අපේ රටේ වර්තමානයේ පවතින සමාජ, ආර්ථික, දේශපාලන සංදර්භය පොදු ජනයා පමණක් නොව, නාට්‍යකරුවන් පවා අපේක්ෂාභංගත්වයට පත් කරනවා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
පසුගියදා කොළඹ 7 පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය එළිමහන් රඟහලේදී විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ ඊඩිපස්, ජුලියස් සීසර්, ගොඩෝ එනකං, සාකුන්තලය සහ ජපන් සම්ප්‍රදායික නාට්‍යය අඩංගු උළෙලක් පවත්වනු ලැබුවා. අසමා රූපණ සරසවියේ නිර්මාතෘ අඛිල සපුමල් නාට්‍යවේදියා විසින් සංවිධානය කළ මෙම උළෙල හරවත් අදහස් ඇති ප්‍රේක්ෂකයන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සමත් වූවා.
හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු හා රාජ්‍ය සම්මානලාභී නාට්‍යකරුවකු වන අඛිල සපුමල් සමඟ ලංකා ලීඩර් වෙබ් අඩවිය අප පාඨකයන්ගේ බුද්ධිමය නිම් වළලු පුළුල් කිරීම වෙනුවෙන් දොඩමලු වූවා. එම සංවාදයේ ලිඛිත සටහන ලංකා ලීඩර් පාඨකයන්ගේ පරිශීලනය වෙනුවෙන් මෙසේ පළ කරමු.
සංවාද සටහන: ජීවන්ත ජයතිස්ස
ප්‍රශ්නය:
ඔබ පසුගියදා නාට්‍ය සම්ප්‍රදායන් පහකට අයත් නාට්‍ය පහක නාට්‍ය උළෙලක් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ එළිමහන් රඟහලේදී පැවැත්වූවා. ලංකා ලීඩර් වෙබ් අඩවිය නියෝජනය කරමින් අපද සහභාගි වූ එම උළෙල විශාල ප්‍රේක්ෂක සහභාගිත්වයක් නොතිබුණද, අතිශය සාර්ථක ආරම්භයක් ගත් නාට්‍ය උළෙලක් ලෙස කිව හැකි ලක්ෂණ එහි ගැබ්ව තිබුණා. වෙනත් විදියකින් කිවහොත්, දියුණු ප්‍රේක්ෂකයන් සමූහයක් ඔබ ඒකරාශී කර ගැනීමට සමත් වුණා. එලෙසම රංගන ශිල්පීන් තමන් අභියස සිටින ප්‍රේක්ෂකයන් නිවැරදිව තක්සේරු කර ගනිමින් තම උපරිම රංගනය දායක කිරීමට උත්සාහ කළ බව අපට දැනුණා. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?
අඛිල සපුමල්:
මා විසින් ගොඩනැගූ අසමා රූපණ සරසවිය සමඟ 2020 සිට 2025 දක්වා කාලයේදී සක්‍රියව සම්බන්ධ වූ කණ්ඩායම් පහෙන් මා සමඟ රැඳුණු අයගෙන් තමයි ඔබ රසවිඳි නාට්‍ය පහ වේදිකාගත කළේ.
අසමා රූපණ සරසවිය ඉහත කී වසරවල මාස දහයක පමණ කාලයක් පුරා විසිදෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සමඟ රංගනය සම්බන්ධ සියලු ක්ෂේත්‍ර ආවරණය කරමින් රංගන පාඨමාලාවක් පවත්වාගෙන යමින් විශාල ගවේෂණයක නියැළුණා.
එම ගවේෂණය පුහුණු වැඩමුළුවලින් පමණක් කළ හැකි දෙයක් නොවෙයි. එය අනිවාර්යයෙන්ම රංගන භූමියක ප්‍රේක්ෂකයා සමඟ දොඩමලු විය යුතු අභ්‍යාසයක්. මම මේ වෙනුවෙන් දැවැන්ත මුදලක් ආයෝජනය කර දැවැන්ත කැපවීමක් කර තිබෙනවා. ඒ සියලු දේ කැප කිරීමේ අරමුණ මා ළඟට එන සිසුවාගේ රංගන ප්‍රතිභාව මතු කර ගැනීමයි.
