හාල් ඇටයක්වත් ගේන්නේ නැහැ කියපු ගොවි පුත්තු හතරදෙනා එකතු වෙලා අද ගොවියන්ව නන්නත්තාර කරලා.. වී මිල රැකීමට සහ ගොවියා ණය බරින් මුදවා ගැනීමට “ගොවිජන බැංකුව” වහාම පණ ගන්වනු! - ජයන්ත සමරවීර
Jun 22, 2026 at 05:48 AM
|
වර්තමාන මාලිමා
රජය බලයට පත් කිරීම සඳහා දිවා රෑ නොබලා කැපවූ මෙරට ගොවි ජනතාව අද වන විට එහි අනපේක්ෂිත
ප්‍රතිඵල බුක්ති විදිමින් සිටින බවත්, ගොවියා නගාසිටුවන්නට පැමිණි රජයේ සුරංගනා
කතා හා පරණ පොරොන්දු අමතක කිරීම හමුවේ අන්ත අසරණ වී, යන එන මං නැති තත්ත්වයකට ලොවි ජනතාව පත්ව සිටින බවත් ජාතික
නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව අවධාරණය
කළේ (21) දින කොළඹ බත්තරමුල්ලේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම මාධ්‍ය හමුව
සඳහා ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක
කරුණාතිලක හේරත් සහෝදරයා සහ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික අතුල සේනායක සහෝදරයාද එක්ව
සිටියහ.
ඵලදාව ශාපයක් කරගත් රටක අවාසනාව
මාධ්‍ය හමුව ආරම්භ
කරමින් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා කියා සිටියේ වර්තමානයේ රූපවාහිනී තිර,
පුවත්පත් සහ අනෙකුත් මාධ්‍ය දෙස බැලීමේදී රට
පුරා සිටින ගොවි ජනතාව තමන්ගේ දුක සහ වේදනාව දරාගත නොහැකිව මහපාරට බැස උද්ඝෝෂණ කරන,
විරෝධතා පවත්වන සහ පොල් ගසමින් සාප කරන අයුරු
දැකගත හැකි බවයි.
“අපේ රටේ දෙකෝටි විසි ලක්ෂයක ජනතාවගේ ප්‍රධාන ආහාරය බතයි.
මුළු රටම බත් කනවා. හැබැයි ඒ බත සපයන ගොවියා අද හිඟමනට වැටිලා. මේක දශක ගණනාවක ඉඳන්
අස්වනු නෙළන කාලයට සිදුවන මහා ඛේදවාචකයක්. අස්වැන්න කරුමයක් වෙච්ච, ඵලදාව ශාපයක් වෙච්ච රටක් බවට අපේ රට පත්වෙලා
තියෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීමේ මහා බලාපොරොත්තුවෙන් තමයි මෙරට ලක්ෂ 20ක් වන ගොවි
පවුල් මේ ආණ්ඩුව බලයට පත් කරගත්තේ. හැබැයි ආණ්ඩුව බලයට පත් වී මේ වන විට සෑහෙන කාලයක්
ගත වී ඇතත්, ගොවියා මුහුණ දෙන
අර්බුද විසඳන්න ඔවුන් අබමල් රේණුවක දෙයක් කර නැහැ.”
“ගොවි පුතුන් සිව්කට්ටුවේ” අරුමය සහ සහල් මාෆියාව
රටේ පාලකයන් සියලු
දෙනා ගොවි පවුල්වලින් පැමිණි අය වුවද ගොවියාගේ දුක හඳුනන්නේ නැති බවට සමරවීර මහතා මෙහිදී
බරපතළ චෝදනාවක් එල්ල කළේය.
“අද රටේ නායකයා
(ජනාධිපති) තඹුත්තේගම ගොවි පුතෙක්. කෘෂිකර්ම ඇමති අනුරාධපුර නුවරහන්දියේ ගොවි පුතෙක්.
කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කුරුණෑගලින් ආපු ගොවි පුතෙක්. වෙළඳ ඇමතිත් තඹුත්තේගම ගොවි පුතෙක්.
මේ සිව්කට්ටුවම ගොවි පවුල්වල සාමාජිකයෝ. ගොවියා විඳින වේදනාව ජීවිතයෙන්ම අත්විඳපු අය.
හැබැයි ඒ අයම එකතු වෙලා අද ගොවියන්ව නන්නත්තාර කරලා තියෙනවා. ඒක තමයි මේ රටේ තියෙන
ලොකුම අවාසනාව.”
රට තුළ වී විකුණා
ගැනීමට නොහැකිව වී මිල බල්ලට වැටී ඇත්තේ රජයේ වැරදි ආනයන ප්‍රතිපත්තිය නිසා බව පෙන්වා
දුන් ඒ මහතා, "හාල් ඇටයක්වත්
රටට ගේන්නේ නැහැ" කියා පරසක්වල ගසමින් බලයට පැමිණි ආණ්ඩුව, පසුගිය කාල සීමාව තුළ සහල් මෙට්‍රික් ටොන්
145,000ක් රටට ආනයනය කර ඇති බව හෙළි කළේය. මෙය සමස්ත රටේ වාර්ෂික සහල් පරිභෝජනයෙන්
දහයෙන් එකක් (10%) කි. වෙළඳ ඇමති වසන්ත සමරසිංහ මහතාට අනුව රට තුළ තවත් මාස හතරකට සරිලන
වී තොග තිබියදී, මෙලෙස සහල් ආනයනය
කර ඇත්තේ වසන්ත සමරසිංහලා ඇතුළු පිරිසකගේ කොමිස් කුට්ටි බලාගෙන බවද ඔහු පැවසීය.
