News Category
From Date
To Date
Maximum Number of Result

අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ

Nov 13, 2026 at 12:18 PM
|

රාමායණ කෝවිලක් ඉදිකිරීමේ සැලැස්මක් ව්‍යාපෘති වාර්තාවේ තිබෙනවාද? ඉන්දීය තානාපතිට දුන් වාර්තාව රටට හෙළි කරන්න...

අනුරාධපුර බෞද්ධ පූජා භූමිය බහුආගමික ස්ථානයක් කරන්න ඉඩ දෙන්නේ නැහැ...

විජේවීරගේ පින්තූර ප්‍රදර්ශනය කරමින් ඉන්දියානු ව්‍යාප්තවාදය වැළඳගන්නා ආණ්ඩුවක්! 

– විමල්ගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්.

අනුරාධපුර ඓතිහාසික බෞද්ධ පූජා භූමිය සම්බන්ධයෙන් ආණ්ඩුව නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිටුපස ජනතාවට හෙළි නොකළ තවත් ව්‍යාපෘති සැලැස්මක් පවතින බවට සැකයක් මතුවන බවත්, එම ව්‍යාපෘතියේ සම්පූර්ණ වාර්තාව වහාම රටට හෙළි කරන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

අනුරාධපුර බෞද්ධ පූජා භූමිය බහුආගමික පූජා භූමියක් බවට පරිවර්තනය කිරීමේ උත්සාහයක් මෙම ව්‍යාපෘතිය තුළින් ක්‍රියාත්මක වන බවට සැකයක් පවතින බව පැවසූ ඒ මහතා, එහි ඉදිකිරීමට යෝජිත රාමායණ කෝවිලක් සම්බන්ධයෙන් ද ව්‍යාපෘති වාර්තාව තුළ කරුණු ඇතුළත් බවට චෝදනා කළේය.

ඉන්දීය රජයෙන් ලැබෙන බව කියන මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ වාර්තාවක් කොළඹ ඉන්දීය මහකොමසාරිස්වරයාට ලබාදී ඇති බවත්, එම වාර්තාව අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පත්කර ඇති කමිටුවේ ගිහි පැවිදි සියලු පාර්ශ්වයන් විසින් රටට හෙළි කළ යුතු බවත් විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිතව සිදුවූ සිද්ධි දාමය සහ ඊට පසුබිම් වූ කරුණු සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (13) පෙරවරුවේ බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී කැඳවමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

අනුරාධපුර පූජා භූමිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව මීට පෙර තමන් බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාට ප්‍රසිද්ධ අභියෝගයක් කළ බව පැවසූ වීරවංශ මහතා, අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින සැකසංකා දුරු කරගැනීම සඳහා විෂයභාර අමාත්‍යවරයා සමඟ විවෘත හා උසස් මට්ටමේ සංවාදයකට එළඹීමට තමන් සූදානම් බව දැනුම් දුන් බව සඳහන් කළේය. පසුගිය පෝය දිනයේදී එම ආරාධනය ප්‍රසිද්ධියේ සිදුකළ බවත්, මේ මස 08 වැනිදාට පෙර ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ස්ථාවරය ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටි බවත් ඔහු පැවසීය.

එම සංවාදය පැවැත්වීම සඳහා තමන් ඕනෑම රූපවාහිනී නාලිකාවකට පැමිණීමට සූදානම් බවත්, ආණ්ඩුවට හිතවත් නාලිකාවකදී වුවද ඒ සඳහා එකඟ බවත් සඳහන් කළ වීරවංශ මහතා, එහෙත් අමාත්‍යවරයාගෙන් කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුණු බව ප්‍රකාශ කළේය. එම සංවාදය මගහැරීමෙන් අදාළ ගැසට් නිවේදනයට එහා ගිය සැඟවුණු කතාවක් තිබෙන බවට තමන් මතු කළ සැකය තවදුරටත් තහවුරු වී ඇතැයි ද ඔහු චෝදනා කළේය.

ඔහු පෙන්වා දුන්නේ යුනෙස්කෝව විසින් ඓතිහාසික බෞද්ධ පූජා භූමියක් ලෙස හඳුන්වා ඇති අනුරාධපුර පූජා භූමිය සම්බන්ධයෙන් නිකුත් කළ නව ගැසට් නිවේදනයේදී 'බෞද්ධ' යන හැඳින්වීම ඉවත් කර ඇති බවයි.

එමෙන්ම රුවන්වැලිසෑය වටා වැටක් ඉදිකිරීම ඇතුළු තවත් වැටවල් කිහිපයක් ඉදිකිරීමේ යෝජනා ද එහි අන්තර්ගත බවත්, බෞද්ධ හා අනෙකුත් පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීමේ අරමුණින් අදාළ භූමි කලාපය විශාල කිරීමට ද යෝජනා කර ඇති බවත් ඔහු සඳහන් කළේය. මෙම භූමි කලාපය පුළුල් කිරීම අනාගතයේදී අනුරාධපුර පූජා භූමිය බහුආගමික පූජා භූමියක් ලෙස අර්ථකථනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමක් විය හැකි බවට තමන් සැක කරන බව ද ඔහු පැවසීය.

රාමායණ කෝවිලක් ඉදිකිරීමේ සැලැස්මක් තිබෙනවාද?

මෙම ගැටලුව සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා වැඩි අවධානයක් යොමු කළේ ගැසට් නිවේදනයට අමතරව සකස් කර ඇති බව කියන ව්‍යාපෘති වාර්තාව පිළිබඳවය. භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාධ්‍යයට කරුණු පැහැදිලි කළද තමන් එම නිලධාරීන් සමඟ නොව විෂයභාර අමාත්‍යවරයා සමඟ මේ පිළිබඳව සංවාදයකට එළඹීමට අභියෝග කළ බව ඔහු පැවසීය.

ගැසට් නිවේදනය පමණක් ප්‍රසිද්ධියට පත්කර තිබුණද, ඊට අදාළ සම්පූර්ණ ව්‍යාපෘති වාර්තාවක් කොළඹ සිටින ඉන්දීය තානාපතිවරයාට ලබාදී ඇති බව තමන්ට දැනගන්නට ලැබී ඇතැයි ඔහු සඳහන් කළේය. එම ව්‍යාපෘති වාර්තාව තුළ රාමායණ කෝවිලක් ඉදිකිරීමට සුදුසු කලාපය කුමක්ද යන්න සවිස්තරාත්මකව දක්වා ඇති බවට ද ඔහු චෝදනා කළේය.

දැනට පවතින හින්දු කෝවිල් දෙකෙන් එකක් රාමායණ කෝවිලක් බවට පරිවර්තනය කිරීම හෝ පෞද්ගලික ඉඩමක අලුතින් එවැනි කෝවිලක් ඉදිකිරීම යන විකල්ප දෙකක් පිළිබඳව එහි සාකච්ඡා වන බවට ද ඔහු අදහස් පළ කළේය.

මෙහිදී ඔහු අනුරාධපුර පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳව ද කරුණු දැක්වීය.

ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මී අක්ෂර සම්බන්ධයෙන් ඉන්දියාවට වඩා පැරණි සාක්ෂි අනුරාධපුර භූමියෙන් හමුවී ඇති බවත්, එම අක්ෂර ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවස දක්වා දිවෙන බව කාබන් පරීක්ෂණ මගින් තහවුරු කර ඇති බවත් ඔහු පැවසීය. එම සොයාගැනීමෙන් පසු බ්‍රාහ්මී අක්ෂරවල ආරම්භය සම්බන්ධයෙන් ඉන්දියාවට පැවැති ආධිපත්‍යය බිඳවැටුණු බව ද ඔහු ප්‍රකාශ කළේය.

අනුරාධපුර භූමිය තුළ තවමත් හඳුනා නොගත් පුරාවිද්‍යාත්මක උරුමයක් පොළොව යට සැඟවී පවතින බවත්, එම ඉතිහාසය තවදුරටත් මතු වීම වැළැක්වීමේ අවශ්‍යතාවක් ද මෙම ව්‍යාපෘතිය පිටුපස තිබිය හැකි බවට තමන් සැක කරන බවත් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සාමකාමී සත්‍යග්‍රහයට පහරදීම ගැන ආණ්ඩුවට චෝදනා

අනුරාධපුර පූජා භූමිය සම්බන්ධයෙන් මතුව ඇති විරෝධය හමුවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පස්නමක් සහ ගිහි බෞද්ධයන් පිරිසක් එක්ව සාමකාමී සත්‍යග්‍රහයක් ආරම්භ කර පසුව මාරාන්තික උපවාසයක් දක්වා එය ගෙන ගිය බව පැවසූ වීරවංශ මහතා, එම විරෝධතාව කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකින් තොරව සිදුකළ එකක් බව අවධාරණය කළේය.

එම පිරිස තමන් දරන මතය සාමකාමීව ප්‍රකාශ කිරීම සඳහා තිබෙන අයිතිය භාවිත කළ බවත්, ඊට ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූයේ අධිකරණ නියෝග ලබාගැනීමෙන් බවත් ඔහු පැවසීය. එම සත්‍යග්‍රහය ආරම්භ කර තිබුණේ පූජා භූමියේ දන්සැල් පවත්වන කලාපයේ බවත්, එය සාමාන්‍ය ජනතාව ගමන් කරන බස් නැවතුම්පොළක් හෝ රාජ්‍ය කාර්යාලයක් ඉදිරිපිට පිහිටි ස්ථානයක් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එවැනි ස්ථානයක සාමකාමීව විරෝධය පළ කරන භික්ෂූන් වහන්සේලාට එරෙහිව අධිකරණ නියෝග ලබාගැනීමෙන් රටේ ජනතාවට තම විරෝධය සාමකාමීව ප්‍රකාශ කිරීමට ඇති මූලික අයිතිවාසිකමට කුමක් සිදුවන්නේදැයි ඔහු ප්‍රශ්න කළේය. අධිකරණ නියෝග හමුවේ සත්‍යග්‍රහය පවත්වාගෙන යාමට නොහැකි වූ පසු ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පිරිසක් එක්තරා භික්ෂු වේශධාරියකු ද සමඟ එම ස්ථානයට පැමිණි බවට ඔහු චෝදනා කළේය.

