News Category
From Date
To Date
Maximum Number of Result

PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්‍යාපාරය ආණ්ඩුවට රතු එළියක්

Oct 25, 2026 at 11:42 AM
|

වත්මන් ආණ්ඩුව මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'රජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත' (PSTA) හෙවත් පී.එස්.ටී.ඒ. පනත හරහා මෙරට වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලන පක්ෂ පවා තහනම් කිරීමේ ඒකාධිපති බලතල ජනාධිපතිවරයා වෙත පවරාගනිමින්, මහජනතාව සහ වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගැනීමේ පූර්ණ නිදහස ත්‍රිවිධ හමුදාවට ලබාදීමට සූදානම් වන බවට ජාතික ගුරු ව්‍යාපාරය ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළේය. බත්තරමුල්ල පිහිටි ජාතික නිදහස් පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා අවධාරණය කළේ, වෘත්තීය සමිති හා මහජන අයිතීන් කුඩුපට්ටම් කරන මෙම අතිශය මර්දනකාරී පනත පරාජය කිරීම සඳහා මෙරට සියලුම වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම් හා දේශපාලන බලවේග එකමුතු කරගනිමින් දැවැන්ත ජාතික සටනකට නායකත්වය දීමට තම සංගමය සූදානම් බවයි.

“පී.ටී.ඒ. අහෝසි කරනවා කියූ ආණ්ඩුවේ 'ප්‍රතිපත්ති ප්‍රකාශන' මුලාව”

මීට පෙර වසර 45කට අධික කාලයක් පැවැති පී.ටී.ඒ. (PTA) ත්‍රස්ත විරෝධී පනතින් වැඩිම බැටකෑ කණ්ඩායම වත්මන් පාලකයින් බව පෙන්වා දුන් බෝදරගම මහතා, 2024 මැතිවරණ සමයේ ඔවුන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉංග්‍රීසි පිටපතේ 129 වන පිටුවේ පී.ටී.ඒ. පනත අහෝසි කරන බව සඳහන් කළද එහි සිංහල පිටපතේ එවැනි සඳහනක් නොතැබීම මගින් ජාත්‍යන්තරයට එක් කතාවකුත් සිංහල ජනතාවට තවත් කතාවකුත් පවසා මහජනයා මුලා කර ඇති බව හෙළි කළේය. පී.ටී.ඒ. අහෝසි කරන බවට පොරොන්දු වූ අය, දැන් ඊටත් වඩා දරුණු වූ පී.එස්.ටී.ඒ. (PSTA) පනත පසුගිය සැප්තැම්බර් මාසයේ ගැසට් කර ඔක්ටෝබර් 06 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

වැටුප් ඉල්ලීම් සහ උද්ඝෝෂණත් 'ත්‍රස්තවාදී ක්‍රියා' ගණයට:

නව පනත මගින් ශ්‍රී ලංකා රජයට, වෙනත් රජයකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට යම් ක්‍රියාවක් කිරීමට හෝ නොකිරීමට බලකිරීම 'ත්‍රස්තවාදී ක්‍රියාවක්' ලෙස අර්ථ දක්වා ඇති බව සඳහන් කළ ලේකම්වරයා, මෙයින් අදහස් වන්නේ වෘත්තීය සමිතියක් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීම, ගුරු සංගම් මගින් අසාධාරණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වීම වැනි සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පවා ත්‍රස්තවාදී ක්‍රියා ලෙස සලකා මර්දනය කිරීමට මගපාදා ගැනීම බව පෙන්වා දුන්නේය. 

විධායකය අහෝසි කරනවා වෙනුවට බලතල දෙගුණ කිරීමක්:

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවෙන් පත්කරන නාමික ජනාධිපතිවරයෙකු හදන බව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 108 වන පිටුවේ සඳහන් කළද, නව පනතේ 59 වන වගන්තිය මගින් අධිකරණයෙන් විමසීමකින් තොරව ඕනෑම වෘත්තීය සමිතියක්, ශිෂ්‍ය සංගමයක්, රාජ්‍ය නොවන සංවිධානයක් හෝ දේශපාලන පක්ෂයක් තහනම් කිරීමේ අසීමිත බලතල ජනාධිපතිවරයා වෙත පවරා දී ඇති බව පැවසූ බෝදරගම මහතා, මෙය විධායකය අහෝසි කිරීමක්ද නැතහොත් බලතල දෙගුණ කිරීමක්දැයි ප්‍රශ්න කර සිටියේය.

ත්‍රිවිධ හමුදාවට අත්අඩංගුවට ගැනීමේ බලතල සහ මහේස්ත්‍රාත් බලතල අහෝසිය:

පැරණි පී.ටී.ඒ. පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ බලය තිබුණේ පොලීසියට පමණක් වුවද, පී.එස්.ටී.ඒ. පනතේ 15 සහ 19 වගන්ති මගින් ඕනෑම සාමාන්‍ය වැසියෙකු හෝ ගුරුවරයෙකු ත්‍රස්තවාදියෙකු ලෙස සැකපිට අත්අඩංගුවට ගැනීමේ බලය ත්‍රිවිධ හමුදාවටම පවරා ඇති බව හෙළි විය. හමුදාවට පැය 24ක් රඳවාගෙන සිට පොලීසියට භාරදිය හැකි අතර, පොලීසිය අධිකරණයට ඉදිරිපත් නොකර ආරක්ෂක ලේකම්ගේ නියෝග මත මාස 2 බැගින් වසරක් දක්වා පුද්ගලයින් සිරගත කර තැබිය හැක. මෙහිදී මහේස්ත්‍රාත්වරයාට ඇප දීමේ හෝ රඳවා ගැනීමේ නියෝග අවලංගු කිරීමේ බලයක් නොමැති අතර, වසරකට පසුව තවත් වසරක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තැබිය හැකිය. ඒ අනුව නඩු පැවරීමකින් තොරව වසර දෙකක් තිස්සේ දේශපාලන විරුද්ධවාදීන් සිරගත කර තැබීමේ බියකරු වටපිටාවක් නිර්මාණය වන බව හෙතෙම සඳහන් කළේය.

