News Category
From Date
To Date
Maximum Number of Result

බටහිරට කීකරු ශ්‍රී ලංකාවක් !…ජිනීවා ව්‍යාපෘතිය තීරණාත්මක අදියරක..

Sep 7, 2025 at 12:51 PM
|

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණය (International Criminal Court) පිළිගත යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඒ පිළිබඳව ඍජු ප්‍රකාශයක් හෙට කරනු ඇත. ඒ මානව හිමිකම් ප්‍රධානි වොල්කර් ටර්ක් විසින් ඉදිරිපත් කරනු ලබන නිගමන සහ නිර්දේශ යටතේය. ශ්‍රී ලංකාවට කරන මෙම අනීතික බලපෑම විමසා බැලිය යුතු වන්නේ මෙම වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වුණු ජිනීවා මානව හිමිකම් සැසියේදි යුද අපරාධ චෝදනා විමසීමේ ක්‍රියාවලියට අදාළ නීතිමය රාමු 9ක් අතුරින් 8වැන්න වන සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසංවිධාන කොමිසම පනත සම්මත කරන බවට ශ්‍රී ලංකාව පොරොන්දුවක් ලබා දී ඇති පසුබිමේය.

නීතිපති දෙපාර්තමේන්තුවට පිටින් ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට ගෙන ඇති තීරණය සුවිශේෂී තත්ත්වයකි. එමගින් ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව නැගෙන යුද අපරාධ චෝදනා විභාග කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම කළ හැකි බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ස්ථාවරයයි. එය යුද අපරාධ චෝදනා විමසීමේ ක්‍රියාවලියට අදාළ නීතිමය රාමු 9 අතරින් අවසන් නීතියයි. එනම් ස්වාධීන අභිචෝදක කාර්යාල පනතයි.

ඔස්ට්‍රියානු ජාතික නීතිඥ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානි වොල්කර් ටර්ක් විසින් එම කවුන්සිලයේ 60 වැනි සැසිවාරය ආරම්භ වන හෙට දිනයේ (සැප්තැම්බර් 8) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරනු ඇත. එම වාර්තාව දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාවට එරෙහිවය. නිල වශයෙන් හෙට ඉදිරිපත් කිරීමට නියමිත එම වාර්තාව ශ්‍රී ලංකා රජය සහ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අනෙකුත් පාර්ශ්වවලට දැනටමත් ලැබී ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඒකපාර්ශ්වික ප්‍රවේශය සහ ශ්‍රී ලංකා රජයේ (2009 සිට අද වනතුරු සියලුම ආණ්ඩු) සාමූහික අසාර්ථකත්වය එම වාර්තාව හෙළිදරව් කරයි. පිටු 16 ක එම වාර්තාවේ නිගමනයන් සහ නිර්දේශ නැවත නැවතත් අවධාරණය කරන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් කිසිසේත්ම සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බවයි. ඒ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා සම්බන්ධයෙන් බටහිර න්‍යාය පත්‍රය අකුරක් නෑර අනුගමනය කරන බැවිනි.

රටම ව්‍යාකුල කළ අරගලයෙන් පසුව ඇතිවූ දේශපාලන වාතාවරණය ජිනීවා ක්‍රියාවලියට බලපාන ආකාරය සැප්තැම්බර් 8 වැනි දින සැසිවාරය තුළින් පිළිබිඹු වනු ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය 2009 දී විනාශ කළේ කළේ ඉන්දියාව 80 දශකයේ ශ්‍රී ලංකාවට එරෙහිව දියත් කළ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී ව්‍යාපාරයක් බව සහමුලින්ම අමතක කර ඇති එම වාර්තාව 1987-1990 කාලය තුළ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල යෙදවූ ඉන්දීය හමුදාව සහ දෙමළ ත්‍රස්තවාදීන් අතර යුද්ධය සඳහන් කිරීමෙන් සිතාමතා වැළකී ඇත. ශ්‍රී ලංකා මෙහෙයුමේදී ඉන්දීය හමුදාව ජීවිත 1,500 ආසන්න ප්‍රමාණයක් අහිමි කර ගැනීම තුළ නවදිල්ලිය ස්ථාපිත කළ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ දරුණු බව තේරුම් ගත හැකිය. බත්තරමුල්ලේ ස්ථාපිත කර ඇති ඉන්දීය හමුදා ස්මාරකය ලෝකයට අවධාරණය කරන්නේ ඉන්දියාව ශ්‍රී ලංකාව තුළ කළ මැදිහත්වීමයි. නමුත් භූමියේ තත්ත්වය ඇති සැටියෙන් දැකීමට ශ්‍රී ලංකා දේශපාලන නායකත්වයට ශක්තියක් නැත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ද අන්ධය.

