News Category
From Date
To Date
Maximum Number of Result

ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවේ දී අනුනායක ස්වාමීන්වහන්සේලා නිකුත් කළ සංඝ ආඥාව

Mar 15, 2024 at 04:12 PM
|

ආර්ථික සහ දේශපාලනික අර්බුදය තුළ ජනවරමට පිටුපාමින් නැවත නිවැරදි කරගත නොහැකි ලෙස රට විදේශීය ආධිපත්‍යයට යටත් කිරීම, ආර්ථික මරමස්ථාන විකුණා දැමීම වහාම නැවැත්විය යුතු බවටත්, මහ නායක හිමිවරුන්ගේ අනුශාසනා පිළිගත යුතු බවටත් පක්ෂ විපක්ෂ සියලු දෙනාට දැනුම් දීම සඳහා  ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවක්  කැලණිය, නාමල්වත්ත මහා විහාරීය සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ(14) දින පැවැත්විණි.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු  ආණ්ඩුවට සම්බන්ධ ජනතා නියෝජිතයන්ට අනුනායක ස්වාමීන්වහන්සේලා විසින් සංඝ ආඥාවක් නිකුත් කළහ.

එම සංඝ ආඥාව පහළින්...

ආර්ථික – දේශපාලන අර්බුදය හමුවේ මහජන නියෝජිතයින්ගේ වගකීම

2024 මාර්තු මස 14 වෙනි බ්‍රහස්පතින්දා කැලණිය මානෙල්වත්ත මහාවිහාර සම්මන්ත්‍රණ ශාලාවට වැඩම කළ සියම් මහානිකායේ මල්වතු, අස්ගිරි, කෝට්ටේ, රෝහණ ඇතුළු පාර්ශ්වයන්ගේ හා අමරපුර මහානිකායේ මෙන්ම රාමඤ්ඤ මහානිකායේ අනුනායක මාහිමිපාණන් වහන්සේලා ද විද්‍යෝදය, විද්‍යාලංකාර පරිවෙණාධිපතීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය මහජන නියෝජිතයින්ට බරපතල කොට ඉදිරිපත් කරනු ලබූ සම්මුති ප්‍රකාශයයි !

අප රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කෙටි කාලීනව උත්සන්න වූ එහෙත් දීර්ඝ කාලීනව වර්ධනය වී ආ ආර්ථික අර්බුදය මුල් කරගෙන පැන නැඟුනු ප්‍රචණ්ඩ විරෝධය නිසා ජනාධිපතිවරයාට තම ධූරය අතහැර රටින් පලායාමට සිදුවිය. එම ක්‍රියාවලිය පසුපස විවිධ ජාත්‍යන්තර බලවේග ක්‍රියාත්මක වූ බව දැන් රහසක් නොවේ. ඊට අමතරව එම විරෝධතා සමීපව නිරීක්ෂණය කළ අයට දේශීයව බෙදුම්වාදී බලවේග සහ විවිධ ආගමික අන්තවාදී කණ්ඩායම් එම ක්‍රියාවලිය තුළ විශේෂිතව නියෝජනය වූ බව පැහැදිලිව පෙනුනි. විරෝධතාකරුවන් යොදා ගනිමින් රටේ ජනාධිපතිවරයා ඝාතනය කර ලිබියාවේ සිදු කළ ආකාරයට ජාත්‍යන්තර මැදිහත්වීමෙන් ව්‍යවස්ථාවට පරිබාහිරව අන්තර්කාලීන පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමේ සැලසුමක් තිබූ බවට ද එම මතවාද තුළින් යම් සාක්ෂි සහිතව නිගමනයන් ඉදිරිපත් වේ.

මෙම කරුණු සැලකිල්ලට ගැනීමේ දී පෙනී යන්නේ සමස්ත ක්‍රියාවලිය පිටපතකට අනුව අධ්‍යක්ෂණය කර රඟ දැක්වූ බවයි. එහෙත් ඒ සඳහා වේදිකාව සකස් කිරීමට ආණ්ඩුවේ පාර්ශ්වය විසින් දායකත්වය සැපයූ බව ඉතා පැහැදිලිය. විශේෂයෙන්ම ආර්ථික ඝාතක උපදේශකයින්ගේ වැරදි උපදෙස් පිළිපැදීම සහ අර්බුදයේ මූල් අවස්ථාවේදී කෙටිකාලීනව එය සමනය කර ගනිමින් දීර්ඝ කාලීනව අර්බුදය විසඳීම සඳහා ගත යුතුව තිබූ පියවර නොගැනීම නිසා රට අස්ථාවර කිරීම විෂයෙහි රටට හතුරු බලවේගවලට අවස්ථාව නිර්මාණය වූ බව අපට පිළිගැනීමට සිදුවේ.