එහිදී සාමකාමී සත්‍යග්‍රහයේ නිරතව සිටි භික්ෂූන් වහන්සේලාට සහ ගිහි පිරිසට පහරදීම් සිදුකළ බවත්, පොලිසිය ඒ දෙස බලා සිටි බවත් ඔහු පැවසීය. මෙම සිදුවීමේදී පොලිසියේ හැසිරීම දැඩි ලෙස විවේචනය කළ වීරවංශ මහතා, ආණ්ඩුවට අවශ්‍ය නීති විරෝධී ක්‍රියාවන් සඳහා පොලිස් දෙපාර්තමේන්තුව යොදාගන්නා බවට චෝදනා කළේය.

එමෙන්ම අනුරාධපුර පූජා භූමිය තුළ සිදුවූ බව කියන පහරදීම් සහ බුදු පිළිමයක් රැගෙන යාමේ සිදුවීම ද ඔහු සිය විවේචනයට ඇතුළත් කළේය. භික්ෂූන් වහන්සේලා ඉදිරිපත් කළ මතය සමඟ යම් පාර්ශ්වයක් එකඟ නොවිය හැකි නමුත්, එම මතය සාමකාමීව ඉදිරිපත් කිරීමේ අයිතියට පහරදීමට කිසිවකුට අයිතියක් නැති බව ඔහු අවධාරණය කළේය.

තමන්ගේ ආණ්ඩුවට හිතකර නොවන මතයක් ඉදිරිපත් කළ පමණින් මැර කණ්ඩායම් යොදාගෙන විරෝධතාකරුවන්ට පහරදීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ද ඔහු සඳහන් කළේය.

මහානායක හිමිවරුන්ට විමල්ගෙන් විශේෂ ඉල්ලීමක්

මෙම සිදුවීම් සම්බන්ධයෙන් මෙරට මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය විශේෂ වගකීමක් භාරගත යුතු බව ද විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය. බෞද්ධ ජනතාව තුළ අනුරාධපුර පූජා භූමිය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන සංවේදීතාව, වේදනාව සහ විරෝධය නිසි ආකාරයෙන් ප්‍රකාශයට පත්කිරීමට මඟපෙන්වීම මහානායක ස්වාමීන් වහන්සේලාගේ වගකීමක් බව ඔහු පැවසීය.

එමෙන්ම ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් සිය බලපෑම යොදාගත යුතු බවත්, එසේ නොවුණහොත් ජනතාව තුළ ඇතිවන විරෝධය වඩාත් අසංවිධානාත්මක ආකාරයෙන් පිටවීම වැළැක්විය නොහැකි බවත් ඔහු අනතුරු ඇඟවීය. ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය ඉදිරියේදී ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීම සඳහා සකස් කරන නව මර්දනකාරී නීති සමඟ සම්බන්ධ විය හැකි බවට ද ඔහු සැක පළ කළේය.

බුද්ධ චීවරයට පහරදීම පවා ගැටලුවක් නොවන ආකාරයේ අන්ත භෞතිකවාදී දේශපාලන කල්ලියක් ආණ්ඩුව මෙහෙයවන බවට චෝදනා කළ ඔහු, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ කිසිදු ආගමික සංකේතයක් නොමැති බව ද විවේචනාත්මකව සඳහන් කළේය. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් මෙරට භික්ෂූන් වහන්සේලාට නිදහසේ වැඩවාසය කිරීමට ඇති අයිතිය පවා අහිමි වන තත්ත්වයක් ඇතිවිය හැකි බව ද ඔහු පැවසීය.

මෙය එළාරගේ වර්තමාන ආත්මය යළි ඉපදීමක් වැනි තත්ත්වයක් ලෙස හැඳින්වූ වීරවංශ මහතා, මෙම ගැටලුවට මුහුණදීම සඳහා මහා සංඝරත්නය පෙරමුණ ගත යුතු බව අවධාරණය කළේය. ජාතික නිදහස් පෙරමුණ ලෙස එම ජාතික හා ශාසනික අරගලයට උපරිම කැපවීම සහ නායකත්වය ලබාදීමට සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළේය.

විජේවීරගේ පින්තූර ගහගෙන ඉන්දියානු ව්‍යාප්තවාදය වැළඳගන්නවා

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ දේශපාලන උරුමය මේ අය යොදාගැනීම සම්බන්ධයෙන් ද දැඩි විවේචනයක් එල්ල කළේය.

නොවැම්බර් 13 වැනිදාට යෙදී ඇති විජේවීර මහතාගේ සැමරුම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඡායාරූප සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ, අද එම දේශපාලන ව්‍යාපාරය අනුගමනය කරන ප්‍රතිපත්ති විජේවීර මහතාගේ දේශපාලන දර්ශනයට සම්පූර්ණයෙන්ම පටහැනි බවයි. ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව රටට දේශපාලන පාඩම් කියාදුන් විජේවීර මහතාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින්, ඉන්දියාව සමඟ සමීප සබඳතා පවත්වාගෙන යන ආණ්ඩුවක් ක්‍රියාත්මක වීම බරපතළ පරස්පරතාවක් බව ඔහු පැවසීය.

ඉන්දියාව සමඟ ගිවිසුම් හතක් අත්සන් කර ඇති නමුත් එම ගිවිසුම් කිසිවක් රටේ ජනතාවට ප්‍රසිද්ධ කර නොමැති බවට ද ඔහු චෝදනා කළේය. ඉන්දියානු ඖෂධ සඳහා ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ විවෘත කිරීම සහ ඉන්දියානු ෆාමකොපියා ඖෂධ ප්‍රමිතිය මෙරටට නීත්‍යනුකූලව හඳුන්වාදීම සම්බන්ධයෙන් ද ඔහු ආණ්ඩුව විවේචනය කළේය.

මෙරට ඖෂධ ප්‍රමිතිය බරපතළ ලෙස පිරිහී ඇති බවට චෝදනා කළ වීරවංශ මහතා, එවැනි ක්‍රියාමාර්ග ගන්නා දේශපාලන ව්‍යාපාරයකට සමාජවාදය හෝ සැබෑ දේශප්‍රේමීත්වය සම්බන්ධයෙන් කතා කිරීමට අයිතියක් නැති බව පැවසීය.

වෙනිසියුලාවේ හියුගෝ චාවේස්ගේ දේශපාලන උරුමය සම්බන්ධයෙන් ද උදාහරණයක් ඉදිරිපත් කළ ඔහු, චාවේස්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන අතරම ඔහුගේ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කරන දේශපාලන නායකත්වයක් එරට තුළ ඇතිවී තිබෙන බව සඳහන් කළේය. ඡායාරූප ප්‍රදර්ශනය කිරීමෙන් පමණක් දේශපාලන උරුමයක් ආරක්ෂා නොවන බවත්, එම උරුමයේ ප්‍රතිපත්ති සහ දර්ශනය ක්‍රියාවෙන් ආරක්ෂා කළ යුතු බවත් ඔහු පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ අද අනුගමනය කරන්නේ වාම ලිබරල්වාදයක් මිස රෝහණ විජේවීරගේ දේශපාලන දර්ශනය නොවන බවත්, ඔවුන් සිදුකරන්නේ විජේවීර සැමරීමක් නොව ඔහුගේ දේශපාලන දර්ශනය පාවාදීමක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ළමා වැඩසටහනක ජනාධිපතිවරයාට එල්ල වූ විවේචනය ගැනත් අදහස් දක්වයි

ළමයින් සහභාගි කරගනිමින් පවත්වන රූපවාහිනී වැඩසටහන් සම්බන්ධයෙන් ද මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා විවේචනය කළේය. මීට පෙර ළමයින් සහභාගි වූ වැඩසටහන්වලදී හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් ද අපහාසාත්මක ලෙස සැලකිය හැකි ප්‍රකාශ සිදුවී තිබුණද, ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය මාධ්‍යයට කැඳවා තර්ජනාත්මක ප්‍රකාශ සිදු නොකළ බව ඔහු පැවසීය.

ජනාධිපතිවරයකු ලෙස කටයුතු කළ යුත්තේ විවේචන ඉවසීමේ හැකියාවෙන් යුතුව බව සඳහන් කළ ඔහු, කුඩා දරුවකු ජනාධිපතිවරයා පිළිබඳව බොරු කියනවා යැයි ප්‍රකාශ කිරීමෙන් පවා ආණ්ඩුව කලබල වන බවට චෝදනා කළේය. ඊට හේතුව ආණ්ඩුවේ දේශපාලන පැවැත්ම බොරුව මත රඳා පවතින නිසා බව ද ඔහු ප්‍රකාශ කළේය.

අයවැයෙන් යෝජනා කළ 170කට වැඩි ප්‍රමාණයක් ඉටු කර නැහැ

මෙවර අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වීරවංශ මහතා කියා සිටියේ අයවැයෙන් ඉදිරිපත් කරන පොරොන්දු පිළිබඳ සැබෑ තක්සේරුවක් කළ හැක්කේ වසර අවසානයේදී බවයි. පසුගිය වසරේ අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා අතරින් 170කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කර නොමැති බවට චෝදනා කළ ඔහු, ඒවා ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් 'දිට්වා' සුළි කුණාටුව හේතුවක් ලෙස ඉදිරිපත් කරමින් ආණ්ඩුව කරුණු මගහැර ඇති බව පැවසීය.

අයවැය යෝජනා එකක් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, ගැසට් නිවේදන කිහිපයක් නිකුත් කිරීමෙන් වුවද එවැනි කටයුතු කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.

