News Category
From Date
To Date
Maximum Number of Result

පවුල් ලක්ෂ 28ක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවෙලා... නව පනතක් ගෙනාවත් එමඟින් සිදුව ඇත්තේ මහා පරිමාණ සමාගම් පහක් හයක් ශක්තිමත් කිරීම පමණයි - ලක්මව දියණියෝ කාන්තා සංවිධානයේ සභාපතිනිය ප්‍රියංගා කොතලාවල කියයි

Mar 7, 2024 at 08:12 PM
|

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා අවධානයට ලක්වීමට සහ "ශ්‍රී ලංකාව මූල්‍ය වහල්භාවය පවතින රටක්!" ලෙස අවමානයට ලක් වීමට හේතු වූ "ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය වෙළඳපොළ" පාලනය කිරීමට "ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය" නමින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත, "ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවුණු මෙරට පවුල් විසිඅට ලක්ෂයට කිසිදු  ප්‍රතිලාභයක් සලසා නොදෙතත් ක්ෂුද්‍ර මූල්‍ය වෙළඳපොළ තුළ ක්‍රියාත්මක මහා සමාගම් පහ හයක් ශක්තිමත් කරන බවට ලක්මව දියණියෝ කාන්තා සංවිධානයේ සභාපතිනිය, හිටපු පළාත් සභා මන්ත්‍රීයේ ප්‍රියංගා කොතලාවල මහත්මිය චෝදනා කළාය.

දැනට ගැසට් කොට ඇති ඉහත පනත් කෙටුම්පත සඳහා අදාළ කර ගත හැකි "නිර්දේශ විසිදෙකක් සහ යෝජනා හයක් සහිත සංශෝධන" තමන් මේ වනවිට දීර්ඝ ලිපියක් මගින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ අවධානයට යොමු කර ඇති බවත් එම ලිපිය ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවී සිටින කාන්තාවන් ලක්ෂ 24 ද සිහිපත් කරමින් හෙටට(08) යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට පෙරාතුව අද(07) දිනයේ මාධ්‍ය ඔස්සේ ජනගත කරන බව ද කොතලාවල මහත්මිය පැවසුවාය.

ලක්මව දියණියෝ කාන්තා සංවිධානය විසින් අද(07) දිනයේ බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී  ඒ මහත්මිය මේ අදහස් පළ කළාය.

මෙම මධ්‍ය හමුවට ලක්මව දියණියෝ  කාන්තා සංවිධානයේ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායිකා රුවිනි මංගලා, අවිස්සාවේල්ල ආසන සංවිධායිකා තනූජා ලිහිණිකඩුගමගේ යන මහත්මීහු ද එක්ව සිටියහ.

ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වෙත යොමු කරන ලද ඉහත ලිපිය අසංෂිප්තව මෙසේ ජනගත කරන්නෙමු.

"ගරු මුදල් රාජ්‍ය අමාත්‍ය

ෂෙහාන් සේමසිංහ මැතිතුමා,

මුදල් අමාත්‍යාංශය,

කොළඹ 01.

ගරු අමාත්‍යතුමනි,

ශ‍්‍රී ලංකා ‘‘ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය’’ ගැසට් කරන ලද පනතට අදාළ නිරීක්ෂණ සහ නිර්දේශ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා අවධානයට ලක් වූ සහ ශ‍්‍රී ලංකාව මූල්‍ය වහල්භාවය පවතින රටක් ලෙස අවමානයට ලක්වීමට හේතු වූ ක්‍ෂුද්‍ර මූල්‍ය වෙළඳපොළ පාලනය කිරීම සඳහා නව නීතිමය රාමුවක් හඳුන්වා දීමට උනන්දුවීම පිළිබඳව පළමුවෙන්ම ක්‍ෂුද්‍ර මූල්‍ය වහල්භාවයට වැඩි වශයෙන්ම ගොදුරු වන කාන්තාවන් වෙනුවෙන් ඔබතුමාට අපගේ ස්තුතිය පළ කරමු. මේ වනවිට නිසි ලෙස ක‍්‍රියාත්මක නොවන 2016 අංක 6 දරන ක්‍ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි කරමින් ඉදිරිපත් කරන නව නීතිමය රාමුව මගින් සමස්තයක් ලෙස ණය නියාමනය සඳහා ප‍්‍රතිපාදන සැලසීම වැදගත් කරුණක් බවට විවාදයක් නැත. එහෙත් විශේෂ අවධානය යොමු විය යුත්තේ සහ විශේෂ නීතියක අවශ්‍යතාව පවතින්නේ ක්‍ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයට අදාළව  බව ඔබතුමා පිළිගන්නවා ඇත. 

