කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය
එදා රාජ්‍ය සේවකයන්ගේත් ගුරුවරුන්ගේත් අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩුවලට එරෙහිව සටන් මෙහෙයවූ ලාල්කාන්ත සහ මහින්ද ජයසිංහ අද ආණ්ඩුවේ බලයත් තනතුරුත් අතට ලැබුණු පසු එම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ගුරුවරුන්ට එරෙහිව කතා කිරීම තරම් දේශපාලනික විහිළුවක් තවත් නැතැයි ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා ප්‍රකාශ කළේය.
“ලාල්කාන්ත මහත්තයෝ, ඔබතුමාට එදා කියපු දේවල් අද අමතක වෙලා තියෙන්නේ ඩිමෙන්ෂියා නිසාද? මහින්ද ජයසිංහ මහත්තයෝ, එදා ගුරු සටන්වල නායකත්වය දුන්නු ඔබතුමාට අද ගුරුවරුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටින්න ලැජ්ජා නැද්ද?” යනුවෙන් ප්‍රශ්න කළ ඔහු, එදා ගුරු අයිතීන් වෙනුවෙන් පාරට බැස්ස නායකයන් අද ආණ්ඩුවේ තනතුරු රැකගැනීම වෙනුවෙන් ගුරුවරුන්ගේ සටන් විවේචනය කරන තත්ත්වයට පත්ව ඇතැයි ද චෝදනා කළේය.
බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (22) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම ප්‍රකාශය කළේය.
වසර 29ක් පුරා නොවිසඳුණු ගුරු වැටුප් විෂමතා ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් නැවතත් වෘත්තීය සටන්වලට අවතීර්ණ වී සිටියදී එම සටන් අසාධාරණ බවට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ප්‍රකාශ නිකුත් කිරීම විශේෂයෙන්ම හාස්‍යයට කරුණක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
1994 ගුරු සේවා ව්‍යවස්ථාවට අදාළව ගුරුවරුන්ට හිමිවිය යුතුව තිබූ වැටුප් ප්‍රතිලාභ 1997 වසරේදී සමස්ත රාජ්‍ය සේවයට වැටුප් වැඩිවීමක් ලබාදෙන අවස්ථාවේදී පසුව ලබාදෙන බවට කල්දැමීමෙන් මෙම ප්‍රශ්නය ආරම්භ වූ බවත්, වසර ගණනාවක් තිස්සේ එය නොවිසඳී පැවති බවත් සඳුන් බණ්ඩාර මහතා පැවසීය.
පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දීර්ඝ අරගලයක නිරත වෙමින් එම හිඟ වැටුප් ප්‍රශ්නයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් දිනාගත් බවත්, එම සටනේ ඉදිරිපෙළ නායකයන් වූයේ අද නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ සහ වත්මන් අමාත්‍ය ලාල්කාන්ත බවත් ඔහු සිහිපත් කළේය.
එදා ලාල්කාන්ත මහතාගේ නායකත්වයෙන් මහින්ද ජයසිංහ මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයන් ගුරුවරුන්ගේ වැටුප් අයිතීන් වෙනුවෙන් සටන් කළේ අදටත් වඩා අභියෝගාත්මක පසුබිමක බව පෙන්වා දුන් ඔහු, 2008 වසරේ එල්ටීටීඊ යුද්ධයේ අවසන් අදියරේදී පවා දැවැන්ත වැඩවර්ජන කැඳවූ බවත්, කොවිඩ් වසංගතය හමුවේ මුළු රටම අර්බුදයක සිටියදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පාරට කැඳවා වැටුප් ඉල්ලීම් වෙනුවෙන් සටන් කළ බවත් පැවසීය.
“එදා යුද්ධය තිබුණත්, කොරෝනා තිබුණත් වැඩවර්ජන කැඳවීම අසාධාරණ වුණේ නැහැ. එදා ගුරුවරුන් පාරට කැඳවීම සාධාරණ නම් අද තමන්ගේම ආණ්ඩුව යටතේ ගුරුවරුන් පාරට බසින එක අසාධාරණ වෙන්නේ කොහොමද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
ලාල්කාන්ත මහතාට එදා කළ ප්‍රකාශ සිහිපත් කරමින් බෝදරගම මහතා කියා සිටියේ ගුරු වැටුප පවුලේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බවත්, තම බිරිඳ ගුරුවරියක බැවින් එම ගැටලුව තමන්ට දැනෙන බවත් ලාල්කාන්ත මහතාම එදා මාධ්‍යයට ප්‍රකාශ කළ බවය. එහෙත් අද එම ප්‍රශ්නයම නැවත මතුකරන ගුරුවරුන්ට එරෙහිව අදහස් පළකරන බවත්, එදා තමන් කළ ප්‍රකාශවත් අද මතක නැති තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත් ඔහු උපහාසයට ලක් කළේය.
මහින්ද ජයසිංහ මහතාගේ වර්තමාන භූමිකාව ද දැඩි විවේචනයට ලක්කළ බෝදරගම මහතා, එදා සියලු ගුරුවරුන් වෙනුවෙන් වැටුප් ඉල්ලීම් කළ ඔහු අද එම හිඟ වැටුප් ප්‍රශ්නය පුහුණු උපාධිධාරීන්ට පමණක් අදාළ බවට ප්‍රකාශ කිරීම පිළිගත නොහැකි බව සඳහන් කළේය.
“අද ඔබතුමා කියනවා මේ වැටුප් ප්‍රශ්නය අදාළ වෙන්නේ පුහුණු උපාධිධාරීන්ට විතරයි කියලා. එදා තුනෙන් එකක වැටුප් වැඩිවීම දිනාගන්න සටන් කළේ කා වෙනුවෙන්ද? සියලු ගුරුවරුන් වෙනුවෙන් නේද? එදා සියලු දෙනා වෙනුවෙන් සටන් කරලා අද බලයට ආවට පස්සේ ඒ ඉල්ලීමෙන් පස්සට යන්න ඔබතුමාට සදාචාරාත්මක අයිතියක් නැහැ. මහින්ද ජයසිංහ මහත්තයෝ, ඔබතුමාට අද කතා කරන්න ලැජ්ජා නැද්ද?” යනුවෙන් ඔහු අභියෝග කළේය.
