නැව් පෙන්නා පාරට විසි කරපු තරුණයෝ...
‘වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා වගෙයි’ කියල පිරුළක් තියෙනවා. ඒක අර්ථ නොගැන්නුවාට ගොඩක් අයට අර්ථය වැටහෙනවා. මේකත් එවැනි පන්නයේ පොදු කතාවක්. කතාව කියවගෙන යන කොට කාරණය ඒත්තු යයි. මේ අය නම්, ගම් ප්‍රසිද්ධ කරනවට බයයි. අද මුදලට හෙට ණයට වගේ හෙට දේ වෙනකම් මේ අය අද දුන් මුදලට සාධාරණය වෙතැයි බලාපොරොත්තු දල්වාගෙන සිටිති. ‘මගේ එකම හීනය නැවක ‘කෙඩෙට්‘ කෙනෙක් වෙන එක තමයි. අපේ ගෙවල් පැත්තේ නැවක වැඩ කරන කෙනෙක් ඉන්නවා.
එයා ඉතාම හොඳ ජීවිතයක් ගත කරනවා. ලක්සරි ජීවිතයක්. මමත් හිතුවා කවදාහරි නැවක වැඩ කරනවා කියලා. බී.එම්.අයි.සී.එච්. එකේ රැකියා ප්‍රදර්ශනයක් තිබුණා. ඒක බලන්න ගියහම මගේ ඉලක්කයට යන්න ඕන පාර හමු වුණා. ඒ බලලා මම එකේ පුහුණුවට ගියා. පුහුණුව මාස තුනයි. අවුරුද්දක් ඇතුළත නැවක රස්සාවක් දෙනවා කියන පොරොන්දුව ඒ අය මුලදී ගිවිසුමේදීම කිව්වා. මම මේ පුහුණුව කළේ 2023දී. දැන් 2026ත් වෙලා තවම නැවකටවත් නැඟලා නැහැ. කෝස් එකේ මුදල ලක්ෂ 25ක්. මුලින්ම ගෙවන අයට ඩිස්කවුන්ට් එකක් දෙනවා කිව්වා. එතකොට මුදල ලක්ෂ 24 වෙනවා. සහභාගි වෙච්ච හැමදෙනාම මුලින්ම ගෙව්වා ලක්ෂයක් හරි ඉතිරියිනේ කියලා.
අපිට ඉස්සර වෙලත් අපිට පස්සෙත් අදත් අපිට වගේම පොරොන්දු දිදී කට්ටිය බඳවා ගන්නවා. මම වගේම කට්ටිය නැව් නඟින්න බලාගෙන එනවා. මාස තුන ගාණේ අවුරුද්ද කෝස් හතරක් වෙනවා. ළමයිනුත් එනවා. මම අවුරුදු 21දී ආවේ. දැන් අවුරදු 24යි. ලක්ෂ 24කුත් ඉවරයි. තාත්තා ඒ සල්ලි ගෙව්වේ ඉඩමේ කෑල්ලක් විකුණලා. ලක්ෂ 24 මාසෙන් දෙකෙන් හොයන්න පුළුවන් කියලා අපිට කිව්වේ. ඒත් තවම රැකියාවක් නෑ. නැව්වලට ඕන තරම් බඳවා ගන්නවා කිව්වා. කෝස් එක ඉවර වුණ ගමන්. නැවක රස්සාව ස්ථීරයි කිව්වා.
