News Category
From Date
To Date
Maximum Number of Result

සිංහල භාෂා සාහිත්‍ය අධ්‍යයනයේ පුඤ්චිබණ්ඩාර සන්නස්ගල භූමිකාව..

Aug 13, 2025 at 05:37 PM
|

(මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල සූරීන්ගේ 110 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් කොළඹදී පැවති සමරු උත්සවයේදී කළ දෙසුම ඇසුරෙනි.)

පිරිවෙන් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ලැබූ ශික්ෂණයක් සහිතව සිංහල සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ සංස්කරණයේ යෙදුණු සාහිත්‍යධරයකු වශයෙන්ද දශක හයක පමණ කාලයක් මුළුල්ලේ අවසන් කිරීමට නොහැකිව තිබුණු සිංහල ශබ්දකෝෂ සම්පාදන ව්‍යාපෘතිය නිමා කිරීම වෙනුවෙන් නායකත්වය දුන් ශබ්දකෝෂ කර්තෘවරයකු වශයෙන්ද විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස සිංහල භාෂා සාහිත්‍ය කටයුතුවල ප්‍රවර්ධනය වෙනුවෙන් විශිෂ්ට ශාස්ත්‍රීය මෙහෙවරක් ඉටු කළ පඬිවරයකු වශයෙන්ද මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල ඉටු කළ සේවාව පිළිබඳ සැකෙවි විවරණයක් සැපයීම අපගේ අරමුණයි.

1915 ජූනි මස 15 වැනි දා ඌව පළාතේ උඩුකිඳ පට්ටිපොළ කඳු පාමුල පිහිටි අඹේවෙල, අඹගස්දෝව නම් ගමේදී සත් දෙනකුන් යුත් පවුලක වැඩිමලා ලෙස ජන්ම ලාභය ලැබූ පුඤ්චිබණ්ඩාර සන්නස්ගල සිය පියාණන්ගේ සමීපතම ඥාතිවරයකු වූ මාදෝවිට ශ්‍රී ඤාණානන්ද හිමි වෙතින් අකුරු කියවීම ආරම්භ කොට, හපුතලේගම කදුරුගමුව ස්වභාෂා මිශ්‍ර පාඨශාලාවේ පස් වැනි පන්තිය දක්වා උගත්තේය. පසුව ඤාණානන්ද හිමිගේද අනුදැන්ම මත, එකල ප්‍රකට ප්‍රාචීන විද්‍යාස්ථානයක් වූ මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනට 1931දී ඇතුළත් වී ලබුගම ලංකානන්ද මාහිමි බඳු වියත් යතිවරුන් ඇසුරේ පාලි, සංස්කෘත, සිංහල යන ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර හා බුදු දහම හැදැරීය.

තුරුණු වියේදීම සිංහල භාෂා ශාස්ත්‍ර විෂයයේ දස්කම් පෑ හේ විද්‍යාලංකාර පිරිවෙනින් සිංහල සාහිත්‍යාචාර්ය (1938) උපාධිය හා සාහිත්‍යශිරෝමණි (1939) උපාධියද ප්‍රාචීන භාෂෝපකාර සමිතියෙන් වෛද්‍යශේඛර ත්‍යාගයද දිනා ගනිමින් ‘රාජකීය පණ්ඩිත’ උපාධියද (1943) හිමි කරගත්තේය. ඒ රාජකීය පණ්ඩිත උපාධිය සඳහා ඔහු ඉදිරිපත් කළ සිංහල සාහිත්‍ය වංශකථාවේ නූතන අවස්ථාව (ක්‍රි.ව. 1600–1900) පිළිබඳ ග්‍රන්ථය පසුව පොතක් වශයෙන් පළ විය. එසේම, පාණදුර සාන්ත ජෝන් විදුහලින් වැඩිදුර අධ්‍යාපනය ලැබූ සන්නස්ගල විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ද සුදුසුකම් ලැබීය.

