News Category
From Date
To Date
Maximum Number of Result

පේරාදෙණි සාහිත්‍යය ඉවරයි - ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදී ආචාර්ය ගුණදාස අමරසේකර

Nov 11, 2025 at 08:10 AM
|

කවිය, කෙටිකතාව, නවකතාව හා සාහිත්‍ය විචාරය ආදී නන්විධ ක්‍ෂේත්‍රයන්හි ප්‍රවීණයකු වන ආචාර්ය ගුණදාස අමරසේකර මහතා දැනට අප අතර සිටින ජ්‍යෙෂ්ඨතම ලේඛකයා සේම වික්‍රමසිංහ මහතාගේ සමකාලීනයකු ද වෙයි. එකල වික්‍රමසිංහ මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක්‌ වූ පේරාදෙණිය සාහිත්‍යයේ නියමුවකු වූ අමරසේකර පසුව සිය කෘතීත් පේරාදෙණිය සාහිත්‍යයත්, ප්‍රතික්‌ෂේප කරමින් වික්‍රමසිංහ මඟ ගත්තේය. එකල පේරාදෙණි සාහිත්‍යකරුවන්ගේද නොමද ප්‍රශංසාවට ලක්‌ වූ 'විරාගය' නවකතාව මෙතෙක්‌ සිංහලෙන් පළ වූ විශිෂ්ටම නවකතාව බව විචාරක මතයයි. 1956දී පළ වූ මෙම නවකතාවට පසුගියදා 60 වසරක්‌ සම්පූර්ණ විය. මේ ඒ නිමිත්තෙන් අමරසේකර මහතා සමඟ 'වටමඬල' කළ සංවාදයේ සංක්‌ෂිප්ත සටහනයි.

  • ඔබ විරාගය ගැන වැදගත් ලිපි තුනක්‌ ලියා තිබෙනවා විවිධ වකවානුවලදී. එකක්‌ 1957දී ලියූ 'අරවින්ද සරෝජිනී හා බතී' මැයෙන් ලියූ ලිපිය. දෙවන ලිපිය ලෙස 1961 දී යළිත් විරාගය පිළිබඳ විමසීමක්‌ කරනවා. ඊටත් වසර කිහිපයකට පසු 'විරාගය මතුකරන අලුත් අදහස්‌' මැයෙන් තවත් ලිපියක්‌ ලියනවා. මේ ලිපි 03 එකිනෙකට වෙනස්‌ වෙන්නේ කොහොමද?

බොහොම වැදගත් ප්‍රශ්නයක්‌ හාමුදුරුවෝ ඇහුවේ. මොකද මේ ලිපි තුන 'විරාගය' ගැන එකිනෙකට වෙනස්‌ කියවීම් තුනක්‌ විතරක්‌ නෙමෙයි මගේ චින්තනය වෙනස්‌ වෙච්ච ආකාරය නැත්නම් පරිණාමයට පත් වූ ආකාරයත් හඳුනාගන්න පුළුවන් ලිපි 03ක්‌ හැටියටයි මම දකින්නේ. ඇත්ත වශයෙන්ම මගේ චින්තනය මේ යුගය තුළ වෙනස්‌ වෙච්ච හැටි මේ ලිපි තුන ඔස්‌සේ හඳුනාගන්න පුළුවන්. මුල් ලිපිය 1957 ලියනකොට මම හිටියේ එක්‌තරා චින්තනයක. දෙවන ලිපිය ලියන 1961 වෙනකොට මම හිටියේ මගේ චින්තනයේ එක්‌තරා සංක්‍රමණික අවධියක. මගේ මතකයේ හැටියට තුන්වන ලිපිය මම ලිව්වේ 1972 හෝ ඊට පසුව වෙන්න ඕන. එතකොට මම හිටියේ ඊටත් වඩා වෙනස්‌ චින්තනයක. පනස්‌ හතේ මම 'විරාගය' ගැන පළමු ලිපිය ලියනකොට මාර්ටින් වික්‍රමසිංහ මහත්මයාගේ දර්ශනයට හාත්පසින්ම විරුද්ධ මතයකයි මම ඉඳලා තියෙන්නේ.

  • නමුත් ඔබ ඒ ලිපියෙන් විශාල ආශ්වාදයක්‌ ලැබූ කෘතියක්‌ ලෙස 'විරාගය' ඉහළින්ම අගය කරනවා නේද?

ඔව්. නවකතාවක්‌ හැටියට මම එය ඉහළින් අගය කරනවා. නවකතාවෙන් මතු කරන දර්ශනයයි අගය කරන් නැත්තේ. නවකතාව ගැන හොඳ කිව්වට මොකද වික්‍රමසිංහ දක්‌වන දර්ශනයට මම එහෙම පිටින්ම අභියෝග කරලා තියෙනවා.

