News Category
From Date
To Date
Maximum Number of Result

අමරසේකර අමර ආවර්ජනා!

Nov 11, 2025 at 09:19 AM
|

[ගුණදාස අමරසේකර ලේඛකයාණන් 97 වන වියට එළඹෙනුයේ 2025 නොවැම්බර් 12 වන දාය. මේ හෘදයංගම අතීත ආවර්ජනය ඒ නිමිත්තෙනි.]

   මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විරචිත ස්වාත්ම වෘත්තාන්තය වන 'පිං ඇති සරසවි වරමක් දෙන්නේ' කෘතියෙහි පහත එන පාඨය හමුවෙයි.

"....නොබෝ දිනකින් මට ගුවන් විදුලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් ලියුමක් ලැබුණි.

එහි 'යෞවන සමාජය' නම් අලුත් වැඩ සටහනක් ආරම්භ කරන මෙන් මට ආරාධනා කොට තිබුණේය.

".... 'යෞවන සමාජය' වැඩ සටහනින් විකාශනය කිරීම සඳහා මම කෙටි කතා ,නාට්‍ය ,කාව්‍ය රචනා ආදිය ඉල්ලුයෙමි. මට එවන ලද ප්‍රයත්න පරීක්ෂා කොට ඒවා රචනා කළ අය අතරින් උපනිශ්‍රය ඇත්තෙකු සේ පෙනෙන කෙනෙක් සිටී නම් ඔහු ගෙන්වා වැඩ සටහනෙහි යොදවමි.

"....මට ගුණදාස අමරසේකරද පළමු වරට හමු වූයේ ඒ දවස් වලය. කිසියම් විදේශ ප්‍රකාශන සමාගමක් විසින් නොයෙක් රටවල ආධුනික ලේඛකයන් විසින් රචනා කරන ලද කෙටි කතාවල සංග්‍රහයක් පළ කරන්නට අදහස් කර අපේ රටින්ද කෙටි කතාවක් තෝරා එවන මෙන් ආරාධනා කරන ලදී. ඒ සඳහා පවත්වන ලද තරගයට එවන ලද කෙටිකතා අතුරින් එකක් තේරීම මටත් එම්. ජේ.පෙරේරාටත් බාර විය. ගුණදාස අමරසේකරගේ 'සෝමා' නම් කෙටි කතාව අප විසින් තෝරා ගන්නා ලදී. 

"මේ කතාව ඉංග්‍රීසියට පෙරළා යවන්නට සිදු වූ බැවින් මම පරිවර්තන කාර්යය භාර ගතිමි. ඊට එහි කර්තෘ ගුණදාසගේ සහාය මම පැතීමි. විශාල ඇස් සඟලකින් යුත් ඔහුගේ බුද්ධිමත් මුහුණ මගේ දෘෂ්ටි පථයට පිවිසුණු පළමු මොහොත මගේ සිහියෙන් මැකී නොයයි. ගුණදාසගේ කතාව යුරෝපීය හා ආසියාතික තරුණ ලේඛකයන්ගේ කෘති සමග නොබෝ දවසකට පසු ජාත්‍යන්තර සංග්‍රහයක පළ වී තිබෙනු මම දුටිමි. මම ඔහුගේ 'සෝමා' 'යෞවන සමාජය' වැඩ සටහනින් විකාශනයට පත් කළෙමි. ටික කලක් ගුණදාස මගේ වැඩ සටහනට මට සහාය වූයේය."

('පිං ඇති සරසවි වරමක් දෙන්නේ' - එදිරිවීර සරච්චන්ද්‍ර - ප්‍රථම මුද්‍රණය

1985 ඔක්: - 155 -157 පිටු.)

