යේමනය නව සන්ධිස්ථානයක: හූතිවරු, අධිරාජ්‍ය විරෝධී ප්‍රතිරෝධය සහ ඇමරිකානු ආධිපත්‍යයට එල්ල වන අභියෝගය හූතිවරුන්ගේ ඉදිරි ගමන, බාබ් අල්-මන්දබ් අරගලය සහ මැදපෙරදිග බල තුලනයේ වෙනස්වීම
යේමනය නැවතත් මැදපෙරදිග කලාපයේ වැදගත්ම භූ-දේශපාලනික සටන් භූමිවලින් එකක් බවට පත්ව තිබේ. හූති ව්‍යාපාරය වන අන්සාර් අල්ලාහ්ගේ වේගවත් ඉදිරි ගමන, යේමනයේ රතු මුහුදු වෙරළ ඔස්සේ සිදුවෙමින් පවතින අතර, උපායමාර්ගික වරාය නගරයක් වන අල්-මකා (මෝකා) අත්පත් කර ගැනීම සහ බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය ආසන්න දූපතක් අත්පත් කර ගැනීම ඇතුළුව සිදුව ඇති මෙම වර්ධනයන් කලාපීය බල තුලනය නාටකාකාර ලෙස වෙනස් කර තිබේ.
මෙම වර්ධනය සිදුවන්නේ එක්සත් ජනපදය, ඉරානය, ඊශ්‍රායලය, සෞදි අරාබිය සහ අනෙකුත් කලාපීය පාර්ශ්ව සම්බන්ධ වන වඩාත් පුළුල් ගැටුමක පසුබිමක් තුළය. එමෙන්ම එය දැනටමත් විනාශකාරී මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින යේමනය තවත් ගැඹුරු ව්‍යසනයකට ඇද දැමීමේ අවදානමක් ද ඇති කරයි.
එහෙත් හූතිවරුන් ජාත්‍යන්තර නාවික ගමනාගමනයට තර්ජනය කරන “ඉරාන සහාය ලබන කැරලිකාර කණ්ඩායමක්” ලෙස පමණක් විස්තර කිරීමෙන් යේමනයේ සිදුවීම් ප්‍රමාණවත් ලෙස අවබෝධ කරගත නොහැක.
එවැනි පටු විග්‍රහයකින් හූති ව්‍යාපාරයේ ඓතිහාසික මූලාරම්භය, 2015දී ආරම්භ වූ සෞදි නායකත්වයෙන් යුත් මැදිහත්වීම, එම මැදිහත්වීමට බටහිර රටවලින් ලැබුණු හමුදා සහාය, පලස්තීන ප්‍රශ්නය, හූතිවරුන්ගේම දෘෂ්ටිවාදාත්මක වර්ධනය සහ යේමනය විනාශ කර ඇති ගැඹුරු සමාජ හා ආර්ථික අර්බුදය යන කරුණු මගහැරේ.
අධිරාජ්‍ය විරෝධී දෘෂ්ටිකෝණයකින් බලන විට, වර්තමාන ගැටුම යේමනයේ ස්වෛරීභාවය, කලාපීය ස්වාධීනත්වය, උපායමාර්ගික සාගර මාර්ග පාලනය සහ මැදපෙරදිග තුළ අඛණ්ඩව පවතින එක්සත් ජනපද නායකත්වයෙන් යුත් ආරක්ෂක පද්ධතියේ ආධිපත්‍යය පිළිබඳ පුළුල් අරගලයක කොටසක් ලෙස දැකිය හැකිය.
ඒ සමඟම, හූති පාලනයේම බරපතළ ආර්ථික, දේශපාලනික සහ මානුෂීය ප්‍රතිවිපාක නොසලකා හැරිය නොහැක. එබැවින් යථාර්ථය බටහිර ආඛ්‍යානය වන හූතිවරුන් හුදෙක් ඉරාන ප්‍රොක්සිවරුන් ලෙස දැක්වීම හෝ ඔවුන් සම්පූර්ණයෙන්ම විමුක්තිකාමී ව්‍යාපාරයක් ලෙස විවේචනයකින් තොරව ඉදිරිපත් කිරීම යන දෙකටම වඩා සංකීර්ණය.
යේමනයේ නව සන්ධිස්ථානයක්
නවතම උත්සන්න වීම 2022 එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් ඇති කළ සටන් විරාමයෙන් පසු සිදු වූ බරපතළම සටන් තත්ත්වය නියෝජනය කරයි.
නවතම වාර්තාවලට අනුව හූති හමුදා යේමනයේ බටහිර වෙරළ තීරය ඔස්සේ වේගයෙන් ඉදිරියට ගොස් මෝකා අත්පත් කරගෙන, බාබ් අල්-මන්දබ් ප්‍රදේශය දෙසට තල්ලු වී, පෙරිම්/මයුන් දූපතේ පාලනය ද ලබාගෙන තිබේ. රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර ඇත්තේ මෙම ඉදිරි ගමන කලාපීය බල තුලනයේ ප්‍රධාන වෙනසක් බවයි. එයට හේතුව එමගින් උපායමාර්ගික සාගර සන්ධිස්ථානයට හූතිවරුන් සැලකිය යුතු ලෙස සමීප වීමයි.
සැප්තැම්බර් 14 දින ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කළේ රතු මුහුදු වෙරළ ඔස්සේ සටන් උත්සන්න වීමත් සමඟ සැප්තැම්බර් මස ආරම්භයේ සිට 82,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි.
රජයේ මූලාශ්‍ර ප්‍රකාශ කර ඇත්තේ මෑත සටන්වලදී රජයේ හමුදා සාමාජිකයන් 500කට වැඩි පිරිසක් සහ හූති සටන්කරුවන් 1,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.කෙසේ වුවද මෙම මරණ සංඛ්‍යා ගැටුමේ පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ ප්‍රකාශ වන අතර ඒවා ස්වාධීනව තහවුරු කර නොමැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානුෂීය සංවිධාන පූර්ණ පරිමාණ යුද්ධයකට නැවත පැමිණීමේ අවදානම පිළිබඳ අනතුරු අඟවා තිබේ. යේමනයේ ජනතාව සඳහා මෙය හුදෙක් වියුක්ත භූ-දේශපාලනික තරගයක් නොවේ. මිලියන ගණනක් ජනතාව දැනටමත් සාගින්න, අවතැන් වීම, විනාශ වූ යටිතල පහසුකම් සහ කඩා වැටුණු ආර්ථිකයක් සමඟ ජීවත් වෙති.
හූතිවරු කවුද?
හූති ව්‍යාපාරය ටෙහෙරානයෙන් ආරම්භ වූවක් නොවේ. අන්සාර් අල්ලාහ් ව්‍යාපාරය උතුරු යේමනයේ සයිදි පුනර්ජීවන ව්‍යාපාරය ඇතුළු යේමනයේම දේශපාලනික හා ආගමික පරිසරයෙන් මතු විය. එහි මූලයන් වර්තමාන කලාපීය ගැටුමට වසර ගණනාවකට පෙර පැවති 2004–2010 සආදා ගැටුම් දක්වා දිව යයි.