ගොවි ජනතාව සහ කුඩා මෝල් හිමියන් රැක ගැනීමේ
පංචවිධ මූලධර්ම
වර්තමාන කෘෂිකාර්මික
අර්බුදයට නිට්ඨාවටම සුවය ලබා දිය හැකි, ස්ථිරසාර විසඳුම් පහක් (05) ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් ජයන්ත සමරවීර මහතා
මෙහිදී රජයට යෝජනා කළේය.
පළමු මූලධර්මය
- සහල් සඳහා සාධාරණ සහතික මිලක් නියම කිරීම:
ගොවියාගේ මහන්සියට
සරිලන ආදායමක් ලැබීමට නම් වී සඳහා හොඳ මිලක් ලැබිය යුතුය. ඒ සඳහා පාරිභෝගිකයා මෙන්ම
ගොවියාද ආරක්ෂා වන පරිදි සහල් සඳහා ස්ථිර මිලක් රජය මැදිහත් වී තීරණය කළ යුතුය. වතු
කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1750ක් වන විට, රටට බත් දෙන ගොවියාට එම දෛනික ආදායමවත් නොමැති බව ඒ මහතා
පෙන්වා දුන්නේය.
දෙවන මූලධර්මය
- කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් ශක්තිමත් කිරීම:
අතීතයේ මෙරට සහල්
වෙළඳපොළෙන් 80%ක් පාලනය කළේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ය. අද වන විට මහා පරිමාණ
මෝල් හිමි ඒකාධිකාරයක් නිසා එම මෝල් වැසී ගොස් ඇත. එම නිසා වැසී ගිය මෝල් නැවත විවෘත
කර, වී නිෂ්පාදකයාම සහල් නිෂ්පාදකයා
බවට පත් කළ යුතුය.
තෙවන මූලධර්මය
- "ගොවිජන බැංකුව" යළි පණ ගැන්වීම:
ගොවියා වර්තමානයේ
පළමු හීයේ සිට අස්වනු නෙළන තෙක්ම ප්‍රාග්ධනය ලබා ගන්නේ මහා පරිමාණ මෝල් හිමියන්ගෙනි.
ඒ නිසා අස්වැන්න නෙළූ සැනින් එය ණය වෙනුවෙන් හිලව් කිරීමට ගොවියාට සිදු වේ. පසුගිය
රජයන් විසින් ස්වභාවික මරණයකට කැප කර තිබූ "ගොවිජන බැංකුව" වහාම සක්‍රීය
කර, ගොවියන්ට සහ කුඩා මෝල්
හිමියන්ට අඩු පොලී කෙටිකාලීන ණය ලබා දිය යුතුය.
හතරවන මූලධර්මය
- රජය මැදිහත් වී වී අස්වැන්නෙන් 10% - 20%ක් මිලදී ගැනීම:
වෙළඳපොළේ වී මිල
ස්ථාවරව තබා ගැනීමට නම්, රජය වී අලෙවි මණ්ඩලය
හරහා සමස්ත නිෂ්පාදනයෙන් අවම වශයෙන් 10%ක් හෝ 20%ක් මිලදී ගත යුතුය. එලෙස මිලදී ගන්නා
වී කුඩා මෝල් හිමියන් ලවා කෙටුම් කර, රට පුරා ඇති 500කට ආසන්න සතොස ශාඛා ජාලය හරහා සාධාරණ මිලට
පාරිභෝගිකයාට ලබා දීමෙන් සහල් මාෆියාව බිඳ දැමිය හැකිය.
පස්වන මූලධර්මය
- පාන් පිටි අධෛර්යමත් කර හාල් පිටි ප්‍රවර්ධනය කිරීම:
පාසල් දරුවන්ගේ
ස්ථුලතාවය සහ රටේ බෝ නොවන රෝග ඉහළ යාමට ප්‍රධානතම හේතුව පාන් පිටි (තිරිඟු පිටි) පරිභෝජනයයි.
ඇමරිකාව විසින් පාන් පිටිත් සපයා, ඊට අවශ්‍ය බෙහෙත් ද සපයන මහා චක්‍රයකට රට අසු කර ඇත. මේ වන විට බනිස් ගෙඩියක්,
මාළු බනිස් එකක් රුපියල් 100ක් වන අතර,
හාල් කිලෝවක මිලට සාපේක්ෂව එය ඉතා ඉහළය. එබැවින්
පාන් පිටි පරිභෝජනය අධෛර්යමත් කර, හාල් පිටි ප්‍රවර්ධනය කිරීමට රජය වහා මැදිහත් විය යුතුය.
ලාල් කාන්තගේ සහ ඩඩ්ලිගේ හෘද සාක්ෂිය
මාධ්‍යවේදීන් නැඟූ
ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජයන්ත සමරවීර මහතා වර්තමාන දේශපාලන ධාරාවේ හැසිරීම් දැඩි
විවේචනයට ලක් කළේය.