   මහාචාර්ය සරච්චන්ද්‍රයන්, උපනිශ්‍රය ඇති කෙටිකතා කරුවෙකු වශයෙන් ගුණදාස අමරසේකරයන් නමෝ විත්තියෙන් හැඳින ගත් ආකාරය තත් ග්‍රන්ථ සාධකයෙන් විශද වෙයි. එනයින්ම උපනිශ්‍රය ඇති කවියෙකු ලෙසද ගුණදාස අමරසේකරයන් හා හපුරා කියා හඳුනා ගන්නට ඇත්තේද සරච්චන්ද්‍රයන්ම යැයි අනුමාන කරන්නට පහත දැක්වෙන මුල් කාලීන අමරසේකර කාව්‍ය රචනය අනුබල දෙයි. මෙය පළමු වරට ප්‍රචාරය වී ඇත්තේ සරච්චන්ද්‍රයන් විසින් නිෂ්පාදිතව 1953 අප්‍රේල් මස 24 වැනි දා ඉදිරිපත් කෙරුණු ගුවන් විදුලි 'යෞවන සමාජය' වැඩ සටහනෙනි. මවිසින් මේ කාව්‍ය රචනය උපුටා ගන්නා ලද්දේ එකල ගුවන් විදුලියේ සේවය කළ කෘතහස්ත මාධ්‍යවේදී කුලසිරි අමරතුංගයන්ගේ සංස්කාරකත්වයෙන් පළ කෙරුණු විශිෂ්ට  මට්ටමේ  වාර සඟරාවක් වූ 'තරංගිණී' නම් ගුවන්විදුලි (1953 නොවැම්බර්)සඟරාවෙනි.

සුන්දරත්වය

මල් වැටී විසුරුණ

පාළු ඇළබඩ

ඔබ හා එක්ව

කතාවෙන් තොරව 

සැඳෑ අඳුරෙහි

ඇවිදීමට

ප්‍රේමිය,

මා හද 

ශෝකයෙන් ළතවෙයි.

එහෙත්,

මම එය නොපතමි. 

එහි කිනම් සැපතක්ද?

සොඳුර,

පියකරු උදයක 

ගලා යන 

හිරු රැසින් යුත්

කාමරයෙහි 

ඔබ අසලට වුත් 

ඔබේ මොළොක් සුරත ගෙන 

මා මුහුණට

තද කළ විට

ඔබ

ප්‍රේමයෙන් නඟන

සිනහව 

ඇසීමට 

සොඳුර 

දිවා රෑ 

මා හද ළතවෙයි.

එහෙත්,

මම එය නොපතමි. 

එහි කිනම් සැපතක්ද?

රාත්‍රියෙහි

දික් මේසය අසල

නැඹුරු වී 

පොත් බලන 

ඔබේ

සිහින් කෙස් රොදක්

අතැඟිලි අගින් ගෙන

පටලවන විට

ඔබ හිසොසවා 

නෙතගින් 

මා දෙස

බලනු දැක්මට

සොඳුර,

මා හද 

ශෝකයෙන් ළතවෙයි.

එහෙත්,

මම එය නොපතමි.

එහි කිනම් සැපතක්ද?

ඔබ හා 

එක් වන මට

ඔබේ 

සුන්දරත්වය

නොවැටහෙතියි මට සිතේ. 

සුන්දරත්වය ඇත්තේ 

එක් වීමෙන් තොර

ඒ ශෝකී 

සිතුවිල්ලෙහිය.

   'සුන්දරත්වය' නම් මෙම කවි කැකුළ ගුණදාස අමරසේකරයන් 1955 වසරේ නෑඹුලෙන් පළ කළ 'භාව ගීත' නම් කවි සංග්‍රහයෙහි නව සුන්දරත්වයකින් පිපී ගිය අයුරුය මේ. 

සුන්දරත්වය

මල් වැටී විසුරුණ එඇලබඩ

පාළුවෙහි බිම වැතිර තනිවී 

ඔබේ අත ගෙන

සෙමෙන් අල්ලා

නඟින අඳුරෙහි 

මහත් රහසක් 

සෙමෙන් කීමට මගේ සොඳුරිය විඩාපත් වූ මගේ මේ සිත

දිවා රෑ එක විලස වෙහෙසේ.

එහෙත් එය නොපතා සිටින්නෙමි

එහි කිනම් සතුටක් ද ඇත්තේ.

උදය කාලයෙ

ළහිරු රැස් වැද 

ඔබේ මුළු කාමරය බබළයි. 

ඔබද එහිවුත් 

ඔබගෙ දිගු කෙස් 

කරල් ගොතනට පටන් ගන්නෙය. එවිට එහි වුත් 

ඉන් එකක් ගෙන 

සෙමෙන් අදිනට පටන් ගත් විට 

ඔබේ නෙතගින් බලන එබැලුම් බලාගන්නට මගේ සොඳුරිය 

විඩා පත් වූ මගේ මේ සිත 

දිවා රෑ එක විලස වෙහෙසේ.

එහෙත් එය නොපතා සිටින්නෙමි

එහි කිනම් සතුටක්ද ඇත්තේ.