ඒ අනුව නව පනතට අදාලව පහත සඳහන් නිරීක්ෂණ සහ නිර්දේශ ඔබතුමා වෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. 

1) නව නීතිමය රාමුව මඟින් රටේ පවතින මූලික ආර්ථික සහ සමාජීය අවශ්‍යතාව සැලකිල්ලට ලක් වී නැත. එනම් දැනට නිසි නියාමනයෙන් තොරව ක‍්‍රියාත්මක වන ක්‍ෂුද්‍ර මූල්‍ය ණය වෙළඳපළට අදාළව නියාමනය කිරීම සහ එහි කාර්යක්ෂමතාව වර්ධනය කිරීම මෙන්ම ක්‍ෂුද්‍ර මූල්‍ය සැපයීම ප‍්‍රවර්ධනය කිරීම යන මූලධර්මික අවශ්‍යතාව ප‍්‍රමුඛතාව සහිතව විශේෂිතව සැලකිල්ලට ලක් නොවීම ප‍්‍රබල දුර්වලතාවකි. (සාමාන්‍ය ණය පිළිබඳ නියාමනය සඳහා නීතිමය රාමු සහ ආයතන කිහිපයක් ඇතත් ක්‍ෂුද්‍ර මූල්‍ය නියාමනය සඳහා හඳුන්වා එකම නීතිමය රාමුව 2016 අංක 06 දරන පනත වුවත් නව පනත මගින් එම පනත අහෝසි වන අතර ඊට අමතරව නව පනතට සෙසු ණය නියාමනය ද ඇතුළත් කර ඇත.)

2) එම දුර්වලතාව මූලික වශයෙන් නිවැරදි කිරීම සඳහා 3 වැනි වගන්තියට එනම් අධිකාරියේ පරමාර්ථ අතරට ‘‘ක්‍ෂුද්‍ර මූල්‍ය පහසුකම් සැපයීම දිරිමත් කිරීම, ප‍්‍රවර්ධනය කිරීම, උපදෙස් හා තාක්ෂණික සහාය ලබාදීම සහ ප‍්‍රජාව පදනම් කරගත් ප‍්‍රජාව විසින් මෙහෙයවනු ලබන ක්‍ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර ප‍්‍රචලිත කිරීම’’ යන්න ඇතුළත් කළ යුතුය.

3) ඊට අමතරව ඉහත සඳහන් මූලධාර්මික අවශ්‍යතාව සැපිරීම සඳහා ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන කාණ්ඩ දෙකකට(02) බෙදා අදාළ නියාමන ප‍්‍රතිපාදන වෙන්ව දැක්විය යුතුය. එනම් ලාභ ලබන වාණිජ ආයතන සහ ලාභ නොලබන ප‍්‍රජා මූල සංවිධාන, සුබසාධන සමිති, වෘත්තීය සමිති හෝ  ගොවි සංවිධාන ආදිය සඳහා වෙනස් ප‍්‍රතිපාදන පැනවිය යුතුය. එනම් වාණිජ ආයතන සඳහා පනවනු ලබන දැඩි නියාමනය යම් කොන්දේසි සහිතව ප‍්‍රජා මූල සංවිධාන සඳහා ලිහිල් කළ යුතුය. එසේ නොමැති තත්ත්වයක් යටතේ වාණිජ ආයතන දිරිමත් වී ප‍්‍රජා මූල ආයතන අධෛර්යවත් කිරීම සිදුවීම වැළැක්විය නොහැක.(එය ක්‍ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ මහා සමාගම් විසින් වෙළඳපොළ ඒකාධිකාරිය පවත්වාගෙන යෑම සඳහා වන පූර්ව කොන්දේසියකි.)

