
බටහිර සංගීත සම්ප්‍රදායන් සහ ගායනාලංකාරයන් සිංහල ගීතයට හඳුන්වා දුන් සී. ටී
සී. ටී. හට පූර්වයෙහි සිංහල ගීයට බටහිර ලක්ෂණ මුසු කිරීමට ප්‍රමුඛ වූවන් අතර මොහොමඩ් ගවුස්, බී. ඇස්. පෙරේරා, පී. ඩී. වින්සන්ට් පෙරේරා හා ආර්. ඒ. චන්ද්‍රසේන ආදිහු වෙති. එහෙත් සිංහල ගීත සාහිත්‍යයේ බයිලා නො වන බටහිර ගී ආරක් බිහි කිරීමට ප්‍රමුඛ වූයේ මෙ ලෙස බටහිර සංගීත සම්ප්‍රදායයන් හා ගායනාලංකාරයන් සිංහල ගීතයට හඳුන්වා-දුන් සී. ටී. ය. ඔහු ගේ ප්‍රමුඛත්වයෙන් බිහි වූ මේ ගීත සම්ප්‍රදායය සිංහල ජනප්‍රිය ගීත (Sinhalese Pop) යනුවෙන් හඳුන්වන ලද්දේ එවක ගී තැටි නිෂ්පාදකයකු වූ ජෙරල්ඩ් වික්‍රමසූරිය විසිනි.
ජනප්‍රිය ගීත සම්ප්‍රදායයේ අවශ්‍ය අංගයක් වන ප්‍රාසංගිකත්වය පිළිබඳ ව පර්යේෂණ කළ අයකු ලෙස ද සී. ටී. හඳුනා-ගත හැකි ය. ඊට හොඳ ම නිදසුන ඔහු ගැයූ “පරවුණු මල් නැවැත නැතේ පිපෙන්නේ” ගීය යි. එහි මුල් තැටිගත කිරීම ම සජීවී සංගීත ප්‍රසංගයෙක දී ගැයුණු ගීයක ස්වරූපය ගනී. ගීතය අතරතුර ප්‍රසංග වේදිකාවෙක උද්දාමයෙන් හඬ නඟන්නවුන් ගේ නොයෙක් කෑ ගැසීම් ඇසේ. මේ වනාහි මින් පෙර කිසිවකු ගේ ගීයක දක්නට නො ලැබුණු ලක්ෂණයෙකි. එ වක පැවැති අවම ශිල්පීය පහසුකම් භාවිතයෙන් මෙ වැනි අත්හදා බැලීමක් කිරීම ප්‍රශංසනීය වේ. සී. ටී. ගේ සජීවී ගායනයේ තුබූ ප්‍රාසංගිකත්වය හා එ වක ඔහුට තුබූ ජනප්‍රියතාව කෙතෙක් ද යත් ඔහු ගේ සංගීත ප්‍රසංග බැලීම සඳහා ප්‍රසංග ශාලාවන්හි දොරජනෙල් කඩා-ගෙන ජන ගඟ ගැලූ අවස්ථා ඕනෑ තරම් පැවැති බව ඔහු ගේ රසිකයෝ අදත් සිහි කෙරෙති.