හරිනිගේ සියයට හයේ සටනට මොකද වුණේ?
මේ අතර වත්මන් අගමැතිනිය සහ අධ්‍යාපන අමාත්‍යවරිය වන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ද එදා අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක් වෙන්කරන ලෙස ඉල්ලා ටී ෂර්ට් ඇඳගෙන පාරට බැස සටන් කළ ආකාරය අද අමතක කර ඇති බවට බෝදරගම මහතා චෝදනා කළේය.
එදා සියයට හයේ සටන් පාඨය පිටේ ගසාගෙන අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අගමැතිනිය අද තමන් ද අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස කටයුතු කරන ආණ්ඩුවේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කර ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.91ක් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.
“එදා ටී ෂර්ට් එකේ සියයට හය ගහගෙන පාරේ ගිය අයට අද ඒ සියයට හය මතක නැහැ. දැන් කියන්නේ රාජ්‍ය වියදමෙන් සියයට 12කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන්කරලා තියෙනවා කියලයි. එදා ඉල්ලුවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක්. අද නිර්ණායක වෙනස් කරගෙන කතා කරනවා. මේක රටේ ජනතාවට කරන විහිළුවක් නොවේද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
ජනාධිපතිවරයා ගුරුවරුන්ට රුපියල් 20,000 සිට 80,000 දක්වා වැටුප් වැඩිවීම් ලබාදී ඇති බවට ප්‍රකාශ කළ ද එම සංඛ්‍යා මගින් වසර 29ක් තිස්සේ පවතින වැටුප් විෂමතා ප්‍රශ්නය වසා දැමිය නොහැකි බව ද ඔහු පැවසීය.
2025 වැටුප් සංශෝධනය යටතේ තුන්වන ශ්‍රේණියේ ගුරුවරයකුගේ වැටුප සැබෑවටම වැඩිවී ඇත්තේ රුපියල් 16,997කින් පමණක් බවත්, මෙම වසරේ අදාළ සංශෝධනයෙන් එම ශ්‍රේණියේ ගුරුවරයකුට ලැබෙන වැඩිවීම රුපියල් 3,500කට ආසන්න බවත් ඔහු සඳහන් කළේය. ඒ අනුව ආණ්ඩුව ප්‍රකාශ කරන වැටුප් වැඩිවීම් සහ ගුරුවරුන්ගේ අතට ලැබෙන සැබෑ ප්‍රතිලාභ අතර විශාල වෙනසක් පවතින බව ඔහුගේ අදහස විය.
උද්ධමනය සියයට නවය ඉක්මවා යා හැකි බවට මහ බැංකු අධිපතිවරයා කළ ප්‍රකාශය ද සිහිපත් කළ ඔහු, බදු බර සහ ජීවන වියදම හමුවේ වැටුප් වැඩිවීම්වල සැබෑ වටිනාකම තවදුරටත් පහළ යන බව පෙන්වා දුන්නේය. එබැවින් වැටුප් කොමිසමේ නිර්දේශ ලැබෙන තෙක් අන්තර්කාලීන දීමනාවක් ලෙස ඉල්ලා සිටින රුපියල් 25,000ක වැටුප් වැඩිවීම ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ද හිමිවිය යුතු බව ඔහු අවධාරණය කළේය.
දෙසැම්බර් පළමුවැනිදා පාර්ලිමේන්තුව වටලන ගුරු විරෝධතාවක්!
නොවැම්බර් 23 වැනිදා රාජ්‍ය සේවකයන් කැඳවා ඇති සංකේත වැඩවර්ජනයටත්, නොවැම්බර් 30 වැනිදා පැවැත්වීමට නියමිත ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයටත් ජාතික ගුරු ව්‍යාපාරය පූර්ණ සහාය ලබාදෙන බව බෝදරගම මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම දෙසැම්බර් පළමුවැනිදා අධ්‍යාපන වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගන්නා දිනයේදී ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විශාල පිරිසක් පොල්දූව මංසන්ධියට සහ පාර්ලිමේන්තු වටරවුමට කැඳවා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ද ඔහු පැවසීය.
එදින පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ට තමන්ගේ ගුරුවරුන් පවා එම විරෝධතාව අතර සිටිය හැකි බව සිහිපත් කිරීමට මෙම ස්ථානය තෝරාගත් බව ද ඔහු සඳහන් කළේය.
එහිදී මහින්ද ජයසිංහ මහතාට විශේෂ අභියෝගයක් කළ බෝදරගම මහතා, තමන් දැරූ නියෝජ්‍ය කම්කරු අමාත්‍ය ධුරය ඇතුළු තනතුරු පසෙක තබා අගමැතිනිය ද සමඟ පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ ගුරුවරුන්ගේ සටනට එක්වන ලෙස ආරාධනා කළේය. අතීතයේ ගුරු අයිතීන් වෙනුවෙන් සටන් කළ නායකයකු ලෙස නැවත එම සටනට එක්වී තමන්ගේ පැරණි සටන් සගයන් සමඟ සිටගැනීමට මහින්ද ජයසිංහ මහතාට තවමත් අවස්ථාවක් ඇති බව ද ඔහු කීවේය.
මේ අතර ගුරු වෘත්තීය සටන් විවිධ කඳවුරු තුනකට බෙදී දින තුනකදී පැවැත්වීම සටනට අවාසියක් විය හැකි බව පිළිගත් ඔහු, ජාතික ගුරු ව්‍යාපාරය නොවැම්බර් 23, 30 සහ දෙසැම්බර් 01 යන සියලු ක්‍රියාමාර්ගවලට සහාය දෙන බව පැවසීය.
ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති විසින් නොවැම්බර් 30 වැනිදා ක්‍රියාමාර්ගය දියාරු කිරීමට කටයුතු කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
“ගුරුවරුනි, විදුහල්පතිවරුනි, මේ සටන කාගේවත් පෞද්ගලික සටනක් නොවෙයි. අපේ අයිතිවාසිකම් දිනාගැනීමේ සටනක්. එදා අප වෙනුවෙන් සටන් කළ අය අද ආණ්ඩුවේ සිටිනවා. ඒ නිසා අද අපිට නැවතත් අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බහින්න සිදුවී තිබෙනවා. දෙසැම්බර් පළමුවැනිදා පාර්ලිමේන්තු වටරවුමට පැමිණ මේ සටන ජයග්‍රහණය කරමු” යැයි ද සඳුන් බණ්ඩාර බෝදරගම මහතා වැඩිදුරටත් පැවසීය.
ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතාගේ දේශනය.
“මම සඳුන් බණ්ඩාර බෝදරගම, ප්‍රධාන ලේකම් - ජාතික ගුරු ව්‍යාපාරය.
බොරුවෙන්, කපටිකමින්, මුසාවෙන් රට රවට්ටලා බලයට පත්වෙච්ච ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න අසමත් වෙන අතරවාරයේම එයාලගේ තුන්වෙනි අයවැය ඉදිරිපත් කරද්දී ගුරුවරයා, විදුහල්පතිවරයා ඇතුළු සමස්ත රාජ්‍ය සේවකයෝ නැවත පාරට කැඳවන්නත් වෙලා තියෙනවා. විශේෂයෙන් අපි මතක් කරන්න ඕනා එයාලා බලය ගනිද්දී සමස්ත රාජ්‍ය සේවය, විශේෂයෙන්ම ගුරුවරු තමයි එයාලා වෙනුවෙන් පෙනී හිටියේ. එයාලා ඒ කාලේ කිව්වේ 'අපි ජනතාවාදී ආණ්ඩුවක්, ඒක නිසා අපෙන් ඉල්ලීම් කරන්න වෙන්නේ නෑ, ඉල්ලීම් කරන්න කලින්ම අපි ඔයාලගේ ගැටලු අඳුරනවා, ඒක නිසා ඒ අවශ්‍ය පිළියම් යොදනවා' කියන කාරණය.
හැබැයි අද වෙනකොට අපි දන්නවා ගුරුවරුන්ගේ 1994 ගුරු සේවා ව්‍යවස්ථාවෙන් ඔවුන්ට හිමිවුණු, 1997 සමස්ත රාජ්‍ය සේවයට වැටුප් වැඩි කරද්දී “පසුව වැඩි කරන්නම්” කියලා කල් තියපු වසර 29ක් තිස්සේ නොවිසඳුණු හිඟ වැටුප් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ හිඟ වැටුප් ප්‍රශ්නය තමයි අපි පහුගිය ගෝඨාභය ආණ්ඩුව සමයේ විශාල ප්‍රමාණයේ අරගලයකින් පස්සේ ඒ හිඟ වැටුපෙන් තුනෙන් එකක් දිනාගන්න සමත් වෙන්නේ.
එතකොට ඒ කාලසීමාව වෙනකොට ඒ අරගලයේ ඉදිරියෙන්ම හිටපු අය තමයි අද නියෝජ්‍ය කම්කරු ඇමති මහින්ද ජයසිංහ මහත්තයා. ඒ විතරක් නෙවෙයි, ඒ කම්කරු මධ්‍යස්ථානය මෙහෙයවූයේ ලාල්කාන්ත මහත්තයා. ඔය චන්දන සූරියආරච්චි මහත්තයලත් හිටියා ඕකේ. සමස්ත රාජ්‍ය සේවය නියෝජනය කරමින්. එතකොට දැන් මේ වෙනකොට ඒ මහත්තුරු හිතන් හිටියෙම එයාලගෙන් තොර වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නෑ කියලා. එයාලා වෘත්තීය සමිති ඔස්තාර්ලා, එයාලගෙන් තොර වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, විරෝධතා මේ රටේ ගොඩනැගෙන්නේ නෑ කියන පදනමේ තමයි ඒගොල්ලෝ හිටියේ.
හැබැයි අද වෙනකොට දැන් ඔන්න අපි දකිනවා ඒගොල්ලන්ට - ලාල්කාන්ත මහත්තයාට, මහින්ද ජයසිංහ මහත්තයාට පොඩි කැක්කුමක් ඇවිල්ලා තියෙනවා. දැන් සමස්ත රාජ්‍ය සේවකයෝ මේ විරෝධතා බල කරමින් පාරට එද්දී, ඒ මහත්තුරු ඊයේ පෙරේදා ඉඳලා අපි දකිනවා මාධ්‍යයේ ඇවිල්ලා විවිධ වූ අදහස් පළ කරන්න පටන් අරන් තියෙනවා. ඒගොල්ලෝ මේ කියන සමස්ත කාරණයේ අවසාන කාරණය තමයි ඒගොල්ලෝ කියන්නේ මේ කැඳවන වැඩවර්ජන ඉතාම අසාධාරණයි කියන එක. එයාලා කියන්නේ මේ කැඳවන වැඩවර්ජන ඉතාම අසාධාරණයි කියලා.
හැබැයි අපි ඒ මහත්තුන්ට මතක් කරන්න කැමතියි. ලාල්කාන්ත මහත්තයෝ, මහින්ද ජයසිංහ මහත්තයෝ, 2008 අර එල්ටීටීඊ කුරිරු යුද්ධයේ අවසාන මොහොතේ, අවසාන තත්පරයේ ඔයාලා සමස්ත මහා වැඩවර්ජන කැඳෙව්වා අපිට මතකයි. ඒ විතරක් නෙමෙයි, කොරෝනා සමයේ මුළු රටම කොරෝනා වසංගතයෙන් භීතියට පත්වෙලා ඉන්න මොහොතේ අපිට මතකයි ගුරුවරු, විදුහල්පතිවරු පාරට ගෙනල්ලා ඔය කියන හිඟ වැටුප් ඉල්ලුවා. එතකොට එවැනි අභියෝගාත්මක මොහොතවල්වල තමයි ඔබතුමාලා මේ වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලුණේ.
අද අපි දකින්නේ එහෙම එකක් නෙමෙයි ඔයාලා කියන විදිහට. ඔයාලගේ ජනාධිපතිතුමා, සභානායකතුමා ඇතුළු අගමැතිතුමිය ඇතුළු මේ සමස්ත ඇමති මණ්ඩලය කියන විදිහට ගත්තොත් අද රටේ භාණ්ඩාගාරය පිරී ඉතිරී යන මොහොතකයි අපි ඉන්නේ. ඔබ කියන විදිහට - අපි දන්නේ නෑ ලෝක කම්කරු සංවිධානයෙන් එහෙම නැත්නම් ලෝක බැංකුව එහෙම නැත්නම් IMF එක කියන නිර්ණායක නෙමෙයි අපි මේ කියන්නේ, ඔවුන්ව අපි පැත්තකට දාමුකෝ - අපි විශ්වාස කරන්නේ අපේ රටේ රජය, අපේ රටේ රාජ්‍ය පාලකයෝ කියන විදිහට මේ වෙනකොට භාණ්ඩාගාරය පිරී ඉතිරී යන මොහොතකයි අපි මේ ඉන්නේ.