ඒ නිසාම ඔවුන් මා ළඟ සිටි අවුරුදු තුනහමාර හතර ඇතුළත නාට්‍ය උළෙලවල් දොළහක් මම සංවිධානය කළා. එම උළෙලවල් අතිසාර්ථක වුණා. එම නාට්‍ය උළෙලවල් හේතුවෙන් ඔවුන්ගේ රංගන ප්‍රභාව දවසින් දවස ඔපමට්ටම් කිරීමට මට හැකි වුණා. ඔවුන්ගේ අඩුපාඩු සාකච්ඡා කිරීමට අවස්ථාවක් උදා කර ගැනීමටත්, එම අඩුපාඩු සකස් කර ගැනීමටත් එමඟින් අපි අවස්ථාව උදා කර ගත්තා.
අප ඒ කළ සතත අභ්‍යාසයේ අවසන් ප්‍රතිඵලය තමයි පසුගියදා පාරාදීසය එළිමහන් රඟහලේදී ඔබ රසවිඳි නාට්‍යවලින් අපි මුදා හැරියේ.
ඉතින් මේ කාර්යයේදී මගේ කණ්ඩායමේ සාමාජිකයන් සැමදෙනාම දැඩි කැපකිරීමක් කළා. ඔවුන් දුර බැහැර ප්‍රදේශවල සිට විශාල මුදලක් ගෙවාගෙන කොළඹට ඇවිත් පුහුණු වීම් කටයුතුවල නියැළෙනවා. එයටත් වඩා අමාරුම කාර්යක ඔවුන් නිරත වෙනවා.
ඔබ දකින්නට ඇති අපගේ නාට්‍ය පහ ශෛලීන් පහකට අයත් නාට්‍ය. ඔවුන් බොහෝ දෙනෙක් එම විවිධ ශෛලීන්ගේ නාට්‍යවලට රංගනයෙන් දායක වෙනවා. ඒ අනුව මට පුළුවන් වෙලා තියෙනවා ඔවුන්ගේ කය සහ මනස විවිධ නාට්‍ය ශෛලීන්ට පුහුණු කරවන්න. ඒ වගේම ඔවුන් නම්‍යශීලී වී තිබෙනවා ඕනෑම නාට්‍ය ශෛලියකට අනුගත වෙන්නට.
මගේ නාට්‍ය කණ්ඩායම වේදිකාවේ හැඩය, වේදිකාවේ ස්වභාවය අනුව රංගන කාර්යයේ යෙදීමට හැකි පිරිසක් බවට පත් කිරීමට මට හැකිව තිබෙනවා කියා මට ආඩම්බරයෙන් පැවසිය හැකියි. ඒ වගේම ඔවුන් මගේ සොඳුරු ආඥාදායකත්වය අනුමත කර තිබෙනවා.
ප්‍රශ්නය:
ඔබගේ නාට්‍ය උළෙල සියුම්ව නිරීක්ෂණය කරද්දී අපට හැඟී යන්නේ ඔබගේ නාට්‍ය උළෙල අපොස උසස් පෙළට නාට්‍ය හා රංග කලාව විෂයක් ලෙස හදාරණ සිසුන් ඉලක්ක කර මෙම උළෙල පැවැත්වූවාද කියායි. මා එසේ අසන්නේ එම නාට්‍ය සියල්ල අපොස උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශය තුළ වන නාට්‍ය වීම නිසයි. සැබැවින්ම ඔබ අපොස උසස් පෙළ නාට්‍ය හා රංග කලාව හදාරණ සිසුන් ඉලක්ක කර ගත්තාද? නැතහොත් වෙනත් ප්‍රේක්ෂකයන් පිරිසක් ඔබ ඉලක්ක කර ගත්තාද?
