අහම්බයකින් හමුවූ "ඩෙරින්කුයු" භූගත නගරයේ කතාව..
ඒ 1963 අවුරුද්දේ අප්‍රකට උණුසුම් දවසක්. තුර්කියේ ඩෙරින්කුයු කියන ගමේ හිටපු අහ්මට්, කාලයකට කලින් මිලදී ගත්ත එයාගේ ගෙදර බිම් මහල අලුත්වැඩියා කරගන්න තීරණය කළා. ඒක සාමාන්‍යයෙන් එච්චරටම පාවිච්චි නොකරන, ගබඩා කාමරයක් වගේ තැනක්.
"දෙවියනේ! මේ බිත්ති ටික නම් හරිම හයියයි නේ.. " අහ්මට් හතිදාගෙන බිත්ති කඩන ගමන් මිමිණුවා..
අව්වත්, මහන්සියත් නිසා ඒ වෙලාවේ එයාට හොඳටම දාඩිය දාලා හිටියේ. එයාට ඕන වුණේ පැරණි බිත්ති දෙකක් කඩලා බිම් මහල තව ටිකක් ලොකු කරගන්න. මෙහෙම කඩන් යද්දි, එක තැනකදී එයාට පුදුම දෙයක් තේරුණා.
"ටිකක් අමුතුයි වගේ මෙතැන... ගඩොල් ගැලවිලා ගියාම යටින් හිස් තැනක් වගේ නේද?" අහ්මට් තවත් හොඳට බලන්න ළං වුණා..
එයා බිත්තියේ බදාම කඩපු තැනින් එහා පැත්තේ පොඩි අඳුරු හිඩැසක් දැක්කා. මුලින් එයා හිතුවේ ඒක විශාල කූඹි ගුල් සංකීර්ණයක්, නැත්නම් මී ගුලක් වෙන්න ඇති කියලා.
"මේ මොකක්ද මේ?" අහ්මට් තමන්ටම කියාගත්තා. කුතුහලය වැඩීගෙන ආවා. එයා අතේ තිබ්බ පොඩි ලන්තෑරුමක් දල්වලා ඒ හිඩැස ඇතුළට එබුණා..
"මේක හරි ලොකුයි වගේ නේ.." අහ්මට්ගේ කටින් පිටවුණේ පුදුමයට පත් වූ හඬක්. ලන්තෑරුම් එළියෙන් එයා දැක්කේ පොඩි උමං මාර්ගයක් වගේ දෙයක්. ඒක ඇතුළට විහිදිලා තිබුණා.
"මේක කොහෙන්ද මෙතැනට ආවේ? මේ නම් මී ගුලක් වෙන්න බෑ." අහ්මට් තවත් බිත්තියේ කොටසක් කඩලා හිඩැස ලොකු කරගත්තා. ඊට පස්සේ බිම් මහලේ තිබුණ ලී ඉනිමඟක් අරගෙන පරිස්සමෙන් ඒ උමඟ ඇතුළට බහින්න තීරණය කළා. එයාගේ පපුව ගැහෙන්න ගත්තා. මේක නම් වික්‍රමයක ආරම්භයක් කියලා එයාට හිතුණා...
පහළට ගිය අහ්මට් දැක්කේ හරිම පුදුමාකාර දෙයක්. ඒක පොඩි උමඟක් නෙවෙයි. ඒකෙන් තවත් උමං කිහිපයකට විහිදෙනවා. ඒ හැම එකක්ම අඳුරුයි, සීතලයි. බිත්ති පිරිසිදුවට කපලා තිබුණා. ඒ කියන්නේ මේක ස්වභාවිකව හැදුණු එකක් නෙවෙයි.
"ආයෙත් පහළට...?" අහ්මට් මුමුණමින් තවත් පඩිපෙළක් දිගේ පහළට බැස්සා. එයාට තේරුණා මේක තට්ටු ගණනාවකට විහිදෙන තැනක් කියලා. බිත්තිවල පොඩි පොඩි කාමර වගේ දේවල් තිබුණා. සමහර තැන්වල ලොකු ගල් දොරවල් තිබුණා. ඒ දොරවල් පිටතින් එන කිසිම කෙනෙකුට ඇතුළට එන්න බැරි විදිහටත්, ඇතුළේ ඉන්න අයට ආරක්ෂිතව පිටතට යන්නත් බැරි විදිහටත් හදලා තිබුණා.