ඒ ලිපිවලින් විතරක්‌ නෙමෙයි මගේ මුල්කාලීන නවකතා දිහා බැලුවාමත් මේක පේනවා. ඔය ලිපිය ලියපු පනස්‌ ගණන්වල තමයි මම 'යළි උපන්නෙමි' නවකතාව ලිව්වේ. ඊළඟට 'දෙපා නොලද්දෝ' ලිව්වේ. මේ නවකතා දෙකම ලිව්වේ විරාගයට අභියෝගයක්‌ විදිහට. ඒ නිර්මාණ දෙකේම තියෙන්නේ විරාගයට පටහැනි දර්ශනයක්‌. කොටින්ම කියනවා නම් විරාගයේ අවසාන වශයෙන් බෞද්ධ සංස්‌කෘතියේ මිනිස්‌ ජීවිතය පිළිබඳ දක්‌වන බෞද්ධ අර්ථකතනය ඉතාමත් ඉහළින් වික්‍රමසිංහ තබා ඇති බව දක්‌නට පුළුවන්. මම ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරලා හෙළා දැකලා එක්‌තරා විදිහක ලෝකාර්ථ දර්ශනයක්‌ තුළ ඉඳගෙනයි ඒ නිර්මාණ සහ විචාර කළේ. වික්‍රමසිංහ කියනවා නම් ඉඳුරන් දමනය කරගෙන ජීවත් වෙන්න කියලා මම ඉඳුරන් දමනය කර නොගෙන ඉඳුරන් පිනවීම මුල්කරගත් දර්ශනයක්‌ තමයි උත්කර්ෂයට නංවමින් තිබුණේ. ඒක මට හිතන්නේ එක්‌තරා විදිහට බටහිර ඒ කාලේ ඩී. එච්. ලෝරන්ස්‌ වගේ අය අරන් ගිය කාමසුඛල්ලිඛානු දර්ශනය වගේ එකක්‌ තමයි අවසානයේදී මතු කරන්නේ.

ඊළඟට මගේ සංක්‍රාන්ති අවධියේදී ලියූ එකක්‌ තමයි 'ගන්ධබ්බ අපදානය' ඒ පොත ලියනකොට මගේ චින්තනය බොහෝ දුරට වෙනස්‌ වෙලා වික්‍රමසිංහගේ චින්තනය කෙරෙහි අවධානය යොමු වෙලා ඊට නැඹුරු වෙමින් තිබුණ අවධියක්‌. පුළුල් වශයෙන් බැලුවොත් ඒ කාලය පේරාදෙණි යුගයත්, පේරාදෙණි චින්තනයත්, වික්‍රමසිංහ චින්තනයත් අතර ගැටුම් තිබුණ යුගයක්‌. ඒ ගැටුමේදී මම මුලින් හිටියේ පේරාදෙණි යුගය සමග. මේ සංක්‍රමණික අවස්‌ථාව වෙනකොට මම වික්‍රමසිංහගේ මතයට ඇවිල්ලා. 'විරාගය' ගැන ලියූ ලිපි තුන විශ්ලේෂණය කර ගන්න ඕන මේ පසුබිම උඩ තියලා. එය 'විරාගය' ගැන වෙනස්‌ කියවීම් තුනක්‌ වගේම මගේ චින්තනයේ සංක්‍රාන්තිය පෙන්නුම් කරන කැඩපතක්‌.

  • මෙසේ ඔබගේ අදහස්‌ වෙනස්‌ වන්නේ ඔබ පේරාදෙණිය සාහිත්‍යයෙන් වෙන්වීම නිසාද? නො එසේ නම් වික්‍රමසිංහ ලියූ 'නවකතාංග හා විරාගය' වැනි කෘතියක බලපෑම නිසාද?

'නවකථාංග හා විරාගය' මගේ අදහස්‌ වෙනස්‌ වීමට බලපෑමක්‌ වුණේ නැහැ. ඊට පෙරම මගේ වෙනස්‌වීම සිදුවුණා. මොකද අමරසේකරත් දැන් එහෙම පිටින්ම වෙනස්‌ වෙලා පේරාදෙණි සාහිත්‍ය පිළිබඳ වික්‍රමසිංහගේ අදහස්‌ අවබෝධ කර ගෙන තිබෙනවා කියා ඔහු 'නවකතාංග හා විරාගය' පොතේ සඳහන් කරනවා. ඇත්ත වශයෙන්ම මගේ වෙනස්‌වීම කිසිදු බලපෑමකට වඩා මගේ අද්දැකීම් අනුව සිදු වූ වෙනස්‌වීමක්‌. නියත වශයෙන්ම මේ වෙනස්‌වීමට බලපෑවේ 71 කැරැල්ල කියලා මට හිතෙනවා. බොහෝ අය ඊට අඩු අවධානයක්‌ යොමු කළාට මොකද ඇත්ත වශයෙන්ම එතැනදී මහා විශාල තරුණ සංහාරයක්‌ සිදු වුණා. එය මා තුළ විශාල කම්පනයක්‌ ඇති කරපු දෙයක්‌. 'ඔවුන් හරිද අපි වැරදිද', 'අපි හරි නම් ඔවුන් වැරදිද' යනුවෙන් 'ආවර්ජන' පොතේ මම මේ ගැන කවියකුත් ලියා තිබෙනවා. මේ තරුණයන් විශාල පිරිසක්‌ ඝාතනය වුණාම එතැනදී මම කල්පනා කළේ අපි මේ රටේ චින්තනය හසුරු වන පුද්ගලයන් සාහිත්‍යකරුවන් වශයෙන් අපේ කාර්ය භාරය හරියට ඉටු කළා නම් මේ වගේ දෙයක්‌ වීමට තිබෙන ඉඩකඩ අඩු බව. අපි කළේ මේ තරුණයන් ගැන නොහිතා පේරාදෙණියට වෙලා මේ රටේ විඥානයට නොගැළපෙන එක්‌තරා විදිහක අපි අපේ මමායනය පුම්බන එක්‌ටැම් සාහිත්‍යයක්‌ නිර්මාණය කරලා ඒක නඩත්තු කරපු එක. 