ශ්‍රී ලංකාව 2006 අගෝස්තු මාසයේදී තීරණාත්මක ඒකාබද්ධ යුද මෙහෙයුමක් දියත් කළේ කොටි ත්‍රස්තවාදී සංවිධානය හතරවන ඊළාම් යුද්ධය ආරම්භ කිරීමට ප්‍රතිචාරයක් ලෙසිනි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව එම තත්ත්වය අවධාරණය කළ යුතු නොවේද? කොටි සංවිධානය අවසන් යුද්ධය ආරම්භ කළේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය නායකත්වය දුන් දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ ආශීර්වාදය ඇතිවය. දෙමළ කතා කරන ජනතාවගේ එකම නියෝජිතයා ලෙසය. රාජ්‍ය නොවන සංවිධානය ජාලය සහ ප්‍රබල මාධ්‍ය අනුග්‍රහයක් ත්‍රස්තවාදීන්ට තිබිණි.

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය නායකත්වය දුන් දෙමළ ජාතික සන්ධානය කොටි සංවිධානය සමග අත්වැල් බැඳ ගනු ලැබූ අවස්ථාවේ දී එම සන්ධානය පාර්ලිමේන්තුව නියෝජනය කළ බව අපට අමතක කළ නොහැක. නමුත් කිසිදු ආණ්ඩුවක් එදා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට මුහුණ දුන් තර්ජනය නිල වශයෙන් ජිනීවා කවුන්සිලයට ඉදිරිපත් කර නැත. වර්තමාන රජය කරන්නේ ද නැත.

එදා ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය (එජාප) යුද හමුදාව දැඩි සමච්චලයට ලක් කළේය. එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ අනෙකුත් ප්‍රබලයින් වූ රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල සහ මංගල සමරවීර ඍජුව ආරක්ෂක හමුදාවන්ට එරෙහිව ප්‍රකාශ කළේය. ආරක්ෂක හමුදාවන්ට අවමං කළේය.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී තීරණාත්මක දේශපාලන ශක්තියක් එදා මහින්ද රාජපක්ෂ රජයට ලබාදුන් එජාප කැරලිකාර කණ්ඩායමේ නායක කරු ජයසූරිය එජාප නියෝජ්‍ය නායකයා ලෙස 2008 දෙසැම්බර් දෙවන සතියේ නැවතත් පක්ෂයට පැමිණීම අදටත් එක්තරා ආකාරයක අභිරහසකි. ආරක්ෂක හමුදා විසින් කිලිනොච්චිය අත්පත් කර ගැනීමට සති කීපයකට පෙර කරු ජයසූරිය අමාත්‍ය ධුරය අත හැරීම අවධාරණය කළේ එක්තරා ආකාරයකට ආරක්ෂක හමුදා මෙහෙයුම පිළිබඳව සැක පළකිරීමක් නොවේද? කරු ජයසූරිය පැත්ත මාරු කර මාස හයක් යනවිට කොටි සංවිධානය සුන්බුන් ගොඩක් බවට පත්විය. එදා කරු ජයසූරිය අමාත්‍යවරයාව නොමග යැවුවේ කවුරුද?

කෙටියෙන් කිවහොත් ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට එල්ල කළ අභියෝගය හමුදාමය ක්‍රියාමාර්ගයක් තුළ 2009 මැයි පරාජය කළත් අප රටට එරෙහි හිටපු සහ ‘දෙමළ ඩයස්පෝරා’ ව්‍යාපෘතිය බටහිර දේශපාලන බලවේග තමන් සතු කර ගෙන ඇත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාත්මක කරන්නේ එම ව්‍යාපෘතියයි. ඒ බටහිර ආණ්ඩු වෙන් වෙන් වශයෙන් සාමුහික ක්‍රියාදාමයක් තුළ ශ්‍රී ලංකාව ඉලක්ක කර ගෙන ඇති / ගැනීමට නියමිත ක්‍රියාමාර්ග සමූහයට අමතරව ය. සමස්ත ක්‍රියා මාර්ගයේ අරමුණ බටහිරට කීකරු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමයි. තත්ත්වය තේරුම් ගැනීම අපහසු නැත.

