රාජ්‍ය නායකයෙකු ජනතාව අමතන විට අනුගමනය කළ යුතු ජාත්‍යන්තරව පිළිගත් මූලධර්ම
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක රාජ්‍ය නායකයකු විසින් ජනතාව ඇමතීම හුදෙක් දේශපාලන කථාවක් කිරීමක් ලෙස සැලකිය නොහැක. රාජ්‍ය නායකයාගේ නිල ප්‍රකාශයක් හෝ ජාතිය අමතා කරන කථාවක් රාජ්‍යයේ ප්‍රතිපත්ති පැහැදිලි කිරීම, ජනතාවට තොරතුරු සැපයීම, අර්බුදකාරී අවස්ථාවක ජනතාවට මඟපෙන්වීම සහ රාජ්‍යය කෙරෙහි මහජන විශ්වාසය පවත්වාගෙන යාම යන කාර්යයන් ඉටු කරයි.
රාජ්‍ය නායකයන්ගේ සෑම ජනතා ඇමතුමකටම අදාළ වන, නීතිමය වශයෙන් බැඳී ඇති එක් විශ්වීය ජාත්‍යන්තර සංග්‍රහයක් නොපවතී. එහෙත් ආර්ථික සංවර්ධනය සහ සහයෝගීතාවය සඳහා වන සංවිධානය- Organization for Economic Cooperation and Development - OECD- සහ ලෝක සෞඛ්‍ය සංවිධානය-WHO -වැනි ජාත්‍යන්තර ආයතන විසින් රාජ්‍ය හා මහජන සන්නිවේදනය සම්බන්ධයෙන් වර්ධනය කර ඇති මූලධර්ම එකට සලකා බැලීමෙන් රාජ්‍ය නායකයෙකුගේ වගකීම් සහගත ජනතා සන්නිවේදනය සඳහා පැහැදිලි ජාත්‍යන්තර ප්‍රමිතියක් හඳුනාගත හැකිය.
විශේෂයෙන්ම මහජන සන්නිවේදනය - public communication- යනු පොදු යහපත වෙනුවෙන් තොරතුරු ලබාදීම පමණක් නොව ජනතාවට සවන් දීම හා ඔවුන්ට ප්‍රතිචාර දැක්වීමද ඇතුළත් රාජ්‍ය කාර්යයක් ලෙස හඳුනාගනී.
ඒ අනුව මහජන සන්නිවේදනය සඳහා බලපානු ලබන ප්‍රධාන මූලධර්ම මෙසේය.
1. සත්‍යතාව හා නිරවද්‍යතාව — Truthfulness and Accuracy
රාජ්‍ය නායකයෙකුගේ කථාවේ මූලිකම ගුණාංගයක් විය යුත්තේ ඉදිරිපත් කරන කරුණු සත්‍ය හා නිරවද්‍ය වීමයි. ආර්ථික සංඛ්‍යා, රැකියා දත්ත, අපරාධ සංඛ්‍යා, රාජ්‍ය ආදායම් හා වියදම්, ජාතික ආරක්ෂාව හෝ වෙනත් කරුණු සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන ආකාරයේ තොරතුරු ඉදිරිපත් කිරීම රාජ්‍යය කෙරෙහි ඇති විශ්වාසයට හානි කරයි.
WHO සන්නිවේදන රාමුවේ technical accuracy විශ්වසනීය සන්නිවේදනයේ ප්‍රධාන අංගයක් ලෙස හඳුනාගෙන ඇත.
එබැවින් රාජ්‍ය නායකයෙකුගේ කථාවක වැදගත් ප්‍රකාශ හැකි තරම් සත්‍ය අසත්‍යතාවය සොයා බැලිය හැකි කරුණු මත පදනම් - verifiable factual basis- විය යුතුය.