4) ඉහත සඳහන් මූලධාර්මික පිළිගැනීමට අනුව 22(3)වගන්තිය මගින් පනවනු ලබන වරදකට අදාළ දඬුවම් ද ලාභ ලබන සමාගම් සහ ලාභ නොලබන ප‍්‍රජා මූල සංවිධාන සඳහා වෙනස්ව දැක්විය යුතුය.

5) එසේම එම පිළිගැනීම අනුව එම කාණ්ඩ දෙකට අදාළ ගාස්තු ගෙවීම් දැක්වෙන 22(1) වගන්තිය සංශෝධනය කළ යුතු අතර ලාභ නොලබන ආයතන සඳහා සහන ගාස්තු නියම කිරීම සඳහා ප‍්‍රතිපාදන පැනවිය යුතුය. 

6) තවද මෙම අධිකාරිය මගින් විශේෂිත බලපත‍්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන, එහෙත් වෙනත් නීතිමය රාමු යටතේ පිහිටුවා ඇති ණය දෙන ආයතනවලට අදාළව විශේෂයෙන්ම විශේෂිත ව්‍යාපෘති මුල්කරගෙන ලබාදෙන ණය සහ ක්‍ෂුද්‍ර මූල්‍ය පහසුකම්වලට අදාළව අධීක්ෂණය සහ පැමිණිලි විභාග කිරීම ආදිය සඳහා 20(3) වගන්තිය සංශෝධනය කිරීම මගින් මෙම අධිකාරියට බලය ලබාදිය යුතුය.

7) 32(3) මගින් ලියාපදිංචි ලාභ නොලබන ප‍්‍රජා මූල ස්වේච්ඡා  සංවිධාන ක්‍ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයට අවතීර්ණ වීම වළක්වන ප‍්‍රතිපාදනයක් පනවා ඇති අතර එය ඉවත් කළ යුතුය. එය ක්‍ෂුද්‍ර මූල්‍ය වහල්භාවය ප‍්‍රචලිත කරන මහා සමාගම් කිහිපයක අවශ්‍යතාවකි. 

8) ඉහත සඳහන් මූලධර්මයට අනුව 33(1) වගන්තිය සංශෝධනය කර ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා වන විශේෂිත විධිවිධාන ලාභ ලබන ආයතන සහ ලාභ නොලබන ආයතන සඳහා විශේෂිතව වෙන්ව දැක්විය යුතුය.(ලාභ නොලබන ස්වේච්ඡා සංවිධානවලට අදාළ නොවන ප‍්‍රතිපාදන, හෝ ලිහිල් කරනු ලබන විධිවිධාන වෙන්කොට දැක්විය හැක.)

9) 34(1) වගන්තිය සංශෝධනය කර ඉහත සඳහන් මූලික මූලධර්මය පිළිගනිමින් පූර්ව අනුමැතියට අදාළ ප‍්‍රතිපාදන ක්‍ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රය සඳහා ලාභ ලබන ආයතන සහ ලාභ නොලබන ආයතන සඳහා වෙන්ව දැක්විය යුතුය.

10) 37 වැනි වගන්තිය සංශෝධනය කර විශේෂ විධිවිධාන සඳහා ඉහත මූලධර්මය යථාර්ථයක් කිරීම සඳහා අදාළ ප‍්‍රතිපාදන කාණ්ඩ දෙක සදහා වෙන්ව දැක්විය යුතුය. එහිදී උපරිම පොලී අනුපාතය නියම කිරීමේ බලය අධිකාරියට පැවරිය යුතුය.

11) 39 වැනි වගන්තියට අනුව කඩකිරීම් හෝ පැහැර හැරීම්වලට අදාළව පනවා ඇති ප‍්‍රතිපාදන ක්‍ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර සඳහා ඉහත කාණ්ඩ දෙකට අදාළව බලපවත්වන වෙනස්කම් පැහැදිලිව දැක්විය යුතුය.

12) 41 වැනි වගන්තිය ද ඉහත මූලධර්මය අනුව සංශෝධනය කළ යුතුය.