අඛිල සපුමල්:
ඔබගේ නිරීක්ෂණය අර්ධ වශයෙන් නිවැරදියි. 1997 සිට අපොස උසස් පෙළ නාට්‍ය හා රංග කලාව විෂයට නිර්දේශිත සම්භාව්‍ය නාට්‍ය තමයි අපි නැවත නිෂ්පාදනය කළේ.
අපට එම සම්භාව්‍ය නාට්‍ය එසේ අලුතින්ම නිෂ්පාදනය කිරීමට සිදුවුණේ පාසල් ශිෂ්‍යයන්ට මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට විෂය කරුණු පොත් පිරෙන්නට ලියා ගන්න දුන්නත්, එම නාට්‍ය සැබැවින් සියැසින් බලා රසවිඳීමට අවස්ථාවක් ඔවුන්ට තිබුණේ නැති නිසයි.
අපට පෙර සිටි නාට්‍යකරුවන් විසින් කර තිබූ එවැනි සම්භාව්‍ය නාට්‍යවල නිෂ්පාදනත් දර්ශන වාර කිහිපයකින් පසුව නවතා දමා තිබුණා. ශිෂ්‍යයන් වෙනුවෙන් ඒ අඩුව පිරවීම නාට්‍ය හා රංග කලාව පිළිබඳ විද්‍යාර්ථියෙකු ලෙස මා විසින් කළ යුතු වූවා. මා ඒ අඩුව සාර්ථකව පිරවූවා යැයි සිතනවා.
මගේ සම්භාව්‍ය නාට්‍ය නිෂ්පාදන පෙන්වන නාට්‍ය ශාලා අතුරු සිදුරු නැතුව ළමුන්ගෙන් පිරී ගිය අවස්ථා තිබුණා.
ඔබ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පාරාදීසය රඟහලේදී නැරඹුවේ පාසල් ළමුන් ඉලක්ක කර නිපදවූ නාට්‍ය බව ඇත්ත. නමුත් ඒ නාට්‍ය පරිශීලනය කළ ළමුන්ගෙන් වැඩි දෙනා විභාග සමත් වීම හැර එතැනින් එහා ගොස් නාට්‍ය ක්ෂේත්‍රයට යමක් කිරීමේ අරමුණක් තිබෙන බවක් මට පෙනුණේ නැහැ.
ඒ නිසා මේ නාට්‍ය සියල්ල පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් හැර වෙනත් ප්‍රේක්ෂක පිරිසක් වෙත ගෙන යාමට මට අදහසක් ආවා. ඒ අරමුණ ඇතිව "පාරාදීසය" එළිමහන් රඟහලේදී ඔබ රසවිඳි නාට්‍ය පහ එළි දැක්වූවා.
ඒ අර්ථයෙන් මම කරනු ලැබුවේ පර්යේෂණයක් මෙන්ම අත්හදා බැලීමක්. ඒ අනුව ඔබත් සාක්ෂියක් වූ උසස් රසවින්දනයක් සහිත ප්‍රේක්ෂක සමූහයක් අපේ නාට්‍ය පහ රසවිඳින්නට පැමිණියා. අපව දිරිමත් කළා. අප සමඟ සංවාදයට පැමිණියා. අපට වැදගත් අදහස් ඉදිරිපත් කළා. අපේ නළු නිළියන් ඇගයීමට ලක් කළා.
ඒ අනුව ඔබගේ නිරීක්ෂණය අර්ධ වශයෙන් නිවැරදි බව ඔබ පිළිගන්නවා ඇතැයි මම සිතනවා.
ප්‍රශ්නය:
ඔබ පැවසූ දේ නිවැරදියි. ඔබගේ නාට්‍ය කණ්ඩායමේ සාමාජික පිරිස විවිධ නාට්‍ය ශෛලීන්ට අයත් නාට්‍යවල විවිධ භූමිකාවන් රඟපානු අප දුටුවා. ඔවුන් පැතිරුණු චරිතාංග නළුවන් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි.
