ලංකාව දුප්පත් වීමට ප්‍රධාන හේතුව බණ්ඩාරනායක විසින් සිංහල රාජ්‍ය භාෂාව කිරීමද? - හීබෘ භාෂාවෙන් ඊශ්‍රායලය තම අනන්‍යතාවය හදාගත්තු හැටි මෙන්න..
ලංකාව දුප්පත් වීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ බණ්ඩාරනායක විසින් සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසාත් ඉන් පසුව පාසල්වල අධ්‍යාපන මාධ්‍යය සිංහල කිරීම නිසාත් කියලා හිතන අති විශාල පිරිසක් ලංකාවේ ඉන්නවානෙ. ඒ අය ඊශ්‍රායලය ගැන මොකද කියන්නේ?
1948 දී ඊශ්‍රායලය පිහිටුවන කොට හීබෘ කියන්නේ මල භාෂාවක්. අලුතෙන් පිහිටුවන මේ ඊශ්‍රායලයට යුරෝපය, උතුරු අප්‍රිකාව වගේ කලාපවලින් විවිධ භාෂා කතා කරන ගොඩක් දෙනා ආවනේ. ඒ අනුව ගොඩක් අය යෝජනා කළා අලුත් රටේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කරන්න කියලා. නමුත් මම අහල තියෙන විදියට ප්‍රධාන වශයෙන් බෙන් ගුරියෙන් ඇතුළු පිරිසක් තරයේ කියා සිටියා ඊශ්‍රායලයේ යුදෙව් අනන්‍යතාවය නිර්මාණය කර ගැනීම සඳහා තමන්ගේම වූ භාෂාවක් තිබිය යුතුයි කියලා. ඒ කියන්නේ එයාලගෙ සම්ප්‍රදායික භාෂාව වන හීබෘ, රාජ්‍ය භාෂාව ලෙස භාවිත කළ යුතුයි කියලා.
නමුත් යථාර්ථය තමයි ඒ වෙනකොට ප්‍රායෝගික වශයෙන් හීබෘ කියලා භාෂාවක් තිබුණෙ නැහැ. ඒක මල භාෂාවක්. නමුත් ඔවුන් කොයිතරම් ජාතිකවාදී ද සහ ඒ අතින් කොයි තරම් ශූරද සහ අධිෂ්ඨානශීලී ද කියනවා නම් ඒ වෙනකොට ලේඛනගතව ඉතිරි වෙලා තිබුණු වචන අටදාහක් පාවිච්චි කරලා වචන ලක්ෂ දෙකකද කොහෙද අලුත් භාෂාවක් බිහිකළා. එහෙම අලුත් භාෂාවක් හදලා, ඒක තමන් ඉගෙනගෙන සහ ළමයින්ට උගන්වලා අද වෙනකොට ඒක ප්‍රායෝගික වශයෙන්ම රටේ රාජ්‍ය භාෂාව බවට පත්කරගෙන තිබෙනවා. ලෝකෙ ඒ වගේ වික්‍රමයක් කරපු එකම රට තමයි ඊශ්‍රායලය.
ලංකාවේ මේ වෙනකොට ජනප්‍රිය චරිතයක් වෙලා ඉන්න යුවාල් නෝවා හරාරි එයාගේ සේපියන්ස් පොත මුලින් ලියලා තියෙන්නේ හීබෘවලින්. පස්සෙ වෙන කෙනෙකුගේ උදව්වෙන් තමයි ඒක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා තියෙන්නේ. දැනුම ගන්නවත්, දැනුම නිර්මාණය කරන්නවත්, ඒ දැනුම බෙදා හරින්නවත් ඒ යුදෙව්වන්ට තමන්ගේ රාජ්‍ය භාෂාව සහ පාසල්වල අධ්‍යාපන මාධ්‍ය භාෂාව ඉංග්‍රීසි නොවී හීබෘ වීම ප්‍රශ්නයක් වෙලා නෑ. කොටින්ම හීබෘ වලින් ලියපු ඒ පොත බෙස්ට් සෙලර් එකක් වෙලා තියෙනවා.
මේ වෙලාවේ ඊශ්‍රායලය පැත්තෙ හිටගන්න මගේ හිත දෙන්නේ නෑ. නමුත් අපේ ෆේස්බුක් ප්‍රාඥයෝ ටික කිසිම දෙයක් දන්නේ නැතිව ඔහේ බණ්ඩාරනායකට බනිනකොට ඊශ්‍රායලය සිහියට නැගෙන එක වළක්වන්නත් බෑ.
ඊශ්‍රායලය කියන්නේ මැද පෙරදිග තියෙන සුදු කොළණියක්. ඒක අද මේ තත්ත්වයෙන් තියෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ ඒ සුදු රටවල්වලින් ලැබෙන කොන්දේසි විරහිත සහයෝගය නිසා කියන එකත් බොරුවක් නෙවෙයි. නමුත් මෙලෝ දෙයක් කරගන්න බැරි දුර්වල ජාතියකට ඇමරිකාව නෙවෙයි දෙවියන් වහන්සේ උදව් කළත්, හොඳට හෝ නරකට ඊශ්‍රායලය කරන ඔය දේවල් ටිකක් කරන්න බෑ.