13) 45 වැනි වගන්තිය සංශෝධනය කර කාර්ය මණ්ඩලවලට අදාළව ප‍්‍රතිපත්තියකට අමතරව ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දිය යුතු බවට සහ ඊට අදාළ අවම කොන්දේසි අධිකාරිය විසින් පැනවිය යුතු බවට ප‍්‍රතිපාදන සැලසිය යුතුය.

14) 46 වැනි වගන්තිය සංශෝධනය කර ගිවිසුම් ආකෘතිය අධිකාරිය විසින් නියම කිරීම, උපරිම පොලී අනුපාතය නියම කිරීම සහ ණය ආපසු ගෙවීමේදී රිසිට්පතක් ලබා දිය යුතු බව මෙන්ම ණය මුදලට අදාළ හිඟ මුදල් රිසිට්පතේ දැක්විය යුතු බවට ප‍්‍රතිපාදන පැනවීම. 

15) 51 වැනි වගන්තිය සංශෝධනය කර යම් විමර්ශනයකට අදාළ වාර්තාව දෙපාර්ශ්වයටම යම් ගාස්තුවක් ගෙවා ලබා ගැනීම සඳහා ප‍්‍රතිපාදන පැනවිය යුතුය. 

16) 58 වැනි වගන්තිය මගින් මිලියන 5ක් මුදල් ගෙවා වැරදි සමතයට පත් කිරීම සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය ලබාදීම මූලධාර්මික වරදක් වන අතර එම ප‍්‍රතිපාදනය ඉවත් කළ යුතුය.

17) 59 වැනි වගන්තිය අනුව හඳුනාගන්නා වැරදි සඳහා දණ්ඩන පැනවීමේදී ක්‍ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයට අදාළව ලාභ ලබන මහා පරිමාණ සහ ලාභ නොලබන ප‍්‍රජා මූල සංවිධාන සඳහා එම දණ්ඩන වෙන්ව දැක්විය යුතුය.

18) 5(3)(I) වගන්තිය අනුව අධිකාරියේ මණ්ඩලයට අමාත්‍යවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයින් හතරදෙනාම බැංකු ක්ෂේත‍්‍රයේ නියෝජිතයින් වීම ද මූලධාර්මික වරදකි. ඊට හේතුව ඉතාම නරක ආකාරයට ක්‍ෂුද්‍ර මූල්‍ය වෙළඳපළ තුළ ක‍්‍රියාත්මක වන සමාගම්වල උපදේශකයින් හෝ කළමනාකරුවන් ලෙස කටයුතු කරන ප‍්‍රධානීන් සියල්ල බැංකුවලට හෝ මහා බැංකුවට සම්බන්ධව කටයුතු කරන හෝ විශ‍්‍රාමික පුද්ගලයන් වීමය. ඒ අනුව මණ්ඩලයේ බහුතර බලය එම ක්ෂේත‍්‍රයට ලබාදිම යුක්තිසහගත නොවේ. ඒ නිසා ක්‍ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ උපදේශන සහ වින්දිතයන්ට අදාළ සූබසාධන කටයුතුවල නියුක්ත ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයන් දෙදෙනකු මණ්ඩලයට පත් කළ යුතු අතර ඒ සඳහා අමාත්‍යවරයා විසින් විවෘතව ඉල්ලුම්පත‍්‍ර කැඳවිය යුතුය. 

19) 4 වැනි වගන්තිය යටතේ අධිකාරියේ බලතල යටතට "ක්‍ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ වින්දිතයන් පිළිබඳව කටයුතු කරන සහ එම ක්ෂේත‍්‍රයේ මහජනයාට උපදෙස් ලබාදෙන සංවිධාන ලියාපදිංචි කිරීම සහ එම සංවිධානවලට අවශ්‍ය උපදෙස් සහ සහාය ලබාදීම" යන්න ඇතුළත් කළ යුතුය. 

20) 14 වැනි වගන්තිය අනුව ශාඛා පිහිටුවීමේ බලය පනත මගින් මණ්ඩලයට පැවරීම වෙනුවට පළාත් හෝ දිස්ත‍්‍රික් මට්ටමින් ශාඛා පිහිටුවීම, විශේෂයෙන්ම පැමිණිලි විභාග කිරීම සඳහා පනත මගින් ප‍්‍රතිපාදන සැලසිය යුතුය. 