මේක අපි අතින් සිද්ධ වෙච්ච විශාල වැරැද්දක්‌ බව මට හැගුණා. ඒක හරි ප්‍රබල දෙයක්‌. ඒ අස්‌සේ මම පිටරට ගියා. එහේදිත් මට සම්පූර්ණයෙන් තේරුණා අපි මෙහේ ඉද්දී බටහිර අනුකරණය කරමින් බටහිරට වැඳ පුදාගෙන හිටියට අපට කොයිතරම් මේවා ගැළපෙනවාද කියන එක. අපි ධීන අනුකාරකයින් නොවෙයිද කියලා වැටහුණා. අපේ සභ්‍යත්ව විඥානය, දේශජ පදනම නොසලකා නිර්මාණය කළ පේරාදෙණි එක්‌ටැම් සාහිත්‍යය ගැන නැවත සිතා බලන්නට පෙළඹුණා. පිටරට සිට ඇවිත් මම ලියපු 'යළි උපන්නෙමි' වාගේ කෘති සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කළාම, මේවා අපේ සභ්‍යත්වයට පටහැනිය, මේවායේ තියෙන දර්ශනය අපිට උරුම දර්ශනය නෙමේ කියලා විශාල ආන්දෝලනයක්‌ ඇති වුණා.

  • නමුත් පසුකාලීනව ක්‍රමිකව පේරාදෙණි සාහිත්‍යය ප්‍රබෝධය බිඳ වැටෙනවා. ඔබේ මේ විභේදනයත් එම යුගය අවසන් විමට බලපෑ එක්‌ ප්‍රබල හේතුවක්‌ විය හැකියි. නමුත් අදටත් කතා කරන්න ශේෂ වී තිබෙන්නේ පේරාදෙණි යුගයේ වූ එම සාහිත්‍යය මැදිහත් වීම පමණයි. ඉන් පසු ප්‍රගතිශීලී සාහිත්‍ය සම්ප්‍රදායක්‌ ගොඩනැගුණේ නැහැ නේද?

ඇත්ත වශයෙන්ම පේරාදෙණි සාහිත්‍යය ඉවරයි. ඒක අවසන් වුණා. දැන් ඉතිං මොනම සාහිත්‍යක්‌වත් නෑ. ඒක වෙනම දෙයක්‌. එකම දේ තියෙන්නේ ඒ ඉවරවීමත් එක්‌ක වැදගත් හරවත් සාහිත්‍ය සම්ප්‍රදායකට අපි අවතීර්ණය වෙලා නැහැ. මොකද පේරාදෙණි චින්තනයත්, වික්‍රමසිංහ චින්තනයත් අතර වූ ගැටුමෙන් පස්‌සේ ඇතිවිය යුතුව තිබුණේ වික්‍රමසිංහ පටන් ගත්තු ඒ හරවත් සාහිත්‍ය සම්ප්‍රදාය ඉදිරියට ගෙන යන නිර්මාණ බිහිවීමයි. ඒත් එහෙම දෙයක්‌ වුණේ නැහැ. 