එ කල ජනප්‍රියත්වයේ මුදුන් ඉමෙහි සිටි සී. ටී ගේ ජනප්‍රිය සංගීත අනන්‍යතාව ගුරු කොට-ගෙන නිර්මාණ කරණයට අවතීර්ණ වූ ශිල්පීහු බොහෝ වූ හ. ඒ අතර සිංහල කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියා වූ ක්ලැරන්ස් විජේවර්ධන කැපී-පෙනේ. ‘ලොස් කැබරලොස්’ නම් කැලිප්සෝ සංගීත කණ්ඩායමේ නායකයා වූ නෙවිල් ප්‍රනාන්දු ද ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූයේ සී. ටී. ගේ ගී ගයමිනි. ඔහු කලක් තිස්සේ අඛණ්ඩ ව සී. ටී. ගේ ගී ගැයූ නිසා වෘත්තීය ගායකයකු වූ සී. ටී. අපහසුතාවට පත් වූ අතර නෙවිල් ප්‍රනාන්දු ස්වතන්ත්‍ර ගීත ගැයීමට පෙලැඹූ ප්‍රධාන සාධකයක් වූයේ ද මේ අරබයා සී. ටී. ගෙන් එල්ල වූ විරෝධය යි. කෙසේ නමුත් ක්‍රිස්ටෝපර් පෝල්, සී. ඩී. ෆොන්සේකා (ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිලා), කාන්ති වක්වැල්ල (දුර පෙනෙන තැනිතලා), සිඩ්නි ආටිගල (පැලේ වසන රන්මලී), රෝහිත ජයසිංහ (සෝබන සැන්දෑවේ සීතල මඳ පවනේ) යන ශිල්පීන් පෙරට ගෙන ගියේ සී. ටී. බිහි කළ සිංහල පොප් ගී ආර බව ඔවුන් ගේ නිර්මාණ විමසා බැලූ කල පෙනේ. පාසල් වියේ දී සී. ටී. ගේ ගී ගායනා කළ විජය කුමාරතුංග ගේ “රෝස සිහිනයේ සිනා රේඛා” ගීයෙන් සී. ටී. හඬේ ඡායාවක් ඇසෙන බවත් ජිප්සීස් සුනිල් පෙරේරා ගේ බොහෝ මුල් නිර්මාණ සී. ටී. ගේ ආභාසය පිළිබිඹු වන බවත් සුනිල් මිහිඳුකුල පෙන්වා-දෙයි. මේ අනුව සී. ටී. හුදු ගායකයකු ලෙස ලඝු කළ හැකි නො වේ. ඔහු සිංහල ගීත සාහිත්‍යයේ යුග කාරක පුරුෂයෙකි.
සී. ටී. ගේ ගීත ජනාදරයට පාත්‍ර වීමට ප්‍රධාන හේතුවක් වූයේ ඒවාහි සරල පදමාලාව හා මධුර සංගීත සංයෝජනය යි. ඒ වන විට සිංහල ගීත සාහිත්‍යය ගිල-ගෙන පැවැති සංස්කෘත පද බහුල යාන්ත්‍රික භාෂාවකින් ලියැවුණු පද මාලා වෙනුවට සී. ටී. තෝරා-ගත්තේ ඉතා සෞම්‍ය වාංමාලාවකින් සෞම්‍ය අනුභූතීන් ප්‍රතිනිර්මාණය කැරෙන පද මාලා බව පෙනේ. “කිම ද සුමිහිරියේ”, “ආනෙ ඩිංගක් ඉන්න කෝ”, “බේරෙන පැණි බිඳු”, “ලෝ අඩ නින්දේ”, “දවස ගෙවී දැන් ටික ටික” ආදි බොහෝ පද මාලා මීට නිදසුන් කොට පෙළ ගැස්විය හැකි ය. සුනිල් සාන්ත හැරුණු කොට ඒ වන විට හෙළ ගීයේ හද බස වටහා-ගෙන සිටි ශිල්පීන් කිහිප දෙනා ගෙන් අයකු ලෙස සී. ටී. හැඳින්වීම සාධාරණ ය. මේ සී. ටී. ගේ ගීත සාහිත්‍යයේ තවත් පැතිකඩකි.