දැන් අවුරුදු තුනක් ගිහිල්ල නැවක් නැහැ. අවුරුද්දක් යන්න කලින් රස්සාව දෙනවා කියලා අදටත් බඳවා ගෙන කෝස් එක කරනවා. අපි ඇවිත් ඇවිත් යනවා. මට මේ ඇවිත් යන්නම දැන් ලක්ෂ ගාණක් වියදම් වෙලා තියෙනවා. දැනට මාත් එක්ක නැවක රැකියාවක් බලාගෙන ඉන්න ‘කෙඩෙට්’ ලා අසූවට වඩා ඉන්නවා. එක එක කතා කිය කිය අපිව රවට්ටනවා. අම්මයි, තාත්තයි සල්ලි ගැන කිය කිය හූල්ලනවා. ඒ අයගේ හිතේ එච්චර සල්ලි වියදම් කරලත් මම කෝස් එක හරියට කළේ නැහැ කියලයි. මේ මාස තුනට කරපු කෝස් එකට සහතික ලැබිලා තියෙනවා. ඒ පුහුණුව නැවකට යන්න සුදුසුද නැද්ද කියන්නවත් අපි දන්නෙ නැහැ. අවුරුදු තුනක් තිස්සේ අපිට නැවක රැකියාවක් ලැබිලා නැහැ.“
මේ විසිහතර හැවිරිදි තරුණයකුගේ ඉච්ඡාභංගත්වයේ හඬය. ඔහු සමඟ තව තරුණයන් හත් දෙනෙක් පැමිණ සිටියහ. මේ සියලු දෙනාගේම කතා මෙබඳුය. ඔවුන් උසස් පෙළ සමත් ඉංග්‍රීසි කතා කළ හැකි එක්තරා පවුල් පසුබිමක් ඇති අයය. එහෙත් ලක්ෂ 25ක් කජු ඇට කොස් ඇට මෙන් මුහුදට විසි කළ හැකි අය නොවේ. ඇතැම් අයගේ මවුපියෝ කනකර උකස් කර ඇත. ළමයා වෙනුවෙන් කුඩා කල සිට එකතු කළ බැංකු පොතේ සියල්ල ඉදිරි ආයෝජනය වෙනුවෙන් වෙන් කර ඇත. තවත් අය සිය රැකියාවෙන් ලද ඊපීඑෆ් මුදලින් මෙම ලක්ෂ 25 ලබාදී ඇත. ඇතැම් අය ඉඩම් විකුණාය. නැතහොත් උකස් කරය. තව අය ණයට මුදල් ගෙනය. ඒ ඉදිරිය ඉතාම පැහැදිලිය යන විශ්වාසය උඩය. එහෙත් දැන් සිදුව ඇත්තේ නොසිතූ දෙයකි. ලක්ෂ 24 අහිමිය. වසර දෙක, තුන ගෙවී යමින් ඇති අතර ලද පුහුණුවක්ද නැති ගානය.
“අපි කෝස් කරලා රස්සාව ඉල්ල ඉල්ල යනවා. ඒ අය විවිධ හේතු කියනවා. දැන් ඒ අයත් කියන්නෙ ඔයගොල්ලෝ හරියට පාස් නැහැනේ වගේ කතා. එහෙම නැහැ. අපිට මේ සහතිකය ඕනම නැවකට යන්න පුළුවන් කියලා දුන්නෙ. දැන් ඒ අය නිදහසට කතා කියනවා. ඒ අතර කියනවා කොරියාව එක්ක අපි ගිවිසුමක් ගහලා තියෙනවා. තව මාස තුනක් කොරියන් භාෂාව, ඒ සංස්කෘතිය ඉගෙන ගන්න ඕන. ඒවා ඇවිත් ඉගෙන ගන්න කියලා. ඉතින් අපි හැමෝම ඒකත් කරනවා. ඒකට ඒ අය අපි වෙනුවෙන් එක්කෙනකුට ඩොලර් 500ක් වියදම් කරලා තියෙනවා. ඒ නිසා කවුරු හරි අතරමඟදී නතර වෙනවා නම් එයා අතින් ඩොලර් 500ක් ඒ අයට ගෙවලා තමයි අයින් වෙන්න ඕන කියනවා. ඉතින් හැම කෙනාම ඒ මාස තුනත් යනවා. කොරියන් භාෂාව මාස තුනෙන් ඉගෙන ගන්න කියනවා. ඒ පුහුණුව නැවක රස්සා පුහුණුවක් නෙවෙයි. මොකක් හරි කොරියන් රැකියාවක් හොයලා දෙන්න කරන පුහුණුවක් වගේ. එහේ ගිහිල්ලා ඉන්න තමයි පුහුණු කරන්නෙ. අපිට තේරෙන්නෙ නැහැ මොනවා කරන්නද කියලා.”