අගමැතිනියගේ 1818 කැරැලි ඉතිහාස විකෘතියට අභියෝගයක්:

මෙම මාධ්‍ය හමුවේදී රටේ අග්‍රාමාත්‍යවරිය මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරිය වන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් බදුල්ලේ පැවැති කාන්තා රැලියකදී කරන ලද ප්‍රකාශයක් පිළිබඳවද ජාතික ගුරු ව්‍යාපාරයේ දැඩි අවධානය යොමු විය. 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල ඇතිවූයේ ගොවීන්ට ජලය නොදීම නිසා බවත්, ගොවීන් අත්අඩංගුවට ගත් පසු කාන්තාවන් විසින් එම සටනට නායකත්වය දුන් බවත් අගමැතිනිය පැවසුවද, 1818 කැරැල්ල ආරම්භ වූයේ 1815 උඩරට ගිවිසුම ඉංග්‍රීසීන් විසින් උල්ලංඝනය කිරීම, බුදුදහමට නිගා කිරීම, දළදා මාලිගාව ඉදිරිපිට පල්ලියක් සෑදීමට යෑම සහ රදලයන්ගේ තනතුරු අහිමි කිරීම නිසා බවත්, ඊට නායකත්වය දුන්නේ කැප්පෙටිපොළ දිසාවේ, කිවුලේගෙදර මොහොට්ටාල, බූටාවේ රටේරාල වැනි නායකයන් බවත් බෝදරගම මහතා මතක් කර දුන්නේය. ඉතිහාසයේ කිසිදු තැනක කාන්තාවන් ඊට නායකත්වය දුන් බවට සඳහන් නොවන බැවින්, අගමැතිනිය සිතාමතා ඉතිහාසය විකෘති කළේද නැතහොත් නොදැනුම්වත්කමින් ප්‍රකාශ කළේද යන්න පැහැදිලි කර, ඊට අදාළ ඓතිහාසික මූලාශ්‍ර රටට හෙළිදරව් කරන ලෙස හෙතෙම අභියෝග කර සිටියේය.

ජී.එස්.පී. ප්ලස් (GSP+) සහන අහිමිවීමේ දැඩි තර්ජනයක්:

මෙවැනි දරුණු මර්දනකාරී පනතක් සම්මත වුවහොත් ශ්‍රී ලංකාවට හිමිවන ජී.එස්.පී. ප්ලස් (GSP+) තීරුබදු සහනය පවා අහිමිවීමේ දැඩි අවදානමක් පවතින බවත්, එමගින් ඇඟලුම් කර්මාන්තයේ නිරත දහස් සංඛ්‍යාත ජනතාවගේ රැකියා අහිමි වී දරුවන්ගේ අධ්‍යාපනයටද දැඩි පහරක් වදින බවත් බෝදරගම මහතා පෙන්වා දුන්නේය. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා නිදහස පවාදෙන මෙවැනි මර්දනකාරී පනත් ගෙන ඒම වහාම අත්හිටුවන ලෙසත්, එසේ නොමැති නම් වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, නීතිඥ සංගම් හා දේශපාලන පක්ෂ එකමුතු කරගනිමින් සංවිධානය වී මෙම පනත පරාජය කිරීම සඳහා ජාතික ගුරු ව්‍යාපාරය පෙරමුණ ගෙන නායකත්වය දෙන බවත් හෙතෙම අවධාරණය කර සිටියේය.

සඳුන් බණ්ඩාර බෝදරගම මහතාගේ සම්පූර්ණ දේශනය.

“මම සඳුන් බණ්ඩාර බෝදරගම, ප්‍රධාන ලේකම් - ජාතික ගුරු ව්‍යාපාරය. අද මම සමඟ මෙම මාධ්‍ය හමුවට සහභාගී වෙනවා ජාතික ගුරු ව්‍යාපාරයේ උපසභාපති සුරංග සිරිවර්ධන සහෝදරයා, ඒ වගේම ජාතික ගුරු ව්‍යාපාරයේ කෑගල්ල දිස්ත්‍රික් විධායක සභික නලින්ද අටුගොඩ සහෝදරයා. විශේෂයෙන්ම අද දවසේ මේ මාධ්‍ය හමුව කැඳවීමේ මූලික අරමුණ නිශ්චිත වූ කාරණා කිහිපයක් පිළිබඳව සමාජය දැනුවත් කිරීම, ඒ වගේම මාධ්‍ය වෙත අවධානය යොමු කිරීම. 

පළවෙනි කාරණය තමයි මේ වෙනකොට සමාජයේ අවධානයට ලක්වෙලා තියෙන පී.එස්.ටී.ඒ. (PSTA) පනත, නැත්නම් රජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත, කොහොමද අපි වගේ වෘත්තීය සමිති වලට නැත්නම් අපේ ජාතික ගුරු ව්‍යාපාරය වගේ වෘත්තීය සමිති වලට බලපාන්නේ කියන කාරණය මූලිකව පැහැදිලි කරන්න. අපි දන්නවා මේ පනත, රජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත සැප්තැම්බර් මාසේ ගැසට් කරලා, ඔක්ටෝබර් හයවෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේ පනතට මීට කලින් තිබුණා අපි දන්නවා පී.ටී.ඒ. (PTA) ත්‍රස්ත විරෝධී පනත. වසර 45කට විතර වැඩි කාලයක් තිස්සේ එවැනි පනතක් පාවිච්චි වුණා, සමහරක් වෙලාවට රජයන්ට එරෙහි එහෙම නැත්නම් ත්‍රස්තකල්ලි මර්ධනය කිරීම සඳහා.