ව්‍යාපාරයේ දෘෂ්ටිවාදය අංග කිහිපයක් ඒකාබද්ධ කරයි. එනම්, යේමන ජාතිකවාදය,සයිදි ආගමික අනන්‍යතාව,එක්සත් ජනපද බලපෑමට විරෝධය,ඊශ්‍රායලයට දක්වන විරෝධය,සෞදි මැදිහත්වීමට දක්වන විරෝධය,අධිරාජ්‍ය විරෝධී ආස්ථානය සහ පලස්තීන නිදහස් අරගලයට දක්වන සහාය යන කරුණු මත ක්‍රියාත්මක වේ.
පසුව ඉරානය වැදගත් දේශපාලනික, මූල්‍ය සහ හමුදා සහාය මූලාශ්‍රයක් බවට පත්විය. එහෙත් ඉරාන සහාය පැවතීම පමණින් හූතිවරුන් හුදෙක් ඉරානය විසින් නිර්මාණය කළ ව්‍යාපාරයක් බව අදහස් නොවේ. Middle East Research and Information Project ජ'නලයේ අන්සාර් අල්ලාහ් පිළිබඳ විශ්ලේෂණය මඟින් ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම ඉරාන ප්‍රොක්සියක් ලෙස ලඝු කර දැක්වීම වෙනුවට එහිම දේශපාලනික ක්‍රියාකාරීත්වය හඳුනාගැනීමේ වැදගත්කම අවධාරණය කරයි. යේමනය අවබෝධ කර ගැනීමේදී මෙම වෙනස අත්‍යවශ්‍යය. සමාජ ව්‍යාපාරයකට ප්‍රධාන කලාපීය බලවතෙකු සමඟ සන්ධානයක් පවත්වාගෙන යන අතරම තමන්ගේම ජාතික සහ දෘෂ්ටිවාදාත්මක අරමුණු අනුගමනය කළ හැකිය.
අධිරාජ්‍ය විරෝධී මානය
හූතිවරුන්ගේ දේශපාලන කතිකාව තුළ සෑම විටම ප්‍රබල ඇමරිකානු විරෝධී සහ ඊශ්‍රායල විරෝධී අංගයක් අන්තර්ගත වී ඇත. ඔවුන්ගේ සටන් පාඨ සහ දේශපාලනික වාග්මාලාව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විදේශීය ආධිපත්‍යයේ මූලික මූලාශ්‍ර ලෙස හඳුන්වා දෙයි. ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු මෙම දෘෂ්ටිවාදය නාටකාකාර ලෙස තීව්‍ර විය.
හූතිවරු ඊශ්‍රායලය හා සම්බන්ධ නෞකා වෙත ප්‍රහාර එල්ල කිරීම සහ ඊශ්‍රායලය දෙසට මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ විට, ඔවුන් තම ක්‍රියාමාර්ග පලස්තීන ජනතාවට සහාය දැක්වීමක් ලෙස ඉදිරිපත් කළහ.
හූති දෘෂ්ටිකෝණයෙන් බලන විට, යේමනයේ භූගෝලීය පිහිටීම මඟින් ඊශ්‍රායලයට සහ එහි සහායකයන්ට දේශපාලනික හා ආර්ථික පිරිවැයක් පැටවීමට සුවිශේෂී හැකියාවක් ලබා දෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස රතු මුහුද පලස්තීන අරගලයේ නව පෙරමුණක් බවට පත්විය. බොහෝ අරාබි ආණ්ඩු ඊශ්‍රායලයට එරෙහි යුද්ධයට සෘජුව සම්බන්ධ වී නොමැති බැවින් මෙය විශේෂයෙන් වැදගත්ය.
එබැවින් පලස්තීනය සඳහා අරාබි සහ ගෝලීය දකුණු ජනතාව අතර පැතිර ඇති පුළුල් මහජන සහාය සහ අරාබි ආණ්ඩුවල සීමිත සෘජු හමුදා ප්‍රතිචාරය අතර ඇති හිඩැස මඟින් නිර්මාණය වූ දේශපාලනික අවකාශයක් පිරවීමට හූතිවරු උත්සාහ කර තිබේ. keneku හූතිවරුන්ගේ දේශපාලනික ප්‍රකාශ පිළිගන්නේද නැද්ද යන්න නොසලකා, ඔවුන්ගේ මැදිහත්වීම කලාපීය දේශපාලන සමීකරණය වෙනස් කර තිබේය යන්න පිළිගැනීමට සිදුවේ.
අමතක කළ සෞදි යුද්ධය
හූති හමුදා ක්‍රියාකාරකම් පිළිබඳ ඕනෑම බරපතළ සාකච්ඡාවක් පුළුල් යුද්ධයේ මූලාරම්භය ද පරීක්ෂා කළ යුතුය. 2015 මාර්තු මාසයේදී, හූතිවරු සනා අත්පත් කර ගැනීමෙන් පසු ජාත්‍යන්තරව පිළිගත් රජය යළි ස්ථාපිත කිරීම අරමුණු කරගත් සන්ධානයක නායකත්වය දරමින් සෞදි අරාබිය යේමනයට හමුදා මැදිහත්වීමක් ආරම්භ කළේය.මෙම මැදිහත්වීමට එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල් හමුදා සහ සැපයුම් සහාය ලබා දුන්හ. යේමනය ඒ වන විටත් අරාබි අර්ධද්වීපයේ දුප්පත්ම රට විය.
එහි ප්‍රතිඵලය වූයේ ලෝකයේ ධනවත්ම තෙල් නිෂ්පාදන රාජ්‍යයකින් එකක් ලෝකයේ දුප්පත්ම රටකින් එකකට හමුදාමය වශයෙන් මැදිහත් වූ විනාශකාරී ගැටුමකි.
ගුවන් ප්‍රහාර, අවහිර කිරීමේ තත්ත්වයන්, ආර්ථික ඛණ්ඩනය සහ යටිතල පහසුකම් විනාශ කිරීම ලෝකයේ දරුණුතම මානුෂීය අර්බුදවලින් එකක් බවට පත්වූ තත්ත්වයට දායක විය.
හූතිවරුන් මෙතරම් ප්‍රබල සෞදි විරෝධී සහ ඇමරිකානු විරෝධී දේශපාලනික කතිකාවක් වර්ධනය කළේ ඇයිද යන්න අවබෝධ කර ගැනීම සඳහා මෙම ඉතිහාසය දැන ගැනීම අත්‍යවශ්‍යය.
යේමනයේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම
යේමනයේ වැදගත්කම බොහෝ දුරට තීරණය වන්නේ එහි භූගෝලීය පිහිටීම මගිනි.එය පහත සඳහන් ප්‍රදේශ එකිනෙකට සම්බන්ධ වන ස්ථානයක පිහිටා ඇත. එනම්, රතු මුහුද,ඒඩන් බොක්ක,අරාබි අර්ධද්වීපය,නැගෙනහිර අප්‍රිකාව,ඉන්දියානු සාගරය,සූවස් ඇළ වෙළෙඳ මාර්ගය සහ මැදපෙරදිග ආසියාව හා යුරෝපය සමඟ සම්බන්ධ කරන සාගර බලශක්ති මාර්ග වන්නේය. රතු මුහුදේ පිවිසුමේ පිහිටා ඇත්තේ ලෝකයේ වැදගත්ම සාගර සන්ධිස්ථානවලින් එකක් වන බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියයි. එබැවින් හූතිවරුන්ගේ ඉදිරි ගමනට අත්පත් කරගත් ප්‍රදේශයට වඩා බොහෝ පුළුල් වැදගත්කමක් තිබේ.
