රට හදන්න භාෂාවක්
(2025 අගෝස්තු 10 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කරපු “චීන පෙරැළිය” ලිපි මාලාවේ 8 වැනි කොටස)
මිනිස්සු කියන්නේ හොඳින් වර්ධනය කරගත්ත භාෂා මාර්ගයෙන් සන්නිවේදනය කරන සත්ත්ව කොට්ඨාශයක්. ඉතින් රටක මිනිස්සු එකතු කරන්න නම් එකිනෙකා අතර හොඳ සන්නිවේදනයක් සිද්දවෙන්න ඕන. ඒ වෙනුවෙන් භාෂා භාවිතය විධිමත් කරන්න, පුළුල් සම්මතයක් ඇතුළට ගන්න සිද්දවෙනවා. මේ කාරණයට අදාළ හොඳ පාඩමක් චීනයෙන් ඉගෙනගන්න පුළුවන්.
චීනයේ ජනවර්ග 56 කට අයිති මිනිස්සු ජීවත්වෙනවා. ඒ අතරින් බහුතරය (ජනගහනයෙන් සීයට 92 ක්) හන් මිනිස්සු. මෙන්න මේ හන් මිනිස්සුන්ගේ භාෂාවට තමයි අපි “චීන භාෂාව” කියලා කියන්නේ. ඉතින් ඒක “හන් භාෂාව” විදිහටත් හැඳින්වෙනවා. අනිත් ජනවර්ග 55 ට අයිති මිනිස්සු ජනගහනයෙන් සීයට 8 කට සීමාවෙලා. ඒ අයගෙන් සෑහෙන පිරිසකට තම තමන්ගේ භාෂා තියෙනවා. ඒ සම්බන්ධයෙන් උදාහරණ විදිහට මොංගෝලියන්, ටිබෙට් වගේ භාෂා දක්වන්න පුළුවන්.
මහ දැවැන්ත රටක් හින්දා චීනයේ භාෂා වෙනස අදාළ වෙන්නේ වාර්ගික විවිධත්වයට විතරක් නෙවෙයි. පළාතෙන් පළාතට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට හන් මිනිස්සු තමන්ගේ භාෂාව උච්චාරණය කිරීමේ වෙනසකුත් තියෙනවා. ඒ උච්චාරණවලට “තැන් වහර” කියලා කියනවා. මෙහෙම වර්ධනය කරගත්ත ප්‍රධාන “තැන් වහර” දහයක් තියෙනවා. ඒ අතර තියෙන “යුවෙ” කියන තැන් වහරට අයිති උච්චාරණ ක්‍රමයකට තමයි අපි “කැන්ටනීස්” කියලා කියන්නේ. ලියන අකුරුවල වෙනසක් නැතත් මේ ප්‍රාදේශීය උච්චාරණවල ලොකු වෙනස්කම් තියෙනවා. එක උච්චාරණයක් පුරුදු පුහුණුවෙච්ච කෙනෙක්ට තවත් තැන් වහරකින් කියන ඒවා තේරුම්ගන්න හුඟක් අමාරුයි.
මේ “උච්චාරණ විවිධත්වය” විසින් චීන ජනතාව වෙන් කරනවා. එහෙම වෙන්වෙච්ච මිනිස්සු අතර හොඳ සන්නිවේදන කාර්යයක් සිද්දවෙන්නේ නෑ. මේක රටේ සහ ජනතාවගේ අභිවෘද්ධියට වගේ ම පාලනයටත් අභියෝගයක්. ක්‍රිස්තු වර්ෂ 1722 – 1735 අතර කාලයේ චීනය පාලනය කරපු යුං-චං අධිරාජයාට තමන්ගේ සමහර ඇමැතිවරු කරන කතා තේරුම්ගන්න බැරිවීම මේ ගැන සඳහන් කරන්න පුළුවන් හොඳ උදාහරණයක්. ඉතින් ඒ ඈත කාලයේ පවා ප්‍රධාන උච්චාරණ ක්‍රමයක් හඳුනාගැනීමේ අවශ්‍යතාව ඉස්සරහට ඇවිල්ලා තිබුණා. මේ වෙනුවෙන් තෝරගත්ත සම්මත උච්චාරණය තමයි “මැන්ඩරින්” කියලා හැඳින්වුණේ. අධිරාජ සේවය වෙනුවෙන් කැපවෙච්ච උසස් නිලධාරියෝ මේ උච්චාරණයේ සරණ පැතුවා. ඉතින් අධිරාජයාට ඉතාමත් පහසුවෙන් ඒ අයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වුණා. මේ උච්චාරණය පෙයි-චිං නගරයේ උගත් සහ වංශවත් පවුල් අතරත් ප්‍රචලිත වුණා.
