“දූෂණ රාජ්‍යය” නැති කර රටේ ආර්ථිකය ගොඩනගන්න ආ රජය අද “අපරාධ රාජ්‍යයක්” හමුවේ රටම අසමත් කරනවා... පූජිත එදා පොලිස්පති කළේ අනුර කුමාර.. - විමල්
Aug 3, 2026 at 04:42 AM
|
වත්මන් ආණ්ඩුව
බලයට පත්වීමට පෙර ජනතාව හමුවේ තැබූ "දූෂණය නැති කර රටේ ආර්ථිකය ගොඩනගනවා"
යන ප්‍රධාන ආඛ්‍යානය (Narrative) සම්පූර්ණයෙන්ම අතහැර දමා, මේ වන විට "අපරාධ රාජ්යය නැති කිරීම" නමැති ව්‍යාජ ආඛ්‍යානයක් සමාජගත
කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. බත්තරමුල්ල පිහිටි
පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
දූෂණය නැති කිරීමේ ආඛ්‍යානය අත්හැරීම සහ 'අපරාධ රාජ්‍යය' මැවීම
ආණ්ඩුව බලයට පත්වීමට
පෙර විදේශයන්හි ඇති මුදල් නැවත ගෙනවිත් දූෂණය නතර කරන බවට දුන් පොරොන්දු දැන් පැත්තකට
කර ඇති බවත්, ඒ වෙනුවට ‘අපරාධ
රාජ්යය නැති කිරීම’ නමැති මාතෘකාව ඉස්මතු කරමින් යුද්ධයට තීරණාත්මක ලෙස දායක වූ හමුදා,
නාවික හා බුද්ධි අංශ ප්‍රධානීන් මෙන්ම හිටපු
පොලිස්පතිවරුන් දඩයම් කිරීමේ ක්‍රියාවලියක නිරත වන බව වීරවංශ මහතා සඳහන් කළේය. මෙකී
ව්‍යාජ නැරේටිව් එක හරහා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව ඉතා පහත්, බිඳවැටුණු ප්‍රතිරූපයක් සහිත රටක් බවට පත්කිරීමේ
කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවටද ඔහු චෝදනා කළේය.
බන්ධනාගාර අර්බුදය සහ රාජ්‍ය නිලධාරියාගේ අනාගත ඉරණම
මීගමුව සහ මහර
බන්ධනාගාරයන්හි ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වමින් වීරවංශ මහතා
කියා සිටියේ, නියමිත ධාරිතාවට
වඩා දහස් ගණනින් සිරකරුවන් ගොඩගසා "මිනිස් කුණු කඳු" බවට පත්කිරීම නිසා මෙම
ආතතිය හටගන්නා බවයි. මීගමුව බන්ධනාගාර සිදුවීමෙන් පසු, තීරණ ගන්නා නිලධාරීන්ට පසුව නීතිමය ප්‍රශ්නවලට මුහුණ දීමට
සිදුවන පසුබිමක, බන්ධනාගාර නිලධාරීන්
සහ රාජ්‍ය නිලධාරීන් "තීරණ නොගෙන සිටීම" තම රාජකාරිය බවට පත්කරගෙන ඇති බව
ඔහු පෙන්වා දුන්නේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සිරකරුවන් කැරලි ගහද්දී නිලධාරීන්ට බන්ධනාගාරය
අතහැර එළියට පැමිණීමට සිදුවී ඇති අතර, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ලත්තැනම ලොප් වී අසමත් රාජ්යයක් (Failed
State) බවට පත්වෙමින් තිබෙන බවද
ඔහු සඳහන් කළේය.
පොලිස්පතිවරුන්ගේ ඉරනම සහ නීතියේ පරම සමානුපාතිකත්වය
පාස්කු ඉරිදා ත්‍රස්ත
ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු පිරිසට ලැබී ඇති අධිකරණ
තීන්දු පිළිබඳව අදහස් දැක්වූ වීරවංශ මහතා, "වරදේ හැටියට දඬුවම" හෙවත් නීතියේ ඇති ‘පරම සමානුපාතිකත්වය’
පිළිබඳ සංකල්පය මෙහිදී බිඳවැටී ඇති බව ප්‍රකාශ කළේය. යුතුකම සහ වගකීම ඉටු නොකිරීම
(නොකර සිටීම) යන චෝදනාවට හිටපු පොලිස්පතිවරයාට මරණ දඬුවම හිමිවන්නේ නම්, ප්‍රහාරයට සෘජුවම අරමුදල් සපයමින් ආධාර අනුබල
දුන් ඉබ්‍රාහිම් නානා වැනි පුද්ගලයන් ඇප මත නිදහස්ව සිටීම අරුම පුදුම තත්ත්වයක් බව
ඔහු කීය.
මීට අමතරව,
මාලිමාවේ වේදිකාවලට නැගුණු ශානි අබේසේකර සහ රවී
සෙනෙවිරත්න වැනි නිලධාරීන්ට "ෆුල් ඔප්ෂන් රක්ෂණාවරණයක්" ලැබී ඇති බැවින්
ඔවුන්ගේ නම් චෝදනා පත්‍රවලින් ඉවත් කර ඇති බවත්, මාලිමාවට සහාය නොදැක්වූ පූජිත ජයසුන්දර වැනි නිලධාරීන් පළිගැනීම්වලට
ලක්වන බවත් ඔහු චෝදනා කළේය.
අතුරුදහන් වූවන්ගේ කාර්යාලය සහ චෙම්මණි මිනීවල
උතුරේ චෙම්මණි
සමූහ මිනීවල හෑරීමට අතුරුදහන් වූවන්ගේ කාර්යාලය (OMP) හරහා ආණ්ඩුව කටයුතු කරන්නේද අර කී "අපරාධ රාජ්‍යය"
නමැති නැරේටිව් එක ජාත්‍යන්තරයට සනාථ කර පෙන්වීමට බව හිටපු අමාත්‍යවරයා පැවසීය. මෙරට
බහුතරයක් වන සිංහල ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන මෙම කාර්යාලය, කොටි ත්‍රස්තවාදීන් විසින් පොලිස් නිලධාරීන්
දහස් ගණනක් අමු අමුවේ මරා දැමූ ස්ථාන හෝ සිංහල ගම්මාන කපා කොටා ඝාතනය කළ ස්ථාන හෑරීමට
කටයුතු නොකර, එක්තරා බටහිර හෝ
බෙදුම්වාදී න්‍යාය පත්‍රයකට අවශ්‍ය ටික පමණක් ලෝකයට පෙන්වීමට කටයුතු කරන බවට ඔහු දැඩි
ලෙස චෝදනා කළේය.