ඔබගේ නාට්‍ය කණ්ඩායමේ පිරිස සම්බන්ධව යම් අදහසක් වගේම ඔවුන් පුහුණු සැසිවලට සහභාගි කර ගැනීමේදී ඔබ මුහුණ දෙන අභියෝග සහ අනාගතයේ ඔබ දකින ධනාත්මක සහ සෘණාත්මක වර්ධනයන් සම්බන්ධව යම් අදහසක් ප්‍රකාශ කළ හැකිද?
අඛිල සපුමල්:
මගේ අසමා රූපණ සරසවිය ආරම්භ කරන්නේ 2020 වර්ෂයේදී. විසිතුන් දෙනෙකු අපේ පළමු නාට්‍ය වැඩමුළුවට එකතු වුණා. නමුත් ආරම්භයේදීම අපි බරපතළ අර්බුදයකට මුහුණ දුන්නා. කොරෝනා වසංගතය නිසා අපට එකතු වී පුහුණු වීම් කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයකට අපි මුහුණ දුන්නා.
මාව ඒ වන විට රට හඳුනාගෙන තිබුණේ ස්වතන්ත්‍ර නාට්‍යකරුවෙක් විදියටයි. මම, "රාවණා ආදරයේ හුස්ම ළඟ", ඒ වගේම හොඳම නාට්‍ය බවට තේරී පත් වූ "හිනාවෙලා මිනිත්තුවක්", ජාත්‍යන්තර මට්ටමට ළඟා වීමට තරම් ශක්‍යතාවයක් පෙන්වූ "ගිරි කූට කාශ්‍යප" නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලේත්, යෞවන සම්මාන නාට්‍ය උළෙලේත් වඩාත්ම සම්භාවනාවට පාත්‍ර වුණා.
"රතු මල් පොකුරක්" නාට්‍යය 2020 රාජ්‍ය නාට්‍ය උළෙලේ කැපී පෙනෙනම නාට්‍යය බවට පත් වුණා. ඒ අනුව මම ස්වතන්ත්‍ර නාට්‍ය 10ක් පමණ නිර්මාණය කළා. ඒවායේ විශේෂය ඒවා එකිනෙකට වෙනස් නාට්‍ය වීමයි.
මේ වගේ විවිධත්වය ස්පර්ශ වන නාට්‍ය කළ මට ලෝක සම්භාවනාවට පාත්‍ර වූ විවිධ නාට්‍ය නිෂ්පාදනය කළ යුතුයි කියා හිතුණා. ඒ සිතුවිල්ලත්, කොරෝනා වසංගතය විසින් අපගේ ජීවිත උඩු යටිකුරු වීම විසිනුත්, අපට ස්වතන්ත්‍ර නාට්‍ය කිරීම පසෙක තබා ලෝක සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍ය නිෂ්පාදනය කිරීමට තත්ත්වයන් විසින්ම බල කෙරුණා.
ඒ අනුව ඔබ ප්‍රේක්ෂකයෙකු ලෙස රසවිඳි පාරාදීසය එළිමහන් රඟහලේදී වේදිකාගත වූ නාට්‍ය සියල්ල අපි අධ්‍යයනය කරමින් අපට අවශ්‍ය ආකාරයට සකස් කරමින් නිෂ්පාදනය කළා.
විශේෂම කාරණය මගේ මුල්ම 23 දෙනාගේ කණ්ඩායම සමඟ මාස 10ක් තිස්සේ අපි සූම් තාක්ෂණය ඔස්සේ පුහුණු වීම් කටයුතු කළා. දවසට පැය දෙක බැගින් පුහුණු වීම් කරලා මාස 10කට පස්සේ කණ්ඩායම එකිනෙකා හමුවෙලා නිෂ්පාදනය කළේ එකම එක නාට්‍යයක්. ඒ "ඊඩිපස්".
පළමු දර්ශනය එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කළා. එල්ෆින්ස්ටන් රඟහල සම්පූර්ණයෙන්ම ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ගියා. කොරෝනාවට අපි අපේ ජීවිත විනාශ වෙන්න දුන්නේ නැහැ.
