ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ රැස්වීමේදී ගොවීන්ට ලොකුකම් පෙන්වූ දේවානිට දැඩි විරෝධයක්
Sep 21, 2023 at 12:21 PM
|
ගොවි ගැටලු සම්බන්ධව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු ආයතනයේදී ඊයේ (20) පැවැත්වුණු ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ රැස්වීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහභාගි වූ දේවානි ජයතිලක නිලධාරිනියට ගොවීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
තමන්ට අදාළ ප්‍රශ්න ඇත්නම් වහාම යොමු කර ඇයව මෙම රැස්වීමෙන් නිදහස් කරන ලෙස පැවැසීම නිසා ගොවි සංවිධාන නියෝජිතයෝ මෙලෙස ඇයට දැඩි විරෝධතාවක් එල්ල කළ බවයි වාර්තා වන්නේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ මෙම රැස්වීමට දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් ගොවි සංවිධාන සභාපතිවරු සහභාගි වී ඇති අතර, ඒ ඒ දිස්ත්‍රික්කවලට බලපාන ගොවි ගැටලු සම්බන්ධව මෙහිදී ගොවීහු අදහස් පළ කළකර තිබේ.
ඒ සඳහා රාජකාරිමය වශයෙන් සහයෝගය පළ කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි වනජීවී, වන සංරක්ෂණ, වාරිමාර්ග, මහවැලි ආදි සියලු ආයතනවලින් එම අමාත්‍යාංශ භාර ලේකම්වරු විසින් තම නියෝජිතයන් සහභාගි කරවා තිබේ.
ඊයේ (20) පෙරවරු 08ට ආරම්භ වූ මෙම රැස්වීම පස්වරුව දක්වාම පවත්වා ඇති අතර, පඬුකරඳ ශාකය සම්බන්ධ සිදුවීමේදී මින් පෙර ආන්දෝලනාත්මක චරිතයක් වූ දේවානි ජයතිලක මහත්මිය ද වනජීවී අමාත්‍යාංශය වෙනුවෙන් සහභාගි වී සිටි බව වාර්තා වේ.
තමන්ට ප්‍රමාද වන බව කියමින් ගොවීන්ට කඩිනමින් ගැටලු ඉදිරිපත් කරන්නැයි එහිදී ඇය හඬ නඟන්නට වීමත් සමඟ ඇය නියෝජනය කරන ආයතනය පිළිබඳ ඇමැතිවරයා ද විමසීමක් කර ඇත.
මෙහිදී දේවානි මහත්මියට විරුද්ධත්වය පළ කළරමින් ගොවීන් ඇය රජයේ සේවිකාවක බවත් ඇය වැටුප් ලබන්නේ මහජන මුදලින් බවත් දුරකතර ගෙවා කාලය, ශ්‍රමය, තම මුදල් වැය කරමින් තමන් පැමිණියේ රට වෙනුවෙන් බවත් කියමින් ඇයට විරුද්ධත්වය ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.
මෙම ගොවීන්ගේ විරෝධය හමුවේ ඇය රැස්වීමෙන් පිටව ගොස් ඇති අතර, මෙහිදී අදහස් පළ කළ ඇමැති මහින්ද අමරවීර මහතා පවසා ඇත්තේ රාජ්‍ය සේවකයන් මෙන්ම මේ රටේ සැම කෙනෙක්ම බඩගින්න නිවා ගන්නේ ගොවි ජනතාව නිසා බව සිහියේ තබාගත යුතු බවයි.