21) 4 වැනි වගන්තියේ සඳහන් අධිකාරියේ බලතල සහ කාර්යයන් අතරට (ඈ) වගන්තිය මගින් වගකිවයුතු ණය දීමේ සංස්කෘතියක් ක‍්‍රියාත්මක කිරීම සඳහා මහ බැංකුව හැර ශ‍්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය ඇතුළු නියාමන අධිකාරියන් සමඟ සම්බන්ධීකරණය කළ යුතු බව සඳහන් වේ. ඒ අනුව මහ බැංකුව සමග සම්බන්ධීකරණය නොකළ යුතු බවට වැරදි අදහසක් ගම්‍ය වේ. එහෙත් ඉංග‍්‍රීසි පිටපතේ සඳහන් වන්නේ  මහ බැංකුවට අමතරව සෙසු ආයතන යනුවෙනි. එම වරද නිවැරදි කළ යුතු අතර විශේෂයෙන්ම ක්‍ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබා දෙන සියලූ ආයතන සම්බන්ධීකරණය කිරීමේ වගකීම මෙම අධිකාරියට පැවරිය යුතුය.

22) 21 වැනි වගන්තිය මගින් මෙම අධිකාරිය යටතේ ලියාපදිංචිය ලබාගැනීමෙන් තොරව වෙනත් නීතිමය රාමු යටතේ ක‍්‍රියාත්මක වන ණය දීමේ බලය සහිත ආයතන ලැයිස්තුවක් දක්වා ඇත. ඒ මගින් එම ආයතනවලට මෙම පනතේ මූලික අරමුණු නොසලකා කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. එම වෙනත් නීති යටතේ නියාමනය වන ආයතන සමස්ත අරමුණට යටත්ව සම්බන්ධීකරණය කිරීමේ, උපදෙස් ලබාදීමේ සහ තොරතුරු ලබාගැනීම සඳහා නව පනත මගින් මෙම අධිකාරියට බලය පැවරිය යුතුය. 

ගරු අමාත්‍යතුමනි, 

අප සංවිධානය විසින් විශේෂ අවධානය යොමු කරනු ලබන්නේ ක්‍ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරය නියාමනයට අදාළවය. ඊට හේතුව ණය ගෙවා ගැනීමට නොහැකිව සියදිවි හානිකර ගැනීම, පවුල් ආරවුල් ඇතිවීම ආදියට අමතරව බහුතරයක් කාන්තාවන් මූල්‍ය වහල්භාවයේ ගිල්ලවීම මෙන්ම විවිධ අපයෝජනයන්ට පාත‍්‍ර වන්නේ ක්‍ෂුද්‍ර මූල්‍ය වෙළඳපළ ආශ‍්‍රිතව වීමය. ඒ අනුව මෙම ක්ෂේත‍්‍රයට අදාළව විශේෂ නියාමනයක් මෙන්ම ලාභ නොලබන ස්වේච්ඡා සංවිධාන දිරිමත් කිරීම සහ රාජ්‍ය මැදිහත්වීමෙන් ණය පහසුකම් සහ උපදෙස් ලබාදීමට අමතරව ආර්ථික ඉඩප‍්‍රස්ථා නිර්මාණය කිරීම අවශ්‍ය වේ. එම ක්ෂේත‍්‍රය තුළ ලාභ ලැබීමේ මූලික අරමුණු සහිතව මහා සමාගම් විසින් බහුතර වෙළඳපොළ කොටස් අත්පත් කර ගැනීම තුළ එම සමාජීය අරමුණු යටපත් වේ.