අපි මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය ඈත පළාත්වල ඉන්න රංගනයට කැමැති පිරිස් ගෙන්වා ගැනීමයි. 2020දී පැවැති බස් ගාස්තුව වගේ පස් ගුණයක ගාස්තුවක් අපේ පිරිස්වලට ගෙවන්න වෙලා තියෙනවා. මේවා අපි මුහුණ දෙන අභියෝග වගේම දුෂ්කරතා.
නාට්‍යයක් කරද්දී දරන්න වන අනෙකුත් පිරිවැයත් සාපේක්ෂව ඉතා ඉහළයි. ඒ නිසා ඉතාම අඩු කාලයකින් අපි ළඟට එන පුද්ගලයා නළුවෙකු බවට පත් කිරීමේ අභියෝගය අපට තිබෙනවා. ඒ වගේම ඒ කෙටි කාලය තුළ අපට නාට්‍යයකුත් නිර්මාණය කළ යුතු වෙනවා.
විශේෂයෙන්ම කිව යුතු දෙය නම්, කොරෝනා සමඟ උත්සන්න වූ ආර්ථික හා දේශපාලන අර්බුද හේතුවෙන් නාට්‍ය කලාව පවත්වාගෙන යාම ඉතාම දුෂ්කර වෙලා තිබෙනවා.
මිනිස්සු වෙනසක් බලාපොරොත්තුවෙන් "ගෝ හෝම්" උද්ඝෝෂණ හරහා වෙනසක් කළා. නමුත් සැබෑ ලෝකයේ කිසිම වෙනසක් වෙලා නැහැ. නාට්‍යකරුවා පමණක් නෙවෙයි, මුළු රටම ව්‍යසනයක සිටින බවයි මගේ හැඟීම.
නාට්‍යකරුවෙක් විදියට මම පාවිච්චි කරන සූක්ෂ්ම උපක්‍රම හේතුවෙන් යම් පමණකට අල්ලාගෙන හිටියත්, බොහෝ දෙනා අපේක්ෂාභංගත්වයට පත්වී තිබෙනවා.
ප්‍රශ්නය:
නාට්‍ය සම්ප්‍රදායන් තත්කාලීන සමාජ, ආර්ථික, දේශපාලනික තත්ත්වයන් සමඟ අනුලංඝනීයව බැඳී පවතිනවා. අද අපේ රටත් ඇතුළුව සමස්ත ලෝකයම යුදමය තත්ත්වයකට මුහුණ දෙමින් සිටිනවා.
ඊට සමාන්තරව ලෝකය "Woke" සංස්කෘතිය ලෙස හඳුන්වන සමාජ සම්මතයන්ට එරෙහිව යන විනාශකාරී සංස්කෘතියක් වේගයෙන් පතුරවමින් යනවා. චීනය, රුසියාව, ඉරානය වැනි රටවල් එවැනි විනාශකාරී අසම්මත සංස්කෘතීන්ට එරෙහිව දේශපාලනික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් යම් යම් පියවරයන් ගනිමින් සිටිනවා. නමුත් ශ්‍රී ලංකාව තුළ එවැන්නක් දකින්නට නැහැ.
නාට්‍යකරුවෙක් ලෙස ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද? එවැනි භයානක ප්‍රවණතාවයන්ට එරෙහිව ඔබ නාට්‍ය කලාව තුළ කුමන හෝ ප්‍රවේශයක් ගැනීමට උත්සුක වෙනවාද?
අඛිල සපුමල්:
ඔබගේ නිරීක්ෂණය නිවැරදියි. නාට්‍ය සම්ප්‍රදායන් තත්කාලීන සමාජ, ආර්ථික, දේශපාලනික තත්ත්වයන් සමඟ අනුලංඝනීයව බැඳී පවතිනවා.
ඔව්! අද සමස්ත ලෝකයම යුද්ධයකට අවතීර්ණ වී තිබෙනවා. අපේ රට එම යුද්ධයේ සෘජු සහ වක්‍ර බලපෑමට ලක්ව තිබෙනවා.