රෑ කල්හි 

දිගු මේසයෙහි මුල 

නැඹුරු වී ඔබ 

පොත් බලන විට 

පහන් එළියෙහි 

දිළෙන ඔබෙ කෙස් 

රොදක් අල්ලා ඇඟිලි තුඩකින් සෙමෙන් එය කරකවන විට ඔබ නඟන ඒ පෙම් මිහිරි සිනහව

ඇසීමට මා සොඳුර මේ සිත

දිවා රෑ එක විලස වෙහෙසේ.

එහෙත් එය නොපතා සිටින්නෙමි

එහි කිනම් සතුටක්ද ඇත්තේ.

උදයෙ පාසැල වෙතට යාමට

පළමු සුදු සාරියෙන් සැරසී 

පැමිණ මා සිටි 

තැනට හෙමිහිට

"ලස්සනද මං" කියා

ඔබ ඒ අසන 

සුමිහිරි එහඬ ඇසුමට 

සොඳුර මා සිත 

දිවා රෑ තුළ 

එකම විලසට නිබඳ වෙහෙසේ.

එහෙත් එය නොපතා සිටින්නෙමි එහි කිනම් සතුටක්ද ඇත්තේ.

ඔබ සමග එක් වෙන එමොහොතෙහි සුන්දරත්වය ඔබේ දැකුමට 

මගේ සිත අසමතියි මා හට 

මහත් සැකයක් ඇතිව පවතී.

සුන්දරත්වය අහෝ ඇත්තේ

එසේ එක්වීමෙන් ඈත් වූ 

පාළු සිතුවිල්ලෙහිය ශෝකී 

හද වෙළාගෙන ශෝක දනවන.

( 'භාව ගීත' - ගුණදාස අමරසේකර - 

1955 - 76 , 77 පිටු.)

   මහාචාර්ය සරච්චන්ද්‍රයන් තෙමේම ආංගල බසට නගා ලොවට හඳුන්වා දුන් 'සෝමා' කෙටි කතාවද පසුව ගුණදාස අමරසේකරයන්ගේ නෑඹුල් කෙටි කතා සංග්‍රහය වන 'රතු රෝස මල' (ප්‍රථම මුද්‍රණය - 1952) කෘතියට ඇතුළුව ඇත. සාහිත්‍ය විචාරකයෙකු හැටියට මතුවීමටද අමරසේකරයන්ට මග හෙළි කරන්නට ඇත්තේ සරච්චන්ද්‍රයන්ම විය හැකි බැව් සිතන්නට අමරසේකරයන්ගේ පළමු සාහිත්‍ය විචාර ග්‍රන්ථය වන 'විනෝදය හා විචාරය' (එය ගුණසේන සමාගමේ ළිහිණි පොතකි.) අනුබල දෙයි. 1955 වර්ෂයේ පළමු වරට පළ වුණු ඒ කෘතිය සම්පාදනය කොට ඇත්තේ අමරසේකරයන් විසින් ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කරන ලද ශාස්ත්‍රීය කතා කීපයක් සංග්‍රහ කිරීමෙනි. ඇතැම් විට ඒවා ප්‍රචාරය වන්නට ඇත්තේ සරච්චන්ද්‍රයන් විසින් නිෂ්පාදිත 'යෞවන සමාජය' වැඩ සටහන ඔස්සේ හෝ එකල ඔහුගේම උපදෙස් මත ආරම්භ කරන ලද ගුවන් විදුලි 'ශාස්ත්‍රීය සංග්‍රහය' ඔස්සේ විය හැකිය. 

    එකල බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ Second Programme නමින් ප්‍රචාරය වුණු වැඩ සටහන සිහි කරමින් සැකසුණු ලංකා ගුවන් විදුලියේ 'ශාස්ත්‍රීය සංග්‍රහය' සඳහා සංඥා වාදනය වශයෙන් යොදා ගැනුණේ භාරතයේ විසූ දුර්ලභ ගණයේ වාදන චාතූර්යකින් සහෘද ජන හෘදය රංජනය කළ ශංකර් රාව් නම් ගාන්ධර්වේශ්වරයා විසින් වාදිත ජෝගියා රාගය ආත්ම කරගත් කර්ණ රසායන ඒකල ෂෙහනායි වාදනයකි. මේ පුවත මා අසා දැනගත්තේ මගේ සෞන්දර්ය මිත්‍ර , එකල ගුවන්විදුලි වාද්‍ය වෘන්දයේ වස්දඬු වාදක වී. හේමපාල සංගීත ප්‍රාඥයාගෙනි. එම මධුර රාග රාවය දැනුදු මගේ දෙකන්හි නාද නින්නාද වීම කාට නම් වැළකිය හැකිද? තත් වාදනය ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහ සංඥා වාදනය සඳහා තෝරා දී ඇත්තේද සාහිත්‍යය මෙන්ම සංගීතය විෂයෙහිද හසළයෙක් වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් බැව් ප්‍රකටය. 