2. විනිවිදභාවය — Transparency
සත්‍යය පැවසීම පමණක් ප්‍රමාණවත් නොවේ. රාජ්‍යය ගන්නා තීරණවල හේතු සහ ඒවාට පදනම් වූ තොරතුරු ජනතාවට තේරුම්ගත හැකි ආකාරයෙන් පැහැදිලි කිරීමද අවශ්‍යය.
විශේෂයෙන්ම තොරතුරු සම්පූර්ණ නොවන අවස්ථාවක,
“අප දැනට දන්නා කරුණු මෙසේය; තවමත් අප නොදන්නා හෝ තහවුරු නොවූ කරුණු මෙසේය”
යන ප්‍රවේශය වඩාත් වගකීම් සහගත වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව විවෘතභාවය සහ අවංක භාවය-openness and honesty- යනු තමන් දන්නා දේ මෙන්ම නොදන්නා දේ පිළිබඳවත් අවංක වීමයි.
3. වගවීම — Accountability
ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේදී රාජ්‍ය නායකයා ජනතාවට වගකිව යුතුය. එබැවින් නිල ජනතා ඇමතුමකදී රජයේ සාර්ථකත්වයන් පමණක් ප්‍රකාශ කර අසාර්ථකත්වයන් සඟවා තැබීම සුදුසු රාජ්‍ය සන්නිවේදනයක් නොවේ.
OECD විසින් රාජ්‍ය සන්නිවේදනය යනු විනිවිද භාවය, අභිමානවත්භාවය,වගවීම සහ සියලු පාෂාගේ සහභාගිත්වය- transparency, integrity, accountability and stakeholder participation- යන විවෘත රාජ්‍ය පාලනයේ මූලධර්ම ප්‍රවර්ධනය කිරීමේ මෙවලමක් ලෙස හඳුන්වයි.
ඒ අනුව, වැරදි සිදුවී ඇත්නම් ඒවා පිළිගැනීම, ඒවා නිවැරදි කිරීමට ගන්නා පියවර පැහැදිලි කිරීම සහ ඒවායේ ප්‍රතිඵල පිළිබඳව නැවත ජනතාවට වාර්තා කිරීම වගවීමේ සන්නිවේදනයේ කොටසකි.
4. රාජ්‍ය සන්නිවේදනය සහ පක්ෂ දේශපාලන ප්‍රචාරණය වෙන් කිරීම
මෙය ඉතා වැදගත් මූලධර්මයකි.
රාජ්‍ය නායකයෙකුට දේශපාලන පක්ෂයක නායකයෙකු හෝ සාමාජිකයෙකු විය හැකිය. එහෙත් ඔහු හෝ ඇය රාජ්‍ය නායකයා ලෙස ජනතාව අමතන අවස්ථාව සහ දේශපාලන පක්ෂ නායකයා ලෙස පක්ෂිකයන් අමතන අවස්ථාව සංකල්පීය වශයෙන් වෙනස් වේ.
OECD මෙම වෙනස පැහැදිලිව දක්වයි. පොදු ජනතාව ආමන්ත්‍රණය කිරීම යනු- Public communication- යනු පොදු යහපත වෙනුවෙන් ජනතාවට තොරතුරු සැපයීම, ඔවුන්ට සවන්දීම සහ ප්‍රතිචාර දැක්වීමයි. දේශපාලන සන්නිවේදනය- Political communication- යනු පක්ෂ, මැතිවරණ, දේශපාලන පුද්ගලයන් සමඟ පවත්වන සන්නිවේදනයයි.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රාජ්‍ය සම්පත්, රාජ්‍ය මාධ්‍ය සහ නිල රාජ්‍ය වේදිකා පෞද්ගලික හෝ පක්ෂ ප්‍රතිරූප ගොඩනැගීම සඳහා භාවිත කිරීමෙන් වැළකීම යහපත් ප්‍රජාතන්ත්‍රවාදී සන්නිවේදනයේ වැදගත් අරමුණකි.
