තඹුත්තේගම “කුරු රොඩී” කතාවේ පදනම කුමක්ද?..
ගාඩි ජනතාව පිළිබඳ සමාජ මාධ්යයේ පළවූ ලිපියක් ඇසුරෙන් තඹුත්තේගම ප්රදේශයේ අතීතයේ ජීවත් වූ බව කියන “කුරු රොඩී” ජනතාවl ගේ ජානමය ඉතිහාසය පිළිබඳව නිලන්ත සත්සර ගමගේ ලියූ ලිපියක් සමාජ මාධ්යයේ සංසරණය වෙමින් තිබේ.
මෙසේ කුරු රොඩීන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ කුමන ජන කොටසක්ද? "රොඩ්ඩන්" යනුවෙන් හැඳින්වූ අප දන්නා රොඩීන්ට ස්වාධීන භාෂාවක් හා සංස්කෘතියක් තිබුණි. "පනික්කින්" වශයෙන් හැඳින්වූ නයින් සහ රිළවුන් නැටවීමටත් සාස්තර කීමටත් ප්රසිද්ධ අහිගුණ්ඨිකයන්ටද වෙන වෙනම ව්යවහාර භාෂා හා සංස්කෘතීන් තිබුණි.
බැලූ බැල්මට මානවවිද්යාත්මක පර්යේෂණයක ස්වරූපයක් ගත්තද, එහි ප්රධාන නිගමන කිහිපයක් සඳහා අවශ්ය ඓතිහාසික හා විද්යාත්මක සාක්ෂි එම ලිපියෙන් ඉදිරිපත් නොවේ. ඒ නිසා උක්ත ලිපියෙන් සමාජයට බලවත් හානියක් සිදුවේ.
මගේ පියා වූ එන්. ටී. කරුණාතිලක සහ මා මිත්ර කොලට් සේනානායක දීර්ඝ පර්යේෂණයකින් පසුව 1990දී "ගාඩි වංශය" නමින් කෘතියක් පළ කළහ. ඒ සඳහා සිදුකළ ක්ෂේත්ර ගවේෂණවලට ඇතැම් අවස්ථාවල මමද සහභාගි වීමි. එපමණක් නොව, 1990 දශකයේ අගභාගය දක්වාම ගාඩි ජනතාව සමඟ සම්බන්ධකම් පැවැත්වීමි.
එයින් ගාඩි ජනතාවගේ ඉතිහාසය පිළිබඳ සියල්ල මා දන්නා බවක් අදහස් නොවේ. ක්ෂේත්ර අත්දැකීම් පවා අනෙකුත් ඓතිහාසික හා විද්යාත්මක සාක්ෂි සමඟ පරීක්ෂා කළ යුතුය. එහෙත් කිසියම් ජන කණ්ඩායමක් පිළිබඳ ලියන විට ඔවුන්ගේ අනන්යතාව, සංස්කෘතිය හා වෙනත් ජන කණ්ඩායම් සමඟ ඇති වෙනස්කම් නිවැරදිව හඳුනාගැනීම අවශ්යය.
පැරණි සාහිත්ය පොත්වල "රොඩී” නමින් ජන කණඩායමක් ගැන කියවෙන්නේ සාලිය කුමාරයාගේ කතාව හේතුවෙනි. සාලිය කුමාරයා පවාගත් අශෝකමාලා අනුරාධපුර නගරාසන්නයේ විසු යකඩ කර්මාන්තයේ නියැලුන නායකයෙකුගේ දුවක බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පෙන්වා දෙයි. ලංකා කෞතුකාගාරයේ මානව විද්යා අංශය භාරව සිටි එම්. ඩී. රාඝවන් මොවුන් ගැන ලියූ පොත "හැන්ඩ්සම් බෙගර්ස්" නම් වේ.
රොඩී යයි හඳුන්වන ඉහතකී සිංහල ජන කණ්ඩායම "ගාඩි" බව පළමු වරට ලංකාදීප පුවත්පතින් පැහැදිලි කළේ කොලට් සේනානායක විය යුතුයි. "ගාඩි" යන නාමය සිංහල පාඨකයින්ට හඳුන්වාදීම සිදුවූයේ ගාඩි වංශය කෘතියේ වැදගත් දායකත්වයෙනි. මා දන්නා පරිදි එම කරුණ සිංහලෙන් විස්තර කළ මුල් කෘතිය එයයි.
“රොඩී” යන නාමය සිංහලයේ “රොඩු” හෝ “රොඩ්ඩා” යන වචනවලින් බිහිවූවක් විය හැකි බවට පැරණි නිරුක්ති විවරණ තිබේ. ගැමි ජනතාව අතරද එවැනි මතයක් තිබුණි. 'ඔය පුතේ සමාජයෙන් අහකට දාපු රොඩ්ඩො' අපේ නිවෙස්වලට නිතර පැමිණි ගාඩි ජනයා පිළිබඳව අම්මා මා කුඩා කාලයේ කියා දුන්නේ එසේය. එහෙත් එම නිරුක්තිය නිශ්චිතව තහවුරු වී නැත. මෙහිදී වැදගත් වන්නේ බාහිර සමාජය භාවිත කළ නාමය පමණක් නොව, එම ජනතාව තමන්ගේ අනන්යතාව හඳුනාගත් ආකාරයද සැලකිල්ලට ගැනීමයි.
1960 දශකයේ මාතලේ දේවහූව ප්රදේශයේ ජල තොටුපළක් මුල්කරගෙන ඇතිවූ කුල ගැටුමකින් පසුව රජය ගාඩි පවුල් තඹුත්තේගම හා මහව ප්රදේශවලට ගෙනවිත් පදිංචි කළ බව අදාළ ලිපියේ සඳහන් වේ. මෙය පරීක්ෂා කළ හැකි නිශ්චිත ඓතිහාසික ප්රකාශයකි. එබැවින් සංක්රමණයට අදාළ කාලය, රජයේ තීරණය, ඉඩම් පැවරීමේ වාර්තා, පදිංචි කළ පවුල් සංඛ්යාව සහ ජනාවාස පිහිටුවූ ස්ථාන පිළිබඳ සාක්ෂි අවශ්යය. එහෙත් එවැනි සාක්ෂි ලිපියේ ඉදිරිපත් කර නැත.
ගල්ගමුව ප්රදේශයේ ගාඩි ජනාවාසයක් තිබුණි. එසේම කුලියාපිටිය, හලාවත, බිංගිරිය, හෙට්ටිපොල ආශ්රිත ප්රදේශවලද ගාඩි ජනාවාස පැවතිණි. එක් ගමක් පිහිටියේ අපේ නිවෙසේ සිට සැතපුම් 5ක් පමණ දුරිනි. තාත්තාත් කොලට් සේනානායකත් මේ ගම්මානවල නිතර කරක්ගැසූහ. (මේ අත්දැකීම් ඇසුරින් තාත්තා "සැඩොල් ගමට හිරු පායා" නමින් නවකතාවක්ද පළ කළේය.) එහෙත් තඹුත්තේගම එවැනි ජනාවාසයක් පැවති බවක් හෝ දේවහූවෙන් ගාඩි පවුල් එහි ගෙනවිත් පදිංචි කළ බවක් මට දැනගන්නට ලැබී නැත. නොදන්නා දෙයක් නොතිබූ බවට නිගමනය කිරීමත්, සාක්ෂි නොමැති දෙයක් සිදුවූ බවට ස්ථිරව ප්රකාශ කිරීමත් නොකළමනාය.
ගාඩි කාන්තාවන් අත් බලා සාත්තර කීමේ විශේෂ දක්ෂතාවක් දැක්වූ බවත්, එය ඔවුන්ගේ ප්රධාන ජීවනෝපායක් වූ බවත් අදාළ ලිපියේ සඳහන් වේ. ලේඛකයා මෙවැන්නක් පවසන්නේවෙනස් ජන කණ්ඩායම් දෙකක සංස්කෘතික සම්ප්රදායන් පටලවා ගැනීමෙන්ද?
