මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.
අවසන් වරට පළාත් සභා ඡන්දය පවත්වන ලද්දේ 2014 දීය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධූර කාලයේදීය. බස්නාහිර සහ දකුණු පළාතේ පළාත් සභා ඡන්දය 2014 මාර්තු මාසයේදී පැවැත්වුණු අතර ඌව පළාතේ ඡන්දය 2014 සැප්තැම්බර් මාසයේදී පැවැත්විණි.
ත්‍රස්තවාදය පරාජය කර වසර 5 කට පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නියමයෙන් උතුරු පළාත් සභා ඡන්දය 2013 සැප්තැම්බර් මාසයේ පැවැත්වුණු අතර, විනාශයට පත්වූ කොටි ත්‍රස්තවාදී සංවිධානයේ අතකොළුවක් වී සිටි දෙමළ ජාතික සන්ධානය ආසන 38 න් 30 ක් ජයග්‍රහණය කළේය. ඉතිරි ආසන 8 එක්සත් ජනතා නිදහස් සන්ධානය (7) සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂය (1) අතර බෙදී ගියේය. උතුරු පළාත් ඡන්දය පැවැත්වුණේ වසර 25 කට පසුවය.
යහපාලන සමයේදී (2018 සහ 2019 වසර දෙකේදී) සියලුම පළාත් සභාවල කාලය අවසන් වූ අතර එතැන් සිට මහජන නියෝජිතයන් නොමැතිව පළාත් සභා ක්‍රියාත්මක විය. යහපාලන හවුල්කරුවන් වූ එජාපය සහ ශ්‍රීලනිපය 2018 පෙබරවාරි මාසයේදී වෙන වෙනම පළාත් පාලන ඡන්දයට තරග කර ලැබූ අන්ත පරාජයෙන් පසුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පළාත් සභා ඡන්දය අමතක කර දැමීම පුදුමයට කාරණයක් නොවේ.
පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දු-ඇමෙරිකානු පාලන තන්ත්‍ර (රෙජීම් චේන්ජ්) වෙනස් කිරීමේ මෙහෙයුමෙන් ජනාධිපති ධූරයට පත්වූ පොහොට්ටු ජනාධිපතිගේ අනුප්‍රාප්තිකයා වූ රනිල් වික්‍රමසිංහ ද (2019-2024) පළාත් සභා ඡන්දය නොපැවැත්වූ අතර, ජවිපෙ/ජාජබ නායක ජනාධිපති අනුර කුමාර දිසානායකට ද පළාත් සභා ඡන්දය පැවැත්වීමට උනන්දුවක් තිබෙන බවක් නොපෙනේ.
ඉන්දියාවේ නිහඬතාව සහ ජවිපෙ ස්ථාවරය
ඉන්දියාව ද පළාත් සභා පිළිබඳව නිහඬය. ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ කළ සංචාරයකින් පසුව, අසෝක ඩයස් මෙහෙයවන සිරස "පැතිකඩ" වැඩසටහනේදී තමන් ඉහළ ඉන්දීය නායකත්වය සමඟ කළ සාකච්ඡාවලදී පළාත් සභා මැතිවරණය මාතෘකාවක් නොවූ බව අවධාරණය කළේය. ජවිපෙ මහ ලේකම්වරයා පසුගියදා යාපනයේදී 2026 වසරේදී එම ඡන්දය නොපැවැත්වෙන බව ප්‍රකාශ කළේය. ඊට ප්‍රධාන හේතුව වශයෙන් ජවිපෙ ප්‍රබලයා සඳහන් කළේ, එම ඡන්දය පැවැත්වීමට වෙන්කළ මුදල් "දිවිත්ව" සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට වැය කිරීමයි.
ජවිපෙ මහ ලේකම්වරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම ලේඛකයා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් කළ විමසුමකට, තමන් ප්‍රතිචාර නොදක්වන බව එහි ප්‍රකාශිකාවක පැවසුවාය.