අති පූජනීය ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් 2024.02.15 දින ජනාධිපතිවරයාට යොමු කළ රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීම හේතුවෙන් මහජන සේවාවන් බිඳවැටී සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානම පිළිබඳ ලිපිය මගින් බුදුන් වහන්සේ විසින් දේශනා කළ චක්කවත්තිසීහනාද සූත්‍රය උපුටා දක්වමින් රාජ්‍ය පාලකයාගේ මූලික වගකීම පැහැදිලිව පෙන්වා දී ඇත. එම වගකීම් පැහැර හැරීම හෝ නොසලකා හැරීම මගින් අර්බුද නිර්මාණය වන බව සහ රටේ මහජනතාව අනාරක්ෂිත වන බව උන්වහන්සේලා විසින් එහිලා මැනවින් පෙන්වා දෙන්නට යෙදුණි.

මේ වන විට එසේ අනාරක්ෂිත වූ මහජනතාව දැඩි මානසික පීඩනයකට සහ වික්ෂිප්ත භාවයකට ලක් වී ඇති අතර එම නිසා අර්බුදයට හේතු වූ සාධක සහ ඊට අදාළ විසඳුම් පිළිබඳව අර්ථවත් සමාජ කතිකාවක් ගොඩනැගී නැත. එම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් දැනටමත් ආර්ථික අර්බුදය යොදා ගනිමින් දේශපාලන අර්බුදයක් නිර්මාණය කර රට අවස්ථාවර කිරීමට මුල් වූ ජාත්‍යන්තර බලවේගවලට තම දීර්ඝකාලීන භූ දේශපාලන න්‍යාය පත්‍රය දිගේලි කිරීමට හැකියාව ලැබී ඇති බව දැන් ඉතා පැහැදිලිය. ව්‍යාජ බලහුවමාරුවක් මගින් ජනවරමක් නොමැති සහ ලැබී ඇති ජනවරමට පිටුපාමින් ක්‍රියාකරන පාලන තන්ත්‍රයට එම න්‍යාය පත්‍රයට යටත් වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව දැන් ඉතා පැහැදිලිව පෙනේ.

අර්බුදය විසඳීම සඳහා බව පවසමින් ගනු ලැබූ ක්‍රියාමාර්ග මගින් මෙන්ම ක්‍රියාත්මක කළ යුතු විසඳුම් හේතු දැක්වීමකින් තොරව සඟවා තබාගෙන සිටින තත්ත්වයක් තුළ අර්බුදය තවදුරටත් උත්සන්න වන බව දැනුම්වත් මහජනතාවට තේරුම් ගත හැක. උදාහරණයක් ලෙස ආණ්ඩුවේ ම ප්‍රබල ඇමතිවරුන් සඳහන් කරන ආකාරයට 2017 දී සම්මත කළ සහ වර්තමාන විදේශ විනිමය අර්බුදයට ප්‍රබල හේතුවක් වූ බවට සඳහන් වන විදේශ විනිමය පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව විසින් උනන්දුවක් දක්වන්නේ නැත. එසේ ම විදුලි පිරිවැය ඉහළ යාම සහ අධික බදු බර නිසා රටේ කුඩා ව්‍යාපාර ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් වැසී ගොස් ඇති බව ආණ්ඩුවේ ම සංඛ්‍යා ලේඛන මගින් පැහැදිලි වේ. ඒ අතර රටේ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සංවාදයකින් තොරව රහසිගතව වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම මගින් දේශීය කර්මාන්ත පද්ධතිය තවදුරටත් කඩා වැටෙන බවට චෝදනා එල්ල වේ. අර්බුදය උස්සන්න වීමෙන් පසුව දැනට නොගෙවා ඇති විදේශීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 8000ක් වුවද ඩොලර් මිලියන 4500ක සංචිත තිබෙන බවට ආණ්ඩුවේ පාර්ශ්ව උදම් ඇනීම තුළ සැබෑ තත්ත්වය සඟවමින් අර්බුදය තවදුරටත් උස්සන්න වීමට ඉඩ හරිනවාද යන සැකය ඇතිවීම වැළැක්විය නොහැක.