ඇඟිලිතුඩුවලින් තැටි කරකවමින් කවි ගායනා කිරීම ගාඩි කාන්තාවන්ගේ සංස්කෘතික උරුමයකි. ඒවා හැඳුනුම් ලද්දේ “දුක්මුළා” නමිනි. සාම්ප්රදායික ජීවනෝපායක් ලෙස අත් බලා සාත්තර කීමෙහි යෙදුණේ අහිගුණ්ඨික ජනතාවයි.
ගල්ගමුව ප්රදේශයේ අහිගුණ්ඨික ජනාවාස තිබුණි. නවගත්තේගම රැලපනාවේ විසූ ගල්ගමුවේ අහිගුණ්ඨික කණ්ඩායමේ නෑයින්ට ඉඩම් ලබැගැනීමට අවශ්ය ලේඛන සම්පාදන කළේ රැහේ නායක "කිච්චා" සහ කොලට් සේනානායකයි. කොලට් ඒ කාලයේ සිය ගවේශණ ඇසුරින් "අහිගුණ්ඨිකයෝ අපේ නෑදෑයෝ" නමින් පොතක්ද පළකර තිබුණි. ගාඩි හා අහිගුණ්ඨිකයින් වෙනස් ජන කණ්ඩායම් දෙකකි.
මුල් ලිපියේ බරපතළම ප්රකාශය වන්නේ 'ගාඩි ජනතාව තමන්ගේ සහෝදර සහෝදරියන් හෝ සමීප ලේ ඥාතීන් සමඟ විවාහ වූහ' යන්නයි. සමාජයෙන් කොන්කර තිබීම නිසා එවැනි විවාහ අනිවාර්ය වූ බවත්, පරම්පරා ගණනාවක් තිස්සේ එයින් ජානමය ආබාධ ඇතිවූ බවත් කියැවේ.
ලේඛකයාට මෙවැනි අදහසක් ඇතිවන්නට ප්රධාන හේතුව ගාඩි ගම්මාන පැතිර පැවති ආකාරය පිළිබඳ අනවබෝධයද? මෙවැනි භයානක කතාවක් කියන්නට පෙර සමීප ඥාති විවාහ සහ සහෝදර සහෝදරියන් අතර විවාහ පැහැදිලිව වෙන්කරගත යුතුය. කුඩා හා සමාජයෙන් හුදෙකලා වූ ජන කණ්ඩායම් තුළ සමීප ඥාති විවාහ සිදුවිය හැකිය. එහෙත් ඒ පමණින් සහෝදර සහෝදරියන් අතර විවාහ එම ජනතාවගේ සාමාන්ය සම්ප්රදායක් වූ බව නිගමනය කළ නොහැකිය.
සහෝදර සහෝදරියන් අතර විවාහ එම ජනතාවගේ සාමාන්ය සම්ප්රදායක් වූ බවට මුල් ලිපිය නිශ්චිත සාක්ෂි ඉදිරිපත් නොකරයි. පවුල් ඉතිහාස, විවාහ ලේඛන හෝ නිශ්චිත ක්ෂේත්ර පර්යේෂණයක් නොමැතිව මෙවැනි බරපතළ ප්රකාශයක් ඉදිරිපත් කිරීම සාධාරණ නැත.
1960 දශකයේ එවැනි සංක්රමණයක් සිදුවූයේ යැයි උපකල්පනය කළත්, 2026 වන විට ගතවී ඇත්තේ වසර 57ත් 66ත් අතර කාලයකි. ජාන විද්යාත්මක පර්යේෂණ අනුව දෙමාපිය පරම්පරාව සහ දරු පරම්පරාව අතර සාමාන්ය කාල පරතරය වසර 25–30ක් පමණ වේ. ඒ අනුව එය සාමාන්යයෙන් පරම්පරා පරතර දෙකක් හෝ තුනක් පමණ වන කාලයකි.