ඊශ්‍රායල් කාරයින්ගේ විශේෂත්වය මොකක්ද කියලාඇහුවොත් මට මතක් වෙන්නේ අයන් ඩෝම් එකවත්, කෆීර්වත්, අර කෘෂිකර්මයවත් නෙවෙයි. මැරිච්ච භාෂාවක් අලුතෙන් උපද්දවලා ඒක සමස්ත ජාතියක භාවිත භාෂාව කරපු එකයි. ඒක තමයි ආශ්චර්යය. ලෝකෙ ලේසි ජාතියක් එහෙම දෙයක් කරන්න හිතන්නෙවත් නෑ. එහෙම හිතුවත් ඒක දිගට පවත්වාගෙන යන්න අවශ්‍ය අඛණ්ඩ සාමූහික අධිෂ්ඨානය තියෙයි කියලා හිතන්නෙත් නෑ.
රටක් ජාතියක් කියලා කියන්නේ ඉඩමක පදිංචි වෙලා ඉන්න පුද්ගලයෝ ටිකක් නෙවෙයි. පුද්ගලයෝ ටික ජාතිය කියන සමූහය බවට පත්වෙන්න නම් ඒ පුද්ගලයන්ට සාමූහිකත්වය පිළිබඳ අදහසක්, ඒ සාමූහිකත්වය ගොඩනගන ගොඩනඟන අනන්‍යතා ලක්ෂණ පිළිබඳ එකඟතාවක්, ඒ අනන්‍යතා ලක්ෂණ පිළිබඳ ගෞරවාන්විත හැඟීමක් තියෙන්න ඕනේ. භාෂාව කියන්නේ ඒ අතුරින් ප්‍රධානතම එකක්. ඊශ්‍රායල් කියන්නේ ඒක හොඳින්ම තේරුම් ගත්තු රටක්.
ලංකාවේ ප්‍රශ්නය ඊශ්‍රායලයටත් වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. යුදෙව්වන්ට එකිනෙකා කතා කර ගන්න පොදු භාෂාවක් තිබුණෙ නෑ. ඒ අනුව ප්‍රායෝගිකව ඒ වෙලාවේ ඉංග්‍රීසි පාවිච්චි කරන්න හිතුවත් එතන වැරැද්දක් නැහැ. නමුත් ලංකාවේ මිනිස්සුන්ගෙන් 96% කටම ඒ කාලේ ඉංග්‍රීසි බෑ. එහෙම තියෙද්දි ප්‍රජාතන්ත්‍රවාදීම, මානුෂිකම විතරක් නෙමෙයි ප්‍රායෝගිකම දේ තමයි ස්වභාෂාවන්ට මාරු වීම. ඒක තමයි බණ්ඩාරනායක කළේ. බණ්ඩාරනායක එතනදි කරපු වැරැද්ද සිංහල සමග දෙමලත් රාජ්‍ය භාෂාව නොකිරීමයි. එහෙම නැතිව ඉංග්‍රීසි වෙනුවට ස්වභාෂාවන්ට මාරු වීම නෙවෙයි.
ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව කළා කියලා රටවල් දියුණු වෙන්නේ නෑ කියන එක කොයි තරම් උදාහරණ ගෙනල්ලා පෙන්නුවත් අපේ ගොඩක් ප්‍රාඥයන්ට ඒක වැටහෙන්නේ නෑ. රටවල් දියුණු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ආර්ථික ප්‍රතිපත්ති නිසා මිසක් ඉස්කෝලවල උගන්වන භාෂාව නිසා නෙවෙයි. අප්‍රිකාවේ ගොඩක් රටවල්වල මිනිස්සුන්ට ඉංග්‍රීසි පුළුවන්. ඒ රටවල් දියුණු වෙලා නෑ. ඒ රටවල්වල මිනිස්සු ඉංග්‍රීසියෙන් හිඟා කනවා. නැගෙනහිර හා අග්නිදිග ආසියානු කලාපයේ තියෙන ඉංග්‍රීසි බැරි චීනය, ජපානය, දකුණු කොරියාව, තායිලන්තය දියුණුවෙද්දි ඉංග්‍රීසි පුලුවන් මිනිස්සු ඉන්න පිලිපීනය ඔහේ එක තැන පල්වෙවී තියෙනවා. ඉංග්‍රීසි නිසා පිලිපීන ජාතිකයන්ට හම්බවෙලා තියෙන එකම වාසිය තමයි දියුණු රටවල්වල ශ්‍රමිකයන් විදිහට යන්න පුළුවන් වෙලා තිබීම. එච්චරයි.
මේ කියන්නේ ඉංග්‍රීසි එපා කියන එක නෙවෙයි. සිංහලෙන් හෝ දෙමළෙන් වෙනුවට ඉංග්‍රීසියෙන් ඉගැන්නුවා කියලා රට දියුණු වෙන්නේ නෑ කියන එකයි. ඉංග්‍රීසි ඉගෙන ගැනීම පෞද්ගලිකව ඉතාම ප්‍රයෝජනවත්. නමුත් රටවල් දියුණු වෙන්නේ නම් ඒවා සමූහයක් ලෙස සංවිධානය කිරීමට කොයිතරම් සමත්ද කියන කාරණයත් ඒ වගේම ඒ සමූහය අනුගමනය කරන ප්‍රතිපත්ති මොනවාද කියන කාරණයත් මතයි.
ඒ නිසා තමන්ගේ දුප්පත්කම ගැන හෝ රටේ දුප්පත්කම ගැන බණ්ඩාරනායකට බනින්න හිතෙන හැම වෙලාවකම ඊශ්‍රායලය, චීනය, ජපානය, දකුණු කොරියාව වගේ රටක් දිහා බලන්න.
(අනුරුද්ධ ප්‍රදීප් කරුණාසූරියගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්