ඉතින් එවැනි මොහොතක තමයි ලාල්කාන්ත මහත්තයාට මතක් කරන්න ඕනා අපි මේ කියන මේ හිඟ වැටුප් ඉල්ලීම් කරන්න මේ ඉදිරියට ඇවිල්ලා ඉන්නේ. ඒක කිසි ලෙසකින්වත් අසාධාරණ ඉල්ලීමක් නෙමෙයි කියලා රටේ ජනතාවට අපි පැහැදිලි කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ලාල්කාන්ත මහත්තයාට මතක් කරන්න ඕන, ඔබතුමා ඒ දවස්වල ඔබතුමාගේ නායකත්වයෙන් තමයි මහින්ද ජයසිංහ මහත්තයාලා මෙහෙයවලා මේ ඔය කියන හිඟ වැටුප් අරගලය කළේ. ඒ දවස්වල තමයි මට මතකයි ඔබතුමා කියන්නේ, ඔබතුමාම කිව්වේ ඔබතුමාගේ නෝනා මහත්තයා ගුරුතුමියක්, එතුමියගේ වැටුප ප්‍රමාණවත් නැහැ දරුවා පන්ති යවන්න, ඒක හින්දා 'ලාල් ඔයත් මොනවාහරි කරන්න' කියලා අපේ නෝනා කියනවා කියලා ඔබම තමයි මාධ්‍යයට කිව්වේ.
හැබැයි දැන් ඔබතුමාට ඒ හිඟ වැටුප් අරගලය අමතක වෙලා. ඒක හින්දා අපි ඔබතුමාට මතක් කරනවා ඔබතුමා ගිහිල්ලා නෝනා මහත්තයාගෙන් අහන්න මේ මොකක්ද මේ ගුරුවරු විදුහල්පතිවරු ආපහු මේ කියන හිඟ වැටුප් කතන්දරේ, එහෙම ප්‍රශ්නයක් තියෙනවද කියලා. එතකොට එතුමිය ඔබතුමාට මතක් කරලා දෙයි. ඔබතුමාට ඩිමෙන්ෂියා (Dementia) කියලා ඔබතුමා කිව්වා අපිට මතකයි. එන්න ඒ ඔබතුමාට අමතක වෙලා ඇති ඇත්තටම ඒ රෝගී තත්ත්වයත් එක්ක, එතකොට එතුමිය නැවත ඔබතුමාට මතක් කරලා දෙයි එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා එතුමියත් ගුරුතුමියක් නිසා.
එතකොට ඒ වගේම තමයි මේ මහින්ද ජයසිංහ මහත්තයා අපි දැක්කා කියනවා ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා 'අපි ඔය අරගලවලට යටවෙන්නෙත් නෑ, අපි ඔය අරගලවලට නැමෙන්නෙත් නෑ' කියලා. නැමෙන්න මහින්ද ජයසිංහ මහත්තයාට කොන්දක් තියෙන්න එපැයි. කොන්දක් නැතුව නැවෙන්න විදිහක් නෑ, කොහොමත් ඔබතුමාට කොන්දක් නෑ කියලා රටේ ගුරුවරු, විදුහල්පතිවරු දන්නවා. ඒ විතරක් නෙමෙයි ඔබතුමා දැන් නිරුවතින් ඉන්නේ කියලත් මේ රටේ ගුරුවරු, විදුහල්පතිවරු දන්නවා. ඔබතුමාට දැන් කතා කරන්න කිසිදු අයිතියක් නැහැ. ඔබතුමා ඔය තුනෙන් දෙක ගැන කියද්දී මේ රටේ ගුරුවරු, විදුහල්පතිවරු පාරේ ඇවිද්දපු එකේ ආනුභාවයෙන් තමයි අද වෙනකොට කම්කරු නියෝජ්‍ය ඇමතිධූරය දරන්නේ.
එතකොට අද ඔබතුමා ඒ තනතුරට පත්වුණායින් පස්සේ ඔබතුමාගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, සටන් ක්‍රියාමාර්ග මේ සියල්ල ඔබතුමාට අමතක වෙලා, ඔබතුමා දැන් වෙනම මතයක් කියනවා 'එහෙම බෑ, එහෙම ගෙවීම් කරන්න පුළුවන්කමක් නෑ, මේ පුහුණු උපාධිධාරීන්ට තමයි ඔය කියන හිඟ වැටුප හිමිවෙන්නේ, සමස්ත ගුරුවරුන්ට නෙමෙයි' කියලා දැන් ඔබතුමා කියනවා.
ඔබතුමා එහෙමනම් අර ඔය කියන සටන් ක්‍රියාමාර්ගවලට නායකත්වය දීපු කාලේ ජෝසප් ස්ටාලින් මහත්තයත් පිටිපස්සෙන් තියාගෙන ඒ තුනෙන් එක දිනාගනිද්දී, ඔබතුමා මේ සමස්ත වැටුප් විෂමතාවයක්නේ තවදුරටත් වැඩි කරලා තියෙන්නේ, ඒ තුනෙන් එක දිනාගනිද්දී ඔබතුමා ඒ වෙලාවේ කිව්වා නම් ගුරු විදුහල්පති... සොරි, පුහුණු උපාධිධාරීන්ට විතරයි මේක කියලා, නෑ, ඒ වෙලාවේ වැටුප් වැඩි කිරීම කළේ සියලු දෙනාට. ඔබතුමා සියලු දෙනා වෙනුවෙන් තමයි ඉල්ලීම කළේ. ඒ නිසා ඔබතුමාට එහෙම කතා කරන්න සදාචාරාත්මක අයිතියක් කොහෙවත් ඉතිරිවෙලා නෑ, එක දශමයක්වත් නෑ.