මගේ "ඊඩිපස්" සහ "ජූලියස් සීසර්" නාට්‍යය හරහා දේශපාලන යථාර්ථයේදී මිනිසාගේ ඉරණම සම්බන්ධයෙන් ගැඹුරු මතයක් ඉදිරිපත් වෙනවා. ඒවා යුද්ධය, දේශපාලනය වැනි විෂයන් සම්බන්ධව විශ්වීය වශයෙන් පිළිගත් සත්‍යයන්.
ජපන් නාට්‍යය මගින් මිනිස් හැසිරීම්වලට බුදු දහමින් ගත හැකි ආලෝකය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වෙනවා.
ලෝකය ආර්ථික, සමාජීය වශයෙන් වෙනස් වන විට විවිධ මතවාද ජනප්‍රිය වෙනවා. ඔබ පැවසූ "Woke" සංස්කෘතියත් එවැන්නක්. වර්ගවාදයට එරෙහි වීම, ස්ත්‍රී අයිතිවාසිකම්, පීඩිතයාගේ නිදහස වැනි සංවේදී කාරණාවලට මානුෂීය හරයක් ලබාදීම මෙම ප්‍රවණතාවය හරහා සිදු වූවා. එය ඉතාම සාධනීය මතවාදයක්.
නමුත් පසුකාලීනව සමාජයන් බිඳවැට්ටවීමේ අර්ථයෙන් මෙම "Woke" සංස්කෘතිය යොදා ගැනීමේ ප්‍රවණතාවය දැක ගත හැකි වෙනවා.
උපතින්ම ලද ලිංගික අනන්‍යතාවය මාරු කිරීම, සමලිංගිකත්වය ප්‍රවර්ධනය, එතැනින් එහාට ගොස් සමාජ සම්මතයන් හා සංස්කෘතීන්වලට ගැරහීම, ඒවා බැහැර කිරීම වැනි නාස්තිකවාදී ලක්ෂණ "Woke" සංස්කෘතිය තුළට කාන්දු කරනු ලැබුවා.
අපේ රටේ එවැනි ප්‍රවණතාවයන්ට USAID වැනි ආයතන විශාල වශයෙන් බර පැන යොදා ඇති බවද පසුගිය කාලයේදී හෙළිදරව් වූවා. අපේ රට ඇතුළුව බංග්ලාදේශය, නේපාලය, අවසානයේදී ඉන්දියාවේ පවා පැතිරීගිය ප්‍රචණ්ඩ "අරගල" තුළ නූතන "Woke" සංස්කෘතියේ නාස්තිකවාදී ලක්ෂණ ගැබ්ව තිබෙන බව විවිධ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබෙනවා.
රුසියාවේ සමාජ විද්‍යාඥයෙකු වූ ඇලෙක්සැන්ඩර් ඩුගින් වැනි විද්වතුන් මේ "Woke" සංස්කෘතිය හරහා සිදුකෙරෙන LGBTQI වැනි ප්‍රචාරණයන් මගින් මිනිසා මිනිස් ඉතිහාසයේ අවසාන දුම්රිය නැවතුම්පළට ළඟා වන බව පෙන්වා දෙනවා.
කෙසේ වුවත් ඔහුව ඝාතනය කිරීමට පවා උත්සාහ කළා. ඔහුගේ දියණිය ඔහුව ඉලක්ක කර ඇටවූ බෝම්බයකට ගොදුරු වූවා.
අඛිල සපුමල්:
ඒ අනුව චීනය, රුසියාව සහ ඉරානය වැනි රටවල් මෙවැනි විනාශකාරී ප්‍රවණතාවයන් පාලනය කිරීමට දැනුවත් උත්සාහයන් ගෙන තිබෙනවා.
නමුත් මෙවැනි ව්‍යසනයන් සම්බන්ධව නිර්මාණය වන කලා කෘති ලෝක සාහිත්‍යය තුළ තවම දකින්නට නැති තරම්. කෙසේ වෙතත් ලතින් අමෙරිකාවේ, රුසියාවේ මානව විද්‍යාඥයන්, විද්වතුන් මෙන්ම දේශපාලඥයන් මෙම ප්‍රවණතාවයන්ට එරෙහිව හඬ නගමින් සිටිනවා.
