ධර්ම සංගායනාවක්..
ඊයේ දින මෙරට බෞද්ධයන්ට ඉතා ම කණගාටුදායක දිනයකි. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ භික්ෂූන් වහන්සේලා පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වූ පුවත අසන්නට ලැබුනේ ඊයේ උදෑසනයි. චීවරධාරී ආදී විවිධ නම්වලින් හැදින්වුව ද එම පිරිස භික්ෂූන් වහන්සේලා ලෙස කටයුතු කළ බව දැනට ලැබී ඇති තොරතුරුවලින් පෙනී යයි.
මේ තරුණ භික්ෂූන් වහන්සේලා ඈත දුරබැහැර ගම්පළාත්වල අහිංසක දෙමාපියන්ගේ දරුවන් බවට සැක නැත. උන්වහන්සේලා දැනුවත්ව හෝ නොදැනුවත්ව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කරගෙන ඇත. කවුරුන් හෝ උන් වහන්සේලාව කඩේ යවා ඇති බව පැහැදිලි ය. මේ සමගම සකල විධ බෞද්ධ විරෝධීන් ප්‍රීති ප්‍රමෝදයට පත්ව ඇති බව සමාජ මාධ්‍යවල ඔවුන්ගේ පළ කිරීම් මගින් පෙනෙන්නට තිබේ.
තරුණ භික්ෂූන් වහන්සේලා ජාවාරම්වලට සම්බන්ධ කරගත්, කඩේ යැවූ පළමු පිරිස මත්ද්‍රව්‍ය වෙළෙන්දන් නොවේ. උන්වහන්සේලා වසර පනහකට වැඩි කාලයක් දේශපාලන ජාවාරමේ ඉත්තන්, ගොදුරු බවට පත් වූහ.
විවිධ දේශපාලන පක්ෂ සමඟ භික්ෂූන් වහන්සේලා ආරම්භයේ සිට සබඳතා පැවැත්වුව ද “අබෞද්ධ" කටයුතු වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා පූර්ණකාලීනව යොදාගත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. අද ඔවුන් හා තරගයට මෙන් පෙරටුගාමී පක්ෂය ද එය සිදු කරයි. ජාතික හෙළ උරුමය ද 2004 වසරේ භික්ෂුන් වහන්සේලා ඍජු දේශපාලනය සඳහා යොදා ගත්හ. උන් වහන්සේලා බහුතරයකගේ තිබුනේ රට දැය සමය රැක ගැනීමේ අරමුණක් වුව අපි ඒ අවස්ථාවේ දී ද මහා සංඝ රත්නය ජන්දය ඉල්ලීමෙන් සිදුවන අගතිය පෙන්වා දී ඊට එරෙහිව පෙනී සිටියෙමු. රට දැය සමය සුරැකීමට ගිහියන් යොමු කිරීමේ අනුලංඝනීය ඓතිහාසික අයිතියක්, උරුමයක් සිංහල භික්ෂුන්වහන්සේලාට තිබුණ ද ජන්දය ඉලීම මගින් සිදුවන්නේ අවැඩක් බව අපි පෙන්වා දුන්නෙමු.
ඊනියා මාක්ස්වාදී දේශපාලන ව්‍යාපාර තරම් පසුගිය සියවසේ මේ රටේ සම්බුද්ධ ශාසනයේ පැවැත්මට, භික්ෂු ශාසනයේ පරිහානියට දායක වූ තවත් යමක් නැත. ලජ්ජා බය නැති, දෘෂ්ටියෙන් අබෞද්ධ, චීවරධාරීන් නිර්මාණය කිරීමේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ භාර ගත යුතුය. ලජ්ජා බය නැති වූ පසු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පමණක් නොව ඕනෑම කෙනකුට සම වයසේ ගිහියකුට තරම්වත් සමාජ අත්දැකීම් නැති තරුණ භික්ෂුන් වහන්සේලා කඩේ යවා ගත හැකි ය.
