News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවේ අධ්‍යාපනය කියන තරම්ම නරකද? ප්‍රතිසංස්කරණවලින් ඇත්තටම වෙන්නේ හොඳක්ද?

Dec 30, 2025 at 01:42 PM
|

👉 අධ්‍යාපන ඇමතිතුමිය කියන විදිහට ලංකාවේ පවතින විභාග කේන්ද්රීය අධ්‍යාපන නිසා විශාල පීඩනයක් දරුවන් මත පැටවිලා තියෙනවා, ඒ පීඩනය දුරු කිරීම තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්රධාන අරමුණ. ඇත්තෙන්ම මේ ආණ්ඩුවේ අය විතරක් නෙවෙයි, මේ ප්‍රතිසංස්කරණ සඳහා මූලාරම්භය ලබා දීපු කණ්ඩායම මතු කරන ප්‍රධාන කාරණයත් ඕක තමයි. හැබැයි මේ අය අමතක කරන වැදගත් කාරණයක් තියෙනවා. ඒ තමයි ඔය කියන විභාග කේන්ද්රීය ක්රමය තමයි අපේ පවතින අධ්‍යාපන ක්රමයේ ප්රධානතම යහපත් දේ වෙන්නෙත් කියන එක. වෙන විදියකට කිව්වොත් අපේ අධ්‍යාපන ක්රමයේ තියෙන "ප්රධානතම නරක ලෙස හැදින්වෙන දේම තමයි ඒකෙ තියෙන ප්රධානතම  හොඳ දේ වෙන්නෙත්. මම මේක ටිකක් විස්තර කරන්නම්.

👉 අපේ අධ්‍යාපන ක්රමයේ තියෙන යහපත්ම ලක්ෂණය තමයි ඒ මගින් කුසලතාව සහිත සිසුන්ට ඉතාම සාධාරණ ක්‍රමවේදයක් යටතේ ඉදිරියට යන්න ඉඩ සලසලා තිබීම. ඒ කියන්නේ දෙමව්පියන්ගේ වත්පොහොසත්කම්, සමාජ දේශපාලන සබඳතා වගේ දේවල් වෙනුවට දරුවාගේ දක්ෂතාව මත ඉදිරියට යන්න අවස්ථාව සකසලා තිබීම. ඒ කියන්නේ පහේ ශිෂ්යත්වයෙන් වඩා හොඳ පාසලකට යන්න පුළුවන්.  සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළට කැමති ධාරාවක් තෝරා ගන්න පුළුවන්. උසස් පෙළින් තමන් කැමති විශ්වවිද්යාලයක කැමති පාඨමාලාවකට ඇතුළත් වෙන්න පුළුවන්. 

👉 මේ විභාග තුන අතුරිනුත් වඩාත්ම සාධාරණ විභාගය තමයි උසස් පෙළ. එතැනදී ආදි ශිෂ්‍ය පදනම, ආසන්නතාව, සහෝදර පදනම සලකන්නේ නැහැ. හමුදාවට, පොලිසියට නිල වශයෙනුත්, දොස්තරලට, විශ්වවිද්යාල ආචාර්යවරුන්ට, නඩුකාරයන්ට වගේ අයට සම්මුතියක් විදියටත් දෙන කෝටා ඇත්තෙත් නැහැ. අනික ප්‍රශ්න පත්තර හදන්නේ විධිමත්ව, රහසිගතව. හැමෝටම ලැබෙන්නේ එකම ප්‍රශ්න පත්තරයක්. ඒ වගේම කාටත් උත්තර ලියන්න වෙන්නේ සමාන වෙලාවක, සමාන තත්ත්වයන් යටතේ. ඊට පස්සේ උත්තර පත් පරීක්ෂා කරන්නේ සිසුවාගේ හිතවතෙක්වත්, තරහකාරයෙක්වත් නෙවෙයි. අඩුම තරමින් එක පළාතක ප්‍රශ්න පත්තර ඒ පළාතේ පරීක්ෂකවරුන්ට (ප්‍රදේශයේ ගුරුවරුන්ට) බලන්න දෙන්නේවත් නැහැ. ඒ නිසා අවශ්‍ය ලකුණු ලබා ගත්තොත් ළමයා කවුද? දෙමව්පියෝ කවුද? වගේ දේවල් බලන්නේ නැතිව ඒ ළමයාට හිමි ප්රතිලාභය ලැබෙනවා. කාටවත් විශේෂ උදව් නැහැ. සම්පූර්ණයෙන්ම සිසුන්ගේ දක්ෂතාව විතරයි. ජනාධිපතිගේ දරුවාට උනත් විශ්වවිද්යාලෙ යන්න නම් උසස් පෙළින් අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගත යුතුයි. ඇමතිවරුන්ගේ ලියුම්වලින් විශ්වවිද්යාලේ යන්න බැහැ. දේශපාලන බලපෑමකින් ඇතුළත් වෙන්න බැරි රාජ්‍ය අංශයේ එකම එක ආයතනය විශ්වවිද්‍යාලය විතරයි. ඒකයි මේ විභාග ක්‍රමය සාධාරණයි කියන්නේ.

