අධ්‍යාපනය පිළිබඳව ව්‍යාජ මතවාද - දෙවන කොටස
නිර්මාණවාදී අධ්‍යාපන මතවාද (Constructivism)
1970 දශකය වන විට පියාජේගේ හා විගොට්ස්කිගේ නිර්මාණවාදී මනෝවිද්‍යාව මත පදනම්ව ජෙරෝමෙ බෲනර් වැනි අය අධ්‍යාපන ක්‍රමවේද ගෙන ඒමට කටයුතු කළහ.
සිසුන්ට ඍජුව ඉගැන්වීමෙන් තොරව තමන්ට ම දැනුම නිර්මාණය කරගැනීමටත් කණ්ඩායම් ක්‍රියාකාරකම්වල නියැලෙමින් දැනුම නිර්මාණයටත් ඉඩකඩ සාදා දිය යුතු බවට අදහස් පැමිණියේ ය. මේ සමඟ ම ගුරුවරයා හුදෙක් පහසුකම් සපයන්නකු (facilitator) පමණක් බවට පත් කොට ශිෂ්‍ය-කේන්ද්‍රීය අධ්‍යාපනයක් ගෙන ආ යුතු බවට අදහස් ඇති විය. මෙහි උපකොටස් රාශියක් ද බිහි විය.
සිසුන්ට තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් හෝ ගවේෂණ කිරීමට ඉඩ දී එයින් දැනුම ගොඩනඟා ගැනීමට යොමු කළ යුතු බව හෙවත් ගවේෂණ ඉගෙනුම (discovery learning), ප්‍රශ්නය හෝ ක්‍රමවේදයක් ලබා දී හෝ නො දී හෝ ප්‍රශ්නයකට පිළිතුරු සෙවීමට යොමු කිරීම (inquiry based learning), තරමක් අවිනිශ්චිත විවෘත ගැටලුවක් විසඳීම සඳහා සිසුන්ට යොමු කිරීම (problem-based learning) ආදී ක්‍රම මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇත.
මිනිස් සමාජය දැනුම නිර්මාණය කළ ආකාරයේ කුඩා ආදර්ශයක් පන්ති කාමරයේ රඟ දැක්වීම ආකර්ෂණීය අදහසක් සේ පෙනෙන පමණින් එය සාර්ථක බව කියැවෙන්නේ නැත. එය සාර්ථක දැයි පරීක්ෂා කොට බැලිය යුතු ය.
නමුත් ආනුභවික පරීක්ෂාවලින් මෙන් ම මේවා ක්‍රියාත්මක කළ රටවල සිදු වූ දෙයින් ද පෙනෙන්නේ මේවා අසාර්ථක බව ය.
මේ සම්බන්ධ අසාර්ථක ව්‍යාපෘති පිළිබඳ විස්තර කෙටියෙන් ලැයිස්තුගත කරමි.
* 1968-1977 අතර ඇමරිකා එක්සත් ජනපදයේ Project Follow Through වාර්තාව. මෙය මෙතෙක් අධ්‍යාපනය පිළිබඳ සිදු වී ඇති විශාලතම හා අධ්‍යයනයයි. මෙහි දී පෙනී ගියේ ශිෂ්‍ය කේන්ද්‍රීය හා නිර්මාණවාදී අධ්‍යාපන ක්‍රමවේදවලට වඩා එකල පැවති ක්‍රමවලින් එන්ගල්මන්ගේ ඍජු උපදේශනය නම් ගුරු කේන්ද්‍රීය ක්‍රමය වඩා ඉදිරියෙන් සිටි බවයි.
* 1960 හා 1970 අතර ඇමරිකා එක්සත් ජනපදයේ "නව ගණිතය" New Math නම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අසාර්ථක විය.
* සමස්ත භාෂා කියවීම (Whole Language Reading) හෙවත් වචන ශබ්ද කිරීම් රටා සහ ව්‍යාකරණ ආදිය වෙන ම නූගන්වා කියවීම තුළින් ම හඳුනා ගැනීමට දීම ඉංග්‍රීසි කතා කරන ප්‍රධාන රටවල් බොහෝමයක භාවිත කෙරුණු අතර අසාර්ථක බව පැහැදිලි විය.