මානව හිමිකම් කවුන්සිලය එදා යහපාලන ආණ්ඩුව සමග කළ ගනුදෙනුව තුළ රටට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක්‍රියාවලියට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඍජුව සම්බන්ධ වී තිබිණි. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා නායකත්වය දුන් එම කටයුත්තට මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් ඒකාබද්ධ විපක්ෂය ද සම්බන්ධ වී තිබිණි. කෙටියෙන් කිවහොත් නව ව්‍යවස්ථාව ස්ථාපිත කිරීමට සිරිසේන-වික්‍රමසිංහ රජය මාර්ග සිතියමක් පිළිබඳව මානව හිමිකම් කවුන්සිලය සමග එකඟතාවයකට පැමිණි සිටිය බව රහසක් නොවේ.

ශ්‍රී ලංකාවට එරෙහි එක්සත් ජාතීන්ගේ මාර්ග සිතියම දරුස්මාන් වාර්තාව ලෙස 2011 මාර්තු 31 වැනි දින නිල වශයෙන් ප්‍රකාශයට පත්විය. එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ධුරය (2007 සිට 2016 දක්වා) දැරූ දකුණු කොරියානු ජාතික බෑන් කි මූන් පත් කළ තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් එම කටයුත්ත එක්සත් ජාතීන්ට අවශ්‍ය ආකාරයට කළේය. එම වාර්තාවේ කර්තෘවරුන් වූයේ ඉන්දුනීසියානු දේශපාලනඥයකු වූ මාර්සුකී දරුස්මාන් (1999 සිට 2001 දක්වා ඉන්දුනීසියාවේ නීතිපති), දකුණු අප්‍රිකානු ජාතික යැස්මින් සුකා (බටහිර අරමුදල් ලැබූ රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානි) සහ ඇමෙරිකානු ජාතික නීතිඥ ස්ටීවන් ආර්. රැට්නර් (ශ්‍රී ලංකාවට කවදත් එරෙහි හියුමන් රයිට්ස් වොච් නමැති සංවිධානයේ සාමාජික) බව මතක් කර දිය යුතුය.

ශ්‍රී ලංකාව ජිනීවා උගුලේ පැටලවූ බෑන් කි මූන් 2023 පෙබරවාරි මාසයේදී බංකොලොත් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර වික්‍රමසිංහ-රාජපක්ෂ රජය ඔහුට මැති සබයේ ගෞරවය පුද කළේය. ශ්‍රී ලංකාව දැඩි අපකීර්තියකට පත්කළ දරුස්මන් වාර්තාව බෑන් කි මූන් ගේ හපන්කමක් බව ලැජ්ජා නැති රාජපක්ෂ-වික්‍රමසිංහ ආණ්ඩුව අමතක කර දැමීය.

දරුස්මාන් වාර්තාව මත ගොඩනැඟූ ශ්‍රී ලංකාවට එරෙහි දුෂ්ට ක්‍රියාදාමයේ නවතම කොටස ජිනීවා කවුන්සිලයේ 60 වැනි සැසිවාරය ආරම්භයේදීම ප්‍රකාශයට පත්වීමට නියමිතය. සමස්ත ක්‍රියාදාමය දේශපාලනිකය. ජිනීවා කවුන්සිලය සැබෑවට මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනවා නම් ඊශ්‍රායලය දැනට සිදු කරන පලස්තීන ජන සංහාරයට එරෙහිව කුමක් කළ යුතුද? ශ්‍රී ලංකාවට එරෙහිව අවි අමෝරා ගෙන සිටින ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ කැනඩාව ගාසා ජන සංහාරය දකින්නේ නැත. ගාසා ජන සංහාරයට අවශ්‍ය ආර්ථික සහ දේශපාලන රැකවරණය යුදෙව් රාජ්‍යයට නොඅඩුව සපයන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අසූචි වළක් ලෙස හැඳින්වූ ඇමෙරිකාවයි.