👉 ශිෂ්‍යත්වය මීට තරමක් වෙනස්. හොඳ ජනප්රිය පාසලක් ලබා ගන්න පුළුවන් එකම ක්රමය ශිෂ්යත්වය නෙවෙයි. දෙමව්පියන්ගේ හැකියාව සහ ඔවුන්ගේ සමාජ හා දේශපාලන සබඳතා එතැනදී බලපානවා. නමුත් එහෙම හැකියාවක් නැති දෙමව්පියන්ට තියෙන එකම අවස්ථාව තමයි ශිෂ්යත්වය. ඇත්තටම කන්නන්ගර මහත්තයා ශිෂ්යත්වය හඳුන්වා දුන්නෙත් ඒ අරමුණට. එලීට් ඉස්කෝල ක්රමයක් ඒක. ඒ කියන්නේ පාසල් සමාන නැහැ, ධූරාවලිගතයි කියන යථාර්තය පිළිගන්නවා, ඒ නිසා කුඩා පාසල්වල දක්ෂ දරුවන්ට, මධ්ය මහා විද්යාල කියලා හඳුන්වන හොඳ ඉස්කෝලවලට යන්න අවස්ථාව දෙනවා. පස්සේ 1961 දී සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීම නිසා දුප්පත් දරුවන්ට, එයාලට කවදාවත් යන්න හිතන්නවත් බැරිව තිබුණු ආනන්ද, නාලන්ද, ධර්මරාජ, මලියදේව, රාහුල, මහින්ද, විසාකා, මහාමායා වගේ, එතෙක් පෞද්ගලිකව පැවති ඉස්කෝලවලට යන්න අවස්ථාව සැලසුණා. මේ වගේ පෞද්ගලික පාසලුත්, සියලු මහජනයාට විවෘත පොදු පද්ධතියකට එකතු වීම කියන්නේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් තබපු යෝධ පියවරක්. ඉතින් ඒවාට ඇතුළු වෙන්න තියෙන සාධාරණම ක්රමය තමයි ශිෂ්යත්වය. මේ වගේ ක්රමයක් ඕස්ට්රේලියාව, නවසීලන්තය වගේ සමාජ සාධාරණත්වය පැත්තට ලොකු බරක් දීලා තියෙන රටවලවත් නැහැ. ඒ රටවල ගොඩක් පෞද්ගලික පාසල් රජයේ පාසල්වලට වඩා කීර්තිමත් සහ වැඩි පහසුකම් තියෙනවා. ලංකාවේ ශිෂ්යත්වය වගේ විභාගයකින් ඒවාට ඇතුළත් වෙන්න බැහැ. ඒ අතින් ඉතින් කන්නන්ගර සහ සිරිමා දෙදෙනාගේ මැදිහත් වීම මත අපිට ලැබිල තියන මේ ශිෂ්‍යත්ව විභාගය ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. 