මනෝ ගනේෂන් මහතාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය
නමුත් දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක මනෝ ගනේෂන්, පළාත් සභා මෙන්ම ඉන්දියාව බලහත්කාරයෙන් ක්‍රියාත්මක කළ 13 වැනි සංශෝධනය පිළිබඳව ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. යහපාලන කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ ගනේෂන් මෙම ලේඛකයා කළ විමසීමකට පසුගියදා දුන් පිළිතුර, ඇත්ත වශයෙන්ම පළාත් සභා ක්‍රමය පමණක් නොව ඉන්දියාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් ද නව සාකච්ඡාවකට පදනම විය යුතුය.
වර්තමාන පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සජබ නියෝජනය කරන ගනේෂන් මන්ත්‍රීවරයාට මෙම ලේඛකයා යොමු කළ ප්‍රශ්නය වූයේ: "පළාත් සභා ඡන්දය පැවැත්වීමට ඉන්දියාවේ බලපෑම තමන්ට අවශ්‍යද? ඒ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කරනවාද?" යන්නයි.
සජබ ජාතික ලැයිස්තුව නියෝජනය කරන ගනේෂන් අවධාරණය කළේ, පළාත් සභා ස්ථාපිත කිරීම සහ ක්‍රියාත්මක කිරීම ඉන්දියාව දේශපාලනිකව සහ යුදමය වශයෙන් ශ්‍රී ලංකාවේ කළ මැදිහත් වීම තුළ විමසා බැලිය යුතු වුවත්, මොන යම්ම තත්ත්වයක් යටතේවත් නැවතත් ඉන්දියාව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට සම්බන්ධ කර ගත යුතු නැති බවයි. පළාත් සභා ඡන්දය පැවැත්වුවත් නැතත්, තමන් කිසිසේත්ම ඉන්දියාවේ මැදිහත් වීමක් බලාපොරොත්තු නොවන බව ඔහු ප්‍රකාශ කළේය.
මහත් ආන්දෝලනාත්මක 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ආකාරය, ප්‍රමාණය මෙන්ම එය අහෝසි කරනවා ද යන කරුණු කාරණා රට තුළ සාකච්ඡා විය යුතු බවත්, බාහිර අතපෙවීම්වලින් තොරව ජාතික ප්‍රශ්නය විසඳා ගත යුතු බවත් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයා අවධාරණය කළේ පෙර වැරදි නැවතත් නොවිය යුතු බවයි.
"නව ගෝලීය ප්‍රවණතා සහ ඉන්දියාවේ ඉහළ ඉලක්ක අවධානයට ලක් කළ විට, තවදුරටත් නවදිල්ලියට 80 දශකයේ දේශපාලනයේ යෙදීමට අවශ්‍ය නොවන බව අමුතුවෙන් කිවයුතු නැත." - මනෝ ගනේෂන්
දෙමළ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් හිටපු අමාත්‍යවරයා කළ ප්‍රකාශය පිළිබඳව පුදුමය පළ කළ අතර, තතු දත් ආරංචි මාර්ග විශ්වාසදායකව පැවසුවේ ඉන්දියාවට සහ තමිල්නාඩුවේ නව රජයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තමන්ගේ උපාය මාර්ගය වෙනස් කර ඇති බවයි. ගෝලීය සහ කලාපීය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඉන්දියාව සමඟ කටයුතු කිරීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය කළ ගනේෂන් මන්ත්‍රීවරයා, ජාතික ගැටලුව නිරාකරණය කිරීමේදී පළාත් සභා සහ 13 වැනි සංශෝධනය තුළ හිරවීමට අවශ්‍ය නොවන බව ද ප්‍රකාශ කළේය. ගැටලු නිරාකරණයේදී දැඩි ස්ථාවරයක සිට කටයුතු කළ නොහැකි බවත්, යුද්ධය අවසන් වී වසර 18 ක් ගතවී ඇති මේ මොහොතේ රට තුළ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත නොහැකි ප්‍රශ්නයක් තිබිය නොහැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. බටහිර මැදිහත් වීම් සම්බන්ධයෙන් තමන්ට කීමට ඇත්තේ ඉන්දියාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහසම බව ප්‍රකාශ කළේය.