නීතිපති දෙපාර්තමේන්තුව සහ විශ්‍රාම වයස දීර්ඝ කිරීම
ආණ්ඩුව තමන්ට අවශ්‍ය
පරිදි නීතිපති දෙපාර්තමේන්තුව බියගන්වා යටත් කරගෙන වැඩ කරන බවත්, වත්මන් නීතිපතිවරයාගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට
සැරසෙන්නේ "සූරසේන රීලෝඩ් කිරීමේ" තනි පුද්ගල අරමුණකින් බවත් වීරවංශ මහතා
සඳහන් කළේය. පසුගිය ආණ්ඩුවලට පී.බී. ජයසුන්දර නැතිවම බැරි වූවා සේම වත්මන් ජනාධිපතිවරයා
ද නීතිය පවත්වාගෙන යාමට සූරසේනම සිටිය යුතු බව සිතන බවත්, මෙය ශිෂ්ට සම්පන්න දේශපාලන සංස්කෘතියකට එකඟ නැති
කැත ක්‍රියාවක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මාධ්‍ය සාකච්ඡාවෙන්
අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වීරවංශ මහතා කියා සිටියේ,
ආණ්ඩුව විසින් ගොඩනගමින් පවතින මෙම අතිශෝක්තියට
නංවන ලද “ව්‍යාජ ආඛ්‍යානය” පිටුපස ඇති නියම උවමනාව කාගේද යන්න පිළිබඳව රටේ සබුද්ධික
ජනතාව ඉතා තියුණු ලෙස විමසිලිමත් විය යුතු බවයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (02) බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව සහ ඉන් අනතුරුව පැවති ප්‍රශ්නෝත්තර වටය
"සුභ උදෑසනක් මාධ්‍යවේදී
සියලුදෙනාටම. අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න අදහස් කළේ, ඔබ කවුරුත් දන්නවා ආණ්ඩුව
බලයට පත්වෙන්න කලින් ගොඩනගපු “නැරේටිව් එක”, එහෙම නැත්නම් ආඛ්‍යානය, එහෙම නැත්නම් කතාව
තමයි. මේ රටේ දූෂණය තියෙනවා. දූෂණය නැති කරපු ගමන් මේ රටේ ආර්ථිකය ගොඩ යනවා කියන එක.
ඒගොල්ලෝ ඇවිල්ලා දූෂණය නතර කරලා දූෂිතයෝන්ගේ තියෙන සල්ලි අරගෙන නැවත ආර්ථිකය ගොඩ දානවා
කියන එක. ඒ නැරේටිව් එක, ඒ කතාව ඒ ආඛ්‍යානය විශ්වාස කරලා තමයි මේ රටේ ජනතාව අනුර කුමාර
දිසානායක ජනාධිපතිවරයා බවට පත් කරගන්න ඡන්දය පල කළේ.
නමුත් දැන් බලය
ගත්තට පස්සේ ඒ ආඛ්‍යානය පැත්තකට දාලා.... අර කොහෙද මම දන්නේ නැහැ, රටවල්වල තියෙන සල්ලිත්
අරන් එනවයි කියලා කියපු කතා පැත්තකට කරලා දාලා දැන් ගොඩනගල තියෙන ආඛ්‍යානය, එහෙම නැත්නම්
නැරේටිව් එක තමයි, “අපරාධ රාජ්යය නැති කිරීම” කියන එක. මේ අපරාධ රාජ්යය නැති කිරීම
කියන එක ඇතුලේ කතා ගොඩක් තියෙනවා. ඒ අපරාධ රාජ්යය නැති කිරීම සඳහායි කියමින් ඔවුන්
ආරක්ෂක හමුදා ප්‍රධානීන් අත්තඩංගුවට ගන්නවා, ඔවුන් පස්සේ පන්නනවා. යුද්ධයට තීරණාත්මකව
දායකත්වයේ දීපු රවිරුවන් ඉලක්ක කොටගෙන දඩයම් කරනවා."යුධ හමුදාවේ, නාවික හමුදාවේ, බුද්ධිඅංශ ඒ ආදී වශයෙන්. ඒ අපරාධ රාජ්යය නැති කිරීම සඳහා
යයි කියමින්.
අනෙත් අතට අරුම
පුදුම විදිහට හිටපු පොලිස්පතිවරු, හිටපු තවත් ඒ විදියේ නිලධාරීන් එක එක ආකාරයේ චෝදනාවන්
වලට ලක්කොට අරුම පුදුම දඩයමකට ලක් කෙරෙමින් තියෙනවා. ඒ අතරේ මේ කෙටි කාලය තුළ සිරගෙවල්වල
බරපතල අපරාධ, එහෙම නැත්නම් කැරලි ඇතිවෙන්න පටන් අරන් තියෙනවා. ඒවා වළක්වාගන්න,
පුරෝගාමී පියවර ගන්න, පූර්ව පියවර ගන්න බලධාරීන් අසමත් වෙලා තියෙනවා.
ඒකත් තවදුරටත් අර අපරාධ රාජ්‍යයම වර්ණ ගන්නවන සංසිද්ධි බවට පත්වෙලා තියෙනවා. ඒ අතරතුර
“චෙම්මණී මිනීවලා” හාරනවා. කතෝලික පූජකතුමන්ලා ඒ වෙනුවෙන් යුක්තිය ඉල්ලලා පෙළපාලි යනවා.
ඒවත් ජාත්යන්තර භයෙන් වර්ණ ගන්නවන්නේ මේ අපරාධ රාජ්යය පිළිබඳ පුවත. එහෙම නැත්නම් ඒ
ආඛයානය. එහෙම නැත්නම් ඒ
නැරයටිව් එකත
මොකක්ද මේ ගොඩනගන ආඛ්‍යානය. මේ කතාව මේ නැරේටිව්
එක. මොකක්ද දැන් ඒක ඇතුලේ තියන කතාව. එහිදී අපි මුලින්ම බලමු මහර සිරකරුවන්ගේ ආසන්න
වශයෙන් ඇතිවී තිබෙන තත්ත්වය. මීගමුවේ බන්ධනාගාරය තුළ ඇතිවෙච්ච කැරලිකාරීත්වය පාලනය
කරගන්න කොහෙත්ම අසමත් වෙච්ච ආණ්ඩුව අන්තිමට මුළු ලෝකෙටම පෙනෙන විදිහට “හිලකින් ඇතුලට
වැඩි මට්ටමට” ඒ නිලධාරීන්ව පත් කරාට පස්සෙවත් යමක් ඉගෙනගත්තු බවක් පේන්න කොහෙවත් නෑ.
මේ සිර ගෙවල්වල ගොඩනැගෙන ආතතිය බලන්න. 350ක් 400ක් දාන්න පුළුවන්
තැනක 3000ක් 4000ක් දාලා, ගොඩගහලා, මිනිස්සු “මිනිස් රොඩු” බවට
පත් කරලා. මිනිස්සු කුණු කඳු ගානට පත් කරලා. මිනිස් කුණු කඳු ගානට පත් කරලා මේ තැන්වල
ගොඩගහනවා. හරියට අර අපද්‍රව්‍ය එකතු කරලා කොහේහරි කන්දකට එකතු කරනවා වගේ.
එතකොට මේක පිපිරෙනවා.
මේ ආතතිය හැමවෙලේම සමනය වෙලා තියෙන්නේ නෑ. දැන් වෙලා තියෙන්නේම මීගමුව බන්ධනාගාර සිද්ධියෙන්
ඉගෙනගත්තු උගත් පාඩම් අනුව මහර බන්ධනාගාර සිද්ධියේදී බන්ධනාගාර නිලධාරීන් සිරකරුවන්ට
කැමති දේ කරගන්න දීලා ඔවුන් පසුබහිනවා. ඇයි?... තීරණ ගත්තු කෙනාට විරුද්ධව ඊට පස්සේ ප්‍රශ්න එනවා. තීරණ නොගෙන
සිටීම රාජකාරිය බවට පත්වෙලා තියෙනවා."එතන්ට අද මේ රටේ රාජ්ය සේවය පත් කරලා තියෙනවා.
