News Category
From Date
To Date
Maximum Number of Result

ආයෝජකයන් පිනවීමට අලි එළැවීම වෙනුවට හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය සුරක්ෂිත කළ යුතු ය - සජීව චාමිකර, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

Nov 26, 2025 at 09:47 AM
|

ජාතික ජන බලවේගය ආණ්ඩුව විද්‍යාවෙන් අවිද්‍යාවට යමින් ආයෝජකයන් ගේ අවශ්‍යතා ඉටු කිරීම ප්‍රධාන අරමුණ කර ගෙන අලි එළැවීමේ ව්‍යාපෘති අඛණ්ඩ ව සිදු කරන බවත්, ආයෝජකයන් පිනවීමට අලි එළැවීම වෙනුවට හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය සුරක්ෂිත කළ යුතු බවත් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර මහතා පවසයි.

සිය මුහුණු පොතේ මේ සම්බන්ධයෙන් ඔහු දක්වා අති අදහස පහළින්..

ජාතික ජන බලවේගය ආණ්ඩුව විද්‍යාවෙන් අවිද්‍යාවට යමින් ආයෝජකයන් ගේ අවශ්‍යතා ඉටු කිරීම ප්‍රධාන අරමුණ කර ගෙන අලි එළැවීමේ ව්‍යාපෘති අඛණ්ඩ ව සිදු කරයි. පසුගිය ජනාධිපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔවුන් ඉදිරිපත් කළ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හා “මිහිකත පරිසර ප්‍රතිපත්තියේ” සඳහන් කර ඇත්තේ අලි - මිනිස් ගැටුම පාලනය කිරීමට අලි ගහනය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ ව නිසි අධ්‍යයනයක් සිදු කර ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් ජන සහභාගීත්ව වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ය. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන මත ජනතාව සමඟ සම්මුති ගත වූ ආණ්ඩුව අලි - මිනිස් ගැටුමට විද්‍යාත්මක ප්‍රවේෂයක් තුළ විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වී බලයට පත් වුව ද ඉන් පසු ව ආයෝජකයන් ගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා අවිද්‍යාත්මක ව අලි - මිනිස් ගැටුම පාලනයට විසඳුම් සොයමින් සිටී. මෙය දරුණු ඛේදවාචකයක් වන්නේ මෙම වැරදි උපායමාර්ගය හේතුවෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමකට අලි - ඇතුන් හා ජනතාව අනාගතයේ දී ගොදුරු වන නිසා ය.

වත්මන් ආණ්ඩුව බලය ලබා ගත් පසු ව කුරුණැගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර අසාර්ථක වූ අලි එළැවීම අනුරාධපුර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ද ක්‍රියාත්මක කරමින් තිබේ. මේ අතුරෙන් හම්බන්තොට අලි පළවා හැරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මාගම්පුර වරාය පුළුල් කිරීම, චීන කර්මාන්තපුරය ඉදි කිරීම සඳහා වෙන් කර ඇති අක්කර 8000 ක භූමිය තුළ ඉදිකිරීම් ආරම්භ කිරීම හා වල්සපුගල වනාන්තරය එළි කර සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ය. නමුත් දශක ගණනාවක සිට අලි - ඇතුන් සීමිත භූමි ප්‍රදේශයක ගාල් කිරීම සඳහා පළවා හැරීමට උත්සාහ කළ ද ඒ සියල්ල අසාර්ථක වූයේ දැවැන්ත මහජන බදු මුදල් ප්‍රමාණයක් ද රටට අහිමි කරමිනි. 2006 වසරේ දී වලව වම් ඉවුර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි - ඇතුන් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට පලවා හැරීම සිදු කෙරින. නමුත් දින කිහිපයක් තුළ එම ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන් ම අසාර්ථක වීම පමණක් නොව එහි ප්‍රතිඵලයක් ලෙස දැනට සිදු වන ආකාරයෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වර්ධනය වීම ද සිදු විය. 

එම අලි පලවාහැරීම අසාර්ථක වීමට බලපෑ හේතු ගණනාවකි. ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය වටා පිහිටන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අයත් අලි - ඇතුන් ගේ වාසස්ථාන ජාලගත වී නොතිබීම, මෙම වනෝද්‍යානය හා සම්බන්ධ වැටහිරකන්ද ස්වභාව රක්ෂිතයේ මෙන් ම දහයියාගල අභය භූමිය හා බෝගහපට්ටිය ප්‍රදේශයේ අලි මංකඩවල් අනවසර වගා ව්‍යාපෘති සඳහා භාවිත කිරීම, ජාතික වනෝද්‍යානය තුළට එළ ගවයන් හා මී ගවයන් පනස්දහසකට වැඩි ප්‍රමාණයක් අනවසරයෙන් ඇතුළු කිරීම නිසා අලින් ගේ ආහාර බිම් අහිමි වීම, වනෝද්‍යානයෙන් වැඩි ප්‍රදේශයක ආක්‍රමණික ශාක ලෙස අලි - ඇතුන් ගේ ආහාර බිම් දරුණු ලෙස ආක්‍රමණයට ලක් කරමින් ගඳපාන හා ගිනිතණ ශාක ව්‍යාප්තව පැවතීම, වනෝද්‍යානය තුළ විශාල ප්‍රදේශයක අණවසර වගා බිම් පවත්වාගෙන යාම හා නීති විරෝධී කන්සා වගාව සිදු කිරීම මෙන් ම ලුණුගම්වෙහෙර ජලාශයේ ධීවර කර්මාන්තයේ නිරත පිරිස් විසින් සිදු කරන නීති විරෝධී හා හානිකර ක්‍රියා නිසා අලි - ඇතුන්ට ජාතික වනෝද්‍යානය තුළ ම රැකවරණය අහිමි වීම වැනි තත්ත්වයන් ගණනාවක් මේ සඳහා හේතු විය. 

