හෙළ අටුවා කියන්නේ මොනවාද?.. හෙළයෝ පිළිතුර දැනගත යුතුම ප්‍රශ්නයක්..
👉 මෙය සිංහල භාෂාව භාවිත කරන සියලුදෙනා පිළිතුර දැනගත යුතු වැදගත් ප්‍රශ්නයකි.
👉 හෙළ අටුවා යනු මුලින්ම අපේ සිංහල භාෂාවෙන් සම්පාදනය වූ පොත් ලෙස සැකෙවින් හැඳින්විය හැකිය.
👉 හෙළ යනු සිංහල යන තේරුම ඇති යෙදුමක් වන අතර, අටුවා යනු අර්ථ විවරණ යන තේරුම ඇති යෙදුමකි.
👉 ඒ අනුව හෙළ අටුවා යනු මිහිදු හිමියන් පාලි භාෂාවෙන් ලංකාවට ගෙන ආ ධර්ම කාරණාවලට සිංහල බසින් සම්පාදනය වූ අර්ථ විවරණ හෙවත් අට්ඨ කතා ලෙස හැඳින්විය හැකිය.
👉 පොත් ලෙස හැඳින්වුවද ආරම්භයේදී මේවා ග්‍රන්ථාරූඪව නොපැවති අතර, පළමුව හෙළ අටුවා සම්පාදනය වූයේ කට පාඩමින් මතක තබා ගත හැකි සූත්‍ර එකතුවක් වශයෙනි.
👉 පැරණි කාලයේ ලංකාවේ මෙන්ම ඉන්දියාවේද පැවති සම්ප්‍රදාය වූයේ කට පාඩමින් මතක තබා ගත හැකි ශ්ලෝක ආකාරයෙන් ග්‍රන්ථ සම්පාදනය කිරීමය.
👉 ඒ අනුව ආරම්භයේදී මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ හෙළ අටුවා මුලින්ම ලේඛන ගත වූයේ වළගම්බා රාජ්‍ය සමයේදීය.
👉 මීළඟට හෙළ අටුවාවල වයස ගැන සලකා බලතොත් මුලින්ම මේ කෘති සම්පාදනය වනුයේ දේවානම්පිය තිස්ස රාජ්‍ය සමයේදී, එනම් ක්‍රි.පූ. 307 - 267 අතර කාලයේය. ඒ අනුව දැනට හෙළ අටුවාවල වයස අවුරුදු 2300ක් පමණ වේ.
👉 මෙකල ශ්‍රී ලංකාවේ භාවිත වූ භාෂාව සිංහල, හෙළ, සීහළ, හෙළදිව් බස ආදී නම්වලින් හඳුන්වා ඇති අතර, පාලි බසින් ලක්දිවට ගෙන ආ ධර්ම කාරණා තේරුම් කරදීම සඳහා හෙළ බසින් හෙළ අටුවා සම්පාදනය වී තිබේ.
👉 මෙයින් අපට පැහැදිලි වන තවත් වැදගත් කාරණයක් තිබේ. එනම් ක්‍රිස්තු පූර්ව තුන් වන සියවස වන විටත්, බුදු දහමේ එන ගැඹුරු ධර්ම කාරණා විස්තර කළ හැකි භාෂාවක් ලංකාවේ පැවති බවය. එය සිංහල භාෂාවේ දියුණු බව හා ප්‍රකාශන ශක්තිය පිළිබඳ වැදගත් සාධකයකි.
👉 ලෝකයේ දැනට ශේෂව පවතින හත්දහසක් පමණ වන භාෂා අතර, මේ තරම් දීර්ඝ ඉතිහාසයක් ඇති භාෂා සියයක්වත් දක්නට නැති බව බොහෝදෙනා නොදනිති.