ඒ අනුව මෙම සමස්ත ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලයට වගකීමට සහ වගවීමට පක්ෂ විපක්ෂ සියළුම මහජන නියෝජිතයින්ට සිදුවනු ඇත. විශේෂයෙන් ම ආණ්ඩුව විසින් ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන යම් විසඳුම් මගින් අර්බුදය විසඳීම සඳහා දායකත්වය සපයන බව තර්කානුකූලව ඔප්පු කළ නොහැකි අතර ඒවා ක්‍රියාත්මක කළහොත් ඉතිහාසයේ කිසි දිනෙක ආපසු හැරවිය නොහැකි අනර්ථයක් රටට සහ ජනතාවට සිදුවන බව ඉතා පැහැදිලිය. උදාහරණ ලෙස ‘එට්කා’ ගිවිසුම අත්සන් කිරීම මගින් සේවා අංශ විවෘත කර ඉන්දියානුවන්ට ව්‍යාපාර සහ රැකියා කිරීම සඳහා රට තුළට පැමිණීමට ඉඩ සැලසීම සහ සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමේ නීතිය සම්මත කිරීම මගින් ආරක්ෂක හමුදා පාවාදීම සහ නැවත බෙදුම්වාදී බලවේගවලට කේවල් කිරීමේ අවස්ථාව ලබා දීම ආදිය කිසිදෙනක ආපසු හැරවිය නොහැකි වැරදි බවට පත්වන බවට කිසිදු සැකයක් නැත.

ඊට අමතරව විදුලිබල පද්ධතිය විශේෂයෙන්ම මහා ජලාශ පද්ධතිය පවා පුද්ගලීකරණය කිරීම සඳහා නීති සම්පාදනය කිරීම සහ ටෙලිකොම් ආයතනය වැනි ජාතික ආරක්ෂාවට ප්‍රබල බලපෑමක් ඇති ආයතන පුද්ගලික අංශයට විකුණා දැමීම ආදී ක්‍රියාමාර්ග මගින් රට තුළ බරපතල අනාරක්ෂිත තත්ත්වයක් ඇතිවන බව ඉතා පැහැදිලිය. එම ක්‍රියාමාර්ග මගින් ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න වන බවට සහ මහජන අසහනය වර්ධනය වන බවට අපට නම් සැකයක් නැත. එසේම අප රටේ භූගෝලීය පිහිටීම අනුව අප ජාත්‍යන්තර භූ දේශපාලන උවමනාවන්ගේ ගොදුරක් බවට පත්වෙමින් පවතින බව අප අමතක නොකළ යුතුය.

එක් පැත්තකින් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව අර්ධ යටත් විජිතයක් බවට පත් කර ගැනීම සඳහා යම් උපාය මාර්ගික ප්‍රවේශයකට අනුව කටයුතු කරන බව සහ ඇමරිකාව ද ගිවිසුම් මගින් අපගේ භූමිය ඔවුන්ගේ යුදමය ක්‍රියාන්විතයට අවශ්‍ය සේවා සපයන මධ්‍යස්ථානයක් හෙවත් දාස රාජ්‍යයක් බවට පත් කර ගැනීමට උත්සාහ කරන බවට ප්‍රබල සාක්ෂි ඉදිරිපත් වී ඇත. 2023 ජුලි මාසයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ ඉන්දියානු අගමැතිවරයා විසින් නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය මගින් ආර්ථික ඒකාබද්ධකරණ උපාංග 6 ක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇත. ඒවා මුදල් ඒකාබද්ධකරණය, රේගු එකාබද්ධකරණය, මූල්‍ය සහ බදුප්‍රතිපත්ති ඒකාබද්ධකරණය, බලශක්ති පද්ධතිය ඒකාබද්ධකරණය, වරාය සහ ගුවන් තොටුපළ පද්ධතිය ඒකාබද්ධකරණය සහ භූගෝලීය ඒකාබද්ධකරණ ආදී වශයෙන් වේ. ‘එට්කා’ ගිවිසුම අත්සන් කිරීම එම ක්‍රියාවලියේ කූඨප්‍රාප්තිය බව ද කියැවේ. ඒ අනුව, ඒ සියල්ල සිදුවීමට ඉඩ හැරියහොත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 ප්‍රාන්තය බවට පත්වන බවට සැකයක් නැත. ඒ අතර බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගමන් කිරීම සඳහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන රාජ්‍යයන් දෙක විසින් ම පහසුකම් සැළසීම තුළ 30 වැනි ප්‍රාන්තයද බිහිවීමේ අනතුර බැහැර කළ නොහැක. එම ක්‍රියාවලිය අවසන් විය හැක්කේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පමණක් නොව ථේරවාදී සම්බුද්ධ ශාසනය ද අවසාන වීමෙන් බව ඉතා කණගාටුවෙන් සඳහන් කළ යුතුය.