හැබැයි ඔබතුමා දැන් නිරුවත් වෙලා අසරණ වෙලා ඉන්න මේ මොහොතේ ඔබතුමාට තව එක අවස්ථාවක් ලැබිලා තියෙනවා වීරයෙක් වෙන්න. මතක තියාගන්න, දෙසැම්බර් පළවෙනිදා අධ්‍යාපන වැයශීර්ෂය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගන්න මොහොතේ අපි එනවා ගුරුවරු, විදුහල්පතිවරු විදිහට පොල්දූව මංසන්ධියට, එහෙම නැත්නම් පාර්ලිමේන්තු වටරවුමට. අපි එනවා දැවැන්ත විරෝධතාවයක් සමගින්.
අන්න ඔබතුමාට අවස්ථාවක් තියෙනවා කැප්පෙටිපොළ වගේ වීරයෙක් වෙන්න. ඔබතුමාට පුළුවන් පාර්ලිමේන්තුවෙන් බැහැලා ඇවිල්ලා ඔබතුමාගේ තනතුරු අතහැරලා දාලා, අගමැතිතුමියත් අතින් අල්ලගෙන ඇවිල්ලා, අගමැතිතුමියත් අතින් අල්ලගෙන ඇවිල්ලා ඔබතුමාට පුළුවන් කැප්පෙටිපොළ වගේ අන්න තමන්ගේ රැහේ එකතු වෙන්න. තමන්ගේ රැහේ එකතු වෙලා වීරයෙක් වෙලා පෙන්නන්න ඔබතුමාට අවසාන අවස්ථාව උදාවෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඔබතුමා ඒ අවස්ථාව උදා කරගනී කියලා, අපි බොහොම බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ වගේම ඉතින් අපි මතක් කරන්න ඕනේ අධ්‍යාපන ඇමතිතුමිය ගැන. එතුමිය අපිට මතකයි ඒ දවස්වල අර එතුමිය ඇඳපු උඩුකය ඇඳුමේ පිටිපස්සේ පැත්තේ 'දේශීය ආදායමෙන් (GDP) 6%ක් අධ්‍යාපනයට වෙන් කරන්න ඕන' කියලා ගහන් හිටියා. එහෙම ඇඳුමකුත් ඇඳගෙන කාන්තාවන් සමග පාරේ ඇවිද්ද හැටි අපිට හොඳට මතකයි.
දැන් මේ වෙනකොට එතුමියට ඒවා අමතක වෙලා එතුමිය අගමැතිධූරය දරන රජයෙන් මේ වසරට වෙන් කරලා තියෙන්නේ 1.91%ක ප්‍රමාණයක් විතරයි අධ්‍යාපනය වෙනුවෙන්. ඉතින් එතුමිය හැබැයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා පහුගිය දවසක අපි ගැන... එතුමියට දැන් මේ දේශීය ආදායමෙන් වෙන් කරන්න කියපු එක මතක නෑ, 'රාජ්‍ය වියදමෙන් 12%කට ආසන්න ප්‍රමාණයක් වෙන් කරලා තියෙන්නේ අධ්‍යාපනයට' කියලා. එතකොට නිර්ණායක වෙනස් වෙලා දැන්. හැබැයි ඒකත් ගණනය කරලා බැලුවහම එතුමියගේ වැරදියි, එ්කත් 9% දශම ගානක් තියෙන්නේ. ඒක නිසා මෙන්න මෙහෙම විහිළු සපයන, විහිළු සැපයෙන ජනාධිපතිතුමාගේ ඉඳලා අගමැතිතුමියගේ ඉඳලා විහිළු සපයන පාලකයෝ ටිකක් තමයි අද වෙනකොට රටේ බිහිවෙලා ඉන්නේ. ඉතින් අපිටත් ලැජ්ජයි අපේ අධ්‍යාපන ඇමතිතුමිය විදිහට එතුමිය මේ විදිහට ගණන් ඉලක්කම් වරද්දද්දී, අධ්‍යාපන ඇමතිතුමිය ගණන් ඉලක්කම් වරද්දද්දී රටේ දරුවෝ මොනවා හිතනවා ඇද්ද ගුරුවරු, විදුහල්පතිවරු ගැන. ඔවුන්ගේ නායකත්වයට අධ්‍යාපන ඇමතිතුමිය එහෙම වෙනකොට...
ඒක නිසා අපි කියන්න කැමතියි, ඔබතුමිය ඔය වගේ විකාර විහිළු කරමින් තවදුරටත් ගුරුවරුන්ව, විදුහල්පතිවරුන්ව රවට්ටන්න හැදුවට රටේ ගුරුවරු, විදුහල්පතිවරු දැන් තවදුරටත් ඔබතුමියලට, ඔය නියෝජ්‍ය කම්කරු ඇමතිතුමාලට නවත්තන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ රටේ ගුරුවරුන්ට, මේ රටේ විදුහල්පතිවරුන්ට - එන්න දෙසැම්බර් පළවෙනිදා අධ්‍යාපන වැයශීර්ෂය සාකච්ඡාවට ගැනෙන දිනයේ පාර්ලිමේන්තු වටරවුමට, අපි මේක මහපාරේදී බේරාගමු මහින්ද ජයසිංහලත් එක්ක කියලා.
එතකොට ඒ විතරක් නෙමෙයි, මේ මහත්තුරු දැන් සමාජය තුළ මතයක් හදමින් ඉන්නවා. මට මතකයි ජනාධිපතිතුමා කියනවා විලිලජ්ජ නැතුව. එතුමා කියනවා ගුරුවරුන්ට රුපියල් 20,000 ඉඳලා 80,000 දක්වා වැටුප් වැඩිවීමක් කරලා තියෙනවා කියලා. එතකොට අපි මතක් කරන්න කැමතියි ඒ කියන එකයි... ඒ සමස්ත රාජ්‍ය සේවයට වැඩි කරපු වැටුප ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට හිමිවුණා තමයි, හැබැයි අපි මේ ඉල්ලන්නේ ඒක නෙමෙයි, 1994 ඉඳලා ගුරුවරුන්ට අහිමි කරලා තියෙන හිඟ වැටුපක් තියෙනවා අපි මේ කියන්නේ. එතකොට ඒකයි අරකයි සමාපාත කරන්න බෑ.