* ස්වීඩනයේ 1990 සිට ක්‍රියාත්මක වූ ශිෂ්‍ය-කේන්ද්‍රීය ප්‍රතිසංස්කරණ අසාර්ථක වූ බව 2010 දී පෙනුණ අතර මේ ක්‍රමවේද නැවත ආපසු හැරවීමට ක්‍රියා කරන ලදී.
* 2000 සිට නවසීලන්තයට හඳුන්වාදුන් ශිෂ්‍ය කේන්ද්‍රීය හා නිර්මාණවාදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට ආපසු හරවා ගනිමින් තිබේ.
ෆින්ලන්ත අධ්‍යාපන මිථ්‍යාව
නිර්මාණවාදී, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය ගැන කතා පතුරවන්නන් පෙන්වා දෙන සිහින රාජ්‍යය වන්නේ ෆින්ලන්තයයි. ෆින්ලන්තයේ අධ්‍යාපන සාර්ථකත්වය ගැන ඇත්තේ සම්පූර්ණ මිථ්‍යා ප්‍රබන්ධයකි.
මේ මිථ්‍යා ප්‍රබන්ධය බිහි වූයේ ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානය (OECD) මඟින් විවිධ රටවල අධ්‍යාපන මට්ටම් සංසන්දනය කරන PISA (Programme for International Student Assessment) නම් ඇගයීමෙහි 2000-2006 අතරේ දී ෆින්ලන්ත සිසුන් ඉතා ඉහල ස්ථානයක් වාර්තා කිරීමයි.
ඇත්තෙන් ම 2004ට පෙර ෆින්ලන්තයේ තිබුණේ බෙහෙවින් ගුරු කේන්ද්‍රීය වූ අධ්‍යාපන ක්‍රමයකි. ගුරුවරුන්ගේ සුදුසුකම් හා පුහුණුව ද ඉහල විය. 2000 සහ 2006 අතර මේ පෙන්වූ ඉහල දක්ෂතා ඇත්තෙන් ම පැරණි අධ්‍යාපන ක්‍රමය යටතේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයන්ගේ පිළිබිඹුවක් විය.
එහෙත් 2004 දී ඇති කළ නව ෆින්ලන්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බෙහෙවින් ම ශිෂ්‍ය කේන්ද්‍රීය විය. එක ම කාලයේ ඉහල PISA ප්‍රතිඵල හා ශිෂ්‍ය කේන්ද්‍රීය නව ප්‍රතිසංස්කරණ යන දෙක දුටු බොහෝ දෙනා වැරදි ලෙස මේ ප්‍රතිඵල නව ප්‍රතිසංස්කරණවල විශිෂ්ටත්වය ලෙස පටලා ගත් හ. ඇත්තෙන් ම 2006 වසරෙන් පසු ෆින්ලන්තයේ PISAහි කාර්යසාධනය කඩා වැටෙමින් පවතී. ෆින්ලන්තයේ 2004 ප්‍රතිසංස්කරණයේ අසාර්ථකත්වය මේ මතවාදවල අසාර්ථකත්වයට උදාහරණයකි. අවාසනාවට අධ්‍යාපනඥයන් කියාගන්නන් තවමත් කරේ තියාගෙන යන්නේ ෆින්ලන්තය පිළිබඳ මිථ්‍යා ප්‍රබන්ධයයි.
වැඩිදුර විස්තර සඳහා 2022 PISA සමාලෝනයේ ෆින්ලන්තය ගැන සටහන බලන්න
සබැඳිය: https://www.oecd.org/.../pisa.../finland_6991e849-en.html...
ෆින්ලන්ත අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශයේ Bildung සමාලෝචනය
(මෙය ඇත්තේ ෆිනිෂ් භාෂාවෙන් නමුත් ඔබට මෙහි සාරාංශ පරිවර්තන සොයා ගත හැකි ය. එම අමාත්‍යංශ වෙබ් අඩවිය මෙසේ දක්වයි.
https://okm.fi/.../the-bildung-review-describes-the... )
නිර්මාණවාදී අධ්‍යාපන ක්‍රමවේද ගැන කෙරුණු ආනුභවික පරීක්ෂා අධ්‍යයන
මීළඟට අපි මේ නිර්මාණවාදී අධ්‍යාපන ක්‍රමවේද පිළිබඳ කෙරුණු ආනුභවික පරීක්ෂාවන් විමසා බලමු. මේ සම්බන්ධ ඉතා ම ඉහල ගණයේ පාර-අධ්‍යයන (meta-analysis) මොනවා දැයි සොයා බලමු.