අයවැයෙන් මුදල් වෙන් කළද එම මුදල්වලින් සියයට 13ක් පමණක් වැය වන බවට ද ඔහු චෝදනා කළේය. ඉතිරි මුදල් නැවත භාණ්ඩාගාරයට යන බවත්, එය භාණ්ඩාගාරයේ මුදල් ඉතිරි වීමක් ලෙස පෙන්වා ජනතාව සතුටු කිරීමට උත්සාහ කරන බවත් ඔහු පැවසීය. රටේ සැබෑ සංවර්ධනයක් සිදුවන්නේ නම් තමන් ඊට විරුද්ධ නොවන බව අවධාරණය කළ ඔහු, එවැනි සංවර්ධනයක් සිදුවන්නේ නම් එය පිළිගැනීමට තමන් සූදානම් බව ද ප්‍රකාශ කළේය.

මෙහිදී අයවැයේ උපායමාර්ගික වෙනසක් නොමැති බවට ද ඔහු විවේචනයක් එල්ල කළේය. සංචාරකයන්ගේ පැමිණීම, විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් එවන ප්‍රේෂණ, ගුවන් ගමන් සහ ජාත්‍යන්තර සැපයුම් දාමය මත රටේ විදේශ විනිමය ආදායම විශාල වශයෙන් රඳා පවතින බව පැවසූ ඔහු, මැදපෙරදිග යුද්ධයක් හෝ ජාත්‍යන්තර අර්බුදයක් ඇති වුවහොත් ඊට මුහුණදීම සඳහා විකල්ප ආර්ථික සැලැස්මක් අයවැයෙන් ඉදිරිපත් කර නොමැති බව පැවසීය.

විදේශ රැකියාවලින් උපයන මුදල් මාස තුනක් ඇතුළත රටට ගෙන්වා ගැනීම සහතික කළ හැකි නීතිමය වෙනස්කම් හෝ වෙනත් උපායමාර්ගික ක්‍රියාමාර්ග අයවැයෙන් ඉදිරිපත් කර නොමැති බව ද ඔහුගේ විවේචනය විය.

බත් කන ප්‍රමාණය අඩු කරන්න කියන්නේ වී නිෂ්පාදනයේ අර්බුදය නිසයි

රාජ්‍ය සේවකයන් බත් කන ප්‍රමාණය තුනෙන් දෙකකින් අඩු කළ යුතු බවට කෘෂිකර්ම අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් වීරවංශ මහතා, එවැනි ඉල්ලීමක් කිරීමට සිදුවී ඇත්තේ රටේ වී නිෂ්පාදනය අර්බුදයකට මුහුණදී ඇති නිසා බව පැවසීය.

රටට අවශ්‍ය සහල් සැපයීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති නිසා ජනතාවගෙන් බත් කන ප්‍රමාණය අඩු කරන ලෙස ඉල්ලා සිටින බවට ඔහු චෝදනා කළේය. බත්වලින් නොලැබෙන පෝෂ්‍ය පදාර්ථ වෙනත් පානයකින් ලබාගැනීමට ඇතැමුන්ට හැකි වුවද, රටේ සියලු ජනතාවට එවැනි විකල්ප භාවිත කළ නොහැකි බව ද ඔහු පැවසීය.

අනුරාධපුර පූජා භූමිය සම්බන්ධ ව්‍යාපෘති වාර්තාව හෙළි කරන්න

අනුරාධපුර පූජා භූමිය ආරක්ෂා කිරීම සඳහා අටමස්ථානාධිපති හිමියන් ඇතුළු පාර්ශ්වයන්ගෙන් සමන්විත මණ්ඩලයක් පිහිටුවා ඇති බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද වීරවංශ මහතා අදහස් දැක්වීය. තමන් ඇතුළු විවිධ පාර්ශ්වයන් මෙම ව්‍යාපෘතිය පිළිබඳව බරපතළ විවේචන ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ මණ්ඩලය පිහිටුවා ඇති බව පැවසූ ඔහු, එහි සිටින නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ ව්‍යාපෘතියේ සම්පූර්ණ වාර්තාව ජනතාවට ඉදිරිපත් කරන ලෙසයි.

ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ ව්‍යාපෘතියට අදාළ සියලු වියදම් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු නොවන බවත්, ඉන්දියාවෙන් ලැබෙන බව කියන බිලියන හතරක් හෝ පහක් පමණ වන මුදල කුමන කටයුතු සඳහා වියදම් කරන්නේද යන්න එමගින් පැහැදිලි නොවන බවත් ඔහු පැවසීය. ව්‍යාපෘතියේ එක් එක් ඉදිකිරීම් කටයුත්තට, වැටවල් ඉදිකිරීමට සහ අනෙකුත් සංවර්ධන කටයුතුවලට කොපමණ මුදලක් වැය කරන්නේද යන්න ව්‍යාපෘති වාර්තාවෙන් පැහැදිලි විය යුතු බව ද ඔහු සඳහන් කළේය.

එම සම්පූර්ණ වාර්තාව ඉන්දීය මහකොමසාරිස්වරයාට ලබාදී ඇති බව තමන් ප්‍රකාශ කරන බැවින්, අදාළ මණ්ඩලයේ ගිහි පැවිදි සියලු පාර්ශ්වයන් එය සමාජගත කළ යුතු බවත්, ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාධාරණ විවේචන ඉදිරිපත් කරන පාර්ශ්වයන්ට ද එය පෙන්විය යුතු බවත් ඔහු අවධාරණය කළේය. එම වාර්තාව හෙළි කිරීමට පවා අදාළ මණ්ඩලයට නොහැකි නම් එම මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ද ප්‍රශ්න මතුවන බව ඔහු පැවසීය.

මාධ්‍ය හමුව අවසානයේදී විමල් වීරවංශ මහතා යළි අවධාරණය කළේ අනුරාධපුර බෞද්ධ පූජා භූමිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව හුදෙක් ගැසට් නිවේදනයක් පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවයි. එය මෙරට බෞද්ධ උරුමය, ඓතිහාසික අනන්‍යතාව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ ගැටලුවක් බව පැවසූ ඔහු, ඒ පිළිබඳව මහා සංඝරත්නය මෙන්ම සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග අවධානය යොමු කළ යුතු බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ සම්පූර්ණ දේශනය.

“සුබ උදෑසනක් මාධ්‍යවේදී ඔබ සියලු දෙනාටම. පළමුව අපි ඔබට ස්තූතිවන්ත වෙනවා අපේ හදිසි, ඒ වගේම දුෂ්කර අවස්ථාවක දැනුම් දීමේදී අපේ ආරාධනාව පිළිගෙන මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව. ප්‍රධාන කාරණා, එකිනෙකට බැඳිච්ච ප්‍රධාන කාරණා දෙකක් පිළිබඳවයි මම මේ මාධ්‍ය සාකච්ඡාවෙන් රටේ පොදු ජනතාව හමුවේ අපේ ස්ථාවරය, අපේ මේ පිළිබඳ අපි දරන මතය ප්‍රකාශයට පත් කිරීම සඳහා කැඳවනු ලැබුවේ.

පළමු කරුණ තමයි, මීට පෙර මම අභියෝග කළා බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාට, ආන්දෝලනයට ලක්වී තිබෙන අනුරාධපුර පූජා භූමිය පිළිබඳ නව ගැසට් නිවේදනය ආශ්‍රිතව බැඳුණු මහජනයා තුළ තියෙන බලවත් සැකසංකා පිළිබඳව ඉතාම උසස් මට්ටමේ සංවාදයක නියැලීම සඳහා මම එතුමාට ආරාධනා කළා. ඒ ආරාධනා කිරීමේදී මම එතුමාට කල් දුන්නා අටවෙනිදා, මේ මාසේ 08 වෙනිදාට පෙර ඒ පිළිබඳ තමන්ගේ මතය ඉදිරිපත් කරන්න කියලා. ඒ පිළිබඳ මතය අපි හිතුවා තැන් තැන්වල අපි එකිනෙකා එකිනෙකාගේ කෝණයෙන් මේ ගැන සාකච්ඡා කරගෙන ඉන්නවට වඩා, ඒ වගේම මේ රටේ බෞද්ධයන් ඒ කාරණය නිමිති කොටගෙන උද්වේගකර විරෝධතා ව්‍යාපාරවලට වහාම කැඳවනවාට වඩා, විෂයභාර අමාත්‍යවරයා සමඟ මේ පිළිබඳව විදග්ධ මට්ටමේ සාකච්ඡාවක යෙදීම, සංවාදයක යෙදීම පොදුවේ ගත්තොත් මේ රටේ බෞද්ධයාටත් සකල ශ්‍රී ලාංකිකයාටත් වැදගත් වෙයි කියන බලාපොරොත්තුව මත තමයි පසුගිය පෝය දිනේදී මම ඒ යෝජනාව ප්‍රසිද්ධියේ විවෘතව සිදු කරනු ලැබුවේ. 

නමුත් එතැන් සිට මේ දක්වා වූ සම්පූර්ණ කාලය තුළ ඒ පිළිබඳව කිසිම ධනාත්මක ප්‍රතිචාරයක් ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගෙන්, ඇමතිවරයාගෙන් ලැබුණේ නැහැ. අපි ඔහුට නිදහස ලබා දුන්නා ඇතැම් නාලිකාවක් හැරුණකොට අනෙක් ඕනෑම නාලිකාවකින් මේ සංවාදය කරන්න. අර බුරන බල්ලන් ඉන්න නාලිකාව හැරෙන්න අනෙක් සාමාන්‍ය සංයමයක්, සීලාචාරකමක්, ශිෂ්ටසම්පන්නකමක් තියෙන ඕනෑම, රජයට ගැති හෝ රජය හිතනවා නම් ගැති නැහැ කියලා එහෙම ඕනෑම නාලිකාවක ඒ සංවාදයේ යෙදෙන්න අපි එකඟතාවය විවෘතව පළ කළාඇත්තටම ගත්තොත් ආණ්ඩුවට මේකෙදී හංගන්න දෙයක් නැත්නම්, ඉන්දියානු රුපියල්/ඩොලර් හතර පහක් වෙනුවෙන් කඩිමුඩියේ ගහපු මේ ගැසට් නිවේදනයේ ඇතුළාන්ත කතාවේ, බෞද්ධ විරෝධී මේ රටේ පොදුජන, මේ රටේ තේරවාදී බෞද්ධ මධ්‍යස්ථානය වෙච්ච, “ලෝකයේම තේරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය” හැටියට සැලකෙන අනුරාධපුර පූජා භූමිය අරබයා නිකුත් කොට තිබෙන මේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් විවාදයකට නෑවිත් ඉන්න බැරිකමක් නැහැ. හංගන්න දෙයක් තියෙන හන්දා තමයි ඒ අවස්ථාව මගහැරියේ. 