බන්ධනාගාර නිලධාරීව පත් කරලා තියෙනවා.
තීරණ ගත්තොත් පස්සේ
පරිප්පුව එනවා. ඒ තීරණ ගැන සලකා බලන්නේ තියෙන පාරිසරික තත්ත්වයට අනුව නෙවෙයි. වියුක්ත
අනපනත්වල තියෙනවා වගන්තිය අනුව. වියුක්ත පාඨ අනුව. ඒ නිසා දැන් නිලධාරීන් තීරණ ගන්නේ
නැහැ. ඔවුන් කරන්නේ සිරකරුවන් අතර යම්කිසි නොසනසුන්කාරී තත්ත්වයක් ඇතිවෙච්ච ගමන් ඒගොල්ලොන්ට
බන්ධනාගාරය ඇතුල භාර දීලා ඒ නිලධාරීන්ට එළියට එන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට ඔවුන්ට
වරද පටවන්න බැහැ. ඒක තමයි දැන් මේ ආණ්ඩුව මේ රටේ රාජ්‍ය සේවයට කරලා තියෙන්නේ.
ඉතින් අද ඒ නිසා
එක පැත්තකින් අද අපිට තියෙන තොරතුරු අනුව ආණ්ඩුව මේ දක්වා කියලා තියෙන සංඛ්යා ලේඛනවලට
වඩා වැඩියි ඇතුළේ වෙලා තියෙන විනාශයේ ප්‍රමාණය. තවමත් ඔය සන්සුන් යයි කිව්වට මේ කතා
කරන මොහොත වෙනකොටත් නිශ්චිත සන්සුන් බවක් ඇතිවෙලා නැහැ. මේ ප්‍රශ්නය බන්ධනාගාර ඇමති
දැන් සමාජ මාධ්‍යයෙන් බලනවා ඇති. අධිකරණ ඇමති මේකේ කීයද ගාන කියලා හොයාගන්න බැරුව.
රටක අධිකරණ ඇමතියෙක් ඒ තත්ත්වයට පත්වෙලා නම් එතනින් පල්ලෙහට වෙන්නේ මොනවද කියලා අපිට
හිතාගන්න පුළුවන්නේ. අද මේක අයාලේ යන රටක්. අයාලේ යන රටක්.”
නොමේරු ලදරු ඒකකයකට
රටේ පාලනය භාර දීලා, කිසිවක් පාලනය කරගන්නට අසමත් බව දිනපතා ප්‍රදර්ශනය කරමින් ඉන්න
රටක්. දැන් බලන්න ඔය මේකටම අදාලව ගත්තොත් පොලිස්පති පූජිත ජයසුන්දර. හිටපු පොලිස්පති
පූජිත ජය සුන්දරට ලැබිච්ච තීන්දුව ගමු. දැන් අපි දන්නවා ඔය පාස්කු ඉරිදා ප්‍රහාරය ගත්තොත්,
ඒකසිද්ධ කළේ ඉස්ලාම් අන්තවාදීන්. කවුරුවත් සිංහල හෝ දෙමල හෝ කවුරුවත් මේකට සම්බන්ධයක්
නෑහැ. දැන් හැබැයි ඒකට වගකිව යුතුයි කියලා මරණ දඩුවම හම්බ වෙච්ච ඉස්ලාම් අන්තවාදියෙක්
නැහැ. මේ දක්වා. ඒකට වගකිව යුතුයි කියලා මරණ දඩුවම හම්බවෙලා තියෙන්නේ පූජිත ජයසුන්දරටයි
හිටපු ආරක්ෂක ලේකම්ටයි. ඔවුන්ට තියෙන්නේ තොරතුරු ලැබිලත් නිසි ක්‍රියා මාර්ග නොගැනීම
විසින් ඒකට අනුබල දීම කියන චෝදනාවක්. ඒ කියන්නේ නොකර සිටීම. කළ යුතු දේ නොකර සිටීම.
ඒකයි ඒගොල්ලොට තියෙන චෝදනාව.
නොකර සිටීම මගින්
වෙන්න ඉඩහැරීම. ඒකයි ඒගොල්ලන්ට තියෙන චෝදනාව. හැබැයි දැන් නොකර සිටපු අයට දෙනවා නම්
මරණ දඩුවම, නොකර සිටීමට දෙනවා නම් මරණ දඩුවම, පාස්කු ප්‍රහාරය කිරීමට දෙන්නේ ඊළඟට මොකක්ද?
දැන් මේ ප්‍රවෘත්තිය බලාගෙන ඇති දෙමටගොඩ ගෙදරට වෙලා මොහොමඩ් යූසුෆ් ඊබ්රහීම් හෙවත්
ඊබ්රහීම් නානා."
"ඊබ්රහීම් නානා
තමයි එයාගේ පුත්තු දෙන්නෙක්ම මේ වැඩට යෙදෙව්වේ. දැනුවත්ව... ඒ ගෙදර මෙහෙකාර සේවයේ යෙදිච්ච
කාන්තාව සාක්ෂිය දුන්නා සී. අයි. ඩී එකට. ඊට පස්සේ ඒ කාන්තාවට උසාවී එන්න නොලැබෙන විදිහට
විදේශගත කළා. එතකොට ඒ කාන්තාව කියනවා තාත්තලා පුතාලා කතා කරා මේ ගැන කියලා. ඊබ්රහම්
නානා තමයි සල්ලි වියදන් කළේ. ඊබ්රහීම් නාණගේ කර්මාන්ත ශාලා වලින් තමයි අවිආයුධ නිපදවන්න
ඕන කරන අමුද්‍රව්‍ය දුන්නේ. දැන් ඒ ඉබ්රහින් නානා “ෂැපට ෂැපේ” ඉන්නවා ඇප අරගෙන එළියේ.
එයා බලාගෙන ඉන්නවා පූජිත ජයසුන්දර මරණ දනුවම ලැබිලා හිරේ යනවා බලන් ඉන්නවා. කකුල් දෙක
වනවන.
ඊළඟට මේකේ න්‍යායාචාරය
හිටියනේ නවුෆර් මවුලවි. එයා තමයි ඔය අයිඑස් අයිඑස් අන්තවාදී මතවාදය ගෙනල්ලා මේ පොළොවේ
පැල කරන්න ප්‍රධාන න්‍යායාචාර්ය විදිහට වැඩ කළේ. ජාත්යන්තර අරමුදල් කළමනාකරණය කරගන්නත්
මැදිහත් වුණේ. ඒ න්‍යායාචාර්ය මව්ෆර් මවුලවී ඉන්න තැනකට වෙලා මේක දිහා බලාගෙන මොනවා
හිතන ඇද්ද?
නීතියේ තියෙනවා
අ එක්තරා සංකල්පයක් “පරම සමානුපාතිකත්වය” කියලා. ඒ කියන්නේ වරදේ හැටියට දඬුවම. දඬුවමක්
කළ වරද හා සමානුපාතිත්වය තියෙන්න ඕන. ඒ කියන්නේ වරදට සරිලන දඩුවමක් වෙන්න ඕන."