එතකොට අපි දන්නවා මේ දැනට බලයේ ඉන්න කණ්ඩායම, ඔවුන් තමයි මම හිතන්නේ පී.ටී.ඒ. (PTA) පනතින් වැඩිම තර්ජනයට ලක්වෙච්ච කණ්ඩායම. අපි දන්නවා 88-89 හොඳටම බැට ආපු අය. එතකොට ඒගොල්ලෝ 2024 බලය ගනිද්දී ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉංග්‍රීසි පිටපතේ 129 වෙනි පිටුවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ පී.ටී.ඒ. පනත අහෝසි කරනවා, නැත්නම් ත්‍රස්ත විරෝධී පනත අහෝසි කරනවා කියන කාරණය. හැබැයි එතන සැලකිල්ලට ගතයුතු කාරණයක් තියෙනවා. ඉංග්‍රීසි පිටපතේ 129 පිටුවේ එහෙම සඳහන් වුණාට සිංහල පිටපතේ එහෙම සඳහනක් නැහැ. එතකොට සිංහල ජනතාවට එහෙම නැත්නම් ජාත්‍යන්තරයට මේ කාරණය කියලා තියෙනවා, සිංහල ජනතාවට එහෙම කියලා නැහැ කියලා තමයි අපිට බැලූ බැල්මට පේන්නේ. 

එතකොට දැන් එහෙම කියපු අය, මේ පී.ටී.ඒ. (PTA) පනතින් දැඩි ලෙස මර්ධනයට ලක්වෙච්ච කණ්ඩායම, පී.ටී.ඒ. පනත අහෝසි කරලා දැන් අලුතෙන් ගේන්න යනවා පී.එස්.ටී.ඒ. (PSTA) පනත, රජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කරගැනීමේ පනත. එතකොට මේ පනතේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා ත්‍රස්තවාදී වරදක් කියලා කියන්නේ පොඩි පොඩි ඔය භීතිය ඇතිකිරීම, මහජනතාවගෙන් කොටසක් බියගැන්වීම මෙවැනි කාරණා කියලා. 

අවසාන වශයෙන් මේකේ කියලා තියෙනවා ශ්‍රී ලංකා රජයට හෝ වෙනත් රජයකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට යම් ක්‍රියාවක් කිරීමට හෝ නොකිරීමට බලකිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට මේකේ අර්ථගන්වලා තියෙනවා. ඒ කියන්නේ බොහොම සරලව ගත්තොත් එහෙම වෘත්තීය සමිතියක් විසින් වැටුප් ඉල්ලීමක්, එහෙම නැත්නම් ගුරු සංගමයක් විදිහට අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ දේවලට විරුද්ධ වීමක්, මේ සියල්ල ත්‍රස්තවාදී ක්‍රියා ගණයට දාලා අත්අඩංගුවට ගැනීමේ, මර්ධනය කිරීමේ හැකියාව මේ පනත ඇතුලේ ස්ථාපිත කරලා තියෙනවා. 

එතකොට ඒ වගේම අපි මතක් කරන්න ඕනේ වර්තමාන ජනාධිපතිතුමා, එතුමා බලයට එන්නෙම මේ විධායක බලතල අහෝසි කරනවා, මේ ඒකාධිපති බලතල අහෝසි කරනවා කියන කාරණය සමාජයට කියලා. එතකොට එහෙම කියපු එතුමා දැන් අද තියෙනවා එයාලගේ එන්.පී.පී. 2024 ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 108 පිටුවේ පාලනය (Governance) කියන පරිච්ඡේදයේ තියෙනවා විධායකය අහෝසි කරලා පාර්ලිමේන්තුවෙන් පත්කරන නාමික ජනාධිපති කෙනෙක් හදනවා කියලා.

එතකොට එහෙම කියපු එන්.පී.පී. එක තමයි අද පී.එස්.ටී.ඒ. පනත ගෙනල්ලා 59 වෙනි වගන්තියෙන් ඒ නාමික වෙන්න හදපු ජනාධිපතිතුමාට මේ සංගම් සංවිධාන තමන්ගේ කැමැත්ත පරිදි තහනම් කරන්න අවශ්‍ය බලතල ලබාදෙන්න මේ පී.එස්.ටී.ඒ. (PSTA) පනත ගේන්නේ. එතකොට අපි අහනවා මේක විධායකය අහෝසි කිරීමක්ද, නැත්නම් විධායකය දෙගුණ කිරීමක්ද කියලා. එතකොට ඒකේ කියලා තියෙන්නේ බොහොම පැහැදිලිව, සාධාරණ හේතු තියෙනවා කියලා ජනාධිපතිතුමාට හිතෙනවා නම් අධිකරණයෙන් අහන්නේ නැතුව, විනිසුරුවෙක් ඉදිරියට පමුණුවන්නේ නැතුව එතුමාට පුළුවන් ඕනෑම සංවිධානයක් තහනම් කරන්න. වෘත්තීය සමිතියක්, ශිෂ්‍ය සංගමයක්, රාජ්‍ය නොවන සංවිධානයක්, එහෙමත් නැත්නම් දේශපාලන පක්ෂයක් - ඒවත් සංවිධානනේ. මේ ඕන එකක් තහනම් කිරීමේ බලය මේ පී.එස්.ටී.ඒ. (PSTA) පනත හරහා ජනාධිපතිතුමාට ලැබෙනවා. 