1912 ජනවාරි 1 වැනි දා නිල විදිහට පිහිටවපු “චීන ජනරජය” මුල්වෙලා “ජාතික භාෂාවක්” (ඇත්තෙන්ම, “ජාතික උච්චාරණයක්”) හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. ජනරජ විප්ලවයට මුල්වුණේ දකුණු චීනයේ මිනිස්සු. ඒත් හමුදා බලය තිබුණේ උතුරු චීනයේ මිනිස්සු අතේ. ඒ හින්දා හඳුන්වලා දෙන “ජාතික උච්චාරණය” මූලික කරගන්න ඕන දකුණේ උච්චාරණය ද එහෙමත් නැතිනම් උතුරේ උච්චාරණය ද කියන ආරවුලත් ඇතිවුණා. අලුත් කෘත්‍රිම උච්චාරණයක් හඳුන්වාදීමේ යෝජනාවකුත් ඉස්සරහට ආවා. අන්තිමේ දී, “පෙයි-චිං උච්චාරණය” පදනම් කරගෙන “ජාතික උච්චාරණයක්” ඇති කරගන්න එකඟතාවක් ඇති කරගත්තා. ඒ වෙනුවෙන් 1932 අවුරුද්දේ පෙයි-චිං නගරයේ දී “ජාතික භාෂා ඒකාබද්ධ කිරීමේ කොමිසම” කියලා ආයතනයක් ස්ථාපනය කළා.
මහජන විප්ලවයෙන් පස්සේ 1949 දී පිහිටුවපු චීන මධ්‍යම මහජන ආණ්ඩුව “ජාතික භාෂා” ව්‍යාපෘතිය ඉතා ශක්තිමත් විදිහට ඉස්සරහට ක්‍රියාත්මක කළා. ඒ සඳහා අවශ්‍ය හැම පහසුකමක් ම ලබාදුන්නා. ඒ කඩිනම් වැඩපිළිවෙළ හින්දා අවුරුදු 6 ක් ඇතුළත චීන භාෂාවට “සම්මත පොදු උච්චාරණයක්” ලබාදෙන්න මහජන ආණ්ඩුවට පුළුවන් වුණා. 1955 දී හඳුන්වලා දීපු ඒ සම්මතය හඳුන්වන්නේ “පු-ථුං-හුවා” (පොදු උච්චාරණය) කියන නමින්. (මේ පොදු උච්චාරණයට තමයි අපි දැන් “මැන්ඩරින්” කියලා කියන්නේ). ඒ ආරම්භක අවස්ථාව වෙද්දි “පරණ මැන්ඩරින්” කතා කරපු ජනතාවගෙන් සීයට 54 කට ඉතාමත් පහසුවෙන් මේ “අලුත් මැන්ඩරින්” (පොදු උච්චාරණය) තේරුම්ගන්න පුළුවන් වුණා. රටේ ජනගහනයෙන් සීයට 41 කටත් ඒ හැකියාව තිබුණා. 1984 වෙද්දි රටේ ජනගහනයෙන් සීයට 90 කට වැඩි ප්‍රමාණයක් “පොදු උච්චාරණය” අවබෝධ කරගැනීමේ හැකියාව අත්පත් කරගෙන තිබුණා. 2025 වාර්තාවල හැටියට නම්, මේ වෙද්දි රටේ ජනගහනයෙන් සීයට 85 කට “පොදු උච්චාරණය” හොඳින් වහරන්න පුළුවන්.