ඉන්දියාව සහ බටහිර මැදිහත් වීම් සහ පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ගනේෂන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය, ශ්‍රී ලාංකීය දෙමළ (ඩයස්පෝරාව ද ඇතුළුව) ප්‍රජාව මෙතෙක් කල් අනුගමනය කළ ක්‍රියාදාමයට සම්පූර්ණයෙන්ම පටහැනිය. එම ප්‍රකාශය ඔවුන්ට හිසරදයකි; අනපේක්ෂිත අභියෝගයකි. වහාම ක්‍රියාත්මක නොවුවහොත් කළමනාකරණය කර ගත නොහැකි ප්‍රශ්නයක් විය හැකිය.
ගෙවිඳු කුමාරතුංග මහතාගේ විග්‍රහය
ගනේෂන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය අගය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග අවධාරණය කළේ, නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රතිපත්තිය වෙනස් කිරීම තුළ නව තත්ත්වය විමසා බැලිය යුතු බවයි. ඉන්දීය ප්‍රතිපත්තිය/උපාය මාර්ගය සැලකිය යුතු පරිවර්තනයකට ලක්වීම තුළ ඉන්දියාව සමඟ කටයුතු කළ සියලුම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලට තමන්ගේ දේශපාලන ක්‍රියාන්විත වෙනසකට භාජනය කිරීමට සිදුවී ඇති බව ඔහුගේ අදහසයි.
භාරතීය ජනතා පක්ෂයේ නායක අගමැති මෝදි, ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ 2025 අප්‍රේල් මාසයේදී අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය වැඳීමෙන් ශ්‍රී ලංකාවට පණිවිඩයක් දුන් බවත්, එය අප තේරුම් ගත යුතු බවත් පැවසූ හිටපු මන්ත්‍රීවරයා, 80 දශකයේදී ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය සහ සමස්ත ක්‍රියාකලාපය තුළ විමසා බැලිය යුතු බව අවධාරණය කළේය.
ඉන්දියාව සමඟ ගැටලුකාරී තත්ත්වයක් වළක්වා ගනිමින් අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය චීනය සහ පාකිස්තානය සමඟ ඉතාමත් කුළුපගව සම්බන්ධතා පැවැත්වූ ආකාරය මතක් කළ කුමාරතුංග, ගනේෂන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය ඉන්දීය-ශ්‍රී ලංකා සබඳතා නව තලයකට ඔසවා තැබීමට ස්වර්ණමය අවස්ථාවක් බව පැවසීය. ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව පෙළුණු අතර ඉන්දියාව ද ඊට ඉහළ වන්දියක් ගෙවූ බව හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. යුද හමුදා ජීවිත 1,500 ක් අහිමි වීම සහ ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදා එවූ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ රජීව් ගාන්ධි ඝාතනය වීමට ඉන්දියාව වගකිව යුතු බව ද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පළාත් සභා ඡන්ද පැවැත්වීමට අභියෝග කිරීම පසෙකලා, 13 සංශෝධනයට එරෙහිව සිරිමාවෝ මැතිණියගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ ව්‍යාපාරයට එදා මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස එකතුවීම සැලකිල්ලට ගතයුතු බව ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේය. වසර 2014 සිට පළාත් සභා ඡන්දය පැවැත්වූයේ නැතිනම්, වර්තමාන අවශ්‍යතාව පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කිරීම නොවන බව ද ඔහු පැවසීය.
පැෆරල් සංවිධානයේ මැදිහත් වීම සහ සර්වපාක්ෂික එකඟතාව
මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කළ යෝජනාවට අනෙකුත් දෙමළ පක්ෂ එකතු කර ගැනීම පහසු නැත. පසුගියදා පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සහ එකී ඡන්ද විමසීම පැවැත්වීමේ ක්‍රමය පිළිබඳව දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡාවක් පැෆරල් සංවිධානයේ මූලිකත්වයෙන් කොළඹදී පැවැත්විණි. දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා නියෝජිතයන් මෙන්ම නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන් ද සම්බන්ධ වී සිටි එම සාකච්ඡාවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම, පළාත් සභා මැතිවරණය කල්යෑමට හේතුවූ කරුණු මෙන්ම කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගතයුතු පියවරයන් සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්විය. දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් එහි නායක පා.ම. මනෝ ගනේෂන් එම සාකච්ඡාවට සහභාගි විය.