මේක ඇතුළේ ඔවුන් සඟවාගෙන සිටින කතාවක් තියෙන හන්දා තමයි ඒ අවස්ථාව මගහැරියේ. ඒ නිසා ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ඇමතිතුමා ඔප්පු කරලා ඉවරයි, ඔවුන් විවෘත නොවීම මත, සංවාදයට විවෘත නොවීම මත, අපි ඉදිරිපත් කරපු සංවාදය පිළිබඳ යෝජනාව මගහැර යාම මත, ඒ පිළිබඳව මුනිවත රැකීම මගින් ඒ ප්‍රතික්ෂේප කිරීම මත ඔහු පිළිගෙන ඉවරයි. ගැසට් එකට එහා යන කතාවක්, “හංගගත්තු කතාවක්”, අනුරාධපුර ලොව තේරවාදී මධ්‍යස්ථානයේ ඒ පුදබිමට හානි කරවන මෙහෙයුමක් ඔවුන් අතේ තියෙන බව එමගින් ඔහු ලංකාවටම සනාථ කොට අවසන්. ඒක සනාථ කළේ අපි නෙවෙයි, එම විවෘත සංවාදය මගහැරීම මගින් අමාත්‍යවරයා දැන් ඒක සනාථ කොට අවසන්.

දැන් ඒ සැකසංකා දුරු කරන්න දුන්නු අවස්ථාව නොගත්තු එකෙන් වුණේ, ඒ සැකසංකා සහ සාධාරණ සැකසංකා මත පදනම් වෙලා, මොකද “යුනෙස්කෝ ගැසට් කරපු අනුරාධපුර පූජා භූමියේදී” ඒක බෞද්ධ පූජා භූමියක් කියලා හඳුන්වනවා, ඓතිහාසික බෞද්ධ පූජා භූමියක් කියලා. මේ ගැසට් නිවේදනයේ බෞද්ධ කෑල්ල හැලෙනවා. කවුරුවත් නොඉල්ලපු රුවන්වැලිසෑය වටේ වැටක් ගහන්න කතා කරනවා, තව වැටවල් කීපයක්ම ගහන ගමන්. ඊළඟට ඒ විතරක් නෙවෙයි, බෞද්ධ සහ අනෙකුත් මේ පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කරන්නට හැකිවන පරිදි අදාළ භූමි කලාපය විශාල කරනවා. ඒ කියන්නේ අනාගතයේ මේක “බහු-ආගමික පුදබිමක්” කියන අර්ථකථනයට ගෙන ඒම සඳහා වන පාර කපා ගැනීමක් මේ මගින් සිදු කරනවා. 

අර භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ ඉන්න ප්‍රධානියා ඔලමොට්ටල තකතීරු කතාවක් කියලා තිබුණා මාධ්‍යයට. ඔවුන් සමඟ මේක ගැන විවාද කරන්න අපට වැඩක් නැහැ, අපි ඇමතිටයි අභියෝග කළේ. දැන් ප්‍රශ්නය අපි අහන්නේ, මේ තියෙන්නේ ගැසට් නිවේදනය විතරයිනේ. භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව හරි, ඔය ගැසට් නිවේදනයට අත්සන් කරපු අමාත්‍ය බිමල් රත්නායකගේ අමාත්‍යාංශය හරි, එහෙම නැත්නම් හිනිදුම සුනිල් සෙනෙවිගේ අමාත්‍යාංශය හරි මේකට අදාළ ව්‍යාපෘති වාර්තාවක් කොළඹ ඉන්න ඉන්දියානු තානාපතිවරයාට දුන්නා. ඒ ව්‍යාපෘති වාර්තාවේ තමයි සවිස්තරාත්මකව දැක්වෙන්නේ “රාමායණ කෝවිල” හැදෙන්න සුදුසු කලාපය කොතනද කියලා. 

එක්කෝ දැනට තියෙන හින්දු කෝවිල් දෙකෙන් එකක් රාමායණ කෝවිලක් බවට පත්කිරීම, නැත්නම් අර සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් කෙනෙක්ගේ කටින් පැන්නා වගේ 'පෞද්ගලික ඉඩමක අලුතෙන් කෙනෙක් හදනවා නම් අපිට ඒක නවත්තන්න බැහැ' වගේ කියන කතාවට අනුව අලුත්ම රාමායණ කෝවිලක් හැදෙන එක.

 අමතක කරන්න එපා. මේ රටේ බ්‍රාහ්මී අක්ෂරවල ඉන්දියාවට වඩා පැරණි සාක්ෂි හම්බවුණේ අනුරාධපුර භූමියෙන්. අපේ පුරාවිද්‍යාඥයන් බ්‍රාහ්මී අක්ෂර ක්‍රිස්තු පූර්ව තුන දක්වා දිවෙන බව කාබන් පරීක්ෂණවලින් ඔප්පු කොට තිබෙනවා. ඒ සොයාගැනීමෙන් පස්සේ එතෙක් බ්‍රාහ්මී අක්ෂරවල උපතට ඉන්දියාවට තිබිච්ච ආධිපත්‍යය බිඳවැටුණා. ඒ නිසා මේ අනුරාධපුර මහපොළොව කියන්නේ ඉන්දියාව ගොඩනගාගෙන තිබෙන බොහෝ පුරාවිද්‍යාත්මක වටිනාකම් බිංදුවට වැටෙන්න පුළුවන් තැනක්. ඒ නිසා තමයි අපට තියෙන ආදරයට නෙවෙයි, මේ පුදභූමියේ, බෞද්ධ පුදභූමියේ ඒ ඉතිහාස උරුමය තවමත් පොළොව යට සැඟවී තිබෙන, අප තවමත් හඳුනානොගත් ඒ මහා උරුමයට අදාළ කතාව එළියට ඒම වළක්වා ගැනීමත් මේකේ ඉතාම ප්‍රධාන ඕනෑකමක්. 

ඒ නිසා මෙතන තියෙන්නේ මේ අනුරාධපුර බෞද්ධ පූජා භූමිය, තේරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය, ලෝක මධ්‍යස්ථානය, එතන පිළිබඳව අත තියන්න යනකොට මේවා නිකන් ගැසට් එකක් විතරක් ගහලා බයිෆෝස් එකෙන් කරන්න පුළුවන් වැඩ කියලා හිතන්න එපා. මේක මේ රටේ විතරක් නෙවෙයි, ලෝකවාසී තේරවාදී බුදු දහම අදහන සියලු බෞද්ධයන්ගේ හදවත. ඒ හදවතට අත තියන්න අනුර කුමාරගේ “වඩුග සේනාවට” ඕන හැටියට ඉඩදෙන්නේ නැහැ, එහෙම ඉඩදීලා බලන් ඉන්නෙත් නැහැ. 

දැන් එතන “සාමකාමී සත්‍යාග්‍රහයක්” බෞද්ධ භික්ෂූන් වහන්සේලා පස්නමක්, ඒ වගේම ගිහි බෞද්ධයන් සැලකිය යුතු පිරිසක් එකතු වෙලා “මාරාන්තික උපවාසයක්” දක්වා කරගෙන ගියා. ඒක සාමකාමීව කළේ, එතන ප්‍රචණ්ඩත්වය ගෑවිලා තිබුණේ නැහැ. තමන් මේ පිළිබඳව දරන මතය සාමකාමී විරෝධයක් හරහා ඉදිරිපත් කරන්න තියෙන අයිතියයි ඒ යොදාගත්තේ. ආණ්ඩුව කොහොමද ඒකට මුහුණ දුන්නේ? වහාම ගෙනාවා උසාවි නියෝග. 

දැන් මේක ලස්සන වැඩේ. දැන් හිතන්න, ඒ පූජා භූමියේ දන්සැල් පවත්වන කලාපයේ තමයි ඔය කියන සත්‍යාග්‍රහය ආරම්භ වුණේ. ඒක මේ පොදු මගී ජනතාව එහා මෙහා යන බස් නැවතුම්පොළක්වත් නෙවෙයි, එහෙම නැත්නම් රජයේ කාර්යාල පරිශ්‍රයක් ඉදිරියවත් නෙවෙයි. මහා පූජා භූමියක දන්සැල් දෙන කලාපය. එතන මේ ස්වාමීන් වහන්සේලා සත්‍යාග්‍රහයක් කරාම උසාවි නියෝගයක් අරන් එනවා නම්, එහෙම උසාවි නියෝගත් දෙවි හාමුදුරුවනේ ලැබෙනවා නම්, සමාවෙන්න ඕනේ අපේ මේ ස්වාධීන අධිකරණයට මගෙන්, ඉතින් එතකොට මේ රටේ සාමකාමීව තම විරෝධය පළ කිරීමේ අයිතිය නැමති මූලික මිනිස් අයිතිවාසිකමට මොකක්ද වෙන්නේ? දැන් ඒ විදිහට බැලුවාම ඒක කරගන්න බැරි වුණා. බැරි වුණාම මොකද කළේ?