ඒ තව කතාවකි. අනෙක් හැම කතාවක්ම එවැනි අඳෝනාවකි. මේ තරුණ ජීවිතය වයස ගෙවෙමින් රැකියාවක් නොලැබ මුදල්ද ලක්ෂ 24ක් අහිමිව නැඟෙන බරපතළ ඛේදවාචකයක කතා ගොඩකි.
“මෙහෙම දන්නව නම් ඒ සල්ලිවලින් ත්‍රීවීල් එකක් අරගෙන දුවනවා.”
හැම වදනකම ඇත්තේ කලකිරීමය. බලාපොරොත්තු රහිත බවේ ලකුණුය. මේ පුහුණු පාඨමාලා ගැන සොයා බලද්දී ඒ හැම ආයතනයක්ම පුහුණුව අවසානයේ රැකියාව ස්ථිර බවට දෙන සහතිකය ඇත. ඒ අනුව මේ පුහුණු ආයතන පාඨමාලාව සම්පූර්ණ කළ අයට නැවක රැකියාව දිය යුතුමය. එය ඒ ගිවිසුමේ ඇති කාරණයකි. එහෙත් ඒ ‘කෙඩෙට්‘ පුහුණුව ලබන අයටය. එහෙත් තව කට්ටියක් නැවේ වෙනත් රැකියා අවස්ථා සඳහා පුහුණුව ලබන අයද වෙති. ඒ පුහුණු පාඨමාලාවක් සඳහා අය කරන ගාස්තුව ලක්ෂ තුනහමාරකි. මේ පුහුණුවට එනුයේ සමාජයේ පහළ පාන්තික පවුල්වල අයය. කෙසේ හෝ ලක්ෂ තුනහමාරක් සොයාගෙන නැවක කුමක් හෝ රස්සාවක් කර අනාගතය ගොඩදා ගැනීම ඒ අයගේ අරමුණය. මේ ආකාරයට පුහුණුව ලැබ රැකියා නොමැතිව වසර ගණනක් බලා සිටින ප්‍රමාණය පන්දහසකට වැඩිය.
පීඩිත ජනයාගේ ආණ්ඩුවක් පත් වී ඇති අතර මේ ආණ්ඩුවෙන් ඒ අයට රැකියා ලැබෙතැයි සමහරු විශ්වාස කරති. හැමට ඇත්තේ විශ්වාසය පමණි. කවදා හෝ රැකියා ලැබෙතැයි සිතා විශ්වාස කරති. නම, ගම, පින්තූරයක් ඇතිව කතා කරන්නට මේ අය බයය. ඒ ලැබෙන්න නියමිත රැකියාව නොලැබෙනු ඇතැයි කියාය.
ලංකාව තුළ නැව් නග්ගන පොරොන්දුව පිට මේ පාඨමාලා කරන පෞද්ගලික ආයතන ගණනාවක් ඇත. ඒ අතර සිනෙක්, මර්කන්ටයිල්, යූඑන්කේ, ලංකා ඇකඩමි, එම්එස්ටීඅයි වැනි ආයතන ඇත. මේ අතර රජයද මේ පුහුණුව ලබා දේ. තවත් ආයතනද ඇත. එහෙත් මේ ගැටලුවල හිර වී ඇති ළමයින් අති බහුතරය නොව සමස්තයම ඉහත ප්‍රධාන ආයතනවල පාඨමාලා කළ අයය. ඒ අය හිතා මතා මේ මගඩිය කරනවාද නැද්ද යන්න ආණ්ඩුව සොයා බැලිය යුතු කරුණයකි.