5. ගෞරවය සහ එකමුතුභාවය — Respect and Social Cohesion
රාජ්‍ය නායකයා තමන්ට ඡන්දය දුන් පිරිස පමණක් නොව සමස්ත රාජ්‍යයේ ජනතාව නියෝජනය කරන නිල තනතුරක් දරයි.
එබැවින් ජනතාව අමතන විට දේශපාලන විරුද්ධවාදීන්, විවේචකයන් හෝ විවිධ සමාජ කණ්ඩායම් පිළිබඳ අවමානාත්මක, වෛරී හෝ අනවශ්‍ය ලෙස සමාජය බෙදන භාෂාව භාවිත කිරීමෙන් වැළකීම වැදගත්ය.
රාජ්‍ය නායකයාගේ කථාව “අපි සහ ඔවුන්” (us versus them) යන බෙදීම්කාරී ආකෘතියට වඩා පොදු පුරවැසිභාවය හා ජාතික එකමුතුව ශක්තිමත් කරන ආකාරයෙන් පැවතිය යුතුය.
6. පැහැදිලි හා සරල භාෂාව — Clarity and Plain Language
රාජ්‍ය නායකයාගේ පණිවිඩය උගතුන්ට පමණක් නොව සාමාන්‍ය පුරවැසියාටද තේරුම්ගත හැකි විය යුතුය.
WHO මාර්ගෝපදේශ අනුව තාක්ෂණික තොරතුරු- technical information-, විශේෂඥයන් නොවන ප්‍රේක්ෂකයන්ට-non-expert audience- තේරුම්ගත හැකි පණිවිඩ බවට පරිවර්තනය කළ යුතුය. තොරතුරු සංවිධානය කිරීමේදී වැදගත්ම කරුණු මුලින් ඉදිරිපත් කළ යුතුය.
එබැවින් අනවශ්‍ය තාක්ෂණික වචන, දිගු වාක්‍ය සහ අපැහැදිලි සංඛ්‍යාලේඛන වෙනුවට සරල භාෂාවක් -plain language- භාවිත කිරීම යෝග්‍ය වේ.
7. කාලෝචිත බව — Timeliness
නිවැරදි තොරතුරු වැරදි වේලාවක ලබාදීමෙන්ද ඒවායේ වටිනාකම අඩුවිය හැකිය.
ජාතික ආරක්ෂක තත්ත්වයක්, ස්වාභාවික විපතක්, වසංගතයක්, ආර්ථික අර්බුදයක් හෝ වෙනත් හදිසි තත්ත්වයක් ඇති විට ජනතාවට තොරතුරු ලබාදීම අනවශ්‍ය ලෙස ප්‍රමාද නොකළ යුතුය යන්න WHO සන්නිවේදන රාමුව “communicate early” සහ “communicate at the right time” යන මූලධර්ම මගින් අවධාරණය කරයි.
8. සංවේදීභාවය — Empathy
රාජ්‍ය නායකයෙකු කථා කරන්නේ සංඛ්‍යා හා ප්‍රතිපත්ති පිළිබඳව පමණක් නොවේ. එම ප්‍රතිපත්තිවල බලපෑමට ලක්වන මිනිසුන් පිළිබඳවද ඔහු හෝ ඇය අවධානය යොමු කළ යුතුය.
උදාහරණයක් ලෙස ආර්ථික අර්බුදයකදී,
“ජනතාව කැපකිරීම් කළ යුතුය”
යනුවෙන් පමණක් ප්‍රකාශ කිරීම සහ,
“ජීවන වියදම ඉහළ යාමෙන් පවුල් මුහුණ දෙන දුෂ්කරතාව අප හඳුනාගෙන ඇති අතර, එහි බලපෑම අවම කිරීමට මෙම පියවර ගනිමු”
යනුවෙන් ප්‍රකාශ කිරීම අතර සැලකිය යුතු සන්නිවේදනමය වෙනසක් ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය-WHO- විශ්වසනීය සන්නිවේදනයේ පදනම ලෙස ප්‍රවීණතාවය- competence- හා අවංක භාවය - honesty- සමඟ කැපකිරීම සහ සොයා බැලීම- commitment- and caring - දක්වා ඇත.