හන් භාෂාවේ “පොදු උච්චාරණය” ඉතාමත් හොඳ සම්බන්ධීකරණ භාෂාවක් බවට පත්වෙලා. ඒක ඉංග්‍රීසි වගේ ආනයනය කරපු සම්බන්ධීකරණ භාෂාවක් නෙවෙයි. අපේ රටේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් බහුතරයකට ඉංග්‍රීසි බෑ. ඒත් අපි අපේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් ම සම්බන්ධීකරණ (සන්ධාන) භාෂාව විදිහට ඉංග්‍රීසි නම් කරලා. රටේ මිනිස්සුන්ට බැරි භාෂාවකින් ඒ අයව “ලින්ක්” කරවන්න පුළුවන් නම් ඒක ලෝක වාර්තාවක්!
මෑතක දී, චීන ජාතික රාජ්‍ය සභාව විසින් “පොදු උච්චාරණය” ප්‍රවර්ධනයට අදාළ කාර්යභාරයන් පහකුත් හඳුන්වලා දීලා තියෙනවා. ජාතික පොදු භාෂා උච්චාරණය සහ අක්‍ෂර ක්‍රමය ප්‍රචලිතකිරීම, මූලික භාෂා සහ අකුරු ලිවීමේ හැකියාව ප්‍රවර්ධනය, ජාතික භාෂාව සහ අකුරු යොදාගෙන ලබාදෙන සේවා ප්‍රවර්ධනය, චීනයට උරුම විශිෂ්ට භාෂාව සහ සංස්කෘතිය ප්‍රවර්ධනය, සහ චීන භාෂාවේ ජාත්‍යන්තර තත්ත්වය සහ බලපෑම ඉහළ නැංවීම කියන කාර්යභාරයන් පහ තමයි ඒ විදිහට හඳුන්වලා දීලා තියෙන්නේ.
මේ “සම්බන්ධීකරණ භාෂාව” (හන් භාෂාවේ “පොදු උච්චාරණය”) හින්දා චීනයේ සමාජ - ආර්ථික සංවර්ධනයට ලැබිලා තියෙන උදව්ව සුළුපටු එකක් නෙවෙයි. “පොදු උච්චාරණය” විසින් පාලන කටයුතු ඉතාමත් හොඳින් සිද්දවෙනවා. ජනමාධ්‍ය සහ මූලික සන්නිවේදන කටයුතු එක විදිහකට සිද්දවෙනවා. අධ්‍යාපන සහ ශාස්ත්‍රීය කටයුතුත් එක භාෂා සම්මතයක් ඇතුළේ සිද්දවෙනවා. සෞඛ්‍ය වගේ මූලික සේවා ලබාගැනීමත් පහසුවෙලා. සෞන්දර්ය, කලා රස වින්දනයත් උත්තේජනය කරලා. ආර්ථික සහ වෙළෙඳ කටයුතු ඉතාමත් ඉහළට වර්ධනය කරලා.
“පොදු උච්චාරණය” බලවත් වෙලා තියෙන හින්දා ඕනෑම චීන ජාතිකයෙක්ට රටේ ඕනෑම තැනක සේවය කරන්න, ඕනෑම තැනකින් සේවා ලබාගන්න පුළුවන් වෙලා. ඈත පිටිසර පළාතක ළමයෙක්ට වුනත් හොඳින් විභාග සමත්වෙලා පෙයි-චිං නගරයේ තියෙන ඡිං-හුවා වගේ මහා විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න පුළුවන්. මොන විෂයයකින් සරසවි ප්‍රවේශ විභාගයට පෙනී හිටියත් හැම ළමයෙක් ම අනිවාර්යයෙන් ම චීන භාෂා ප්‍රශ්න පත්‍රයට පෙනී ඉන්න ඕන. ඒ මාර්ගයෙනුත් අධ්‍යාපනයේ පොදු බව සහතික කෙරෙනවා.