"දැන් මෙතන වගකීම
ඉෂ්ට නොකිරීම විසින් ඒකට අනුබල දුන්නාය කියන කෙනාට මරණ දඬුවම දුන්නම සෘජුවම “චේතනාන්විතවම
අපරාධය කරපු එකාට” දෙන දනුවම මොකක්ද? ඊට වඩා දෙයක් එයාට දෙන්න විදියහක් නැහැ. එතකොට මේ අර වරදේ හැටියට දඬුවම කියන
මූල ධර්මය මෙතන රැකෙනවද? දැන් මෙහෙම තීන්දු
දුන්නම මේ රටේ පොලීසිය අවධානමක් අරගෙන තීරණ ගනීද?
දැන් බන්ධනාගාර
නිලධාරෙන් වුනත් මේ තීරණ දිහා බලලා ආරක්ෂණවාදී මනසකට තල්ලු වෙන්නේ නැද්ද? තීරණ නොගෙන සිටීම තීරණය බවට ඔවුන් පත් කරගන්නේ
නැද්ද? දෙන දෙයක් කාලා වෙන දෙයක්
බලාගෙන ඉන්න තත්ත්වයට රාජ්‍ය සේවය පත් කිරීම මේකෙන් වෙන්නේ නැද්ද?
පොලීසිය එතනට වැටෙන්නේ
නැද්ද? බන්ධනාගාර නිලධාරීන් එතනට
වැටිලා නැද්ද? මේ තියෙන්නේ ඒක
තමයි ප්‍රතිඵලය. මහර බන්ධනාගාර සිද්ධියෙන් පේන්නේ අන්න එතනට මේ රටේ වැටිලා. අකර්මණ්‍ය
වෙලා රාජ්‍ය යාන්ත්‍රණය. රාජ්‍ය යාන්ත්‍රණයම ලත්තැනම ලොප් වෙලා. ඒක දැන් සක්‍රිය නැහැ.
හිරකාරයෝ කැරලි ගහනකොට අතහැරලා බන්ධනාගාර නිලධාරීන් තම රක්ෂාව අත ඇරලා ආරක්ෂාව සඳහා
එළියට එන තත්ත්වයකට රාජ්‍ය යාන්ත්‍රණය බිද වැටිලා. දැන් මේ අපරාධ රාජ්යය නැති කරලා
හදන්න යන්නේ මොන රාජ්‍යයක්ද? අසමත් රාජ්යයක්."
"ඒගොල්ලෝ කියන ඊනියා
අපරාධ රාජ්යය නැති කරනවා කියලා කරමින් ඉන්නේ තියෙන රාජ්‍යයත් අසමත් රාජ්යයක් බවට පරිවර්තනය
කරන එක. බලන්න දැන් අපරාධ රාජ්‍යය කියන නැරේටිව් එකේ එක පැත්තකින් රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම
අකර්මන්‍ය කරනවා.”
දැන් සමහර විට
කට්ටියක් මේවායින් චූන් වෙනවා මේ වගේ නඩුතීන්දු දුන්නාම. අර සූරසේන... මොකක්ද මේ “සූරසේන
ගුලිය” කවන්න මේක හොඳම අවස්ථාවක් කියලා හිතනවා. අන්න බලන්න... සූරසේන ගුලිය කෑව
නිසා තමයි මෙහෙම නඩු තීන්දු හම්බවෙන්නේ කියලා, පෙන්නන්න හදනවා. ඒ නිසා සූර සේන තවදුරටත්
ඉන්න ඕනේ කියලා. එහෙම හිතන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලොන්ට තේරෙන්නේ නෑ මේ කරන ක්‍රියාවලියෙන්
සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයටම සිද්ධ වෙන අගතිය සහ හානිකර බලපෑම කුමක්ද කියලා.
අනිත් එක තමයි
“චෙම්මණී මිනීවල” දැන් මේ අපරාධ රාජ්‍යය ලෝකෙට නිරාවරණය කරන එකනෙ මේ කරන්නේ. දැන් පොලීසියේ
“සියදහස් ගානක්” එක තැනක තියලා ලේ ටික අරගෙන, පණපිටින් ඉන්දැද්දී ලේ ටික අරගෙන පස්සේ
වෙඩි තියලා මරලා වැලළුවා. ඒ සමූහ මිනී වලවල් හාරන්න “අතුරුදහන් වූවන්ගේ කාර්යාලවලට
ඉඩක් නෑ. ලංකාවේ බදුගෙවන ජනතාවගෙන් වැඩි හරිය සිංහල මිනිස්සු. ඒ ඒ ගෙවන ජනතාවගේ සල්ලිවලින්
තමයි අතුරුදහන් වූවන්ගේ කාර්යාලය නඩත්තු කරන්නේ."
"ඒ කාර්යාලයට මේ
ආණ්ඩුව ආවට පස්සේ දාපු කට්ටිය තමයි දඩබඩ ගාලා චෙම්මණි මිනීවල හාරන්න සහ ඒ ඔක්කොටම ක්‍රියාත්මක
වෙලා තියෙන්නේ. ඒ හාරලා ලෝකෙට පෙන්නනවා මේ රටේ අපරාධම රාජ්‍යයක් තිබුණා. හමුදාව අපරාධ
කරලා තියෙනවා. සමූහ වශයෙන් මේ සිවිල් පුරවෙසියන් මරා දාලා තියෙනවා. මෙන්න මිනීවල මෙන්න
සාක්ෂිය. අන්න අර “අපරාධ රාජ්‍යය” කියන නැරේටිව් එක තවදුරට සනාත කිරීම සඳහා අපේ බදුමුදල්ම
යොදුවලා අපේ සල්ලි වලින්ම අපේ බදුමුදල් වලින්ම පඩි අරගෙන තෙල් ගහගෙන අපේම රාජ්‍ය නිලධාරීන්
ගිහිල්ලා අරව සුද්ධ පවිත්‍ර කරලා පෙන්නලා දෙනවා ලෝකෙට මෙන්න වෙලා තියෙන දේ කියලා.
හැබැයි පොලීසියේ
දහස් ගානක් වෙඩි තියලා මරලා වල්ලපු තැන හාරන්න යන්නේ නෑ. තර්ජිත ගම්මානවලා අම්මා තාත්තලා
දුවා දරුවෝ බඩ දරුවෝ අම්මලා කපලා කොටලා මරලා එක තැන වළලපු තැන් බලන්න යන්නේ නෑ. හාරන්න
යන්නේ නෑ. මේ අතුරුදහන් වූවන් කියලා කරන්නේ එක්තරා න්‍යාය පත්‍රයකට ඕන කරන ටික විතරක්
ලෝකෙට නිරාවරණය කරනවා. ඒකෙන් පෙන්නන්නේ මානව අපරාධ යුධ අපරාධ සිදුවී තිබෙනවා උතුර හා
නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන ජනයාට. මෙහෙම පෙන්නනවා මුළු රාජ්‍යයම අපරාධ රාජ්‍යයක්.
“හිටපු පොලිස්පතිලා
වෙඩි වැදිලා මැරෙනවා. හිටපු පොලිස්පතිලා ජීවිතන්තය දක්වා හිරගෙට යනවා. හිටපු නාවික
හමුදාපතිට චෝදනා ඇවිල්ලා හිරේ දානවා. හිටපු බුද්ධියංශ ප්‍රධානියටත් චෝදනා ඇවිල්ලා හිරේ
දානවා. හිටපු රාජ්‍ය නිලධාරීන්ට චෝදනා ඇවිල්ලා හිරේ දානවා. මේ විදිහට මේ අපරාධ රාජ්‍යය
අවසන් කිරීම කියන නැරේටිව් එකට මුවා වෙලා ජාත්යන්තරව මේ රට අද ඉතාම පහත්, බිද බැටුණු
ප්‍රතිරූපයක් සහිත රාජ්‍යයක් බවට පරිවර්තනය කරමින් ඉන්නවා.
