් නිවැරදි විග්‍රහය වන්නේ, සම්පත් අසමාන වුවද යේමන පාර්ශ්වයට සැලකිය යුතු ස්වාධීනත්වයක් පවතින හවුල්කාරිත්වයක් ලෙස මෙය සැලකීමයි. සෞදි අරාබිය දුර්වල කිරීම දෙපාර්ශ්වයේම අවශ්‍යතාවලට ගැළපිය හැකි නමුත්, යුද්ධය අවසන් කළ යුතු කොන්දේසි පිළිබඳව ඔවුන්ගේ මතභේද තිබිය හැකිය.

අන්සාර් අල්ලාහ් සංවිධානයට යේමනයේ යුද පෙරමුණේ තත්ත්වය සහ තම පාලනයේ පැවැත්ම සැලකිල්ලට ගැනීමට සිදුවේ. එබැවින් ඉරානය සහ බාහිර බලවතුන් අතර ඇතිවන ගිවිසුම් හේතුවෙන් හූති ප්‍රහාර ස්වයංක්‍රීයව නතර වනු ඇතැයි සහතික කළ නොහැකිය.

යුද්ධයේ ආර්ථික විද්‍යාව

දේශීය මිසයිල නිෂ්පාදනයේ වර්ධනය සහ අවි කොටස් සපයාගැනීම සඳහා පුළුල් ජාලයක් ගොඩනැගීම නිසා, හූති ප්‍රහාර නතර කිරීමට රියාද් පාලනයට ඇති හැකියාව සීමා වේ.

විවිධ මාර්ග ඔස්සේ තම අවි ගබඩා යළි පුරවාගැනීමට එම ව්‍යාපාරයට හැකි නම්, ඉරානයෙන් ලැබෙන සැපයුම් සීමා කිරීමෙන් ලැබෙන්නේ අර්ධ ප්‍රතිඵලයක් පමණි. එබැවින් ඉරානය සමඟ පමණක් ගිවිසුමකට එළඹීමෙන් සෞදි පහසුකම්වල ආරක්ෂාව තහවුරු කළ නොහැකිය. බොහෝ දේ රඳා පවතින්නේ ප්‍රහාර දිගටම පවත්වාගෙන යාම තමන්ගේ අරමුණු සඳහා ප්‍රයෝජනවත් බව හූතිවරුන් තවදුරටත් විශ්වාස කරන්නේද යන්න මතය.

එසේම, හූතිවරුන්ට සෞදි අරාබිය සමඟ අවිවල ප්‍රමාණයෙන් හෝ ගුණාත්මකභාවයෙන් තරග කිරීමට අවශ්‍ය නැත. තමන්ගේ ඉලක්ක තෝරාගැනීමටත්, ප්‍රහාර අතර කාල පරතරයන් තීරණය කිරීමටත් ඔවුන්ට හැකියාව තිබේ. එහෙත් විශාල භූමි ප්‍රදේශයක් පුරා විසිරී ඇති ගුවන් තොටුපළවල්, තෙල් පහසුකම් සහ නගර අඛණ්ඩව ආරක්ෂා කිරීමට සෞදි රාජධානියට සිදුවේ.

එක් ප්‍රහාරයක් සාර්ථක වීම පමණක් වුවද, යම් පහසුකමක මෙහෙයුම් අඩාල කිරීමට, ගුවන් ගමන් අවලංගු කිරීමට හෝ ව්‍යාපාරික කටයුතු නතර කිරීමට හේතු විය හැකිය. ඇමෙරිකානු ගුවන් ආරක්ෂක පද්ධති මිලදී ගැනීමෙන් මෙම තර්ජනය අඩු කළ හැකි නමුත් එය සම්පූර්ණයෙන් තුරන් කළ නොහැකිය.

සෞදි අරාබියේ ගැටලුව වන්නේ, තමන්ට ඇති හමුදාමය වාසිය තිබියදීත්, ප්‍රතිවාදියාට ආර්ථික වශයෙන් වේදනාකාරී ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව අහිමි කිරීමට මෙතෙක් නොහැකි වීමයි. එම හැකියාව සාකච්ඡාවලදී කේවල් කිරීමේ බලයක් බවට පත්කරගැනීමට හූතිවරුන් උත්සාහ කරති.