නිකායෙන් එළවා දමපු, සිවුර පැළඳ සිටීමට කිසිම නෛතික අයිතියක් නැති, අනුර කුමාරගේ ආණ්ඩුවත් එක්ක, වඩුග ආණ්ඩුවත් එක්ක තියෙන ඇයිහොඳයිකම හින්දාම තවදුරටත් සිවුර දරාගෙන සිවුර අපයෝජනයට භාජනය කරන එක්තරා භික්ෂු වේශධාරියෙකුත් සමඟ ආවා ජනතා විමුක්ති පෙරමුණේ මැර පාතාල කල්ලිය. 

කනේ කරාබු දාගත්තු, මුහුණේ රැවුල වවාගත්තු, අර ගෝල්ෆේස් අරගලය කාලයේ ඒකට ඕන කරන විදිහට පදවැල් අමුණපු, තවමත් ගිනි තැබීම්වලට අදාළ නඩු 10-12කට අධිකරණය හමුවේ පෙනී සිටින්න වෙලා තියෙන, ළමා අපයෝජනවලට අධිකරණය හමුවේ පෙනී සිටින නඩු තියෙන “පැලවත්තේ වඩුග හමුදාව” තමයි අන්තිමට අර චීවරධාරියත් එක්ක ඇවිල්ලා ඒ සාමකාමී සත්‍යාග්‍රහයේ නිරත වෙච්ච, මාරාන්තික උපවාසයේ නිරත වෙච්ච ස්වාමීන් වහන්සේලාට, ගිහියන්ට පහර පිට පහර දුන්නේ. කොස්තාපල් පුඤ්ඤසෝමගේ වඩුග පොලීසිය බලාගෙන ඉන්න ගමන්.

 කොස්තාපල් පුඤ්ඤසෝම හොඳට හොරාකනවා, නෝනා චීනයේ යනවා, කොස්තාපල් පුඤ්ඤසෝම පොලීසියට ගන්න හැම බඩකඩුත්තුවකින්ම හොරාකනවා, ඒක යසට කරගෙන යනවා. ඒ නිසා ආණ්ඩුව කියන, ජනාධිපති කියන ඕනෑම නීති විරෝධී වැඩකට මේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව යොදවනවා. අනුරාධපුරේ වඩුග පොලීසිය පෙන්නුවෙත් අර මැර කල්ලියත් එක්ක, ජවිපෙ මැර කල්ලියත් එක්ක ඇවිල්ලා ඒ මහා පූජා භූමිය, බෞද්ධ පූජා භූමිය කෙලෙසලා, ඒ අමු තිරිසන් ආකාරයේ හැසිරීම දක්වලා, මේ රටේ බෞද්ධයාට, මේ රටේ බුදු දහමට තියෙන තැන තමයි අනුර කුමාරගේ වඩුග පාලනයෙන් මේ රටේ බුදු දහමට තියෙන තැන තමයි ඒ ඔප්පු කරලා පෙන්නුවේ. 

ස්වාමීන් වහන්සේලා දරන මතයට කවුරුහරි විරුද්ධ වෙන්න පුළුවන්, හැබැයි ඒ මතය ඔවුන් ඉදිරිපත් කළේ, විරෝධය ඉදිරිපත් කළේ සාමකාමීව. ඒ මතය තමන් පිළිගන්නේ නැහැ කියලා, තමන්ගේ ආණ්ඩුවට රුචි නැහැ කියලා, එහෙම තමන්ගේ මැරයෝ ගෙනල්ලා පහරදීලා, ලේ හලලා එහෙම යටපත් කරන්න අයිතියක් නැහැ. ඒ නිසා බොහොම පැහැදිලිව මේ පෙන්නුවේ අනුර කුමාරගේ නරුම වඩුග පාලනය ගමන් කරමින් තියෙන දිශානතිය. අලුත් මර්දන පනත් අතපත ගාගෙන එන්නේ මෙන්න මේ පැලවත්තේ වඩුග කුලී හමුදාව, මෘග හමුදාව මේ රටේ මහජනයාගේ අදහස් පළ කිරීමේ අයිතිය වළලා දැමීම සඳහා යොදවා ගැනීමේ උවමනාවෙන් බව ඉතාම පැහැදිලියි. 

ඒ නිසා අපි මේ රටේ විශේෂයෙන්ම මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා බොහොම බැගෑපත්ව, මේ අනුර කුමාරගේ “නරුම වඩුග පාලනය” තවදුරටත් දිගු වෙන්න නොදී, ඒ පිළිබඳව බෞද්ධයා තුළ ඇතිවෙන සංවේදනාව, භික්ෂූන් වහන්සේලාට ගිහි බෞද්ධයන්ට අවිධිමත් ලෙස පළ කරන්න ඉඩතියන්නේ නැතුව, මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාට තියෙන බරපතල වගකීම සියතට ගෙන මේ වඩුග පාලනයට කළ යුතු බලපෑම කිරීම සඳහා උන්වහන්සේලා ඉදිරිපත් විය යුතුයි. එහෙම නොවුණොත් වෙන්නේ මේක ඊට වඩා අසංවිධානාත්මක විදිහට මේ වේදනාව, මේ සංකාව, මේ විරෝධය පිටවෙන එක වළක්වන්න බැහැ. ඒකට වඩුග අනුර කුමාරගේ පාලනය මුහුණ දෙන්නේ දකුණු ඉන්දියානු, මේ රටේ තිබිච්ච දකුණු ඉන්දියානු පාලකයන් මුහුණ නොදුන් ආකාරයේ දුෂ්ඨ හා සාහසික ආකාරයකට කියන එක පැහැදිලියි.

ඒ නිසා අපි එක පැත්තකින් සංස්කෘතික ඇමතිට අභියෝග කළා එන්න විවාදයට කියලා, මගහැරියා. ඒකෙන් ඔප්පු කරලා පෙන්නුවා අනුරාධපුර බෞද්ධ පූජා භූමිය ගැසට් නිවේදනය පිටිපස්සේ තියෙනවා ඔවුන්ට හංගගන්න වෙච්ච කතාවක්. එහෙම නැත්නම් එන්න තිබ්බා, ඒක මගහැරියා. අනෙක් පැත්තෙන් ඔවුන් අද ඒ පූජා භූමියේ ඓතිහාසික උරුමය රකින්න සාමකාමී සත්‍යාග්‍රහයක, පසුව උපවාසයක නිරත වෙච්ච ස්වාමීන් වහන්සේලාට, ගිහියන්ට, බෞද්ධයන්ට පහර දෙමින්, බුදු පිළිමය පැහැරගෙන යමින්... දැන් මේගොල්ලන්ගේ තියෙන ලොකුම කෙළිය තමයි, සමහර විට ඒගොල්ලෝ හිතනවාද දන්නේ නැහැ අන්‍යාගමිකයෝ ඒකෙන් චූන් වෙලා අනුර කුමාරගේ වඩුග පාලනයට තව තවත් බැඳෙනවයි කියලා. 

හැබැයි ඉතින් අන්‍යාගමිකයොත් තේරුම් ගන්නවා මම හිතන්නේ, ප්‍රධාන ආගමට සලකන්නේ මෙහෙම නම් අපිට කොහොමද කියලා. මේගොල්ලෝ මේ ආගම, ආගම කියන එක, විඥානවාදය මේක බැහැර කරන්න ඕනේ, මේක භෞතිකවාදීයි, අමු භෞතිකවාදයෙන් ජීවත් වෙන්න හිතන කල්ලියක්. හිතන කල්ලියක් පැලවත්ත මූලස්ථානයට ගිහිල්ලා බලන්නකෝ, එක්කෝ බුදු පිළිමයක්, එක්කෝ ජේසුස් වහන්සේගේ පිළිමයක් මුකුත් තියෙනවාද කියලා. ලංකාවේ ඕනෑම පක්ෂ මූලස්ථානයක ඒ මොකක් හරි තමන් අදහන ආගමක සංකේතයක් තියෙනවනේ. අපි හිතමු දෙමළ පක්ෂයක නම් හින්දු ආගමික සංකේතයක් තියෙන්න පුළුවන්, එහෙම තියෙනවා. එතකොට මෙතන තමයි නැත්තේ, මොනම ආගමික සංකේතයක්වත් නැහැ, කොහෙවත් පහනක් පත්තු වෙන්නේ නැහැ. ඉන්නේ මෘග අමු භෞතිකවාදී කල්ලියක්. ඒ නිසා බුද්ධ චීවරයට ගහනවා කියන එක ඒගොල්ලොන්ට නතිං. 

ඒ නිසා මේ කල්ලියට මෙහෙම තවදුරටත් ඩෙගා නටන්න ඉඩ දුන්නොත්, මේ රටේ බුද්ධ පුත්‍රයන්ට මේ රටේ වැඩවාසය කරන්න තියෙන අයිතිය පවා අහිමි වෙන තැනට මේ රට අරගෙන යනවා. ඒ නිසා මේ ඇවිල්ලා ඉන්නේ, නැවත ඉපදිලා ඉන්නේ මේ වඩුග රජෙක්. එළාරගේ වර්තමාන ආත්මය. ඒ නිසා මෙය සමඟ කරන සටන ඒ නියමිත ආකාරයට කිරීමට මේ රටේ මහා සංඝරත්නය, ඒ වගේම අපේ ගරුකටයුතු මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා පුරෝගාමීත්වය ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. 

ජාතික නිදහස් පෙරමුණ හැටියට ඒ මහා ශාසනික ජාතික සටනට අපට දිය හැකි උපරිම පුරෝගාමී කැපවීම සහ නායකත්වය අපි ලබා දෙනවා කියන එකත් සහතික වෙනවා. මෘග පැලවත්තේ වඩුග පාතාල කල්ලිය තවදුරටත් ඩෙගා නටන්න නොදී මැඩපැවැත්වීමේ අයිතිය හා වගකීම සකල ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි මේ රටේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග භාරගත යුතුව තිබෙනවා කියන එකත් අපි අවධාරණය කරනවා. බොහොම ස්තූතියි!"