එම සාකච්ඡාවට සම්බන්ධ වී සිටි විපක්ෂයේ දේශපාලන පක්ෂ යද නිරීක්ෂණ සංවිධාන 42 අතර ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් පා.ම. ශානක්‍යන් රාසමාණික්කම්, ඊ.පී.ඩී.පී සංවිධානය නියෝජනය කරමින් එහි මධ්‍යම කාරක සභික එම්. අයි. මුරුගන් සහ අඛිල ඉලංගෙයි ද්‍රවිඩ මහාසභා පක්ෂය නියෝජනය කරමින් එහි නායක ආචාර්ය කේ. විග්නේෂ්වරන් විය. පහත සඳහන් ඒකාබද්ධ ප්‍රකාශය පැෆරල් සංවිධානය නිකුත් කළේය:
"2026 මැයි මස 26 වන දින හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනයේදී පැෆරල් සංවිධානය විසින් සංවිධානය කරන ලද රැස්වීමට සහභාගී වූ දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ අනෙකුත් නියෝජිතයින් වන අප, 2017 අංක 17 දරණ පනතට පෙර පැවති මැතිවරණ ක්‍රමයට අනුව දැනට කල් තබා ඇති පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ යෝජනාවට එකඟ වූ අතර, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසාන ප්‍රතිඵලය ලැබෙන තෙක් එය ක්‍රියාත්මක කිරීමට ද එකඟ විය. එමෙන්ම ස්වේච්ඡා පදනමක් මත කාන්තා සහ තරුණ නියෝජනය 25% ක් ලෙස සහතික කිරීමට ද එකඟ විය."
මනෝ ගනේෂන් අවධාරණය කළේ පළාත් සභා සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය දේශීයව විසඳා ගත යුතු බවයි. ලෙදත් විදේශීය අතපෙවීම්වලට එරෙහි වූ ගෙවිඳු කුමාරතුංග අවධාරණය කළේ මනෝ ගනේෂන් ඔහුගේ ස්ථාවරය වෙනස් කිරීමට හේතු වූ කරුණු කුමක් වුවත්, එතුමාගේ මේ අලුත් ස්ථාවරය රටට යහපත් බවයි. ඒ අනුව කටයුතු කළහොත් එතුමාව ජාතික නායකයකු ලෙස සිංහල ජනතාව ද පිළිගන්නා බවයි.
ඓතිහාසික පසුබිම සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව
සාකච්ඡා මාර්ගයෙන් උතුරු - නැගෙනහිර ප්‍රශ්නය විසඳා ගැනීමට ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ ඉන්දියාවේ මැදිහත් වීමෙන් කළ උත්සාහය අවසන් වූයේ ඉන්දීය හමුදා ජීවිත 1,500 ක් අහිමි වීමෙනි. ඒ 1990 මාර්තු මාසයේදීය. ඊට වසරකට පසු ඉන්දියාවට රජීව් ගාන්ධි අහිමි විය. ඉන්දීය බලහත්කාරී මැදිහත් වීම තුළ 1987 ජූලි 29 වැනි දින කොළඹදී අත්සන් කළ ඉන්දු-ලංකා සාම ගිවිසුම හරහා නැගෙනහිර පළාත උතුරු පළාත සමඟ ඒකාබද්ධ කිරීම සිදුවිය. එය ඉන්දියාවේ සහ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ මූලික ඉලක්කයක් විය. නව උතුරු-නැගෙනහිර පළාත පරිපාලන දිස්ත්‍රික්ක 8 කින් සමන්විත විය. උතුරේ යාපනය, කිලිනොච්චිය, මන්නාරම සහ මුලතිව් සහ නැගෙනහිර අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය එම පරිපාලන දිස්ත්‍රික්කයන්ය.