හපුතලේ, යහලබැද්ද වැනි ග්‍රාමයක හැදීවැඩුණද සිංහල අධ්‍යයන ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් ලැබූ සන්නස්ගල 1949දී කොළඹ පිහිටි ලංකා විශ්වවිද්‍යාලයෙන් බී.ඒ. උපාධිය දිනාගත්තේය. ස්වකීය පශ්චාද් උපාධි අධ්‍යයනය සඳහා සිංහල සම්භාව්‍ය සාහිත්‍යය තෝරාගත් සන්නස්ගල 1954දී පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති (එම්.ඒ) උපාධිය හිමි කරගත්තේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ ‘කාව්‍යශේඛරය’ පිළිබඳ සිදු කළ විචාරාත්මක සංස්කරණයක් වෙනුවෙනි. එසේම, 1960දී ලංකා විශ්වවිද්‍යාලයෙන්ම ආචාර්ය උපාධිය (පීඑච්.ඩී) හිමි කරගත්තේ ‘සද්ධර්මාලංකාරය’ පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක් වෙනුවෙනි. මෙලෙස පිරිවෙන් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ශික්ෂණයක් ලැබූ සන්නස්ගල ස්වකීය ශාස්ත්‍රීය උනන්දුව වඩාත් පළ කළේ සිංහල සම්භාව්‍ය සාහිත්‍ය අධ්‍යයනය වෙනුවෙනි.

1949දී එවකට ලංකා විශ්වවිද්‍යාලය යටතේ පැවැති සිංහල ශබ්දකෝෂයේ කර්තෘ මණ්ඩලයට බැඳී ස්වකීය වෘත්තීය ජීවිතය ආරම්භ කරන සන්නස්ගල 1967–1974 වකවානුවේදී එකල අභිනවයෙන් ආරම්භ කරනු ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්යවරයකු ලෙසද 1975–1981 කාලයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ සහාය මහාචාර්යවරයකු ලෙසද සේවය කළේය. මේ අවධියේදී සිංහල ශබ්දකෝෂයේ නියෝජ්‍ය කර්තෘ පදවියේ අර්ධකාලීන වශයෙන් කටයුතු කරමින් තම ශාස්ත්‍රීය දායකත්වය දුන් මහාචාර්ය සන්නස්ගල 1984 සිට සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ ධුරය හෙබවීය.

මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගලගේ ශාස්ත්‍රීය සේවාව සම්භාව්‍ය සිංහල සාහිත්‍ය අධ්‍යයනය, සම්භාව්‍ය සිංහල ග්‍රන්ථ සංස්කරණය, ශබ්දකෝෂකරණය හා වෙනත් අධ්‍යයන වශයෙන් විමසිය හැකිය. සිංහල සම්භාව්‍ය සාහිත්‍යය අධ්‍යයනය සඳහා ඔහුගේ දායකත්වය අතිමහත්ය. සිංහල සාහිත්‍යයේ වංශකථාව ග්‍රන්ථාරූඪ කිරීම, සිංහල සම්භාව්‍ය සාහිත්‍ය කෘති සංස්කරණය හා සම්භාව්‍ය සිංහල සාහිත්‍යය පිළිබඳ විචාර කෘති පළ කිරීම මෙන්ම පැරණි සිංහල පතපොත දැනගැනීමටත්, ඒවා රැකගැනීමටත් මහත් උනන්දුවක් දැක්වූ විද්වතකු ලෙස පුඤ්චිබණ්ඩාර සන්නස්ගල ශාස්ත්‍රීය ලෝකයේ ඇගයුමට ලක් වී ඇත. ස්වකීය ශාස්ත්‍රීය ජීවිතයේ මුල් අවධියේදී පණ්ඩිත නාහල්ලේ පඤ්ඤාසේන හිමියන්ගේ උපකාර ලබමින් සාහිත්‍ය ග්‍රන්ථකරණයේ යෙදුණු සන්නස්ගල ආරම්භයේදී උන් වහන්සේ සමඟ එක් වී ‘කව්සිළුමිණි සාහිත්‍යය’ (1948), ‘සිංහල සන්දේශ සාහිත්‍යය (1949) යන ග්‍රන්ථ රචනා කොට පළ කරමින් සම්භාව්‍ය සිංහල සාහිත්‍යය හදාරන විද්‍යාර්ථීන් වෙනුවෙන් ඉමහත් ශාස්ත්‍රීය සේවාවක් ඉටු කෙළේය.

පුඤ්චිබණ්ඩාර සන්නස්ගල නාමය සිංහල සාහිත්‍ය ලෝකයේ වඩාත් ප්‍රකට වූයේ ඔහු විසින් සම්පාදිත සිංහල සාහිත්‍ය වංශය නම් මාහැඟි ග්‍රන්ථය නිසාය. ස්වකීය පණ්ඩිත උපාධිය සඳහා ඉදිරිපත් කළ නිබන්ධය බලවත් පරිශ්‍රමයක් යොදා විස්තාරණය කොට, සිංහල සාහිත්‍යයේ සම්පූර්ණ වංශකථාව ‘සිංහල සාහිත්‍ය වංශය’ නමින් 1961දී පළ කිරීමට හෙතෙම පියවර ගත්තේය. ඒ පොතේ දෙවන සංස්කරණයක් පිටු 832කින් යුක්තව 1964දී පළ වූ අතර, ඔහු විසින් එය 1990 දක්වා යාවත්කාලීන කරනු ලැබීය. සිංහල සාහිත්‍ය ඉතිහාසයේ හමු වන සියලු පොත් ලැයිස්තුගත කර, ඒවායේ මූලික විස්තර ඇතුළත් කොට සකසා ඇති මේ පොත සිංහල භාෂා සාහිත්‍ය ඉතිහාසය වැඩිදුර හදාරන සෑම විද්‍යාර්ථියකුට මෙන්ම සාමාන්‍ය පාඨකයකුටද අනිවාර්ය ආශ්‍රේය ග්‍රන්ථයකි.

සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ග්‍රන්ථ සංස්කරණයේ යෙදුණු පූර්ව විද්වතුන්ගේ මඟ යමින් ශාස්ත්‍රීය විධි නියම අනුව පැරණි සිංහල ග්‍රන්ථ කිහිපයකටම විධිමත් සංස්කරණ සැපයූ පඬිවරයකු ලෙසද සන්නස්ගල මහතා කැපීපෙනේ. ‘සංඝරාජ සාධුචරියාව’ (1947), ‘සඟසරණ’ (1954), ‘දළදා පූජාවලිය’ (1954), ‘සිංහල බෝධිවංශය’ (1970) ඔහු අතින් සංස්කරණය වූ පැරණි සිංහල පතපොත වෙයි. පාඨකයන්ගේ ප්‍රයෝජනය සඳහා ගැටපද වශයෙන් සැලකුණු පද අකාරාදි කොට තේරුම් කර දීම සඳහා ‘ගැටපද ශබ්දකෝෂ’ පිළියෙල කිරීම මේ පොත්වල දක්නට ලැබුණු විශේෂ ලක්ෂණයකි.

පුරා වසර 65ක් පමණ කල් ගත වූ සිංහල ශබ්දකෝෂ සම්පාදන කාර්යය නිමාවට පත් කිරීමට නායකත්වය දුන් විද්වතා වශයෙන්ද මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල නාමය ශාස්ත්‍රීය ලෝකයේ සම්භාවනාවට පාත්‍ර වී ඇත. විද්‍යානුකූලව සිංහල ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමේ ව්‍යාපෘතිය 1927දී ප්‍රධාන කර්තෘ මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් හා ශ්‍රීමත් ඩී.බී. ජයතිලක යන විද්වතුන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වුවත්, විවිධ ප්‍රධාන කර්තෘවරුන් යටතේ මේ ව්‍යාපෘතිය දශක ගණනාවක් තිස්සේ ඇදී ගිය කටයුත්තක් බවට පත් විය. 1949දී සිංහල ශබ්දකෝෂයේ උපකර්තෘවරයකු ලෙස බැඳී කලක් නියෝජ්‍ය කර්තෘ පදවියේ අර්ධකාලීන වශයෙන් කටයුතු කරමින් ශබ්දකෝෂ සම්පාදන කාර්යය පිළිබඳ මනා අවබෝධයක් ලද විද්වතකු ලෙස සන්නස්ගල හැඳින්විය හැකිය. විශ්වවිද්‍යාල සේවයෙන් පසුව යළි ශබ්දකෝෂ කර්තෘ මණ්ඩලයට එක් වී, 1984දී එහි ප්‍රධාන කර්තෘ තනතුරට උසස් කරන විට සන්නස්ගල මුහුණ දුන් අභියෝගය වූයේ සිංහල ශබ්දකෝෂ සම්පාදන කටයුත්ත නිමා කිරීමයි. ඔහු සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ පදවියේ වැඩ භාර ගන්නා විට එහි කටයුතු ඇරඹී වසර 57ක් ගත වී තිබුණත් අවසන්ව පැවතියේ ස්වර කාණ්ඩයේ අකුරු පමණි.

1977දී පත් වූ නව රජය සිංහල ශබ්දකෝෂය කඩිනමින් අවසන් කිරීමට ගත් තීරණය යටතේ අනුග්‍රහය ලබමින් ශබ්දකෝෂය සම්පාදනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා නායකත්වය දුන් මහාචාර්ය සන්නස්ගල ඊට අවශ්‍ය පහසුකම්, විදේශාධාර හා පුහුණුව ලබාගැනීමට මෙන්ම විශ්වවිද්‍යාල හා හෙළ හවුලේ උගතුන්ගේ සහාය ගැනීමටද කටයුතු යෙදීය. තෙමේද, ශබ්දකෝෂකරණය පිළිබඳ විධිමත් විදේශීය පුහුණුවක් ලැබූ විද්වතකු වූ සන්නස්ගල එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, බටහිර ජර්මනිය, අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල පැවැති ශබ්දකෝෂ ආයතනවල පැවති වැඩසටහන් හා පාඨමාලා සඳහාද සහභාගි වෙමින් තත් විෂයය පිළිබඳ නව දැනුම උකහාගත්තේය.