එහෙම දෙයක්‌ වෙනුවට වුණේ පේරාදෙණියේ ඒ සාහිත්‍යය නැතුව ඒ වෙනුවට ඒ තැන අරගත්තේ බටහිර අනුකරණය කරගෙන බිහිවෙච්ච කිසිම පලක්‌ නැති නිකම්ම නිකම් බහුභූත සාහිත්‍යයක්‌. අධියථාර්ථ කියයි. මායා යථාර්ථය කියයි. ඉන්ද්‍ර ජාලයයි, අර බම්බුවයි, මේ බම්බුවයි කියා ගෙන කිසිම හරයක්‌ ගැඹුරක්‌ නැති මනෝ විකාරයන් එළි දක්‌වනු ලැබුවා. වික්‍රමසිංහයන් එදා පේරාදෙණි අනුකාරකයින්ගේ නවකතා අපේ සංස්‌කෘතික පදනම බිඳ දැමීමට ලියන ලද ඒවා යෑයි චෝදනා කළත් ඇත්ත වශයෙන්ම ඒවා එවැන්නක්‌ මුල්කරගෙන හිතා මතාම ලියපු ඒවා නෙමෙයි. ඒත් අද මේ විදූෂකයන් අතින් ලියෑවෙන ප්‍රලාප දිහා බැලුවාම පේනවා අපේ සංස්‌කෘතික පදනම දෙදරවා හරිනු පිණිස හිතාමතාම ලියන ඒවා බව. ඇත්ත වශයෙන්ම අද සිංහල නවකතාව මෙරට ගෙනයනු ලබන සංස්‌කෘතික ආක්‍රමණයේ කොටසක්‌ බවට පත්වෙලා. ඒ පෙරමුණේ නියතු යටත් විජිත ඒජන්තයන් වන එන්. ජී. ඕ. නඩ මගින් මේ ලිඟු දුඟඳ වහනය කරන වහන්තරාවන් උස්‌සා තැබීමට කරන වෑයම මගින් ඒක තවත් හොඳට පේනවා. මේවා ලියන කියන විදූෂකයන් කරන්නේ අපේ පුරුෂාර්ථ, ගුණ දහම්, හරපද්ධතීන් උපහාසයට ලක්‌ කිරීමයි. ඊට එරෙහි වන විචාරකයන් මේ අය හඳුන්වා දෙන්නේ ලෝක සාහිත්‍ය ප්‍රවණතා ගැන නොදන්නා ළිං මැඩියන් විදිහට. ඒ සඳහා පශ්චාත් නූතනවාදයෙන් මෝස්‌තරේට අහුලාගත් වචන කට්‌ටලයක්‌ද ඔවුන්ට තියෙනවා. ඉන්ටර්නෙට්‌ එක එබූ පමණින් ඒ වචන කට්‌ටලය බිහි කළ අයගේ නම් ගම් සියල්ල හඳුනා ගන්න පුළුවන්. පේරාදෙණි සාහිත්‍යය අවසන් වුණාට පස්‌සේ හරවත් සාහිත්‍ය සම්ප්‍රයක්‌ වෙනුවට බටහිර අනුකාරක බහුභූතවලටයි ඒ ඉඩ ලැබුණේ. මේ සමාජය දෙවනත් කරන ගැටලු, අර්බුද, ප්‍රශ්න ගැන, මේ සමාජය හසුරුවන සමාජ දේශපාලන බලවේග ගැන වගේම මේ සමාජ සත්ථාව නිරූපණය කරන කිසිවක්‌ මේ කතන්දරවල නෑ.

  • එහෙම නම් ඔබ හිතන විදිහට එදා වික්‍රමසිංහ පදනම දැමූ ඒ හරවත් සාහිත්‍ය සම්ප්‍රදාය ඊට අභියෝගයක්‌ වූ පේරාදෙණි සාහිත්‍ය බිඳ වැටුණු පසුවත් වික්‍රමසිංහ මුල්කරගෙන හෝ නැතුව ඉදිරියට නොගියේ ඇයි?

ඉදිරියට නොගිය මගෙ හිතේ මූලිකම හේතුව මේකයි. මේ සාහිත්‍යය කියන දේ නිකම් ඕපපාතිකව උපදින දෙයක්‌ නෙමෙයි. සමාජය තුළ තිබිය යුතු හරවත් ගැඹුරු චින්තනයක පිළිබිඹුවක්‌ තමයි සාහිත්‍යය කියන්නේ. නවකතාවේ පරිහානිය ගැන ලියූ 'නොසෙවුනා කැඩපත' පොතේදීත් මම මේක පෙන්වා දී තියෙනවා. ඇත්ත වශයෙන්ම වික්‍රමසිංහගේ කෘති බිහිවුණේ මේ රටේ තිබුණ බෞද්ධ සංස්‌කෘතියෙන් හාරා පාදා ගත්ත ඔහුගේම චින්තනයක්‌ උඩින්. 