අපේ රටේ මෙම ඊනියා "Woke" සංස්කෘතියට එරෙහිව තවම සාධනීය නැගිටීමක් දකින්නට නැහැ. එනිසා එවැන්නක් නාට්‍ය කෘතීන් අතරට තවම පැමිණ නැහැ.
ප්‍රශ්නය:
ඔබගේ නාට්‍ය කලාව ප්‍රායෝගිකව ඉතා දුෂ්කර තත්ත්වයන් තුළ පවත්වාගෙන යන බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබෙනවා. ආර්ථික අපහසුතාවලින් ඔබ සහ ඔබගේ කණ්ඩායම දරුණු ලෙස වෙළී ඇති බව පෙනී යනවා. එහෙත් ඔබ ඔබගේ කාර්ය අතහැරීමට සූදානම් බවක් අපට පෙනෙන්නේ නැහැ.
ඔබ මුහුණ දෙන දුෂ්කරතාවයන් පියමං කරවා ගනිමින් ඔබ නියැළී සිටින නාට්‍ය කලාව තවදුරටත් කරගෙන යාමට නාට්‍ය ලෝලීන් සමඟ එකතුවීමට අදහස් කරන යම් වැඩපිළිවෙළක් ඔබ සතුව තිබෙනවාද?
අඛිල සපුමල්:
මම නාට්‍ය කලාව හැදෑරීම තෝරා ගත්තේ මගේ ස්වකැමැත්තෙන්මයි. මම සාමාන්‍ය පෙළ විභාගය බේරුවල මධ්‍ය මහා විද්‍යාලයෙන් සමත්ව, උසස් පෙළට හොරණ ශ්‍රීපාලි මහා විද්‍යාලයට නාට්‍යය සහ රංග කලාව හැදෑරීමට ඇතුළත් වූවා.
ඉන්පසුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාවට උපාධියක් ලබාගෙන, එහිම එම්.ඒ. උපාධියත් සමත්ව, එම විශ්වවිද්‍යාලයේම කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළා.
නාට්‍යකරුවෙක් ලෙස මා විශ්වාස කරන දෙය ඉටු කර ගැනීමට මගේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය වෘත්තිය බාධාවක් බව දැනුණු පළමු මොහොතේම මම එම තනතුරෙන් ඉවත් වූවා.
ඉන්පසුව මා විශ්වාස කරන අරමුණ වෙනුවෙන් පෙනී සිටීමට අසමා රූපණ සරසවිය නිර්මාණය කරනු ලැබුවා.
මා මුලින් සඳහන් කළ පරිදිම සමස්ත රට මුහුණ දෙන ආර්ථික අපහසුතාවය කලාකරුවන් වන අපට දෙගුණ තෙගුණ වී බලපානවා. මම මේ කාර්යයේ දිගටම නිරත වෙමින් අපගේ ප්‍රේක්ෂකයාට හරවත්, උසස් යමක් දීමට උත්සාහ කරනවා.
ප්‍රේක්ෂකයා තුළ බාල රසයන් උද්දීපනය කරමින් ප්‍රේක්ෂකයාව මංමුළාවට පත්කරන අවර ගණයේ නිර්මාණ කිරීමට මම කිසිසේත් පෙළඹෙන්නේ නැහැ.
මම දැනට නාට්‍ය කලාවට ආදරය කරන, මගේ විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ නාට්‍ය කෘතීන් ජනගත කිරීමට මුදලින් සහයෝගය දී, එයින් ලැබෙන ලාභයෙන් ආයෝජනය පියවා ගැනීමට කැමැති පිරිස්වල සහයෝගය බලාපොරොත්තු වෙනවා.
මෙම දුෂ්කර අවධිය පියමං කර නාට්‍ය කලාව රැක ගැනීමේ මගේ අවංක වුවමනාව තේරුම්ගත් පිරිස් මාව සම්බන්ධ කරගනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
මගේ WhatsApp අංකය: +94 70 564 2164.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග
ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..
බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..
හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්