"දෙවියනේ! මේක මොන වගේ තැනක්ද?" අහ්මට් හිතුවා. එයාට විශ්වාස කරන්න බැරි වුණා එයාගේම ගේ යටින් මෙවැනි දෙයක් තියෙනවා කියලා. එයා වේගයෙන් උඩට ඇවිත් බිරිඳට කතා කළා.
"ෆාතිමා! ෆාතිමා! ඉක්මනට එන්න! මම පුදුම දෙයක් හොයාගත්තා!" අහ්මට්ගේ කටහඬේ තිබ්බ හදිසියට ෆාතිමා දුවගෙන ආවා.
"මොකද අහ්මට්? මොකක්ද මේ කලබලේ?"
"අපේ ගේ යටින්... අපේ ගේ යටින් ලොකු නගරයක් තියෙනවා වගේ ෆාතිමා! ඇත්තටම!" අහ්මට් හති දදා කිව්වා. ෆාතිමාට මුලින් හිනා ගියා. "නගරයක්? ඔයාට පිස්සුද අහ්මට්? ඔයා හිටගෙන හිටියේ අව්වේ වැඩි වෙලාද?"
"නෑ ෆාතිමා! ඇත්තටම! එන්න බලන්න." අහ්මට් ෆාතිමාව ඇදගෙන බිම් මහලට ගියා. එයා හිඩැසෙන් පහළට එබෙන්න කිව්වා.
ෆාතිමාගේ ඇස් ලොකු වුණා. "මො... මොකක්ද මේ? මේක ගුහාවක් නෙවෙයිනේ!"
"ඔව්! මම කිව්වනේ!" අහ්මට් හිනාවෙලා කිව්වා. "මේක නම් අපේ පැරණි අය හදපු පුදුමාකාර දෙයක් වෙන්න ඇති." අහ්මට් සහ ෆාතිමා දෙන්නාම පුදුමයෙන් සහ කුතුහලයෙන් එකිනෙකාගේ මුහුණු බැලුවා...
දන්නවද ඔය විදියට ඒ දවස! ඒ සාමාන්‍ය බිම් මහලක් අලුත්වැඩියා කරන්න ගිය දවස, මානව ශිෂ්ටාචාරයේ සැඟවුණු දැවැන්ත රහසක් එළිදරව් වූ දවසක් බවට පත් වුණා. "ඩෙරින්කුයු" භූගත නගරය, වසර දහස් ගණනක් තිස්සේ පොළොව යට සැඟවී තිබී, අහ්මට් නම් වූ සාමාන්‍ය ගැමියෙකුගේ අතින් යළිත් ලෝකයට විවෘත වුණා. එය තවත් එක් ගොඩනැගිල්ලක් නොව, අතීතයේ සිටි මිනිසුන්ගේ බුද්ධියට, කැපවීමට සහ නොනවතින ශක්තියට ජීවමාන සාක්ෂියක්...
මේ කතාව ඇහුවම සමහරවිට ඔයාට පුදුම හිතෙයි. සාමාන්‍යයෙන් අපේ ගෙවල් යට තියෙන්නේ පරණ අත්තිවාරම්, ගල් ගඩොල් පස් වගේ දේවල් නේ.. ඒත් තුර්කියේ එක පවුලකට එයාලගේ ගේ යටින් හම්බවෙලා තියෙන්නේ මුළු නගරයක්ම! හිතාගන්න පුළුවන්ද ඒක?
මේක 1963 අවුරුද්දේදී සිද්ධ වෙච්ච ඇත්ත කතාවක්! තුර්කියේ කැපඩෝසියාව කියන පළාතේ ඩෙරින්කුයු (Derinkuyu) කියලා ගමක් තියෙනවා. මේ ගමේ පදිංචි වෙලා හිටිය කෙනෙක් එයාගේ ගේ බිම් මහල (basement) අලුත්වැඩියා කරන්න බිත්තියක් කඩනකොට එයාට අහම්බෙන් වගේ ලොකු අඳුරු උමං මාර්ග පද්ධතියක් හම්බවෙනවා..
මුලින් එයා හිතන්නේ ඒක පොඩි ගුහාවක් වෙන්න ඇති කියලා. ඒත් වැඩිදුරටත් ගවේෂණය කරද්දි එයාට තේරෙනවා මේක පොඩි ගුහාවක් නෙවෙයි, යටින් යටට තට්ටු ගාණක් විහිදිලා තියෙන ලොකු භූගත නගරයක් කියලා!
"ඩෙරින්කුයු" භූගත නගරය කියන්නේ පුරාණ මිනිස්සුන්ගේ පුදුමාකාර නිර්මාණයක්. එය හදලා තියෙන්නේ ගල් පර්වත කපලා. ඒ කාලේ සතුරන්ගෙන් බේරෙන්න, ආරක්ෂා වෙන්න මේ භූගත නගරය හදන්න ඇති කියලා තමයි විශ්වාස කරන්නේ. මේ නගරය කොච්චර ලොකුද කියනවා නම්, 20,000 කට විතර පිරිසකට මේක ඇතුලේ ජීවත් වෙන්න පුළුවන්කම තිබිලා තියෙනවා. හිතාගන්න පුළුවන්ද ඒක?
මේ නගරය ගැඹුරින් තට්ටු 18 ක් විතර පොළව යටට විහිදිලා තියෙනවා. ඒක නිකම් අපේ ගෙදර යටින් තට්ටු 18ක බිල්ඩින් එකක් තියෙනවා වගේ දෙයක්.
හැබැයි මේ ඇතුලේ හැම පහසුකමක්ම වගේ තිබිලා තියෙනවා. ජීවත් වෙන්න කාමර, ගබඩා, සත්තු ඇති කරන්න තැන්, වාතාශ්‍රය ගන්න තැන්, ළිං පවා මේක ඇතුලේ තිබිලා තියෙනවා. විශේෂයෙන්ම, පිටතින් එන කිසිම කෙනෙකුට ඇතුළට එන්න බැරි විදිහට, ඇතුළේ ඉන්න අයට ආරක්ෂිතව පිටතට යන්න පුළුවන් වෙන විදිහට විශාල ගල් දොරවල් පවා එහි තියෙනවා. ඒක සැබැවින්ම පුදුමාකාර නිර්මාණයක්...
මේ "ඩෙරින්කුයු භූගත නගරය" හදලා තියෙන්නේ අවුරුදු දහස් ගණනකට කලින්. ඇත්තටම මේ නගරයේ නම දන්නේ නෑ, ඒක පිහිටලා තියෙන වත්මන් ගමේ නමම ඒ නිසා එයට භාවිතා කරනව. ඒ කාලේ තාක්ෂණික දැනුම එච්චර නැති වුනත් මිනිස්සු කොච්චර දක්ෂ විදිහට එය නිර්මාණය කරලා තියෙනවද කියලා දකින කොට ඇත්තටම පුදුම හිතෙනවා. අද මේ නගරය සංචාරකයින්ට විවෘතයි. මේ වගේ තැනකට ගිහින් ඒක ඇස් දෙකෙන් දැක්කොත් ඇත්තටම හිතට පුදුමාකාර අත්දැකීමක් ජිවිතයට එකතු වෙයි.
ඔන්න 'ඩෙරින්කුයු' වලින් පසුව අපි දැන් කතාකරන්න යන අනෙක් ස්ථානය ගැන ඇහුවම ඔයා ඊටත් වඩා පුදුම වෙයි. පුදුමය කියන්නේ ඒ ස්ථානයත් අනාවරණය වුණේ, තුර්කියෙන්මයි.
අප ජීවත් වන ලෝකය දිහා බලන කොට, බොහෝ විට අපට හුරුපුරුදු ක්‍රමවේදයන් සහ ජීවන රටාවන් දකින්න පුළුවන්. ඒත් අදින් වසර 8000 කට පමණ පෙර පැවති, අපේ අද ක්‍රමවේදයන් සම්පුර්ණයෙන් කණපිට හැරවූ එක් පුරාණ නගරයක් ගැනයි මේ කියන්නේ. හැබැයි මේ 'ඩෙරින්කුයු' වගේ තවත් භූගත නගරයක් නෙවෙයි. අපේ වගේම පොළව මත හදපු නිවාස එහි තිබුණේ. අපුර්වත්වය එහි මිනිසුන් ගමන් බිමන් ගියේ වීදි දිගේ නෙවෙයි, වහලවල් මතින්! ඔවුන් නිවෙස් වලට ඇතුළු වූයේ වහලයේ ඇති සිදුරකින් පහළට බැසීමෙන්. පුදුම සහගතයි නේද?
මේ පුදුම සහගත නගරය හැඳින්වූයේ Çatalhöyük (චාටල්හෝයුක්) යනුවෙන්. එය නව ශිලා යුගයට අයත් විශාල ජනාවාසයක්, වර්තමාන තුර්කියේ පිහිටා තිබු මෙය ලෝකයේ ප්‍රථම ජනපද වලින් එකක්. කලින් කිව්වා වගේම එහි අපි අද දකින ආකාරයේ කිසිම මාර්ග තිබුණේ නැහැ. එහි මඩ-ගඩොල් වලින් තැනූ නිවාස, මී වදයක මෙන් එකට තදින් බැඳී තිබුණා.
වහලවල් මතින් ඇවිද ගිය ජීවිතය!
ඒ නගරයේ ඔබට ඔබේ ගෙදරට යන්න ඕන නම්, අසල්වැසියන්ගේ ගෙවල්වල වහලවල් මතින් ඇවිදගෙන ගොස්, ඔබේ නිවසේ වහලයේ තිබූ සිදුරකින් ලී ඉණිමඟක් දිගේ පහළට බහින්න සිදුවුණා..
ඇතුළත, නිවෙස තනි කාමරයකින් සමන්විත වූ අතර, එහි නිදාගැනීම සහ අනෙකුත් දෛනික කටයුතු සඳහා වේදිකා වැනි නිර්මාණ තිබුණා. මේ නගරයේ තවත් පුදුම සහගත දෙයක් තිබුණා,
ඒ ඔවුන් මියගිය අයව තැන්පත් කළේ සුසාන භූමිවල නොව, ඔවුන් ජීවත්වන නිවෙස්වල බිම යටයි! ඒ පුරුද්දෙන් පෙනී යන්නේ ඔවුන්ට තම මුතුන් මිත්තන් සමඟ දැඩි සම්බන්ධතාවක් තිබූ බව, මරණයෙන් පසුවත් ඔවුන් පවුලේ කොටසක් ලෙස සලකා ඇති බව! නිවෙස්වල ඇතුළත බිත්ති ප්ලාස්ටර් කර, සවිස්තරාත්මක සිතුවම් ඇද තිබුණා.
මේ බිතුසිතුවම්වල දඩයම් දර්ශන, සතුන් සහ විවිධ අමුතු ජ්‍යාමිතික රටා දක්නට ලැබුණා. මේ චිත්‍ර අපට ඔවුන්ගේ ලෝකය දකින්නට අතීතයට කවුළුවක් විවර කරදෙනවා. එයින් අපට ඔවුන්ගේ කලාත්මක හැකියාවන් සහ දෛනික ජීවිතය ගැන යම් අදහසක් ලබා ගන්න පුළුවන්..
පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ චාටල්හෝයුක්'හි මිනිසුන් තරමක සමාන සමාජයක ජීවත් වූ බව. එහි තිබූ නිවාස සියල්ලම ප්‍රමාණයෙන් සහ සැකැස්මෙන් ඉතා සමාන වූ අතර, සොයාගත් අවශේෂ වලින් පෙනී යන්නේ පිරිමින්ට සහ කාන්තාවන්ට ද සමාන ආහාර වේලක් ලැබී තිබූ බව. මෙය අපට පෙන්වා දෙන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ දැඩි වෙනස්කම් ඔවුන් අතර නොතිබූ බවක්.
ඇයි ඔවුන් වහලවල් මතින් ගමන් බිමන් ගියේ?
චාටල්හෝයුක්හි අද්විතීය සැලසුම, එනම් වහලවල් මතින් ප්‍රවේශ වීම, ප්‍රායෝගික අරමුණු කිහිපයක් සඳහා ඉවහල් වී ඇති බව පෙනෙනවා. විද්වතුන් විශ්වාස කරන්නේ එය ආරක්ෂාවට උපකාරී වූ බව, මන්ද සතුරන්ට කඩාවැදීමට බිම් මට්ටමේ දොරවල් නොතිබූ නිසා එය ආරක්ෂාකාරී වන්නට ඇති. එසේම එය වාතාශ්‍රය සඳහාද උපකාරී වන්නටත් ඇති. සෑම නිවසකම ඇති ගිනි උදුනෙන් පිටවන දුම, වහලයේ ඇති සිදුරෙන් පිටවීමට මේ නිසා ඉඩ සැලසුනා.
නමුත් එවිට සමහර අය ප්‍රශ්න කරන්නේ, "වැස්සට මොකද වෙන්නේ? වැස්සක් තිබුණේ නැද්ද? වහලයේ සිදුරක් තිබීම වැස්සකදී ලොකු ප්‍රශ්නයක් නේද?" කියලා...
ඒ වගේම "මේ සැලසුම ආරක්ෂාවට කොහොමද උදව් වුණේ? සතුරෙක්ටත් මේ විදිහටම නගින්න පුළුවන් නේද?" කියලත් අහනවා.
ඇත්තටම මේවා හොඳ ප්‍රශ්න!
සමහරවිට ඔවුන්ට වැස්සට ආරක්ෂා වීමට වෙනත් ක්‍රම තිබෙන්නට ඇති. නැත්නම් එම ප්‍රදේශයේ වැසි සහිත දින අඩු වන්නට ඇති. ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තොත්, එක තැනකින් පමණක් ප්‍රවේශ විය හැකි වීම නිසා ප්‍රහාරකයින්ට වඩාත් දුෂ්කර වී තිබෙන්නට පුළුවන්. ඒ වගේම, සමහරවිට ඒ කාලයේදී මිනිසුන් අතර විශාල ගැටුම් අඩු වන්නටත් ඇති!
චාටල්හෝයුක්'හි තවත් රහස්...
එහි බිත්තිවල ඇති සවිස්තරාත්මක කලා නිර්මාණ තවමත් බොහෝ අධ්‍යයනයන්ට ලක්වන විෂයයක්. සමහර දර්ශන පැහැදිලිවම දඩයම් නිරූපණය කරන අතර, තවමත් බොහෝ ජ්‍යාමිතික හා සංකේතාත්මක රටාවල තේරුම තවමත් සම්පූර්ණයෙන් වටහාගෙන නෑ..
මේ පුරාණ නගරය මුලින්ම සොයාගත්තේ බ්‍රිතාන්‍ය පුරා විද්‍යාඥයෙකු වන James Mellaart විසින්. ඒ 1958 වසරේදීයි. මෙලාට් මේ සොයාගැනීම කළේ සැලසුම් සහගතව එක් ස්ථානයක්ම කැණීම් කිරීමෙන් නොවෙයි. ඔහු ඒ වන විටත් තුර්කියේ පුරාවිද්‍යා සමීක්ෂණ කටයුතුවල නිරත වෙමින් සිටියා. 1952 වසරේදී ඔහු අනටෝලියාවේ (වර්තමාන තුර්කියේ) කඳුකර ප්‍රදේශවල පා ගමනින් සමීක්ෂණ කරමින් සිටින විට, නව ශිලා යුගයට අයත් යැයි සැලකිය හැකි මැටි භාණ්ඩ සහිත ස්ථාන කිහිපයක් සොයාගත්තා. 1958 නොවැම්බර් මාසයේදී තවත් ගවේෂකයන් දෙදෙනෙක් සමඟ එක්ව Çatalhöyük නමැති විශාල tell එකක් සොයා ගත්තා. ඒ ස්ථානය නව ශිලා යුගයට අයත් බව ඔවුන්ට පැහැදිලි වුණා.
'tell' එකක් කියන්නේ?
පුරාවිද්‍යාවේදී "tell" (ටෙල්) කියන්නේ අද්විතීය භූගෝලීය ලක්ෂණයකට. මෙය අරාබි භාෂාවෙන් පැමිණි "කුඩා කන්ද" යන අරුත දෙන වචනයක්. සරලවම කිවහොත්, "tell" එකක් කියන්නේ මිනිසුන් එකම ස්ථානයක, දිගු කාලයක් තිස්සේ, එකක් මත එකක්, ජනාවාස ගොඩනඟා ජීවත් වීම නිසා ඇති වන කෘත්‍රිම කන්දක් වගේ දෙයක්..
පුරාණ කාලයේ, මිනිසුන් එකම ස්ථානයක ගම්මාන හෝ නගර ගොඩනැඟුවා. ඔවුන්ගේ නිවෙස් බොහෝ විට මඩ ගඩොල් හෝ වෙනත් දිරාපත් වන ද්‍රව්‍ය වලින් තැනුවා. කාලයත් සමඟ, මේ නිවාස කඩා වැටෙනවා, අලුත්වැඩියා කරනවා, නැත්නම් සම්පූර්ණයෙන්ම කඩා දාලා ඒ මතම අලුත් නිවාස ගොඩනඟනවා. මේ විදිහට, පරම්පරා ගණනාවක් තිස්සේ එකම ස්ථානයේ ගොඩනැගිලි කඩා වැටී, ඒවායේ නටබුන්, කැඩුණු මැටි භාණ්ඩ, අළු, කුණු කසළ සහ අනෙකුත් ද්‍රව්‍ය එකතු වීම නිසා පස් කන්දක් වගේ දෙයක් හැදෙනවා. මේ කන්ද ක්‍රමයෙන් උස් වෙනවා. පුරාවිද්‍යාඥයන් මේ කඳු "tell" ලෙස හඳුන්වනවා..
"Tell" එකක කැණීම් කරන විට, පුරාවිද්‍යාඥයන්ට මේ ස්ථර (layers) එකින් එක හාරා ඉවත් කළ හැකියි. මේ සෑම ස්ථරයක්ම එකිනෙකට වෙනස් කාලපරිච්ඡේදයක් නියෝජනය කරනවා. පහළින් ඇති ස්ථර පැරණි වන අතර, උඩින් ඇති ස්ථර අලුත් ඒවා. මේ නිසා, "tell" එකක් පුරාණ ශිෂ්ටාචාරයක කාලානුක්‍රමික වාර්තාවක් (chronological record) වගේ ක්‍රියා කරනවා. එයින් අපට විවිධ කාලවලදී ඒ ස්ථානයේ ජීවත් වූ මිනිසුන්ගේ සංස්කෘතිය, තාක්ෂණය, ආහාර රටා සහ ජීවන රටාවන් ගැන මෙයින් තොරතුරු ලබාගත හැකියි.
Çatalhöyük කියන්නේ එවැනි විශාල "tell" එකක්. එහි තට්ටු 13 කට වඩා වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මුල් කැණීම් වලින් නිවාස 200 කට ආසන්න ප්‍රමාණයක්, බිතුසිතුවම්, මූර්ති, ආභරණ සහ මෙවලම් වැනි වටිනා පුරාවස්තු රැසක් සොයා ගැනීමට හැකි වුණා. කෙසේ වෙතත්, මෙලාට්ගේ කැණීම් හදිසියේම 1965 දී තුර්කි රජය විසින් නතර කළා. ඊට හේතු වුණේ "ඩෝරාක් සිදුවීම" (Dorak affair) නම් මතභේදාත්මක සිදුවීම.
"ඩෝරාක් සිදුවීම" ?
ඔව්, ඒක වුණේ මෙහෙමයි. මෙලාට් 1958 දී Illustrated London News කියන සඟරාවට ලිපියක් ලිව්වා. එහි ඔහු කියා සිටියේ, තමන් ඉස්තාන්බුල් සිට ඉස්මීර් (İzmir) බලා යන දුම්රියේදී ඇනා පැපස්ට්‍රාටි (Anna Papastrati) නම් තරුණියක් හමු වූ බව. ඇය අසාමාන්‍ය ලෙස ඉපැරණි රන් බ්‍රේස්ලට් එකක් පැළඳ සිටි බවත්, ඇගේ පවුලට විශාල පුරාවස්තු එකතුවක් තිබෙන බවත් ඇය ඔහුට පැවසූ බව මෙලාට් එහි පළකළා..
මෙලාට් පවසන පරිදි, ඇය ඔහුව ඉස්මීර්හි පිහිටි ඇගේ නිවසට ආරාධනා කළා. එහිදී ඔහුට "ඩෝරාක් නිධානය" (Dorak Treasure) ලෙස හැඳින්වෙන පුරාවස්තු එකතුවක් පෙන්නුවා. මේවා ක්‍රි.පූ. 2600 පමණ කාලයට අයත්, Yortan සංස්කෘතියේ (early Bronze Age) ඉතා වටිනා පුරාවස්තු බවයි ඔහු කියා සිටියේ.
ඒවායේ ඡායාරූප ගැනීමට ඔහුට අවසර නොදුන්නත්, ඔහුට ඒවායේ චිත්‍ර සටහන් ඇඳීමට අවසර ලැබුණා. මෙලාට් මේ චිත්‍ර සහ විස්තරත් සඟරාවේ පළ කළා...
ඒ ලිපිය ගැන දැනගත් තුර්කි බලධාරීන් පුදුමයට පත් වුණා. මන්ද ඔවුන්ට මෙවැනි නිධානයක් ගැන කිසිදු තොරතුරක් ලැබී නොතිබුණ නිසයි. පුරාවිද්‍යාත්මක සොයාගැනීම් සියල්ල රජයට වහා වාර්තා කළ යුතු වුවත්, මේ ගැන කිසිදු නිල වාර්තාවක් ඔවුන්ට ලැබී තිබුණේ නැහැ. තුර්කි රජය මේ ගැන පරීක්ෂණයක් ආරම්භ කළා.
ඔවුන් "ඇනා පැපස්ට්‍රාටි" නම් තරුණියක් සොයා ගැනීමට කොපමණ උත්සාහ කළත්, ඇය හෝ ඇගේ ඒ පුරාවස්තු එකතුව කිසිදිනක සොයාගැනීමට නොහැකි වුණා. කෙසේ හෝ මේ සිදුවීම නිසා, 1964 දී තුර්කි රජය මෙලාට්ගේ Çatalhöyük කැණීම් බලපත්‍රය අහෝසි කළා. ඔහුට තුර්කියේ පුරාවිද්‍යා කටයුතු වලට සම්බන්ධ වීම සදහටම තහනම් කළා..
ඉන් පසුව, වසර 30 ක පමණ කාලයක් Çatalhöyük අතහැර දමා තිබුණා. 1993 දී, මෙලාට්ගේ හිටපු ශිෂ්‍යයෙකු වූ ඉයන් හොඩර් (Ian Hodder) නම් පුරාවිද්‍යාඥයාගේ නායකත්වයෙන් ජාත්‍යන්තර කණ්ඩායමක් විසින් නැවතත් එහි කැණීම් කටයුතු ආරම්භ කළා. හොඩර්ගේ කණ්ඩායම වඩාත් නවීන තාක්ෂණයන් සහ පර්යේෂණ ක්‍රමවේදයන් යොදා ගනිමින්, Çatalhöyük පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් සිදු කළා. ඔවුන්ගේ කැණීම් 2018 දක්වා ක්‍රියාත්මක වුණා. ඒ පර්යේෂණ වලින් එය පිළිබඳව අපගේ දැනුම පුළුල් කළා. ඒ එක් අනාවරණයක් 'ඔබ්සිඩියන් කැඩපත'
'කණ්ණාඩිය' අද අපට කොතරම් නම් හුරුපුරුදු දෙයක්ද? උදේට ඇහැරුණු විගස, ගෙදරින් පිටවීමට පෙර සිට අපි හැමෝම වඒ දවසට කිහිපවතාවක්වත් කණ්ණාඩියක් දිහා බලනවා. ඒක අපේ දෛනික ජීවිතයේම කොටසක් බවට පත් වෙලා. නමුත් කවදාහරි හිතුවාද, මේ ලෝකයේ ප්‍රථම කණ්ණාඩි හැදුවේ කවුද? ඒවා තිබුණේ කොහේද? කියල. ඒවා හමුවුණේ මෙම චාටල්හෝයුක් පුරාණ ජනාවාසයෙන්. හිතාගන්න පුළුවන්ද, අදින් වසර 8,000 කටත් කලින් මිනිස්සු තමන්ගේ රූපය බලන්න කණ්ණාඩි පාවිච්චි කළ බව?
ඒ පුදුමාකාර ආදි කැඩපත් හදලා තියෙන්නේ ඔබ්සිඩියන් (obsidian) කියන ස්වභාවිකව ගිනිකඳු විදාරණයෙන් හටගන්නා වීදුරු වර්ගයකින්. මේ වීදුරු ඔප දැමූ විට හොඳින් පරාවර්තනය වන මතුපිටක් ලබාගන්න පුළුවන්. එම කණ්ණාඩි භාවිතයෙන් පෙනී යන්නේ, ඒ කාලයේ සිටි මිනිසුන්ගේ තාක්ෂණික දක්ෂතාවය වගේම, ඔවුන්ට තිබූ සෞන්දර්යාත්මක දැනුම!
ලෝකයේ පළමු විශාල, නාගරික ප්‍රජාවන්ගෙන් එකක් වන Çatalhöyükහි මිනිසුන් කොතරම් දියුණුද කියා මෙයින් පැහැදිලි වෙනවා. අද අපි දකින පැතලි කණ්ණාඩි වගේ නෙවෙයි, Çatalhöyük වලින් හමුවුණු මේ නව ශිලා යුගයේ කණ්ණාඩි බොහෝ විට උත්තල (convex) හැඩයක් ගත්තා. ඒ කියන්නේ ඒවායේ මතුපිට පිටතට නෙරා තිබුණා. මේ හැඩය ප්‍රතිබිම්බ විශාල කිරීමට උපකාරී වන්නට ඇතැයි සැලකෙනවා. දන්නවද ඒවායේ පැරණි බව නොතකා, මේ කණ්ණාඩිවල පුදුම හිතෙන තරම් ඉහළ දෘශ්‍ය ගුණාත්මක බවක් අදත් තියෙනවා. ලෝහ භාවිතය ඇරඹිමටත් පෙර මේ ආකාරයේ දියුණු නිර්මාණ කිරීමට හැකි වීම පුදුම සහගතයි.