සහ එතුමන්ලා ඔය කියන ගණන් ඉලක්කම් සම්පූර්ණ වැරදියි. මේ රටේ සමාජය මේක දැනගන්න ඕනේ, නැත්නම් ඔවුන් වෛර කරනවා 'ඔවුන් ආර්ථික අපහසුතා මැද සිටිද්දී ගුරුවරු, විදුහල්පතිවරු, රාජ්‍ය සේවකයෝ විතරද මේ ප්‍රතිලාභ ලබන්න කතා කරන්නේ' කියලා. මතක තියාගන්න ඕනේ 3-1 ශ්‍රේණියේ ඉන්න ගුරුවරයෙකුට ඔය 2025 වැටුප් වැඩිවීම ඇතුළේ වැටුප් වැඩිවුණේ රුපියල් 16,997කින් විතරයි. රුපියල් 16,997ක විතරයි. ඒ එතුමන්ලා ගණන් හදන විදිහට, ඒ වෙනකොට ගුරුවරයාගේ අතට ලැබුණු, විදුහල්පතිවරයාගේ අතට ලැබුණු, එහෙම නැත්නම් සමස්ත රාජ්‍ය සේවකයාගේ අතට ලැබුණු දීමනාවලින් - විශේෂ දීමනාව සහ තවත් දීමනාවක් කියන රුපියල් 7,500ක් එතුමන්ලා මූලික වැටුපට එකතු කළා.
ඒකත් එක්ක ගණනය කරලා තමයි මේ මහත්තුරු මේ කියන්නේ. හැබැයි ඒක ඒ වෙනකොටත් රාජ්‍ය සේවකයෝ අතට ගත්තු මුදලක්. ඒක නිසා රුපියල් 16,997කින් විතරයි 3 ශ්‍රේණියේ ගුරුවරයාගේ වැටුප වැඩිවුණේ. එතකොට මේ වසරේ (2024) වැටුප් වැඩිවීමක් තියෙනවා කියලා එතුමන්ලා කියනවා. ඔව් තියෙනවා, රුපියල් 3500කට ආසන්න වැටුප් වැඩිවීමක් තියෙනවා 3 -1 ශ්‍රේණියේ ගුරුවරයෙකුට.
හැබැයි මේක කියෙව්වහම ජනාධිපතිතුමාගේ ඉඳන් ඒගොල්ලෝ කියන්නේ රුපියල් 20,000ත් 80,000ත් අතර ප්‍රමාණයකින් වැටුප් වැඩිවුණා කියලා. මතක තියාගන්න ඕනේ, 1 වන ශ්‍රේණියේ ගුරුවරයෙකුට සමස්ත වැටුප් වැඩිවීම රුපියල් 30,000කට ආසන්න ප්‍රමාණයක්. එතකොට වැන්දඹු අනත්දරු අර මුදල් කැපිලා එනකොට රුපියල් 30,000කට ආසන්න ප්‍රමාණයක් තමයි වැටුප් වැඩිවුණේ... අර කිව්පු රුපියල් 7,500ත් අඩු වුණාම. එතකොට ඔවුන්ට මේ වසරේ වැඩිවෙන්නේ රුපියල් 8,500කට ආසන්න ප්‍රමාණයක්.
හැබැයි ඒ අතරේ මහ බැංකු අධිපතිතුමා ඊයේ පෙරේදා ප්‍රකාශයක් කරනවා එන මාස වෙනකොට රටේ උද්ධමනය 9% හෝ 9% ඉක්මවන්න පුළුවන් කියලා. එතකොට ඒකත් එක්ක තමයි මේ රටේ ජීවන වියදම තීරණය වෙන්නේ. ඊට සමාන්තරව මේගොල්ලෝ ගහපු බදු ප්‍රමාණයක් තියෙනවා - වක්‍ර බදු සහ සෘජු බදු. මේ සියල්ල රාජ්‍ය සේවකයෙක් පිට පැටවෙනවා තමන් කන්න බොන්න යනකොට, වෙළඳපොළෙන් බඩු මිලදී ගන්නකොට. එතකොට ඒක නිසා ඒ කියන වැටුප් වැඩිවීම සහ වසර තුනකට අදාළ කරපු වැටුප් වැඩිවීම සහ ඔය කියන ජීවන වියදමේ හැසිරීම අතර පරතරය සමාන කරන්න කිසිසේත්ම බැහැ. ඒක නිසා සමස්ත රාජ්‍ය සේවකයාගේ ඉල්ලීමක් තියෙනවා.
ඔය කියන වැටුප් කොමිසමක් පිහිටුවලා තියෙනවලු. ඒ වගේ අදාළ ප්‍රතිඵල එනකන් ඒගොල්ලෝ අන්තර්කාලීන දීමනාවක් විදිහට රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලනවා. ඒ රුපියල් 25,000 වැටුප් වැඩිවීම අපි කියනවා ගුරුවරයාට, විදුහල්පතිට අදාළයි. අර හිඟ වැටුප වෙනම එකක්, මේ කියන අන්තර්කාලීන දීමනාව වෙනම එකක්. මේ දෙකම ගුරුවරයාට, විදුහල්පතිවරයාට හිමිවිය යුතු කාරණා. මොකද වසර 30ක් තිස්සේ අපි විශාල හිඟ වැටුපක් සහිතව තමයි සේවය කරමින් ඉන්නේ.
එතකොට මෙන්න මේ කාරණය රටට පැහැදිලි කිරීමේ අවශ්‍යතාවය තිබ්බා. ඉතින් අපි දකිනවා මේ අරහෙන් භාණ්ඩාගාරය උතුරද්දී මෙහෙන් “අස්වැසුම” කපනවා ලක්ෂ 14ක. එතකොට අර උද්ධමනය 9% ඉක්මවලා යන්න පුළුවන් කියලා කියනවා. අපි රාජ්‍ය සේවකයෝ විදිහට රටේ සමස්ත අනිත් ජනතාවගේ ප්‍රතිලාභ අහිමි කිරීම ගැන සතුටු වෙන්නේ නැහැ. ඒ ප්‍රතිලාභත් ඔවුන්ට ලැබෙන්න ඕන. මේ කියන විදිහට භාණ්ඩාගාරය පිරී ඉතිරී යන, මේ සංතෘප්තිමත් ආර්ථිකයක් සහිත මොහොතක අපේ අර හිඟ වැටුපත් අපිට ලැබෙන්න ඕන. ඒක තමයි අපේ ඉල්ලීම. ඒක නිසා ලාල්කාන්ත මහත්තයාට දැන් කියන්න දෙයක් නැහැ, මහින්ද ජයසිංහ මහත්තයාට කෙඳිරිගාන්න දෙයක් නැහැ.