උච්ඡේදවාදී නියත මිථ්‍යා දෘෂ්ටියක් වෙනුවෙන් තරුණ භික්ෂූන් වහන්සේලා විශ්ව විද්‍යාල තුළදී මොළ ශෝධනයට ලක්කර එම පක්ෂවල පූර්ණ කාලිකයන් ලෙස යොදා ගැණිනි. විශ්ව විද්‍යාලයට පැමිණෙන ගැමි අහිංසක භික්ෂූන් වහන්සේලා බහුතරයක් ජ්‍යෙෂ්ඨ මාක්ස්වාදීන්ගේ බලපෑම අනුදැනුම පිට මුලින්ම බුදුරජාණන් වහන්සේටත් පසුව ගුරු හාමුදුරුවන්ටත් අපහාස කර වැඩ කටයුතු අරඹති. ඒ සිදුවන්නේ නවක වදය මුවාවෙනි. එහි දී කෝටියක් සංවර සීලය රැකීම කෙසේ වෙතත් පංචශීලය කැඩීම පවා වීරත්වයෙන් හුවා දැක්වෙයි. අවසානයේ රැවුල් වවාගත්, රතු පැහැ සිවුරු දරන ගිහියකුගේ ශීලයවත් නැති, හුදු දේශපාලන සත්වයෙක් නිර්මාණය වෙයි (විශ්ව විද්‍යාල පද්ධතිය තුළ වසර විස්සකට ආසන්න කාලයක් ගැවසුණු මට ඒ පිළිබඳ උදාහරණ අත්දැකීම් සිය ගණනක් ඉදිරිපත් කළ හැකි වුව ද ඒ ගැන සවිස්තර ව කතා කිරීමට මේ සුදුසු අවස්ථාව යැයි නොසිතමි. පෞද්ගලිකව බැලුවහොත් මාගේ අදහස් වලට සහ වැඩ කටයුතුවලට වැඩියෙන්ම පහර දෙන්නන් අතර ජනතා විමුක්ති පෙරමුණට සහ පෙරටුගාමී පක්ෂයට සම්බන්ධ ස්වාමීන් වහන්සේ කිහිප නමක් සිටිති. ඔවුහු මා ජාතිවාදියෙකු සහ ආගම්වාදියෙකු ලෙස හඳුන්වති).
ඒ සමගම පාරමී, උප පාරමී හෝ පරමත්ථ පාරමී පුරමින් සසර කෙටි කරගන්නා නිවන් මග වෙනුවට මෙලෝ පරලෝ දියුණුවක් නැති මිත්‍යාදෘෂ්ටික දහමක් මත පදනම් වෙමින් සමානාත්මතාව, පංති විරහිත සමාජය, නිර්ධන පන්ති රාජ්‍යය, නිර්ප්‍රභූ පාලනය පිහිටුවීමේ මඟට උන්වහන්සේලා පිවිසෙති. සිවුර වෙස්වලා ගැනීමේ ආභරණයක් පමණක් බවට පත්වේ. අවසානයේ ඒ බහුතරයක් උපැවිදි වී ධනපති මග සොයා යති.
පසුගිය අඩ සියවස තුල මෙරට සරසවි අධ්‍යාපනය ලැබූ භික්ෂුන් වහන්සේලා අති බහුතරය උපැවිදි වූහ. ශ්‍රද්ධා,වීර්යය, සති, සමාධි, පඤ්ඤා වැඩි දියුණු කරගත් සුපේශල ශික්ෂාකාමී, විනයධර, ධර්මධර භික්ෂුන්වහන්සේලා කී නමක් මෙරට සරසවි තුළින් පිට වී ඇති ද?
ඊයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම සඳහන් කර ඇත්තේ මීට පෙර භික්ෂු වහන්සේ නමක් විදේශගත වීමට නම් තම ගුරු ස්වාමීන් වහන්සේගේ සහ අදාල නිකායේ මහ නායක ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතුව බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ ද ලිපියක් ලබා ගැනීමට අවශ්‍ය වූ බවයි. එම අවශ්‍යතාව මෑතකදී ඉවත් කළ බවක් ද සඳහන් විය. එය එසේ සිදු වී නම් සාමාන්‍ය පෙළ කළ දරුවන්ට රුපියල් 5000ක් ලබා දී විනෝද වීමට අවස්ථාව ලබා දීමේ යෝජනාව හා සමගාමීව සිදුවූවක් ද යන්න සොයා බැලීම වටී.
ඊයේ සිදු වූ සිද්ධියෙන් මෙන්ම පසුගිය වසර පනහක කාලය තුළ “අබෞද්ධ" ක්‍රියාකාරකම්වල නියැලෙන දේශපාලන භික්ෂූන් වහන්සේලා බිහි කිරීම මගින් ද යළි යළිත් අපට බල කරන්නේ, අවධාරණය කරන්නේ ධර්ම සංගායනාවක අවශ්‍යතාවයි. කාලාශෝක රජුගේ අනුග්‍රහයෙන් විශාලා මහනුවර වාලුකරාමයේ දී පැවති ධර්ම සංගායනාවත්, දෙවන පරාක්‍රමබාහු රජුගේ අනුග්‍රහයෙන් ශ්‍රී විජයසුන්දරාරාමයේ දී පැවති දඹදෙණි කතිකාවතත් මේ සඳහා ගුරු කර ගත හැකි යැයි සිතමි.
ඉදිරි දශකයක කාලය තුළ ඒ ඉලක්කය සපුරා ගැනීමට මෙරට ගිහි බෞද්ධ සමාජයට සැලසුමක් තිබිය යුතු ය. නොඑසේනම් අපට සිදුවන්නේ හාමුදුරුවන් මෙහෙම කරලා, අරම කරලා, අරක ලීක් වෙලා, මේක ලීක් වෙලා යැයි පවසන පවසන වාරයට හූල්ල හූල්ලා සිටීමටයි.
- ආචාර්ය චන්න ජයසුමන
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්