එවැනි කාලයකදී ජානමය ලක්ෂණයක් දරුවන්ට හා මුණුබුරන්ට උරුම විය හැකිය. එසේම යම් නිලීන ජානමය තත්ත්වයකට අදාළ ජාන ප්රභේද දෙමාපියන් දෙදෙනාම දරන්නේ නම්, එම තත්ත්වය දරුවන් තුළ එක් පරම්පරාවකදීම මතුවිය හැකිය. එහෙත් එයින් වෙනම “කුරු මිනිසුන්ගේ” ජන කණ්ඩායමක් බිහිවූ බව නිගමනය කළ නොහැකිය.
උක්ත ලිපියේ කුරු බව පැහැදිලි කිරීමට උදාහරණයක් ලෙස Achondroplasia නමැති තත්ත්වය සඳහන් කර තිබේ. එය FGFR3 ජානයේ වෙනස්වීමක් නිසා ඇතිවන, ප්රමුඛ ජානමය උරුම රටාවක් සහිත අස්ථි වර්ධන තත්ත්වයකි.Achondroplasia ඇති පුද්ගලයන්ගෙන් සියයට 80ක් පමණ සාමාන්ය උස ඇති දෙමාපියන්ට උපදින අතර, බොහෝ එවැනි අවස්ථාවල අදාළ ජාන වෙනස්වීම අලුතින් ඇතිවන්නකි.
සමීප ඥාති විවාහ නිසා ඇතැම් නිලීන ජානමය රෝගවල අවදානම ඉහළ යා හැකි නමුත්, Achondroplasia එම තර්කයට සරලව ඇතුළත් කළ නොහැකිය. එමෙන්ම කුරු බවට හේතුවන සියලු තත්ත්ව එකම ජානමය රටාවක් අනුගමනය නොකරයි. තවද මුල් ලිපිය සියවස් ගණනාවක් පැවති සමාජ කොන්කිරීමක් ගැනද කතා කරන බැවින් කුරු බව 1960 දශකයෙන් පසුවම ආරම්භ වූ බව එහි සඳහන් වේ යැයි උපකල්පනය නොකළ යුතුය.
තඹුත්තේගම ගාඩි ජනාවාසයක කුරු බව බහුලව පැවති බවට ජනගහන දත්ත හෝ එහි පුද්ගලයන්ට Achondroplasia තිබූ බවට වෛද්ය රෝග නිර්ණයක් හෝ මුල් ලිපියේ ඉදිරිපත් කර නැත. අදාළ පුද්ගලයන්ගේ වෛද්ය තත්ත්වය හඳුනාගෙන නොමැතිව, ඔවුන්ගේ යැයි කියන කුරු බව නිශ්චිත ජානමය හේතුවකට ආරෝපණය කිරීම විද්යාත්මක නිගමනයක් නොවේ.
ගාඩි ජනතාව අතර තමන්ට ආවේණික රහස් භාෂා භාවිතයක් පැවති බව අපගේ ක්ෂේත්ර ගවේෂණවලදී හඳුනාගත හැකි විය. මේ පිළිබඳ විස්තර ගාඩි වංශය පොතේ අන්තර්ගතය. එම භාෂාවේ වචන හා ශබ්ද සංයෝජනයේ විශේෂ ලක්ෂණ තිබේ. එම ගවේෂණවලදී අප සමඟ අදහස් දැක්වූ ගාඩි වැඩිහිටියෝ තම මුතුන් මිත්තන් අතීතයේ රාජකීය ඔත්තු සේවාවල නිරත වූ බවත්, රහස් බස එම කාර්යයන් සඳහා භාවිත කළ බවත් පැවසූහ.