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ විමල් වීරවංශ මහතාගේ පිළිතුරු

මාධ්‍යවේදියා: ඇමතිතුමනි, ළමයින් සම්බන්ධ රූපවාහිනී වැඩසටහන්වලට තහනම් පැනවීමේ ප්‍රවණතාවක් තිබෙනවාද?

විමල් වීරවංශ මහතා: මීට කලින් ළමයින් සහභාගි කරගෙන පැවැත්වූ වැඩසටහන්වලදී හිටපු ජනාධිපතිවරුන්ටත් යම් යම් අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු වූ අවස්ථා මා දැක තිබෙනවා. නමුත් ඒවා සිදු වූ පමණින් එම හිටපු ජනාධිපතිවරුන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය මාධ්‍යයට කැඳවා, මේ ආකාරයේ ප්‍රකාශ ළමයින් ලවා සිදුකළ නොහැකි බව පවසමින් තර්ජනය කිරීමට ගියේ නැහැ.

මේ සිදුවීමෙන්ම පෙනෙනවා මේ වඩුග රජාගේ මනස කොතරම් පුංචිද කියන එක. ඕනෑම පොඩි දරුවකුගෙන් ජනාධිපති වුණොත් මොනවාද කරන්නේ කියලා ඇහුවාම බොරු කියනවා යැයි කිව්වොත් මෙයා කලබල වෙනවා. ඒ මෙයා බොරුවෙන්ම පවතින නිසයි.

ඉන්දියාවේ මෝදිට එහෙම කිව්වත් ඔහු මේ ආකාරයට කලබල වෙනවාද? මේ අයවැයෙන් කළෙත් පචපුරේ පින්කමක්. මහපොළොවේ යථාර්ථයක් බවට පත්වීමට නියමිත නැති ගණන් මිනුම් ඉදිරිපත් කරමින් ජනතාවගේ ඇස් නිලංකාර කරලා හීන මවලා පච වපුරමින් අයවැයක් ඉදිරිපත් කරලා ගියා.

ඉතින් බොරුවෙන්ම ජීවත් වෙන කෙනෙකුට පොඩි දරුවකු ජනාධිපති වුණොත් බොරු කියනවා යැයි ප්‍රකාශ කළාම මළ පනිනවා. ඒකටද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය හදිසියේම මාධ්‍යයට කැඳවා මේ ආකාරයේ ප්‍රකාශ කරන්න බැහැ කියලා තර්ජනය කරන්නේ? තත්ත්වය ඒකයි.

මාධ්‍යවේදියා: අයවැය දෙස බැලුවාම පාසල් උපකරණ සඳහා ලබාදුන් පොරොන්දු ඉටු කරමින් යන බවක් පෙනෙනවා නේද? වැට් බද්ද අඩු කිරීම වැනි යෝජනාත් තිබෙනවා.

විමල් වීරවංශ මහතා: ඔය කියන දේවල් කොතරම් දුරට ක්‍රියාත්මක වෙනවාද කියලා අවුරුද්ද අවසානයේදී බලමු. අවුරුද්ද ඉවර වුණාම අපි කියන්නේ මේ පිළිබඳ ප්‍රගති සමාලෝචනයක් කරන්න කියලයි.

ගිය අවුරුද්දේ අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා මේ අවුරුද්දේ අයවැය ඉදිරිපත් කරන්න කලින් ඉටු වුණාද නැද්ද කියලා සොයා බැලුවාද? ඉදිරිපත් කළ යෝජනා අතරින් 170කට වැඩි ප්‍රමාණයක් ඉටු කරලා නැහැ. දිට්වා කියලා ඒ සියල්ලෙන්ම මගහැරියා.

දැන් මේ පාරත් මොකක් හරි එකක් අල්ලගෙන ඔය සියල්ල මගහරිනවා. එකක් දෙකක් ඉටු වෙයි. එකක් දෙකක් කරන්න අයවැය යෝජනා අවශ්‍ය නැහැනේ. ගැසට් නිවේදන දෙක තුනක් නිකුත් කළාම ඒවා කරන්න පුළුවන්. පැය පහක් හරි දහයක් හරි ඒ කොළය බලාගෙන කියවන්න පුළුවන්. ඒක අපරාධයක් කියලා කියන්න බැහැ. එම හැකියාව හැර වෙන කිසිම හැකියාවක් නැත්නම්...

මාධ්‍යවේදියා: ඔබ කියන ආකාරයට දැන් මේ සඳහා මුදල් වෙන් කළාම මොකද වෙන්නේ?

විමල් වීරවංශ මහතා: ඒ මුදල් ආයෙත් කැරකිලා භාණ්ඩාගාරයට යනවා. ඒ මුදල්වලින් සියයට 13ක් විතරයි වැය වෙන්නේ. ඒකට හේතු විදියට කියන්නේ භාණ්ඩාගාරයේ මුදල් ඉතිරි වෙනවා කියලයි. අපිත් ඉතින් බඩ පිරුණා කියලා හිතාගෙන ඉන්න ඕනේ.

මාධ්‍යවේදියා: ඒ කියන්නේ රටේ සංවර්ධනයක් සිදුවෙන්නේ නැහැ?

විමල් වීරවංශ මහතා: මොනවාද සිදුවන සංවර්ධනය? මට කියන්න. අඩුම ගණනේ සිරසට පෙනෙන දෙයක් හරි තියෙන්න එපායැ. සිරසටවත් එහෙම දෙයක් පෙනෙනවා නම් අපට කියන්න. අපි ඒ ගැන සතුටු වෙනවා.

ඇත්තටම අපේ රටේ මොකක් හරි සංවර්ධනයක් සිදු කරනවා නම් අපි කැමතියි. අපි ඒකට විරුද්ධ නැහැ. අර පෝච්චියට, කළුගල්වලට මෙච්චර වියදම් වෙනවා කියලා පෝච්චියට වෛර කරපු ජාතියේ උන්මත්තකයෝ අපි නෙවෙයි. දේශපාලන උන්මත්තකයෝ නෙවෙයි අපි. ඒ අසනීපය අපට නැහැ.

ඒ නිසා සිරස හරි කමක් නැහැ, මොකක් හරි හොඳ සංවර්ධනයක් සිදුවෙනවා නම් අපට කියන්න. ඒක ඇත්තටම සිදුවෙනවා නම් අපි එය පිළිගන්නවා.

මාධ්‍යවේදියා: දැන් මේ ආණ්ඩුව කියන්නේ කළමනාකරණය ගැනයි. පැය පහක් පුරා ඉදිරිපත් කළ අයවැය කතාවේ කිසිම සුබවාදී දෙයක් තිබුණේ නැද්ද?

විමල් වීරවංශ මහතා: සුබවාදී දේවල් කියලා කෙනෙකුට අහන්න පුළුවන්. දැන් සිරසට නම් සුබවාදී දේවල් තිබුණා. ඉතින් බලන්නකෝ වෙළෙඳපොළේ මිල අඩු වෙයිද කියලා.

මෙහෙමයි, මේක නිකම් සාම්ප්‍රදායික ටොෆි, සිගරට් විකුණන කතාවක් නෙවෙයි. උපායමාර්ගික හැරවුමක් හෝ මෙතෙක් පැමිණි ගමන් මඟ වෙනස් කරලා වෙනත් මාවතකට ගමන් කිරීමක් හෝ මේ අයවැයේ එක වචනයකින්වත් පෙන්නුම් කරනවාද? එක අකුරක්වත් තිබෙනවාද?

සරලව ගත්තොත් සංචාරකයෝ ආවොත් අපට විදේශ විනිමය ලැබෙනවා. නමුත් මැදපෙරදිග යුද්ධයක් ඇති වුණොත්, රැකියා අවස්ථා අඩු වුණොත් අපේ විදේශ විනිමය ආදායමට මොකද වෙන්නේ? ඒ සඳහා තිබෙන විකල්ප සැලැස්මක් පෙන්වනවාද?

විදේශ රැකියාවලින් උපයන විදේශ විනිමය මාස තුනක් ඇතුළත රටට ගෙන්වා ගැනීම සහතික කළ හැකි ආකාරයේ නීතිමය වෙනස්කම් මේ අයවැයෙන් පෙන්වනවාද? එවැනි උපායමාර්ගික හැරවුමක් මෙතැන නැහැ.

ලෝකයේ කිසිදු ගැටලුවක් නැතිව සංචාරකයෝ පැමිණෙනවා නම්, ගුවන් ගමන් හොඳින් ක්‍රියාත්මක වෙනවා නම්, සැපයුම් දාමයේ ගැටලු ඇති නොවෙනවා නම්, විදේශ ප්‍රේෂණ නියමිත වේලාවට ලැබෙනවා නම්, මැදපෙරදිග ගැටලුවක් ඇති නොවෙනවා නම් මේ රෝදය කැරකෙයි.

නමුත් ඒ තත්ත්වයෙන් පොඩි හෝ වෙනසක් ඇති වූ ගමන් සියල්ල අවුල් වෙනවා. අපි කියන්නේ විදුලිබල පද්ධතියක එක කෑල්ලක පොඩි ට්‍රිප් එකක් පැනලා පද්ධතියම අවුල් වෙනවා වගේ තත්ත්වයක්. එකක් දෙකක් පැන්න ගමන් මුළු පද්ධතියම අවුල් වෙනවා. ඒකයි වෙන්නේ.

මාධ්‍යවේදියා: රාජ්‍ය සේවකයන්ට බත් කන ප්‍රමාණය තුනෙන් දෙකකින් අඩු කරන්න කියලා කෘෂිකර්ම ඇමතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා නේද?

විමල් වීරවංශ මහතා: ඒ ඉල්ලීම කරන්නේ කෘෂිකර්ම ඇමතිවරයා. බත් කන එක අඩු කරන්න කියලා කෘෂිකර්ම ඇමතිවරයා කියන්නේ ඔහුට රටට අවශ්‍ය බත් සැපයීමේ හැකියාවක් නැති නිසයි. වී නිෂ්පාදනය අර්බුදයක තිබෙන බව ඔහු දන්නවා.