සෞදි අරාබියේ වාර්ෂික හමුදා වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 82 ඉක්මවයි. එහෙත් හූති ප්‍රහාරවලින් තම යටිතල පහසුකම් ආරක්ෂා කරගැනීමේදී රාජධානිය තවමත් අසීරුතාවලට මුහුණ දෙයි. මෙයින් හෙළි වන්නේ, මිලදී ගෙන ඇති අවිවල පිරිවැය සහ මෙම විශේෂිත යුද්ධයේදී ඒවායේ සඵලතාව අතර පවතින පරතරයයි.

නවීන ප්‍රහාරක ජෙට් යානා සහ මිසයිල ආරක්ෂක පද්ධති සෞදි අරාබියට සැලකිය යුතු වාසියක් ලබා දෙයි. එහෙත් කුඩා ඩ්‍රෝන යානා සහ පහත් උසකින් පියාසර කරන කෲස් මිසයිල හඳුනාගැනීම සඳහා පුළුල් රේඩාර් ආවරණයක් සහ හමුදා ඒකක අතර කඩිනම් තොරතුරු හුවමාරුවක් අවශ්‍ය වේ. එවැනි හැකියාවන් නොමැති විට, මිල අධික උපකරණ තිබුණද ඉලක්ක නියමිත වේලාවට හඳුනාගෙන විනාශ කිරීම විශ්වාසදායක ලෙස කළ නොහැකිය.

දිගුකාලීන ගැටුමකදී අවිවල පිරිවැය අතර ඇති විශාල වෙනස ද වැදගත් වේ. උපුටා දක්වා ඇති ඇස්තමේන්තුවලට අනුව, පැට්‍රියට් (Patriot) මිසයිල නාශකයක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3කට වැඩි මුදලක් වැය වන අතර, ඇතැම් හූති ඩ්‍රෝන යානා නිෂ්පාදනය සඳහා වැය වන්නේ ඩොලර් 15,000ත් 25,000ත් අතර මුදලකි.

වඩා වටිනා වත්කම් ආරක්ෂා කරගැනීම සඳහා, ආරක්ෂක පාර්ශ්වයට මෙවැනි මිල අඩු ගුවන් යානා විනාශ කිරීමට ද මිල අධික මිසයිල භාවිත කිරීමට සිදුවේ. එහෙත් අඛණ්ඩ ආරක්ෂක මෙහෙයුම් මගින් මිසයිල තොග ක්ෂය වන අතර, විශේෂයෙන් ගෝලීය වශයෙන් ගුවන් ආරක්ෂක පද්ධති සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අවස්ථාවක ඒවා කඩිනමින් නැවත පුරවාගැනීම දුෂ්කර වේ.

මේ හේතුවෙන් හූතිවරුන් දියත් කරන බොහෝ droena යානා තම ඉලක්ක කරා ළඟා වීමට අසමත් වුවද, සෞදි ආරක්ෂක පද්ධති ක්‍රමයෙන් වෙහෙසට පත්කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබේ.

තාක්ෂණික දුෂ්කරතා තවදුරටත් උග්‍ර කරන්නේ සෞදි සන්නද්ධ හමුදාවල ව්‍යුහයයි. රාජාණ්ඩුවට එරෙහි හමුදා කුමන්ත්‍රණයක් වැළැක්වීම ඇතුළු අරමුණු සඳහා, නිත්‍ය හමුදාව සහ ජාතික ආරක්ෂක බලකාය (National Guard) වෙන්ව පවත්වාගෙන යාම ඓතිහාසිකව වැදගත් වී තිබේ.

එහෙත් වෙන වෙනම ක්‍රියාත්මක වන අණදීමේ දාම සහ තීරණ ගැනීමේ දැඩි මධ්‍යගතභාවය නිසා සම්බන්ධීකරණයට බාධා ඇති විය හැකි අතර, ක්ෂේත්‍රයේ අණදෙන නිලධාරීන්ගේ ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව ද සීමා විය හැකිය.