    මෙවේලේ මගේ මතකය සොළොස් වසරක් අතීතයට ඇදී යයි. ගුණදාස අමරසේකරයන් අසූ වියට එළැඹුණේ 2009 වර්ෂයේ නොවැම්බර් මස 12 වැනි දාය. එම ජන්මෝත්සවය නිමිති කර ගෙන 2008 වර්ෂයේ නොවැම්බර් මස 12 වැනි දින පටන් 2009 වර්ෂයේ නොවැම්බර් මස 12 වැනි දින දක්වා පුරා වසරක් තිස්සේ ඔහුගේ සාහිත්‍ය හා සමාජ සේවය ප්‍රත්‍යවලෝකනය කිරීමේ වැඩ සටහන් මාලාවක් ආරම්භ කෙරුණි. එය සංවිධානය වූයේ 'විසිදුනු' ග්‍රන්ථ ප්‍රකාශන ආයතනාධිපති ගෙවිඳු කුමාරතුංගයන්ගේ පුරෝගාමිත්වයෙන් හා අනුග්‍රාහකත්වයෙනි. එහි ප්‍රාරම්භ උත්සවය පවත්වන ලද්දේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. එහිදී තම දේශනය පැවැත්වූ අමරසේකරයන් එය අවසන් කළේ මේ වචනවලිනි.

"මට තියෙන්නෙ පුංචිම පුංචි 'ම'යනු දෙකක්!"

   ගුණදාස අමරසේකරයන්ගේ චරිතාංග මගින් එකී කියමන මනාව සනාථ වෙතියි යනු මගේ අවංක හැඟීමයි. අඩ සිය වසක් සා දිගු කලක් ඔහු ඉතා සමීපව හා ළැදිව ඇසුරු කිරීමෙන් මා ලත් අත්දැකීම් ඊට සාක්ෂි සපයයි. මහා ලේඛක මාර්ටින් වික්‍රමසිංහ ප්‍රාඥයන් සමග අමරසේකර ලේඛකයාණෝද මගේ විවාහයේ සාක්ෂිකරුවෙක් වූහ.

    2009 වසරේ නොවැම්බරයේ පැවැත්වීමට නියමිතව තිබුණු අමරසේකර ප්‍රත්‍යවලෝකන සමාප්ති උත්සවයට පෙර පැවැත්වුණු උත්සව මාලාවේ අවසාන උත්සවය වශයෙන් එක්තරා වෙසෙස් උළෙලක් සංවිධානය කොට තිබුණි. 'නිජබිම ආවර්ජනා' යනුවෙන් නම් කෙරුණු එහි ආරම්භක උලෙළ පැවැත්වුණේ 2009 වසරේම ඔක්තෝබර් මස 25 වැනි ඉරිදා ප්‍රභාත කාලයේ යටලමත්ත විදුහල් පරිසරයේදීය. අමරසේකරයන් පළමුව මෙලොව එළිය දුටු තිඹිරි ගෙය වන ගුරු නිවාසය අයත් එම පාසල ඊට පතිරූප දේසයක් වීය. ඔහු එම පාසලේ ගුරු නිවස තුළ උපත ලබන විට ඔහුගේ මවු තොමෝ එහි මුල් ගුරුවරිය වූවාය. ප්‍රකට වෙදැදුරෙක් වූ පියා විද්‍යෝදය පරිවේණාධිපති වරයෙකුව වැඩ හුන් මහා පඬි බද්දේගම පියරතන නා හිමිපාණන්ගේ එක කුස හොත් බාල සොහොයුරා විය. 

   එදිනම නිශා භාගයේ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාර එළිමහන් භුමියේ පැවැති අමරසේකර කාව්‍ය රසාස්වාද මණ්ඩපයකි. 