වික්‍රමසිංහගේ නිර්මාණ නිකම් ඕපපාතිකව ඇති වූ දෙයක්‌ නෙමයි. හතලිස්‌ ගණන්වල අනගාරික ධර්මපාලතුමා මූලික කරගෙන ජාතික ව්‍යාපාර ඔස්‌සේ මෙන්ම පියදාස සිරිසේනගේ නවකතා ආදියේ බලපෑමෙන් යම්කිසි හරවත් චින්තනයක්‌ මේ රටේ තිබුණා. පියදාස සිරිසේන ශ්‍රේෂ්ඨ නවකතාකාරයෙක්‌ නොවෙන්න පුළුවන්. ඒත් ඔහු නිසරු නවකතාකරුවෙක්‌ නෙමෙයි. ඔහු යථාර්ථවාදී මගේ ගිය නවකතාකරුවෙක්‌. ජාතික නිදහස මුල්කරගෙන ඒ යුගයේදී මේ රටේ පැවැති සංවාදයේ ප්‍රතිඵලයක්‌ තමයි මාර්ටින් වික්‍රමසිංහ. ඇත්ත වශයෙන්ම වික්‍රමසිංහ කෙනෙක්‌ බිහි වෙන්නේ නෑ පියදාස සිරිසේන කෙනෙක්‌ නැත්නම්. පියදාස සිරිසේන කියූ දේ තමයි වික්‍රමසිංහ ඊට වඩා ගැඹුරෙන් සලකලා ඉදිරිපත් කළේ. පියදාස සිරිසේන නිකම් උඩින් මත්තෙන් විචාරකයෙක්‌ වශයෙන් කියූ දේ තමයි වික්‍රමසිංහ සංකීර්ණ ලෙස සභ්‍යත්වය, සංස්‌කෘතිය දෙස ගැඹුරෙන් බලා ඊට වඩා වෙන විදිහකට කිව්වේ. ඇත්ත වශයෙන්ම නිදහසින් පසු ඒක ඉදිරියට ගියේ නැත්තේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බිහිවීමත් සමඟ. මොකද නිදහසින් පසු මේ රටේ දේශපාලන විප්ලවයක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බිහිවීමත් සමඟ සිදු වුණාට චින්තන විප්ලවයක්‌ සිදු වුණේ නැහැ. අද ඔය පක්‍ෂය දිය වෙලා යන්නෙත් අන්න ඒ චින්තනමය පදනමක්‌, දර්ශනයක්‌ නැති නිසා. උපන් දවසේ ඉඳලා ඔලුවක්‌ නැති කවන්ධයක්‌. අන්න ඒ හිඩැස නිසා තමයි ජ. වි. පෙ වගේ ලාබාල දේශපාලනයක්‌ ආවේ. මේ චින්තනමය පදනමක්‌ නැති වීම දේශපාලනයට විතරක්‌ නෙමේ අනෙක්‌ ක්‍ෂේත්‍රයන්ටත් බලපෑවා. පල්ලක්‌ නැති සාහිත්‍යයක්‌ බිහි වුණෙත් ඒ හිඩසින් කියන එකයි මගේ අදහස.

  • අරවින්දගේ මනස තුළ භවිෂ්‍යත් විදර්ශනාවක්‌ ගැබ්බ ඇති බව වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇතත් එහි ස්‌වරූපය කුමක්‌දැයි නිශ්චිතව දක්‌වා නැහැ. ඒ පිළිබඳව ඔබේ අදහස මෙන්ම අරවින්දගේ චරිතය සම්බන්ධයෙන් ඔබේ හඳුනා ගැනීම මොකක්‌ද?

මනුෂ්‍යකුට ඇලී ගැලීමෙන් තොරව වින්දනයෙන් ජීවත් වෙන්න පුළුවන් කියන එකයි භවිෂ්‍යත් විදර්ශනාව කියන්නේ. ගිහි ජීවිතය ඇතුලේ සම්පූර්ණයෙන්ම ඇලී ගැලීමෙන් තොරව ජීවත්වීම කරන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි. ඒත් මේ ශක්‌තිය මනුෂ්‍යයකුට තියෙනවා. ඒක අරවින්දගේ චරිතය ඔස්‌සේ හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි භවිෂ්‍යත්  වීදර්ශනාව කියන්නේ. 'විරාගය' ගැන සරච්චන්ද්‍ර මහත්තයත් නවකතාවක්‌ හැටියට මේක බොහොම වර්ණනා කරලා ලියලා තියෙනවා. අන්තිමේ සරච්චන්ද්‍ර හොඳ නිරීක්‍ෂණයක්‌ කරලා තියෙනවා. එතුමා කියනවා මේ අරවින්ද තෘප්තියක්‌ ලබාගන්නේ තමන්ට ලබාගත නොහැකි දේවල් මානසික වශයෙන් ලබාගෙන කියලා. ඒ කියන්නේ සරෝජිනී භෞතිකව ලබාගන්න බැරි වුණා. වස්‌තුව අත්පත් කරගෙන නෙමෙයි වස්‌තුවේ පිළිඹිබුවෙන් ඔහු තෘප්තියට පත් වෙනවා. ඇලී ගැලෙන්නේ නැතුව වින්දනයක්‌ ලබාගන්න තැත් කරන පුද්ගලයෙක්‌. අරවින්ද කියන්නේ ඒකේ අන්තිමටම ගිය පුද්ගලයෙක්‌.