එබැවින් තවත් අවි මිලදී ගැනීමෙන් පමණක් මෙම ගැටලුව විසඳිය නොහැකිය. අමතර හඳුනාගැනීමේ සහ ප්‍රහාර වළක්වන පද්ධති මිලදී ගත්තද, තොරතුරු ප්‍රමාද වී ලැබෙන්නේ නම් සහ ප්‍රතිචාරයක් සම්බන්ධීකරණය කිරීමට වැඩි කාලයක් ගතවන්නේ නම්, එම පද්ධතිවලින් ලැබෙන ප්‍රතිඵල සීමිත වනු ඇත.

මෙම දුර්වලතා නිවැරදි කිරීමට කාලයක් ගතවනු ඇතැයි හූතිවරුන්ට සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකිය. එම කාලය තුළ තවදුරටත් වේදනාකාරී ප්‍රහාර එල්ල කිරීමට ඔවුන්ට හැකි වේ. දේශීය නිෂ්පාදනය සහ පුළුල් සැපයුම් ජාල මෙම ප්‍රහාරක මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට උපකාරී වේ.

ප්‍රධාන කාර්මික පහසුකම් විනාශ කිරීම හෝ ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම නතර කිරීම හූතිවරුන්ට අවශ්‍ය නොවේ. නැවත නැවත මතුවන තර්ජනයක් පමණක් වුවද, ගුවන් සමාගම්වලට තම ගමන් මාර්ග පිළිබඳව යළි සලකා බැලීමටත්, ආයෝජකයන්ට තීරණ කල් දැමීමටත්, සෞදි නායකයන්ට යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සඳහා වැඩි මුදලක් වැය කිරීමටත් බල කළ හැකිය.

විදේශීය සහාය ලැබේවිද?

සෞදි අරාබිය ආරක්ෂා කිරීමට සූදානම් බව තුර්කිය සහ පාකිස්තානය ප්‍රකාශ කර තිබීමෙන්, එම රටවල් දෙකම පූර්ණ වශයෙන් යුද්ධයට මැදිහත් වනු ඇතැයි හෝ යේමනය තුළ හූතිවරුන්ට එරෙහිව සටන් කරනු ඇතැයි හෝ අපේක්ෂා කිරීමට තවමත් ප්‍රමාණවත් පදනමක් නැත.

ඔක්තෝබර් 5 වැනිදා පැවති රැස්වීමකදී, මක්කම ගිවිසුමට (Mecca Agreement) සම්බන්ධ පාර්ශ්ව රාජධානිය ආරක්ෂා කිරීම සඳහා හමුදා සහ උපකරණ සැපයීමට කටයුතු කරන බව ප්‍රකාශ කළහ. එහෙත් එම පොරොන්දුවල දේශපාලන වැදගත්කම රඳා පවතින්නේ, ප්‍රහාර සංඛ්‍යාව සහ ඒවායින් සිදුවන හානිය සැබවින්ම අඩු කිරීමට එම මිත්‍ර රටවලට හැකි වේද යන්න මතය.

ප්‍රහාර අඛණ්ඩව සිදුවන තාක් කල්, එවැනි ප්‍රකාශ භයානක ලෙස යුද්ධය පුළුල් කිරීමට හේතු නොවන, ක්‍රියාත්මක වීමට ඉඩ අඩු වාචික පොරොන්දු පමණක් ලෙස හූති නායකයන් සැලකීමට ඉඩ තිබේ.

තුර්කියේ ස්ථාවරය ද මෙම තක්සේරුව තහවුරු කරයි. තුර්කි විදේශ කටයුතු අමාත්‍ය හකන් ෆිදාන් (Hakan Fidan), ගුවන් ආරක්ෂාව, ඉලෙක්ට්‍රොනික යුද්ධ මෙහෙයුම් සහ තාක්ෂණික සහාය ලබාදීමේ හැකියාව පිළිබඳව සඳහන් කළේය. එහෙත් විදේශ භූමියක සිදුකරන ප්‍රහාරක මෙහෙයුම් සඳහා තුර්කි හමුදා යෙදවීම පැහැදිලිවම ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව, තුර්කිය තමන් ඉටුකිරීමට සූදානම් භූමිකාවේ සීමාවන් ආරම්භයේ සිටම පැහැදිලි කර තිබේ.