👉 ඒ අනුව හෙළ අටුවා ලියැවුණු යුගය පමණක් සලකා බැලුවද අපේ භාෂාවේ වයස අවුරුදු 2300ක් පමණ වන අතර, අපේ භාෂාව පිළිබඳ ඊටත් වඩා පැරණි සාධක හමුවී තිබේ.
👉 අනුරාධපුර සල්ගහවත්ත නම් ස්ථානයේ කැණීම්වලින් හමුවූ ක්‍රිස්තු පූර්ව හය වන සියවසට අයත් බ්‍රාහ්මීය අක්ෂර දැනට ලංකාවෙන් හමුවන පැරණිතම අක්ෂර සාධක වෙයි.
👉 මේ අනුව ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී එනම් අදින් අවුරුදු 2300කට පමණ පෙර මුල්ම සිංහල ග්‍රන්ථ සම්පාදනය වී තිබුණද අද වන විට මේ හෙළ අටුවා මුළුමනින්ම පාහේ අභාවයට ගොස් තිබේ.
👉 ඒ අනුව හෙළ අටුවා යනුවෙන් යමක් පැවති බව අද අපට දැනගත හැකිවී ඇත්තේ පසුකාලීනව ඒ පිළිබඳ ලියැවුණු වෙනත් පොත් තුළිනි.
👉 කාලයේ බලපෑමට අමතරව හෙළ අටුවා අභාවයට යෑමට බලපෑ තව හේතුවක් වනුයේ පස් වන සියවසේ, එනම් ක්‍රිස්තු වර්ෂ 410 - 431 අතර කාලයේ, මහානාම රජ දවස දඹදිව සිට ලංකාවට පැමිණි, බුද්ධඝෝෂ නම් භික්ෂුවක් විසින් අපේ හෙළ අටුවා නැවතත් පාළි භාෂාවට පරිවර්තනය කිරීමය.
👉 මේ කාලය වන විට ඉන්දියාවේ තිබූ බොහෝ ධර්ම ග්‍රන්ථ අභාවයට ගොස් තිබූ බැවින් උන්වහන්සේට අවශ්‍ය වූයේ ලංකාවේ ආරක්ෂා වී තිබූ ධර්ම ග්‍රන්ථ පාලි භාෂාවට පෙරලා වැඩි පිරිසකට වටහා ගත හැකි ආකාරයට සකස් කිරීම බව පැවසෙයි. ඉන්පසුව මේ පොත්වලට වැඩි අවධානයක් ලැබීමද හෙළ අටුවා අභාවයට යාමට හේතුවක් ලෙස සැලකේ.
👉 මීළඟට හෙළ අටුවා පිළිබඳ විස්තර හෙළි වන මූලාශ්‍ර මොනවාදැයි සලකා බලමු. එහිදී අපට ප්‍රධාන මූලාශ්‍ර තුනක් හමුවෙයි. ඒ සමන්තපාසාදිකාව, ධම්පිය අටුවා ගැටපදය, සාරාත්ථදීපනී යන කෘති තුනයි.
මේ අතරන් සමන්තපාසාදිකාව යනු බුද්ධඝෝෂ හිමියන් විසින් විනය පිටකයට ලියූ අටුවාවකි. දම්පිය අටුවා ගැට පදය යනු දස වැනි සියවසේ දී රචනා වූ ධර්ම ග්‍රන්ථයකි. සාරාත්ථදීපනී යනු පොළොන්නරු යුගයේ ලියැවුණු කෘතියකි.
👉 මේ අතුරෙන් අපට හෙළ අටුවා පිළිබඳ වැඩිම තොරතුරු අනාවරණය වන්නේ බුද්ධඝෝෂ හිමියන් ලියූ කෘතිවලින් වන අතර, උන්වහන්සේ විසින් හෙළ අටුවා ලෙස ගත හැකි පොත් විසි අටක පමණ නම් විවිධ තැන්වල සටහන් කර තිබේ.