වෙළෙඳපොළටත් භාෂාවක් තියෙනවා. වෙන වෙනම උච්චාරණ බලවත් කළා නම් හැදෙන්නේ කෑලි කෑලිවලට කැඩිච්ච වෙළෙඳපොළක්. මේ වෙද්දි ඉන්දියාව ජනගහනය අතින් ඉස්සරහට ම ඇවිල්ලා. ඒත් ඉන්දියාවට තනි භාෂාවකින් හැදිච්ච වෙළෙඳපොළක් නෑ. “පොදු උච්චාරණය” හින්දා චීනයේ හැදිලා තියෙන්නේ ඉතාමත් දැවැන්ත තනි, සමතලා වෙළෙඳපොළක්. ඉතින් එහෙම වෙළෙඳපොළක බලය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. එහෙම වෙළෙඳපොළක ප්‍රචාරණ කටයුතු පවා පහසුයි. මානව සම්පත් භාවිතයත් පහසුයි.
චිත්‍රපටි, ටෙලි නාට්‍ය නිෂ්පාදනයට අදාළ වෙළෙඳපොළකුත් තියෙනවා. මුළු චීනය ම “පොදු උච්චාරණය” විසින් එකතු කරලා තියෙන හින්දා චීනයේ චිත්‍රපටි, ටෙලි නාට්‍ය වෙළෙඳපොළත් මහ දැවැන්ත එකක් බවට පත්වෙලා. සාමාන්‍යයෙන් චිත්‍රපටියක්, ටෙලි නාට්‍යයක් බලන ප්‍රේක්‍ෂක ප්‍රමාණය මිලියන 800 කට වැඩියි. ඒ කියන්නේ කෝටි 80 කට වැඩියි. ඉතින් ලොකුවට ප්‍රාග්ධනයක් යට කරලා මහ දැවැන්ත නිර්මාණ හදන එක ඉතාමත් ලේසි කටයුත්තක් බවට පත්වෙලා. ඒ වෙනුවෙන් කරන ආයෝජනය වගේ තිස් හතළිස් ගුණයක ආදායමක් උපයාගන්න එකත් අමාරු වැඩක් නෙවෙයි.
ප්‍රේම සම්බන්ධතා, විවාහ ගනුදෙනුවලටත් “පොදු උච්චාරණය” උදව් කරනවා. විවිධ පළාත්වලින් යම් යම් විශ්වවිද්‍යාලවලට එන, යම් යම් කර්මාන්තශාලාවල වැඩට යන තරුණ තරුණියෝ අතර ප්‍රේම සම්බන්ධතා ඇතිවෙන්න, ඒ සම්බන්ධතා විවාහ ගනුදෙනු දක්වා වර්ධනය කරගන්න සන්නිවේදන ගැටලුවක් නෑ. ඉතින් ඒ පැත්තෙන් ගත්තත් “පොදු උච්චාරණය” සිදු කරන්නේ ඉතාමත් විශාල සේවයක්.
හන් භාෂාවේ “පොදු උච්චාරණය” ඉස්සරහට ආවා කියලා අනිත් උච්චාරණ, වෙනත් වාර්ගික භාෂා නැතිවෙලා නෑ. ඒවා පවත්වාගෙන යන්න අවශ්‍ය විධිවිධානත් පනවලා තියෙනවා. චීනය කියන්නේ භාෂාවෙන් වැඩ ගන්න රටක් මිසක් භාෂාව දාලා මිනිස්සු බෙදන රටක් නෙවෙයි.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
අමෙරිකාවෙන් ශ්රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්..