මෙම පූර්ව අවබෝධය තිබිය දී නැවත වරක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විසිරී සිටින අලි - ඇතුන් හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට ගෙන යාමෙන් සිදු වන්නේ ද 2006 වසරේ දී ඇති වූ ප්‍රතිඵලය ම නැවත සිදු වීම ය. ඊට හේතුව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 2 වන වගන්තියට අනුව 2021 අප්‍රේල් මස 9 වන දින අංක 2222/62 දරන ගැසට් නිවේදනය මගින් හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක දෙකට අයත් හම්බන්තොට, සූරියවැව, ලුණුගම්වෙහෙර හා තනමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ව්‍යාප්තව ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, මහවැලි අධිකාරියට හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හෙක්ටයාර 23746.55 ක භූමි ප්‍රමාණයක් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කළ ද එම රක්ෂිතය තුළ හා ඒ වටා හානිකර ක්‍රියා බොහොමයක් සිදු වීමෙන් ඒ තුළ අලි - ඇතුන්ට රැකවරණය අහිමි වී තිබීම ය.

අලි කළමනාකරණ රක්ෂිතයේ අදුරු ඉතිහාසය

වලව වම් ඉවුරු සංවර්ධන ව්‍යාපෘතියෙන් හා ජාතික භෞතික සැලසුමට අනුව හම්බන්තොට මහ නගරය ඉදි කිරීමට එළි පෙහෙළි කරන ලද වනාන්තර අක්කර 35,000 ක පමණ ප්‍රමාණය හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි - ඇතුන් ගේ සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා උඩවලව, ලුණුගම්වෙහෙර හා බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කරමින් අලි - ඇතුන් ගේ සංක්‍රමණික රටාවන් හඳුනාගෙන හම්බන්තොට අලි - මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා වනාන්තර ප්‍රදේශ ජාල ගත කිරීම අරමුණු කර ගෙන “හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප්‍රකාශයට පත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2011 වසරේ දී යෝජනා කෙරින.

ගජ මිතුරෝ වැඩසටහන යටතේ 2009 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලූ ම රාජ්‍ය ආයතනවල හා ප්‍රදේශවාසීන් ගේ සහභාගිත්වයෙන් යුතු ව සකස් කළ මෙම සැලැසුම සඳහා 2012 වසරේ දී ගජ මිතුරෝ දිස්ත්‍රික් කමිටුව විසින් ඒකමතික ව අනුමැතිය ලැබිණ. එම සැලැසුමට අනුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම, විදුලිවැටවල් ඉදිකිරීම හා අලි මංකඩවල් විවෘත කිරීම ඇතුළු ක්‍රියාමාර්ගවලට පිවිසීමට නියමිත විය. මේ සියලූ ම සැලැසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරීන් විසින් සකස් කළ වාර්තා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත යොමු කර වසර පහළොවකට ආසන්න කාලයක් අද වන විට ගත වී ඇත. නමුත් ඒ කිසිවක් අද වන විට ක්‍රියාත්මක කර නොමැත. 2011 වසරේ දී අලි කළමනාකරණ රක්ෂිතය සැලැසුම් කිරීමෙන් වසර 10 කට පසුව 2021 වසරේ දී නෛතිකව මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ද වල්සපුගල ගොවීන් විසින් සිදු කළ දැවැන්ත අරගලයක ප්‍රතිඵලයක් ලෙස ය. ඒ වන විට මහවැලි අධිකාරිය හා පැවති ආණ්ඩුව මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීමට දැවැන්ත උත්සාහයක නිරත වූයේ එම ඉඩම් විවිධ සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දීමේ අරමුණින් කටයුතු කළ නිසා ය.

එපමණක් නොව 2011 වසරේ සැලැසුම නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට මහවැලි අධිකාරිය අවස්ථාව ලබා නොදීම හේතුවෙන් හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය නිසි පරිදි ප්‍රකාශයට පත් කර අලි - ඇතුන් ගේ සමස්ත වාසස්ථාන සුරක්ෂිත කිරීමට නොහැකි විය. මේ නිසා  වනාන්තර ඉඩම් සූර්ය බලශක්ති බලාගාර ඉදි කිරීමට, මහ පරිමාණ කලුගල් හා පස් කැණීම් මෙන් ම මහ පරිමාණ වාණිජ වගාවන් සඳහා භාවිතයට ගැනීමට වෙන් කිරීම සිදු විය. මේ නිසා හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ මෙන් ම ඒ වටා අලි - ඇතුන් ගේ වාසස්ථාන දරුණු විනාශයකට ගොදුරු විය. 

අලි කළමනාකරණ රක්ෂිතයේ හා ඒ වටා ඉඩම් විකිණීමේ ජාවාරම

මහවැලි අධිකාරියෙන් රක්ෂිත තත්ත්වයට පත් කිරීමට අවස්ථාව ලබා නොදුන් බුරුතන්කන්ද, කරුවලවැව ප්‍රදේශයේ අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට පළමු ව යෝජනා කර තිබූ අලින් බහුල ව ජීවත් වූ වනාන්තර අක්කර 600 ක පමණ භූමියක් සූර්ය බලශක්ති බලාගාර ව්‍යාපෘති ස්ථාපිත කිරීමට සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර තිබේ.