"කොතරම් උද්ඝෝෂණ
කළත් අස්වනු නෙළන තෙක් වී මිලදී ගත නොහැකි බව ලාල් කාන්ත මහතා පවසනවා. ඔහු අද කටයුතු
කරන්නේ ගොවියන් මහා කරදරකාරී පිරිසක් ලෙස සලකමින්. ලාල් කාන්තලාට අවංක හෘද සාක්ෂියක්
තිබේ නම්, තර්ජනය කළ යුත්තේ අහිංසක
ගොවියන්ට නොව, තමන්ගේම සහෝදර
අමාත්‍යවරයා වන වසන්ත සමරසිංහටයි. නිර්ධන පන්තියේ නියෝජිතයෝ කියා පැමිණි ලාල් කාන්තලාගේ
මුවින් අද ගොවි ජනතාව 'මීහරකුන්,
ගොන්නු සහ මෝඩයන්' බවට පත් වෙනවා. ඔවුන්ට ඒ ගැන ලැජ්ජාවක් නැහැ."
"හැබැයි ඒ
අතින් බලනකොට මහා පරිමාණ මෝල් හිමියෙකු වන ඩඩ්ලි සිරිසේන මහතාගේ හෘද සාක්ෂිය හරි අවදි
වෙලා තියෙනවා ගොවියන් 'පව්' කියා පවසන්න. ඩඩ්ලි කියනවා වී කිලෝවක් රුපියල්
150ක්වත් වෙන්න ඕනේ කියලා. නමුත් ලාල් කාන්ත කියන්නේ උද්ඝෝෂණ සියයක් කළත් වී ගන්නේ
නැහැ කියලා. මේකෙන් පේනවා ලාල් කාන්තලා තමන්ගේ හෘද සාක්ෂිය මේ වන විටත් සහල් මාෆියාවට
උකස් කර අවසන් බව."
භාණ්ඩ 1482 ක ආනයන සීමා සහ කහ අර්බුදය
පසුගිය රජය සමයේ
කර්මාන්ත අමාත්‍ය ධුර දැරූ කාලයේදී මෙම යෝජනා ක්‍රියාත්මක නොකළේ මන්දැයි මාධ්‍යවේදීන්
නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සමරවීර මහතා කියා සිටියේ, තමන් එදත් ආණ්ඩුව ඇතුළේ මහා අරගලයක නිරත වූ බවයි.
"අපි ඒ කාලයේදීත්
විමල් වීරවංශ මහතාගේ කර්මාන්ත අමාත්‍යාංශය හරහා සහ කැබිනට් මණ්ඩලය තුළ මේ වෙනුවෙන්
අඛණ්ඩව අරගල කළා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ මෙරට නිෂ්පාදනය
කළ හැකි භාණ්ඩ 1482ක් ආනයනය කිරීම සීමා කළේ. ඒ නිසා තමයි කහ කිලෝවක් රුපියල් 4500 දක්වා
ඉහළ ගියේ. එදා මිනිස්සු අපට බැන්නා. හැබැයි ඒ තීරණය නිසා අපේ රටේ ගොවියෝ කහ වවන්න ගත්තා.
අපි එදත් අදත් කොයි ආණ්ඩුවේ හිටියත් ගොවි ජනතාවගේ ප්‍රශ්නය රටේ ප්‍රමුඛතම ප්‍රශ්නය
කරන්න මැදිහත් වුණා. ඇතැම් වෙලාවට අපිට ආණ්ඩුවලින් අයින් වෙන්න සිදු වූයේත් මෙවැනි
ප්‍රතිපත්තිමය කරුණු නිසයි."
ඉන්ධන මිල සහ රජයේ "නිරවි භීෂණය"
වර්තමාන ඉන්ධන
මිල පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ලෝක වෙළඳපොළේ තෙල් මිල පහළ යද්දී එහි වාසිය ජනතාවට නොදී රජය
කරන්නේ ජනතාව සූරාකෑම බවයි. ලංකා ඉතිහාසයේ වසර 77ක් තිස්සේ මෙවැනි "චෞර රජයක්"
බිහි වී නොමැති බවත්, ගල්අඟුරු වංචාවේ
බරද ජනතාව මත පැටවීමට සූදානම් වන බැවින් පෙර පැවති අඩු මිලටම වහාම ඉන්ධන ලබා දිය යුතු
බවත් ඔහු පැවසීය.
අවසාන වශයෙන්,
මෑතකදී අත්අඩංගුවට පත් වූ සුගීශ්වර බණ්ඩාර මහතා
වෙනුවෙන් පැවැත්වූ සත්‍යග්‍රහය පිළිබඳව අදහස් දක්වමින් සමරවීර මහතා කියා සිටියේ,
එය රජයේ අලජ්ජී "රණවිරු දඩයමට" එරෙහිව
කළ සටනක එක් පියවරක් පමණක් බවයි.
"දේශපාලන
නායකයෙක් වරදක් කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න ශිෂ්ඨ සම්පන්න ක්‍රමයක් තියෙනවා.