ඉතින් අපි අහනවා ඔබතුමාලා කොහොමද මේ ජනතාවට දීපු පොරොන්දු වලට මේ විදිහට පස්ස පැත්ත හරවන්නේ කියලා, අංශක 180කින් ආපස්සට හැරෙන්නේ කියලා. අවම සදාචාරයවත් රකින්න ඔබතුමාලාට වගකීමක් නැද්ද කියන කාරණය අපි ප්‍රශ්න කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ පනතේ 12, 15, 19 කියන වගන්ති වලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සඳහන් වෙනවා.

ඒකේ බොහොම පැහැදිලිව කියනවා මේ පී.ටී.ඒ. පනත කොච්චර හොඳ නැහැ කිව්වත් ඒකේ අත්අඩංගුවට ගැනීමේ බලය දීලා තිබ්බේ පොලීසියට විතරයි. එහෙම අත්අඩංගුවට ගත්තහම පැය 24ක් ඇතුළත පොලීසිය අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ. 

හැබැයි මේ පී.එස්.ටී.ඒ. පනතේ ත්‍රස්තවාදී ක්‍රියාවක් කළා කියලා, ත්‍රස්තවාදියෙක් කියලා අත්අඩංගුවට ගැනීමේ බලය සන්නද්ධ හමුදාවට පවරලා තියෙනවා. සන්නද්ධ හමුදාවට පුළුවන් ත්‍රස්තවාදියෙක් කියලා අත්අඩංගුවට අරගෙන පැය 24ක කාලයක් රඳවාගන්න. පැය 24ක කාලයක් තුළ තමයි ඔවුන් පොලීසියට ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ පොලීසියට පුළුවන්කම තියෙනවා පැය 48ක් ඇතුළත මානව හිමිකම් කොමිසම දැනුවත් කරලා, ඊට පස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමක් අවශ්‍ය නැහැ, ආරක්ෂක ලේකම්ගේ රඳවා තබා ගැනීමේ නියෝගයක් (Detention Order) එක්ක මාස දෙකක් රඳවාගෙන තියාගන්න. 

ඉතින් ඒක එතනින් නවතින්නෙත් නැහැ, මාස දෙකෙන් දෙකට වසරක කාලයක් දක්වා මේක දීර්ඝ කිරීමේ හැකියාව තියෙනවා කියලා ඉතා පැහැදිලිව මේ පනතේ සඳහන් කරලා තියෙනවා. එතකොට ඒක මහේස්ත්‍රාත් කෙනෙකුට ඉදිරිපත් කළාට වැඩක් වෙන්නේ නැහැ. එතුමාට එවැනි බලයක් නැහැ, එතුමාගේ බලය අහෝසි කරලා තියෙනවා. එතුමාට පුළුවන්කම තියෙනවා ඕන නම් මේ මාස දෙක කාලසීමාව ඇතුළේ මේ රඳවාගෙන ඉන්න කෙනා යහපත් ශරීර සෞඛ්‍යයකින් ඉන්නවද කියලා අධ්‍යයනය කරන්න විතරයි. එවැනි බලයක් විතරයි මහේස්ත්‍රාත්තුමාට තියෙන්නේ. එහෙම නැතුව ඇප දෙන්න හෝ ඇපදීමේ නියෝගයක් නිකුත් කරන්න, රඳවා ගැනීමේ නියෝගය අවලංගු කරන්න පුළුවන්කමක් මහේස්ත්‍රාත්තුමාට නැහැ මේ පනතේ විදිහට. 

ඒ විතරක් නෙවෙයි, අවුරුද්දක් ආරක්ෂක ලේකම්ගේ නියෝග මත රඳවලා තියාගන්න පුළුවන්. එතකොට ආරක්ෂක ලේකම් කියලා කියන්නේ දේශපාලන පත්වීමක්. එතකොට ඉතාම ඕනෑකමින් අපි කියනවා, දේශපාලන පළිගැනීම් සඳහා මේවා යොදාගන්න පුළුවන් ඉතාම ලේසියෙන්. තමන්ට විරුද්ධවාදී කණ්ඩායම් මර්ධනය සඳහා තමයි මේ පනත් ගේන්නේ, වෙන කිසි දේකට නෙමෙයි. එතකොට අපේ පැත්තෙන් අපි අහන්නේ, අපි ගුරුවරු. ගුරුවරු විදිහට අපිට තියෙනවා වෘත්තීය ඉල්ලීම්, අපිට තියෙනවා වැටුප් සටන්, අපිට තියෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සටන්.

එතකොට මෙවැනි සටන් වලදී, මේවටත් හමුදාවට පුළුවන්කම තියෙනවා අපිව අත්අඩංගුවට ගන්න, ගුරුවරු අත්අඩංගුවට ගන්න හමුදාවට බලය දීලා තියෙනවා. ඒක තමයි මේ පනතේ අවසාන පැහැදිලි කිරීම. එතකොට අපි අහනවා, පී.ටී.ඒ. පනතේ නොතිබුණු බලයක් මේකට දුන්නේ ඇයි? පී.ටී.ඒ. පනතේ කොච්චර හොඳ නැහැ කිව්වත් ඒකේ තිබ්බේ පොලීසියට විතරයි අත්අඩංගුවට ගැනීමේ බලය. දැන් මේකේ ත්‍රිවිධ හමුදාවට ඒ බලය ලබාදීලා තියෙනවා. 

