පස්සට රිවස්..
පහුගිය දවස්වල මම “අස්ස - පස්ස” කියලා ලිපියක් ලිව්වා. ජම්බුවාදියෝ විසින් “කුසලස්ස” සහ “පාපස්ස” කියන පාලි වචන දෙක විකෘති කරන හැටි දැකලයි මම ඒ ලිපිය ලිව්වේ. ඒ ලිපියට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වලා තිබුණා. කමෙන්ට් තුන්සිය ගානක් දාලා තියෙනවත් දැක්කා. ඒ හැම එකක් ම කියවන්න වෙලාවක් මට නෑ. මගේ ලිපියට ප්‍රතිචාර දකවපු අය අතර ජම්බුවාදියොත් හිටියා. ඇත්තෙන්ම, ජම්බුවාදියෝ දක්වලා තිබිච්ච අදහස් බොහොම රසවත්. මට කියවන්න ලැබිච්ච එහෙම කමෙන්ට් දෙකක් තුනක් ගැන යමක් කියන්න පුළුවන්.
“පාලිය” සහ “පාළිය” කියලා වචන දෙකක් තියෙනවා. “පාලිය” කියලා කියන්නේ පාලි භාෂාවට. “පාළිය” කියන්නේ පෙළ දහමට. “පාඨ” කියන වචනයෙන් තමයි “පාළිය” කියන වචනය හැදිලා තියෙන්නේ. බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය අපි ශ්‍රවණය කරන්නේ, කියවන්නේ පාඨ ආකාරයෙන්. ඒ ධර්මය අන්තර්ගත “සූත්‍ර පාඨ” ගැනත් අපි කියනවා. ඉතින් මේ පාඨවලින් සමන්විත සමස්තයට (ත්‍රිපිටක ධර්මයට) අපි “පාළිය” කියලා කියනවා. සිංහල ව්‍යවහාරයේ දී, අපි “පාළිය” කියන වචනය “පෙළ” කියලත් යොදනවා. හැබැයි අපි කවදාවත් “පාලිය” (පාලි භාෂාව) “පෙල” කියලා හඳුන්වන්නේ නෑ.
දැන් මේ කාරණයට අදාළ ජම්බු ප්‍රතිචාරයක් විමසමු.
“බුදුන්වහන්සේ පැයක් දෙකක් හෝ ඊට වැඩි කාලයක් හෝ විස්තර කල දේ මහ ප්‍රාඥයන් වහන්සේලා සාරාංශ ගත කලා. එවා කට පාඩම් කරන්න පහසුවට පෙලියට ලීවා. ඒ නීසා තමයි එවා පෙල දහම විදිහට හදන්වන්නේ.”
මේ ප්‍රතිචාරය දක්වපු ජම්බුවාදියා “ල” සහ “ළ” අතර වෙනස තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැති කෙනෙක් බව පැහැදිළියි. උදාහරණයක් විදිහට, “වැඩි කාලයක් හෝ විස්තර කල දේ මහ ප්‍රාඥයන් වහන්සේලා සාරාංශ ගත කලා” කියන උද්ධෘතය සළකන්න. මෙතැන මේ මහත්තයා “කාලයක්”, “කල” සහ “කලා” කියලා වචන තුනක් ලියලා තියෙනවා. “කාලයක්” කියන වචනය නිවැරැදියි. “කල” කියන්නේ “කාලය” කියන එක ම තමයි. “එ කල”, “මෙ කල” කියන යෙදුම් ගැන හිතන්න. හැබැයි මෙතැන මේ මහත්තයා කියන්නේ “විස්තර කල දේ” කියලා. “කළ” (කරපු) කියන වචනය තමයි මෙතැන වැරැදියට “කල” කියලා ලියලා තියෙන්නේ. ඉතින් අදාළ කාරණය කියන්න ඕන “විස්තර කළ දේ” කියලා. ඊ ළඟට, මේ මහත්තයා “සාරාංශ ගත කලා” කියලා කියනවා. මේක “සාරාංශගත කළා” කියලා නිවැරැදිවෙන්න ඕන.
ඊ ළඟට, මේ මහත්තයා කියනවා බුද්ධ දේශනාව “කට පාඩම් කරන්න පහසුවට පෙලියට ලීවා” කියලා. (මෙතැනත් “පෙලිය” කියලා අපභ්‍රංශ වචනයක් ලියලා තියෙනවා. මේ මහත්තයාට කියන්න ඕන “පේළිය” කියන එක වෙන්න ඕන. සිංහල භාෂාවේ “පේලිය” කියලා වචනයක් නම් නෑ). ඉතින් අපි මේ මහත්තයා කියලා තියෙන අදහස සිංහලෙන් ලියා ගනිමු. “කට පාඩම් කරන්න පහසුවට පේළියට ලිව්වා” කට පාඩම් කළත් නැතත්, මිනිස්සු ලියන්නේ පේළියට තමයි. ඒක මොන භාෂාවටත් අදාළ කාරණයක්.