හැබැයි මේ ආණ්ඩුව කරන්නේ විපක්ෂ බලවේග මර්දනය කරන්න 'නිරවි භීෂණයක්' පතුරුවන එකයි. මිනිස්සු බය කරන මේ පිළිකුල් සහගත ක්‍රියාවට
අපි දැඩි විරෝධය පළ කරනවා. ඩයස්පෝරාවේ උවමනාවට රණවිරුවන් බිලිදීමට එරෙහිව අපේ සටන අත්හරින්නේ
නැහැ. හෙට දවසේ ඉඳන් ගොවි ජනතාව සමඟ එකතු වෙලා අස්වැන්නට සාධාරණ මිලක් දිනාගැනීමේ ඕනෑම
සටනකට ජාතික නිදහස් පෙරමුණ සූදානම්," යැයි ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා විසින් 2026 ජූනි මස 21 වන දින පවත්වන ලද සම්පූර්ණ දේශනය
"මාධ්‍යවේදී සහෝදරවරුනි
සුභ උදෑසනක් ඔබ සියලු දෙනාටම. අද මේ මාධ්‍ය හමුව සඳහා මමත් සමඟ සහභාගී වනවා ජාතික නිදහස්
පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ඒ වගේම ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක
හේරත් සහෝදරයාත්, ජාතික නිදහස් පෙරමුණේ
ජාතික මෙහෙයුම් කමිටු සාමාජික අතුල සේනායක සහෝදරයාත් මේ මාධ්‍ය හමුව සඳහා මමත් සමඟ
සහභාගී වනවා.
අද ඔබ මඟින් අපි
මේ රටේ ජනතාව දැනුවත් කරන්න කල්පනා කරන්නේ, උත්සාහ කරන්නේ අපි කවුරුත් දන්නවා මේ වනවිට අපේ රටේ ගොවි
ජනතාව විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා පුරෝගාමී කාර්යභාරයක් ඉටු කරපු,
වෙහෙස මහන්සි වුණු, දිවා රෑ නොබලා කඹුරපු ගොවි ජනතාව මේ ආණ්ඩුවෙන්
පහර පිට පහර කනවා. ඒ නිසා ගොවි ජනතාව අන්ත අසරණ වෙලා, නන්නත්තාර වෙලා, යන එන මං නැති තත්ත්වයට දැන් පත්වෙලා ඉන්නේ. අපි රූපවාහිනී
තිර බැලුවත්, පුවත්පත් බැලුවත්,
වෙනත් මාධ්‍යයකට සම්බන්ධ වුණත් අපිට පේන්නේ රටේ
හැමතැනම ගොවියෝ තමන්ගේ දුක දරාගන්න බැරුව මහපාරට ඇවිල්ලා උද්ඝෝෂණ කරනවා, විරෝධතා පවත්වනවා, කන්නලව් කරනවා, පොල් ගහනවා මෙයාදී විවිධ ක්‍රියාකාරකම් හරහා තමන්ගේ වේදනාව
දුක පිට කරනවා, විරෝධය පළ කරනවා.
මේකට හේතුව තමයි
එක පැත්තකින් ගොවියට අස්වැන්නට මිලක් නෑ. වී සඳහා සාධාරණ මිලක් නෑ දැන්. වී විකුණගන්න
බෑ. වී මිල බල්ලට ගිහින් තියෙන්නේ. අනිත් පැත්තෙන් වගාවට පොහොර නැහැ. සල්ලි තිබුණත්
පොහොර නෑ. පොහොර නැති ප්‍රශ්නය පිළිබඳ තමුන්නාන්සේලා හරහා රටේ ජනතාව දැනුවත් කරයි අපේ
ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක දේශපාලන මණ්ඩල සභික කරුණාතිලක හේරත් සහෝදරයා.
මම කැමති ඔබේ අවධානය
යොමු කරන්න වී වලට මිලක් නැති වුණේ ඇයි? මේ නිශ්චිත මොහොතේ ගොවියා මහපාරට ආවේ තමන්ගේ වී විකුණගන්න
බැරුව මහපාරට ඇවිල්ලා තියෙන්නේ ඇයි? ඒ පළවෙනි කාරණය තමයි දැන් රටේ විශාල වශයෙන් වී තොග ප්‍රමාණයක් තියෙනවා. ගොවි
ගෙවල්වල ගොවි සංවිධාන නායකයෝ කියන්නේ අපේ ගෙවල් වල වී තියෙනවා කියලා. ඒක ගොවියන්ගේ
වචනාර්ථයෙන් සනාථ කරනවා. වෙළඳ අමාත්‍යවරයා ඊයේ අපි දැක්කා අනුරාධපුරයේදී කියනවා මාස
හතරකට සරිලන වී තොග රටේ තියෙනවා කියලා. එතකොට මාස හතරකට සරිලන වී තොග රටේ තියෙනවා නම්
වෙළඳ ඇමති වසන්ත සමරසිංහ මහතාට අනුව, ගොවියොත් කියනවා නම් වී තොග රටේ තියෙනවා කියලා එහෙම තියෙද්දී, හාල් ඇටයක්වත් ආනයනය කරන්නේ නෑ කියලා පරසක්වල
ගහලා ආපු මේ ආණ්ඩුව පහුගිය කාලේ හාල් මෙට්‍රික් ටොන් 145,000ක් රටට ආනයනය කළා.