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් මහ පරිමාණයෙන් විකිණීමේ ජාවාරම මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට සැලැසුම් කළ 2011 වසරේ සිට එවකට පැවති ආණ්ඩුවේ දේශපාලන අනුග්‍රහය යටතේ සංවිධානාත්මක ව ක්‍රියාත්මක විය. නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් වලව මහවැලි කලාපය ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් කට්ටි කර විකිණීම ඒ අනුව සිදු විය. ගොන්නොරුව නින්දගම ලෙස හැඳින්වෙන පන්වැව සිට ගොන්නොරුව දක්වා විහිදී ඇති වනාන්තර ප්‍රදේශයේ අක්කර 500 ක් පමණ අක්කර 25 හා 50 බැගින් වන ඉඩම් කට්ටි බවට පත් කර කොළඹ ආශ්‍රිත ව්‍යාපාරිකයන්ට විකිණීම සිදු කෙරින. කැටැන්වැව සිට මළල ආර දක්වා කොටසේ පිහිටන ගලහිටියවත්ත නින්දගම ලෙස හඳුන්වන වනාන්තර ප්‍රදේශය ද ඉඩම් කට්ටි කර විකිණීමේ ජාවාරමට ගොදුරු විය.

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය 2021 වසරේ දී ප්‍රකාශයට පත් කිරීමේ දී පළමු සැලැසුමෙන් ඉවත් කළ අන්දර වැව සිට වල්සපුගල දක්වා වනාන්තර අක්කර 1000 ක් පමණ භූමි ප්‍රදේශය මේ වන විට සූර්ය බලාගාර ඉදි කිරීම සඳහා විවිධ සමාගම්වලට ලබා දීම හා වනාන්තර එළිපෙහෙළි කිරීම අඛණ්ඩ ව සිදු වේ. ඊට අමතර ව මහ පරිමාණ කළුගල් වලවල් ද මෙම වනාන්තරය තුළ ක්‍රියාත්මක කරමින් තිබේ. මෙම සම්පූර්ණ වනාන්තර ප්‍රදේශය අලි - ඇතුන් ගේ ප්‍රධාන වාසස්ථානයක් වන නමුත් එම ප්‍රදේශය මේ වන විට මෙම සතුන්ට අහිමි කරමින් තිබීම අලි - මිනිස් ගැටුම වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.  

අලි කළමනාකරණ රක්ෂිතයේ අලි මංකඩවල් අහිමි කිරීම

අලි කළමනාකරණ රක්ෂිතයේ සිට මදුනාගල අභය භූමිය දක්වා අලි ගමන් කිරීම සිදු වන බුරුතන්කන්ද අලිමංකඩේ ඉඩම් සියල්ල ම මහවැලි අධිකාරිය මඟින් ජනතාවට බෙදා දීමේ ප්‍රතිඵලයක් ලෙස මදුනාගල අභය භූමිය තුළ අලි - ඇතුන් 18 ත් 20 ත් අතර ප්‍රමාණයක් කොටු වී සිටී. මේ නිසා එම සතුන් අවට ගම්මානවලට පිවිසීම හා වගා බිම්වලට පැමිණ වගා හානි කිරීම නිරන්තරයෙන් සිදු වේ. 

මීට අමතර ව මාගම්පුර වරාය ඉදි කිරීමට යොදා ගත් වනාන්තර අක්කර 5000 ක භූමියේ දැනට ඉතිරි වී තිබෙන වනාන්තර අක්කර 2500 ක් පමණ වන ප්‍රදේශයේ අලි - ඇතුන් 20 ක් පමණ රැඳී සිටී. මෙම සතුන් රාත්‍රි කාලයේ ගම් වැදීම නිසා ගැටලුකාරී තත්ත්වයන්ට ඒ අවට ජනතාවට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වේ. මීට ප්‍රධාන හේතුව අලි කළමනාකරණ රක්ෂිතය හා මෙම වනාන්තර කොටස අතර සම්බන්ධතාව බිඳ වැටීමයි. 

අලි කළමනාකරණ රක්ෂිතයේ ගොන්නෝරුව ප්‍රදේශය ආශ්‍රිත ව සිටින අලින්ට බුන්දල ජාතික වනෝද්‍යානයට පිවිසීමට ඇති මාර්ගය සම්පූර්ණයෙන් ම මේ වන විට ඇහිරී තිබේ. ගල්වැව ප්‍රදේශයෙන් මෙම සම්බන්ධතා ව වනාන්තර අතර පැවති නමුත් එම ප්‍රදේශයේ මහ පරිමාණයෙන් වනාන්තර එළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අලි පිවිසුම් මාර්ගය සම්පූර්ණයෙන් ම ඇහිරී තිබේ. මීට අමතර ව බුන්දල සිට අලි කළමනාකරණ රක්ෂිතයට අලි ගමන් කරන කොහොලංකල අලි මංකඩ මහ පරිමාණ මිරිස් වගා ව්‍යාපෘතියක් සඳහා භාවිත කර ඇති අතර එම ප්‍රදේශයේ එල්ලෙන විදුලි වැටවල් සකස් කර අලි - ඇතුන්ට ගමන් කිරීමට ඇති මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර කර ඇත. මේ සියල්ලේ ම ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිත බොහෝ ප්‍රදේශ අලි - මිනිස් ගැටුමේ අධි අවදානම් කලාපයක් බවට පත් ව තිබේ.