සී. ටී. ගැයූ බොහෝ ගී ආනුභුතික හා ආකෘතික නව්‍යතාවෙන් ද අනූන විය. එ නම් වස්තු විෂයය හා ඉදිරි පත් කිරීම අතින් ඔහු ගේ බොහෝ නිර්මාණවල අපූර්වත්වය නොමඳ ව ගප් වී තිබිණි. “කැලෑ මල නො වේ”, “සරුංගලේ සරුංගලේ”, “මා බාල කාලේ”, “රෑ පැල් රැකලා”, “අපි ඇවිදිමු හඳ පානේ” වැනි ගීත ඊට පොදුවේ නිදසුන් කළ හැකි ය. ඊට අමතර ව තම ජීවිතයේ සමීපතමයන් හා එදිනෙදා සමාජයේ නිතොර හමු වන පුද්ගල චරිත පිළිබඳ ව ගැයීම ද සී. ටී. ගේ විශේෂත්වයෙකි. “සමන් කැකුළු අතුරලා” ගීය සී. ටී. ගැයුවේ පිය බිරිය වූ ධනවතී වෙනුවෙනි. “බිළිඳා නැළැවේ” ගීය ඔහු ගැයුවේ ඔහු ගේ එක ම පුතු වූ ප්‍රියන්ත වෙනුවෙනි. උක්ත ගීත ද්වයයෙහි අන්තර්ගත මුදු හැඟුම් හා සිලිටි බස් වහර නිසා එ වක මේ ගීත නොමඳ විචාරක අවධානය දිනී ය. අනෙක් අතට සැමියකු ගේ දෘෂ්ටියෙන් බිරිය ගැනත් පියකු ගේ දෘෂ්ටියෙන් බිළිඳු පුතු ගැනත් ගැයුණු ගී හැටේ දසකයට පෙර සිංහල ගීත සාහිත්‍යයේ කොපමණ තිබිණි දැ යි සොයා බැලිය යුතු ය. එසේ ම සී. ටී. “මගෙ සුදු මාමේ” ගීයෙන් ගැයුවේ රා මදින්නකු ගැන ය; “බරබාගේ” ගීයෙන් ගැයුවේ ගැල්කරුවකු ගැන ය; “එළවළු පලා කියා” ගීයෙන් ගැයුවේ එළවළු වෙළෙන්දියක ගැන ය. මේ ගී තුන ම බටහිර සංගීතය මුසු නිර්මාණ වුව ද ඇරැඹෙන්නේ සීපද ගායනාවලින් වීම විශේෂත්වයෙකි. ගැමි සුන්දරත්වය හා ගැමි චරිත පිළිබඳ ව ගැයුණු මෙ වැනි ඇතැම් ගීවල ඇත්තේ නාගරිකයකු ගම දෙස හෙළන දෘෂ්ටියක් බව බොහෝ විචාරකයන් ගේ මතයෙකි.
හැටේ දසකයේ දී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම ගායකයකු වූ නමුත් සී. ටී. ගීත දහස් ගණනක් ගැයූ ශිල්පියෙක් නො වී ය. ඔහු ගැයූ ගීත සංඛ්‍යාව එකසිය හැත්තෑ පහ (175) නො ඉක්මවයි. ඒ අතුරින් “මී අඹ වනයේ”, “මී වදයකි ජීවිතේ”, “ලක්‍ෂ ගණන් වස්තු ලැබී”, “ඈත කඳු රැලි”, “හිමේ සමන් දෙවි පිහිටෙන්”, “සෝබන ලු කොළඹ”, “ළා තණ නිල්ල යි”, “නිසයුරු මුතු වැල්”, “අසරණයා දුගී” වැනි ගීත දොළොසක් (12) පමණ චිත්‍රපට ගීත විය. සී. ටී. ගේ ගී ගොනුවේ දේශාභිමානී ගීත, කිතු බැති ගීත, මවු ගුණ ගීත, ප්‍රේම ගීත, ළමා ගීත, විනෝද ගීත, ආදි හැම ආරක ම ගීත දැක්ක හැකි ය. ඔහු නො ගැයුවේ බුදු ගුණ ගී සහ විරහ ගී පමණි. බෞද්ධයකු නො වූ සී. ටී. බුදු ගුණ නො ගැයීම ගැන විස්මයයට පත් වන්නට දෙයක් නැත. එහෙත් ඔහු විරහ ගී නො ගැයුවේ ඔහු ගේ සෞන්දර්යවාදී ජීවන දර්ශනය හා එවැනි අනුභූතීන් නො පෑහුණු නිසා බව කිය හැකි ය. ඔහු ගැයූ “මී වදයකි ජීවිතේ”, “පරවුණු මල් නැවැත නැතේ පිපෙන්නේ”, “අවදි වන්න අවදි වන්න”, “අද ද ඊයෙ වාගෙම සන්තොසින් ගෙවේ වා”, “රන මොනරයි රන මොනරියි විලාසේ” වැනි ගීතවලින් පිළිබිඹු වන්නේ ඔහු ජීවිතයේ සුන්දරත්වය උපරිමයෙන් ආස්වාදය කළ එපිකියුරියානුවකු (Epicurean) වූ බව යි. ජීවිතයේ දුඃඛ පක්‍ෂය බදා-ගෙන විස්සෝප වීම සී. ටී. ගේ ජීවන දර්ශනය නො වූ බව මේ ගීත කිහිපයෙහි පදමාලා පිරික්සීමෙන් පැහැදිලි වේ.