ශ්‍රේෂ්ඨාධිකරණය 2006 ඔක්තෝබර් 16 වැනි දින හදිසි නීතිය යටතේ 1988 දී නැගෙනහිර පළාත උතුරු පළාත සමඟ ඒකාබද්ධ කිරීම නීති විරෝධී බවට ප්‍රකාශ කළේය. ඒ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය රටේ ඉහළම උසාවියට ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ලෙසය. සිව්වන ඊළාම් යුද්ධය ඇවිළී තිබූ මොහොතකය. ඒ ඓතිහාසික වූ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එවකට අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ නායකත්වයෙන් ප්‍රකාශයට පත් කළේය. එම තීන්දුව ආක්‍රමණශීලී ඉන්දීය පිළිවෙතට එරෙහිව දුන් තීන්දුවක් ලෙස අර්ථකථනය කිරීමේ වරදක් නැත. එම තීන්දුව ප්‍රකාශයට පත් කළ දිනය ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකා භූමිය ලෙයින් තෙත් කළ දිනයක් බවට පත් කළේය. ඒ නාවික හමුදා රථ පෙළකට දිගම්පතන ප්‍රදේශයේදී එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් නාවිකයින් 100 ක් පමණ ඝාතනය කිරීමෙනි. ඊට සමාන නාවිකයින් ප්‍රමාණයක් තුවාල ලැබූහ.
නව උපායමාර්ගික අනතුරු ඇඟවීම්
මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාගේ නව ප්‍රතිපත්තිය දැඩි සැකයක් උපදවන බව අවධාරණය කළ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය වසන්ත බණ්ඩාර, එය සමස්ත නව ඉන්දීය උපාය මාර්ගයට අනුකූලව ක්‍රියාත්මක වන බව මෙම ලේඛකයා සමඟ පැවසීය. දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය යුද බිමේදී පරාජය කළ ශ්‍රී ලංකාව නව දුෂ්ට උපාය මාර්ගයක ඉලක්කය වී ඇති බවට තමන්ට කිසිදු සැකයක් නැති බව ඔහු පැවසීය.
ඍජු ඇමෙරිකානු-ඉන්දීය මැදිහත් වීමෙන් 2022 දී කළ පාලන තන්ත්‍ර වෙනස් කිරීම තුළ බලයට පත්වූ ජවිපෙ නායකත්වය දරන ජාජබ ආණ්ඩුව ඉන්දීය ආධිපත්‍යයට සම්පූර්ණයෙන්ම යටත් වීම අවධාරණය කළ බණ්ඩාර, තවදුරටත් දෙමළ පක්ෂ මත පමණක් විශ්වාසය තබා කටයුතු කිරීමට නවදිල්ලියට අවශ්‍ය නොවන බව පෙන්වා දුන්නේය.
"අග්‍රාමාත්‍ය මෝදි 2025 අප්‍රේල් මාසයේදී කොළඹදී අත්සන් කළ අවබෝධතා ගිවිසුම් හත සහ ඊට පසුව කොළඹ නැව් තටාකාංගනයේ බහුතර කොටස් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ සමාගමක් විසින් මිලදී ගැනීම අවධාරණය කරන භයානක තත්ත්වය රටක් වශයෙන් අවබෝධ කර ගැනීමට අපොහොසත් වීම ඛේදවාචකයකි. ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ 1987 සිට ක්‍රම ක්‍රමයෙන් ත්‍රිකුණාමලයේ ටැංකි සංකීර්ණයට අතපෙවූ ඉන්දියාව, ඊට පසු පත් වූ සෑම ආණ්ඩුවක්ම තමන්ට ඕනෑ ආකාරයට හසුරුවමින් අද වන විට එහි බලය තහවුරු කර ගෙන ඇත. දෙමළ පක්ෂ හරහා අමුතුවෙන් දෙයක් කිරීමට අවශ්‍ය නැත; තම අවශ්‍යතාවන් සපුරාලීමට ජාජබ සූදානම් තත්ත්වය යටතේ සිංහල ප්‍රජාව රැවටීමට මනෝ ගනේෂන් වැනි පුද්ගලයින් හරහා කරන ප්‍රකාශ පිළිබඳව අප ප්‍රවේශම් විය යුතුය." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සමස්ත ඉන්දීය බල ව්‍යාපෘතිය තුළ ශ්‍රී ලංකා රජය සහ දෙමළ කතා කරන ප්‍රජාව දේශපාලනිකව හසුරුවන්න ක්‍රියාත්මක කළ 13 වැනි සංශෝධනයට එහා ගිය ඉන්දීය මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ අදහසයි.
නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා 2014 බලයට පැමිණීමෙන් පසු ක්‍රියාත්මක කර ඇති ආර්ථික-දේශපාලන-විදේශ-සමාජ පරිවර්තනය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය ක්‍රම ක්‍රමයෙන් වෙනස් විය. මෝදි බලයට පැමිණ වසරක් යෑමට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමට 2015 දී ඉන්දියාව සැපයූ දායකත්වය, 2020-2022 ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටීම හේතුවෙන් කළ මූල්‍ය මැදිහත් වීම, 2022 පාලන තන්ත්‍ර වෙනස කිරීමට සම්බන්ධ වීම සහ අවසානයේ මෝදි - අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අතර සහයෝගිතාව ඉන්දු-ශ්‍රී ලංකා සබඳතාව අතිශය ආන්දෝලනාත්මක මාවතකට ඇතුළු කර ඇත. ශ්‍රී ලංකාවට සුභ නොවන එම තත්ත්වය අවධාරණය කිරීමට කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මෑතකදී කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී කළ ප්‍රකාශයක් ඒ ආකාරයෙන්ම උපුටා දැක්වීම සුදුසු යැයි සිතේ.
මහ කොමසාරිස්වරයා: "ඇත්තටම කියනවා නම්, මුහුදු මාර්ගයෙන් කොළඹ සහ චෙන්නායි අතර දුර දළ වශයෙන් කිලෝමීටර් 300 කි. නමුත් අපේ රටවල් දෙකේ ආසන්නතම ස්ථාන වන රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම අතර දුර කිලෝමීටර් 30 කට පමණ වේ. කිලෝමීටර් 30 ක් පමණි. එහෙත්, ඍජු මාර්ගයක් නැත; දුම්රිය මාර්ගයක් නැත; බෝට්ටු සේවාවක් නැත; බලශක්ති ජාල සම්බන්ධතාවයක් නැත; නළ මාර්ගයක් නැත. අවංකවම, මෙය අසාමාන්‍ය තත්ත්වයකි. එය හරියට, දෙරට අතර බෙදාගත් බිත්තියකම දොරක් සාදාගත හැකිව තිබියදී, යාබද කාමර දෙකක් පිටතින් ඇති කොරිඩෝවකින් පමණක් සම්බන්ධ වී තිබෙනවා වැනි තත්ත්වයකි."
නමුත් එවැනි ඍජු රටවල් දෙක යා කිරීමක් ශ්‍රී ලංකාවට යහපතක් බව ප්‍රකාශ කරන පක්ෂ නායකයින් ද සිටිති. එජාප නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එයින් එක් අයෙකි.
දීර්ඝකාලීන වගකීම් විරහිත ආර්ථික කළමනාකරණය තුළ දරුණු පරිහානියකට පත්වී ඇති ශ්‍රී ලංකාවට අඩුවකට ඇත්තේ තවත් රටක් සමඟ ඍජුව සම්බන්ධ වීමට පාලමක් පමණි. හිටපු අමාත්‍ය සහ ගෝඨාභය රාජපක්ෂ සමයේ ඉන්දියාවේ සිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ 2024 ජනාධිපතිවරණයේදී පාත්මයින්ඩර් (Pathfinder) පදනම වෙනුවෙන් ප්‍රධාන අපේක්ෂකයින්ට ඉදිරිපත් කළ වැඩපිළිවෙළ තුළ ඔය යෝජිත පාලම ද තිබුණි. ඊට එහා දෙයක් කීමට අවශ්‍ය නැත; ඉන්දීය මහ කොමසාරිස්වරයා එළිපිටම අවධාරණය කර ඇත්තේ එම පාලමම බව අමුතුවෙන් කිවයුතු නැත.
- ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
(දිවයින - 2026 ජූනි 07 වැනිදා)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