මීට අමතර ව හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ප්‍රධාන අලි මංකඩක් වන හැඬිල්ල අලිමංකඩ අවහිර කිරීම ද සිදු කර ඇත. හැඬිල්ල අලි මංකඩ ඔස්සේ බුන්දල ජාතික වනෝද්‍යානයේ හා හම්බන්තොට ප්‍රදේශයේ වනාන්තරවල ජීවත්වන අලි ඇතුන් ලුණුගම්වෙහෙර හා උඩවලව ජාතික වනෝද්‍යානවලට ගමන් කිරීම සිදු විය. ගොන්නොරුව හා කැටන්වැව අතර පිහිටි මෙම අලිමංකඩ අවහිර වන පරිදි නිවාස සංකීර්ණයක් ඉදි කර තිබේ. මීට අමතර ව හැඬිල්ල අලිමංකඩේ තවත් අක්කර 50 ක භූමියක් නින්දගම් ඉඩමක් යැයි සඳහන් කරමින් ව්‍යාජ ඔප්පුවක් සකස් කර විදුලි වැටවල් ඉදිකර වෙන් කර ගෙන තිබේ. 

අලි කළමනාකරණ රක්ෂිතය හා උඩවලව ජාතික වනෝද්‍යානය සම්බන්ධ වන්නේ උඩවලව - තණමල්විල මාර්ගයේ 31 හා 32 කිලෝමීටර කණු අතර ප්‍රදේශය ඔස්සේ ය. මේ අලි මංකඩ විවෘත කිරීම සඳහා ප්‍රදේශයේ දේශපාලඥයන් පසුගිය කාලය පුරා ම විරෝධතා ව දැක්වීම හේතුවෙන් මෙතෙක් ඒ පිළිබඳ සැලැසුම් සකස් කර ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ. මේ නිසා හම්බන්තොට හා ඒ ආශ්‍රිත අලි - ඇතුන් ගේ වාසස්ථාන සැලැසුම් කළ පරිදි ජාලගත කිරීමට නොහැකි වී තිබේ.

වන අලි රක්ෂිතයේ අනවසර වගා බිම් හා කළුගල් කැණීම

අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර භූමි මහ පරිමාණයෙන් එළිපෙහෙළි කර අනවසර වගා බිම් පවත්වාගෙන යයි. ඒ හාමුදුරු වැව, ඉහළ අන්දර වැව, සීනුක්කුගල, පහළ අන්දර වැව, දිමුතුගම හා වැලි වැව ප්‍රදේශවල ය. මීට අමතර ව අලි කළමනාකරණ රක්ෂිතයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර එළිපෙහෙළි කර ස්ථාන ගණනාවක මහ පරිමාණයෙන් අනවසර වගා බිම් පවත්වාගෙන යනු ලැබේ. එනම් රතුකුරුස වැව, දක්ෂිණ වැව, අලුත් වැව, කඩවර වැව, බඳගිරිය වැව, මහ අලුත්ගංආර වැව, රණවරුනාව වැව හා දෙව්රන්වෙහෙර වැව යන ප්‍රදේශවල ය. මයුරපුර හා නාගර වැව ප්‍රදේශයේ මහ පරිමාණයෙන් පස් කැපීම සිදු කරණ අතර අධිවේගී මාර්ග ඉදි කිරීමේ දී ස්ථාන ගණනාවකින් වනාන්තර එළිපෙහෙළි කර පස් ලබා ගැනීම සිදු කෙරිනි.

මීට අමතර ව අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර මහ පරිමාණ කළු ගල් වලවල් පවත්වාගෙන යනු ලැබේ. වෙහෙරගල හා මහ අලුත්ගංආර ප්‍රදේශවල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර මේ සඳහා යොදා ගෙන ඇත. මීට අමතර ව මයුරපුර, සීනුක්කුගල, කැටැන්වැව, ඉහළ අන්දරවැව, කුඩා ඉදිවැව, ගලහිටිය හා ගොන්නෝරුව ප්‍රදේශවල මහවැලි අධිකාරියට අයත් වනාන්තර එළි කර මහ පරිමාණයෙන් කළුගල් වලවල් පවත්වාගෙන යාම සිදු කරයි.

මේ වන විට අලි කළමනාකරණ රක්ෂිතයේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහ අන්දර වැව හා පහළ අන්දර වැව අතර පිහිටි හාමුදුරු වැව ඉහත්තාවේ අක්කර 2000 ක් පමණ එළිපෙහෙළි කර මහ පරිමාණයෙන් කෙසෙල් වගා කර තිබේ. පුද්ගලයන් අටදෙනෙකු විසින් මෙම වගා බිම් පවත්වාගෙන යයි. විදුලි වැටවල් සකස් කර පවත්වාගෙන යන මෙම අනවසර වගා බිම් හේතුවෙන් අලින් ගේ වාසස්ථාන අවහිර වීම නිසා මහ අන්දර වැව, වල්සපුගල, කරුවල වැව, තිස්සපුර හා රණමයුරපුර ප්‍රදේශවල ගොවීන්ගේ වගා බිම්වලට අලින්ගෙන් සිදු වන හානි වර්ධනය වී තිබේ. මීට අමතර ව වීර වැව, ගලහිටිය වැව, එළල්ල වැව හා පුස්ගලේ වැවට අලි - ඇතුන්ට පිවිසීමට ඇති ඉඩකඩ විදුලි වැටවල් හා වගා බිම් නිසා සම්පූර්ණයෙන් ම අවහිර වී තිබේ. මීට අමතර ව අන්දර වැවේ ජලය වතුර මෝටර් 81 ක් මඟින් මහ පරිමාණයෙන් ලබා ගෙන අනවසර වගා බිම්වලට යෙදීම හේතුවෙන් මෙම වැව යටතේ වගා කරන ගොවීන්ට උග්‍ර ජල හිඟයකට ද මුහුණ දීමට සිදු වී ඇත.