අනෙක් අතට වෙළෙඳ හා සුඛෝපභෝගි මගී නෞකාවල නව ක්ෂේත්‍ර ගණනාවක රැකියා සඳහා ලාංකිකයන්ට විශාල ඉල්ලුමක් ඇති බව නිතර මැවෙන පුවතකි. ඒ සඳහා තරුණ මෙරට තරුණ තරුණියන් පුහුණු කරන පුළුල් වැඩපිළිවෙළක් හදන බව ආණ්ඩු ගණනාවක්ම දී ඇති පොරොන්දුවකි මීට පෙර බොහෝ අය නැවක රැකියාව ලෙස ගියේ සීමන්වරුන් හෙවත් වෙළෙඳ නාවිකයන් ලෙසය. නමුත් මේ වන විට විශාල මගී (CRUISE) නෞකාවල කරනවෑමියන් අරක්කැමියන්, ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා-කැසිනෝ සහ විනෝදාස්වාද සේවා, ප්‍රාසාංගික සේවා ශිල්පීන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකම රැකියා සඳහා විශාල ඉල්ලුමක් ඇතැයිද දැන්වීම් පළ වේ. එසේ නම් වෙළෙඳපොළ විවෘත මුත් ඊට අවශ්‍ය ගුණාත්මක සැපයුම සිදු නොවන බව ඉතාම පැහැදිලි කරුණකි. මෙම වෙළෙඳපොළට ඉල්ලුම් කරනුයේ ශ්‍රී ලංකාව පමණක් නොව තව බොහෝ රටවල මෙම පුහුණුව ලබන අය ඉදිරිපත් වෙති. එසේ නම් ප්‍රමිතියක් නැති පුහුණුවට ඉඩක් නැති බව පැහැදිලියි. මේ ජාත්‍යන්තර නැව්ය. ඒ අය නිසි පුහුණුවට මිස හිතවත්කම්වලට රැකියා දෙන අය නොවේ. එසේ නම් මෙරට ප්‍රධාන වශයෙන් මහා පරිමාණව නැව් රැකියා ලබාදෙන ආයතනවල ප්‍රමිතිය ගැන සොයා බැලිය යුතුය. ලක්ෂ 25ක් යනු සුළුපටු මුදලක් නොවේ. එක මාස තුනක කෙඩෙට් පුහුණුවට ළමයින් තිහක් එක ආයතනයකට ඇතුළත් වුවද ඒ මාසය තුළ ඔවුන් උපයන මුදල ලක්ෂ හත්සිය පනහක් පමණ වේ. මේ ආකාරයට වසරට අවස්ථා හතරකදී උපයන මුදලත් මේ විදිහට ප්‍රධාන සෙසු ආයතන උපයන මුදලත් බලන කල මේ විරැකියාවෙන් පෙළෙන ප්‍රමාණය සහ වියදම් කර ඇති විශාල ධනස්කන්ධයට සිදු වන්නේ එක්තරා මගඩිකාරයන් පොහොසත් කිරීමට එහා නොයන අරුතක් බව නොපැහැදිලිද?
මෙයින් මේ පාඨමාලා කරන සියල්ලෝ කරනුයේ වංචාවක් බව නොකිය යුතුය. මේ අයද ඉතා සුළු පිරිසකට රැකියා සපයනවාද විය හැකිය. එහෙත් පොරොන්දුද දී බඳවා ගන්නා සියල්ලට සාධාරණය නොවන බව නම් ඉතාම පැහැදිලිය. කෙඩෙට් නිලධාරීන් ලෙස රැකියා නොමැතිව එක ආයතනයක වසර කිහිපයක් තිස්සේ අසූවකට වඩා සිටී නම් එයින්ම ඒ බව පැහැදිලිය. සෙසු රැකියා අවස්ථා සඳහා පෝලිම පන්දහසක් පමණ වන විට තත්ත්වය ඉතා බරපතළය.
මේ වන විටත් ශ්‍රී ලාංකිකයන් පහළොස් දහසකට අධික සංඛ්‍යාවක් විවිධ නාවික රැකියාවල නිරත වී ඇත. මෙය ලෝකයේ නාවික රැකියාවල නිරත වී සිටින සංඛ්‍යාවෙන් දශම ගණනකි.