මහර රැඳවුම් කඳවුරේ
බන්ධනාගාර සිද්ධියෙන් මනාව පේන්නේ මේ නැරේටිව් එක කරේ තියාගෙන යාම විසින් රාජ්‍යයට
සිදුවෙමින් පවතින ඉරණම. තීරණ නොගන්නා රාජ්‍ය සේවයක උරුමය තමයි අද අනුර කුමාරට කරගහගන්න
සිද්ධ වෙලා තියෙන්නේ. මේ ව්‍යාජ ආඛ්‍යානය නැරේටිව් එක අපරාධ රාජ්යය නැමති අතිශෝක්තියට
නංවන ලද නැරේටිව්ව එක සනාත කිරීම සඳහා ගනු ලබන අමන සහ තකතීරු පියවරයන් විසින්. ඒක විසින්
අද රාජ්‍යය අපරාධ රාජ්‍යයක් නැති කිරීම නෙවෙයි වෙන්නේ. තිබෙන රාජ්‍යයත් අහිමි වෙලා
අසමත් රාජ්යයක් බවට මේ රාජ්‍යය පත් කරන එක. ඒ නිසා මේ මේක පිටුපස තියෙන උවමනාව කාගේ
උවමනාවක්ද කියන එක ගැන ඉතාම තියුණු ලෙස විමසා බැලීම මේ රටේ පොදු ජනතාවගේ සබුද්ධික ජන
කොටස් වල වගකීමක් බව අපි විශ්වාස කරනවා."
මේ කරුණු ටික තමයි
මට ඉදිරිපත් කරන්න අවශ්‍ය. ඔබට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්."
මාධ්‍යවේදීන් සහ විමල් වීරවංශ මහතා අතර පැවති ප්‍රශ්නෝත්තර වටය.
මාධ්‍යවේදියා: "දැන් ඔබතුමා කිව්වේ... මේ පූජිත ජයසුන්දර ගැන
තීන්දුවනේ... එක අධිකරණ තීදුවක් නේද..?
විමල් වීරවංශ මහතා:
"ඔව් අධිකරණ තීන්දුවක් ගැන අපිට ප්‍රශ්න කරන්න බැරි කමක් නැහැ.
දැන් පහල උසාවියක දීපු තීන්දුව පිළිගන්නේ නැත්නම් ඉහළ උසාවියට යන්න පුළුවන් කියන්නේ
අර තීන්දුව අපි පිළිගන්නේ නෑහැ කියන එකනේ. එහෙමයි කියා මම මෙතන... මම කියන්නේ නැහැ
ඔවුන් වරදක් කරලා නැහැ කියලා. නමුත් වරදේ ප්‍රමාණයට ඕන දඬුවම. දැන් මම ඒකයි අහන්නේ.
වගකීම ඉටු නොකර සිටීමට මරණ දනුවම නම්, වරද කරපු කෙනාට මොකක්ද දෙන දඬුවම. ඊට වඩා උඩ
එකක් තියෙනවද?"
මාධ්‍යවේදියා: "දැන් මේකෙ වරද කිරීමට කියන කොටසට අයිති පුද්ගලයෝ
කවුරුවත් නෑහැ නේද...?
විමල් වීරවංශ මහතා:
"ඇයි ඇයි මම අර කියපු නම්.... ඒ ගොල්ලා බබාලනේ. කවුද ඉල්හාම්
අහමඩ් ඊබ්රහීම්. එයාගේ.... යූසුප් ඊබ්රහීම් තාත්තා. ඉල්හාම් අහමට් ඊබ්රහීම් පුතා. ඉන්ශාෆ්
අහමඩ් ඊබ්රහීම් ඊළඟ පුතා. තාත්තලා පුතාලා දැනුවත්ව මේ ක්රීඩාවේ යෙදුනේ. තාත්තා දැනුවත්ව
තමයි පුත්තු දෙන්නා ගෙදරින් එළියට ගියේ මරාගෙන මැරන ඇඳුම් කට්ටල ඇඳ පැනඳගෙන. පොලිසිය
පස්සේ ගෙදරට යනකොට ලේලිත් මරාගෙන මැරුණා. මේ තාත්තා බබාද? ලේලිත් බඩේ බෝම්බයක් බැඳගෙන ඉන්නවා කියලා දන්නේ
නැද්ද? එතකොට එහෙම තාත්තා ඉන්නවා
ඇප හම්බවෙලා ගෙදර. නොකිරීමේ වරදට හිටපු පොලිස්පතිලා මරණ දඬුවම් විදිනවා. මෙතන අපබ්බ්‍රංශ
ගතියක් නැද්ද?
මාධ්‍යවේදියා: දැන් ඊට ඔබ කියන
අයුරින් තව පෝලිමක් නඩු ඇහෙනවා නේද? තැන් තැන්වලට වෙන වෙන අධිකරණ හයක් හතක් තියෙනවානේද?"
විමල් වීරවංශ
මහතා: "මොන නඩුද"
මාධ්‍යවේදියා:
"ඔය ත්‍රස්ත ප්රහාරයට සම්බන්ධ
නඩු"
විමල් වීරවංශ මහතා:
"ඔව්ද... ඒවා ඉතින් ඉබිගමනින්... මේවා
ශීඝ්රඝාමී. මේවා හාවාගේ වේගයෙන් අරවා ඉබ්බාගේ වේගයෙන්."
මාධ්‍යවේදියා: "දැන් ඔබතුමාල පහුගිය කාලේ මේ මේ දේශපාල පක්ෂ......"
විමල් වීරවංශ මහතා: "ඉතින් නීතිපතිනේ දැන් ඔය ඔය පැමිණිලි නැවත කරන්නේ ඇයි ශානිගේ
නම දැම්මේ නැත්තේ? ඇයි රවීගේ නම දැම්මේ
නැත්තේ? මේ අගවිනිසුරුවරයා ආවට
පස්සේ නීතිපති තමයි නැවත ඔය නඩුව පැමිණිලි ඉදිරිපත් කරන්නේ. ඒකට අර දෙන්නගේ විතරක්
නම් දෙක දැම්මේ ඇයි. එතකොට ශානි නොකර සිටීමට අයිති නැද්ද? රවී ලියුම බලන්නෙත් නැතුව රටින් ගිය මිනිහා අයිති
නැද්ද? ලියුම කඩන්න එපා කියලා
රටගිය මිනිහා අයිති නැද්ද? ඒවට මොකද වෙන්නේ?
එතකොට මේ නීතිය කාටත් එකහා සමානද? මේවා මේවා ප්රශ්න කරන්න ඕන දේවල් නෙමෙයිද?
ඒවා ප්රශ්න නොකර හිටියොත් තමන් ගාවට අවනඩුව එනකන්
බලන් ඉන්න තමයි ඕන කෙනෙකුට සිද්ධ වෙන්නේ."
මාධ්‍යවේදියා: "ඒ අයට චෝදනා ගොන්වෙලා නැහැනේ....?"
විමල් වීරවංශ මහතා: "නැ..... කාටද..?"
මාධ්‍යවේදියා: රවීලට ශානිලට...
විමල් වීරවංශ මහතා:
"ඔව් ඒගොල්ලෝ..... ඒගොල්ලෝ ඉන්නවා සැපට සැපේ. ඒගොල්ලෝ ඒගොල්ලෝ
වාසනාවන්තයි. මාලිමාවේ වේදිකාවට නැගලා ඒ ඡන්ද ව්යාපාරයට දායක වුණා. ඒ නිසා ඒගොල්ලොන්ට
ඒගොල්ලොන්ට “ෆුල් ඔප්ෂන් රක්ෂණාවරණයක්” තියෙනවා. මාලිමාවේ මැතිවරණ වේදිකාවට නැගලා දේශපාලනය
කරපු හින්දා රවීට සහ ශානීට ෆුල් ඔප්ෂන් රක්ෂණයක් තියෙනවා. ඒ නිසා ඒගොල්ලොන්ගේ නම් අර
චෝදනා දාන නඩු පැවරීම් වලට යන්නේ නැහැ. ඒක තමයි නීතිය කාටත් එක හා සමානව ක්‍රියාවට
නම්වනවා කියලා ජනාධිපතිවරයා පාරම් බාන්නේ...
මාධ්‍යවේදියා:
තව එකක්, පූජිත ජයසුන්දර මහත්තයාව පොලිස්පති කරගත්තේ අනුර කුමාරලා
කියලා චෝදනාවක් තියෙනවා...
විමල් වීරවංශ
මහතා: රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වෙලාවේ ඇයි
මේගොල්ලෝ හිටියානේ? අන්න අර දූෂණ මර්ධන
කමිටුවේ... උඩම කමිටුවේ හිටියානේ. ඒ දූෂණ මර්ධනය කරන්න "අපිට මේ පොලිස්පති ඕනා"
කියලා දාගත්තේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඔය මග තොටදී හම්බවුනොත් අහන්න, පූජිත ජයසුන්දරව පොලිස්පති කළේ අනුර කුමාරගේ
ඉල්ලීම පරිදිද කියලා.
මට පූජිත ජයසුන්දර
එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මාව මාස තුනක් කිසිම හේතුවක් නැතුව අර බොරු පාස්පෝට් පටලැවිල්ලකට
දාලා අපවාදයට ලක් කළේ ඔය පොලිස්පති පූජිත ජයසුන්දර ඉන්න කාලේ. මම නිදොස් කොට නිදහස්
වුණා ඒ නඩුවෙන්. හරිද? ඒවා නෙමෙයි,
අපි මේ පුද්ගලික ප්‍රශ්න නෙවෙයි කියන්නේ. මොකක්
වුණත් තියෙන්න ඕන සාධාරණයක්.
එතකොට තමන්ම දැන්
ඔය ඔබට මතක ඇති, එකපාරක් මැයි දින
රැලියට පූජිත ජයසුන්දර මහත්තයා පොලිස්පති වෙච්ච ගමන් ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින
රැලිය තියෙන තැනට ගිහිල්ලා ආරක්ෂක කටයුතු හොයා බැලුවා. පොලිස්පති කෙනෙක් සාමාන්‍යයෙන්
ජනාධිපති යන මැයි දින රැලියට නම් ගිහිල්ලා බලපු අවස්ථා ඇති, මේ වෙන පක්ෂයක රැලියකට යන්නේ නැහැ. ඒ තරම් බැඳීමක්
තිබ්බා මේ ගොල්ලොත් එක්ක. හැබැයි එයාට එකක් වැරදුනා.
මාධ්‍යවේදියා:
මොකක්ද?
විමල් වීරවංශ
මහතා: අර මාලිමාවේ මැතිවරණ වේදිකාවට ගිහිල්ලා නැගලා අර “ෆුල් ඔප්ෂන්” රක්ෂණ ආවරණය ගන්න
බැරි වුණා. නැත්නම් එයාගේ නමත් ගැලවෙනවා.
මාධ්‍යවේදියා:
ඒ කියන්නේ ගියා නම් එහෙම වෙන්නේ නැහැ කියලද?
විමල් වීරවංශ
මහතා: ඔව්, ගියා නම් අර රක්ෂණ
ආවරණය ලැබෙනවා. ඒ කියන්නේ රවීලටට තියෙන, කවුද මේ ශානි අබේසේකරට තියෙන රක්ෂණ ආවරණය මේ පූජිත ජයසුන්දරට
ලැබුණේ නැහැ. ලබාගන්න ඔහුට බැරි වුණා.
මාධ්‍යවේදියා:
දැන් අර ඔබතුමන්ලා පහුගිය දවස්වල සාකච්ඡා හයක් පැවැත්තුවනේ සියලු දේශපාලන පක්ෂ නායකයෝ
එකතු වෙලා විපක්ෂයේ ඉන්න. හැබැයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ඕකට සහභාගී
වෙන්න ටිකක් පස්ස ගහනවා වගේ ගතියක් පේන්නේ නැද්ද දේශපාලන වටපිටාව ගැන පොඩ්ඩක් බලන කෙනෙක්ට?
"නෑ, මට යන්න බැරි වුණා, මම හාමුදුරුවන්ගේ උත්සවයකට ගියා" කියන එක
අවස්ථාවක් ගැන මාධ්‍යයෙන් දැක්කා. ඔබතුමන්ලා එකට එකතු වෙනවා, හැබැයි මෛත්‍රීපාල මහත්තයා ඔබතුමන්ලාගේ පැත්තට
එන්න බයයි වගේ පේනවා.
විමල්
වීරවංශ මහතා: එතුමා දැන් සක්‍රිය දේශපාලනයේ නැහැ නේද? ඉතින් එහෙම නැති කෙනෙක් ආවත් එකයි, නාවත් එකයි වගේ තත්ත්වයක් තියෙන්නේ.
මාධ්‍යවේදියා:
දැන් එතුමා නොඑන්නේ වෙනත් මොකක් හරි හේතුවක් නිසාද?
විමල් වීරවංශ
මහතා: නෑ, මට නම් ඒක අදාල නැහැ. එතුමා
ආවත් මට අදාල නැහැ, නාවත් අදාල නැහැ.
එතුමා ආවයි කියලා අමුතුවෙන් දෙයක් වැඩි වෙන්නෙත් නැහැ, නාවයි කියලා අමුතුවෙන් දෙයක් අඩු වෙන්නෙත් නැහැ.
මාධ්‍යවේදියා: දැන් ඔබතුමා කියන විදිහට ඔබතුමන්ලාගේ ආණ්ඩුවක් ඉදිරියේදී
පත් වුණොත්, ඔබතුමන්ලාගේ ජනාධිපති
කෙනෙක් පත් වුණොත් මේ පූජිත ජයසුන්දර හිටපු පොලිස්පතිතුමාට ජනාධිපති සමාව දෙනවද?
විමල් වීරවංශ
මහතා: අනේ මන්දා, ඕවා ගැන හිතන්න
තියා අපි තව ගොඩක් දේවල් ගැන හිතමින් ඉන්නේ. ඕවා ගැන හිතන්නවත් අපි තවම හිතලා නැහැ.