පාකිස්තානයට ද සෘජු මැදිහත්වීමෙන් වැළකී සිටීමට හේතු තිබේ. යේමනයේ යුද්ධයට එක්වීමෙන් අමතර හමුදා වියදම් දැරීමට සිදුවන අතර, අසල්වැසි ඉරානය සමඟ සබඳතා තවදුරටත් පිරිහීමේ අවදානමක් ද පවතී.

එබැවින් රියාද් වෙනුවෙන් හූතිවරුන් පරාජය කිරීමේ වගකීම ඉස්ලාමාබාද් පාලනය භාරගනු ඇතැයි අපේක්ෂා කිරීම කල් වැඩිය. සෞදි අරාබියට ලබාදී ඇති කැපවීම්වලට අනුව, නිශ්චිත පහසුකම් ආරක්ෂා කිරීම සහ හමුදාමය සහාය ලබාදීම වැනි සීමිත කාර්යභාරයකට පාකිස්තානයේ දායකත්වය සීමා විය හැකිය.

ඇමෙරිකානු ස්ථාවරය සම්බන්ධයෙන් ද එවැනිම වෙනසක් හඳුනාගත හැකිය. බුද්ධි තොරතුරු හුවමාරු කිරීම සහ ඉලක්ක හඳුනාගැනීම සඳහා ලබාදෙන සහාය සෞදි මෙහෙයුම්වලට උපකාරී වේ. එහෙත් එයින් අදහස් වන්නේ කුමන පිරිවැයක් දැරීමට සිදුවුවද හූති ප්‍රහාර නතර කිරීමට වොෂින්ටනය සූදානම් බව නොවේ.

විදේශීය මැදිහත්වීමේ මෙම සීමාවන් පිළිබඳව හූතිවරුන් විශ්වාසය තබා සිටින බව පෙනේ. ඔවුන්ගේ ගණනය කිරීම වන්නේ, සෞදි අරාබියේ මිත්‍ර රටවල් එරට ආරක්ෂා කිරීමට සහාය දෙනු ඇතත්, යේමනය තුළ සෞදි අරාබියේ අරමුණු ඉටුකරගැනීම සඳහා දිගුකාලීන යුද්ධයකට පැටලීමට එම රටවල් අකමැති වනු ඇති බවයි.

එම සහාය මගින් ප්‍රහාර සැලකිය යුතු ලෙස අඩු වන තෙක්, මිත්‍ර රටවල සහාය ලබාගන්නා බවට කරන තර්ජන අන්සාර් අල්ලාහ් සංවිධානය කෙරෙහි විශාල බලපෑමක් ඇති නොකරනු ඇත.

හූතිවරුන් උත්සාහ කරන්නේ, සෞදි අරාබිය යේමනයේ ගැටුමට තවදුරටත් මැදිහත් වීමෙන් සිදුවන පාඩු, විශාල ආරක්ෂක අයවැයකට හෝ විදේශීය හවුල්කරුවන්ගේ සහායට පවා වැළැක්විය නොහැකි බව පෙන්වා දීමටය.

එම පීඩනය හේතුවෙන් රියාද් පාලනය තම විරුද්ධවාදීන්ට ලබාදෙන සහාය අඩු කිරීමට හෝ හූතිවරුන්ට වාසිදායක සාම කොන්දේසි පිළිගැනීමට පෙළඹෙන්නේ නම්, යුද පිටියේදී අත්පත් කරගත් ජයග්‍රහණ දිගුකාලීන දේශපාලන වාසි බවට පත්කරගැනීමට එම ව්‍යාපාරයට අවස්ථාව ලැබෙනු ඇත.

එවැනි ප්‍රතිඵලයක් සෞදි අරාබියේ ස්ථාවරය දුර්වල කිරීම හරහා ඉරානයට ද වාසිදායක වනු ඇත. එහෙත් එහි වඩාත් ක්ෂණික ප්‍රතිඵලය වනු ඇත්තේ යේමනයේ බලය සඳහා පවතින අරගලය තුළ අන්සාර් අල්ලාහ් සංවිධානයේ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් වීමයි.