තුර්කි භාෂාවෙන් Çatalhöyük කියන ස්ථානය, තුර්කි භාෂාවේ 'Ç' අක්ෂරය 'ච' ශබ්දයට සමාන වන නිසා "චාටල්හෝයුක්" යන්න ශ්‍රී ලාංකික අපට වඩාත් සමීප උච්චාරණයක් ලෙස සැලකිය හැකියි. තුර්කි භාෂාවේ ඇති විශේෂ අක්ෂර (Ç, ö, ü වැනි) සිංහලට පරිවර්තනය කිරීමේදී සමහර විට යම් වෙනස්කම් ඇති විය හැකියි. නමුත්, ජාත්‍යන්තරව සහ ශාස්ත්‍රීය වශයෙන් නිවැරදි අක්ෂර වින්‍යාසය
Çatalhöyük යන්නයි. ඒ නිසා, සිංහලෙන් ලිවීමේදී චාටල්හෝයුක් ලෙස ලිවීම වඩාත් සුදුසුයි.
Çatalhöyük සොයාගැනීම පුරාවිද්‍යා ක්ෂේත්‍රයට විශාල බලපෑමක් ඇති කළේ, එය මානව ශිෂ්ටාචාරයේ මුල් අවධිය පිළිබඳ අපගේ අවබෝධය මුළුමනින්ම වෙනස් කළ නිසයි. අද අප ජීවත් වන නගරවල දහස් ගණනක් මාර්ග, උස් ගොඩනැගිලි සහ තාක්ෂණය තිබෙනවා. නමුත් චාටල්හෝයුක්හි මිනිසුන්ගේ ජීවිතය අපට උගන්වන්නේ කුමක්ද? ඔවුන් වහලවල් මතින් ඇවිද ගියත්, ඔවුන් එකිනෙකාට සමීපව ජීවත් වුණා. ඔවුන්ගේ නිවෙස් එකට බැඳී තිබුණා. ඔවුන්ගේ නිවෙස් සරලයි, කුඩායි. ඔවුන් ස්වභාවික සම්පත් භාවිත කරමින් සරල ජීවිතයක් ගත කළා. චාටල්හෝයුක් සොයාගැනීම, මීට දහස් ගණනකට පෙර පළමු විශාල මානව ප්‍රජාවන් සංවිධානය වූ ආකාරය පිළිබඳ දුර්ලභ හා සිත්ගන්නාසුළු දැක්මක් අපට ලබා දෙනවා. මේ නිසාම Çatalhöyük සොයාගැනීම පුරාවිද්‍යා ලෝකයේ සුවිශේෂී සිදුවීමක්.
අවසාන වශයෙන් Çatalhöyük යනු හුදෙක් පුරාණ නගරයක් පමණක් නොව, එය මිනිස් ඉතිහාසයේ, සංස්කෘතියේ සහ ප්‍රජාවන්ගේ දියුණුවේ වැදගත් සන්ධිස්ථානයක්. එය අද්විතීය වන්නේ එහි සම්පූර්ණයෙන්ම මාර්ග නොතිබීම සහ වහලවල් මතින් වාසස්ථාන වලට ප්‍රවේශ වීමට සිදුවීම නිසයි. අනෙකුත් පුරාණ ශිෂ්ටාචාර වලත් විවිධ අමුතු අමුතු ගමනාගමන ක්‍රම තිබුණත්, Çatalhöyük තරම්ම "වෙනස්" වූ අවස්ථා දුර්ලභයි. ඉතින් මම මේ තොරතුරු ලිව්වේ ඉතා සැකවින්, මේ තොරතුරු යුගයේ මේ ස්ථාන ගැන ඔබට ටොන් ගණනක විස්තර සොයාගත හැකියි, බැලිය හැකියි.
ඉතින් මේ ගැන මොකද හිතන්නේ? පාරවල් නැති එකිනෙක පුට්ටු වූ ගෙවල්වල වහලවල් මතින් ඔබමොබ ඇවිදගෙන යන නගරයක ජීවත් වෙන්න ඔබ කැමතිද? නැත්නම් හැමෝගෙන්ම ඈත් වෙලා, තට්ටු 18ක් පොළව යටට විහිදුන අපුරු රහසිගත නගරයක කුටියට වෙලා පාඩුවේ කෝපි එකක් බිබී නිදහසේ පොතක් කියවන්න කැමතිද?
© සාගර දියගම
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..