බටහිර වෙරළ තීරය පාලනය කිරීම හෝ එය කෙරෙහි ඵලදායී හමුදා බලපෑමක් පවත්වා ගැනීම මඟින් ලෝකයේ ප්‍රධාන වාණිජ ධමනිවලින් එකක් කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාව ව්‍යාපාරයට ලැබේ. රොයිටර්ස් පුවත් සේවය වර්තමාන හූති ස්ථානගත වීම ප්‍රධාන උපායමාර්ගික වර්ධනයක් ලෙස විස්තර කර ඇති අතර, එයට හේතුව එමඟින් නෞකා සඳහා තර්ජනය කිරීමේ හැකියාව වැඩිවීම සහ ගල්ෆ් රාජ්‍යයන් වෙත අමතර පීඩනයක් එල්ල වීමයි.
ප්‍රතිරෝධයේ සිට සාගර බලය දක්වා
හූතිවරු ක්‍රමයෙන් තම භූගෝලීය පිහිටීම උපායමාර්ගික බලපෑමක් බවට පරිවර්තනය කර තිබේ. 2023 සිට මෙම ව්‍යාපාරය රතු මුහුදේ වාණිජ නෞකා වෙත ප්‍රහාර එල්ල කර හෝ තර්ජනය කර ඇති අතර, මුලදී එම මෙහෙයුම ගාසා සම්බන්ධයෙන් ඊශ්‍රායලයට පීඩනයක් එල්ල කිරීමේ උත්සාහයක් ලෙස ඉදිරිපත් කළේය.
නවතම භූමි ප්‍රදේශ අත්පත් කර ගැනීම් මගින් එම සාගර හැකියාව නිර්මාණය කිරීම වෙනුවට එය තවදුරටත් තහවුරු කරනු ලබ තිබේ. අල් ජසීරා විශ්ලේෂණයට අනුව හූතිවරුන් වසර ගණනාවක් තිස්සේ නාවික ගමනාගමනය කඩාකප්පල් කිරීමේ හැකියාවෙන් යුතුව සිටි අතර, නව භූමි ජයග්‍රහණ ඔවුන්ගේ එම බලය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ශක්තිමත් කරන අතර ජාත්‍යන්තරව පිළිගත් යේමන රජයේ දුර්වලතාවද හෙළි කරයි. 2026 අගෝස්තු මාසයේදී හුදයිදාහි හූති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් රතු මුහුදේ නාවික ගමනාගමනය සම්බන්ධයෙන් නව උපදෙස් නිකුත් කරමින්, එහි ආරක්ෂිත ගමන් සේවාව ස්වේච්ඡා සහ නොමිලේ බවත්, අවසර නොලත් පාර්ශ්ව සමඟ නෞකා පිළිබඳ තොරතුරු බෙදා නොගන්නා ලෙසත් නාවික සමාගම්වලින් ඉල්ලා සිටියේය. සනා කේන්ද්‍රය මෙම වර්ධනයන් අර්ථ දක්වා ඇත්තේ රතු මුහුදේ සාගර ආරක්ෂාව පාලනය කරන නව අධිකාරියක් ලෙස තමන්ව ස්ථාපිත කිරීමට හූතිවරු උත්සාහ කරන බවට සාක්ෂි ලෙසය.මෙය ගැඹුරු වර්ධනයකි. ප්‍රශ්නය තවදුරටත් හූතිවරුන්ට නෞකා වෙත ප්‍රහාර එල්ල කළ හැකිද යන්න පමණක් නොවේ.ප්‍රශ්නය වන්නේ රාජ්‍ය නොවන ව්‍යාපාරයකට උපායමාර්ගික වශයෙන් අතිශය වැදගත් ජාත්‍යන්තර ජල මාර්ගයක් සම්බන්ධයෙන් විකල්ප ආරක්ෂක අධිකාරියක් ලෙස ස්ථාපිත විය හැකිද යන්නයි.
ඇමරිකානු ආධිපත්‍යයට එල්ල වන අභියෝගය
යේමන අර්බුදය ගෝලීය වැදගත්කමක් ලබා ගන්නේ මෙහිදීය. දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපදය මැදපෙරදිග නාවික ගමනාගමනයේ නිදහස සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන සහතිකකරු ලෙස තමන්ව ඉදිරිපත් කර තිබේ. ඇමරිකානු නාවික බලය, හමුදා කඳවුරු, බුද්ධි ජාල සහ සෞදි අරාබිය, ඊශ්‍රායලය සහ අනෙකුත් කලාපීය ආණ්ඩු සමඟ ඇති සන්ධාන මෙම පද්ධතියේ මූලික කුළුණු බවට පත්ව තිබේ. හූති අභියෝගය මෙම පද්ධතියේ සීමාවන් හෙළි කරයි.
ලෝකයේ දුප්පත්ම රටවලින් එකක සිට ක්‍රියාත්මක වන ව්‍යාපාරයකට වාණිජ නෞකා වෙත තර්ජනය කිරීමට, රක්ෂණ සහ ප්‍රවාහන පිරිවැය ඉහළ නැංවීමට සහ සාගර මාර්ග ආරක්ෂා කිරීම සඳහා සැලකිය යුතු හමුදා සම්පත් වෙන් කිරීමට එක්සත් ජනපදයට සහ එහි සන්ධානකරුවන්ට බල කිරීමට හැකි වී තිබේ. ප්‍රශ්නය වන්නේ හූතිවරුන්ට එක්සත් ජනපදයට වඩා වැඩි හමුදා බලයක් තිබේද යන්න නොවේ. පැහැදිලිවම ඔවුන්ට එසේ නොමැත.වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ අතිවිශාල හමුදාමය උසස්භාවයකට දේශපාලන පාලනය සහතික කළ හැකිද යන්නයි. යේමනයෙන් පෙනී යන්නේ එය කළ නොහැකි බවයි.
හමුදා ආධිපත්‍යය දේශපාලන ආධිපත්‍යය නොවේ
එක්සත් ජනපදයට අතිවිශාල හමුදා වාසි ඇත. ඒවා අතර ගුවන් යානා ප්‍රවාහන නෞකා, දියුණු ගුවන් යානා, නිරවද්‍ය අවි, චන්ද්‍රිකා, බුද්ධි පද්ධති සහ පුළුල් හමුදා කඳවුරු හා සන්ධාන ජාලයක් තිබේ. එහෙත් හමුදාමය උසස්භාවය ප්‍රතිරෝධය ඇති කරන දේශපාලනික තත්ත්වයන් ස්වයංක්‍රීයව ඉවත් නොකරයි.