එතකොට ඒ විතරක් නෙවෙයි, එහෙම අවුරුද්දක් රඳවලා තියාගෙන, ඊට පස්සේ පුළුවන්කම තියෙනවා රිමාන්ඩ් එකේ තියන්න තවත් වසරක කාලයක්. ඒ කියන්නේ අවුරුදු දෙකක් නඩු නැතුව ඇතුළේ තියන්න පුළුවන්කම මේ පනත ඇතුළේ හදලා තියෙනවා. එතකොට අවුරුදු දෙකකට පස්සෙත් අධිචෝදනා අධිකරණයට ඉදිරිපත් නොකළොත් විතරයි මහේස්ත්‍රාත්තුමාට බලය තියෙන්නේ ඇපදෙන්න. අධිචෝදනා ඉදිරිපත් කළොත් තවදුරටත් තියාගන්න පුළුවන්. එතකොට වසර දෙකක් අධිචෝදනා නැතුව තියාගන්න පුළුවන්. මේක තමයි විරුද්ධවාදීන් එහෙම නැත්නම් ආණ්ඩුව පවත්වාගෙන යද්දී ඔවුන්ගේ ක්‍රියාවන්ට එරෙහි වෙන පුද්ගලයෝ මර්ධනය කරන්න හදාගත්තු පනත. එතකොට අපි අහනවා ලැජ්ජ නැද්ද?

තමුන්නාන්සේලාම මෙවැනි පනත් වලින් හොඳට බැටකාපු මිනිස්සු. එතකොට එවැනි අය බලයට එද්දී අපේ රටේ ජනතාව කිසිසේත්ම විශ්වාස කළේ නැහැ ජනතාව පීඩාවට පත්කරන මෙවැනි අනපනත් මේගොල්ලෝ ගෙනෙයි කියලා. හැබැයි ඒක දැන් සීමාව ඉක්මවා ගිහින් අවසානයේ ආරක්ෂක හමුදාවටත් මිනිස්සු අත්අඩංගුවට ගැනීමේ බලය ලබාදීලා තියෙනවා. අපි දන්නවා ඉස්සර තිබුණේ එස්.පී. (SP) කෙනෙක්ගේ අනුමැතියෙන් විතරයි කෙනෙක්ව රඳවලා තියාගන්න, අත්අඩංගුවට ගන්න පුළුවන්කම තිබුණේ. දැන් ඕනෑම ආරක්ෂක හමුදා සාමාජිකයෙකුට පුළුවන්කම තියෙනවා මිනිස්සු අත්අඩංගුවට ගන්න මේ පනත සම්මත වුණොත්. 

ඒක නිසා අපි කියනවා අවම සදාචාරය රකින්න ඔබතුමාලා ආණ්ඩුව විදිහට. මෙවැනි පනතක් ගෙනල්ලා වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, දේශපාලන පක්ෂ මර්ධනය කරන්න සූදානම් වුණොත්, මේ සියලුදෙනා එකට පෙළගැහිලා මේ අනපනත් පරද්දන්න ජාතික ගුරු ව්‍යාපාරය විදිහට නායකත්වය දෙන්න අපි සූදානම් කියන කාරණය බොහොම පැහැදිලිව කියනවා. එතකොට ඒ විතරක් නෙවෙයි, මේ සමහර කාරණා කියන්න ගියොත් මාධ්‍ය සාකච්ඡාවක් අවසන් කරන්න බැරිවෙනවා.

අපි දකිනවා අපේ රටේ පළවෙනි පුරවැසියා ගැන කතා කළා, අපේ රටේ දෙවෙනි පුරවැසියා - මේ ළඟදී දවසක අපි දකිනවා බදුල්ලේ කාන්තා රැලියකදී, එතුමලාගේ පක්ෂයේ ඒ කාන්තා රැලියේදී අගමැතිතුමිය පැහැදිලි ප්‍රකාශයක් කරනවා අපේ රටේ ඓතිහාසිකව තිබුණු 1818 ඇතිවුණු ඌව වෙල්ලස්ස කැරැල්ල ගැන. එතුමිය කියනවා මේ ඌව වෙල්ලස්ස කැරැල්ල ඇතිවුණේ ගොවීන්ට ජලය සැපයීම සීමා කිරීම, නැත්නම් ජලය ලබා නොදීම නිසා ගොවීන් විසින් ඇතිකරපු කැරැල්ලක් කියලා. එතකොට එතුමිය තවදුරටත් කියනවා, ඒ ගොවීන් අත්අඩංගුවට පත්වුණායින් පස්සේ ගොවියන්ගේ කාන්තාවෝ (ගොවියෝ) විසින් මේ සටන ඉදිරියට ගෙනිච්චා කියලා තමයි එතුමිය මේ කාන්තා රැලියේදී කාන්තාවන්ගේ අභිමානය ගොඩනඟන්න කටයුතු කරන්නේ. 

ඉතින් අපි අහනවා, එතුමිය රටේ දෙවෙනි පුරවැසියා, අගමැතිතුමිය, ඒ වගේම සුවිශේෂයි අධ්‍යාපන ඇමතිතුමිය. අපිට බලපාන්නේ ඒ විදිහට. එතකොට අපි අහන්න කැමතියි, අපි දන්න විදිහට ඔය 1818 කැරැල්ල ආරම්භ වෙන්නේ 1815 බ්‍රිතාන්‍යයන් සමඟ ඇතිකරගත්තු උඩරට ගිවිසුම උල්ලංඝනය කිරීම නිසා. ඒක ඇතුලේ ප්‍රධාන වශයෙන්ම බුදුදහමට නිගාදෙන කාරණා ඔවුන් විසින් කරන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි දළදා මාලිගාව ඉදිරියේ පල්ලියක් ඉදි කරන්න කටයුතු කරනවා. එතකොට ඒ වගේම ඒ වෙනකොට හිටපු රදල නායකයින්ට ඔවුන්ගේ තනතුරු අහිමි කරලා ඒවා ඉංග්‍රීසි ජාතිකයන් විසින් අත්පත් කරගන්න පටන් ගන්නවා. 