මෙතැනදී මට මතක්‌ වෙනවා එරික්‌ ෆ්‍රෝම් (Eric Fromm) කියන දාර්ශනිකයා ලිව්වා 'To have or to be'කියලා ඉතාමත් වැදගත් පොතක්‌. ඒක බටහිරයන්ටත් අවබෝධ කරගන්න බැරි වුණා. 'ඇලී ගැලී ජීවත්වීමද වින්දනය මුල් කරගෙන ජීවත්වීමද' කියන එකයි ඒ පොතේ පෙන්නුම් කළේ. ඔහු බටහිර කවියෙක්‌ගේ කවියක්‌ අරගෙන පටන් ගන්නවා. මලක්‌ පිපිල තියෙනවා. බටහිර කවියා ඇවිල්ලා මල දිහා බලා බොහොම ලස්‌සනයි කියලා මේක එක පාරටම කඩා ගන්නවා. ඔහු ජපානයේ කවියෙක්‌ගේ කවියකුත් ගන්නවා. එයා ඇවිල්ලා මල දිහා බලලා කියනවා බොහොම ලස්‌සනයි. ඔබ තව තවත් ලස්‌සන වෙමින් ලෝකය ලස්‌සන කරමින් ජීවත් වෙන්න කියලා. මේ තමයි ඇලී ගැලී ජීවත්වීමයි වින්දනයෙන් ජීවත් වීමයි අතර වෙනස. බටහිර කවියා ඇලී ගැලී ජීවත් වීම සංකේතවත් කරනවා. ජපානයේ කවියා වින්දනයෙන් ජීවත්වීම සංකේතවත් කරනවා. එරික්‌ ෆ්‍රෝම් කියනවා මිනිස්‌සු සීයට සීයක්‌ ඇලී ගැලී ජීවත් වෙන්නෙත් නැහැ. සීයට සීයක්‌ වින්දනයෙන් ජීවත් වෙන්නෙත් නැහැ කියලා. එක පුද්ගලයකු තුළ මේ ධාරා දෙකම අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒක බැලුවම අර සරච්චන්ද්‍ර මහත්තයා කියපු දෙයින් අපට පේනවා විරාගයේ අරවින්දත් ඒවා බදා ගන්නේ නෑ. ලබා ගන්න තැත් කරන්නේ නෑ. ඒ අතින් බැලුවම අර එරික්‌ ෆෝම් කියන සීයට සීයක්‌ වින්දනයෙන් ජීවත් වෙන්න උත්සාහ කරපු පුද්ගලයෙක්‌. අරවින්දගේ ජීවිතය අසාර්ථක වීමට හේතුවත් ඒකයි. බෞද්ධයන් වශයෙන් අපි නම් දරු මල්ලන් හදාගෙන මේ දෙකම සමබර කරගෙන ජීවත් වෙනවා. ඇලී ගැලී ජීවත් වෙන්නෙත් නෑ. සම්පූර්ණයෙන් වින්දනයෙන් ජීවත් වෙන්නෙත් නෑ. නමුත් අරවින්ද දරු මල්ලන් හැදුවෙත් නෑ. කසාද බැන්දෙත් නෑ. ලබා ගන්න උනන්දු වුණෙත් නෑ. 100%ක්‌ වින්දනයෙන් ජීවත් වෙන්න හදපු චරිතයක්‌.

  • හැබැයි අරවින්ද මුළු මනින්ම විරාගික චරිතයක්‌ නොවන බව නවකතාව තුළින් මතු වෙනවා. සරෝජිනී සමඟ සම්බන්ධය කෙසේ වෙතත් බතී සම්බන්ධයෙන් ඔහු තුළ ඇතිවෙන රාගික හැඟීම් නවකතාවෙන් ඉස්‌මතු වෙනවා.

රාගික හැඟීම් තිබුණට එහෙම සරාගික හැඟීමක්‌ නෑ. බතී ජිනදාස එක්‌ක පැනලා යන්න හදනකොට අරවින්දට යම්කිසි ඊර්ෂ්‍යාවක්‌ ඇති වෙනවා. ඇත්තටම අරවින්ද දකින්න ඕන සීයට සීයක්‌ ඇලීම් ගැලීම් අතෑරලා සීයට සීයක්‌ වින්දනයෙන් ජීවත් වෙන්න තැත් කළ පුද්ගලයෙක්‌ විදිහට. මනුෂ්‍යයකුට එහෙම ජීවත් වෙන්න බෑ. රහත් ඵලය ලැබුවොත් ඇරෙන්න. අරවින්දට වුණේ එසේ වින්දනයෙන් ජීවත් වෙන්න ගිහිල්ලා අනාථ වීම, පරාජිත නෙමෙයි. මාර්ගඵල  ලැබුවොත් එහෙම වෙන්න පුළුවන්. ගිහි ජීවිතයේ ඉන්න පුද්ගලයකුට එහෙම බෑ.

  • නමුත් එකල 'විරාගය' පිළිබඳ එල්ල වු ප්‍රධාන විවේචනය තමයි එය ලංකාවේ පරාජිත සාහිත්‍යයේ ආරම්භය සිනිටුහන් කළ බව. අරවින්ද පරාජිත, බෙලහීන අකර්මන්‍ය චරිතයක්‌ යෑයි පැවැසීම යුක්‌ති යුක්‌තද?