එම නිසා නියාමන ක‍්‍රියාවලිය තුළ වෙළඳපොළ තුළ කාර්යක්ෂමභාවය වර්ධනය කිරීම සඳහා පියවර ගැනීමේදී කුඩා ව්‍යාපාරික ආයතන සහ ලාභ ලැබීමේ අරමුණ මූලික නොවන ප‍්‍රජා මූල සහ ස්වේච්ඡා සංවිධාන දිරිමත් කිරීම සහ ඒවාට විශේෂ සහන ලබාදීම මූලික උපායමාර්ගික ප‍්‍රවේශයක් විය යුතුය. නමුත් අප විසින් පළමුවෙන් සඳහන් කළ ආකාරයට නව පනත මගින් මහා සමාගම්වලට සහ කුඩා ව්‍යාපාරවලට එකම ආකාරයකට සැලකීම මගින් කුඩා ව්‍යාපාර අධෛර්යමත් වී මහා සමාගම්වල ඒකාධිකාරිය තහවුරු වේ. ඒ අනුව මෙම නව පනත මහා සමාගම්වල උවමනාවන්ට යටත්ව ඉදිරිපත් වන බවට එල්ල වන චෝදනාවලින් නිදහස් වීම සඳහා එම මූලික වරද නිවැරදි කළ යුතු බවට නැවත අවධාරණය කිරීමට කැමැත්තෙමු. 

ඊට අමතරව ක්‍ෂුද්‍ර මූල්‍ය වෙළඳපොළ තුළ රජයේ කොටස වර්ධනය කිරීම සඳහා සමෘද්ධි/දිවි නැඟුම බැංකු ජාලය, සමුපකාර බැංකු ජාලය සහ ගොවිජන බැංකු ජාලය යොදාගත යුතුවේ. මෙම පනත මගින් එම ආයතන අදාළ අරමුණු සඳහා මෙහෙයවීම මුල්කරගෙන අධිකාරියට බලය පැවරී නැත. එය බරපතළ දුර්වලකමක් වන බැවින් එය නිවැරදි කිරීම ද ක්‍ෂුද්‍ර මූල්‍ය ණය වෙළඳපොළ කාර්යක්ෂම කිරීමට අදාළ මූලික උපායමාර්ගික ප‍්‍රවේශයකි. 

ගරු ඇමතිතුමනි, 

අවසාන වශයෙන් නීතිමය රාමුව සංශෝධනය කිරීමට අදාළ යෝජනාවලට අමතරව සමස්තයක් ලෙස ක්‍ෂුද්‍ර මූල්‍ය වෙළඳපොළ නියාමනය කිරීම සහ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම මගින් බරපතල සමාජ අසාධාරණයක් වන මූල්‍ය වහල්භාවය අහෝසි කිරීම සඳහා පහත සඳහන් යෝජනා ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. 

1. නව පනතේ ප‍්‍රතිපාදන යොදාගනිමින් සියලුම ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් ලබා දී ඇති ණය පිළිබඳ තොරතුරු ලබාගත යුතු අතර ණය ගෙවීමට නොහැකිව පීඩනයට ලක්ව සිටින ණය හිමියන් හඳුනාගෙන එම ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සහ ඊට අදාළව සහන ලබාදීම සඳහා නියාමන අධිකාරිය විසින් පොදු පැකේජයක් ඉදිරිපත් කළ යුතුය. ඒ මගින් මේ වන විට සමස්ත ණය ප‍්‍රාග්ධනයට වඩා පොලිය ගෙවා ඇති ණය හිමියන් සඳහා තවදුරටත් පොලිය අය නොකිරීම සහ දණ්ඩන පොලී කපා හැරීම ආදී සහන ලබාදිය යුතුය. එසේම පවතින පොලී අනුපාතයන් අනුව අය කළ යුතු නව පොලී අනුපාතය නියාමනය කළ යුතුය. ඊට අමතරව නව පනත යටතේ උපරිම පොලී අනුපාතය සහ අයකළ හැකි සෙසු ගාස්තු පිළිබඳ නියමනයන් පැනවිය යුතුය. 

2. සමෘද්ධි බැංකු පද්ධතිය, සමුපකාර බැංකු පද්ධතිය සහ ගොවිජන බැංකු පද්ධතියට නැවත පණ දීම සඳහා ක්‍ෂුද්‍ර මූල්‍ය ණය සඳහා කොන්දේසි සහිතව මහා භාණ්ඩාගාරයේ මැදිහත්වීම හෙවත් පොලී සහනාධාරයක් යටතේ තොග ණය ලබාදිය යුතු අතර ඒවායේ උපරිම පොලී අනුපාතය නිර්ණය කිරීම සඳහා අදාළ ආයතනවල පිරිවැයට සාපේක්ෂව සූත‍්‍රයක් හඳුන්වා දිය යුතු අතර නව අධිකාරිය මගින් එම ආයතන අධීක්ෂණය කළ යුතුය.