මෙට්‍රික් ටොන්
145,000ක් කියන්නේ අවුරුද්දකට
රටේ සහල් පරිභෝජනයෙන් දහයෙන් එකක්. මේ ආනයනය කළේ හාල් ඇටයක්වත් රටට ආනයනය කරන්නේ නෑ
කියලා පරසක්වල ගහලා ආපු ආණ්ඩුවක්. අනිත් පැත්තෙන් රටේ නායකයත් ගොවි පුතෙක්. රටේ කෘෂිකර්ම
ඇමතිත් ගොවි පුතෙක්. රටේ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිත් ගොවි පුතෙක්. රටේ වෙළඳ ඇමතිත් ගොවි
පුතෙක්. රටේ නායකයා තඹුත්තේගම අනුරාධපුරයෙන්. රටේ කෘෂිකර්ම ඇමති නුවර හන්දියේ
අනුරාධපුරයෙන්. රටේ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කුරුණෑගලින්. රටේ වෙළඳ ඇමතිත්
තඹුත්තේගම අනුරාධපුරයෙන්. මේ සිව් කට්ටුවම ගොවි පුත්තු වෙලා, ගොවි පවුල් වල සාමාජිකයෝ වෙලා, ගොවියා විඳින වේදනාව, දුක, සන්තාපය හොඳින් ජීවිතයෙන් අවබෝධ කරගත්තු, ජීවිතයෙන් අත්විඳපු රටේ ජනාධිපතිවරු,
ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු තමයි මේ ගොවියව නන්නත්තාර කරලා තියෙන්නේ.
ඒකයි අරුමය. ඒකයි අවාසනාව.
එතකොට මේ වී වලට,
අස්වැන්නට සාධාරණ මිලක් දෙන්න බැරිද?
දැන් තමුන් වහන්සේලා අපි කොයි කවුරුත් දන්නවා
මේක ආරිත්‍රයක් වගේ හැමදාම අස්වනු නෙලන කාලෙට ගොවියා මහපාරේ. මේ දශක ගානක ඉඳන් අස්වැන්න
කරුමයක් වෙච්ච රටක්, ඵලදාව ශාපයක් වෙච්ච
රටක්. එතකොට මේකට නිට්ඨාවට මේක සුව කරන්න බැරිද?
මේ රටේ දෙකෝටි
විසි ලක්ෂයක ජනතාවගේ ප්‍රධාන ආහාරය බත වෙච්ච රටක්. මේ බත සපයන ගොවියා තමයි අද නන්නත්තාර
වෙලා තියෙන්නේ. ඔක්කොම බත් කන්නේ, ඒත් ගොවියා නන්නත්තාරයි. ගොවියා හිඟමනට වැටලා. ඇයි මේකට ස්ථිරසාර උත්තරයක් නැද්ද?
තියෙනවා. ඒ උත්තරය බලාපොරොත්තුවෙන් තමයි මේ රටේ
ගොවි පවුල් ලක්ෂ 20ක් වෙච්ච ගොවි
ජනයා, ඒ පවුල් ලක්ෂ 20ක ගොවි සාමාජිකයන් මේ ආණ්ඩුව බලයට පත් කරගත්තේ
මහා බලාපොරොත්තු තියාගෙන. ඒ බලාපොරොත්තු තව තවත් වරගැන්නුවා ජනාධිපතිවරයත් මේ කියන
ඇමතිවරුත්. හැබැයි පොරොන්දු පිට පොරොන්දු දීලත් ගොවි ජනයා නන්නත්තාර වෙලා ඉන්නවා. දැන්
ආණ්ඩුවට කාලයක් වෙන්නත් එනවා.
මේක විසඳන්න අබමල්
රේණුවක දෙයක් තාම කරලා නෑ. මේ අස්වැන්න කරුමයක් බවට පත්වෙච්ච යථාර්ථය වෙනස් කරන්න තවම
අබමල් රේණුවක දෙයක් කරලා නෑ. එහෙනම් මොනවද කරන්න පුළුවන්? මේක වෙනස් කරන්න පුළුවන් කොහොමද? අපි දන්නවා වී ගන්නේ පොළොව හාරලා නෙමෙයිනේ. වී
ගන්නේ ගොවියෝ කුඹුරේ නැහිලා නැහිලා විශාල මහන්සියක් වෙහෙසක් පවුල පිටින්ම දාලා. අපි
කවුරුත් එකඟයි වතුකරයේ වතුකම්කරු ජනයාට වැටුප් වැඩි කිරීමට.
ඔබ හොයලා බලන්න
මාධ්‍යවේදීන් හැටියට අද රුපියල් 1,750ක් වතුකරයේ වතුකම්කරුවෙක්
ගන්නවා. ගොවි පවුලක සාමාජිකයෙක්, මේ ගොවිතැනත් එක්ක පොරබදන සාමාජිකයෙක්ගේ දෛනික ආදායම රුපියල් 1,750ක් තියෙනවද කියලා ඔබ හොයලා බලන්න. නෑ. එහෙනම් මේ ගොවි ජනයා,
අපේ ප්‍රධාන ආහාරය සපයන ගොවි ජනයාගේ ආදායම වැඩි
කරන්නම ඕනා. ඔවුන්ගේ මහන්සියට, ඔවුන්ගේ වෙහෙසට,
ඔවුන්ගේ කැපවීමට සරිලන ආදායමක් ඔවුන්ට ලැබෙන්න
ඕනේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ වී වලට හොඳ මිලක් එන්නේ සහල් වල මිල අනුව. එහෙමනම් සහල්
වලට, පාරිභෝගිකයාත් ආරක්ෂා වෙන
පරිදි, ගොවියාත් ආරක්ෂා වෙන පරිදි
සහල් වලට හොඳ මිලක් ආණ්ඩුව මැදිහත් වෙලා නියම කරන්න ඕන. ඒක මූලධර්මයක්. මේක විසඳෙන
නිට්ඨාවට විසඳුම.