බංකොලොත් මාක්‌ස්‌වාදයෙන් ගුරුහරුකම් ගත්ත අර මැට්‌ටෝ ඒ කාලේ කියපු කතාවක්‌ ඕක. මම ඒකට එකඟ නෑ. දිනපු කට්‌ටියයි පරාද වෙච්ච කට්‌ටියයි වගේ සරල මිනුමක්‌ ඕක.හරියට උත්සවය සාර්ථක වුණාද නැද්ද කියන්නා වගේ. සාහිත්‍ය කෘතියක්‌ එහෙම මනින්න බෑ. සරෝජිනීගේ යෝජනාව සම්බන්ධයෙන් අරවින්ද නිහඬ පිළිවෙතක්‌ දරන්නේ සාම්ප්‍රදායික කුටුම්භයට, පුරුෂ මූලික බවට, එරෙහිව අරවින්ද සිය ජීවිතය ආරම්භ කළ නිසා වෙන්න පුළුවන්.

'විරාගය' පිළිබඳ මම දැන් ලිපි කීපයක්‌ ලියලා තියෙනවානේ. ඒවායින් මම දක්‌වලා තියෙන එක කාරණයක්‌ තමයි ඇත්ත වශයෙන්ම අර බෞද්ධ සංස්‌කෘතියත් බෞද්ධ සභ්‍යත්වයත් වර්තමානයේ මේ රටේ දක්‌නට ඇති එක්‌තරා විදිහක ධනවාදී භෞතිකවාදී සමාජයක්‌ අතරේ තියෙන ගැටුම පිළිබඳ දක්‌වන චරිතයක්‌. මොකද අරවින්දගේ සහෝදරිය වන මේනකා සහ ඇයගේ ස්‌වාමි පුරුෂයා මේ ධනවාදී ක්‍රමය පිළි අරගෙන ඒකේ සශ්‍රීකව ජීවත් වෙනවා. සරෝජිනීත් මුලදී අරවින්දට ආලය කළාට මොකද පසුව විවාහ වෙලා එයත් ඒ සමාජයට අනුගත වෙනවා. අරවින්ද මේ සමාජයට මුහුණ දෙන්න බැරි පුද්ගලයෙක්‌ වගේම එක්‌තරා විදිහකට තමන්ගේ ජීවිතය අසාර්ථක කරගන්න පුද්ගලයෙක්‌ බවට පත් වෙනවා. ඔහු සරෝජිනීට සහ බතීට ඇලුම් කළාට කවදාවත් ලබාගන්න තැත් කළේ නෑ. බතී ඇවිල්ලා හෙදකම් කරනකොට ඒකෙන් තෘප්තියක්‌ ලැබුවා. සරෝජිනී ඇවිල්ලා පරණ පෙම් කතා මතු කරන කොට ඒකෙන් තෘප්තියක්‌ ලැබුවා. ඒ කියන්නේ මෙයා වස්‌තුවෙන් නෙමේ ඡායාවලින් තමයි ජීවත් වෙන්න හැදුවේ. ඒ නිසා ඔහු ඇලී ගැලීමකින් තොරව සීයට සීයක්‌ වින්දනයෙන් ජීවත් වෙන්න ගිහිල්ලා අනාථවීමකුයි වුණේ. පරාජිත නෙමේ.

  • මෙසේ ඔබේ අදහස්‌ වෙනස්‌ වෙමින් විවිධ යුගවලදී 'විරාගය' පිළිබඳ කළ කියවීම් තුන ඔස්‌සේ නවකතා 'ප්‍රති-කියවීම' හෙවත් Re-reading සංකල්පය හඳුනා ගන්න පුළුවන්. අපේ රටේ සමහරු මෙයත් වරද්දා ගත්තා. ඔවුන් හිතුවේ Re-reading කියන්නේ කිය වූ පොත දෙවැනි වරට කියවීම කියලා. මේ ගැන ඔබට අදහසක්‌ ඇද්ද?

ප්‍රති-කියවීම කියන්නේ කිය වූ පොත දෙවරක්‌ කියවන එකම නෙමෙයි. අපි පොතක්‌ කියෙව්වාම ඒ පොතේ තියෙන දේවල් අපි අපේ ජීවිතය එක්‌ක සම්බන්ධ කර ගන්නවා. අපි පොතක්‌ කියවන කොට අපි කියවන්නේ අපේ අද්දැකීම්වලට අනුව. දැන් ටෝල්ස්‌ටෝයිගේ පොතක්‌ අවුරුදු 15ක, 20ක කෙනෙක්‌ කියෙව්වොත් දැනෙන ප්‍රමාණයට වඩා ඒ පුද්ගලයම අවුරුදු 20දී කියෙව්වොත් දැනෙනවා. අවුරුදු 60දී කියෙව්වොත් ඊටත් වඩා දෙයක්‌ දකින්න පුළුවන්. ඒක ස්‌වභාවිකයි. කියවීම කියන්නේ නිකම්ම නිකම් කියවීම නෙමෙයි. ඒ කෘතිය සමඟ සුසංයෝගය වීමකුත් වෙනවා. හොඳම උදාහරණය තමයි මගේ ලිපි තුන ඒ කාලේ මම වටහා ගත්ත තරම තමයි මුල් ලිපියෙන් තියෙන්නේ. දෙවන ලිපිය ලියනකොට 'විරාගය' ගැන මම වටහා ගන්න තරම තමයි එහි තියෙන්නේ. තුන්වන ලිපිය ලියන කොට මම වටහා ගත්ත තරම තමයි ඉන් පෙන්නුම් කරන්නේ. ඒක තමන්ගේ අද්දැකීම් මත තියලයි විනිශ්චය කරන්නේ. දෙවරක්‌ නිකම් කියවූ පමණින් ඒක ප්‍රති-කියවීමක්‌ (Re-reading) වෙන්නේ නෑ.