කර්ෂ්නර්, ස්වෙලර් හා ක්ලාක් 2006 දී පළ කළ Why Minimal Guidance During Instruction Does Not Work: An Analysis of the Failure of Constructivist, Discovery, Problem-Based, Experiential, and Inquiry-Based Teaching නම් අධ්‍යයනය මේ ක්‍රමවල අසාර්ථකත්වය ආනුභවික පරීක්ෂාවන් විග්‍රහ කරමින් ඉතා තීරණාත්මක ලෙස පෙන්වා දෙයි.
ක්ලාර් හා නිගම්ගේ The equivalence of learning paths in early science instruction නම් අධ්‍යයනය පාලිත පරීක්ෂාවක් මඟින් ගවේෂණ ඉගෙනීමට වඩා ඍජු උපදේශනය සාර්ථක බව පෙන්වා දෙයි.
මේයර්ගේ Should there be a three-strikes rule against pure discovery learning? යනු තවත් එවත් සමාලෝචන අධ්‍යයනයකි.
මෙහි දී අප විශේෂයෙන් නවසීලන්ත අධ්‍යාපනඥයකු වන ජෝන් හටී මහතාගේ Visible Learning: A synthesis of over 800 meta-analyses relating to achievement නම් දීර්ඝ හා සංවිධිත පාර-අධ්‍යයන පර්යේෂණ වාර්තාව වෙත යොමු විය යුතු ය.
හටී මහතා අධ්‍යාපනය කෙරෙහි බලපාන ව්‍යුහමය හා ව්‍යුහමය නොවන බොහෝ සාධක ප්‍රමාණයක් සලකා බලන අතර ඔහු අපට පෙන්වන්නේ මාධ්‍යවල නිතර දෙවේලේ අධ්‍යාපනය ගැන කතා කරන බොහෝ මාතෘකා අධ්‍යාපනය සඳහා බලපෑම ඉතා ම අඩු බව ය.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සැලකූ විට මෙහි කාරණා දෙකක් ඉස්මතු කළ යුතු ය.
එනම් ශිෂ්‍ය කේන්ද්‍රීය හා නිර්මාණවාදී ක්‍රමවලට වඩා ගුරුවරයා පාදක වූ ඍජු ඉගැන්වීම් ක්‍රම වඩා වැඩියෙන් සඵලදායී බව කැපී පෙනෙන ලෙස සලකුණු වී ඇති බවයි.
අනෙක නම් රූපවාහිනිය හා පරිගණක ආශ්‍රිත ඉගෙනුම් ක්‍රම තවමත් සාම්ප්‍රදායික ක්‍රමවලට සාපේක්ෂව ඉතා අකාර්යක්ෂ්ම බවයි.
හොඳින් ආනුභවික සාක්ෂ්‍ය ඇත්තේ කුමන ආකාරයේ ක්‍රමවේදවලට ද?
මේ කාලය වන විට සිදු කොට ඇති ආනුභවික පරීක්ෂාවලින් ඉතා හොඳින් සාධක හමුවී ඇත්තේ පහත සඳහන් ඉගැනුම් ඉගැන්වීම් ක්‍රම මතවාද සඳහා ය.
* Cognitive Load Theory
* Multimedia Learning Theory
* Direct Instructions (රෝසන්ෂයින්ගේ)
* ICAP framework
* Retrieval theory
* Desirable Difficulty
* Spacing and interleaving
මේවා දීර්ඝ වශයෙන් විස්තර කරමින් මේවාට ඇති සාක්ෂ්‍ය විස්තර කිරීම මේ ලිපියේ අරමුණ නො වේ. එහෙත් මේවායේ සමස්ත අදහස් කෙබඳු ආකාර දැයි කෙටියෙන් ඡේදයකින් දක්වමි.