👉 සාමාන්‍ය පෙළ විභාගය තමයි උසස් පෙළට සුදුසු විෂය ධාරාවක් තෝරාගැනීම සදහා සිසුන්ගේ හැකියාව ඔප්පු කරන අවස්ථාව. ඒ වගේම ශිෂ්යත්වයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ජනප්රිය පාසලකට යන්න බැරිවුණ ළමයෙකුට සාමාන්ය පෙළ මගින් තවත් අවස්ථාවක් දෙනවා ජනප්රිය පාසලකට ඇතුළත් වෙන්න. ඒ අනුව සාමාන්ය පෙළ කියන්නෙත් දෙමව්පියන්ගේ හැකියාව වෙනුවට දරුවාගේ හැකියාව මත ඉහළට යන්න දරුවන්ට ලැබිලා තියෙන අවස්ථාවක්. 

👉 ඔය විභාග තුන කියන සැකිල්ල මත තමයි ලංකාවේ සම්පූර්ණ පාසල් අධ්‍යාපන ක්රමයම ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ඒක විභාග කේන්ද්රීයයි තමයි. අපේ අධ්‍යාපනය විභාග කේන්ද්රීය වෙලා තියෙන්නේ ඒ විභාග තියෙන නිසාම නෙවෙයි වෙනත් කරුණු දෙකක් නිසයි. ඒ තමයි විභාග සමත්වීම මගින් ලැබෙන ප්රතිලාභය ඉතා විශාල එකක් වීම සහ මේ විභාග ක්‍රමය ඉතාමත්ම සාධාරණ එකක් වීම. ඉතින් විභාගයෙන් ලැබෙන ප්රතිලාභය ඉතාමත්ම ඉහළ එකක් වෙලා, විභාගෙත් ඉතාම සාධාරණ එකක් වුණාම ඉතින් ඒ ක්රමය අනිවාර්යයෙන්ම විභාග කේන්ද්රීය වෙනවා තමයි. 

👉 දැන් අපේ අධ්‍යාපන ඇමතිතුමිය ඇතුළු ආණ්ඩුව කියනවා "මේ විභාග කේන්ද්රීය අධ්යාපන ක්‍රමය ඉතාම නරකයි. ඒ නිසා විභාග වෙනුවට අඛණ්ඩ ඇගයීම් ක්‍රමයක් හඳුන්වා දෙනවා" කියලා. ඇත්තටම මේ විභාග ක්‍රමය නරකයිද? ඒකට දෙන්න තියෙන උත්තරය තමයි, මේ ක්‍රමයේ හොඳ සහ නරක කියන දෙකම තියෙනවා කියන එක. වෙන විදියකට කියනවා නම් මේක නරකයි කියලා අහක දාන්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි, නමුත් මෙහි සමහර බරපතළ අඩුපාඩු තියෙනවා. ඒ මොනවාද කියන එක මම වෙනම ලියන්නම්. හැබැයි මේ විභාග ක්‍රමය නරකයි කියලා ඒ වෙනුවට හඳුන්වා දෙන්න යන ඔය කියන අඛණ්ඩ ඇගයීම් ක්රමය හොඳද, නරකද? ඒකට දෙන්න තියෙන උත්තරය තමයි ඒකෙ හොඳට වඩා නරක පැත්ත ගොඩක් වැඩියි කියන එක. කොටින්ම කියනවා නම් එතුමියලා මහා නරකක් කියලා අතහරින්න යන විභාග ක්රමයට වඩා අතිශයින්ම නරක ක්‍රමයක් තමයි ඒ වෙනුවට යෝජනා කර තිබෙන්නේ. තවත් විදියකට කියනවා නම් ඒකෙන් එතුමියලා හිතන කිසිම හොඳක් වෙන්නේ නැහැ. හැබැයි එතුමියලාට නොපෙනෙන විශාල විනාශයක් වෙන්න නියමිතයි. 