එම ප්රකාශය ඓතිහාසිකව තහවුරු කිරීමට තවදුරටත් සාක්ෂි අවශ්යය. එහෙත් එය ගාඩි ජනතාව තම අතීතය හා රහස් බසේ කාර්යභාරය පිළිබඳ පවත්වාගෙන ආ වාචික ඉතිහාසයක් ලෙස වැදගත්ය. එවැනි රහස් බසක් පැවතීමෙන් ගාඩි ජනතාව ස්වභාවයෙන්ම රැවටිලිකාරයන් වූ බව හෝ සමාජය කෙරෙහි පරම්පරාගත වෛරයක් දැරූ බව නිගමනය කළ නොහැකිය. ඊටත් වඩා ගැටලුකාරී වන්නේ ඔවුන්ගේ ශරීර භාෂාවෙන් පරම්පරාගත වෛරයක් හා පළිගැනීමේ මානසිකත්වයක් හඳුනාගත හැකි බවට මුල් ලිපියේ කරන ප්රකාශයයි.
මිනිසුන්ගේ ශරීර භාෂාව නිරීක්ෂණය කිරීමෙන් ඔවුන්ගේ කුල සම්භවය, පරම්පරාගත මානසිකත්වය හෝ අපරාධයට ඇති නැඹුරුව නිශ්චය කළ නොහැකිය. සමාජයෙන් කොන්කරනු ලැබූ ජනතාවකගේ අතීතය පිළිබඳ සාක්ෂි, එම ජනතාව තුළ පරම්පරාගත වෛරයක් පැවති බවට සාක්ෂි නොවේ.
කිසියම් ජනතාවක් පිළිබඳ පිටස්තරයන් ගොඩනඟාගත් අදහස් මෙන්ම එම ජනතාව තමන්ගේ ඉතිහාසය පැහැදිලි කළ ආකාරයද විමර්ශනයට ලක් කළ යුතු බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුය. ඒ දෙකම විවේචනාත්මකව පරීක්ෂා කිරීම අවශ්යය.
තඹුත්තේගම ගාඩි ජනාවාසයක් වූ බව ඔප්පු කරන ප්රබල සාක්ෂියක් ලෙස ලියුම්කරු ඉදිරිපත් කරන්නේ එම නමින් ප්රසිද්ධ බෞද්ධ භික්ෂූන් නොමැතිවීමයි. එහෙ;a තඹුත්තේගම නමින් භික්ෂූන් නොසිටි බව තහවුරු කරන සම්පූර්ණ නාමාවලි පරීක්ෂාවක් ඉදිරිපත් කර නැත. කිසියම් ගමක නමින් ප්රසිද්ධ භික්ෂූන් නොසිටීමත්, එම ගම කිසියම් කුලයක ජනාවාසයක් වීමත් අතර අනිවාර්ය හේතුඵල සම්බන්ධයක් නැත.
ගාඩි ජනතාවගේ ඉතිහාසය යනු ශ්රී ලංකාවේ කුල ක්රමය, සමාජ කොන්කිරීම, භාෂා විවිධත්වය සහ ජන කණ්ඩායම්වල අනන්යතාව පිළිබඳ වැදගත් අධ්යයන ක්ෂේත්රයකි. රොබට් නොක්ස්, හියු නෙවිල්, එම්. ඩී. රාඝවන් සහ නිරේකා වීරතුංග වැනි පර්යේෂකයන්ගේ කෘති මෙන්ම දේශීය ක්ෂේත්ර ගවේෂණ හා වාචික ඉතිහාස සාක්ෂිද මේ සඳහා වැදගත්ය. එහෙත් පර්යේෂකයකුගේ නමක් සඳහන් කළ පමණින් හෝ විද්යාත්මක පාරිභාෂික වචන කිහිපයක් භාවිත කළ පමණින් කිසියම් ප්රකාශයක් විද්යාත්මක සත්යයක් බවට පත්වන්නේ නැත.
තඹුත්තේගම ගාඩි ජනාවාසයක් පැවතියේද, දේවහූවෙන් ජනතාව එහි සංක්රමණය වූයේද, එම ජනතාව අතර කුරු බවක් බහුලව පැවතියේද යන ප්රශ්න තවමත් විමර්ශනයට විවෘතය. අතීතයේ සමාජයෙන් කොන්කරනු ලැබූ බව කියන ජනතාවකගේ ඉතිහාසය අනාවරණය කිරීමේදී අප කළ යුත්තේ ඔවුන් පිළිබඳ පැරණි පූර්ව විනිශ්චයන් අලුත් විද්යාත්මක වචනවලින් ඉදිරිපත් කිරීම නොව, ඔවුන්ගේ සැබෑ ඉතිහාසය සාක්ෂි ඇසුරෙන් සොයා බැලීමයි.