අමරසේකරයෝ , කිසි දා 'නිසඳැස්' කවි රචනා නොකළ කිවිඳාණ කෙනෙකි. ඔහු එළිසම සහිත සතර පද කවි මෙන්ම එළිසම රහිත බහු පාද කවිද රචනා කළ කවියෙකි. එහෙත් ඒවා සඳැසකට වැටෙන , මාත්‍රා නියමයෙන් යුත් , තාල සහිත (Rhythmic) , සවිරිත් කවිය. එවැනි රචනා ගී තනුවකට හසුකර ගැනීම සංගීතඥයෙකුට සුකර කාර්යකි. එහෙත් ලියන්නන් වාලේ ලියැවෙන 'නිසඳැස්' ගණයේ රචනයක් ගී තනුවකට හසුකරගත හැක්කේ එය යළි සඳැසකට වැටෙන , මාත්‍රා නියමයෙන් යුත් විරිතකට පෙරළා ගැනීමෙන් පසුය. අද තුඩ තුඩ රැව් දෙන ගීත කීපයකටම අයත් තනු අමරදේවයන් හා කේමදාසයන් අතින් තැනුණේ නිසඳැස් රීතියෙන් ලියැවුණු එහි වදන් පෙළ එවැනි පෙරළියකට ලක් කිරීමෙන් අනතුරුව බව මම පසක් විසින්ම දනිමි.

'නිසඳැස' නමින් දන්නා ඊනියා කවි මග අමරසේකරයන්ගේ උග්‍ර ගර්හාවට ලක් වූවකි. වරක් ඔහු එය හැඳින්වූයේ සිංහල කවි කෙතට බෝවුණු වල් පැළ වර්ගයක් වශයෙනි.

    2009 ඔක්තෝබර් 25 වන දා රාත්‍රියේ පැවති යට සඳහන් අමරසේකර කාව්‍ය රසාස්වාද මණ්ඩපය ඉදිරියේ මා , ඔහුගේ එළිසම රහිත , බහු පාද සහිත , එහෙත් මාත්‍රා නියමයෙන් හා තාලයකින් යුත් දීර්ඝ කාව්‍ය නිර්මාණයක් , ගායන ස්වරයෙන් තොරව , නාට්‍යමය ස්වරයෙන් ඉදිරිපත් කළේ එහි ගැබ්වුණු ගුරු අරුත් මැනවින් ඉස්මතු වන පරිදිය. එහිදී මා අනුගමනය කළේ එකල මා ගුවන්විදුලි කෙටිකතාව ඉදිරිපත් කළ භාවාත්මක නාට්‍යමය ප්‍රකාශන විලාසයයි. තම කවිය ඉදිරිපත් කළ මගේ ඒ ප්‍රකාශන විලාසය ගැන අතිශය උද්දාමයට පත් අමරසේකරයන් එය මහත් සේ අගය කරමින් එදා මට නොමසුරුව ප්‍රශංසා කළ අයුරු මට අද මෙන් මතකය. ඉන් පසු අප දෙදෙනා හමුවුණු සෑම අවස්ථාවකම ඔහු එකී අත්දැකීම නොවරදවා සිහිපත් කිරීම වතක් කොට ගති. ඉතා මෑත දිනක මගේ 'හිතක මතක' පොත පිරිනැමීම සඳහා ජනක ඉනිමංකඩයන් සහ දයාපාල ජයනෙත්තීන් සමග මම අමරසේකරයන් හමුවීමට ගෙදරට ගියෙමි. ජීවිතයේ දශක දශකය අනුව මෝමූහ දශකයේ පසු විය යුතු අමරසේකරයන් එදිනද යට කී අතීත අත්දැකීම සුපුරුදු ලෙස සිහිපත් කළේ ඔහු එදා ඉන් ලත් උද්දාමය තවමත් ඔහුගේ ස්මෘතිය තුළ එක සේ නින්නාද වෙමින් පවත්නා නිසා බැව් නිසැකය..

   2009 ඔක්තෝබර් 26 වැනි සඳුදා ගාලු පුරහලේ මුළු දුන් මහා සාහිත්‍යෝත්සව සභාව 'නිජබිම ආවර්ජනා' වෙසෙස් උලෙළේ සමාප්ති අංගය වුණි. ගුණදාස අමරසේකර ප්‍රත්‍යවලෝකන වැඩසටහන් මාලාවට අයත් 'නිජබිම ආවර්ජනා' වෙසෙස් උලෙළට සහභාගී වනු වස් අප එදා කොළඹ සිට යටලමත්ත බලා ගියේ විශේෂ බස් රියකිනි. ගුණදාස අමරසේකරයන් සහ ඔහු බිරිය 