මෙහෙම පේළියට ලියපු “නිසා තමයි එවා පෙල දහම විදිහට හදන්වන්නේ” කියලා මේ මහත්තයා තමන්ගේ නිගමනය ඉදිරිපත් කරනවා. නැවතත් කියන්නම්. මෙතැන “පේළියට ලියපු” කතාව මනස්ගාතයක්. අනිත් කාරණය තමයි “පෙල දහම” කියලා එකක් නෑ. තියෙන්නේ “පෙළ දහම.”. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 543 ක් ගතවුණාට පස්සේ තමයි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ. ඊට කලිනුත් “පෙළ දහම” තිබුණා. ඉතින් “පේළියට ලියපු” හින්දා ධර්මයට “පෙළ දහම” කියලා කියන කතාව බොරුවක්.
ඊ ළඟට, මේ ජම්බුවාදියා මෙහෙම කියලා තිබුණා.
“සබ්බ පපස්ස අඛරණං... සියලු පාප, අස්ස/ ආශ්‍රය/ ඇසුරු/ ඇතුලට ගැනීම තමයි අඛරණං... කරන්න එපා, නොකරන්න, කිරිම අත්හරින කයන උපදේශයයි එතන තේයෙන්නේ.”
එතැනිනුත් නවතින්නේ නැතුව, මේ ජම්බුවාදියා “කුසලස්ස” වචනය ගැන මෙහෙම කියනවා.
“කුසල අස්ස, කුසල, කුණු සලාහරිම අස්ස නැතිනම් ආශ්‍රය/ ඇසුරු කරන්න.”
මේ ජම්බුවාදියාගේ විකාරරූපී අර්ථදැක්වීම පැහැදිළියි. මුන්නැහේ කියන විදිහට, ‘අස්ස” කියලා කියන්නේ “ආශ්‍රය කරනවා”, “ඇසුරු කරනවා”, “ඇතුළට ගන්නවා” කියන එකටයි.
පාලි “අස්ස” වචනයේ තියෙන්නේ “අශ්වයා” කියන අර්ථය. තවත් තේරුම් ඇතුව මේ වචනය යෙදෙන තැන් තියෙනවා. හැබැයි ඒ කිසිම තැනක “ආශ්‍රය කරනවා”, “ඇසුරු කරනවා”, “ඇතුළට ගන්නවා” කියන අර්ථයෙන් නම් “අස්ස” වචනය යෙදිලා නෑ.
“ආශ්‍රය කරනවා”, “ඇසුරු කරනවා” කියලා කියන්න ඕන නම්, පාලි භාෂාවේ තියෙන “සෙවති” කියන වචනය පාවිච්චි කරන්න. මහා මංගල සූත්‍රයේ තියෙන “අසෙවනා ච බාලානං” කියන ධර්ම පාඨය පොඩි ළමයි පවා දන්නවා. අපි සිංහලෙන් “සේවනය කරනවා” කියන්නෙත් ආශ්‍රය කරනවා, ඇසුරු කරනවා කියන අර්ථයෙන් ම තමයි. මේක සංස්කෘත භාෂාවෙන් සිංහලයට ආපු තත්සම වචනයක්.
“අස්ස” කියන පාලි වචනයෙන් “ආශ්‍රය කරනවා”, “ඇසුරු කරනවා”, “ඇතුළට ගන්නවා” කියන අර්ථ කියැවෙනවා කියලා කියන මේ ජම්බුවාදියා තව පේළියක් දෙකක් ලියලා එක සැරේ ම ඔළුවෙන් හිටගන්නවා. ඒ මෙහෙමයි.
“බුද්ධස්ස = බුද්ධ තත්ත්වයට, නැත්නම් බිජ, බව, උදුරා දැමිමට කටයුතු කරන්න, අස්ස කරන්න, කටයුතු කරන්න”
දැන් මේ ජම්බුවාදියා කියන්නේ “බුද්ධස්ස” කියලා කියන්නේ “බීජ අස්ස කරනවා” කියන එකට බවයි. මේ කියන විදිහට “අස්ස” කියන වචනයේ අර්ථය තවදුරටත් “ආශ්‍රය කරනවා”, “ඇසුරු කරනවා”, “ඇතුළට ගන්නවා” නෙවෙයි. දැන් ඒක “අස්කිරීමක්”, “ඉවත්කිරීමක්” බවට පත්වෙලා. ඒ කියන්නේ “ඈත්කිරීමක්”, “දුරුකිරීමක්” බවට පත්වෙලා.