ෆර්හාඩ් ඉබ්‍රාහිමොව් 

ෆර්හාඩ් ඉබ්‍රාහිමොව් යනු මැදපෙරදිග කලාපය (ඉරානය, තුර්කිය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය) සහ පශ්චාත් සෝවියට් කලාපය පිළිබඳ විශේෂඥතාවක් ඇති දේශපාලන විශ්ලේෂකයෙකි.

ඔහු 2017 වසරේදී මොස්කව්හි පිහිටි උසස් ආර්ථික විද්‍යා පාසලෙන් (Higher School of Economics) ලෝක ආර්ථිකය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය. එම වසරේදීම ඔහු නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ කෙටිකාලීන පුහුණුවකට ද සහභාගි විය.

වර්තමානයේ ෆර්හාඩ් ඉබ්‍රාහිමොව් රුසියාවේ මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ (Peoples’ Friendship University of Russia – RUDN) ආර්ථික විද්‍යා පීඨයේ දේශකයෙකු ලෙස කටයුතු කරයි. ඊට අමතරව, රුසියානු ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක රාජ්‍ය පරිපාලන හා සිවිල් සේවා ඇකඩමියේ (RANEPA) රාජ්‍ය පරිපාලන හා සිවිල් සේවා ආයතනයේ සහ උසස් ආර්ථික විද්‍යා පාසලේ ආරාධිත දේශකයෙකු ලෙස ද සේවය කරයි.

ඔහු මැදපෙරදිග අධ්‍යයන මධ්‍යස්ථානයේ විශේෂඥයෙකු වන අතර, රුසියානු රූපවාහිනී නාලිකාවල නිරන්තරයෙන් දේශපාලන විවරණ ඉදිරිපත් කරන අතරම, ජාත්‍යන්තර විකාශන මාධ්‍ය වේදිකාවල ද නිරන්තරයෙන් පෙනී සිටියි.

සම්බන්ධිත පුවත් | Related News

එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.
ලංකාවේ වරාය ක්ෂේත්‍රයේ සහ ආර්ථිකයේ ඉදිරි ගමන තීරණය කිරීමට තිබූ රුපියල් බිලියන 129.6 ක (ඇමරිකානු ඩොලර් මිලියන 392 ක) දැවැන්තම ඒකාබද්ධ සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතියෙන් (SACLH) චීන රජයට අයත් China Merchants Port Holdings (CMPort) සමාගම නිල වශයෙන් ඉවත් වෙලා ඉවරයි..
ශ්‍රී ලංකාවේ භික්ෂුවක් සමාජ දේශපාලන ප්‍රශ්නයක් ගැන ආවේගයෙන් කතා කළහොත් මෙරට නිරාගමිකයන් සියල්ලෝ වහ වහා සැදැහැවත් බෞද්ධයන් බවට පත් වී බෞද්ධ පිළිවෙත් රැකිය යුතු ආකාරය ගැන, සිල්වත් වී බවුන් වැඩිය යුතු ආකාරය ගැන භික්ෂූන්ට උපදෙස් සපයති.
අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ප්‍රධාන පුවත්

අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක්..

අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්..

මහා සංඝරත්නයට සහ පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ රැඳී සිටීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ තහනම් නියෝගයට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතාඅභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර තිබේ.

සෞදියේ තෙල් සහ ගුවන් පහසුකම් ඉලක්ක කරමින් හූතිවරුන්ගෙන් අඛණ්ඩ ප්‍රහාර.. – රියාද් පාලනයට එල්ලවන පීඩනය තීව්‍ර වෙයි..

විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.

වෛද්‍ය ස්ථාන මාරු ප්‍රමාදයෙන් පර්යන්ත රෝහල් සේවා බිඳවැටීමේ අවදානමක්.. - GMOA අනතුරු අඟවයි..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පෙන්වා දී ඇති පරිදි, වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් මෙන්ම අක්‍රමිකතා හේතුවෙන් පර්යන්ත රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකවල සේවා බිඳවැටීමේ දැඩි අවදානමක් මතුව තිබේ.

සටන අත්හරින්නේ නෑ.. - පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමි..