මෙය සීතල යුද්ධයෙන් පසු මැදපෙරදිග ඉතිහාසයේ මූලික පාඩම්වලින් එකකි. ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව සහ වෙනත් ස්ථානවල ඇමරිකානු හමුදා මැදිහත්වීම් අතිවිශිෂ්ට විනාශකාරී හැකියාවක් පෙන්නුම් කළ නමුත්, වොෂින්ටනයේ මුල් අරමුණු සමඟ ගැළපෙන ස්ථාවර දේශපාලන විසඳුම් නිර්මාණය කිරීමට හමුදා මැදිහත්වීම් නැවත නැවතත් අසමත් විය. යේමනය එම ගැටලුවේ තවත් ආකාරයක් ඉදිරිපත් කරයි. එක්සත් ජනපදයට හමුදා යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කළ හැකිය. එහෙත් අන්සාර් අල්ලාහ් පවත්වාගෙන යන දේශපාලනික අසහනය, ජාතිකවාදී හැඟීම් සහ දෘෂ්ටිවාදාත්මක අභිප්‍රේරණ පහසුවෙන් විනාශ කළ නොහැක. මෙය හමුදා බලය සහ ආධිපත්‍යය අතර වැදගත් වෙනසක් නිර්මාණය කරයි. ආධිපත්‍යය සඳහා සතුරෙකු විනාශ කිරීමේ හැකියාව පමණක් නොව, නීති ස්ථාපිත කිරීම, සන්ධාන පවත්වා ගැනීම, දේශපාලන ප්‍රතිඵල හැඩගැස්වීම සහ පවතින පද්ධතිය නීත්‍යානුකූල හා තිරසාර බව අනෙකුත් රාජ්‍යයන්ට ඒත්තු ගැන්වීමේ හැකියාවද අවශ්‍ය වේ. යේමන අර්බුදය මෙම උපකල්පනය වඩ වඩාත් ප්‍රශ්න කරමින් සිටී.
ආධිපත්‍යයේ ආර්ථික පිරිවැය
ගෝලීය ආරක්ෂක පද්ධතියක් පවත්වාගෙන යාමට ආර්ථික පිරිවැයක්ද තිබේ.ගෝලීය ධනවාදය රඳා පවතින සාගර මාර්ග ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදයට සහ එහි සන්ධානකරුවන්ට හමුදා සම්පත් යෙදවීමට සිදුවේ. එම මාර්ග වඩාත් අවදානම් සහගත වන තරමට ආරක්ෂක පද්ධතිය වඩාත් මිල අධික වේ. රතු මුහුද විශේෂයෙන් වැදගත් වන්නේ එය සූවස් ඇළ හරහා ආසියානු නිෂ්පාදන මධ්‍යස්ථාන යුරෝපීය වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කරන බැවිනි. නෞකා රතු මුහුද මඟහැර කේප් ඔෆ් ගුඩ් හෝප් වටා ගමන් කිරීමට බල කෙරුණහොත්, ගමන් කාලය සැලකිය යුතු ලෙස දිගු වන අතර ඉන්ධන, රක්ෂණ සහ භාණ්ඩ ප්‍රවාහන පිරිවැය ඉහළ යයි. එහි ප්‍රතිවිපාක අවසානයේ ඉහළ මිල ගණන් හරහා පාරිභෝගිකයන් වෙත පැමිණේ. අර්බුදය දැන් බලශක්ති අංශයටද ගමන් කර තිබේ.
සෞදි East-West තෙල් නළ මාර්ගය, රතු මුහුදේ යන්බු වරාය දක්වා ආසන්න වශයෙන් කිලෝමීටර් 1,200ක් දිගින් යුක්ත වන අතර, දිනකට ආසන්න වශයෙන් තෙල් බැරල් මිලියන 4ක ධාරිතාවක් ඇත. එය ගෝලීය තෙල් සැපයුමෙන් ආසන්න වශයෙන් සියයට 4කට සමාන වේ. The Guardian විසින් සමාලෝචනය කරන ලද චන්ද්‍රිකා ඡායාරූපවලින් වාර්තා වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පසු පුළුල් හානි පෙන්නුම් කළ අතර, ඉන් පසුව Brent බොරතෙල් මිල බැරලයකට ඩොලර් 108 ඉක්මවා ඉහළ ගියේය. එබැවින් යේමනයේ භූ-දේශපාලනික අරගලය ගෝලීය ආර්ථිකය සමඟ සෘජු සම්බන්ධයක් ඇත. එය ගැල්ලිම් සටහනකට ගන්නේ නම්,
යේමන යුද්ධය → නාවික ගමනාගමනය කඩාකප්පල් වීම → ඉහළ රක්ෂණ පිරිවැය → ඉහළ ප්‍රවාහන පිරිවැය → බලශක්ති මිල ඉහළ යාම → උද්ධමනය.
එනම්, ලෝකයේ දුප්පත්ම රටකින් එකක ඇති වන ගැටුමක් කිලෝමීටර් දහස් ගණනක් ඈත ජීවත් වන පවුල්වලට බලපාන්නේ මෙලෙසය.
බාබ් අල්-මන්දබ් සහ ගෝලීය දකුණ
මෙම ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා විශේෂයෙන් වැදගත් වේ. ආසියානු ආර්ථිකයන් රතු මුහුද හරහා සිදුවන සාගර වෙළෙඳාම මත දැඩි ලෙස රඳා පවතී. රතු මුහුද අවට අප්‍රිකානු රටවල් අස්ථාවරත්වයට සෘජුව නිරාවරණය වේ. යුරෝපීය ආර්ථිකයන් බලශක්ති සහ නිෂ්පාදිත භාණ්ඩ අඛණ්ඩව ගමන් කිරීම මත රඳා පවතී. චීනය, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව මෙම මාර්ගයේ ස්ථාවරත්වය පිළිබඳ විශාල ආර්ථික උනන්දුවක් දක්වති.
එබැවින් යේමන අර්බුදය ගෝලීය දකුණ ඉදිරියේ පුළුල් ප්‍රශ්නයක් මතු කරයි.එනම්, ලෝකයේ උපායමාර්ගික සාගර මාර්ග ප්‍රධාන වශයෙන් එක්සත් ජනපද නායකත්වයෙන් යුත් හමුදා පද්ධතියක් හරහා ආරක්ෂා කර පාලනය කළ යුතුද, නැතහොත් වඩාත් බහුපාර්ශ්වික සහ බහුධ්‍රැවීය ආරක්ෂක ව්‍යුහයක් මතු විය යුතුද? යන ප්‍රශ්නයයි. මෙම ප්‍රශ්නය හූතිවරුන්ගෙන් ඔබ්බට යයි. එය ජාත්‍යන්තර බලයේ අනාගත ව්‍යුහය පිළිබඳ ප්‍රශ්නයකි.
සෞදි අරාබියේ උභතෝකෝටිකය
හූති ඉදිරි ගමන සෞදි අරාබිය විශේෂයෙන් දුෂ්කර තත්ත්වයකට පත් කර තිබේ. රියාද් වසර ගණනාවක් හූතිවරුන් පාලනය කිරීමට හෝ පරාජය කිරීමට උත්සාහ කර ඇත. එහෙත් හමුදා මැදිහත්වීමෙන් මුලින් අපේක්ෂා කළ තීරණාත්මක ජයග්‍රහණය ලැබී නොමැත.හූති විරෝධී කඳවුර තුළම රජයේ හමුදා, ගෝත්‍රික පාර්ශ්ව, දකුණු බෙදුම්වාදීන් සහ අනෙකුත් දේශපාලනික හා හමුදා කණ්ඩායම් අතර බෙදීම් පවතී. වර්තමාන හූති ඉදිරි ගමන එම ඛණ්ඩනයේ ප්‍රතිවිපාක පෙන්නුම් කරයි.
රොයිටර්ස් වාර්තා කරන්නේ හමුදාමය උත්සන්න වීම සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අතර තේරීමකට ගල්ෆ් රාජ්‍යයන් වැඩි වැඩියෙන් මුහුණ දෙන අතර, හූති ඉදිරි ගමන ඉරානයේ කලාපීය තත්ත්වය ශක්තිමත් කරන බවයි. සෞදි අරාබිය සඳහා ආර්ථික ප්‍රතිවිපාක දැවැන්තය. රාජධානියේ අභිලාෂකාමී Vision 2030 වැඩසටහන ආයෝජන, සංචාරක ව්‍යාපාරය, යටිතල පහසුකම් සංවර්ධනය සහ සාපේක්ෂ කලාපීය ස්ථාවරත්වය මත රඳා පවතී. එහි තෙල් යටිතල පහසුකම් සහ රතු මුහුදු වරායන්ට තර්ජනය කරන දිගුකාලීන යුද්ධයක් එම අරමුණු දුර්වල කරනු ඇත.මෙය එක්සත් ජනපද-සෞදි සම්බන්ධතාව තුළ වැදගත් පරස්පරතාවක් නිර්මාණය කරයි. වොෂින්ටනය හමුදාමය වැළැක්වීමකට කැමති විය හැකිය. නමුත් රියාද්ට ස්ථිර ගැටුම තම ආර්ථික පරිවර්තනයට සේවය කරන්නේද යන්න වැඩි වැඩියෙන් සලකා බැලීමට සිදුවේ.
වෙනස් වෙමින් පවතින කලාපීය පද්ධතිය
කලාපීය බල තුලනය වෙනස් වෙමින් පවතින බැවින් සෞදි අරාබියේ උපායමාර්ගික ගණනය කිරීම්ද වෙනස් වෙමින් පවතී. 2023දී චීනය මැදිහත් වී සිදු කළ සෞදි-ඉරාන සබඳතා යළි සමීප වීම මඟින්, ඓතිහාසිකව වොෂින්ටනය විසින් ආධිපත්‍යය දැරූ කලාපයක බීජිංට රාජ්‍ය තාන්ත්‍රික භූමිකාවක් ඉටු කළ හැකි බව පෙන්නුම් කළේය. චීනය ගල්ෆ් රාජ්‍යයන් සමඟ වර්ධනය කරමින් සිටින ආර්ථික සබඳතා ඔවුන්ගේ බාහිර හවුල්කාරිත්වය තවදුරටත් විවිධාංගීකරණය කර තිබේ.
කලාපීය ආණ්ඩු දැන් එකවර පහත සඳහන් රටවල් සමඟ සබඳතා පවත්වාගෙන යාමේ විකල්පය ලබා ගනිමින් සිටිති. ඒවා නම්, එක්සත් ජනපදය, චීනය, රුසියාව, ඉරානය, ඉන්දියාව සහ අනෙකුත් නැගී එන බලවතුන්. මෙය වොෂින්ටනයට කලාපීය ප්‍රතිපත්තිය ඒකපාර්ශ්විකව නියම කිරීමට ඇති හැකියාව අඩු කරයි. එබැවින් හූති අර්බුදය සිදුවන්නේ සාපේක්ෂව අභියෝගයකින් තොර එක්සත් ජනපද නායකත්වයෙන් යුත් කලාපීය පද්ධතියක සිට වඩාත් අභියෝගයට ලක්වන සහ බහුධ්‍රැවීය මැදපෙරදිගක් වෙත සිදුවන පුළුල් සංක්‍රාන්තියක් අතරතුරය.
ඉරානය: සන්ධානකරුවා, අනුග්‍රාහකයා සහ උපායමාර්ගික හවුල්කරුවා
ඉරානයේ භූමිකාව නොසලකා හැරිය නොහැක. ඉරානය හූතිවරුන්ට සැලකිය යුතු දේශපාලනික, හමුදා සහ මූල්‍ය සහායක් ලබා දී තිබේ. ප්‍රතිරෝධයේ අක්ෂය (Axis of Resistance) ලෙස හැඳින්වෙන පුළුල් ජාලය තුළ මෙම සම්බන්ධතාව විශේෂයෙන් වැදගත් වී තිබේ.
රතු මුහුද ආසන්නයේ හූතිවරුන්ගේ ස්ථානගත වීම හෝමුස් සමුද්‍ර සන්ධිය අවට උපායමාර්ගික පරිසරයට බලපෑම් කිරීමට ඉරානයට ඇති හැකියාවට අනුපූරක වේ.
මෙය ලෝකයේ වැදගත්ම සාගර සන්ධිස්ථාන දෙකක් වටා භූගෝලීය පීඩන වළල්ලක් නිර්මාණය කරයි. එහෙත් හූතිවරුන් ඉරාන නියෝග ක්‍රියාත්මක කරන පිරිසක් ලෙස පමණක් උපකල්පනය කිරීමද සරල කිරීමකි. මෙම ව්‍යාපාරයට තමන්ගේම දේශීය දේශපාලනික අවශ්‍යතා, තමන්ගේම හමුදා අණදීමේ ව්‍යුහය සහ තමන්ගේම දෘෂ්ටිවාදාත්මක අනන්‍යතාවක් තිබේ. ඉරානය සහ හූතිවරු උපායමාර්ගික අරමුණු බෙදා ගත්තද, ඔවුන් එකිනෙකට සමාන ක්‍රියාකාරීන් නොවේ.
ගැටුම පිළිබඳ ඕනෑම බරපතළ විශ්ලේෂණයකදී මෙම වෙනස වැදගත්ය.
පලස්තීන මානය
පලස්තීන ප්‍රශ්නය හූතිවරුන්ගේ ජාත්‍යන්තර දේශපාලනයේ කේන්ද්‍රීය සාධකය බවට පත්ව තිබේ. ඊශ්‍රායලයට සහ ඊශ්‍රායලයට බටහිර සහාය දැක්වීමට එරෙහි පුළුල් අරගලයක කොටසක් ලෙස තම රතු මුහුදු මෙහෙයුම් ඉදිරිපත් කිරීමට ව්‍යාපාරය ගාසා යුද්ධය භාවිතා කර තිබේ. මෙය යේමනයෙන් බොහෝ ඔබ්බට විහිදෙන දේශපාලනික කතිකාවක් හූතිවරුන්ට ලබා දී ඇත. අරාබි ලෝකයේ සහ ගෝලීය දකුණේ බොහෝ ජනතාව සඳහා ප්‍රශ්නය වන්නේ ඔවුන් සෑම හූති ප්‍රතිපත්තියකටම සහාය දක්වන්නේද යන්න නොවේ. ප්‍රශ්නය වන්නේ පලස්තීන ජනතාවට වාඩිලාගැනීම, අවහිර කිරීම සහ හමුදා ප්‍රහාර යටතේ අර්ථවත් ජාත්‍යන්තර ප්‍රතිරෝධයකින් තොරව දිගටම සිටීමට ඉඩ දිය යුතුද යන්නයි. බොහෝ ස්ථාපිත අරාබි ආණ්ඩුවලට වඩා හූතිවරු මෙම දේශපාලනික පරස්පරතාව වඩාත් ඵලදායී ලෙස භාවිතා කර තිබේ. දැඩි මතභේද මධ්‍යයේ වුවද යේමනයෙන් ඔබ්බට ඔවුන්ගේ දේශපාලනික බලපෑම පුළුල් වී ඇත්තේ ඇයිද යන්න පැහැදිලි කිරීමට මෙය උපකාරී වේ.
යේමනයේ ආර්ථික ව්‍යසනය
කෙසේ වෙතත්, හූතිවරුන්ගේ ජාත්‍යන්තර උපායමාර්ගික වැදගත්කම යේමනයේ ආර්ථික යථාර්ථය වසන් නොකළ යුතුය. යේමනය ලෝකයේ දුප්පත්ම සහ මානුෂීය වශයෙන් වඩාත් අවදානම් සහගත රටවලින් එකක් ලෙස පවතී. රටේ ආර්ථිකය තරගකාරී බලධාරීන්, මුදල් ඒකක, මූල්‍ය ආයතන සහ බදු පද්ධති අතර ඛණ්ඩනය වී ඇත. තෙල් නිෂ්පාදනය සහ අපනයන දැඩි ලෙස කඩාකප්පල් වී තිබේ.යටිතල පහසුකම් විනාශ වී ඇත. රාජ්‍ය අංශයේ වැටුප් අඛණ්ඩව ගෙවීම බාධා වී ඇත.
උද්ධමනය සහ මුදල් ඒකකයේ අගය පහත වැටීම පවුල්වල මිලදී ගැනීමේ හැකියාව අඩු කර ඇත. මානුෂීය පද්ධතියම පැවැත්ම සඳහා අරගල කරමින් සිටී.
සනා කේන්ද්‍රය වාර්තා කර ඇත්තේ 2026 යේමන මානුෂීය ප්‍රතිචාර සැලැස්ම මඟින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.16ක් ඉල්ලා ඇති අතර, එමඟින් මිලියන 12කට පමණ ජනතාවකට සහාය ලබා දීමට අපේක්ෂා කළ බවයි. එහෙත් අරමුදල් දැඩි ලෙස ප්‍රමාණවත් නොවීය. පෙර වසරේ මානුෂීය සැලැස්මට ඉල්ලා තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 2.48කින්, ලැබී තිබුණේ ආසන්න වශයෙන් ඩොලර් මිලියන 687.9ක්, එනම් සියයට 28ක් පමණි.
මෙම සංඛ්‍යා යේමනයේ අවශ්‍යතා සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම සඳහා පවතින සම්පත් අතර ඇති අසාමාන්‍ය පරතරය පෙන්නුම් කරයි.
හූති යුද ආර්ථිකය
අධිරාජ්‍ය විරෝධී විශ්ලේෂණයක් මඟින් හූති ආර්ථික ප්‍රතිපත්තිද විවේචනාත්මකව පරීක්ෂා කළ යුතුය. විදේශීය මැදිහත්වීමට විරෝධය දැක්වීමෙන් සෑම දේශීය ප්‍රතිපත්තියක්ම ස්වයංක්‍රීයව නීත්‍යානුකූල නොවේ. හූති බලධාරීන් බදු, අය කිරීම්, රේගු, දායකත්ව සහ වෙනත් ආදායම් එකතු කිරීමේ ආකාර ඇතුළත් පුළුල් යුදකාලීන ආර්ථික පද්ධතියක් වර්ධනය කර තිබේ. මෙම ක්‍රියාමාර්ගවල වැඩිවන බර දැනටමත් දරිද්‍රතාවයෙන් පීඩා විඳින ජනතාව මත දැඩි ලෙස පැටවෙන බව සනා කේන්ද්‍රය අනතුරු අඟවා තිබේ. දේශපාලනික මර්දනය, සිවිල් සමාජයට සීමා පැනවීම සහ බලය සංකේන්ද්‍රණය කිරීම සම්බන්ධයෙන්ද ව්‍යාපාරය විවේචනයට ලක්ව තිබේ. හූතිවරු එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට විරුද්ධ බැවින් පමණක් මෙම යථාර්ථයන් නොසලකා හැරිය නොහැක. යේමන ජනතාවට විදේශීය ආධිපත්‍යයට විරෝධය දැක්වීමේ අයිතියක් මෙන්ම, වගවීමක් සහිත ආණ්ඩුවක්, ආර්ථික යුක්තිය සහ දේශපාලන නිදහස සඳහාද අයිතියක් ඇත.
එබැවින් සැබෑ අධිරාජ්‍ය විරෝධී ස්ථාවරයක් යේමන ස්වෛරීභාවය ආරක්ෂා කළ යුතු අතර, අභ්‍යන්තර අධිකාරිවාදය රොමෑන්තිකරණය නොකළ යුතුය.
සමාජ පිරිවැය
ගැටුමේ අවසාන ගොදුරු බවට පත්වන්නේ සාමාන්‍ය යේමන ජනතාවය. නවතම ප්‍රහාර මාලාව දැනටමත් දස දහස් ගණනක් ජනතාව අවතැන් කර ඇති අතර, සැප්තැම්බර් මස ආරම්භයේ සිට 82,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බව AP වාර්තා කර තිබේ. අවතැන් වූ ජනතාව ආහාර, ජලය, නවාතැන් සහ වෛද්‍ය ආධාර හිඟයකට මුහුණ දෙති. දශකයකට වැඩි කාලයක් පැවති යුද්ධයෙන් පසු ඉතිරිව තිබූ ආර්ථික හා සමාජ යටිතල පහසුකම්ද මෙම උත්සන්න වීම මඟින් විනාශ වීමේ අවදානමක් පවතී. යේමන ජනතාව සඳහා ප්‍රශ්නය කුමන භූ-දේශපාලනික කඳවුර ජයගන්නේද යන්න නොවේ.ප්‍රශ්නය වන්නේ ඔවුන්ට සාමයෙන් ජීවත් විය හැකිද යන්නයි.