👉 එහෙත් මේවා වෙන වෙනම පොත් විසි අටක් ලෙස ගත නොහැකි බවත්, ඒ ඇතැම් නාම එකම පොතට කියන පර්යාය පද බවත්, ඇතැම් නම් එකම පොතක අනු කොටස් බවත් විද්වත්හු පෙන්වා දෙති. ඒ අනුව එවැනි අවශේෂ නාම ඉවත් කළ විට බොහෝ විද්වතුන් විසින් අවිවාදයෙන් හෙළ අටුවා ලෙස පිළිගන්නා මූලික ග්‍රන්ථ තුනක් තිබේ. ඒවා නම්
1. මහා අට්ඨකතා හෙවත් මූලට්ඨකතා (මහා අටුවාව)
2. මහා පච්චරිය අට්ඨකතා හෙවත් මහා පසුරු අටුවාව
3. කුරුන්දි අට්ඨකතාව හෙවත් කුරුන්දිවෙල්ලී අට්ඨකථා
යන පොත් තුන වන අතර, මේවායින් සමස්ත ත්‍රිපිටකයේ පිටක තුනටම අර්ථ විවරණ සැපයුණු බව පැවසේ.
👉 මේ අතරින් කුරුන්දි යන නාමය බෙහෙවින් ප්‍රකට එකක් වී ඇත්තේ කුරුන්දි විහාරය පිළිබඳ කාලයක් තිස්සේ රටේ කතාබහක් ඇතිවී තිබීම නිසාය. කුරුන්දි අට්ඨකතාව දේවානම්පිය තිස්ස රජ සමයේදී කුරුන්දි විහාරයේ රචනා වූවක් ලෙස සැලකේ. එය කුරුන්දි විහාරයේ ඓතිහාසික වැදගත්කමට අදාළ තීරණාත්මක සාධකයකි.
👉 මීට අමතරව අනුරාධපුර යුගයේදී රචනා වූ ධම්පිය අටුවා ගැටපදයේ හෙළ අටුවාවල ඇතුළත්ව තිබූ පාඨ කිහිපයක්ම උපුටා දක්වා තිබේ.
👉 මේ පාඨවල භාෂා ලක්ෂණ ඒ යුගයේ ලියැවුණු සෙල්ලිපිවල භාෂා ලක්ෂණ සමඟ මනාව ගැලපෙන අතර, විල්හෙල්ම් ගයිගර් විද්වතා මේ යුගය හඳුන්වා ඇත්තේ සිංහල ප්‍රාකෘත යුගය යනුවෙනි.
👉 ඒ අනුව සිංහල ප්‍රාකෘත යුගයේ ලියවුණු සෙල්ලිපි සහ හෙළ අටුවා භාෂා ලක්ෂණ අතින් සමානකම් පෙන්වීමද හෙළ අටුවා ලියවුණේ ක්‍රිස්තු පූර්ව තුන් වන සියවස තුළ බව සනාථ කෙරෙන කරුණකි.
👉 ඉතිහාස කාරණා දැන ගැනීමට අමතරව, සිංහල භාෂාවේ වැදගත්කම ගැන බොහෝදෙනා තුළ ඇති අඩු තක්සේරුව, හීනමානය වැනි රටක් වශයෙන් අප තුළ ඇති ආකල්පමය ගැටලු නිරාකරණය කරගැනීමටද අපට මේ දැනුම වැදගත් වෙයි.
👉 භාෂාව යනු හුදු සන්නිවේදන මෙවලමකින් ඔබ්බට ගිය, ඕනෑම රටක ඉදිරි ගමන, අභිවෘද්ධිය සමඟ අනුලංඝනීය සම්බන්ධයක් සහිත මානව පැවැත්මේ අතිශය වැදගත් අංගයකි.
👉 ජනප්‍රිය මාතෘකා නොවුණද අප මේ පිළිබඳ සංවාදයක් ගොඩනැඟිය යුත්තේ ඒ නිසාය.
- ඉසුරු ප්‍රසංග
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..
ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා