News Category
From Date
To Date
Maximum Number of Result

ආදිවාසීන්ගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය

Dec 31, 2025 at 06:35 AM
|

ලංකාවේ වැදි ජනයා ලොව ජීවත් වන සුවිශේෂ වූ ජන කොට්ඨාසයකි. ඔවුන්ගේ විශේෂිත වූ මානව ලක්ෂණ, භාෂාව, සිරිත් විරිත් හා ඔවුන්ටම අනන්‍ය වූ සංස්කෘතිය සේම, දිගු ඉතිහාසය ද එම සුවිශේෂී බවට සාක්ෂ්‍ය සපයයි. මෙරට වැදි සමාජය ගල් වැද්දන්, ගම් වැද්දන් හා වෙරළබඩ වැද්දන් ලෙස කාණ්ඩ තුනකි. ගල් වැද්දන් වනාන්තරවල ගල් ගුහා නිවහන් කර ගෙන ජීවත් වූ පිරිසකි. එහෙත්, අද වන විට එම ගල් වැද්දන් ලෙස හැඳින්වූ, වනයේ ගල් ගුහා ආශ්‍රිතව ජීවත් වූ වැදි කාණ්ඩය දක්නට නොමැත. ගල් වැද්දන් දක්නට නොලැබුණු නමුත්, ගම් වැද්දෝ අද ද වාසය කරති. ගල්ගුහාවලින් බැහැරව, පැල්පත් සාදාගෙන, ගම් වැද්දෝ ජීවත් වෙති. ඔවුන් දඩයම් කිරීම මෙන්ම ගොවිතැන් කටයුතුවල ද නිරත වේ. වර්තමානය වන විට දඹාන, හෙන්නානිගල, රතුගල, පොල්ලෙබැද්ද, දලුකාන ආදී ගම්මාන කිහිපයක පමණක් ගම් වැද්දෝ ජීවත් වෙති.

වෙරළබඩ වැද්දන් හෙවත් මූදු වැද්දන් යනු නැඟෙනහිර වෙරළබඩ ආශ්‍රිතව ජීවත් වන වැදි ජනයාය. අතීතයේ රට අභ්‍යන්තරයේ ජීවත් වූ වැදි ජනයා, ගංගා මාර්ග ඔස්සේ ආහාර සොයමින් යන අතරතුර වෙරළබඩට සේන්දු වීම, වෙරළබඩ වැදි ජනයාගේ ආරම්භය යැයි විශ්වාස කරයි. එහෙත්, අද වන විට වෙරළබඩ වැද්දන් ඔවුන්ගේ අසල්වැසි දෙමළ ජනයා සමඟ සම්මිශ්‍රණය වීම හේතුවෙන්ම තම වැදි උරුමයෙන් ඈත්ව ගොසිනි.

සාම්ප්‍රදායික වැදි ජනයා හට තම ජීවිතය පවත්වා ගැනීම සඳහා ඉටුකර ගත යුතුව ඇත්තේ ඉතා සීමිත අවශ්‍යතා කිහිපයක් පමණි. එකී සීමිත අවශ්‍යතා අතර, ආහාරවලට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. වැදි ජනයාගේ ආහාර පුරුදු, සිරිත් විරිත්, ආහාර සොයා යෑම, ආහාරවල භාවිතය මෙන්ම, ආහාර කල් තබා ගැනීම් ආදිය පොදු ජන සමාජයේ භාවිතාවන්ට වඩා සුවිශේෂී ලක්ෂණවලින් පෝෂිත වූවකි.

මී පැණි භාවිතය

මී පැණි යනු වැද්දන්ගේ ප්‍රියතම ආහාරයකි. මී වද සොයා යෑමේදී වැද්දන් භාවිත කරන ක්‍රම සැබැවින්ම විස්මයජනකය. එය නූතන විද්‍යාඥයන් ද මවිත කරවන්නකි. මන්ද, වැද්දන් තම ජීවිත අත්දැකීමෙන් හා පාරම්පරික ඥානයෙන් උරුම කරගත් දැනුම, නූතන පර්යේෂණ ප්‍රතිඵලවලට ද එහා ගිය මහා දැනුම් සම්භාරයකි. මී මැස්සන් යනු ගණාවාසී දිවි පැවැත්මක් ගත කරන ජීවී කොට්ඨාසයකි. එහිදී තම පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා සුවිශේෂ සන්නිවේදන හැකියාවක් මී මැස්සන් සතුය. ඒ පිළිබඳ ගැඹුරු පර්යේෂණ සිදු කළ මහාචාර්ය කාල් ෆොන් ෆ්රිෂ් හට 1973 වසරේදී නොබෙල් ත්‍යාගය ද හිමි විය.

නූතන පර්යේෂණවලින් හඳුනාගත් මී මැස්සන් සතු එක් සන්නිවේදන සංඥා ක්‍රමයක් ලෙස, ‘බිඟු නැටුම‘ හැඳින්විය හැකිය. බිඟු නැටුම යනු රිද්මයාකාර ශරීර චලන ක්‍රම කිහිපයකි. එම බිඟු නැටුම රඟ දක්වන්නේ බිඟුවකු තමන් සොයා ගත් ආහාර ප්‍රභවයක් පිළිබඳ අන් බිඟුන්ට දැන්වීමටය. එහිදී, නූතන පර්යේෂකයන් සොයාගත් පරිදි, වට නැටුම, දෑකැති හැඩ නැටුම හා උර ලෙළන නැටුම ආදී බිඟු රැඟුම් ආකාර කිහිපයකි. මේ එක් එක් බිඟු රැගුම මඟින්, ආහාර ප්‍රභවයට කැදැල්ලේ සිට ඇති දුර පිළිබඳ වටහා ගත හැකිය. නිදසුනක් ලෙස, චර බිඟුවකු වට නැටුම රඟ දක්වන්නේ නම්, එහි අදහස ආහාර ප්‍රභවය කැදැල්ල ආසන්නයේම ඇති බවය. එහෙත්, උර ලෙළන නැටුම රඟ දක්වන්නේ නම් එහි අදහස, ආහාර ප්‍රභවය ඇත්තේ කැදැල්ලේ සිට මීටර දෙකකට වඩා වැඩි දුරකින් බවය. මේ නූතන පර්යේෂණවලින් මී මැස්සන්ගේ සන්නිවේදන හැකියා පිළිබඳ කළ අපූර්ව සොයා ගැනීම්ය. එහෙත් විස්මයජනක කරුණ නම්, මෙරට වැදි ජනයා මේ නූතන පර්යේෂණ කිරීමටත් පෙර සියවස් ගණනාවක ඈත අතීතයේ සිටම, තම ජීවන අත්දැකීම් හා පාරම්පරික ඥානය මඟින් මී මැස්සන්ගේ මෙකී අපූර්ව සන්නිවේදන හැකියා පිළිබඳ මීට වඩා දැන සිටීමය.

වැද්දන්ට මී මැස්සන්ගේ චර්‍යා විධි නිරීක්ෂණය කර, බොහෝ පුරෝකථන කළ හැකිය. එම හැකියා, මී වද සොයා ගැනීමට ඔවුහු භාවිත කරති. නිදසුන් ලෙස, මල් රොන් රැගෙන පියාසර කරන මී මැස්සන් දුටු විට, එම මී මැස්සන් පියාසර කරන දිශාවෙන් හා පියාසර කරන විට නැඟෙන හඬින් මී වද ඇති දිශාව නිවැරැදිවම ප්‍රකාශ කිරීමට, වැද්දෝ සමත්කම් දක්වති. මී මැස්සන් නොදැක වුව ද, ඔවුන්ගේ පියාසර හඬට සවන්දී, මී මැස්සන් පියාසර කරන්නේ මී වදය දෙසට ද? නැතහොත් මී වදයෙන් ඉවතට ද? යන්න නිවැරැදිව කිව හැකිය.එපමණක් නොව, මී මැසි චර්‍යා නිරීක්ෂණය කර, එම මී මැස්සන් තනා ඇති මී වදය නොදැකම එහි ඇති පැණි ප්‍රමාණය මෙන්ම, අලුතින් බැඳි මී වදයක් ද? පරණ මී වදයක් ද? ආදී ලෙස නිවැරැදිව බොහෝ පුරෝකථන කිරීමේ හැකියාව, වැද්දන් සතුවේ.

මී පැණි සොයා යෑමේදී පමණක් නොව, දඩයමේ යන විට ද වැද්දෝ තමා සතු පාරම්පරික ඥානය ප්‍රකට කරවති. වැද්දෝ සතුන් නොදැක ඔවුන්ගේ වසුරු, පා සලකුණු , ශබ්දය, ගන්ධය ආදියෙන් අවට සැරිසරන සතුන් පිළිබඳ නිවැරැදිව නිගමනයකට එළැඹීමට සමත්කම් දක්වති.

වැද්දන්ගේ සාම්ප්‍රදායික ආහාර අතර, මී පැණි මෙන්ම දඩමස් වලට ද හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. එහෙත්, ඔවුහු සමහර සතුන්ගේ මස් ආහාරයට නොගනිති. ඉබ්බා, ගවයා, නරියා, ගම් කුකුළා, හබන් කුකුළා, වලිකුකුළා, කොටියා ආදී සතුන්ගේ මෙන්ම සේරු, කොකුන් ආදී ජලාශ්‍රිත පක්ෂීන් ද ආහාරයට නොගනිති. වැද්දෝ, අමු දඩමස් මෙන්ම, වියළි දඩමස් ද විවිධාකාරයෙන් පිළියෙළ කර ආහාරයට ගනිති. මෙහිදී සමහර මස් වර්ග පිසින විශේෂ ක්‍රම ද දැකිය හැකිය.

හම භාවිත කර අමු මස් පිසීම

වැද්දන්, දඩයම් කළ ස්ථානයේදීම මස් ආහාරයට ගන්නාවිට, ඒවා පිස ගැනීම සඳහා බඳුන් වෙනුවට දඩයම් කළ සතාගේ හම භාවිත කරන අවස්ථා ද ඇත. ගෝනකු දඩයම් කළ විට, එම සතා හම ගසාගත් පසු ඔවුහු එම හම තිරස්ව වියනක් ලෙස ලී කණු ආධාරයෙන් ගැට ගසා ගනිති. මෙය ගැට ගසන්නේ මස් පිසීමට දල්වන ලද ගිනි මැළයට ඉහළින් හා ප්‍රමාණවත් උසකිනි. එමෙන්ම, ඔවුන් දෙසට මුහුණ ලා තිබෙන අයුරින් හා එම හම මධ්‍යයේ වක්‍ර හැඩයක් ගන්නා අයුරිනි. මෙහිදී සතාගේ මස් කපා, උගේ ලේ සමඟ මිශ්‍ර කර, හම මත තබා පිස ගැනේ.

සමහර සතුන්ගේ උදරයේ හම භාවිත කර, අමු මස් පිසින අවස්ථා ද ඇත. එහිදී ඔවුහු පළමුව දඩයම් කළ සතා හම ගසා ගනිති. පසුව උදර ප්‍රදේශයේ හම යොදාගෙන, එයින් හමේ ඇතුළු පැත්තට මිරිස්, කරපිංචා ආදිය යොදා වැල්වලින් ගැට ගසා ගනියි. මස් පිටතට නොපෙනෙන පරිදි මේ මස් පොදිය ගිනි අඟුරු ගොඩේ බහා, හොඳින් තැම්බුණු පසු ඔවුහු එය ආහාරයට ගනිති.

මස් සම්බොලය

මස් සම්බෝලය සෑදීමට ගන්නේ, හොඳින් වියළන ලද මස්ය. වැද්දෝ, වියළන ලද මස් වංගෙඩියේ ලා කොටා, එයට මිරිස් හා ලුණු ද එක් කර සම්බෝලය සාදති. එසේ නොවේ නම්, මස් කැබැලි සමඟ ලුණු හා කොච්චි එක්කාසු කර, වංගෙඩියේ දමා කොටා සම්බෝලය සාදයි. අවසානයේ සම්බෝලයට ඇඹුල් ද එක්කර අනා ගනියි.

මස් මැල්ලුම

මස් මැල්ලුම සෑදීමේදී වියළන ලද මස් ජලයෙහි පොඟවා ගත යුතුය. පසුව එය වංගෙඩියෙලා කොටා එයට ලුණු කුඩු හා මිරිස් එක් කර අනා මළවා ගැනේ.

ලේ පිරුම

වැද්දෝ දඩමස් පමණක් නොව දඩයම් කළ සතාගේ රුධිරය ද පිස ආහාරයට ගනිති. මෙහිදී මස් මෙන්ම අල වර්ග ද භාවිත කර රුධිරය ද සමඟ පිස ආහාරයට ගැනීම සිදුවේ. මේ ආහාර ‘ලේ පිරුම‘ ලෙස හැඳින්වේ. දඩයම් කළ සතාගේ අන්ත්‍ර කොටස් භාවිත කරමින් ද ඔවුන් ලේ පිරුම පිළියෙළ කරයි. මෙහිදී සතකු දඩයම් කළ පසු එම අන්ත්‍ර කුහර තුළ සතාගේ ලේ පුරවා, එහි කෙළවරවල් ගැට ගසා, ඒවා ගිනි මැළයකට උඩින් එල්ලා තබයි. අන්ත්‍ර තුළවූ ලේ කැටි ගැසුණු පසු, එම අන්ත්‍ර කොටස් ආහාරයට ගැනේ. මේ අන්ත්‍ර තුළ ලේ පිරුම වර්තමානයේ නිපදවන සොසේජස්වලට අනුරූප ආහාර සැකසීමේ ක්‍රමයකි.

නූතන ලෝකයේ මස් ආහාරයට ගන්නා ජනප්‍රිය ක්‍රමයක් නම්, මස් පුළුස්සා ආහාරයට ගැනීමයි. එහෙත්, වැද්දන් මෙලෙස මස් හා මාළු වර්ග පුලුස්සා ආහාරයට ගැනීම, ඔවුන්ගේ සාම්ප්‍රදායික ආහාර රටාවේ සාමාන්‍ය අංගයකි.

මෙහිදී මස් වියළීම සඳහා මස් මැස්ස භාවිත කරන අතර, මාළු වියළීමට හා පුලුස්සා ගැනීමට මාළු මැස්ස භාවිත කරයි. වැද්දෝ මස් හා මාළු වලට දුම් ගැසීම සඳහා වනයේ ඇති සියලුම ශාකවල දර භාවිත නොකරති. තම පාරම්පරික ඥානය හා ජීවන අත්දැකීම් තුළින්, දුම් ගැසීමට වඩාත් සුදුසුම වන්නේ කවර වර්ගයේ දර දැයි ඔවුහු දනිති. උදාහරණයක් ලෙස ඔවුහු බුරුත, වැලිකෝන්, කරඳ ආදී දර දුම් ගැසීම සඳහා භාවිත නොකරති. මන්ද, එම දර යොදා වියළා ගන්නා මස් ආහාරයට ගත් විට, මත් ගතියක් දැනෙන අතර, උදරාබාධද ඇති වන බව ඔවුන් අත්දැකීමෙන්ම දන්නා නිසාය. සියලුම ශාක දැව පිලිස්සීමේදී පිටවන දුමෙහි රසායනික සංයුතිය එක හා සමාන නොවේ. සමහර ශාක දැවවලින් හට ගන්නා දුම්වල, ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය ද අඩංගුවේ.

වැද්දෝ කිසි විටෙක විනෝදය උදෙසා සතුන් දඩයම් කිරීමක් සිදු නොකරති. හුදෙක් ඔවුන් දඩයමේ යන්නේ, කුසගින්න උදෙසා සතකු දඩයම් කිරීමටය. එහිදී ඔවුන් දඩයම් කරන්නේ, තම පිරිසට ප්‍රමාණවත් තරමේ සතුන් පමණි. කිසි විටෙක ආහාර අපතේ නොදැමීම වැද්දන්ගේ සිරිතකි. යම් හෙයකින් ආහාර අපතේ දැම්මේ නම්, නෑ යකුන් කෝපවී, තමාට අනාගතයේදී ආහාර අහිමි කරවන බව තරයේ විස්වාස කරන වැද්දන්, කිසි විටෙක ආහාර අපතේ නොදමයි. එහෙයින්ම ඔවුහු ආහාර පරීක්ෂණ ක්‍රම මඟින් වැඩිපුර ආහාර කල් තබා ගැනීමට හුරුපුරුදු වූහ. එකී පරීක්ෂණ ක්‍රමවේද සරලය. එහෙත්, විද්‍යාත්මක පසුබිමකින් යුක්තය. එම විද්‍යාත්මක කරුණු, පොත පතින් ඉගෙන නොගත්ත ද, තම ජීවන අත්දැකීම් හා පාරම්පරික ඥානයෙන් ලද දායාදය. මස්, පැණිවල බහාලා කල් තබා ගැනීම එයට කදිම නිදසුනකි..

පැණි තුළ බහා මස් කල් තබා ගැනීම ආකාර කිහිපයකටම සිදු කෙරේ. ඒ, මැටි බඳුන්, ගස් බෙන හා ගල් බෙන තුළට පැණි දමා, එයට මස් එක් කිරීමෙනි. වැද්දන්, මැටි මුට්ටි තුළ මී පැණි බහා මස් කල් තබා ගැනීමේදී, පළමුව වියළන ලද මස්, කැබැලිවලට කපා ගැනීමය. පසුව, මැටි මුට්ටියක් ගෙන, එහි පතුලට මී පැණි ස්ථරයක් හෙළා, ඒ මත මස් කැබැලි ස්ථරයක් ද තැන්පත් කරති. ඊට පසු නැවත මී පැණි ස්ථරයක් ඒ මතට එක් කෙරේ. මෙලෙස අනුයාත මස් හා මී පැණි ස්ථර පිළිවෙළින් මුට්ටිය තුළට තැන්පත් කරන අතර, අවසානයේ තැන්පත් කරන්නේ ද මී පැණි ස්ථරයකි. මෙලෙස මැටි මුට්ටිය මී පැණි හා මස්වලින් පිරී ගිය පසු, උයන් හෝ කැන්ද කොළයක් ගෙන, එහි කට වසා, වාතය ඇතුළු නොවන සේ මුට්ටිය වටා බාහිරින් මැනවින් මැටි ගසයි. මෙහිදී මී පැණි මස්වලට යහමින් උරා ගැනේ. එම මස් ඉතා ප්‍රණීතය. මෙලෙස සැකසූ මස් බඳුනක් අවුරුදු කිහිපයක් හෝ නරක් නොවී කල් තබා ගත හැකි බව, වැද්දෝ තම අත්දැකීමෙන් දනිති.

පැණි යනු අධි සාන්ද්‍ර සීනි ද්‍රාවණයකි. මී පැණි තුළ දඩමස් ගිල්වා තැබීමේදී, ආස්‍රැති ක්‍රියාවලිය හේතු කොට ගෙන දඩමස්වලවූ සැලකිය යුතු තරමේ ක්‍රියාකාරී ජල ප්‍රමාණයක් එයින් ඉවත්ව, මී පැණි ද්‍රාවණයට එක්වේ. එමනිසා, දඩමස්වල අඩංගු වන්නේ අඩු ක්‍රියාකාරී ජල ප්‍රමාණයකි. එය ආහාර නරක් වීමට බලපාන එන්සයිම හා ක්ෂූද්‍ර ජීවි ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම හා නිශේධනයට බලපායි. එමෙන්ම, බහාලන දඩමස් කැබැලි කිරීම නිසා, දඩමස්වල පෘෂ්ඨික වර්ගඵලය වැඩිවී, මී පැණි සමඟ එම මස් මැනවින් ස්පර්ශවේ. එහෙයින්, දඩමස්වලින් ජලය ඉවත් වීම කාර්යක්ෂමව සිදුවේ. කැන්ද කොළ හා මැටි ස්ථරය මඟින් වායුරෝධනයවී, බාහිර පරිසරයෙන් ආහාර නරක් කරන ක්ෂූද්‍ර ජීවීන්ගේ ඇතුළුවීම වළක්වයි. මේ සරල විද්‍යාත්මක පසුබිම සාම්ප්‍රදායික වැද්දෝ පොත පතින් ඉගෙන නොගත්ත ද, තම ජීවන අත්දැකීමෙන් දනිති.

වැද්දෝ ආහාර රසකාරක පිළියෙළ කිරීමේදී, හොඳින් මෝරා පැසුණු වට්ටක්කා ගෙඩිවල ඇට සෝදා, අව්වේ වේලා ගනිති. පසුව, වියළා ගත් එම වට්ටක්කා ඇට කබලේ බැද, වංගෙඩියේලා කොටා පිටි ලබා ගැනේ. මේ පිටි ස්වල්පයක් ගෙන, වෑංජන රසකාරකයක් ලෙස යොදා ගැනේ. එය වෑංජනවල රසය මෙන්ම සුවඳ ද තීව්‍ර කරවයි. වර්තමානයේ සමහර පිළිකා ඇති කරන කෘත්‍රිම රසකාරක සඳහා මෙය කදිම, රසවත් හා ගුණවත් ආදේශකයක් වනු ඇත.

වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය අධ්‍යයනයේදී පැහැදිලි වන තවත් එක් සුවිශේෂී කරුණක් නම්, ඔවුන්ගේ සාම්ප්‍රදායික ආහාර රටාව, අතීත ශ්‍රී ලංකාවේ මධ්‍ය ශිලා යුගයේ ජීවත්වූ බලංගොඩ මානවයාගේ ආහාර රටාව සමඟ දැක්වූ බන්ධුතාවයි.

බලංගොඩ මානවයාගේ සමහර ගල් ආයුධ, උසස් ශිල්පීය ලක්ෂණවලින් යුක්ත ඒවාය. එම ආයුධ අතර, ගල් දුන්නෙන් විදීමට යොදා ගත් ගල් මූනිස්සම් ද විය. වැද්දන් තම ආහාර සොයා යාමේදී භාවිත කළ එක් ප්‍රධාන මෙවලමක් වූයේ ගල් දුන්නය. එමෙන්ම, බලංගොඩ මානවයා මෙන්ම වැද්දන් ද වනයේ ගහකොළ සතා සීපාවන්ගෙන් තම ආහාර අවශ්‍යතාව සපුරා ගත්හ. මේ අනුව වැද්දන්ගේ ආහාර හා සැබැඳි තාක්ෂණික ඥානයේ මූලාරම්භය, අතීත බලංගොඩ මානවයාගෙන් උරුම වූවා යැයි සිතිය හැකිය.

(මූලාශ්‍රය : වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය නමැති පර්යේෂණ කෘතිය ඇසුරිනි.)

(අන්තර්ජාලය ඇසුරින්)



සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.