ගුවන් විදිලියෙන් සරල ගී ගායනයට පිවිසි සී. ටී. 1951 වසරේ පටන් ‘හිස් මාස්ටර්ස් වොයිස්’ (HMV), ‘ෆිලිප්ස්’ (Phillips), ‘ජෙම් ටෝන්’ (Gem Tone), ‘කොළොම්බියා’ (Colombia), ‘සූරිය’ (Sooriya), ‘සිල්වර් ලයින්’ (Silver Line) වැනි තැටි සමාගම් වෙතින් තම ගීත තැටි නිකුත් කෙළේ ය. එක් දහස් නවසිය හැත්තෑ ගණන්වල අග ‘ප්‍රියන්ත’ නාමයෙන් ද ඔහු ස්වකීය ගී තැටි කිහිපයක් නිෂ්පාදනය කොට තිබේ. මීට අමතර ව ‘සී. ටී. හඬ - 1’, ‘සී.ටී. හඬ - 2’, ‘සුවඳ රෝසමල්’ යනුවෙන් ස්වකීය ගීතවල පදමාලා රැගත් පොත් කීපයක් ම සී. ටී. විසින් පළ කොට තිබේ. ‘සී. ටී. හඬ - 1’ ගීත සංග්‍රහයට ප්‍රස්තාවනාව සැපැයූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එහි ලා සී. ටී. හඳුන්වනුයේ ‘වර්තමාන සිංහල සංගීතය නැංවීමට උපකාර වූවන් අතර ප්‍රමුඛ ස්ථානයක් දරන්නකු’ ලෙසිනි. සී. ටී. ගේ රුව කිසි දා පුඤ්චි තිරයට නො නැඟුණේ මෙ රට රූපවාහිනී මාධ්‍යයේ ආගමනයට පළමු ව ඔහු මෙලෝ හැර ගිය බැවිනි. එ බැවින් සී. ටී. ගේ රුව දැක-ගත හැක්කේ ඔහු සුළු චරිත රැඟූ ‘දෙයියන්නෙ රටේ’, ‘ගම්පෙරළිය’, ‘පාරා වළලු’ යන චිත්‍රපට කිහිපයෙන් පමණි.
අපමණ ජනාදරයට පාත්‍ර වූ ගායන ශිල්පියකු වුව ද සී. ටී. හට ක්‍ෂේත්‍රය තුළ අඩන්තේට්ටම් හා කෙණෙහෙළිකම් අතින් අඩුවක් තුබුණේ නැත. මුලින් ම සී. ටී. ප්‍රබුද්ධයන් ගේ ගර්හාවට ලක් වූයේ ඔහු ගේ උච්චාරණය නිසා ය. ඇතැම් සිංහල වදන් සී. ටී. හට උච්චාරණය වූයේ අසිංහල විලාසයකිනි. මෙය සී. ටී. හිතාමතා කළ වැඩක් නො වේ. ඔහු ගේ දත් දෙපෙළෙහි පිහිටීමත් ඉංගිරිසි උච්චාරණයෙන් ලත් ආභාසයත් නිසා අ, ඔ වැනි ස්වර ශබ්දත් ච, ජ, ස, ත, ද වැනි ව්‍යඤ්ජන ශබ්දත් ඔහුට උච්චාරණය වූයේ ඉංගිරිසි භාෂකයකුට මෙනි. මෙය ඇතැම් විචාරකයන් ගේ බරපතළ දෝෂ දර්ශනයට ලක් විය. එහෙත් එවක මොහිදීන් බෙග් “ටිකිරි මෙණිකෙ එම්බුල ගෙනල්ලා” යි ගයන විට නිහඬ ව පසු වූ ගුවන් විදිලියේ ප්‍රබුද්ධයන් සී. ටී. ගේ උච්චාරණය ගැන පමණක් කිපී ගෝරනාඩු කිරීම මධ්‍යස්ථ විචාරකයකු වූ ආචාර්ය තිස්ස අබේසේකර ගේ ඉමහත් විවේචනයට ලක් විය.