පසුගිය කාලය තුළ දී මහවැලි අධිකාරිය මඟින් කෑලියපුර, ගොන්නෝරුව, කැටැන්වැව, පහළ අන්දරවැව හා කුඩාඉදිවැව යන ප්‍රදේශවල ව්‍යාප්තව ඇති අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 6000 ක් පමණ සංවර්ධනය කර වාණිජ ඉඩම් ලෙස ලබා දී ඇත. මේ නිසා අලි කළමනාකරණ රක්ෂිතයෙන් වැඩි කොටසක් අලි - ඇතුන්ට අහිමි වී ගැටලු ගණනාවක් උද්ගත ව තිබේ.

මහවැලි අධිකාරියට අයත් අලි කළමනාකරණ රක්ෂිතයේ වනාන්තර

මේ ආකාරයෙන් අවභාවිත වන අලි කළමනාකරණ රක්ෂිතයෙන් සියයට 40 ක් පමණ ආවරණය වන්නේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම් වලිනි. 1979 අංක 23 දරණ ශ්‍රී ලංකා මහවැලි අධිකාරී පනතේ 3 (1) වගන්තියට අනුව 1981 අප්‍රේල් 16 වන දින අංක 137 දරන ගැසට් නිවේදනය මගින් වලව බල ප්‍රදේශය වශයෙන් විශාල භූමි ප්‍රමාණයක් මහවැලි අධිකාරිය යටතට පවරා දී තිබේ. එසේ පවරා දී ඇත්තේ මෙම සමස්ත ප්‍රදේශයේ ම වනාන්තර එළි පෙහෙළි කර සංවර්ධනය කිරීමට නොවේ. 

මහවැලි කඩිනම් සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී වනාන්තර එළි පෙහෙළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වාසස්ථාන අහිමි වූ අලි - ඇතුන් ඇතුළු සියලු ජෛව ප්‍රජාවට හා ජල පෝෂක ප්‍රදේශවල සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික වනෝද්‍යාන ඇතුළු බොහෝ ආරක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කරන ලදී. නමුත් වලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී වාසස්ථාන අහිමි වූ අලි - ඇතුන් ඇතුළු ජෛව ප්‍රජාවට හා ජල පෝෂක ප්‍රදේශවල සුරක්ෂිතතාව තහවුරු කිරීමට මහවැලි අධිකාරියට අයත් වනාන්තර රක්ෂිත තත්ත්වයට පත් කර ඇත්තේ ඉතා ම සුළු ප්‍රමාණයකි. වැඩි ප්‍රමාණයක් සංවර්ධන භාවිතයන්ට ලබා දී ඇත. මේ තත්ත්වය අලි - මිනිස් ගැටුම මෙම ප්‍රදේශයේ උග්‍ර මට්ටමකට පත් වීමට බලපා තිබේ. 

අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප්‍රදේශ හයක් මේ වන විට අනාරක්ෂිතව පවතී. මදුනාගල අභය භූමිය ආශ්‍රිත ව පිහිටි හෙක්ටයාර 300 ක් පමණ වන කරඹගස්මුල්ල ඖෂධ වනය ඒ අතුරින් ප්‍රධාන වේ. මීට අමතර ව වැවේ ගම, වැලි ආර, බැදි වැව, බෝගහ ඉදි වැව, කුඩා ඉදි වැව ආශ්‍රිත ප්‍රදේශවල ව්‍යාප්ත ව ඇති කෝන්කැටි ආර වනාන්තරය හෙක්ටයාර 700 ක් පමණ වේ. මෙම ඝන වනාන්තරය තුළ අලි - ඇතුන් බහුල ව ජීවත් වන අතර මව් ආර ව්‍යාපෘතියට අදාළ ඇළ මාර්ග බොහොමයක ජල පෝෂක ප්‍රදේශ වෙයි. 

මහ ඉදිවැව හා ඉහළ කුඹුක් වැවේ ඉහත්තාවේ ජල පෝෂක ප්‍රදේශ ලෙස පිහිටන වනාන්තර හෙක්ටයාර 120 ක් පමණ මහවැලි අධිකාරිය යටතේ පාලනය වේ. ඒ අතර මහ ඉදි වැව ඉහත්තාවේ පිහිටන හෙක්ටයාර 20 ක් පමණ වන සූරියමාර වන වගාව අද වන විට ඉතා හොඳින් ස්වභාවීකරණයට ලක් ව තිබේ. ගොන්නෝරුව පාර හා මලල ආර අතර පිහිටි හෙක්ටයාර 400 ක් පමණ වන වනාන්තර ප්‍රදේශය හා පහළ අන්දර වැව, හැඹිල්ල, කැටැන් වැව යන ගම්මාන ආශ්‍රිත ව පිහිටි හෙක්ටයාර 200 ක් පමණ වන එලල්ල වනාන්තර ප්‍රදේශය මහවැලි අධිකාරිය යටතේ පාලනය වේ. මේ වනාන්තර ප්‍රදේශ සියල්ල ම කඩිනමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ආරක්ෂා කළ යුතු ව ඇත. එසේ නොවුනහොත් ඉතා ම කෙටි කලකින් මෙම වනාන්තර සියල්ල ම මහවැලි අධිකාරියෙන් සම්පූර්ණයෙන් විනාශ කර දමනු ඇත. 

අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනාන්තර

මහවැලි අධිකාරියට අයත් නොවන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තවත් වනාන්තර ප්‍රදේශ ගණනාවක් අලි කළමනාකරණ රක්ෂිතයට අයත් ය. හෙක්ටයාර 600 ක් පමණ වන තම්මැන්න - බඳගිරිය අවශේෂ කැලය, හෙක්ටයාර 500 ක් පමණ වන බුන්දල - සිරියගම අවශේෂ කැලය, හෙක්ටයාර 2000 ක් පමණ වන රන්මුදු වැව වන රක්ෂිතය හා හෙක්ටයාර 600 ක් පමණ වන කැලිගම - කොහොලංකල අවශේෂ කැලය ඒ අතර ප්‍රධාන වේ. මෙම වනාන්තර ද අද වන විට දැඩි අවදානමකට ලක් ව තිබේ. 