චන්ද්‍රාවන් , කේ. ජයතිලකයන් සහ බිරිය සුමනාවන් , තිස්ස කාරියවසමුන් , ගුණසේන විතානයන් , ලීලානන්ද ගමාච්චීන් , ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේයන් , ගෙවිඳු කුමාරතුංගයන් , දයාපාල ජයනෙත්තීන් සහ මා ඇතුළු සාහිත්‍ය ලෝලීන් විශාල පිරිසක් එදා එම බසයේ එකට ගමන් ගත් අයුරු මෙවේලේ මගේ සිහියට නැගෙයි. අමරසේකරයන්ගේ හැම්මෑලියේ මහ ගෙදර අසලදී ඔහුගේ එක කුස ඔත් වැඩිමහල් සොහොයුරු ධර්මදාස සූරියආරච්චි අමරසේකරයන්ද (සූරියආරච්චි නාමය ගුණදාස අමරසේකරයන්ටද වෙයි.) අප ගිය බසයට ගොඩ වුණා මට මතකය. 

අමරසේකරයන්ගේ උපතට තිඹිරි ගෙය වූ ගුරු නිවාසය අයත් ඔහුගේ මුල් පාසල වන යටලමත්ත විදුහල කිසිදු වෙනසකට භාජන නොවී පෙර සේම පැවති බව අපි එදා දුටුවෙමු. 

අමරසේකරයන් විසින් රචිත මහාර්ඝ කෙටිකතා සංග්‍රහයක් වන 'ජීවන සුවඳ' කෘතියෙහි එන 'ආපසු ගමන' නම් ආත්ම චරිතාත්මක කතාවේදී මෙම සංවාද හා ආඛ්‍යාන පාඨ හමුවෙයි.

"අම්මා යළිත් නැවතිල්ලේ කියවන්නට විය.

'උඹ දුව පැන ඇවිදින කාලෙ තමයි මේ ඔක්කොම වැඩ ඉවර කරල ඔය කාමරෙත් හදල මුළු ස්කෝල සාලෙම සිමෙන්ති දැම්මෙ. තවම ඇති ඒ සිමෙන්ති දාපු පාර උඹ තියාපු අඩි. ඔය සිමෙන්ති දාන දවසක අපි ගාලු ගිහිල්ල පස්ස පැත්තෙන් කාමරේට ඇවිල්ල දොර ඇරී හැටියෙ උඹ ස්කෝල සාලෙට දුව ගෙන ගියා. තවම ඇති ඒ තියාපු අඩි අගේට' යි කී ඈ නැගිට ස්කෝල සාලයෙහි ගුරු නිවාසයට ඇතුළු වන දොර අසලට ගියාය.

'මේ තියෙන්නෙ....... මේ දුවගෙන ගිය අඩි' යි කී ඈ මට ඒ මගේ අඩි පාරවල් පෙන්වුවාය. 

'මම , හා පුතේ මෙහේ මෙහේ කියලා කෑ ගැහුවා. ඒ පාර ආපහු දුවගෙන ආපු අඩි තමයි මේ' යි කී ඈ ආපසු පැමිණි අඩිද පෙන්වුවාය.

'මේව තව සැරයක් සිමෙන්ති දානකන් මෙහෙම තියේවි.' "

( 'ජීවන සුවඳ' - ගුණදාස අමරසේකර - පළමුවන මුද්‍රණය - 1956 - 'ආපසු ගමන' - 183 පි.)

    'නිජබිම ආවර්ජනා' උලෙළට සහභාගී වනු පිණිස යටලමත්ත විදුහලට ගිය අප කවුරුත් එහි විදුහල් සාලයේ පැරණි සිමෙන්ති පොළොවේ කොටු කර තිබුණු එක්තරා වෙසෙස් තැනක් වෙත නෙත් හෙළමින් බලා උන්නේ මහත් කුහුලිනි. අසූ වියට එළැඹි අමරසේකරයෝද එතන අප ඉදිරියේ නැගී සිටිති. ඔහු තම විසල් නෙත් සඟල විදහා මඳක් ඉරි තැළී ගිය සිමෙන්තියේ තවමත් ඉතිරිව ඇති තම බිළිඳු පතුල් සටහන දෙස එබී බැලුවේ බලවත් හැඟීමෙකිනැයි සිතමි

මා කලින් උපුටා දැක්වූ කෙටි කතා පාඨයට අනතුරුව එම කතාවේ එන ආඛ්‍යාන පාඨය මෙසේය.