යේමනයේ උපායමාර්ගික වැදගත්කමේ පරස්පරතාව
යේමනය ජාත්‍යන්තර දේශපාලනයේ වඩාත්ම කැපී පෙනෙන පරස්පරතාවලින් එකක් ඉදිරිපත් කරයි. එය ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.එහෙත් එහි භූගෝලීය පිහිටීම එයට දැවැන්ත උපායමාර්ගික වැදගත්කමක් ලබා දෙයි.එහි වෙරළ තීරය ලෝකයේ ප්‍රධාන සාගර කොරිඩෝවකට ප්‍රවේශය පාලනය කරයි.එහි වරායන් ගෝලීය වෙළෙඳාමට බලපායි. සෞදි අරාබියට එහි සමීපත්වය ලෝකයේ ප්‍රමුඛ තෙල් නිෂ්පාදන කලාපය සඳහා එහි වැදගත්කම වැඩි කරයි. අප්‍රිකාවේ අඟට එරෙහිව එහි පිහිටීම එය අප්‍රිකාව, මැදපෙරදිග සහ ඉන්දියානු සාගරය සමඟ සම්බන්ධ කරයි. එබැවින් දශක ගණනාවක් පුරා බාහිර බලවතුන් යේමනය මූලික වශයෙන් උපායමාර්ගික සම්පතක් ලෙස සලකා තිබේ. මූලික අධිරාජ්‍ය විරෝධී ප්‍රශ්නය වන්නේ යේමනයට තම භූගෝලීය පිහිටීම විදේශීය බලවතුන්ට නොව තම ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙන ස්වෛරී රාජ්‍යයක් බවට පත්විය හැකිද යන්නයි.
එක්සත් ජනපද නායකත්වයෙන් යුත් ආරක්ෂක පද්ධතියට අභියෝගයක්
එබැවින් හූති ඉදිරි ගමනේ වැදගත්කම භූමි ප්‍රදේශ පිළිබඳ ප්‍රශ්නයෙන් ඔබ්බට යයි. රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයෙකුට එක්සත් ජනපද නායකත්වයෙන් යුත් ආරක්ෂක පද්ධතියේ පදනම වන උපකල්පනවලට අභියෝග කළ හැකි බව මෙම ව්‍යාපාරය පෙන්නුම් කර තිබේ.එක්සත් ජනපදයට තනි නෞකා ආරක්ෂා කළ හැකිය. එයට හමුදා මෙහෙයුම් දියත් කළ හැකිය. එයට ගුවන් යානා ප්‍රවාහන නෞකා සහ දියුණු අවි යෙදවිය හැකිය. එහෙත් උපායමාර්ගික ජල මාර්ග දේශපාලනික වශයෙන් අභියෝගයකින් තොරව පවතිනු ඇති බවට පහසුවෙන් සහතික විය නොහැක. මෙය වර්ධනය වන පරස්පරතාවක් නිර්මාණය කරයි.
පවතින පද්ධතිය පවත්වා ගැනීම සඳහා වොෂින්ටනයට හමුදා බලය භාවිතා කිරීමට වැඩි වැඩියෙන් සිදුවන තරමට, එම පද්ධතියේ දුර්වලතා වඩාත් පැහැදිලි වේ.
එමෙන්ම කලාපීය රාජ්‍යයන් එම දුර්වලතා හඳුනා ගන්නා තරමට, ඔවුන්ගේ උපායමාර්ගික සබඳතා විවිධාංගීකරණය කිරීමට ඇති උනන්දුව වැඩි වේ.
ආධිපත්‍යය දුර්වල විය හැක්කේ එලෙසය—අවශ්‍යයෙන්ම හමුදාමය පරාජයක් හරහා නොව, දේශපාලනික අධිකාරිය, ආර්ථික බලපෑම සහ උපායමාර්ගික ඒකාධිකාරය ක්‍රමයෙන් ඛාදනය වීම හරහාය.
ඇමරිකානු ප්‍රමුඛත්වයේ සිට බහුධ්‍රැවීය මැදපෙරදිගක් දක්වා
ඇමරිකානු ආධිපත්‍යය බිඳ වැටී ඇති බව ප්‍රකාශ කිරීම තවමත් කල් වැඩිය. එක්සත් ජනපදය තවමත් ලෝකයේ බලවත්ම හමුදා රාජ්‍යය වන අතර, අසාමාන්‍ය සන්ධාන, කඳවුරු, මූල්‍ය ආයතන සහ තාක්ෂණික හැකියාවන් ජාලයක් පවත්වාගෙන යයි. එහෙත් ඇමරිකානු ප්‍රමුඛත්වය වැඩි වැඩියෙන් අභියෝගයට ලක් වෙමින් පවතී. චීනය ප්‍රධාන ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකාරිකයෙකු බවට පත්ව තිබේ. රුසියාව පුළුල් මැදපෙරදිග තුළ බලපෑමක් පවත්වාගෙන යයි.
ඉරානය එක්සත් ජනපදයේ දිගුකාලීන පීඩනය යටතේ වුවද පැවතිය හැකි බව පෙන්නුම් කර තිබේ. සෞදි අරාබිය වැඩි උපායමාර්ගික ස්වාධීනත්වයක් අපේක්ෂා කරමින් සිටී. අනෙකුත් කලාපීය රාජ්‍යයන් වොෂින්ටනය මත පමණක් රඳා සිටීම වෙනුවට බහු-සන්ධාන ප්‍රවේශයන් වැඩි වැඩියෙන් අනුගමනය කරමින් සිටිති.
හූති ව්‍යාපාරය මෙම පුළුල් පරිවර්තනයේ එක් අංගයකි. එහි වැදගත්කම පවතින්නේ එක්සත් ජනපදය හමුදාමය වශයෙන් පරාජය කිරීමේ හැකියාව තුළ නොවේ. එහි වැදගත්කම පවතින්නේ ඇමරිකානු හමුදාමය උසස්භාවය තවදුරටත් කලාපය කෙරෙහි අභියෝගයකින් තොර දේශපාලනික පාලනයක් සහතික නොකරන බව පෙන්නුම් කිරීම තුළය.
උදාවිය හැකි අනාගත වර්ග තුනක්
වර්තමාන අර්බුදය දිශාවන් කිහිපයකට වර්ධනය විය හැකිය. පළමුව: පූර්ණ පරිමාණ සිවිල් යුද්ධයකට නැවත පැමිණීම
හූති ඉදිරි ගමන දිගුකාලීන සෞදි සහාය ලබන ප්‍රතිප්‍රහාරයකට හේතු වී, 2022 සටන් විරාමයෙන් පසු ඇති වූ බිඳෙනසුලු ස්ථාවරත්වය විනාශ කළ හැකිය.
මෙය යේමනයේ මානුෂීය ව්‍යසනය තවදුරටත් ගැඹුරු කරනු ඇත.
දෙවනුව: නව දේශපාලනික විසඳුමක්
හූති හමුදා ජයග්‍රහණ අවසානයේ සෞදි අරාබිය, ජාත්‍යන්තරව පිළිගත් රජය සහ හූතිවරුන් සම්බන්ධ සාකච්ඡා සඳහා කේවල් කිරීමේ බලයක් බවට පත්විය හැකිය.
එවැනි විසඳුමක් සඳහා හූතිවරුන් හමුදාමය වශයෙන් පමණක් විනාශ කළ නොහැකි බව පිළිගැනීම අවශ්‍ය වේ.