පසුගිය 2010-2015 රජය පැවති සමයේ දී කැලිගම - කොහොලංකල අවශේෂ කැලයේ වනාන්තර අක්කර 1000 ක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පැවරීමට අත්පත් කර ගෙන තිබේ. එම වනාන්තර ප්‍රදේශය කොහොලංකල අලි මංකඩ ලෙස සැලකෙන ඉතා ම වැදගත් වනාන්තර ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ වනාන්තර විනාශ කිරීමෙන් හා සංවර්ධනය කිරීමෙන් අලි - ඇතුන් ගේ සාම්ප්‍රදායික අලිමංකඩ අහිමි වී ගැටලු බොහොමයක් උද්ගත වී ඇත. 

මලල ආරට ඉහළින් පිහිටි තම්මැන්නාව - බඳගිරිය අවශේෂ වනය ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය හා බුන්දල ජාතික වනෝද්‍යානය අතර අලි ගමන් කරන ප්‍රධාන මංකඩකි. මෙම ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් පිහිටා ඇති බව සඳහන් කරමින් විවිධ පුද්ගලයන් විසින් වනාන්තර ඉඩම් නිදහස් කර ගැනීමට උත්සාහ දරයි. මෙම වනාන්තර ප්‍රදේශයේ අක්කර 50 ක භූමියක් කජු වගාවක් සඳහා ලබා ගැනීමට මේ වන විට උත්සාහ දරන අතර එම ඉඩම් නිදහස් කිරීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ද පියවර ගනිමින් සිටී. මීට අමතර ව බඳගිරිය ජලාශය ඉදි කිරීමේ දී අවතැන් වූ ජනතාවට විකල්ප ඉඩම් ලබා දී ඇති නමුත් ජලාශයට යට වූ භූමි ප්‍රදේශවල ඉඩම් ඔප්පු භාවිත කරමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර නිදහස් කර ගැනීමට ප්‍රදේශයේ  සංවිධානාත්මක පිරිසක් උත්සාහ දරති. 

අලි අනාථ කළ හම්බන්තොට අවිධිමත් සංවර්ධනය

මෙම වන විනාශයන් ගේ ප්‍රතිඵලය ලෙස හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ හා ඒ ආශ්‍රිත ව පිහිටි කැටන්වැව, කුඩා ඉදිවැව, නාගරවැව, පන්වැව, වල්සපුගල, තැලවිල්ල, ඉලුක්පැලැස්ස, සීනුක්කුගල හා මැටිගත්වැව ආදී ප්‍රදේශවල වගා බිම්වලට පැමිණෙන අලි - ඇතුන් වෙඩි තබා හෝ විදුලිසැර යොදා ඝාතනය කිරීම වර්ධනය වී තිබේ.

මේ ප්‍රදේශයේ අලි මරණ හා අලි ප්‍රහාරයට ලක් ව සිදු වූ මිනිස් මරණවලට සෘජුව ම වගකිව යුතු වන්නේ නිවැරදි උපායමාර්ගික සැලසුමකින් තොරව හම්බන්තොට සිදු කළ අවිධිමත් සංවර්ධන කටයුතු ය. ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදි කිරීම සඳහා පමණක් මත්තල ප්‍රදේශයේ අලි - ඇතුන් ගේ ප්‍රධාන වාසස්ථානයක් වූ දැවැන්ත වනාන්තර පද්ධතියේ අක්කර 5000 ක් සම්පූර්ණයෙන් යොදා ගැනීම සිදු කෙරිණ. ඉන්පසුව ඒ ආශ්‍රිත මාර්ග පද්ධති හා යටිතල පහසුකම් නැංවීමට, මාගම්පුර වරාය ඉදි කිරීමට, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මිරිජ්ජවිල ආයෝජන කලාපය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය, අධිවේගී මාර්ග පද්ධතිය ඉදි කිරීම හා ක්‍රිකට් ක්‍රීඩාපිටිය ඉදි කිරීම සඳහා ද දැවැන්ත වනාන්තර ප්‍රමාණයක් ඉවත් කෙරිණ. මේ හේතුවෙන් පහළ අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පු ජදුර, බදගිරිය සහ ලූණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 5 හා 6 ප්‍රදේශවලට වාසස්ථාන අහිමි වූ අලි - ඇතුන් පිවිසීමෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් අලූතින් නිර්මාණය වී තිබේ. මේ නිසා වගා බිම්වලට හා දේපොළවලට සිදු වී ඇති හානිය සුළුපටු නොවේ. සමහර ගොවි ජනතාව වගා කටයුතුවලින් ඉවත් වීමට පවා මේ තත්ත්වය බලපා තිබේ. 

මේ වන විනාශයේ ප්‍රතිඵලය වී ඇත්තේ අලි - මිනිස් ගැටුම මෙතෙක් නොපැවති බොහෝ ප්‍රදේශ එහි ගොදුරු බවට පත් කිරීම පමණක් ම නොවේ. පසුගිය කාලයේ පැවති උග්‍ර නියං තත්ත්වයට හා ඒ සමඟ ම උද්ගත වූ දැවැන්ත ජල අර්බුදවලට ප්‍රධාන හේතුව වී ඇත්තේ ද මේ මහා පරිමාණ වනාන්තර විනාශ යයි. 