3. වෘත්තීය සමිති, ගොවි සමිති සහ ප‍්‍රජාමූල ස්වේච්ඡා සමිති ආදිය මගින් සහන පොලියට ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම ප‍්‍රචලිත කිරීම සඳහා එම ආයතන නියාමනය කිරීමේදී අධෛර්යවත් කිරීමේ ක‍්‍රමවේද වෙනුවට දිරිමත් කිරීමේ ක‍්‍රමවේද යොදාගත යුතු අතර එම සංවිධානවලට කොන්දේසි යටතේ සහන පොලියට තොග ණය ලබාදිය යුතුය. 

4. ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම, ආර්ථික ඉඩප‍්‍රස්ථා වර්ධනය කිරීම තුළින් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමේ උපාංගයක් ලෙස යොදාගත යුතු අතර එම ක‍්‍රියාවලිය දිරිමත් කිරීම සඳහා අදාළ පරිපාලන ක‍්‍රියාවලිය සහ තොග ණයවලට අදාළ පොලී සහනාධාර සඳහා වාර්ෂිකව රාජ්‍ය අයවැය මඟින් ප‍්‍රතිපාදන වෙන් කළ යුතුය.

5. නව නීතිය මඟින් පිහිටුවන නියාමන ආයතනය මගින් සහන පොලියට ණය ලබා දෙන ස්වේච්ඡා සංවිධාන ප‍්‍රචලිත කිරීම සඳහා උපදෙස්, අධීක්ෂණය සහ වෙනත් සහන ලබාදීම සඳහා ජාතික මට්ටමෙන් විශේෂ ව්‍යාපෘතියක් දියත් කළ යුතුය. එම ක‍්‍රියාවලිය තුළ හුදු ණය ලබාදීමට වඩා නිශ්චිත ආර්ථික ක‍්‍රියාවලියකට අදාළව එනම් ආර්ථික ඉඩප‍්‍රස්ථා නිර්මාණය කිරීම යන සාධකයට යටත්ව ණය ලබාදීම දිරිමත් කළ යුතුය. 

6. බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩප‍්‍රස්ථා ලැබෙන ආකාරයට විශේෂයෙන්ම ග‍්‍රාමීය ආර්ථිකයේ ආර්ථික ඉඩප‍්‍රස්ථා වර්ධනය වන ආකාරයට නිශ්චිත ප‍්‍රතිපත්තිමය තීන්දු ප‍්‍රමාණයක් ප‍්‍රකාශයට පත් කළ යුතු අතර ක්‍ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබා දීම එම ක‍්‍රියාවලියේ පූර්ව කොන්දේසියක් බවට පත් කළ යුතුය. ඊට අදාළව ජාතික ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශයට පත් කිරීමේදී පහත සඳහන් ක‍්‍රියාමාර්ග සැලකිල්ලට ගත යුතුය. 

6.1 රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන මට්ටමින් දේශීය ආහාර ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශයට පත් කිරීම මගින් දේශීය ආහාර වෙළඳපොළ පුළුල් කිරීම තුළින් ආර්ථික ඉඩප‍්‍රස්ථා වර්ධනය කිරීම.

6.2 ප‍්‍රධාන ආනයනික ආහාර සඳහා විකල්ප දේශීය ආහාර නිෂ්පාදනය, විශේෂයෙන්ම කුඩා පරිමාණ නිෂ්පාදකයින් දිරිමත් කිරීම සඳහා තෝරාගත් ආනයනික ආහාර ප‍්‍රමාණයක් අධෛර්යවත් කිරීම සඳහා ආනයන බදු පැනවීම. එම තීන්දුව සාධාරණීකරණය කිරීම සඳහා මහජන සංවාදයක් ඇති කළ යුතු අතර අදාළ බදු ආදායම විශේෂිත අරමුදලකට බැර කිරීම මගින් නිෂ්පාදනය වර්ධනය කිරීමේ ක‍්‍රියාවලිය, විශේෂයෙන්ම ක්‍ෂුද්‍ර මූල්‍ය ණය පොලී සහනාධාර ලබාදීම සඳහා පමණක් යෙදවිය යුතුය. 