මේ මොහොත ඔයාලා කියන විදිහට මේ රටේ ආර්ථිකය බොහොම ප්‍රකෘතිමත් වෙච්ච අවස්ථාවක්. අන්න ඒ මොහොතේ මහා භාණ්ඩාගාරය පිරී ඉතිරී යනවා කිය කිය හිටියට වැඩක් නැහැ, ඒ ප්‍රතිලාභ රටේ රාජ්‍ය සේවයේ ඉන්න මිනිස්සුන්ට, අනිත් එක සාමාන්‍ය ජනතාවට, මේ සියලු දෙනාට ඒ ප්‍රතිලාභ ලැබිය යුතුයි. ඒ ප්‍රතිලාභ හිමි කරලා දෙන්න කියලා තමයි මේ අපි කියන්නේ.
ඒක නිසා අපි නැවත මතක් කරනවා මේ රටේ හෙට දිනේ, එහෙම නැත්නම් හෙට සඳුදා දින (නොවැම්බර් 23 වෙනිදා) සමස්ත රාජ්‍ය සේවකයෝ කැඳවලා තියෙනවා සංකේත වැඩවර්ජනයක්. එතකොට ඒකට ගුරුවරු, විදුහල්පතිවරු අපි පූර්ණ සහයෝගය පළ කරනවා. අපි කළු ඇඳුමින් සැරසිලා එහෙම නැත්නම් විරෝධය පළකිරීමට කළු පටියක් බැඳගෙන හෙට දිනේ පාසල් කරා පැමිණෙනවා.
ඒ විතරක් නෙමෙයි, 30 වෙනිදා සමස්ත රාජ්‍ය සේවකයෝ කැඳවලා තියෙනවා ලෙඩ නිවාඩු දැමීමේ වැඩසටහනක්, විරෝධතාවයක්. ඒකටත් සමස්ත ගුරුවරු, විදුහල්පතිවරු පූර්ණ දායකත්වය දක්වනවා. 30 වෙනිදා වැඩසටහනට අපේ පූර්ණ දායකත්වය සපයනවා.
ඒ විතරක් නෙමෙයි, අපි දෙසැම්බර් පළවෙනිදා ගුරුවරු, විදුහල්පතිවරු විදිහට අපිට සුවිශේෂී වූ මේ හිඟ වැටුප් දීමනාව වෙනුවෙන් එනවා පොල්දූව මංසන්ධියට. අන්න ඒ මොහොතට අපි නැවත ආරාධනා කරනවා මහින්ද ජයසිංහ මහත්තයාට ඇවිල්ලා රැලේ උන් එක්කලා, අර ඔබේ සටන් ක්‍රියාමාර්ගවලට ගිහිල්ලා අපි මේ ඉල්ලීම් ටික, ඔබ චිරාත් කාලයක් නියෝජනය කරපු මේ ඉල්ලීම දිනලා දෙන්න කටයුතු කරයි කියලා අපි මහින්ද ජයසිංහ මහත්තයාගෙන් බලාපොරොත්තු වෙනවා.
එහෙමනම් නැවතත් අපේ රටේ ආදරණීය ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, මේ අපිට හිමි මේ වැටුප් විෂමතාවය ඉවත් කර ගැනීමෙන් සමස්ත ගුරු සංගම් එකතු වෙලා තෝරලා තියෙන මේ දෙසැම්බර් පළවෙනිදා විරෝධතා ව්‍යාපාරයට එක්වෙන්න කියලා ඉතාම ආදරයෙන් ඉල්ලීම් කරමින් ජාතික ගුරු ව්‍යාපාරය විදිහට අපි නවතිනවා. බොහොම ස්තූතියි!"
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ පිළිතුරු
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය: "දැන් ඔබතුමාලා අපි දකිනවා මේ ගුරුවරු විවිධ තැන්වල විවිධ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් විවිධ ආකාරයෙන් තැනින් තැන විවිධ උද්ඝෝෂණ, විරෝධතා පවත්වනවා. එතකොට මේකෙන් හිතෙන්නේ නැද්ද මේ ව්‍යාපාරය බෙදී වෙන්වෙනවා, එහෙම නැත්නම් මේක විසිරිලා යනවා එක එක තැනකට එකතු වෙන්නේ නැතුව?"
සඳුන් බණ්ඩාර බෝදරගම මහතාගේ පිළිතුර: "ඔව්, ඇත්තටම ඔබතුමා අහන එක හරි. මේ වෙනකොට අපිත් දකිනවා ගුරු විදුහල්පති මේ කියන සටන ඇතුළේ කඳවුරු තුනක් විදිහට තමයි මේ සටන් ක්‍රියාමාර්ග තෝරලා තියෙන්නේ. සමහරු 23 වෙනිදා සටන් ක්‍රියාමාර්ගය ප්‍රමුඛ කරනවා. සමහරු 30 වෙනිදා සටන් ක්‍රියාමාර්ගය ප්‍රමුඛ කරනවා. සමහරු දෙසැම්බර් පළවෙනිදා සටන් ක්‍රියාමාර්ගය ප්‍රමුඛ කරගෙන තියෙනවා. අපි ජාතික ගුරු ව්‍යාපාරය විදිහට අපි විශ්වාස කරන්නේ මේ සියලු දෙනාගේ අරමුණ එකක්. ඒක නිසා මේ තෝරලා තියෙන සියලු සටන් ක්‍රියාමාර්ග වෙනුවෙන් ජාතික ගුරු ව්‍යාපාරය විදිහට අපේ පූර්ණ සහයෝගය පළ කරන්න අපි තීරණය කරලා තියෙනවා. ඒක තමයි අපි අද දවසේ ප්‍රකාශයට පත් කරන්නේ. මොකද මේ කියන විදිහට කඳවුරු බෙදීම මේ කියන සටනට අවාසියක් කියලා අපි තේරුම් අරන් තියෙනවා. ඒක නිසා තමයි අපි මේ දක්වා අපිත් එක්ක සටන් කරපු මහින්ද ජයසිංහ මහත්තයාටත් නැවත ආරාධනා කළේ මේ සටනට එකතු වෙන්න කියලා."