අද වන විට නිසි සැලැසුමකින් තොරව ඉදි කළ හම්බන්තොට වරාය පරිශ්‍රය තුළ, මිරිජ්ජවිල ආයෝජන කලාපය තුළ, හම්බන්තොට පරිපාලන සංකීර්ණය පිටුපස පිහිටි වනාන්තර කොටස තුළ, ක්‍රීඩා පිටිය ආශ්‍රිත නුගේගලයාය, එඩිසන් කන්ද ආශ්‍රිත ව සහ මෙම සංවර්ධන කටයුතු හේතුවෙන් හුදකලා වී ඇති වනාන්තර කුට්ටි ලෙස පවතින, මානජ්ජාව කැලය, මදුනාගල වනාන්තරය, නාගරවැව ප්‍රදේශය, ඉහළ කුඹුක්වැව හා කුමාරගම කැලෑ ප්‍රදේශයේ අලි - ඇතුන් විශාල ප්‍රමාණයක් හුදකලාව සිටිති. මේ සියලු සතුන් අනාථ වී සිටින්නේ හම්බන්තොට අවිධිමත් සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ය. 

අලි කළමනාකරණ රක්ෂිතය දෙකඩ කරමින් මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය ඉදි කර ඇති අතර මාතර සිට ඉහළ අන්දර වැව හරහා මත්තල ගුවන්තොටුපොළ දක්වා ඉදිකර ඇති අධිවේගී මාර්ගය හා මාගම්පුර වරායේ සිට ඉහළ අන්දරවැව දක්වා ඉදිකර ඇති අධිවේගී මාර්ග පිවිසුම හේතුවෙන් මෙම රක්ෂිතයේ වනාන්තර පද්ධති දැඩි ලෙස ඛණ්ඩනය වීමට ලක් ව තිබේ. මේ වන විට අධිවේගී මාර්ගය සකස් කිරීම සඳහා මීටර් 150 ක් පමණ පළල හා කිලෝමීටර් 8 ක් පමණ දිග වනාන්තර තීරයක් සම්පූර්ණයෙන් ම ඉවත් කර ඇත. මෙම අධිවේගී මාර්ග හේතුවෙන් අලි කළමනාකරණ රක්ෂිතයේ සීනුක්කුගල, වල්සපුගල, කරුවලවැව වනාන්තර ප්‍රදේශය සම්පූර්ණයෙන් ම අලි - ඇතුන් සමඟ ම හුදකලා වීම සිදු ව තිබේ. මේ පිළිබඳ ව අදාළ සැලසුම් සකස් කරන්නන් ගේ අවධානය යොමු නොකිරීමෙන් සිදු ව ඇත්තේ අවට ජනතාව අලි - මිනිස් ගැටුමට තව තවත් ගොදුරු වීම ය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි - ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය වන පරිදි පටු දේශපාලන අරමුණු මත සිදු කළ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් ලෙස වල්සපුගල, කරුවලවැව, මදුනාගල, හැඩිල්ල, කරඹගහමුල්ල, නබඩගස්වැව කටු වැව, පතලයාගම, ආරබැද්ද, කැලිගම, ගල්වැව, හොඬවැල් පොකුණ, බැල්ලගස් වැව, බැරගම, අම්බලන්තොට, මානජ්ජාව, වැවේගම, වැලි ආර, වැලි වැව, මීගහජදුර, මත්තල, උඩමත්තල, ගොන්නෝරුව, බඳගිරිය, තම්මැන්නාව, කැරුස වැව, ජූල්ගමුව, යහන්ගල, අන්දරවැව, පන්වැව, සීනුක්කුගල, නාගරවැව, කුඩා ඉදිවැව, කැටැන්වැව හා උණුදිය පොකුණ ආදී ප්‍රදේශවල අලි - මිනිස් ගැටුම උග්‍ර තත්ත්වයකට පත් ව තිබේ.

වන අලි රක්ෂිතය සුරක්ෂිත කර අලි - ඇතුන් හා ගොවිබිම් රැක ගැනීම

අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර ප්‍රදේශ තුළ වැව් 25 ක් පමණ පිහිටා තිබේ. මැටිගත් වැව, ස්වර්ණමාලී වැව, ලෝලුගස්වෑකඩ වැව, කැලිගම වැව, පරෙන්ගි වැව, වීරසිංහ වැව, ඩෝසර්වත්ත වැව, තම්මැන්න වැව, බඳගිරිය වැව, කඩවර වැව, උඩමත්තල වැව, ඔරුකැන්ගල වැව, පන් වැව, කටු වැව, ලුණුවැරනිය වැව, රන්මුදු වැව, මහ අලුත්ගංආර වැව, මහ වැව, මහ ගල් වැව, කුඩා වැව, ගලපිට වැව, රතු කුරුස වැව, දක්ෂිණ වැව, සේරුංකෙළිය වැව හා අලුත් වැව ඒ අතර වේ. මේ අතුරින් බඳගිරිය වැව විශාලත ම වැව වේ. මීට අමතර ව අලි කළමනාකරණ රක්ෂිතයේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ප්‍රදේශ තුළ වැව් 17 ක් පමණ පිහිටා තිබේ. එනම් කිකිළි ඉද්ද වැව, ගල් වැව, දිවුල්පැලැස්ස වැව, ඉළුක්පැලැස්ස වැව, කැටැන් වැව, ගලහිටිය වැව, තේක්ක වැව, හාමුදුරු වැව, අන්දර වැව, උස්ගල වැව, වැවේගම් වැව, කුඩා ඉදි වැව, එලල්ල වැව, හැඩිල්ල වැව, පහළ අන්දර වැව, කරමැටිය වැව හා මුත්තගල්ආර වැව යි. මේ සියල්ලේ ම ජල සුරක්ෂිතතාව හා කෘෂිකර්මාන්තයේ සුරක්ෂිතතාව මෙන් ම අලි - ඇතුන් ඇතුළු ජෛව ප්‍රජාව ගේ සුරක්ෂිතතාව රැදී ඇත්තේ මෙම රක්ෂිතයේ වනාන්තර පද්ධතියේ පැවැත්ම මත ය.