ශ්‍රී ලංකාවේ ලේ වැගිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ වගකීම සහ වගවීම නොසලකා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාව හරහා සම්මත වූ ‘ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය’ තවදුරටත් ඉදිරියට ගෙනගිය හැකිද? සැබවින්ම මතු කළ යුතු මතභේදාත්මක ප්‍රශ්නය එයයි. මානව හිමිකම් කවුන්සිලය මීට පෙර වසරවල ඉදිරිපත් කළ වාර්තා මෙන්ම මෙවර වාර්තාව ද ඉන්දියාව සම්බන්ධයෙන් නිහඬය. ශ්‍රී ලංකාව විනාශ කළ ත්‍රස්තවාදයේ දෙමව්පියන් ඉන්දියාව බව අවධාරණය කළ යුතුය. ලෝකය කොන්දේසි විරහිතව ත්‍රස්තවාදයට එරෙහි විය යුතු බව පවසන නරේන්ද්‍ර මෝඩි රජයට ඉන්දියාව ශ්‍රී ලංකාවට කළ අසාධාරණය මතක් කර යුතුය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු දුසිම් ගණනින් ඉන්දියාවට ගෙන ගොස් සන්තෝෂ කිරීමෙන් රටට වාසියක් නැත.

සෑම රජයක්ම ‘ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය’ ප්‍රතික්ෂේප කර ඇත. ජවිපෙ/ ජාතික ජනබලවේගය (ජාජබ) රජය ද එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. එලෙසෙම වගවීම සම්බන්ධයෙන් ජිනීවා යෝජනා ද ප්‍රතික්ෂේප කර ඇත. නමුත් අධිකරණමය ක්‍රියාමාර්ගයක් තුළ විමර්ෂණයට භාජනය නොවූ චෝදනා මත ක්‍රියාත්මක ශ්‍රී ලංකාවට එරෙහි ව්‍යාපෘතිය ව්‍යර්ථ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු රජයක් අවංක උත්සාහයක් ගත්තේ නැත. වර්තමාන රජයට එවැනි උනන්දුවක් තිබෙන බව නොපෙනේ. මීට පෙර රජයන් මෙන් ‘ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය’ ප්‍රතික්ෂේප කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ.

ශ්‍රී ලංකාවට එරෙහි මෙහෙයුමට සාර්ථකව මුහුණ දිය හැකි බව පළමුවෙන්ම අවධාරණය වූයේ දරුස්මාන් වාර්තාව ඉදිරිපත් කර මාස දෙකකට පසුවය. ඒ 2011 මැයි අග-ජුනි කොළඹ පැවැති පළමුවන ආරක්ෂක සමුළුවේදීය. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ ත්‍රස්තවාදය නැසීමට සටන් කිරීමට ඉන්දියානු හමුදාවට සිදුවිය. ඒ හමුදාවේ ඉහළ නිලධාරියකු වූ මේජර් ජෙනරාල් අශෝක් මේතා ගලදාරි හෝටලයේ පැවැත්වූ තුන්දින කොළඹ ආරක්ෂක සමුළුවේ ආරම්භක දිනයේදී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට යුද අපරාධ සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉදිරිපත් වූයේ එවකට කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ලෝරන්ස් ස්මිත්ය. එම නිලධාරියා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අණ දුන් 58 සේනාංකයට එල්ල වී තිබූ යටත් වන පුද්ගලයින් ඝාතනය කිරීමේ චෝදනාව (සුදු කොඩි නඩුව) සහ අනෙකුත් යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කළේය.

ඇමෙරිකානු නිලධාරියා කළ මැදිහත්වීම සියලු දෙනා මවිතයට පත් කළේය. එම පුවත ඊට පසුදින වාර්තා කළේ The Island පුවත්පතට මෙම ලියුම්කරු පමණි. එම අවස්ථාවට සහභාගි වීමට මෙම ලියුම්කරුට අවස්ථාව සලසා දීම තුළ එම හෙළිදරව්ව කිරීමට හැකි විය.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලුතිනන් කර්නල් ලෝරන්ස් ස්මිත් එම සමුළුවේදී නියෝජනය කළේ ඇමෙරිකාව නොවන බව ප්‍රකාශ කළේය. ඒ දිනපතා වොෂින්ටනයේ පැවැත්වෙන රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවේදීය.