එතකොට මෙවැනි කාරණා පාදක කරගෙන තමයි නිදහස් අරගලයක් විදිහට 1818 මේ කැරැල්ල ආරම්භ වෙන්නේ. එතකොට ඒකට නායකත්වය දුන්නේ අපි දන්නවා කැප්පෙටිපොළ දිසාවේ, කිවුලේගෙදර මොහොට්ටාල, ඒ වගේම බූටාවේ රටේරාල - මෙන්න මේ වගේ නායකයෝ තමයි මේකට නායකත්වය දුන්නේ. අපිට කොහෙවත් නමක් සඳහන් වෙන්නේ නැහැ කාන්තාවකගේ නමක් ඒ සටනට නායකත්වය දුන්නා කියලා. හැබැයි අගමැතිතුමිය කියනවා ඌව වෙල්ලස්ස කැරැල්ලට කාන්තාවන් තමයි නායකත්වය දුන්නේ කියලා. 

ඉතින් අපි දන්නේ නැහැ එතුමිය මේක ඉතාම සිතාමතා කරපු විකෘතියක්ද, නැත්නම් එතුමිය කරුණු නොදැන ප්‍රකාශ කළාද කියලා. අපි එතුමියගෙන් අහනවා ජාතික ගුරු ව්‍යාපාරය විදිහට, ඔබ මේ ප්‍රකාශය කරන්න පාදක වෙච්ච ඒ ඓතිහාසික මූලාශ්‍රය රටට එළිදක්වන්න. මොකද අපි ගුරුවරු විදිහට දරුවන්ට නිවැරදි ඉතිහාසය උගන්වන්න ඕනේ. ඒක නිසා කරුණාකරලා ඔබතුමියට මේ ප්‍රකාශය කරන්න හේතු වෙච්ච ඓතිහාසික මූලාශ්‍රය ඉදිරිපත් කරන්න. ඒ විතරක් නෙවෙයි, ඒ ප්‍රකාශය ඔබතුමියගේ අනාවබෝධය මත සිදුවූවක් නම් එය රටට පැහැදිලිව ප්‍රකාශ කරන්න. මොකද දරුවෝ, දෙමව්පියෝ සියලු දෙනා මේ ප්‍රකාශ බලමින් ඉන්නවා. ඉතින් ජාතික ගුරු ව්‍යාපාරය විදිහට අපිට වගකීමක් තියෙනවා මේක නිවැරදි කරන්න. ඒක නිසා අපි විශ්වාස කරන්නේ නැහැ ඔබතුමිය සිතාමතා මේක විකෘති කළා කියලා - එහෙම වුණාද දන්නේ නැහැ. ඔබතුමියගෙන්ම තමයි ඒ ප්‍රකාශය එන්න ඕනේ, මොකක්ද සිද්ධ වුණේ, ඒ ප්‍රකාශය මොන මූලාශ්‍රය පදනම් කරගෙනද ඔබතුමිය කළේ කියලා. එතකොට ඔන්න ඔය කාරණා තමයි කියන්න තියෙන්නේ.

නැවත අපිට පී.එස්.ටී.ඒ. පනත ගැන කියන්න තියෙන්නේ, දැන් අපි දන්නවා අපේ ඇඟලුම් සංවිධාන පවා මේ වෙනකොට ප්‍රකාශයට පත්කරලා තියෙනවා මෙවැනි දරුණු පනතක් අපේ රටේ පාර්ලිමේන්තුවේ සම්මත කළොත් ඉදිරියේදී ජී.එස්.පී. ප්ලස් (GSP+) සහනය පවා අහිමි වෙන්න පුළුවන් කියලා. එහෙම වුණොත් ඇඟලුම් කර්මාන්තයට මොකද වෙන්නේ? අපි උගන්වන දරුවන්ගේ දෙමව්පියෝ බොහොමයක් ඉන්නේ ඇඟලුම් කර්මාන්තයේ රැකියාවල යෙදෙමින්. එතකොට ඒගොල්ලන්ට රැකියා නැතිවුණොත් ඒ දරුවන්ට අත්වෙන ඉරණම මොකක්ද කියලා ජාතික ගුරු ව්‍යාපාරය විදිහට අපිට ප්‍රශ්න කරන්න වගකීමක් තියෙනවා. 

ඒ නිසා අපි නැවතත් කියනවා මෙවැනි මර්ධනකාරී අනපනත් ගෙන ඒම වහාම නවත්වන්න. එහෙම නැත්නම් ඒවට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න සියලු කණ්ඩායම් එක්ක එකතුවෙන්න ජාතික ගුරු ව්‍යාපාරයත් සූදානම් කියන කාරණය මතු කරනවා. බොහොම ස්තූතියි.

මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් : ඇත්තටම හොඳ ප්‍රශ්නයක් යොමු කළේ. මාධ්‍ය සාකච්ඡාවකින් විතරක් මේ කාරණය කරන්න පුළුවන්ද කියන කාරණය. හැබැයි පළවෙනිම දේ තමයි මේ පිළිබඳව රටේ වගේම වගකිවයුත්තන්ගේ අවධානය යොමු කිරීම. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටින වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, නීතිඥ සංගම් මේ සියලුදෙනාගේ අවධානය මේ පිළිබඳ යොමු කිරීම තමයි පළවෙනි කාරණය. 