මේ නිසා අලි කළමනාකරණ රක්ෂිතය අලි - ඇතුන් ගේ නිජබිමක් පමණක් නොවේ. එය සුවිශේෂී පරිසර පද්ධති ගණනාවකින් සමන්විත ය. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැලෑ, වැව් ඇතුළු තෙත් බිම් පද්ධති මේ තුළ පිහිටා තිබේ. මේ සියලු පරිසර පද්ධති වල 450 ක් පමණ වන අලි ගහනයක් හා විශාල ජෛව ප්‍රජාවක් වාර්තා වේ. තෙත් බිම් ආශ්‍රිත නේවාසික පක්ෂීන් බහුතරයක ගේ වාසස්ථාන වන මෙම ප්‍රදේශය සංක්‍රමණික තෙත් බිම් පක්ෂීන් ගේ ද ප්‍රධාන ගොදුරු බිමකි. මීට අමතර ව මෙම ප්‍රදේශය තුළ පුරා විද්‍යාත්මක ව වටිනා ස්ථාන බොහොමයක් පිහිටා තිබේ. නමුත් ඒ සියල්ල මෙම රක්ෂිතය නිවැරදිව ආරක්ෂා නොකිරීම නිසා අහිමි වෙමින් තිබේ.

කළ යුත්තේ කුමන් ද?

හම්බන්තොට අලි මෙම අලි කළමනාකරණ රක්ෂිතයට එළැවීමට ප්‍රථමයෙන් සිදු කළ යුතු වන්නේ ඒ වටා පිහිටි සියලූ ම වනාන්තර මෙම රක්ෂිතය යටතට පැවරීම ය. ඒ අතරතුර මෙම රක්ෂිතය හා සම්බන්ධ සියලූ ම අලි මංකඩවල් විවෘත කළ යුතු ය. හුදෙකලා වී ඇති වනාන්තර ජාල ගත කිරීමට පියවර ගත යුතු ය. විශේෂයෙන් බුන්දල, ලුණුගම්වෙහෙර හා උඩවලව යන ජාතික වනෝද්‍යානවලට අලින්ට පිවිසීමට ඇති මාර්ග කඩිනමින් විවෘත කළ යුතු ය. මීට අමතර ව මෙම රක්ෂිතය තුළ පිහිටි අනවසර වගා බිම් සියල්ල ම හා කළුගල් වලවල් සියල්ල ම ඉවත් කළ යුතු ය. ඉන් පසු ව මෙම වනාන්තර පද්ධතිය තුළ සිදු වන සියලූ ම නීති විරෝධී ක්‍රියා පාලනයට ක්‍රියාමාර්ග ගත යුතු ය. මේ මගින් හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය තුළ අලි - ඇතුන් ගේ සුරක්ෂිතතාව වර්ධනය කළ යුතු ය. එසේ නොමැති ව ආණ්ඩුවේ අවශ්‍යතාව මත ආයෝජකයන්ට ඉඩම් ලබා දීමට ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති සැලැසුම් කරන පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටින අලි මෙම රක්ෂිතයට එළවා විදුලි වැටවල් මගින් ගාල් කර තැබිය නොහැකි ය. එසේ කිරීමට උත්සාහ දැරීමෙන් සිදු වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනාන්තර පුරා විසිරී සිටින අලි - ඇතුන් අලි කළමනාකරණ රක්ෂිතය වටා පිහිටි වගා බිම්වලට පිවිසීම වර්ධනය වී ගොවීන් අවතැන් කිරීම ය. එවන් තත්ත්වයක් ඇති කිරීමට අවිද්‍යාත්මක සැලැසුම් සැකසීමට නිහාල් ගලප්පත්ති මන්ත්‍රිවරයාට ඉඩදිය යුතු නැත.

සම්බන්ධිත පුවත් | Related News

තමන් උතුරු මැද පළාතේ මහ ඇමති ධුරය සඳහා තරග වදිමින් දේශපාලනයට අවතීර්ණ වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, සක්‍රීය දේශපාලනයට පිවිසීමේ කිසිදු සූදානමක් තමන් තුළ නොමැති බවත් හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරයි.
පුනර්ජනනීය බලශක්ති උපදේශකයින් වසර ගණනාවක සිට පැවසූ දේ සත්‍යයක් කරමින් ඕස්ට්‍රේලියාවේ විදුලි මිල පහත වැටී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව තුළින් ඩොලර් මිලියන 800 කට අධික මුදලක් රටින් පිටවී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව ඇති බවත් එවැනි දැවැන්ත මුදලක් රටින් පිටවූයේ නම් එය දැවැන්ත ප්‍රශ්නයක් බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඉතිහාසයේ නොවී විරූ අන්දමින් වත්මන් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවත කරමින් සිටින බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම ආර්ථික අර්බුදයක් නොවන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.
‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට සමගාමීව ඌව පළාතේ දැවැන්ත ශ්‍රමදාන වැඩසටහනක් සහ තරගයක් අද දිනයේ ආරම්භ විය.
යාපනය විශ්ව විද්‍යාලය තුළ මුල්ලි වයික්කාල් කොටි ස්මාරකයක් සාදා ඇති බවත්, එම ස්මාරකය 'මුල්ලි වයික්කාල් සමූල ඝාතන ස්මාරකය' ලෙස නම්කර ඇති බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි.
සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා හෙට (04) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (03) නොතීසි නිකුත් කළේය.

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.