දෙක තමයි මේ මහා
මෝල් හිමි ඒකාධිකාරයක් ගොඩනැගෙන්න පෙර අපේ රටේ සහල් වෙළඳපොළේ 80%ක් නිෂ්පාදනය කොට වෙළඳපොළට ඉදිරිපත් කළේ කුඩා
හා මධ්‍ය පරිමාණ මෝල් සහ වී නිෂ්පාදකයාම සහල් නිෂ්පාදකයා වුණා. දැන් ඒ තත්ත්වය නෑ.
දැන් කුඩා මධ්‍ය පරිමාණ මෝල් වැහිලා ගිහිල්ලා තියෙන්නේ, තව වැහෙනවා. මෝල් විකුණනවා. ඒ මෝල් වලට පවතින්න පුළුවන් කමක්
නෑ. දැන් වී නිෂ්පාදකයාම සහල් නිෂ්පාදකයා නෙමෙයි.
එහෙනම් කරන්න ඕනේ
මේ ප්‍රශ්න විසඳෙනවා නම් කුඩා මධ්‍ය පරිමාණ මෝල් ටික ශක්තිමත් කරන්න ඕනා. වැසී ගිය
මෝල් නැවත විවෘත කරන්න ඕනා. වී නිෂ්පාදකයාම සහල් නිෂ්පාදකයා බවට පෙරලන්න අවශ්‍ය වෙනස්කම්
ප්‍රතිසංස්කරණ කරන්න ඕන. මොකක්ද ඒකට කරන්න ඕනේ? ලොකු දෙයක් නෙමෙයි. සාධාරණ කෙටුම් මිලක් සහල් මිල ඇතුළේ අන්තර්ගත
කරන්න ඕන. ඊළඟට වී මිලදී ගැනීම සඳහා “ගොවිජන බැංකුව” යළි ප්‍රතිස්ථාපනය කරලා කුඩා මෝල්
හිමියන්ට, මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට
සහන මිලට ණය ලබා දෙන්න ඕන.
එතකොට ඔවුන්ට පුළුවන්
වෙළඳපොළෙන් අස්වනු නෙලන කාලෙට මේ කුඩා සහ මධ්‍ය පරිමාණ මෝල් වලට අස්වනු මිලදී ගැනීමට
මැදිහත් වෙන්න. එතකොට මහා පරිමාණ මෝල් හිමියන්ට මේක කරන්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟ මූලධර්මය
තමයි ගොවියා ණය බරින් මුදවන එක.
දැන් ගොවියා කරන්නේ
පළමුවැනි හීයේ ඉඳන්, පළමු හෑමේ ඉඳන්,
භූතයාගෙන් අස්වනු නෙලනකන් ඕන කරන ප්‍රාග්ධන අවශ්‍යතාවයක්
අර මහා මෝල් හිමියන්ගෙන් ගන්නවා, ණයට ගන්නවා. ණයට අරගෙන අස්වනු නෙලනකොට ගොවියගේ අස්වැන්න ණයට හිලව් කරන්න දෙන්න
වෙලා තියෙන්නේ. එතරම් ගොවියා ඉන්නේ ණය බරක. මේ ණය බරෙන් ගොවියා මුදවන්න ඕන. මේ ණය බර තියාගත්තොත් ගොවියා අසරණයි,
මහපාරට වැටෙන එක වැටෙනවාම තමයි. මේ ණය බරෙන්
මුදවන්න මොකක්ද කරන්න ඕනේ?
ඔබ දන්නවා දැනටත්
තියෙනවා, තාම ඒක ස්වභාවික මරණයකට
ඇරියා පසුගිය ආණ්ඩු, ඒ තමයි ගොවිජන
බැංකුව. ගොවිජන බැංකුව තාම තියෙනවා පණ ඇද ඇද. ම මේ ආණ්ඩුවට පුළුවන් ගොවිජන බැංකුව නැවත
පණගන්වලා ගොවිජන බැංකුව හරහා ගොවි ජනතාවගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කරන්න.
එතකොට ගොවිජන බැංකුව හරහා සාධාරණ පොලියකට, අඩු පොලියකට ණය දෙනවා කෙටි කාලීන ණය. එතකොට ගොවියා යන්නේ
නැහැ මහා මෝල් හිමියන්ගෙන් ණය අරගෙන හිලව්වට වී ටික දෙන්න. මෙන්න මේ ආකාරයට ගොවියා
ණය බරින් මුදවා ගැනීම සඳහා ගොවිජන බැංකුව නැවත ප්‍රතිස්ථාපනය කිරීම අත්‍යවශ්‍යයි.
ඊළඟ මූලධර්මය තමයි
අස්වනු නෙලන කාලෙට වෙළඳපොළේ වී මිල ස්ථිරව ගොවියාත් රැකෙන පාරිභෝගිකයාත් රැකෙන පරිදි
පවත්වාගෙන යන්න නම්, ආණ්ඩුව 20%ක් වී අස්වැන්නෙන් නිෂ්පාදනයෙන් මිලට ගන්න ඕන.
20%ක් එකපාර ගන්න බැරි නම්
20%ක් ගැනීම ඉලක්ක කරගනිමින්
අවම වශයෙන් 10%ක තොගයක්වත් ආණ්ඩුව
වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගන්නම ඕනා. දැන් මේ පාරම්බානවා. එකක්වත් ගන්නේ නැතුව 10%ක්වත් අවම වශයෙන් නිෂ්පාදනයෙන් ආණ්ඩුව මිලදී
ගන්න ඕන.