👉 පළමුවෙන්ම අතලොස්සක් දියුණු රටවල වගේ නොවෙයි අපේ පාසල් පන්ති කාමර ඇතුළේ මේ අඛණ්ඩ ඇගයීම් කිරිමේ ප්‍රායෝගික ගැටලු කන්දරාවක් මතු වෙනවා. ඒ වගේම මේ අඛණ්ඩ ඇගයීම් ක්රමය නිසා දරුවන් මත දැනට තිබෙන පීඩනය අඩු වෙනවා කිව්වට ඒක වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ ඒකෙ අනිත් පැත්ත. සෙමෙස්ටර් ක්‍රමය යටතේ අඛණ්ඩ ඇගයීම් ක්‍රමය හඳුන්වා දීමෙන් පස්සේ විශ්ව විද්‍යාලවලට වුණේ මොකක්ද කියල දන්නා කෙනෙකුට මේක අමුතුවෙන් තේරුම් කරන්න දෙයක් නැහැ. අඛණ්ඩ ඇගයීම් කියන්නේ හැමදාම විභාග. ශිෂ්යයාගේ ඔළුවට හැම තිස්සෙම ඒක බරක්. විෂයයන් ගණනාවක් සමාන්තරව ඉගැන්වෙන නිසා ඒ හැම එකකම ඇගයීම් අඛණ්ඩව අවුරුදු කිහිපයක් කරන්න වුණාම ඒ අවුරුදු ගණනටම කවදාවත් මානසික නිදහසක් නැහැ. නිදසුනක් විදියට දැන් ළමෙක් තුන වසරේ සිටම පහේ පන්තියේ ශිෂ්යත්වයට සූදානම් වෙන එකෙන් ඒ ළමයට ඒ අවුරුදු දෙක හමාර තුළ ඇති කරන පීඩනයට වඩා අඛණ්ඩ පීඩනයක් තුන වසරේ සිට හැමදාම ඇගයීම්වලට මුහුණ දෙද්දී ඇති වෙනවා. 

👉 නමුත් මීට වඩා ලොකුම ප්‍රශ්නය ඇති වෙන්නේ මේ විභාගයේ සාධාරණත්වය සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේ අලුත් ක්‍රමය නිශ්චිතවම වංචාවලට තෝතැන්නක් වෙනවා. මේ ගැන මම කියද්දී කෙනෙක් කිව්වා "මේක සමහර දියුණු රටවල තියෙනවානේ, ඇයි ඉතින් අපිට බැරි කියලා. සරල පිළිතුර ඉතින් අපි දියුණු නැහැනේ කියන එක. මේ සම්බන්ධ පළමු ප්රශ්නය එන්නේ ඒ අඛණ්ඩ ඇගයීම් කරන ගුරුවරයා අපක්ෂපාතීද කියන කාරණය මතයි. මේක අර විභාග අපේක්ෂකයා සහ පරීක්ෂකවරයා එකිනෙකා නොහඳුනන වර්තමාන ක්‍රමයට වඩා සහමුලින් වෙනස්. ඔය වගේ පාසල පාදක අඛණ්ඩ ඇගයීම් ක්‍රමයක් ආවොත් අදාළ ගුරුවරුන්ට කැමති, අකැමැති සිසුන් සම්බන්ධව ඒ ගුරුවරයා විශේෂ ලෙස සැලකීමට ඉඩ තියෙනවා. ලංකාව වගේ වංචා දූෂණ සහ හිතවත්කමට කරන උදව් පදව් ප්‍රචලිත සමාජයක, ඒ අඛණ්ඩ ඇගයීම් සාධාරණව වෙයි කියලා කිසිසේත්ම කියන්න බැහැ. මතක තියාගන්න දැනට යෝජනා වෙලා තියන ක්රමය යටතේ අඛණ්ඩ ඇගයීම්වලින් ශිෂ්යත්වයට ලබා දෙන ලකුණු ප්‍රමාණය සමස්ත ලකුණු ප්රමාණයෙන් 50% ක් බව. රාජකීය සහ ආනන්ද විද්යාල අතර ඇතුළත් වීමේ ලකුණු වෙනස බොහෝ විට එක ලකුණයි. රාජකීය, ආනන්ද, නාලන්ද, ඩී. එස්., තර්ස්ටන් කියන පාසල් පහම ලකුණු හය හතක පරතරයෙන් තමයි තියෙන්නේ. ඉතින් ගුරුවරයෙකුගේ මැදිහත්වීමෙන් යම් දරුවෙකුට හිමි වෙන්නේ රාජකීය විද්යාලයද නැතිනම් මහානාම හෝ ඊටත් අඩු කුඩාම ඉස්කොලයක්ද කියන එක තීරණය වෙන්න පුළුවන්. 