ඒ විතරක් නෙමෙයි, සාමාන්‍ය ජනතාවගේ අවධානය - මොකද ඔවුන් තමයි අදටත් මේ රජය ගැන දැවැන්ත විශ්වාසයක් තියාගෙන ඉන්නේ, මේගොල්ලෝ මොනවා කිව්වත් මේ විපක්ෂ කණ්ඩායම් හරි වෘත්තීය සමිති හරි මොනවා කිව්වත් මේ රජය රට හොඳ පැත්තට හරි මාර්ගයේ ගෙනියන්නේ කියලා. එතකොට ඒක නිසා පළවෙනි කාරණය අපේ මාධ්‍ය සාකච්ඡාවේ පළවෙනි අරමුණ තමයි මෙන්න මේකේ තියෙන අනර්ථකාරී දේවල් ටික ජනතාවට සහ අනිත් කණ්ඩායම් වෙත ඉදිරිපත් කර දැනුවත් කිරීම. 

එතනින් එහාට සංවිධානය වීම තමයි මෙවැනි අර්බුදයකට තියෙන එකම දේ. මෙවැනි අර්බුදයක් ලිහාගන්න තියෙන එකම කාරණය තමයි සංවිධානගත වීම, සූදානම් වීම. ඒ නිසා අපි සියලුදෙනාට නැවතත් ආරාධනා කරනවා මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න. මෙවැනි මර්ධනකාරී පනත් සම්මත වුණොත් ඉදිරියේදී අපිට ගතහැකි කිසිදු ක්‍රියාමාර්ගයක් නැතිවේවි. වෘත්තීය සමිති විදිහට, ශිෂ්‍ය සංගම් විදිහට, දේශපාලන පක්ෂ විදිහට මේ සියලුදෙනාට මෙතනින් එහාට මේ මර්ධනකාරී ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වෙන්න බැරිවේවි. ඒක නිසා නැවතත් අපි උවමනාවෙන් කියනවා මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න, සංවිධානගත වෙමු, මේකට නායකත්වය දෙමු. එවැනි කාරණයකින් විතරමයි මෙවැනි අනපනත් පරද්දන්න පුළුවන්කම තියෙන්නේ. ඉතිහාසයේත් එහෙම තමයි වෙලා තියෙන්නේ. බොහොම ස්තූතියි."



සම්බන්ධිත පුවත් | Related News

සෞදි අරාබියේ අගනුවර වන රියාද් නගරයේ පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවේ පරිසර හා වන සම්පත් සංරක්ෂණ ක්ෂේත්‍රය තුළ කථාබහකට සහ අවධානයට ලක්වූ නිලධාරිනියක වන දේවානී ජයතිලක මහත්මිය උසස්වීම් ලබා, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි නව නියෝජ්‍ය වන සංරක්ෂකවරිය ලෙස පත් කර තිබේ.
ශ්‍රී ලංකා රාජ්‍ය අංශය, පළාත් සභා, නගර සභා, සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙන්ම ජාතික යටිතල පහසුකම් පද්ධතියට අයත් ආයතන මගින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 80ක් දැඩි සයිබර් ප්‍රහාරාත්මක අවදානමකට ලක්ව ඇති බව ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය සංජන හත්තොටුව පවසයි. මේ පිළිබඳව ඔහු විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.
රටේ කැරලි කෝලහාලයක් හෝ යුද්ධයක් හෝ ජනතා කැළඹීමක් නොමැති පසුබිමක ආණ්ඩුව විසින් ජනතාවගේ නිදහස අහුරන අනපනත් සම්මත කිරීම රජයේ දුර්වල කමක් බව වාසුදේව නානායක්කාර මහතා පවසයි.
1818 දී ඌව වෙල්ලස්ස කැරැල්ල ඇති වුනේ ගොවීන්ට ජලය සීමා කිරීමෙන් බව අගමැතිවරිය පවසන බවත්, එහිදී ගොවීන් අත්අඩංගුවට ගත් පසු ගෙවිලියන් විසින් සටන ඉදිරියට ගෙන ගිය බවත් ඇය විසින් කාන්තා සමුළුවක දී පවසා ඇති බවත් එහෙත් ඌව වෙල්ලස්ස කැරැල්ල ඇති වූයේ 1815 දී ඉංග්‍රීසින් සමග ඇතිකරගත් උඩරට ගිවිසුම උල්ලංඝනය කිරීම නිසා බව බොහෝදෙනා දන්නා බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.
යාපනය තිස්ස විහාරය ගොඩනගා ඇත්තේ පන්සලට වෙන්කරන ලද ඉඩමක බවත්, ඇතැම් දෙමළ දේශපාලකයන් ජනතාව අවුස්සා තිස්ස විහාරය සම්බන්ධයෙන් කලබල ඇති කරමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.
භාණ්ඩාගාරය පිරී ඇති බව කිව්වත් අද රටේ ගෑස් නැති බවත්, අද ආර්ථික වර්ධන වේගය 4.2කට අඩුවී ඇති බවත්, ආණ්ඩු ගනිද්දී එය තිබුනේ 5.3ක් ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පවසයි.
ගාල්ල වරායට ආසන්න මුහුදු තීරයේ නැංගුරම් ලා තිබෙන ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකාවක සිටි කාර්ය මණ්ඩල සේවකයන් 27 දෙනෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ඔවුන් ගොඩබිමට රැගෙන ඒමට පියවර ගෙන තිබේ.