"නැඹුරු වී ඒ දෙස බලා උන් මට ඒවා අතගා බැලීමටද සිතිණ. මම නැඹුරු වී ඒවා අතගා බැලුවෙමි. 'මාපට ඇඟිල්ල , අනික් ඇඟිලි , විලුඹ' ඒ සියල්ලම එහි ඇත. මම මගේ දෙපා දෙස හැරී බැලුවෙමි.එක්තරා සතුටකින් විස්මයකින් හා ස්නේහයකින් මගේ හිත වෙළී යන්නා සේ මට දැනිණ. 'මගේ නේද? අනේ දෙයියනේ මේ ඔක්කොම මගේ නේද?' යි මම අවට දෙස බලමින් මටම කියා ගතිමි. මේ සියල්ල ඇද වැළඳ ගැනීමට තරම් ප්‍රේමයකින් මගේ සිත මොලොක් වූවා සේ මට දැනිණ. මගේ දෙනෙත් තෙත් වී ඇතැයි මට හැඟිණ."

( 'ආපසු ගමන' - 183 පි.)

    තම බිළිඳු වියේ පතුල් සටහනට එබී

බලා නැගී සිට සිනා මුහුණින් අප දෙස බැලූ , අසූ වියට එළැඹි ගුණදාස අමරසේකරයන්ගේ මුහුණ දකිත්ම යට කී කෙටිකතා පාඨය මගේ සිහියට නැගෙනු කෙසේ නම් වැළකිය හැකිද?

තම තිඹිරි ගෙය වන එම පැරණි ගුරු නිවාසයට අප සමග ඇතුළු වුණු අමරසේකරයන් කුඩා වියේ තමා එහි උන් හිටි තැන් , කළ කී දෑ අපට නොසඟවා හෙළි කළේ බලවත් ආසාවෙනි. එවේලේ ඔහුගේ 'ආවර්ජනා' කාව්‍ය සංග්‍රහයෙහි එන 'නිජ බිම ආවර්ජනා' නම් කාව්‍ය රචනය මගේ මතකයෙන් මතු වූයේ ඉබේය. අමරසේකරයන් එය රචනා කර ඇත්තේ වරක් විදුහල්පතිගේ ආරාධනයෙන් යටලමත්ත විදුහල් උලෙළක විශේෂ අමුත්තා වශයෙන් එහි ගිය අවස්ථාවක ලද හෘදයංගම අත්දැකීම් වස්තු කර ගනිමිනි. එවේලේ ඔහු අපට හෙළි කළ අතීත සැමරුම් අසා සිටින මට ඔහුගේ 'නිජබිම ආවර්ජනා' කාව්‍ය රචනයේ එන තම හද බසින් බැඳි මේ පැදි වහා සිහි වනු කවර අරුමයක්ද? 

".....මේ මගේ නිජ බිමයි

මකව් සිත දිනු බිමයි

මෙහි සෑම අඟලක්ම

පිදුම් ලැබ ඇත මහද

මේ විසල් බිත්ති මත 

නැඟී මා කොලු වයස 

බලා කඳු හෙල් ඈත 

ළහිරු රැස් වැද දිළෙන 

නැඟූ සිතිවිලි සොඳුරු 

නොවෙද මා අද පවා 

නඟන්නේ බැති සිතින් 

එදා මා පා ගැටුණු 

මෙබිම රැඳි ගල් බොරලු

තණ පඳුරු මල් පියලි

නොවෙද මා මවන්නේ සිත් අතින් කවා රස හව් නොයෙක් 

අර ඈත පාළු බිම 

මහද නැඟු පාළුවයි 

මා වෙළුෑ තනිකමයි 

වේදනාවයි දුකයි 

තවම මා රැගෙන යනු 

සිතුවමට නඟාලනු 

බසින් හඬ ගා කියනු 

මේ මගේ නිජ බිමයි

මකව් සිත දිනු බිමයි

මෙහි සෑම අඟලක්ම 

පිදුම් ලැබ ඇත මහද 

මෙය නොවෙද අප එදා 

විසල් ගෙයකැයි සිතූ

පස් දෙනම රැඳී උන්

දෙපැත්තෙහි ඇඳන් තැබු 

කවුළු දෙකකින් සැදුණු

නිවාසය 'අපේ ගෙය'

තුටින් මත් මට නොහැක

නොපෙන්වා සිටින්නට 

තිබුණු තැන අපේ ඇඳ 

මා කැටිව එන ඔහුට 

'අර ඇඳේ බුදියෑවෙ

නඟයි අම්මයි අපේ'

'මම උපන්නේ අතන 

කෑම කාමරයේලු'

මගෙ නෙතට හුරු පුරුදු

ඒ අඳුර තවම ඇත 

අත ගෑමි විසල් දොර 

ඇරෙන සාලාව වෙත 

'මෙතන ඉඳ ගෙන තමයි 

සියලු කව් රස වින්දෙ

මගේ මව උගැන්නුව

සැලළිහිණි ගුත්තිලය 

දැන ඇඳින ගත්තෙ මම' ...."