මහින්ද රාජපක්ෂ රජය එම ප්‍රකාශය නොසලකා හැරියේය. එවකට හමුදාපති වූ ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය ද මෙම අවාසනාවන්ත තත්ත්වයට වගකිව යුතුය. වර්ධනය වෙමින් පැවති ජාත්‍යන්තර අභියෝගයට මුහුණ දීමට අත්තිවාරමක් විය හැකිව තිබූ එම ප්‍රකාශය ත්‍රස්තවාදය පරාජය කළ රජය අමතක කර දැමීය. ඒ වෙනුවට වංචනික ඇමෙරිකානු ජාතිකයකුට ඩොලර් මිලියන හයකට වඩා වැඩි මුදලක් ලබා දුන්නේ රටේ ප්‍රතිරූපය සෑදීමට ය. එය වෙනමම සාකච්ඡා කළ යුතු මාතෘකාවකි.

කොළඹ ආරක්ෂක සමුළුවේදී ඇමෙරිකාව කළ ප්‍රකාශය ඍජුව තහවුරු වන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් 2017 ඔක්තෝබර් මාසයේදී නේස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේ දී කළේය. ලුතිනන් කර්නල් ලෝරන්ස් ස්මිත් මෙන්ම හතර වන ඊළාම් යුද්ධය සිදුවන අවස්ථාවේදී කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවය කළ ලුතිනන් කර්නල් ඇන්තනි ගැෂ් 2009 ජනවාරි – මැයි යන කාලය තුළ ලන්ඩනයට යැවූ රහස්‍ය ලිපි පදනම් කර නේස්බි සාමිවරයා කළ ප්‍රකාශය දරුස්මාන් වාර්තාවට මරු පහරක් එල්ල කළේය. එම වාර්තාවේ ප්‍රධානතම චෝදනාව වූ 40,000 කට අධික සිවිල් වැසියන් ඝාතනය කිරීම බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් අභියෝගයට ලක් කර තිබිණි.

මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කළ යුතු කරුණක් ඇත. ශ්‍රී ලංකාවේ වගකීම සහ වගවීම පිළිබඳව තීරණාත්මක සාධකයක් වන මෙම කරුණු නේස්බි සාමිවරයා මතුකර ගනු ලැබුවේ මහා බ්‍රිතාන්‍යයේ තොරතුරු දැන ගැනීමේ පනත පාවිච්චි කිරීමෙනි. නමුත් බ්‍රිතාන්‍ය රජය නොයෙකුත් හේතු දක්වමින් සමස්ත ක්‍රියාදාමය පරක්කු කිරීම හේතුවෙන් දැඩි වාරණයට ලක් කරන ලද එම රහස්‍ය ලිපි නේස්බි සාමිවරයා අතට පත් වන්නේ 2017 අග භාගයේදීය. එතුමා තොරතුරු දැන ගැනීම පනත යටතේ අදාළ ඉල්ලීම කර තිබුණේ 2014 වසරේදීය. රාජ්‍ය මැදිහත්වීම තුළ අවහිර කිරීමක් සිදු නොවුණා නම් 2015 ඔක්තෝබර් 1 වැනි දින ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ද සම දායකත්වය ඇතිව සම්මත කර ගත් ඇමෙරිකානු යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර නේස්බි සාමිවරයාට සත්‍යය හෙළිදරව් කිරීමට අවස්ථාවක් තිබිණි. බෙදුම්වාදී දෙමළ බලවේග නළවන බ්‍රිතාන්‍ය රජය තොරතුරු සැඟවීමට උත්සාහ කළ හේතුව අමුතුවෙන් කිව යුතු නැත.

නේස්බි සාමිවරයා කළ හෙළිදරව්ව ශ්‍රී ලංකාවේ වාසියට යොදා ගැනීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් මෙම ලියුම්කරු යහපාලන සමයේ විදේශ අමාත්‍යාංශයෙන් විමසූ විට ඊට ලැබුණේ පුදුමාකාර උත්තරයකි. බ්‍රිතාන්‍යයේ සාමි මණ්ඩලයේදී කළ ප්‍රකාශය වැදගත් නොවන බව විදේශ අමාත්‍යාංශය අවධාරණය කළේය. ඒ 2017 ඔක්තෝබර් මාසයේ තුන්වන සතියේය. යහපාලන විදේශ අමාත්‍යාංශය පෙනී සිටියේ කවුරු වෙනුවෙන් ද යන ප්‍රශ්නයට පිළිතුර නොදන්නා කෙනෙක් නැත.