ඇත්තෙන්ම, මේ ජම්බුවාදියා ඇසුරු නො කළ යුතු බාලයන් පස්සේ ගිහිල්ලා (සේවනය කරලා) ඔළුව අවුල් කරගත්ත කෙනෙක් බව නම් හොඳට ම පැහැදිළියි.
තවත් ජම්බුවාදියෙක් මෙහෙම ප්‍රතිචාරයක් දක්වලා තිබුණා.
“ගෙදර ඉන්න අම්මා කියනවා මම කුසිසිය ‘අස්පස්’ කරළා එන්නම් කියලා. ඒ කියන්නේ කුස්සියේ තියෙන්න ඔන බඩුටික තියලා ඉතිරි හැඩි වුන ටික එළියට විසිකරන වැඩපිළිවෙල. ඕක තමයි අස්ස පස්ස. ඒ එක්කම ආශ්වාශ ප්‍රාශ්වාශ. හුස්ම ගන්නවා පහල දානවා.”
සිංහල භාෂාවේ “අස්පස් කරනවා” කියන්නේ “සකස් කරනවා”, “පිළිවෙළක් කරනවා”, “පිරිසිදු කරනවා” කියන අර්ථයෙන්. හැබැයි “අස්පස් කරනවා” කියන කාර්යය පාලියෙන් කියනවා නම් “විසොධෙති”, “සොධෙති”, “සම්මාජති” කියන වචන යොදාගන්න සිද්දවෙනවා. ඇත්තෙන්ම, “සම්මාජති” කියන පාලි වචනය තමයි “අතුගානවා”, “පිරිසිදු කරනවා”, “අස්පස් කරනවා” කියන වැඩේ ගැන කියන්න වඩාත් ම ගැළැපෙන්නේ. එහෙම නැතුව, සිංහල “අස්පස්” රිංගවලා පාලි භාෂාව අර්ථ දක්වන්න බෑ.
මේ ජම්බුවාදියා තමන්ගේ “අස්ස - පස්ස න්‍යාය” අස්සට ආශ්වාශ - ප්‍රශ්වාශත් සම්බන්ධ කරලා. ආශ්වාශ - ප්‍රශ්වාශ කාර්යය පාලි භාෂාවෙන් “අස්සාස - පස්සාස” කියලා කියනවා. “අස්සාසපස්සාසා” ගැන සඳහන් සූත්‍ර ධර්ම ඕන තරම් තියෙනවා. උදාහරණයක් විදිහට, සංයුක්ත නිකායේ ආනාපාන සංයුත්තය සේවනය කරන අයට මේ භාවිතය ඉතාමත් හොඳින් තේරුම්ගන්න පුළුවන්.
පාලි තියා මූලික සිංහලවත් දන්නේ නැතිවුණාම තමයි මෙහෙම අකරතැබ්බ ඇතිවෙන්නේ. ඇත්තෙන්ම, සිංහල භාෂාවේ “අස්පස්” කියන්නේ යුගල වචනයක්. “සද්ද බද්ද”, “බඩු මුට්ටු”, “ඇඳුම් පැළැඳුම්”, “කැවිලි පෙවිලි” වගේ යුගල පද ගැන පහේ පන්තියේ ඉගෙනගන්න පුංචි ළමයි පවා දන්නවා. මේ යුගල පද ගලවලා ඒ කෑලිවලට වෙන වෙනම අර්ථදැක්වීම් ලබාදෙන්න බෑ. ඒ වගේ ම, එහෙම ලබාදෙන විකාරරූපි අර්ථදැක්වීම් වෙනත් භාෂාවක අදහස් පැහැදිළි කරන්න යොදාගන්නත් බෑ.
මේ මූලික දේ දන්නේ නැතුව නිඝණ්ඨයෝ පස්සේ ගියාම මුලින් “ඇසුරු කරනවා, ළඟට ගන්නවා” කියලා දකින “අස්ස අටුවාව” එහෙට හැරිලා මෙහෙට හැරෙද්දි “ඈත් කරනවා, අස් කරනවා, දුරු කරනවා” බවට පත්වෙනවා.
මෙන්න මේකට තමයි පස්සට රිවස් කියලා කියන්නේ.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..