එසේ නම් මේ වන විට මූලික න්‍යායික පුහුණුව ලැබූ පන්දහසකට අධික පිරිසකට නැව්වල ප්‍රායෝගික පුහුණුව ලබාගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව පැහැදිලිය. එසේ නම් මේ සියලු ආයතන ආණ්ඩුව එනම් වරාය භාර අමාත්‍යාංශය හරහා සම්පූර්ණ අධීක්ෂණයට ලක්වේ. මීට පෙර තත්ත්වයන් කුමක් වුවත් වත්මන් ආණ්ඩුව සහ වරාය භාර අමාත්‍යාංශය මීට වගකීමෙන් මැදිහත් විය යුතු කාලය උදා වී ඇත. මේ උගුලේ දැනට සිර වී ඇති ප්‍රමාණය දෙස බලන කල මෙය මහ පරිමාණ ජාවාරමක් බව පැහැදිලිය. එයින් ඉතාම ප්‍රමිතියෙන් යුතුව කරන ආයතනවලටද ගැටලුකාරී තත්ත්වයක් උදාවේ. මේ කුමන ආයතනයක වුව පොරොන්දු කාරකව රැකියා ලබාදිය නොහැකි නම් ලක්ෂ 25ක් ලබා ගැනීම අසාධාරණයය.
ආණ්ඩුවට මෙහිදී විශාල කාර්ය භාරයක් ඇත. එය ජාතික වගකීමකි. වත්මන් ජනපති හැම ක්ෂේත්‍රයකටම අය යොමු කරන නිසා මේ කාරණා දෙසද සොයා බැලීම වටී. වරාය භාර ඇමැතිවරයා මෙන්ම වරාය අමාත්‍යාංශය මෙතැන් සිට මේ ආයතන ගැන නිසි අධ්‍යයනයක් නැවත කිරීම වැදගත්ය. ඒවාට සහතික දීමේදී රජයේ මැදිහත් වීම සහ රජයේ දායකත්වය අති විශාලය. දැනටත් මේ ආයතන රජයට යටත්ය. මේවා මීට පෙර නිසි නියාමනයක් නොවූ නිසා මෙලෙස අයාලේ යනවා විය හැකිය. එහෙත් වත්මන් ආණ්ඩුවට ඒ දේවල් නිවැරැදි කළ හැකිය.
මෙතැන් සිට මේ අසරණභාවයට හසු වී ඇති ළමයින් කෙරෙහි සාධාරණයක් ඇති කිරීමට ආණ්ඩුව උත්සුක වනු ඇතැයි සිතමු. මේ පුහුණුව ලබාදෙන ආයතන ආණ්ඩුවට වගකිවයුතු නැද්ද? මීට පෙර ආණ්ඩු ඒ ගැන නිසි සැලකිල්ල යොමු කළේ නම් මේ තත්ත්වයක් නොවන බව පැහැදිලිය. එසේ නම් ඒ මාවතේම මේ ආණ්ඩුව යා යුතු නැත. මේ අයට ළමයින් වියදම් කරන මුදල රැකියා නොමැතිව සිටින ගණන යන හැම නිවැරැදිව තක්සේරු කරගත හැකිය. අනෙක් අතට මෙතරම් රැකියා අවස්ථාවක් ඇති බවට නිතර පුරප්පාඩු පෙන්නුම් කරයි නම් අපිට ඒ අවස්ථාවන්ට ළඟා වීමට නොහැකි අඩුපාඩු ආණ්ඩුව වටහා ගත යුතුය. ආණ්ඩුව මේ පුහුණු ලබා දෙතත් ඒ සියලු පුරප්පාඩු හමුවේ පෞද්ගලික අංශයටද කළ හැකි කාර්ය විශාල බව පෙනේ. එසේ නම් ඒ ආයතන නිසි ලෙස නියාමනය කිරීම ආණ්ඩුව දැන් භාරගත යුතුය. ස්ථීරවම රැකියා ලබාදිය හැකි ප්‍රමාණය අනුව බඳවා ගැනීම් කළ යුතුය. ඒ ආයතනවලට රැකියා ලබාදිය හැකි සක්‍යතාව පිළිබඳ නිවැරැදි සහතිකයක් ආණ්ඩුව ලබාගත යුතුය. නිකරුණේ කට වචනයට මෙරට තරුණ ප්‍රජාව රැවටීමේ මාෆියාවට මේ ආණ්ඩුව තිත තැබිය යුතුය. වත්මන් වරාය භාර ඇමැති සහ වරාය අමාත්‍යාංශය ඒ දේ කෙරෙහි අවංක වුවමනාවෙන් මැදිහත් වනු ඇතැයි සිතිය හැකිය. මෙය විශාල ලෙස මුදල් ගරාගත හැකි ජාවාරමක් බව ඔප්පු වී ඇත. ලාභ සිල්ලර ආයතන හරහා සිද්ධ වන්නේ එයය. ඒවාට වැඩි වැඩියෙන් හසුවනු පෙනේ.