ආණ්ඩුවට ඒක ගන්න
පුළුවන් ඇයි? ආණ්ඩුව ඒක අරගෙන
කුඩා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ඉදිරි වෙළඳ ගිවිසුම් මාර්ගයෙන් ලබා දෙනවා. ලබා දීලා
ඔවුන්ට සාධාරණ කෙටුම් මිලක් දීලා නැවත වී අලෙවි මණ්ඩලයට අරගෙන සතොස හරහා වෙළඳපොළට එනවා
නිශ්චිත ගොවියාත් රැකෙන පාරිභෝගිකයාත් රැකෙන නිශ්චිත මිලකට. සතොස ශාඛා තියෙනවා 480ක් 500ක්. එතකොට මෙන්න
වෙළඳපොළේ සහල් මිලට හොඳ තරඟයක් දීලා ගොවියාත් රැකගෙන පාරිභෝගිකයාත් රකින්න පුළුවන්.
ඊළඟ කාරණය තමයි
ඔබ දන්නවා ඊයෙත් මාධ්‍ය පල කළා වෛද්‍යවරු කිව්වා පාසල් දරුවන්ගේ ස්ථුලතාවය එන්න එන්න
වැඩි වෙනවා කියලා. ඒ වගේම අපේ රටේ මේ බෝ නොවන රෝග වලට දරුවන් ගොදුරු වීමට මේ ස්ථුලතාවය
ඉවහල් වෙනවා. බෝ නොවන රෝග තමයි මිනිස්සුන්ට වැඩිම මරණ ගේන්නේ. මේ බෝ නොවන රෝග වල ප්‍රධාන
හේතුව තමයි තිරිඟු පිටි ආහාරයට ගැනීම. පාන් පිටි, සුදු පිටි කෑම. එහෙමනම් සුදු පිටි බෝ නොවන රෝග වල ප්‍රධාන
හේතුව බවට පත්වෙලා තියෙනවා නම්, පාසල් දරුවන්ගේ
ස්ථුලතාවයට ප්‍රධාන හේතුව පාන් පිටි නම් දැන් මොකද කරන්න ඕනේ?
ඔබ දන්නවා පාන්
පිටි කනවා, දියවැඩියාව හැදෙනවා.
පාන් පිටිත් එවනවා, ඒකට ඕන බෙහෙතත්
එවනවා ඇමරිකාව. මේක චක්‍රයක්. පාන් පිටි කනවා, ලෙඩ හැදෙනවා, ඒකට බෙහෙත් බොනවා. එන්න එන්න බෙහෙත් වැඩි වෙනවා. මේ චක්‍රයෙන් මේ රටේ ජනතාව
ගලවන්නම ඕනා. ඒ හින්දා පාන් පිටි අධෛර්යවත් කරන මැදිහත්වීමක් දැන් කරන්න ඕනා. ඒකට කාලය
ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි දන්නවා රෝල් එකක් රුපියල් 100යි, බනිස් එකක් රුපියල්
100යි, මාළු බනිස් එකක් රුපියල් 100යි. අට දෙනෙකුට කන්න පුළුවන් හාල් කිලෝ එකක්
කීයද? එතකොට ගොවියා රැකෙයිද?
ඒ හින්දා ගොවියා රැකෙන්නේ නෑ එහෙම වුණාම. පාන්
පිටි අධෛර්යවත් කරන ගමන් මේ රෝග වලින් ජනයා ගලවන ගමන් හාල් පිටි ප්‍රවර්ධනය කරන,
හාල් ප්‍රවර්ධනය කරන වැඩපිළිවෙලක් ආණ්ඩුව මැදිහත්
වෙලා කරන්න ඕන. මෙන්න මේ මූලධර්ම පහ වහ වහා ක්‍රියාත්මක කළොත් ඊළඟ අවුරුද්දේ මහ කන්නය
එනකොට ගොවි ජනතාව මේ අස්වැන්න කරුමයක් වෙලා තියෙන යථාර්ථයෙන් ගලවා ගන්න පුළුවන්.
එහෙම නැතුව අස්වනු
නෙලන කාලෙට පිටරටින් හාල් ආනයනය කරලා ඒකේ කොමිස් බලාගෙන, වසන්ත සමරසිංහලා කොමිස් බලාගෙන ඒක වෙළඳපොළට දාලා හාල් මිල
වට්ටලා වී මිල උස්සන්න බැහැ. හාල් වලට හරි මිලක්, ගොවියාත් රැකෙන පාරිභෝගිකයාත් රැකෙන මිලක් තිබුණොත් තමයි
ගොවියා රැකෙන්නේ. ඒ නිසා අපි මේ රටේ ගොවි ජන්තාවටත් ඉල්ලනවා, මේ රටේ ආණ්ඩුවෙන් වහ වහා ඉල්ලනවා මේ ගොවි ජනතාව
දශක ගානක ඉඳන් අස්වැන්න කරුමයක් බවට පත් කරගත්තු කාලකන්නි තත්ත්වයෙන් ඔවුන් වහ වහා
ගලවන්න ඕන කියලා.