මේ ආකාරයෙන් සිංහල ශබ්දකෝෂ සම්පාදන ක්‍රියාවලිය යාවත්කාලීන කිරීම සඳහා අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව වැඩ කරමින්, තම යටතේ කටයුතු කළ කර්තෘ මණ්ඩල සාමාජිකයන්ද එසේ කිරීමට පෙලඹවූ අතර, අවසානයේ 1992දී තම ඉලක්කය සපුරාගත්තේය.1982–1992 කාලයේ ‘ක’ අකුරේ සිට ‘හ’ අකුර තෙක් සියලු කාණ්ඩ ප්‍රකාශයට පත් කරමින් සිංහල ශබ්දකෝෂය කාණ්ඩ 26කින් නිමා කිරීමටත්, එසේම සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂයේ කටයුතු නිමාවට පත් කිරීමටත් සැලැස්මක් පිළියෙල කිරීමටද හේ උත්සුක විය. පසුකාලීන කාණ්ඩ කඩිනම් වැඩපිළිවෙළ යටතේ සිදු කරන ලද බැවින් ඒවායේ යම් ආකාරයක අසම්පූර්ණත්වයක් දක්නට ලැබුණත් මහාචාර්ය සන්නස්ගලගේ නොපසුබට උත්සාහය නොවන්නට රජයේ සිංහල ශබ්දකෝෂ සම්පාදන කටයුත්ත අවසන් නොවනු ඇත.

ශබ්දකෝෂකරණය මෙන්ම සිංහල භාෂාව ගැන උනන්දු වූ විද්වතකු ලෙස සිංහල භාෂාවේ ලන්දේසි වචන පිළිබඳ පර්යේෂණාත්මක කෘතියක් ‘A Study of Sinhala Vocables of Dutch Origin – with Appendices of Portuguese and Malay/ Javanese Borrowings’ (1976) නමින් පළ කිරීමට ඔහු සමත් විය. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ ශබ්දකෝෂ විද්‍යාව ඉගෙනීමේදී සිංහල භාෂාවේ දක්නට ලැබෙන ලන්දේසි, පෘතුගීසී, මැලේ හා ජා වචන පිළිබඳ මූලාශ්‍රය සොයාගෙන මේ අධ්‍යයනය සිදු කොට ඇත.

මහාචාර්ය සන්නස්ගල විසින් රචිත තවත් කැපීපෙනෙන ප්‍රකාශනයක් වන්නේ ඌව පළාතේ සිද්ධස්ථානයක ඉතිහාසය විස්තරාත්මකව සපයන ‘සොරගුණු දේවාල පුවත’ (1973) පොතයි. එය ඌව පළාතේ සොරගුණු ගමේ, ‘පුංචි කතරගම’ නමින් හැඳින්වෙන පැරණි දේවාලයේ කාලාන්තරයක් තිස්සේ යට වී පැවති අප්‍රකට ලිපිලේඛන පිරික්සා කළ ගවේෂණයකි. සිංහල සාහිත්‍ය ඉතිහාසයේ මෙතෙක් අමුද්‍රිත එකම පැරණි සූප ශාස්ත්‍ර ග්‍රන්ථය ශෝධනය කරමින් සිංහල සූප කලා සාහිත්‍යය ගැන සිංහල සාහිත්‍ය පොතපතේ හා සෙසු ලේඛනවල හමුවන සටහන් ඉදිරිපත් කරමින් මහත් පරිශ්‍රමයක් දරා පළ කළ පර්යේෂණ කෘතියක් වන ‘මහනුවර රජගෙදර සූප කලා ශාස්ත්‍ර’ පොත හා ‘සිංහල සූප කලා සාහිත්‍යය’ (1989) ඔහුගේ තවත් වැදගත් පර්යේෂණ ග්‍රන්ථයකි.

විවිධ සාහිත්‍ය හා ශාස්ත්‍රීය කටයුතුවලට තම ශාස්ත්‍රීය දායකත්වය දුන් සාහිත්‍යධරයකු වූ මහාචාර්ය සන්නස්ගල විසින් සංස්කරණය කොට ලියා පළ කරන ලද ලේඛන රාශියකි. ‘නලෝපාඛ්‍යාන ව්‍යාඛ්‍යාව’ (පණ්ඩිත නාහල්ලේ පඤ්ඤාසේන හිමි සමඟ, 1948), ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ශාස්ත්‍රීය සංග්‍රහය, (තල්පාවිල ශීලවංශ නාහිමි හා පණ්ඩිත මිරිස්සේ චන්දජෝති හිමි සමඟ, 1956), සාහිත්‍යය විශේෂ කලාපය: ප්‍රශස්ති සහ හටන් කාව්‍ය (ලීල් ගුණසේකර සමඟ, 1966), සාහිත්‍යය සඟරාව (1966-1969), සාහිත්‍ය ප්‍රදීප 1 හා 2 (ලීල් ගුණසේකර සමඟ, 1973, 1934), සිංහල ශබ්දකෝෂයේ සාහිත්‍ය අංකය (1988) යන කෘති ඒ අතර වෙයි.

සමකාලීනව පැවති නොයෙකුත් ශාස්ත්‍රීය ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ වී කටයුතු කළ මහාචාර්ය සන්නස්ගල 1955දී බුද්ධ ජයන්ති සැමරුම් උත්සවවලට සමගාමීව ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් වූ සිංහල විශ්වකෝෂයක් සම්පාදනය කිරීමේ කාර්යය භාර දුන් කමිටුවේ සම ලේකම්වරයකු ලෙසත්, සිංහල ලේඛක සංවිධානයේ ආරම්භක සාමාජිකයකු සහ නිලධරයකු ලෙසත් කටයුතු කරමින් භාෂා සාහිත්‍ය උන්නතිය පිණිස කටයුතු කළේය. එසේම, විවිධ ශාස්ත්‍රීය පර්ෂදවල ඔහු විසින් පවත්වන ලද දේශන හා ප්‍රකට ලේඛකයකු ලෙස සිය තුරුණු වියේ සිටම දිනමිණ, සිළුමිණ ඇතුළු සිංහල පුවත්පත් සඟරාවලට සපයන ලද ශාස්ත්‍රීය ලිපිද රැසකි.

නාලිනී රත්නායක සමඟ විවාහ වී සිටි මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල නිරූපමාල්, මහේෂිකා, මනෝරි, ක්ෂණිකා, තුසානි යන දියණියන් පස් දෙනකුගේ ආදරණීය පියාණන් ලෙස කොළඹ ගංග­ාරාමය අසල ලේක් ක්‍රෙසෙන්ට්හි දිවි ගත කළද, සිය ගම් පියස වූ හපුතලේ, යහලබැද්ද සමඟ පැවති සබඳතාද අත් නොහළේය. සිංහල භාෂා සාහිත්‍ය ප්‍රවර්ධනය උදෙසා ඉටු කළ අනුල්ලංඝනීය සේවාව උදෙසා ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලයේ ගෞරව සාමාජික පදවියකින්ද කලාකීර්ති ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබූ හෙතෙම 1997 මාර්තු 22 වැනිදා මෙලොවින් සමු ගත්තේය.

අවසාන වශයෙන්, ඔහුගේ අමරණීය ශාස්ත්‍රීය සේවාව අගයනු වස් සිදු ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් සඳහන් කරමින් මෙය නිමහම් දැක්වීම උචිතයැයි හඟිමි:

• මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල විසින් රචිත සියලු ග්‍රන්ථවල සංචිතයක් රටේ ප්‍රධාන පුස්තකාලයක තැන්පත් කිරීම

• දැනට මුද්‍රණයේ නැති ඔහුගේ පතපොත හා අමුද්‍රිත උපාධි නිබන්ධ පළ කිරීම

• ඔහු විසින් රචිත ශාස්ත්‍රීය ලිපි ග්‍රන්ථයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම

• සිංහල විෂය පිළිබඳ විද්‍යාර්ථියකු දක්වන විශිෂ්ට කුසලතාව වෙනුවෙන් පුඤ්චිබණ්ඩාර සන්නස්ගල නමින් විශ්වවිද්‍යාලයක අනුස්මරණ ශිෂ්‍යත්වයක්/ ත්‍යාගයක් පිහිටුවීම.

එසේම, ඔහු පාදා දුන් භාෂා සාහිත්‍ය ගමන් මඟෙහි විමර්ශනශීලිව ගමන් කිරීම මේ විශිෂ්ට පඬිවරයාට කළ හැකි ඉහළම උපහාරයයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

සඳගෝමි කෝපරහේවා

සිංහල අංශය – කොළඹ විශ්වවිද්‍යාලය

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.