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය: "අපි දැක්කා මේ පොල්දූව මංසන්ධියේ දැන් ලිප්ටන් වටරවුම වගේ රැස්වීම් තියෙනවා, විරෝධතා තියෙනවා. ඒ වගේම ටික වෙලාවක් ගිහිල්ලා අකුලාගෙන යනවා. අපි කිව්වොත් එහෙම මේ ගුරු ව්‍යාපාරයත් ඒ වගේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරනවා කියලා, ඔබ මොකද කියන්නේ?"
සඳුන් බණ්ඩාර බෝදරගම මහතාගේ පිළිතුර: "දෙසැම්බර් 01 ඒ ක්‍රියාමාර්ගය ඉතා පැහැදිලිව අපි කියන්න කැමතියි ඒක ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් නෙමෙයි. අපි සුදුසුම තැන තේරුවා. මොකද දෙසැම්බර් පළවෙනිදා තමයි අධ්‍යාපන වැයශීර්ෂය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක්වන දිනය. ඒ නිසා තමයි අපි පාර්ලිමේන්තු වටරවුම තෝරලා තියෙන්නේ. ඉතින් අපි ගුරුවරු විදිහට, විදුහල්පතිවරු විදිහට අපි පාර්ලිමේන්තුවට පිවිසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිහිපත් කරන්න... සමහර වෙලාවට ඔවුන්ගේ ගුරුවරුත් මේ ගොඩේ ඉන්න පුළුවන්, ඔවුන්ට උගන්වපු ගුරුවරුත්. ඒක නිසා තමයි අපි සුදුසුම තැන විදිහට පාර්ලිමේන්තු වටරවුම තෝරලා තියෙන්නේ.
හැබැයි ඔබතුමා කිව්වා ඔය... සමහර ක්‍රියාමාර්ග ඇතුළේ අපි දකිනවා සමහරක් වෙලාවට ආණ්ඩුවත් එක්ක හිටගත්තු, ආණ්ඩුවත් එක්ක එකට හිටගත්තු වෘත්තීය සමිති, සමහරක් ගුරු-විදුහල්පති සංගම් සමහරක් ඔය 30 වෙනිදා ක්‍රියාමාර්ගය තෝරලා තියෙනවා. අපි ජාතික ගුරු ව්‍යාපාරය විදිහට හදවතින් ඒකට සහයෝගය දෙනවා. හැබැයි අපි දකින්නේ අපිට කනින් කොනින් එන තොරතුරු විදිහට, ඒ 30 වෙනිදා ක්‍රියාමාර්ගය අඩපණ වෙන්න සලස්වලා මේ සටන අහෝසි කරන්න, මේ සටන දියාරු කරන්න ඔවුන් කටයුතු කරනවා කියලා අපිට තොරතුරු ලැබෙමින් තියෙනවා. ඒ හින්දා අපි කරුණාකරලා ඒගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරනවා ඔබ ප්‍රකාශයට පත් කරපු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වෙනුවෙන් ඔබ ප්‍රබලව මැදිහත් වෙන්න, ඔබ සංවිධානය කරන්න. ජාතික ගුරු ව්‍යාපාරය විදිහට අපෙත් පූර්ණ සහයෝගය අපේ ශක්ති මට්ටමෙන් අපි ඒකට දෙන්න සූදානම් කියන කාරණය අපි පැහැදිලිව ප්‍රකාශයට පත් කරනවා. බොහොම ස්තූතියි!”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ලංකාවේ ඊශ්‍රායල මොසාඩ් ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකියි.. - මුජිබර් රහුමාන්
කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කම්කරු සටන් ඉදිරියේ නිරුවතින්.. ලාල් කාන්තට ඩිමෙන්ෂියා නිසා පොරොන්දු අමතකයි.. - ජාතික ගුරු ව්‍යාපාරය
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි..
ජෙන්සන් හුවාං යළිත් Nvidia මුල් පුටුවට.. කොටස් වෙළඳපොළ ඩොලර් ට්‍රිලියනයකින් ඉහළට..
ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට..
භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දොරවල් වසාගෙන සෑදූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලසුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණ රැසක්..
බක්මීටියාව රක්ෂිතයෙන් අක්කර 1,100ක් අනවසර වගාකරුවන්ට බෙදාදීමේ සූදානමක්..- පරිසරවේදීගෙන් විරෝධය..
ප්රභාකරන්ගේ නිවෙස බලන්න ඉන්දීය මන්ත්‍රී යයි.. - තමන්ගේ සම්බන්ධයක් නැති බව ඉන්දීය මහකොමසාරිස් කියයි..
"ආර්ථික වර්ධනයට නිශ්චිත ඉලක්කයක් නැහැ.. මහ බැංකුවේ ප්‍රධාන අරමුණ උද්ධමනය පාලනය කිරීමයි" - මහ බැංකු අධිපති කියයි
හොර පාස්පෝට් සම්බන්ධයෙන් වටගලට, වරුණ ගෙන් අනතුරු ඇඟවීමක්.. පවුල් පිටින් හොර පාස්පෝට් හැදූ අය ගැන හොයන්නත් කියයි..
"තමන්ගේ පක්ෂයට හරවගන්න බැරි හාමුදුරුවන්ට ආණ්ඩුව දොස් කියනවා.. සංස්කෘතිය, ආගම රැකගන්න යනකොට ජාතිවාදයක් කියල කියනවා.." - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
ලෝක බලවතුන් තිදෙනාගේ එකඟතා මැද යුද ගැටුම් නව වටයකින් ඇවිළීමේ අවදානමක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
කිසිම සභාපති කෙනෙක් මෙහෙම පඩියක් අරගෙන නෑ.. - ජනපති අනුරගේ පරණ මිත්‍රයා උවිඳු, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිගේ පඩිය ගැන කියන කතාව..
2024 බිලියන 141ක් ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2025 බිලියන 38.74ක් පාඩු ලබයි.. 2023 දීත් බිලියන 57ක් ලාභ ලබලා..
2027 අයවැය දෙවැනිවර කියවීම සම්මතයි - පක්ෂව 157.. විපක්ෂව 60යි..
ෂෙන්ෂෙන් බලවතුන්ගේ හමුව ලෝකය බෙදාගැනීමට ද?.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්