ඉගෙන ගන්නා අතරතුර ක්‍රියාකාරී මතක ධාරිතාවය කුඩා ය. දිගුකාලීන මතකය සමස්ත චිත්‍ර හෙවත් ස්කිමාවන් (schema) මත රඳා පවතී. ඉගෙනීමේ යනු මේ ස්කිමාවන් ගොඩනැංවීම ය. මේ සඳහා, අත්‍යවශ්‍ය විෂය බර පමණක් ක්‍රියාකාරී මතකයට ලබා දෙමින් අමතර බර හැකිතාක් ඉවත් කළ යුතු ය. මේ අත්‍යවශ්‍ය විෂය බර ලබා දීමේ දී ද හැකිතාක් ඒවා කුඩා කොටස්වලට බෙදා ගුරුවරයා විසින් උපකාරක උදාහරණ සපයමින් කියා දෙනු ලැබිය යුතු ය. මේ සඳහා ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය දෙක ම භාවිත කළ යුතු නමුත් එහි දී අමතර බරක් ලබා දීමෙන් තොරව මෙය සිදු කළ යුතුයි. ගුරුවරයා ඍජුව ස්කිමාවන් හා මූලික කරුණු කියා දිය යුතුයි. යම් ක්‍රියාකාරකම් හා අන්තර්ක්‍රියා සඳහා යොමු කළ යුත්තේ මූලික විෂය කොටස් ග්‍රහණය කොට ගත් පසු පමණි. ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම යනු හුදෙක් උගත් දේ මැන බැලීමේ ක්‍රමයක් පමණක් නො වේ. ඉගෙන ගත් දැනුම ප්‍රතිග්‍රහණය (retrieve) කිරීම නිසා ම මතකය වර්ධනය වේ. මේ ප්‍රතිග්‍රහණය යම් තරමකින් දුෂ්කර තත්ත්ව යටතේ කිරීමෙන් හා ඉගෙනීමෙන් යම් කාලයකට පසු සිදු කිරීමෙන් හා විෂය කොටස් මිශ්‍රව ප්‍රතිග්‍රහණය කිරීමෙන් දිගුකාලීන මතකයට එක් වීම වැඩි ය. මේ මතවාදවලට ඉතා ප්‍රභල ආනුභවික සාක්ෂ්‍ය ඇත.
පැරණි නිර්මාණවාදී අධ්‍යාපන මත අසාර්ථක වීමෙන් පසු අලුතෙන් නිර්මාණවාදීන් යෝජනා කරන්නේ මුලින් ම ගුරුවරයා විසින් විෂය උගන්වා ඉන්පසු පමණක් දැඩි අධීක්ෂණය යටතේ ගවේෂණ පාදක ඉගෙනීම කළ යුතු බවයි (guided discovery) මෙම නව මතය සඵලදායී ද නැති ද යන්න ඉදිරියේ දී පර්යේෂණවලින් බලාගත හැකි වනු ඇත.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ද පිටුපසට ද?
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදුවන්නේ ගවේෂණ ක්‍රමවේදය ආදී නිර්මාණවාදී මතවාද පෙරදැරිව බව ඉතා පැහැදිලි ය. මාධ්‍ය හමුවක දී විද්‍යාව මොඩියුලයේ ඝන, ද්‍රව, වායු සම්බන්ධ අභ්‍යාසය පිළිබඳ විග්‍රහ කළ නිලධාරීන් හා ඇමතිවරුන් ඍජුව කීවේ සිසුන් ගොස් සොයා බලා කියන දෙයින් සාකච්ඡාවක් ගොඩනඟා සාකච්ඡාවෙන් ඉගැන්වීම අපේක්ෂිත බවයි. මොඩියුල පොත් හා ගුරු මාර්ගෝපදේශ විමසා බැලීමෙන් ද මෙය පැහැදිලිව පෙනේ. ඒ අතරතුර බොහෝ සෙයින් සිසුන් අන්තර්ජාල අන්තර්ගතයන් වීඩියෝ, හඬපට වෙබ් අඩවි වෙත යොමු කිරීම ද පෙනෙන්නට තිබේ. එමෙන් ම කණ්ඩායම් ක්‍රියාකාරකම් පොත් පිංච, පෝස්ටර් නිර්මාණට ආදී දේ වෙත වැඩි බරක් ලැබී ඇත.