ඉතින් දැන් ඔහු රටේ මිනිස්සුන්ගෙන් අහනවා බත් කන එක අඩු කරන්න කියලා. ඔහුට නම් බත්වලින් නොලැබෙන පෝෂ්‍ය පදාර්ථ රාත්‍රී පානයෙන් ලබාගන්න පුළුවන් ඇති. එහෙම නම් මේ රටේ අහිංසක මිනිස්සුන්ටත් කියන්නේ රාත්‍රී පානයෙන් ඉතිරි කැලරි ටික හොයාගන්න කියලාද? ඒක ඔහුට පුළුවන් ඇති. නමුත් හැමෝටම ඒක කරන්න බැහැ.

මාධ්‍යවේදියා: ජනාධිපතිතුමා අනුරාධපුර පූජා භූමිය පිළිබඳව අදහස් දක්වමින් එම ඓතිහාසික පූජා භූමිය ආරක්ෂා කළ යුතු බව සඳහන් කළා නේද?

විමල් වීරවංශ මහතා: ඔහු එක වචනයක්වත් කිව්වාද බෞද්ධ පූජා භූමිය කියලා? එහෙම කිව්වාද? බෞද්ධ පූජා භූමිය කියලා කියන්න කට පණ නැත්තේ ඇයි? ථේරවාදී බුදුදහමේ ලෝක මධ්‍යස්ථානය කියලා හඳුන්වන්න කට පණ නැත්තේ ඇයි? අනුරාධපුර දිස්ත්‍රික්කයේ උපන් මිනිහෙක් හැටියට එහෙම කියන්න බැරි ඇයි?

පන්සලට ගිහිල්ලා හාමුදුරුවෝ පිරිත් නූලක් ගැටගැහුවාම එළියට එනකොට ඒක ගලවාගෙන එන නරුම වඩුගයෝ ටිකක්නේ මේ අය.

ඉන්දියාවේ මෝදිට මොකක්ද මේ පිස්සුව? එහෙ මිනිසුන්ට වැසිකිළි පහසුකම් හදාගන්නවත් බැරි තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා ඔය බොළඳ කතා අපට කියන්න එපා.

ත්‍රිපිටකයේ තිබෙන සූත්‍රත් අපට කියවන්න කියලා ඔහු පෙන්නන්න උත්සාහ කරනවා මම දැක්කා. ඔහු දන්න සූත්‍රයක් නැහැ. මම ඒක හොඳටම දන්නවා. ඔය කෑලි ටික කියන්න කියලා දෙන්නෙත් කවුද කියලා මම දන්නවා.

කෙසේ වෙතත්, අනුරාධපුර පූජා භූමිය බෞද්ධ පූජා භූමියක් ලෙස, යුනෙස්කෝව හඳුන්වා දී ඇති ආකාරයටවත් හඳුන්වන්න හයියක් නැති පිරිසක් එය සර්වාගමික ස්ථානයක් බවට පත් කරන්න උත්සාහ කරනවා. එවැනි කල්ලියකට අපි රැවටෙන්නේ නැහැ. කවුරු මොනවා කිව්වත් අපි ඒකට රැවටෙන්නේ නැහැ.

මාධ්‍යවේදියා: ජනාධිපතිතුමාගේ ප්‍රකාශය අනුව අටමස්ථානාධිපති හිමියන් ඇතුළු සියලු පාර්ශ්වයන් එකතු වූ මණ්ඩලයක් මගින් තමයි මේ පිළිබඳ තීරණය ගෙන තිබෙන්නේ?

විමල් වීරවංශ මහතා: මේ පිළිබඳව අප ඇතුළු විවිධ පාර්ශ්වයන් බරපතළ විවේචන එල්ල කළාට පසුව තමයි ඔය කියන මණ්ඩලය ඇති වුණේ. හැබැයි ඒ මණ්ඩලයේ සිටින නායක ස්වාමීන් වහන්සේලාගෙන් සහ අනෙකුත් සියලු දෙනාගෙන් අපි ඉල්ලීමක් කරනවා. පුළුවන් නම් මේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති වාර්තාව අතට අරගෙන අපට පෙන්වන්න.

ගැසට් නිවේදනය අපි දැන් දැකලා තිබෙනවා. මේ සඳහා ව්‍යාපෘති වාර්තාවක් තිබෙනවා. ඉන්දියාවෙන් බිලියන හතරක් හෝ පහක් ලබාදෙන බව කියනවා. නමුත් මේ ගැසට් නිවේදනයෙන් ඒ මුදල් වියදම් කරන්නේ කුමන කටයුත්තටද කියලා පැහැදිලි වෙන්නේ නැහැ. මේ කොටසට මෙච්චර මුදලක්, අර කොටසට මෙච්චර මුදලක්, වැට ඉදිකිරීමට මෙච්චර මුදලක් කියලා එහි සඳහන් වෙන්නේ නැහැ.

ඒ සියල්ල ඇතුළත් ව්‍යාපෘති වාර්තාවක් කොළඹ සිටින ඉන්දීය මහකොමසාරිස්වරයාට ලබාදී තිබෙනවා. ඒ නිසා ඔය කියන කමිටුවේ සිටින ගිහි පැවිදි සියලු පාර්ශ්වයන්ගෙන් අපි ඉල්ලන්නේ එම ව්‍යාපෘති වාර්තාව අතට අරගෙන එය සමාජගත කරන්න කියලයි.

මේ පිළිබඳව සාධාරණ විවේචන ඉදිරිපත් කරන අපටත් ඒ වාර්තාව පෙන්වන්න. අඩුම ගණනේ ඒ කමිටුවේ සිටින පිරිසට එයවත් කරන්න පුළුවන් නම් අපි පිළිගන්නවා ඔවුන්ට යම්කිසි හයියක් තිබෙනවා කියලා. ඒකවත් කරන්න බැරි නම්...

මාධ්‍යවේදියා: තවත් ප්‍රශ්නයක් තිබෙනවා ඇමතිතුමනි. නොවැම්බර් 13 වැනිදාට රෝහණ විජේවීර සහෝදරයාගේ ඡායාරූප සහිත පෝස්ටර් ජනතා විමුක්ති පෙරමුණෙන් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට කියන්න යම් අදහසක් තිබෙනවාද?

විමල් වීරවංශ මහතා: ඒ ගැන මට කියන්න අදහසක් නැහැ. නමුත් ඊයේ රාත්‍රියේ මම කල්පනා කළා රෝහණ විජේවීර සහෝදරයා කොහේ හරි ඉඳන් මේ දිහා බලාගෙන ඉන්නවා නම් එතුමාට මොනවා හිතෙයිද කියලා.

ලංකාවේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන රටට උගන්වපු රෝහණ විජේවීර සහෝදරයාව සමරනවා. නමුත් ඒ සමරන්නේ ඉන්දියාවේ පදයට නටන රූකඩ පාලනයක් හදාගෙන, අනුරාධපුර බෞද්ධ පූජා භූමියත් ඉන්දියාවේ මුදල්වලින් ඉන්දියාවට අවශ්‍ය ආකාරයේ පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පරිවර්තනය කිරීමට උත්සාහ කරන අතරතුරයි.

මේ සියල්ල සිදුකරන ගමන් විජේවීර සහෝදරයාගේ පින්තූරත් ප්‍රදර්ශනය කරමින්, මල් පහන් පූජා කරමින්, ඉල් මහ විරුවන් ගැන කතා කරනවා. ඒ අතරේ ඉන්දියාව සමඟ ගිවිසුම් හතක් අත්සන් කරලා තිබෙනවා. නමුත් ඒ එක ගිවිසුමක්වත් රටට පෙන්වන්නේ නැහැ.

ඉන්දියානු බාල ඖෂධවලට අපේ රටේ වෙළෙඳපොළ විවෘත කළා. ඉන්දියානු ෆාමකොපියා ප්‍රමිතියට මේ රට නීත්‍යනුකූලව භාරදුන්නා. දැන් මේ රටේ ඖෂධ ප්‍රමිතිය බල්ලට වැටිලා තිබෙනවා.

මේ සියල්ල සිදුකරන ඉන්දියානු රූකඩ ගැති ආණ්ඩුවක් හදාගෙන තිබෙනවා. මට හිතාගන්න බැහැ මේ දේශපාලන ව්‍යාපාරය ගැන. සමාජවාදය ගෑවිලාවත් නැහැ. දේශප්‍රේමීත්වය ගෑවිලාවත් නැහැ. ඉන්දියානු ව්‍යාප්තවාදය දැන් දෝතින් බදාගෙන වැළඳගෙන ඉන්නේ. ආයෙත් මෝදිට කරන්න දෙයක්වත් ඉතිරි කරලා නැහැ.

එවැනි පාලනයක් ගෙන යන දේශපාලන ව්‍යාපාරයක් තවදුරටත් විජේවීර සහෝදරයාගේ ඡායාරූපයට මල් පහනක් පූජා කරනවා කියන්නේ මොකක්ද?

මම මීට කලිනුත් මේ ගැන කියලා තිබෙනවා. වෙනිසියුලාවේ හියුගෝ චාවේස් බලයෙන් ඉවත් කළාට පස්සේ එම දේශපාලන පක්ෂයෙන්ම රොඩ්‍රිගස් කියන කාන්තාවක් ඊළඟ ජනාධිපතිවරිය ලෙස පත්වුණා. ඇය දැන් හියුගෝ චාවේස්ගේ සහ මදුරෝගේ ඡායාරූප ප්‍රදර්ශනය කරනවා. නමුත් ඒ දෙදෙනාගේම ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම අනෙක් පැත්තට හරවමින් පාවා දෙමින් කටයුතු කරනවා. ඡායාරූප තිබෙනවා. නමුත් වැඩපිළිවෙළ යන්නේ සම්පූර්ණයෙන්ම අනෙක් පැත්තට.