👉 අනිත් කාරණය තමයි මේ සමගම මේ අඛණ්ඩ ඇගයීම් වෙනත් බාහිර පාර්ශ්වයක් මගින් කර දීමේ හැකියාව. ඇත්තටම කිව්වොත් අපේ අධ්යාපන සංස්කෘතිය හැදිලා තියෙන්නේ පාසල් අධ්යාපනය සඳහා බාහිර පාර්ශ්වයක (ටියුෂන්) උදව් ගැනීම සහිතව. දැනට එහෙම ලැබෙන බාහිර උදව්ව තමයි "දරුවාව විභාගය සඳහා සූදානම් කරවීම". නමුත් විභාග ස්වරූපය නොවන අඛණ්ඩ ඇගයීම් ආවොත් අනිවාර්යයෙන්ම ඒ පැවරුම් ඒ ශිෂ්‍යයා වෙනුවෙන් කර දෙන ව්යාපාර බිහිවීම නවත්වන්න බැහැ. ඒ කියන්නේ විභාගය වෙනුවෙන් සූදානම් කරවීම වෙනුවට විභාගය කර දීමේ ක්‍රමයක් බිහි වීම අනිවාර්යයි. දැන් තියන ක්‍රමය තුළ ටියුෂන් ගුරුවරයා විභාග ශාලාවේ දොරකඩ ළඟ නතර වෙනවා නම්, අලුත් ක්‍රමය යටතේ ඔහු විභාග ශාලාව තුළටම යනවා. මෙබඳු සුළු මැදිහත්වීමකින් වුණත් ඇතිවිය හැකි අයුතු ලාභය හෝ අයුක්තිසහගත පාඩුව අති විශාලයි.  

👉 ශිෂ්යත්වයට සහ උසස් පෙළට අඛණ්ඩ ඇගයීම් ක්‍රමයක් හඳුන්වා දුන්නොත් ඒවායේ දැනට ඉතිරි වෙලා තියන සාධාරණත්වය, ගුණාත්මක බව ඉතාමත්ම දරුණු ලෙස නැති වී යාමට නියමිතයි. මම කලින් කිව්වා වගේම මේ පවත්නා විභාග ක්‍රමයේ විශාල දුර්වලතා තියෙනවා. නමුත් මේ හඳුන්වා දෙන්න යන ක්‍රමයෙන් වෙන්නේ ඒ දුර්වලතා එසේම තිබියදී ඊට වඩා විශාල අයහපතක් සහ අසාධාරණයක් සිදු වීමයි. අධ්යාපනයේ තරගකාරීත්වය හැමවිටම නරක දෙයක් නෙවෙයි. දැන් රැල්ලට වගේ ගොඩක් අය අධ්යාපනයේ තරගයට බනිනවා. හරියට ලෝකේ කොහෙවත් නැති ඉතාම නරක ක්‍රමයක් අපි මේ රටේ තියාගෙන යනවා කියලා තමයි මේ අය හිතාගෙන ඉන්නේ. ඒක වැරදියි. ලෝකේ රටවල් ගණනාවක අපිට සමාන හෝ අපිටත් වඩා ඉහළ තරගයක් තියන විභාග ක්‍රම තියනවා. දකුණු කොරියාව සහ චීනය උදාහරණ. ඒ රටවලත් තරගය තියෙන්නේ තරගය සාධාරණ නිසාත්, ඒ මගින් ලැබෙන ප්‍රතිලාභය විශාල එකක් නිසාත්. ඉතින් අපි බලන්න ඕනේ ඒ තරගකාරී ක්‍රමයේ යහපත් අංග තියාගෙනම ඒකෙ තියන අයහපත් අංග අඩු කර ගන්න. 