ඉතිහාසය ගොඩනැඟිය යුත්තේ සාක්ෂි මතය. විද්යාත්මක නිගමන ගොඩනැඟිය යුත්තේ පර්යේෂණ මතය. ඒ දෙකටම පූර්ව විනිශ්චයන් හෝ පුද්ගලික ආදේශ නොකළ යුතුය. එය ගාඩි ජනතාවට කරන නින්දාවකි.
නාරද කරුණාතිලක
(ඡායාරූපයේ දැක්වෙන්නේ 'ගාඩි වංශය' පොතේ ඇතුළත් ඡායාරූපයකි)
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
බුදු දහමට සුද්දන්වත් නොකළ තරමේ හානියක් මේ කල්ලිය කරනවා.. - සාසන විමර්ශන මහ සභාවේ රොටුඹ ප්රේමරතන නාහිමි
ඔර්නබ් ඉතා ප්රබල සුළි කුණාටුවක් වෙයි.. කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්..
රුවන්වැලි සෑය වටා වැටක් ගැසීම හා පූජා විධි සම්බන්ධයෙන් ආණ්ඩුව දැන් කියන කතාව..
2026 බ්රසීල ජනාධිපතිවරණය: ලූලා ද සිල්වාගේ ඓතිහාසික නැවත නැගී සිටීම සහ එහි දේශපාලනික වැදගත්කම.. - මැතිවරණ ප්රතිඵල සහ ඓතිහාසික ජයග්රහණය
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි..
ඉතිහාසය අනාගත ජයග්රහණවලට මග පාදන බව චීන ජනපති කියයි..
ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට..
කෙම්මනි කැනීම් වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නවා.. – අරුන් සිද්ධාර්ථ
අනුරාධපුර පූජා නගර සැලසුම පිටුපස බෞද්ධයන්ගේ වටිනාකම් සූක්ෂම ලෙස විනාශකර දැමීමේ මෙහෙයුමක්.. - විමල්ගෙන් අනාවරණයක්
විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි.
දිවුලපතානේ සිංහල ගොවීන්ගේ ගොවිබිම් වලට සිදුකරන හිරිහැර ගැන රජයේ අවධානය යොමුවිය යුතුයි.. යුද්දෙ කාලේ මිනිස්සුන්ට තිබුනේ සිවුරේ හයිය.. - අගමැති ඉදිරියේ දිඹුලාගල හිමිගෙන් සැර ප්රකාශයක්
PTA අහෝසි කරනවා කිව්ව අය PSTA ගෙනැවිත් වෘත්තීය සමිති අහෝසි කරන්න හදනවා.. වසර දෙකක් නඩු නැතුව හිරේ තියන්න හමුදාවට බලය දෙන PSTA පනත වහා හකුළා ගනු! - ජාතික ගුරු ව්යාපාරය ආණ්ඩුවට රතු එළියක්
අනුරාධපුර පූජා නගරයේ ආත්මය මරා දමන්න හදන නූතන එළාර ලා..
1818 කැරැල්ල ගැන කියමින් අගමැතිතුමිය ඉතිහාසය විකෘති කරන්නේ කුමන පදනමකින්ද? - ජාතික ගුරු ව්යාපාරය ප්රශ්න කරයි..
ඇමරිකා බාධක නිසා දකුණු මුහුදේ හිරවුනු ඉරාන නැවුවල නැවියන් පිරිසක් ගාළු වරායට ගෙනේ..
චීන-ශ්රී ලංකා රබර්-සහල් ගිවිසුමට මුල් වූ ආර්.ජී. සේනානායක මහතාගේ පවුලේ සාමාජිකයින් චීන තානාපතිවරයා හමුවෙයි..