කොට්ටේ ක්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ සමස්ත බෞද්ධ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ගත් වගකීම අත් නොහරින බව එහි අනුනායක කොටපිටියේ රාහුල නාහිමියෝ පැවැසූහ.

හදිසි විදුලි බිඳවැටීමෙන් ආර්ථිකයට රුපියල් කෝටි 400ක අලාභයක්.. - චම්පික රණවක හෙළිකරයි..

පසුගිය 17 වැනිදා දිවයින පුරා ඇති වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් මෙරට ආර්ථිකයට රුපියල් කෝටි 400 ඉක්මවන දැවැන්ත අලාභයක් සිදුව ඇති බව හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

ඇමෙරිකාව කියුබාවට පනවා ඇති ආර්ථික සම්බාධක වහාම ඉවත් කළ යුතුයි.. – රුසියානු ෆෙඩරේෂනයෙන් දැඩි ප්‍රකාශයක්..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඔබ නිසා ඔබේ ජාතික අනන්‍යතාව අහිමි වෙමින් පවතීද?..

අපට අභිමානවත් අතීතයක් තිබුණි. ආක්‍රමණ, යටත් කරගැනීම් සහ විදේශීය පාලනයන් හමුවේ වුවද ඒ අභිමානවත් අතීතය නොනැසී පැවතුණි. විස්මයජනක පුරාවිද්‍යාත්මක ස්මාරක, ලොව පුරා ප්‍රසිද්ධ වාරිමාර්ග නිර්මාණ, අත්කම් කර්මාන්ත, භාෂාවක් සහ සංස්කෘතියක් වසර 2600කට අධික කාලයක් පුරා අපේ භූමිය තුළ විකාශනය විය.

ආණ්ඩුව කළේ ඥානසාර හිමියන්ගෙන් පෞද්ගලික පළිගැනීමක්.. – මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති දඬුවම සහ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය මුල් කරගනිමින් සමස්ත සංඝයා වහන්සේට සහ බෞද්ධ ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් පවසති.

ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක්.. – නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

ජාතිවාදය සහ ජාතිකත්වය යනු කුමක්ද යන්න පිළිබඳව සමාජය තුළ මේ වන විට මතුව ඇති කතිකාව අතරතුර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම දේශහිතෛෂී ජාතික සටනකට අත්‍යවශ්‍ය උත්තේජකයක් බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ නායක, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා ප්‍රකාශ කරයි.

SJB ඇතුලේ සැර වාද විවාද.. නායකත්වයේ තීන්දු ගැනත් මතභේද..

රටේ පවතින අර්බුද හමුවේ විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් කර ගනිමින් පුළුල් පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට සමගි ජන බලවේගයේ නායකත්වය අපොහොසත් වීම සහ පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ගත් ඒකපාර්ශ්වික තීරණය මුල් කරගනිමින් පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වේ.

භික්‍ෂු සත්‍යග්‍රහයට පහර දීමක්..?

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වෙන සත්‍යග්‍රහයේ නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පොලිස් ප්‍රහාරයකට ලක්වූ බවට චෝදනා කරමින් හදිසියේ රෝහල්ගත කර තිබේ.

ඩොන්බාස් කලාපයේ යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් රුසියානු හමුදා පාලනයට යටත් වෙයි – රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය

ඩොන්බාස් කලාපයේ පිහිටි යුක්රේන හමුදාවේ ප්‍රධාන බලකොටුවක් වන ඩොබ්‍රොපිලියේ (Dobropolye ) බලය රුසියානු හමුදා අත්පත් කරගෙන ඇති බව රුසියානු සන්නද්ධ හමුදාවල ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී වැලරි ගෙරසිමොව් (Valery Gerasimov) ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත වාර්තා කර තිබේ.

නොරොච්චෝල සම්පූර්ණයෙන්ම නවතී..

දිවයින පුරා හදිසියේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමත් සමඟ නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාත්මක වූ විදුලි ජනන ඒකක තුනම මුළුමනින්ම අක්‍රිය වී ඇති බව බලාගාර කළමනාකාරීත්වය තහවුරු කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.