  • ඔබ හිතන විදිහට වික්‍රමසිංහගේ විශිෂ්ට නවකතාව 'විරාගය' ද? 'ගම්පෙරළිය' ද?

එහෙම කියන්න අමාරුයි. වික්‍රමසිංහගේ සුහද අද්දැකීම් තියෙන නවකතාව තමයි මං හිතන්නේ 'ගම්පෙරළිය'. එය කියවන කොට අපට ඒ ගමේ ඇවිදිනවා වගේ දැනෙනවා. විරාගයේ එක දුර්වලකමක්‌ මම දකිනවා. මොකද අරවින්ද බිහි කරපු සමාජය පිළිබඳ සවිස්‌තරාත්මකව ගැඹුරින් කතා කරන්නේ නැති බව පේනවා. ඇත්ත වශයෙන්ම 'විරාගය' චිත්‍රපටයේදී ඒ ඌණතාවය ජයගෙන තිබෙනවා. ගම්පෙරළියේ තියෙනවා බොහොම ප්‍රබල සමාජ කතාවක්‌. ඒ අතරතුර නන්දා පියල්ගේ ප්‍රේම කතාවත් තියෙනවා. 'ගම්පෙරළිය' චිත්‍රපටිය ගත්තොත් තියෙන්නේ අර ප්‍රේම කතාව විතරයි. අර සමාජ කතාව ඇත්තේ නෑ. ඇත්ත වශයෙන්ම 'ගම්පෙරළිය' චිත්‍රපටයේ ශිල්පීය දක්‍ෂකම් තියෙන්න පුළුවන්. නවකතාවේ තියෙන හරවත් බව ඇත්තේ නෑ. චිත්‍රපටයෙන් ලොකු වින්දනයක්‌ ලැබුවේ නෑ. මිනිස්‌සු ඒක බැලුවේ නවකතාව උඩ තියලා. ඒකේ අනෙක්‌ පැත්ත තමයි 'විරාගය' චිත්‍රපටය. අරවින්ද බිහි වෙන සමාජ චිත්‍රණය නවකතාවේ මදිවගේ පෙනුනට 'විරාගය' චිත්‍රපටියේදී ඒක සෑහෙන්න දුරට වර්ධනය කරගෙන තිබෙනවා.

  • ඔබ වික්‍රමසිංහ හඳුන්වා දෙන්නේ පියදාස සිරිසේනට, ධර්මපාලතුමාට සමාන මෙරට බෞද්ධ සංස්‌කෘතියේ ආරක්‍ෂකයකු හැටියට. නමුත් ඔහුගේ ඇතැම් ලේඛන ඊට හානි කරන බව පෙන්වා දෙනවා. යක්‌කඩුවේ හාමුදුරුවෝ කෘතියක්‌ පවා ලිව්වා 'භවතරණයට' විරුද්ධව. ඒ ගැන ඔබේ අදහස මොකක්‌ද?

'භවතරණය' මමත් හිතන්නේ නෑ ඔහුගේ සාර්ථක ලියවිල්ලක්‌ කියලා. ඒකෙන් බුදු හාමුදුරුවන්ට නිග්‍රහයක්‌ වෙනවා කියලයි යක්‌කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවෝ 'භවතරණ මග' කෘතිය ලියන්නේ. නමුත් වික්‍රමසිංහ හැදුවේ බටහිර බලපෑම්වලට ගොදුරු වෙච්ච තරුණයන්ට, විද්‍යාවට නැඹුරු වෙච්ච තරුණයන්ට නූතනත්වයට හුරුවෙමින් ඉන්න තරුණයින්ට සරිලන විදිහට මිත්‍යා විශ්වාසයක්‌ පිළිබඳ විවේචනාත්මකව බලමින් බුදු දහම පිළිබඳ අවබෝධයක්‌ ලබාදීමට. වික්‍රමසිංහට අවශ්‍ය වුණා බුදුදහම කියන්නේ නිවන් දකින්න තියෙන එකක්‌ පමණක්‌ නෙවෙයි සමාජවාදී දර්ශනයක්‌ තියෙන එකක්‌ කියා පෙන්නන්න. ඇත්ත වශයෙන් ඒක හරි. බුදු දහම නිවන් දකින්න විතරක්‌ නෙමෙයි යහපත් සමාජයක්‌ වෙනුවෙන් යොදා ගන්නත් පුළුවන්. 

සංවාදය

රත්තනදෙණියේ මේධානන්ද හිමි

2016.නොවැම්බර් 10 දිවයින

සම්බන්ධිත පුවත් | Related News

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා හෙට (04) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (03) නොතීසි නිකුත් කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.