මාධ්‍ය එල්ල කළ දැඩි දෝෂාරෝපණය පසුබිමේ යහපාලන ආණ්ඩුවට නේස්බි සාමිවරයා කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සඳහන් කිරීමට සිදුවිය. හිටපු නීතිපති සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපන විදේශ අමාත්‍යවරයා ලෙස එම ප්‍රකාශය ජිනීවාහිදී කළේය. ආණ්ඩුවේ ප්‍රතිචාරය ප්‍රකාශයකට සීමා විය. ජිනීවා ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක විය.

අතිශය තීරණාත්මක 2019 ජනාධිපතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ ජිනීවා ක්‍රියාවලියෙන් ඉවත් වන බවට ප්‍රකාශ කළේය. එය නිල වශයෙන් ප්‍රකාශ කළේ 2020 පෙබරවාරි/මාර්තු පැවැත්වූ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දීය. ශ්‍රී ලංකාවේ සම දායකත්වයෙන් 2015 ඔක්තෝබර් 1 දින ප්‍රකාශයට පත් කළ යෝජනාවෙන් ඉවත් වූ බවට කළ ප්‍රකාශය හුදු ඇස්බැන්දුමක් පමණි. ජිනීවා ක්‍රියාවලිය නොනැවතී ඉදිරියට ගමන් කළේය. ජිනීවා කවුන්සිලයේ හෙට ඉදිරිපත් කරන වාර්තාව අවධාරණය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ රජය වෙනුවෙන් එවකට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජිනීවාහි දී කළ ප්‍රකාශය වෙනසක් කර නැති බවයි.

ශ්‍රී ලංකාව තුළ ඇති දේශපාලන ව්‍යාකූලත්වය බටහිර බලවේග උපරිම ලෙස අප රටට එරෙහි මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීමට පාවිච්චි කරන බව නොරහසකි. එම ව්‍යාපාරය අතිශයින්ම බලවත්ය. ඊට සම්පත් ඇත. ඒවා ව්‍යාපෘතිය තුළ ශ්‍රී ලංකා අභිමානයට නොනවත්වා පහර දීම සිදුවේ. ඊට දිය හැකි අපූරු උදාහරණයක් ඇත. දරුස්මාන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට තීරණාත්මක කාර්යක් කළ යැස්මින් සුකා නායකත්වය දෙන දකුණු අප්‍රිකාවේ ස්ථානගතවී ඇති රාජ්‍ය නොවන සංවිධානයක් කළ බලපෑම් මත අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ මතක සටහන් (The Turning Point( The Naval Role in Sri Lanka’s War on LTTE Terrorism) අලෙවි කිරීම මහා බ්‍රිතාන්‍යයේ ඇමේසන් ආයතනය (UK Amazon) එම පොතේ මුද්‍රණය ඉන්දියාවේ පෙන්ගුයින් (Penguin Random House) ප්‍රකාශකයන් නැවැත්වූ බවයි.

සුකා අද්මිරාල් කරන්නාගොඩට එරෙහිව නිශ්චිත ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන්නේ මහා බ්‍රිතාන්‍ය පසුගිය මාර්තු මාසයේදී කරන්නාගොඩ, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරාල් ජගත් ජයසූරිය සහ කොටි කැරලිකරු කරුණා අම්මාන් යුද අපරාධකරුවන් ලෙස නම් කිරීම අවියක් කර ගනිමිනි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 වසරේ තෙවරක් මහා බ්‍රිතාන්‍යයේ සංචාරය කළේය. අවසන් සංචාරයේදී රුපියල් මිලියන 16.6 දින දෙකකට වියදම් කර නඩුවක් පටලවා ගෙන ඇත්තේ ශ්‍රී ලංකා දේශපාලනය නව පැත්තකට යොමු කර ඇති එංගලන්ත සංචාරය නිසාය.

- ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

දිවයින

සම්බන්ධිත පුවත් | Related News

රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.