ප්‍රධාන පුවත්

PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්‍යාපාරය ආණ්ඩුවට රතු එළියක්

වත්මන් ආණ්ඩුව මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'රජය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත' (PSTA) හෙවත් පී.එස්.ටී.ඒ. පනත හරහා මෙරට වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලන පක්ෂ පවා තහනම් කිරීමේ ඒකාධිපති බලතල ජනාධිපතිවරයා වෙත පවරාගනිමින්, මහජනතාව සහ වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගැනීමේ පූර්ණ නිදහස ත්‍රිවිධ හමුදාවට ලබාදීමට සූදානම් වන බවට ජාතික ගුරු ව්‍යාපාරය ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළේය.

අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..

අනුරාධපුර පූජා නගරය සංවර්ධනය කිරීම සඳහා රජය විසින් නිකුත් කර ඇති නව ගැසට් පත්‍රය සහ ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්‍යාපාරය ප්‍රශ්න කරයි..

1818 දී ඌව වෙල්ලස්ස කැරැල්ල ඇති වුනේ ගොවීන්ට ජලය සීමා කිරීමෙන් බව අගමැතිවරිය පවසන බවත්, එහිදී ගොවීන් අත්අඩංගුවට ගත් පසු ගෙවිලියන් විසින් සටන ඉදිරියට ගෙන ගිය බවත් ඇය විසින් කාන්තා සමුළුවක දී පවසා ඇති බවත් එහෙත් ඌව වෙල්ලස්ස කැරැල්ල ඇති වූයේ 1815 දී ඉංග්‍රීසින් සමග ඇතිකරගත් උඩරට ගිවිසුම උල්ලංඝනය කිරීම නිසා බව බොහෝදෙනා දන්නා බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..

ගාල්ල වරායට ආසන්න මුහුදු තීරයේ නැංගුරම් ලා තිබෙන ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකාවක සිටි කාර්ය මණ්ඩල සේවකයන් 27 දෙනෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ඔවුන් ගොඩබිමට රැගෙන ඒමට පියවර ගෙන තිබේ.

චීන-ශ්‍රී ලංකා රබර්-සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් චීන තානාපතිවරයා හමුවෙයි..

ශ්‍රී ලංකාව සහ චීනය අතර ඓතිහාසික සබඳතාවල සන්ධිස්ථානයක් වන රබර්-සහල් ගිවිසුම (Rubber-Rice Pact) 1952 වසරේදී අත්සන් තැබීමට පුරෝගාමී වූ, එවකට වෙළඳ හා වාණිජ අමාත්‍යවරයා වූ දිවංගත ගරු ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් ශ්‍රී ලංකාවේ චීන තානාපති වේ හුවාෂියැං (Wei Huaxiang) මහතා හමුවී තිබේ.

විජේවීර හිරෙන් නිදහස් වුණේ ජේ.ආර්. ජනාධිපති සමාවක් දීලාද?.. සම්පූර්ණ සත්‍ය කතාව මෙන්න..

1971 අප්‍රේල් කැරැල්ල සම්බන්ධයෙන් සිරගත කර සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඇතුළු පිරිස 1977 වසරේදී නිදහස ලැබීම සම්බන්ධයෙන් සමාජයේ ඇතැමුන් අතර වැරදි මතයක් සංසරණය වන බව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පෙන්වා දෙයි. සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ දේශපාලන සංවාදවලදී ප්‍රකාශ වන්නේ 1977 වසරේ බලයට පත් වූ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති සමාවක් ලබා දී රෝහණ විජේවීර මහතා හිරෙන් මුදාගත් බවයි. එහෙත් එය සම්පූර්ණ සත්‍යයෙන් තොර, ඓතිහාසික කරුණු නොදැකීමෙන් හෝ දේශපාලන අරමුණු මත පදනම්ව ගොතන ලද කතාවක් බව ඔහු අවධාරණය කරයි.

දොස්තරලා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක.. රට පුරා විරෝධතා කැඳවයි..

ඉදිරි අයවැයට අදාළව ඉදිරිපත් කළ යෝජනා නොසලකා හරිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දැවෙන ගැටලුවලට විසඳුම් ලබාදීම රජය දිගින් දිගටම පැහැර හැරීමට එරෙහිව, ඉදිරි සති දෙකක කාලය තුළ රට පුරා ක්‍රියාත්මක වන පරිදි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයන්න ජනපති අනුරාධපුරයට යයි..

අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (23) පස්වරුවේ එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම 2026 නොවැම්බර් 18 වන දින පස්වරු 1.30 ට සිදුකිරීමට නියමිතයි. ඊයේ (22) මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සිදුවූයේ අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා, විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ විනිසුරු මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ල හමුවේදීය.

කලාපයේ වැඩිම ගෘහස්ථ විදුලි ගාස්තුව ලංකාවේ.. - SenFin

කොටස් තැරැව්කාර සමාගමක් වන SenFin Securities සමාගම විසින් නිකුත් කර ඇති නවතම අධ්‍යයන වාර්තාවකට අනුව, දකුණු ආසියානු කලාපයේ ඉහළම ගෘහස්ථ විදුලි ගාස්තුව අය කෙරෙන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ඥාණසාර හිමි වෙනුවෙන් සත්‍යග්‍රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය පැමිණීමෙන් උණුසුම් තත්වයක්..

බන්ධනාගාරගතව පසුවන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයට ඒරෙහිව පොලිසිය පියවර ගැනීමත් සමඟ එම පරිශ්‍රයේ නොසන්සුන්කාරී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.