9. ජනතාවට සවන්දීම සහ ද්විපාර්ශක සන්නිවේදනය— Listening and Two-Way Communication
නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සන්නිවේදනය එක් දිශාවකට පමණක් ගලා යන ක්‍රියාවලියක් නොවේ.
ආණ්ඩුවෙන් මිනිසුන්ට-Government → People
යන සම්ප්‍රදායික ආකෘතිය වෙනුවට, ආණ්ඩුවෙන් මිනිසුන්ට සහ මිනිසුන්ගෙන් ආණ්ඩුවට- Government ⇄ People-
යන දෙපාර්ශ්වික සන්නිවේදන ආකෘතිය වඩාත් සුදුසුය.
OECD අනුව නිවැරදි හා කාලෝචිත තොරතුරු සැපයීම සමඟ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වය- stakeholder participation- සහ ප්‍රතිපෝෂණය- feedback- සඳහා අවස්ථාව ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති සෑදීමේ policy-making- ක්‍රියාවලියට අත්‍යවශ්‍ය වේ.
එබැවින් ජනතාවගේ විවේචනය පාලනය කිරීමට උත්සාහ කිරීම වෙනුවට එය ප්‍රතිපෝෂණයක්- feedback- ලෙස සැලකීම ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයට වඩාත් ගැළපේ.
10. ප්‍රවේශ විය හැකි බව සහ ඇතුළත්කම — Accessibility and Inclusiveness
රාජ්‍ය නායකයාගේ පණිවිඩය සමාජයේ විවිධ කණ්ඩායම් වෙත ළඟා විය යුතුය.
භාෂාමය සුළුතරයන්, ආබාධ සහිත පුද්ගලයන්, තාක්ෂණික පහසුකම් අඩු ප්‍රදේශවල ජනතාව සහ විවිධ සමාජ කණ්ඩායම් පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.
ලෝක සෞඛ්‍ය සන්ධානය-WHO- විසින් ගුණාත්මක සන්නිවේදනයක- effective communication- තිබිය යුතු ගුණාංග හයක් ලෙස, ප්‍රවේශය තිබීම, ක්‍රියාමාර්ග ගත හැකිවීම, විශ්වාස කළ හැකි වීම, කාලෝචිත වීම සහ අවබෝධ කරගැනීමට හැකිවීම- accessible, actionable, credible and trusted, relevant, timely සහ understandable- යන කරුණු හඳුනාගෙන ඇත.
ආබාධ සහිත පුද්ගලයන්ටද තොරතුරු ප්‍රවේශ විය හැකි ලෙස සැලසුම් කිරීමේ වැදගත්කම ලෝක සෞඛ්‍ය සංවිධානය- WHO
World Health Organization- අවධාරණය කරයි.
රාජ්‍ය නායකයකුගේ කථාවක් ඔබටද පහත දැක්වෙන සරල පරීක්ෂණය පදනම් කරගෙන විශ්ලේෂණය කළ හැකිය:
1. ප්‍රකාශ කළ කරුණු සත්‍ය සහ තහවුරු කළ හැකිද?
2. අදාළ තොරතුරු විනිවිදභාවයෙන් ඉදිරිපත් කර තිබේද?
3. රජයේ ක්‍රියා සම්බන්ධයෙන් වගවීමක් පෙන්නුම් කරන්නේද?
4. එය රාජ්‍ය සන්නිවේදනයක්ද, පක්ෂ ප්‍රචාරණයක්ද?
5. විරුද්ධ මත දරන්නන්ටද ගෞරවයෙන් කථා කරන්නේද?