එම නිසා ගෞරවනීය මහා නායක හිමිවරුන් විසින් 2024.02.15 දින නිකුත් කරන ලද ඓතිහාසික ප්‍රකාශය මහජන නියෝජිතයින් විසින් නැවත කියවිය යුතු බව සහ සියල්ල සිදුවීමට ඉඩ හැර බලා සිටීමේ භූමිකාව වෙනස් කළ යුතු බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. එවැනි හැසිරීමක් මහජනයා ඔබතුමන්ලාගෙන් බලාපොරොත්තු වන්නේ නැත. මහජන මතයට සහ 2019 සහ 2020 මැතිවරණවලදී මහජනයා විසින් ලබා දී ඇති ජනවරම තවදුරටත් වලංගු වන බැවින් ඊට පිටුපාමින් ක්‍රියා කිරීමට හෝ පාලකයින් එසේ ක්‍රියා කරන විට නිහඬව බලා සිටීමට ඔබතුමාලාට කිසිදු අයිතියක් නැත. එසේම ඔබතුමන්ලාගේ වටිනාකම සහ මහජනයා අතර ප්‍රසාදය පවත්වා ගැනීම මගින් ඔබලාගේ අනාගත භූමිකාව ආරක්ෂා කර ගැනීම සඳහා ද වර්තමානයේ ඔබතුමන්ලා විසින් ඉටු කරන භූමිකාව ඉතා වැදගත් වන බව අවධාරණය කරමු.

ඒ අනුව පවතින ජනවරමට අනුව ආණ්ඩුව විසින් දෙවරක් සිතා බැලිය යුතු සහ ක්‍රියාත්මක නොකළ යුතු තීන්දු මෙන්ම කිසිසේත්ම ක්‍රියාත්මක නොකළ යුතු තීන්දු පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයක් මහජන නියෝජිතයින් විසින් ලබා ගත යුතු බව සහ ඊට අනුව ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ධුරයෙන් පහකළ ද අදටත් හිටපු ජනාධිපතිවරයාට ඔහු විසින් ජනවරම පවරා දුන් වර්තමාන ජනාධිපතිවරයා එම ජනතා අභිලාශයට පටහැනිව ක්‍රියාත්මක වන කල්හි ඊට එරෙහිව මැදිහත්වීමේ සදාචාරාත්මක වගකීමක් ඇත.

එසේම තනි පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ කැමැත්ත හෝ සැඟවුණු අරමුණු වලට අනුව ගිවිසුම් ගතවීම වැනි රටේ අනාගත පැවැත්මට අදාල තීන්දු ගැනීමට ඉඩ ලබාදීමේ දුර්වල ප්‍රවේශය නිවැරදි කිරීම ද මහජන නියෝජිතයන් ලෙස ඔබගේ සදාචාරාත්මක වගකීමකි. අත්තනෝමතික හෝ හිතුවක්කාරී තීන්දු ගැනීමේ ක්‍රියාවලිය වෙනස් කර ඉදිරි ජනාධිපතිවරණයේදී නව ජනවරමක් ලබා ගන්නා තෙක් පවතින ජනවරම අනුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන උපාය මාර්ගික තීන්දු තීරණ පිළිබඳ පැහැදිලි සැලසුමක් රටට ඉදිරිපත් කරන ලෙස බලකිරීම ඔබගේ අවම වගකීමකි. එසේ නොවුවහොත් ඔබ පිළිබඳ මහජන විශ්වාසය ආරක්ෂාකර ගැනීම කිසි සේත් අපේක්ෂා නොකළ හැකිවාක් මෙන්ම ඉදිරි මැතිවරණවලදී ජනතා තීරණය කෙරෙහි ද මෙය තීරණාත්මක ලෙස බලපාන සාධකයක් වන බවද අවධාරණය කරම්හ.

මේ වගට,
ත්‍රෛනිකායික අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ගෞරවණීය මහාසංඝරත්නය

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ ණය වැඩසටහනක නියුතුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය සැපයීමට තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත භූමිය අනවසරයෙන් වගා කිරීමට පිරිසක් පියවර ගෙන ඇති අතර ට්‍රැක්ටර ​භාවිතයෙන් ඉඩම් සකස් කර ඇති බවත් පැවසෙයි.
පසුගිය මැයි 06 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කුඩය ලකුණින් තරග කළ ජන අරගල සන්ධානය ආසන 16ක් දිනාගැනීමට සමත් වී තිබේ.
සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.
සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටී ඇති බව පාකිස්තානය ප්‍රකාශ කරන බව ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.
ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ඉන්දීය හමුදා විසින් එල්ලකළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට පාකිස්තානය මෙහෙයුමක් ආරම්භකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
2025 වසරේ පිට පිට දෙවැනි මාසයටත් මෙරට ජාතික තේ අලෙවියේ සාමාන්‍ය පසු බැසීමක් පෙන්නුම් කර ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.