1977 දී හෘදයාබාධයක් වැළැඳී සී. ටී. මිය ගිය ද ඊට සිවු වසරකට පෙර 1973 දී ඔහු මානසික ව මරා දැම්මේ ගුවන් විදිලිය බව සුනිල් මිහිඳුකුල අවධාරණයෙන් පවසයි. ඒ වසරේ ගුවන් විදිලි ගායක ගායිකාවන් ශ්‍රේණිගත කිරීම සඳහා පැවැති කටහඬ පරීක්‍ෂණයෙන් සී. ටී. විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු බවට පත් වූයේ නැත. එ දා පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සුනිල් සාන්ත, ඩබ්ලිව්. ඩී. අමරදේව, එච්. ඩබ්ලිව්. රූපසිංහ යන තිදෙනා අතරින් සුනිල් සාන්ත හැරුණු කොට අනෙක් දෙදෙනා ගේ ම මතය වූයේ, පෙරදිග සංගීතයේ තානාලංකාර ගැයීම අතින් සී. ටී. දුර්වල බව යි. ඔහු විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු ලෙස ශ්‍රේණිගත නො කිරීමට හේතුව ලෙස ඔවුන් දැක්වූයේ මෙය යි. මේ තීරණයට විරුද්ධ වූ සුනිල් සාන්ත කියා සිටියේ, යම් කටහඬක ගායන ශක්තිය තීරණය කිරීමේ දී ඒ ගායකයාට පුරුදු ගායන සම්ප්‍රදායය අනුව කරන ලද ගායනයක් අනුව වර්ගීකරණය කළ යුතු බව යි. සී. ටී. හට සිදු වූ අසාධාරණය පිළිබඳ ව කතා කළ සුනිල් සාන්ත මෙසේ ද කියා තිබේ: “අප ගේ කාර්යභාරය සම්ප්‍රදායයක් පිළිබඳ ප්‍රශ්නයක් නො ව ගායන හැකියාවක් පිළිබඳ ප්‍රශ්නයකි. සංගීතය නිල වසයෙන් කිසි යම් සම්ප්‍රදායයකට සීමා කළ නොහැකි ය. එ සේ කිරීම අසාධාරණයකි.” වරක් සී. ටී. ගැන ලිපියක් ලියූ ආචාර්ය තිස්ස අබේසේකර මේ සිද්ධිය මොනොවට විස්තර කොට ඇතැ යි සුනිල් මිහිඳුකුල වැඩි දුරටත් සඳහන් කරයි.
ජීවමාන ව සිටිය දී ම මෙතරම් අසාධාරණයට ලක් වූ සී. ටී. අභාවප්‍රාප්ත වූ පසු වත් නිසි ඇගැයුමකට හෝ හැදෑරුමකට හෝ විෂයය නො වූ බව අප ගේ නිරීක්‍ෂණය යි. සී. ටී. වූකලී සිංහල ගීත සාහිත්‍යයේ නව ආරක් බිහි කළ ශිල්පියෙකි; ළමා ගී සාහිත්‍යය සුපෝෂණය කළ වැඩිහිටියෙකි; ගීයේ හද බස සොයා ගිය රසවතෙකි; සංගීත විෂයයෙහි නව අත්හදාබැලීම් කළ පර්යේෂකයෙකි; සිංහල ගීය අන්තර්ජාතිකයට ගෙන ගිය දේශාටකයෙකි. එ මතු නො ව 1952 දී එංගලන්තයේ විණ්ඩ්සර් මාළිගයේ පැවැති එළිසබෙත් රැජිනිය ගේ මෞලි මංගල්‍යයේ දී ගීත ගැයූ සිංහල ගායකයා වූයේ ද සී. ටී. බව බොහෝ දෙනා නො දනිති. මෙ වන් අද්විතීය ශිල්පියකු වූ සී. ටී. ගේ වියෝවින් පසු තිස් පස් වසරක් තිස්සේ සී. ටී. පුත්‍ර ප්‍රියන්ත ප්‍රනාන්දුට දිවයින පුරා සංගීත ප්‍රසංග සඳහා ලැබෙන අඛණ්ඩ ආරාධනා සමුදායය ම සී. ටී. ගේ අවිච්ඡින්න ජනප්‍රියතාව පිළිබඳ අභේද්‍ය සාක්ෂ්‍ය යි. එහෙවු සී. ටී. පිළිබඳ විධිමත් ශාස්ත්‍රාලයීය අධ්‍යයනයක් මේ දක්වා සිදු නොවීම නම් ඓතිහාසික අසාධාරණයක් බව සඳහන් කළ යුතු ම ය.sinduano
(සේයාරුව - සීටී, පැට්‍රික් දෙනිපිටිය සහ සුනන්ද මහේන්ද්‍ර )
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්.)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