තෙවනුව: පුළුල් කලාපීය යුද්ධයක්
වඩාත්ම භයානක හැකියාව වන්නේ යේමනය ඉරානය, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය අතර පුළුල් ගැටුමට ස්ථිරව ඒකාබද්ධ වීමයි. බාබ් අල්-මන්දබ් සහ හෝමුස් සමුද්‍ර සන්ධිය එකවර කඩාකප්පල් වුවහොත්, ගෝලීය බලශක්ති වෙළෙඳපොළට ඇති ප්‍රතිවිපාක අසාමාන්‍ය විය හැකිය.
අල් ජසීරා ඇස්තමේන්තු කර ඇත්තේ මාර්ග දෙකම එකවර වසා දැමීමෙන් ගෝලීය තෙල් හා ගෑස් සැපයුමෙන් ආසන්න වශයෙන් සියයට 25කට බලපෑම් ඇති විය හැකි අතර, කේප් ඔෆ් ගුඩ් හෝප් වටා ගමන් කිරීමට නෞකාවලට අමතර දින 10–14ක් ගත විය හැකි බවයි. එවැනි තත්ත්වයක් යේමන ගැටුම ගෝලීය ආර්ථික අර්බුදයක් බවට පරිවර්තනය කරනු ඇත.
නිගමනය: යේමනය සහ අභියෝගයකින් තොර ඇමරිකානු බලයේ ඛාදනය
එබැවින් 2026 සැප්තැම්බර් මාසයේ යේමනයේ සිදුවෙමින් පවතින සිදුවීම් දිගුකාලීන සිවිල් යුද්ධයක තවත් එක් අදියරක් හෝ නාවික ආරක්ෂාව පිළිබඳ පටු ආරවුලක් ලෙස පමණක් නොසැලකිය යුතුය. එහි හරය තුළ පවතින්නේ ස්වෛරීභාවය, අධිරාජ්‍ය බලපෑම, පලස්තීනය, කලාපීය බලය, සාගර පාලනය සහ ආර්ථික සම්පත් පිළිබඳ අරගලයකි. හූතිවරු යේමනයේ භූගෝලීය දුර්වලතාව උපායමාර්ගික බලපෑමක් බවට පරිවර්තනය කර තිබේ. දශක ගණනාවක් පුරා සෞදි අරාබිය, එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර බලවතුන් විසින් සහාය දුන් කලාපීය පද්ධතියකට ඔවුන් අභියෝග කර තිබේ. සාපේක්ෂව කුඩා රාජ්‍ය නොවන ව්‍යාපාරයකට වඩා බලවත් රාජ්‍යයන් මත ආර්ථික හා උපායමාර්ගික පිරිවැය පැටවිය හැකි බව ඔවුන් පෙන්නුම් කර තිබේ. එහෙත් ප්‍රතිරෝධ ව්‍යාපාරයක සාර්ථකත්වය අවසානයේ මැනිය යුත්තේ එය අත්පත් කරගන්නා භූමි ප්‍රමාණයෙන් හෝ තර්ජනය කළ හැකි නෞකා සංඛ්‍යාවෙන් පමණක් නොවේ. අවසාන මිනුම විය යුත්තේ යේමන ජනතාවට සාමය, ස්වෛරීභාවය, ආර්ථික ආරක්ෂාව, දේශපාලන ගෞරවය සහ තමන්ගේම ජාතික සම්පත් පාලනය ලැබේද යන්නයි.
හූතිවරුන්ට ඇමරිකානු හමුදා බලය පරාජය කිරීමට හැකියාවක් නොතිබිය හැකි අතර—ඔවුන්ට එසේ කළ හැකි බවට කිසිදු සාක්ෂියක්ද නොමැත.
එහෙත් ජාත්‍යන්තර දේශපාලනයේ අනාගතය සඳහා වඩා වැදගත් යමක් ඔවුන් පෙන්නුම් කරයි. එනම්,හමුදාමය ආධිපත්‍යය අනිවාර්යයෙන්ම දේශපාලනික ආධිපත්‍යයක් නිර්මාණය නොකරන බව තහවුරු වේ. පැරණි එක්සත් ජනපද ආධිපත්‍යයෙන් යුත් මැදපෙරදිග පද්ධතියේ සීමාවන් පැහැදිලි වෙමින් පවතින ස්ථානවලින් එකක් බවට යේමනය පත්ව තිබේ. එක්සත් ජනපදය තවමත් දැවැන්ත බලයක් සතුය රාජ්‍යකි. එහෙත් සෞදි අරාබිය වැඩි උපායමාර්ගික ස්වාධීනත්වයක් සොයමින් සිටී, චීනය සිය රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික බලපෑම පුළුල් කරමින් සිටී, ඉරානය සැලකිය යුතු කලාපීය ක්‍රියාකාරිකයෙකු ලෙස පවතී, සහ අන්සාර් අල්ලාහ් වැනි ව්‍යාපාර ස්ථාපිත ආරක්ෂක පද්ධතියට අභියෝග කිරීමේ හැකියාව පෙන්නුම් කර තිබේ. එබැවින් යේමනයේ වැදගත්කම පවතින්නේ ඇමරිකානු ආධිපත්‍යය හදිසියේ බිඳ වැටී ඇති බවට කරන අනාවැකියක් තුළ නොවේ. එහි වැදගත්කම පවතින්නේ මැදපෙරදිග තුළ ඇමරිකානු බලයට වඩාත් බරපතළ දේශපාලනික, හමුදාමය සහ ආර්ථික සීමාවන්ට මුහුණ නොදී තවදුරටත් ක්‍රියාත්මක විය නොහැකි බවට ඇති සාක්ෂිය තුළය.
එබැවින් බාබ් අල්-මන්දබ් වටා සිදුවන අරගලය වඩාත් විශාල ඓතිහාසික සංක්‍රාන්තියක කොටසකි—සාපේක්ෂව අභියෝගයකින් තොර ඇමරිකානු ප්‍රමුඛත්වයේ යුගයක සිට වඩාත් අභියෝගයට ලක්වන සහ බහුධ්‍රැවීය ජාත්‍යන්තර පද්ධතියක් වෙත සිදුවන සංක්‍රාන්තියකි. එම පරිවර්තනය තුළ, ලෝකයේ දුප්පත්ම රටවලින් එකක් වුවද, ගෝලීය බල තුලනයේ අනාගතය පිළිබඳ අරගලය සිදුවන ස්ථානවලින් එකක් බවට යේමනය පත්ව තිබේ.
ජීවන්ත ජයතිස්ස විසිනි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරා යන අනුර කුමාරගේ පාලනයට එරෙහිව ජාතික බලවේග එකමුතු විය යුතුයි".. – අනුරාධපුරයේදී විමල් වීරවංශගෙන් ප්‍රබල ප්‍රකාශයක්
යේමනයේ හූති බලය තවදුරටත් වර්ධනය වෙයි.. කලාපීය බල තුලනයේ ප්‍රබල වෙනසක් වන ලකුණු!..
ජාතික න්‍යාය පත්‍රයක් දිනවන සටනට සියලු දෙනා එක්විය යුතුයි.. - විමල් වීරවංශ
ඇමරිකාවටත් අභියෝගයක් වූ හුතී බලයේ රහස ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..
ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..
රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්
වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ
"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි
කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..