( 'ආවර්ජනා' - ගුණදාස අමරසේකර - 

පළමුවන මුද්‍රණය - 1975 - 'නිජබිම ආවර්ජනා' - 66 - 68 පිටු.)

    'නිජබිම ආවර්ජනා' ආරම්භක උත්සවය පැවැත්වුණේ වෙනත් තැනක ගොඩ නගන ලද යටලමත්ත අලුත් විදුහල් සාලාවේය. එහි ප්‍රධාන දේශකයා වූයේ මහාචාර්ය තිස්ස කාරියවසම්හුය. උත්සව සභාවට සහභාගී වූ සම්භාවනීය පිරිස අතර මාර්ටින් වික්‍රමසිංහ ප්‍රාඥ ලේඛකයාණන්ගේ බාල පුත් වෛද්‍ය රංග වික්‍රමසිංහයන් සමග වැඩිමහල් දියණිය රූපා සපරමාදු මහත්මියද වූවාය. උලෙළ අවසානයේ ගුණදාස අමරසේකරයන් නමින් යටලමත්ත විදුහලේ දක්ෂතම කුඩා සිසු දැරියට ශිෂ්‍යත්වයක්ද පිරිනැමුණි. වියත් සබාව. අමතන ලෙස ගුණදාස අමරසේකරයන් ඇරයුම් ලද එවේලේ යළිත් ඉබේම මහද නිනදව ගියේ පෙර සඳහන් කළ 'නිජබිම ආවර්ජනා' කාව්‍ය රචනයේ එන මේ පැදි නදය. 

"....'මෙ සිසු කැල අමතන්න 

ඔබට කළ හැකි අපට 

ලොකුම ගරු සරුව එය. 

ඔවුන් ඔබ ගැන අසා 

ඇත සියක් දහස් වර' 

ඔහු බසින් තිගැස්සී 

මම බලාගෙන උනෙමි.

කුමක් කිව හැකිද මට?

වැසූ වැරහැලි විසින් 

සොටු පෙරා ගත් වතින් 

විරිත්තූ දත් පෙළින්

මුසපත්වු ගොළු බසින්

යුතු මෙසිසු දෙස බලා 

කුමක් කිව යුතුද මම

කුමක් කිව හැකිද මට

කුමක් කිව යුතුද මම 

+

මා අතින් උන් නිසා

සිදුවු මෙහෙයක් ඇතිද? 

උන් දුගී බව නසන 

දුක් තැවුල අඩු කරන

අවිදු අඳුරෙන් මුදන 

කිසිදු මෙහෙයක් උතුම්

මා අතින් ඉටුවිණිද?

එවැනි මෙහෙයක් නොකළ

මා මෙසේ දැන් ඉතින්

බලා උන් දෙස කුමක් 

කියන්නද මේ මොහොතෙ

රැගෙන මේ බිම හදින්

එහි රසෙන් මත් වෙමින් 

හනා රස හව් අරුත් 

ලියා ඇති මුත් නෙකව් 

මා අතින් මොවුන් වෙත 

සිදුවීද මෙහෙවරක් 

ඉටු වුණිද යුතුකමක්

බිඟුහු සේ රොන් සොයන 

උරා මුවරඳ සොරා 

මකව් රස මැවූ මුත් 

ඉටු කෙළෙද කිසි දිනක 

මෙහෙවරක් යුතුකමක් 

උන් මුදා ලනු පිණිස...... 

"....ඉටා ගත්තෙමි මෙදින 

මගින් සොටු පෙරි මුහුණු 

මකා ලමි මපිළිබිඹු

අරිමි තා වෙත මහද

උගත්තෙමි තා වෙතින් 

මෙතෙක් නූගත් වදන 

තවෙත එමි ළඟ දිනක 

විබුද කවියර ලෙසින."

( 'නිජබිම ආවර්ජනා' - 69,70,73 පිටු.)

- කරුණාරත්න අමරසිංහ

(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.