මේ අය අනුගමනය කරන්නේ වාම ලිබරල්වාදයයි. ඒක විජේවීරගේ දර්ශනය නෙවෙයි. විජේවීරගේ ප්‍රතිපත්තියත් නෙවෙයි. ඒ නිසා මේ අය කරන්නේ විජේවීරව සැමරීමක් නෙවෙයි. විජේවීරගේ දේශපාලන දර්ශනය මරා දැමීමක්.

බොහොම ස්තූතියි!

සම්බන්ධිත පුවත් | Related News

2025 වසරේ අයවැය යෝජනාවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක වී නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ නවතම ඇගයීමකින් අනාවරණය වී තිබේ.
අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ද ඉහළ දමා තිබේ.
ලංකා ලීඩර් වෙත ජාතික සංවිධාන නියෝජනය කරමින් ප්‍රකාශයක් සිදුකළ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම ආණ්ඩුව විසින් සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බවය.
රුසියානු පොසිල ඉන්ධන මත යැපීම අවසන් කරන බවට බ්‍රසල්ස් පාලකයන් නැවත නැවතත් ප්‍රකාශ කළද, රුසියාවේ ප්‍රමුඛතම ආක්ටික් ගෑස් ව්‍යාපෘතියක් වන යමාල් (Yamal) හි ප්‍රධානතම පාරිභෝගිකයා තවමත් යුරෝපා සංගමය බවට පත්ව තිබේ.
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල මෑතකදී ඇති වූ උණුසුම් තත්ත්වය සහ භික්ෂූන් වහන්සේලා මුහුණ දී ඇති අභියෝග සම්බන්ධයෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියන් දැඩි අදහස් පළ කරමින් පෙන්වා දෙන්නේ වර්තමානයේ භික්ෂු සමාජය දැඩි අනාරක්ෂිතභාවයකට මුහුණ දී ඇති බවයි.
අයවැයේ ඇත්තේ පසුවට බලාපොරොත්තු වන දේවල් මිස මේ මොහොතේ විසඳුම් නොවන බවත් උණු උණු කැවුම් වෙනුවට දී ඇත්තේ පුස්කාපු කැවුම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.
අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත ගැටලුවකට සාධාරණ විසඳුමක් ඉල්ලා සාමකාමී සත්‍යග්‍රහයක නිරත වූ භික්ෂූන් වහන්සේලාට එල්ල වූ මැර ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ තෙවන අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.
ජාතික ජන බලවේග රජයේ කිසිදු දේශපාලනඥයකු හෝ නිලධාරියකු යම් වරදක් සිදු කළහොත් ඔවුන් කිසිම අවස්ථාවක ආරක්ෂා කිරීමට පක්ෂයක් ලෙස හෝ රජයක් ලෙස කටයුතු නොකරන බවත්, එවැනි අවස්ථාවලදී තරාතිරම නොබලා දැඩි නීතිමය හා පක්ෂ මට්ටමින් ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.

ප්‍රධාන පුවත්

2025 අයවැය යෝජනාවලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ඉටු වෙලා නැහැ.. - වෙරිටේ රිසර්ච් අනාවරණය කරයි..

2025 වසරේ අයවැය යෝජනාවලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් සැලකිය යුතු මට්ටමින් ක්‍රියාත්මක වී නොමැති බව වෙරිටේ රිසර්ච් ආයතනයේ නවතම ඇගයීමකින් අනාවරණය වී තිබේ.

ආණ්ඩුව විසින් භික්ෂු වේශධාරියකු යොදා ගනිමින් අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම මගින් ආණ්ඩුවේ දුෂ්ඨ බහු අරමුණු හෙළිදරව් වුණා.. - ජාතික සංවිධාන හෙළා දකී..

ලංකා ලීඩර් වෙත ජාතික සංවිධාන නියෝජනය කරමින් ප්‍රකාශයක් සිදුකළ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ අනුරාධපුර භික්‍ෂු සත්‍යයක් ක්‍රියාවට පහර දීම ආණ්ඩුව විසින් සැලසුම් සහගතව සිදුකළ ක්‍රියාවක් බවය.

අනුරාධපුර බෞද්ධ පූජා භූමියට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ.. සාමකාමී සත්‍යග්‍රහයට එල්ල කළ “පැලවත්තේ වඩුග මැර ප්‍රහාරයෙන්” ආණ්ඩුවේ මර්දනකාරී දිශානතිය හෙළිවුණා.. - විමල් වීරවංශ

අනුරාධපුර ඓතිහාසික බෞද්ධ පූජා භූමිය සම්බන්ධයෙන් ආණ්ඩුව නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිටුපස ජනතාවට හෙළි නොකළ තවත් ව්‍යාපෘති සැලැස්මක් පවතින බවට සැකයක් මතුවන බවත්, එම ව්‍යාපෘතියේ සම්පූර්ණ වාර්තාව වහාම රටට හෙළි කරන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

ආනයන තහනම අභියස රුසියානු පොසිල ඉන්ධන සඳහා යුරෝපා සංගමය යුරෝ බිලියන 8.7ක් වැය කරයි

රුසියානු පොසිල ඉන්ධන මත යැපීම අවසන් කරන බවට බ්‍රසල්ස් පාලකයන් නැවත නැවතත් ප්‍රකාශ කළද, රුසියාවේ ප්‍රමුඛතම ආක්ටික් ගෑස් ව්‍යාපෘතියක් වන යමාල් (Yamal) හි ප්‍රධානතම පාරිභෝගිකයා තවමත් යුරෝපා සංගමය බවට පත්ව තිබේ.

භික්ෂු සාසනය විනාශ වීමේ වගකීම නායක හිමිවරු භාරගන්න.. - සාසනය වෙනුවෙන් කිසිම පනතක් ගේන්න ලැබුනෙ නෑ.. - පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල මෑතකදී ඇති වූ උණුසුම් තත්ත්වය සහ භික්ෂූන් වහන්සේලා මුහුණ දී ඇති අභියෝග සම්බන්ධයෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියන් දැඩි අදහස් පළ කරමින් පෙන්වා දෙන්නේ වර්තමානයේ භික්ෂු සමාජය දැඩි අනාරක්ෂිතභාවයකට මුහුණ දී ඇති බවයි.

උණු උණු කැවුම් වෙනුවට දීල තියෙන්නෙ පුස්කාපු කැවුම්.. - චාමර සම්පත්... ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නෑ.. - සජිත් ප්‍රේමදාස - අයවැය ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් කියන කතා..

අයවැයේ ඇත්තේ පසුවට බලාපොරොත්තු වන දේවල් මිස මේ මොහොතේ විසඳුම් නොවන බවත් උණු උණු කැවුම් වෙනුවට දී ඇත්තේ පුස්කාපු කැවුම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

අනුරාධපුර භික්ෂු සත්‍යග්‍රහයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිනවා.. - විමල් වීරවංශ

අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත ගැටලුවකට සාධාරණ විසඳුමක් ඉල්ලා සාමකාමී සත්‍යග්‍රහයක නිරත වූ භික්ෂූන් වහන්සේලාට එල්ල වූ මැර ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

අයවැයෙන් ලැබෙන සහන.. සම්පූර්ණ අයවැය විස්තරේ මෙන්න..

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ තෙවන අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.

ඉන්දියාව, චීනය, අමෙරිකාව තරහ කරගන්නේ නැතුව අපි අපේ ගමන යනවා.. IMF එක්ක යන ගමනත් ඒ වගේ තමයි.. - ටිල්වින් සිල්වා

ජාතික ජන බලවේග රජයේ කිසිදු දේශපාලනඥයකු හෝ නිලධාරියකු යම් වරදක් සිදු කළහොත් ඔවුන් කිසිම අවස්ථාවක ආරක්ෂා කිරීමට පක්ෂයක් ලෙස හෝ රජයක් ලෙස කටයුතු නොකරන බවත්, එවැනි අවස්ථාවලදී තරාතිරම නොබලා දැඩි නීතිමය හා පක්ෂ මට්ටමින් ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කරයි.

සෝවියට් සංගමයේ බිඳවැටීම ආදර්ශයක් කරගනිමින් රුසියාව පරාජය කිරීමට බටහිර දරන උත්සාහය නිෂ්ඵලයි.. – ෆියෝදෝර් ලුක්යානොව්

1991 සෝවියට් සංගමයේ බිඳවැටීම සුවිශේෂී ඓතිහාසික සිදුවීමක් මිස, වර්තමාන රුසියාව සමඟ කටයුතු කිරීමේදී යළි යළිත් භාවිත කළ හැකි උපායමාර්ගික ආදර්ශයක් නොවන බව රුසියානු ජාත්‍යන්තර සබඳතා සහ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ක්ෂේත්‍රයේ සිටින ප්‍රමුඛතම විශේෂඥයකු වන ෆියෝදෝර් ලුක්යානොව් පෙන්වා දෙයි.

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.. ඒක අල්ලස් ඉල්ලීමක්.. - සුනිල් හඳුන්නෙත්ති කියයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සිදුකළ ප්‍රකාශය දැඩිව හෙළා දකින බවත්, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

2027 අයවැය අද පාර්ලිමේන්තුවට..

ලබන වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (12) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිංහල සාහිත්‍යයේ සහ අදීන ජාතික චින්තනයේ මහා ප්‍රදීපස්තම්භය: ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 97 වන ජන්ම දිනය අදයි..

1929 නොවැම්බර් 12 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ යටලමත්ත ප්‍රදේශයේදී උපත ලද ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රය මෙන්ම දේශීය චින්තනය සහ ජාතිකත්වය පෝෂණය කිරීමෙහිලා අසමසම මෙහෙවරක් ඉටුකළ ප්‍රමුඛ පෙළේ විද්වතෙකි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.