👉 ඒ සඳහා මගේ යම් යෝජනා තියනවා. ඒවා දෙන්න පුළුවන් සාකච්ඡාවක් සඳහා යම් ප්රවේශයක් විදියට විතරයි. අධ්යාපනය වගේ අතිශය සංකීර්ණ ක්‍රමයක් ඉස්සරහ අපි කවුරුවත් තනියෙන් බුද්ධිමත් නැහැ. අපේ හරිනි මැතිනිය ඇතුළු කණ්ඩායමේ තියෙන එක වරදක් තමයි එයාලා නිවැරදියි කියලා හිතෙන බරපතළ වැඩපිළිවෙළක ඡායාමාත්රයක් හිතේ තියාගෙන අනිත් හුදී ජනයාව "දැනුවත් කරන්න" හදන එක. මගේ අවංක අදහස කිව්වොත් එතුමියවත්, එතුමියට බුද්ධිමය මග පෙන්වීම කරලා තියන අධ්යාපන ලියවිලි දෙක (සුනිල් හෙට්ටිආරච්චි සහ ආශු මාරසිංහගේ නමින් යුත් ලියවිලි දෙක) හදලා තියන අයවත් මේ ප්‍රශ්නයේ ඇති සංකීර්ණතාව ගැන ඒ තරම් හොඳින් දැනුවත් වෙලා නැහැ. හරිනි මැතිනිය හඳුනාගෙන තිබෙන ගැටළුව සහ එය සඳහා යෝජනා කරන වැඩපිළිවෙළ මට අනුව නම් එකිනෙකට ගැළපෙන්නේ නැහැ. ඇත්තෙන්ම කිව්වොත් ගැටළුව කොහෙවත්, විසඳුම කොහෙවත්. 

👉 එම යෝජිත අධ්යාපන ප්‍රතිසංස්කරණය මේ ආණ්ඩුවේ "කාබනික මොහොත" වෙන්න හොඳටම ඉඩ තියෙනවා. අධ්යාපනය කියන්නේ මේ ආණ්ඩුව එහෙම පැටලෙන්න ඕනේ එකක් නෙවෙයි. කොටින්ම මේ ආණ්ඩුවට ඡන්දය දීපු කවුරුත් මෙයාල අධ්යාපනයේ විප්ලවීය ප්‍රතිසංස්කරණයක් කරයි කියලා බලාපොරොත්තු වුණේවත් නැහැ. කාටවත් එහෙම වුවමනාවක් තිබුනේ නැහැ. අනිත් එක අපේ රටේ අධ්යාපනය කියන්නේ ඉතාමත්ම සංකීර්ණ එකක්. ඒක නිකන් අතට අරගෙන ඇඳුමක් කණපිට (හෝ හොඳපිට) හරවනවා වගේ වෙනස් කරන්න බැහැ. 

👉 ඒ නිසා කරුණාවෙන් ඉල්ලන්නේ. මේ අධ්යාපන විකාරය කරන්න එපා. ඔයාලට මුණගැහෙන සාමාන්‍ය මිනිස්සු අනේ මැඩම් මේක නියමයි, මේක කරන්න, පිටරටවලත් මෙහෙමයි, ඔය කුහකයෝ කියන ඒවා ගණන් ගන්න එපා කියනවා තමයි. ඒ වගේම සමහර වෙලාවට මහා සංඝරත්නය පවා මේක නම් හොඳයි කියනවා තමයි. නමුත් ඒකට රැවටෙන්න එපා. මේක හොඳ නැති බව එයාලට වැටහෙන්නේ මේ ක්‍රමය යටතේ පළමු ශිෂ්ය කණ්ඩායම ශිෂ්‍යත්වය හෝ උසස් පෙළ ලියන දවසටයි. එදාට මේකට විරුද්ධව දෙමව්පියෝ සහ ශිෂ්‍යයෝ නැගිටිනවා. නැගිටිනවා කියන්නේ ආයේ ලොවෙත් නැතිවෙන්න නැගිටිනවා. ඒ නිසා මේක කරන්න එපා. කරන්නත් බැහැ. කරන්නත් එපා. 

💥 ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් විසින් ලියන ලද ලිපියක සුළු සංස්කරණයක් වන මේ සටහන එම සංවාදයේ කාලීන වැදගත්කම තකා නෙක්ස්ට් පේජ් පිටුවේ පළ කර කළ ලිපියකි.

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.