මෙය හොඳින් සාක්ෂ්‍ය ලැබී ඇති ශක්තිමත් අදහසක් වන සංජානනීය භාර ප්‍රවාදයට (cognitive load theory) ඉඳුරා ම විරුද්ධ වෙයි. මේ ප්‍රතිසංස්කරණය සිසුන්ට අදාළ විෂය දැනුම ඉගෙන ගැනීමට වඩා අමතර වූ නොමනා බරක් සිසුන් වෙත ඉගෙනීමේ ක්‍රියාවලියේ දී ලබා දෙයි.
උදාහරණ ලෙස නව ගණිත මොඩියුලයේ ගණිතය පාඩමක ක්‍රියාකාරකමක් ලෙස තෝරාගෙන ඇත්තේ ඉඟුරු වගාවයි. එහි ගණිතයට වඩා වැඩි කාල වේලාවක් වැය කරන්නේ ඉඟුරු වගාව ගැන වීඩියෝ බැලීමත්, එහි නියැලෙන පුද්ගල කාණ්ඩ ගැන සොයා බැලීමටත්, ඉන්පසු පෝස්ටර් සැකසීම ආදී ක්‍රියාකාරකම් වෙතටත් ය. මේ සියල්ල විෂයයට අමතර බර හෙවත් විෂය තේරුම් ගැනීමට බාධාකාරී වන දේ ය. මේවා ඉතා විශාල ලෙස වැඩි කොට ඇත. මැක්කාගේ රචනාව සේ ගණිතය පසෙක තබා වෙන වෙන දේ සාකච්ඡා කරන ස්වභාවයක් පෙනෙන්නට ඇත.
විෂයයේ සමස්ත චිත්‍රය වටහා ගැනීමට මේවා බාධාකාරී ය. අනෙක් අතට මේ පෝස්ටර් ආදියට ලකුණු දෙන්නේ සම්පූර්ණයෙන් ම දෘශ්‍ය නිර්මාණකරණ මූලධර්මවලට පවා විරුද්ධ ආකාරයකිනි. මේවා නිසා සිදුවන්නේ සිසුන් ගණිතය පසෙක තබා පෝස්ටර් සාදමින් සිටීමත් අඩු තරමින් හරියට පෝස්ටරයක් සාදන්නවත් නො දැන ගැනීමත් ය.
ශිෂ්‍ය සහභාගීත්වය හා ක්‍රියාකාරකම්වල උනන්දුවෙන් නියැළීම (engagement) යනු හොඳින් ඉගෙන ගන්නා බව ම නො වේ. මේ දෙකකි. නව අධ්‍යාපන ක්‍රමයේ නියැළෙන සිසුන් විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙනු පුටුවක වාඩි වී ඒ දෙස බලා සිටින්නකුට සුන්දර දසුනක් සේ දිස්වීමෙන් එම සිසුන් මනා ඉගෙනීමක් ලබන බව ඇඟවෙන්නේ නැත.
අනෙක් අතට මේ ප්‍රතිසංස්කරණය ඉගැන්වීම අතරේ ම කෙරෙන අඛණ්ඩ ඇගයීම්වලට අධික බරක් තබා වාර විභාග වැනි සමස්ත ඇගයීම් ක්‍රම විස්ථාපනය කරමින් ඒවාට අඩු බරක් හා අඩු අවධානයක් දී ඇත. ඉහත කී ලෙස ප්‍රතිග්‍රහණය, එය යම් දුෂ්කර තත්ත්වයක් යටතේ කිරීම, ඉගෙනීමෙන් යම් කාල පරතරයකට පසු ඇගයීම් කිරීම යනාදියේ ඇති කාර්යක්ෂමතාව මේවායින් නො ලැබේ.
එහෙයින් අපට පෙනෙන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධ්‍යාපනවේදීන් යැයි කියාගන්නා අය වපුරන මිථ්‍යාවන් මත පදනම් වී ඇති බවත් ලෝකයේ අසාර්ථක වූ පැරණි ක්‍රමයක් වෙත මවාගත් නවතාවයකින් යුතුව පියමැනීමක් ලෙස ය. එනම් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ ආපස්සට ය.
- තමලු මලිත්ත පියදිගම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්..
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..
නීතීඥ සංගමයෙන් ජනපතිට දැඩි විරෝධයක්..