6.ජනතාව අතර බෙදීම් ඇති කරනවාද, නැතහොත් සමාජ එකමුතුව වර්ධනය කරනවාද?
7. භාෂාව සාමාන්‍ය ජනතාවට පැහැදිලි හා තේරුම්ගත හැකිද?
8. අර්බුදයකදී ජනතාවගේ දුෂ්කරතා පිළිබඳ සංවේදීභාවයක් පෙන්වනවාද?
9. ජනතා විවේචන හා අදහස් සඳහා සවන්දීමේ ඉඩක් තිබේද?
10. පණිවිඩය සියලු වැදගත් ජන කණ්ඩායම් වෙත කාලෝචිතව හා ප්‍රවේශ විය හැකි ආකාරයෙන් ලබාදී තිබේද?
නිගමනය
රාජ්‍ය නායකයෙකුගේ ජනතා ඇමතුම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ වැදගත් අංගයකි. එහි අරමුණ නායකයාගේ පෞද්ගලික හෝ පක්ෂ දේශපාලන ප්‍රතිරූපය ගොඩනැගීම පමණක් නොවිය යුතුය. එය ජනතාවට සත්‍ය හා කාලෝචිත තොරතුරු සැපයීම, රාජ්‍ය තීරණ පැහැදිලි කිරීම, වගවීම තහවුරු කිරීම, ජනතා විශ්වාසය ගොඩනැගීම සහ ජනතාව හා රාජ්‍යය අතර ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් ඇති කිරීම සඳහා භාවිත කළ යුතුය.
OECD විසින් මහජන සන්නිවේදනය- public communication- විවෘත පාලනයක්- open government- සහ ප්‍රජාතන්ත්‍රවාදය- democracy- ශක්තිමත් කිරීමේ මෙවලමක් ලෙස සලකන අතර, එහි මූලික පදනම ලෙස විනිවිද භාවය- transparency-, අභිමානවත් භාවය-integrity, වග වීමට හැකිවීම- accountability සහ සියලු පාර්ශ්වගේ සහභාගිත්වය- stakeholder participation-;;යන ගුණාංග දක්වා ඇත.
එබැවින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ගේ සාරය එක් වාක්‍යයකින් දැක්විය හැක්කේ:
“රාජ්‍ය නායකයා ජනතාව අමතන්නේ ජනතාව පාලනය කිරීම සඳහා නොව, ජනතාවට තොරතුරු ලබාදීමට, ඔවුන්ට වගවීමට, ඔවුන්ට සවන්දීමට සහ පොදු යහපත වෙනුවෙන් ඔවුන් සමඟ සන්නිවේදනය කිරීමටය.”
ප්‍රධාන මූලාශ්‍ර
1. OECD (2021), OECD Report on Public Communication: The Global Context and the Way Forward, OECD Publishing, Paris. මෙය රටවල් 46ක සහ ආයතන 63ක public communication practices පදනම් කරගත් පුළුල් අධ්‍යයනයකි.
2. World Health Organization, WHO Strategic Communications Framework for Effective Communications. එය accessible, actionable, credible, relevant, timely සහ understandable යන මූලධර්ම හය ඉදිරිපත් කරයි.
WHO Principles for Effective Communications,
3. OECD, Recommendation of the Council on Open Government සහ ඒ මත පදනම් වූ Public Communication Framework. මෙහි transparency, integrity, accountability සහ stakeholder participation විවෘත රාජ්‍ය පාලනයේ මූලධර්ම ලෙස සලකා ඇත.
ආචාර්ය නීතිඥ රාජා ගුණරත්න,
ජෙෂ්ඨ කථිකාචාර්ය,
නීති අධ්‍යවන දෙපාර්තමේන්තුව.
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඇමරිකාවටත් අභියෝගයක් වූ හුතී බලයේ රහස ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..
ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..
රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්
වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ
"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි
කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න