එහෙම ජනාධිපති සමාවල් දෙන ඒවා දැන් හිතන්න ඕන දේවල් නෙමෙයි. ජනාධිපති සමාවල් දෙන්න
ඕනේ ජනාධිපති කෙනෙක් පත් වුණාට පස්සේ. ඒ ජනාධිපති හිතන්න ඕන ඒවා. අපි ඕවා දැන් හිතලා
වැඩක් නැහැ. ඔය *‘සිරසට’* ඕවා හිතුනට අපිට හිතෙන්නේ නැහැ. *‘සිරසට’* තියෙනවා ප්‍රශ්න!
මාධ්‍යවේදියා: රවීට සහ ශානිට, ඒ දෙන්නට විරුද්ධව යම්කිසි පියවරක් ගන්න ඒගොල්ලෝ වෙනුවෙන්
පැමිණිලි දාන්න ඕනේ නේද? ඒක කරලා නැහැනේ.
විමල් වීරවංශ
මහතා: ඒ දෙන්නට විරුද්ධව පැමිණිලි ඕන තරම් තියෙනවා.
මාධ්‍යවේදියා:
පැමිණිලි කිව්වේ, දැන් සාමාන්‍යයෙන්
නිල වශයෙන් මේ සිද්ධියට චෝදනා තියෙනවා කියලා කෙලින්ම කියපු පැමිණිලි?
විමල් වීරවංශ
මහතා: පැමිණිලි තියෙනවා, මම දැනුවත්ව තියෙනවා.
ඒවා එහෙම නිසි පරිදි විභාගයට ලක්වෙන්නේ නැහැ. මොකද මේගොල්ලොන්ට තිබුණු නඩුවලිනුත් මේගොල්ලෝ
අයින් කළානේ.
මාධ්‍යවේදියා:
ඔව්, ඒ ගල්කිස්සේ රථවාහන නඩුවනේ.
නමුත්...
විමල් වීරවංශ
මහතා:මේ පාස්කු නඩුවලිනුත් මේගොල්ලන්ගේ තිබ්බ චෝදනා අඩු කරලා සංශෝධනය කළා, නීතිපති දෙපාර්තමේන්තුවට මේ ආණ්ඩුව ආවට පස්සේ.
මාධ්‍යවේදියා:
දැන් මහර බන්ධනාගාර සිද්ධිය සහ විශ්වාසභංගය කියන එක අතර ඔබ... මොන විශ්වාසභංගයද?
විමල් වීරවංශ
මහතා:අධිකරණ ඇමතිට විශ්වාසභංගය නේද? අධිකරණ ඇමතිට මම නම් ඉල්ලා අස්වෙන්න කියන්නෙත් නැහැ. කිව්වට වැඩකුත් නැහැ. ලැජ්ජාවක්
කියලා නාමයක් ගෑවිලවත් නැහැ. ඒ නිසා ඉල්ලා අස්වෙන්න කියන එක අපිට අවමානයක්. නිකන් ගල්
පිළිමයකට ගිහිල්ලා මොනවා හරි කිව්වා කියලා ඇති වැඩක් නැහැනේ.
අධිකරණ ඇමති,
ඇත්තට ඇත්ත කතාව ගත්තොත්, අලි සබ්රි විජේදාස රාජපක්ෂ නෙමෙයි, නානායක්කාරගේ නළු පුතා! හොඳ නළුවෙක්. දැන් මම
හිතන්නේ මේ වෙලාවේ ඔක්කොම වැඩ නවත්තලා ෆේස්බුක් බලනවා ඇති කීයක් මැරිලද, කීයක් තුවාලද කියලා හොයාගන්න. ඒ වගේ කෙනෙකුට
ඉල්ලා අස්වෙන්න කියන්න ඕනේ නැහැ. මොකද හේතුව, ලැජ්ජාව කියලා ගෑවිලවත් තියෙන මිනිහෙක් නම් ඇමතියා,
ඔන්න ඉල්ලා අස්වෙන්න කිව්වට කමක් නැහැ. එහෙම
ගෑවිලවත් නැති කෙනෙක්ට ඉල්ලා අස්වෙන්න කිව්වම අපි නිකන් ලැජ්ජ වෙන්නේ.
මාධ්‍යවේදියා:
ඊයේ දිනයේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කරනවා, දැන් ඔබතුමාලා චෝදනා කරනවා මේ වර්තමාන ආණ්ඩුව විසින් රවීට
සහ ශානිට නඩු පවරන්නේ නැහැ කියලා. නමුත් ඒ කාලේ ඔබතුමාලාගේ ආණ්ඩුව තියෙන කාලේ ඇයි එහෙනම්
ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකර බලන් හිටියේ කියලා. මේ සම්බන්ධයෙන් ඔබතුමා
මොකද කියන්නේ?
විමල් වීරවංශ
මහතා: නෑ, ඒ කාලේ තමයි ඒගොල්ලොන්ට
අදාල නඩු තිබුණේ. ඒ කාලේ තමයි මේගොල්ලෝ උසාවියට ගිහිල්ලා අත්අඩංගුවට ගැනීමෙන් වැළකී
සිටීමේ නියෝග ගත්තේ. ඒ කාලේ තමයි මේගොල්ලන්ගේ නම් දාලා ඔය චෝදනාවලට නඩු පැවරුවේ. ඒ
නඩුවලින් තමයි පස්සේ මේ ආණ්ඩුව ආවට පස්සේ මේ දෙන්නගේ නම් නීතිපති දෙපාර්තමේන්තුව හරහා
සංශෝධනය කරගත්තේ.
මොකද නඩු අහන්නේ
ආණ්ඩුව නෙවෙයිනේ. නඩු පැවරලා තිබ්බා, නඩු විභාග වෙමින් තිබ්බා. විභාග වෙමින් තියෙන අතරේ මේ ආණ්ඩුව ආවා. මේ ආණ්ඩුව
ආවට පස්සේ කළේ, අලුතෙන් නඩුවක්
දාලා තමයි ඔය පූජිත සහ හිටපු ආරක්ෂක ලේකම් සම්බන්ධ වෙනස්කම් කළේ.
මාධ්‍යවේදියා:
ඒ කියන්නේ නීතිපතිවරයාට බලපෑම් කරනවද? දැන් ඔබතුමාලත් නීතිපතිවරයා හරහා ඔවුන්ට නඩු පැවරුවා, මොවුනුත් දැන් නීතිපතිවරයා හරහා ඔවුන්ට අවශ්‍ය
කට්ටිය නිදහස් කරගන්නවා?
විමල් වීරවංශ
මහතා: නෑ නෑ, නීතිපතිවරයා හරහා
නඩු පැවරීම කළේ චෝදනාවට ලක්වෙච්ච සියලුම දෙනාට. හරිද? ඒක වරදක් නෙවේ, ඒක කොහොමත් නීතිපතිවරයාගේ වගකීම. ඒකට තමයි නීතිපතිවරයා ඉන්නේ.
නමුත් එසේ පවරුණු ලැබූ නඩුවලින් පසුව සංශෝධන කරලා ශානිව සහ රවීව ඒ චෝදනාවලින් දියාරු
කරලා එළියට ගත්තේ වර්තමාන නීතිපති දෙපාර්තමේන්තුව හරහා මේ ආණ්ඩුව. එතනයි වරද තියෙන්නේ.