නැවක රැකියා යනු ඩොලර්වලින් වැටුප් ලබන රැකියාවකි. එය විශාල වැටුප් ලබන රැකියාවන් වේ. මේ නිසා ලක්ෂ 25 නොව ලක්ෂ 50 වුව වියදම් කර යෑමට සිහින මවන පිරිස බොහෝ වෙති. මේ සියල්ල මුදල් ඇති කමටම වඩා මේ වියදම් කරන මුදල අපතේ නොයන විශ්වාසයෙන් ඉන්න අයය. මේ අයට උපරිම සාධාරණය විය හැක්කේ ආණ්ඩුව මැදිහත්ව මේ පෞද්ගලිකව නැව් පුහුණුව දෙන ආයතන නිසි අධීක්ෂණයට ලක් කළහොත් පමණි. එවිට නියම ප්‍රමිතියෙන් ඒ දේ කරන ආයතන ඉතිරි වී අනෙක් හොර කඩ වැසී යනු ඇත.
බැලූ බැල්මට නොපෙනුණත් මේ පිළිබඳ ඇතුළට කිඳී බලද්දී මෙම නැව් රැකියා ලබාදෙන මුවාවෙන් මහා පරිමාණ ජාවාරමක් දියත් වන බව පැහැදිලි වේ. පුහුණුව කොතරම් අසාර්ථක වුවත් මුදල සෙවිය යුතු අතර එම සිසුන් කොතරම් දක්ෂ වුවත් රැකියාවක් සොයා දිය නොහැකි නම් ඔවුහු අසමත් වූවා යැයි පහසුවෙන් අත පිසදා ගත හැකිය. මේ ක්ෂේත්‍රය ගැන දන්නා ප්‍රමාණය අඩු නිසා දන්නා ටික දෙනා ඒ ක්ෂේත්‍රයේ දියබුන් ගහන බව පෙනේ. එබැවින් බලධරීන් මේ සියල්ල නිසි නියාමනයට ලක් කළ යුතුව ඇත. මේ එයට නිසි කාලය වෙයි.
මේ ළමයින්ගේ අඳෝනාව හේතුව කොට ගත යුතුය. මෙම ආයතන විශාල ලෙස මුදල් උපයන බැවින් ඔවුන්ද අවංකව සිය සේවාව සැපයීමට ළමයින්ගෙන් ගන්නා මුදලට සාධාරණය කිරීමටත් අවසානයේ නැවක රැකියාවක් ලබා දීමටත් පොරොන්දු පරිදි ක්‍රියා කළ යුතුව ඇත. එසේ නොකර කට්ටි පැන මෙවැනි අධම වැඩ කළ හැකි නම් එයට එකම හේතුව මේ සියල්ල යටත්ව ඇති වරාය අමාත්‍යාංශය දුර්වල බවය. වරාය ඇමැති දුර්වල බවය. අවසන ආණ්ඩුව දුර්වල බවය. වත්මන් තත්ත්වය තුළ එය එසේ නොවනු ඇතැයි අපි සිතමු. මේ බොහෝ තරුණයන්ගේ ලක්ෂ ගණන් මුදල් මුහුදේ නොව මුහුද පෙන්වන ජාවාරම්කාරයන්ගේ සාක්කුවට යන බව අමතක නොකළ යුතුය.
- ටිරන් කුමාර බංගගමආරච්චි -
මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්..
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..