6.3 සහල් වෙළඳපොළ තුළ කුඩා පරිමාණ නිෂ්පාදකයාට අවස්ථාව සැලසීම සඳහා වී මිලට සාපේක්ෂව කුඩා පරිමාණ නිෂ්පාදකයාට පැවතිය හැකි ආකාරයට සහල් මිල නිර්ණය කිරීම සඳහා මිල සූත‍්‍රයක් හඳුන්වාදීම මගින්  කුඩා පරිමාණ නිෂ්පාදකයින්ගේ කොටස වර්ධනය කිරීම සහ ඒ මගින් මහා පරිමාණ නිෂ්පාදකයින්ගේ ඒකාධිකාරිය සීමා කිරීම. ඒ මගින් ගොවින්ගෙන් යම් ප‍්‍රතිශතයක් සහල් නිෂ්පාදකයින් සහ අලෙවිකරුවන් බවට පත්කළ යුතුය. 

6.4. සමෘද්ධි/දිවි නැගුම බැංකු පද්ධතිය, ගොවිජන බැංකු පද්ධතිය, සහ සමුපකාර බැංකු පද්ධතිය තුළ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය හිමියන් සාමාජිකයන් බවට පත් කිරීම මගින් ඔවුන් අතර ඉතිරි කිරීම් ප‍්‍රචලිත කිරීම සහ එම ආයතන මගින් ක්‍ෂුද්‍ර මූල්‍ය ණය යොදා ගනිමින් ආර්ථික ඉඩප‍්‍රස්ථා වර්ධනය කිරීම සඳහා නිශ්චිත ව්‍යාපෘතියකට යටත්ව ණය දීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීම.

6.5. ඉහත සඳහන් රාජ්‍ය මැදිහත්වීම සහිත බැංකු පද්ධතිය තුළ පිරිවැය අඩු කර ගැනීම මගින් ක්‍ෂුද්‍ර මූල්‍ය ණය පොලී අඩු කිරීම සඳහා විශේෂිත කළමනාකරණ වැඩසටහනක් ආරම්භ කිරීම සහ ඒ සඳහා දිරිගැන්වීම් ලබාදීම. එම ක‍්‍රියාවලිය තුළ විශේෂයෙන්ම ගොවිජන බැංකුව පුළුල් කිරීමේදී දැනට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සේවයේ නියුක්ත පිරිස් බලය සහ සම්පත් යොදා ගැනීම දිරිමත් කළ යුතුය. විශේෂයෙන්ම එම බැංකු පද්ධති විසින් වාණිජ බැංකු අනුගමනය කරමින් සිදු කරන රූපලාවන්‍ය වෙනස්කම් සඳහා පිරිවැය දැරීම සීමා කළ යුතුය. 

6.6. පළාත් පාලන ආයතන මට්ටමින් ආර්ථික ඉඩප‍්‍රස්ථා වර්ධනය කිරීම මුල් කරගෙන වෙළඳපළ අවස්ථා පුළුල් කිරීම සඳහා ක්‍ෂුද්‍ර මූල්‍ය ණයලාභීන්ට සහ සෙසු අඩු ආදායම්ලාභීන්ට විශේෂිතව සහන පොළ බදු යටතේ දිනපතා පොළවල් ජාලයක් ආරම්භ කිරීම. 

අවසාන වශයෙන් ඔබතුමාට සඳහන් කළ යුත්තේ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය නියාමනය අදාළ ණය යොදා ගනිමින් සිදුකෙරෙන ආර්ථික ක‍්‍රියාකාරකම් සමඟ බැඳුණු වෙළඳපළ අවස්ථා නිර්මාණය කිරීම සමග ඒකාබද්ධ කළ යුතු බව සහ එම ක‍්‍රියාවලිය සමාජ සාධාරණත්වය සහතික කිරීමේ උපාංගයක් බවට පත්කළ යුතු බවය.

මේ වගට, 

ප‍්‍රියංගා කොතලාවල, 
සභාපති,
ලක්මව දියණියෝ කාන්තා සංවිධානය

සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව
පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.
2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රධාන පුවත්

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.