මාධ්‍යවේදියා:
ඒ කියන්නේ වර්තමාන නීතිපති දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ ආණ්ඩුවේ උවමනාවන් මතද?
විමල් වීරවංශ
මහතා: ඉතින් මේ නීතිපතිවරයා ඉවත් කර නොගැනීම ජනාධිපතිවරයාගේ ප්‍රධාන අභිලාෂයක් කියන
එක පැහැදිලියි. ඒ වගේම බියගන්වමින්, නීතිපති දෙපාර්තමේන්තුව යටත් කරගෙන වැඩ කරගන්නවා කියන එකත් පැහැදිලියි. ඒක රහසක්
නෙවෙයි.
මාධ්‍යවේදියා:
එතකොට දැන් මේ විශ්‍රාම වයස දිගු කරන්න හදන්නේ වර්තමාන ආණ්ඩුව...
විමල් වීරවංශ
මහතා: ඔව්, ඒක ඉතින් තනි පුද්ගලයෙක්ව
තියා ගැනීමේ අරමුණෙන් කරන විශ්‍රාම වයස දීර්ඝ කිරීමක්නේ. ඕකට කියන්නේ "සූරසේන
රීලෝඩ් කිරීම" කියලා.
මාධ්‍යවේදියා:
ඒ කියන්නේ සූරසේනේව දිගටම තියාගන්න එක හරහා...
විමල් වීරවංශ
මහතා: ඔව්, ඒ කියන්නේ ලංකාවේ
දැන් එක කාලයක් මෙහෙම ලෙඩක් තිබ්බා. අර අපේ තිබුණු ආණ්ඩුවලට පී.බී. ජයසුන්දර නැත්නම්
ආර්ථිකයක් නැහැ කියලා හිතාගෙන හිටියා. අන්තිමට පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් වෙලා
ඉඳලා තමයි ආර්ථිකය නට්ටං වුණේ. එන එන හැමෝම හිතන් හිටියා මෙයා තමයි ශක්‍ර දෙවේන්ද්‍රයා,
මේ වැඩේට මව්කුසෙන් ආපු එක්කෙනා කියලා.
දැන් මේ ජනාධිපති
හිතන් ඉන්නවා නීතිය පවත්වාගෙන යන්න බැහැ සූරසේන නැත්නම් කියලා. ඒ තමයි ශක්‍ර දෙවේන්ද්‍රයා
ජනාධිපතිතුමාට ඒ පුටුවේ වාඩි කරවන්න ලබා දීලා තියෙන එකම සහ අවසාන කෙනා කියලා හිතනවා.
ඒ නිසා 'රීලෝඩ්' දමාගෙන තබා ගැනීම තමයි ඔය සංශෝධනයේ කැත අරමුණ.
මොන මොන රෙදි කඩමාළුවලින් වහන්න ගියත් ඔය හෙළුව එළියට පේන එක වළක්වන්න බැහැ.
ඕකට අර නඩු විභාග
කරන එක ඉක්මන් කරගන්නලු, වයසට යනකොට පරිණත
වෙනවලු, කාර්යක්ෂම වෙනවලු! ඊට කලින්
කිව්වේ "නාකි මයිනන්ට ගෙදර යතුරවත් දෙන්න හොඳ නැහැ" කියලා. දැන් ගෙදර යතුර
නෙවෙයි, ගේට්ටු යතුරත් දෙන්න කතා
කරනවා කට්ටිය එකතු වෙලා. මේවා ප්‍රතිපත්තියක් අනුව සිදුවෙන දේවල්ද? යහපත් ශිෂ්ඨසම්පන්න මූලධර්ම අනුව සිදුවෙන දේවල්ද?
ශිෂ්ඨසම්පන්න දේශපාලන සංස්කෘතියකට අනුව සිදුවෙන
දේවල්ද? නැත්නම් කැත දේවල්ද?
මාධ්‍යවේදියා:
දැන් අර මහර බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහත්මයා ප්‍රකාශයක් නිකුත්
කරලා තියෙනවා, මාධ්‍ය වාර්තා
කරලා තියෙන විදිහට මේක සාමාන්‍ය සිදුවීමක් නෙමෙයි කියලා. ඔබතුමාලා ඒ ප්‍රකාශය අනුමත
කරනවද? නැත්නම් ඒක වෙනත් මතයක්ද?
විමල් වීරවංශ
මහතා: මම ඒ ප්‍රකාශය දැක්කේ නැහැ. දැක්කේ නැති ප්‍රකාශයක් ගැන අහන්න වෙනත් ප්‍රශ්නයක්
තියෙනවා නම් කියන්නකෝ... දැන් මේක සාමාන්‍ය සිදුවීමක් නෙමෙයි කියලා එතුමා කිව්වා නම්,
මම ඒ ප්‍රකාශය අනුමත කළත් නොකළත් ඔබට තියෙන වැඩේ
මොකක්ද? 'සිරසට' තියෙන වැඩේ මොකක්ද?
මාධ්‍යවේදියා:
නෑ, මම...
විමල් වීරවංශ
මහතා: 'සිරසට' වෙන වැඩක් නැද්ද එක එක පුද්ගලයන්ගේ ප්‍රකාශ අනුමත
කරනවද නැද්ද කියලා මගෙන් අහන්න? මට කරන්න ඕන තරම්
වැඩ තියෙනවනේ.
මාධ්‍යවේදියා:
මාධ්‍යවේදියෙක් විදිහට මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්නේ...
විමල් වීරවංශ
මහතා: ඔව්, ප්‍රශ්නය ඇහුවානේ.
ඉතින් ඔය විදිහට හැමදාම අහන්න, මාත් මේ විදිහටම
හැමදාම උත්තර දෙන්නම්.
මාධ්‍යවේදියා:
නෑ, ඔබතුමාලා එන්න කියන නිසානේ
අපි එන්නේ.
විමල් වීරවංශ
මහතා: ඔව්, අපි එන්න කියනවා.
මම මෙහෙම කිව්වට හෙටත් එන්න කියනවා.
මාධ්‍යවේදියා:
ඒ කියන්නේ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රශ්නයක් ඇහුවාම ඔබතුමාට පුළුවන් ඒ ප්‍රශ්නයට උත්තර
දෙන්න.
විමල් වීරවංශ
මහතා: ඔව්, මම ඒක තමයි මේ
කරන්නේ. හැබැයි ඔබට ඕන උත්තරය නෙමෙයි මම දෙන්නේ, මට ඕන උත්තරයයි මම දෙන්නේ. ඒක අහගෙන ඉන්න. ඔබේ දුරකථනයට එනවා
ප්‍රශ්න අහන්න කියලා, ඔබ මගෙන් ඒ ප්‍රශ්න
අහනවා.
මාධ්‍යවේදියා:
නෑ, මගේ දුරකථනයට...
විමල් වීරවංශ
මහතා: හරි, කමක් නැහැ. ඉතින්
මම මොකටද ඒ හැම එකටම උත්තර දෙන්නේ? නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා එහෙම කිව්වද කියලා මම දැක්කේ නැහැ. ඔබ කියනවා එහෙම
කිව්වයි කියලා. මම දැක්කේ නැති දෙයකට ඒ විදිහට පිළිතුරු දෙන්න මම බැඳිලා නැහැ. බොහොම
ස්තූතියි!