ඔවුන් ලියැද්දෙන්
ගොඩ වුණොත්, වී වගාව අතහැරියොත්
රටට මොකක්ද වෙන්නේ? අපේ ප්‍රධාන ආහාරය
පවා අහිමි වෙච්ච, ආහාර සුරක්ෂිතතාවය
නැති බංග වෙච්ච රටක් බවට අපි පත්වෙනවා. ඉතින් ඒ නිසා මේ ගොවි ජනතාව රැකීම ආණ්ඩුවෙත්
ඒ වගේම සමාජයෙත් ප්‍රමුඛතම කාර්යය. ගොවියා ආරක්ෂා කළොත් විතරයි රටේ ස්වෛරීත්වය,
ස්වාධීනත්වය සියල්ල රැකෙන්නේ. ඒ නිසා ගොවියා
කියන්නේ ස්වෛරීත්වයේ සාධකයක්, නිදහසේ සාධකයක්,
ස්වාධීනත්වයේ සාධකයක්.
දැන් මේ ගොවියා
රැකීම ආණ්ඩුවේ පැහැර හරිය නොහැකි වගකීමක්. ගොවි ජනතාව රැකීම සඳහා වහාම විශේෂයෙන් වී
වලට සාධාරණ මිලක් ලැබෙන පරිදි අවශ්‍ය ප්‍රතිසංස්කරණ වහ වහා කළ යුතුයි කියලා අපි ජාතික
නිදහස් පෙරමුණ හැටියට ඉතා ඕනෑකමින්, අවධාරණයෙන් ඉල්ලා සිටිනවා.
ඒ සඳහා වන මැදිහත්වීමේදී
ගොවි ජනතාවත් එක්ක එකට එකතු වෙලා අස්වැන්නට සාධාරණ මිලක් ලබා ගැනීම සඳහා වන ඕනෑම මැදිහත්වීමකට
අපි හෙට දවසේ ඉඳන් මැදිහත් වෙන්නත් බලාපොරොත්තු වෙනවා.
මෙම සාකච්ඡාව අවසානයේ මාධ්‍යවෙදීන් ප්‍රශ්න කිහිපයක්ද මතු කළේ මෙසේය.
මාධ්‍යවේදීන්:
පසුගිය රජයේ කර්මාන්ත
අමාත්‍ය ධුරය දැරූ කාලයේදී මේ යෝජනා ඉදිරිපත් කිරීමට ඔබට නොහැකි වූයේ මන්ද?
නැතහොත් එහිදී
සැබවින්ම සිදු වූයේ කුමක්ද?
පිළිතුර: අපි ඒ
කාලයේදීත් විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ කර්මාන්ත අමාත්‍යාංශය හරහා සහ කැබිනට් මණ්ඩලය
තුළ මේ වෙනුවෙන් අඛණ්ඩව අරගල කළා. එම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ
රජය සමයේ මෙරට නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ 1482ක් ආනයනය කිරීම සීමා කළේ. ඒ හේතුවෙන් තමයි කහ කිලෝවක මිල
රුපියල් 4500 දක්වා ඉහළ ගියේ.
එම අවස්ථාවේදී ජනතාව අපට දෝෂාරෝපණය කළත්, එහි අවසන් ප්‍රතිඵලය වූයේ අපේ රටේ ගොවි ජනතාව කහ වගාවට යොමුවීමයි.
අපි එදත් අදත්, කුමන රජයක සිටියත්
ගොවි ජනතාවගේ ප්‍රශ්න රටේ පාලකයන්ගේ ප්‍රමුඛතම කාර්යය බවට පත් කිරීමට මැදිහත් වුණා.
ඇතැම් අවස්ථාවලදී අපට රජයන්ගෙන් ඉවත් වීමට පවා සිදු වූයේ මෙවැනි ප්‍රතිපත්තිමය කරුණු
නිසයි.
මාධ්‍යවේදීන්:
ඔබතුමන්ලා පසුගිය
දිනවල සුගීශ්වර බණ්ඩාර මහතා වෙනුවෙන් සත්‍යග්‍රහයක් සංවිධානය කළා. දැන් එම සටන අවසන්
කර තිබේද?
පිළිතුර: නැහැ,
එම සත්‍යග්‍රහය යනු රජයේ අයුක්තිසහගත මැදිහත්වීමට
එරෙහිව අප දියත් කළ සටනේ එක් පියවරක් පමණයි. අපි එය සිදු කළේ රණවිරු දඩයමට විරුද්ධවයි.
එම සත්‍යග්‍රහයේ ප්‍රතිඵලයක් ලෙස තමයි රජය විසින් සුගීශ්වර මහතාව ජාතික රෝහල වෙත ඇතුළත්
කිරීමට පියවර ගත්තේ. අපි මේ වන විට අපගේ ඊළඟ පියවර පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනවා.
ඩයස්පෝරාවේ උවමනාවන් වෙනුවෙන් රණවිරුවන් බිලිදීමට එරෙහිව අප නොබියව පෙනී සිටිනවා.
මාධ්‍යවේදීන්:
කොතරම් උද්ඝෝෂණ
කළත් අස්වනු නෙළන තෙක් වී මිලදී ගත නොහැකි බව ලාල් කාන්ත මහතා පවසනවා. ඒ පිළිබඳ ඔබේ
අදහස කුමක්ද?
පිළිතුර: ලාල්
කාන්ත මහතා වර්තමානයේ කටයුතු කරන්නේ ගොවි ජනතාව මහා කරදරකාරී පිරිසක් ලෙස සලකමින්.
"රටට එක හාල් ඇටයක්වත් ආනයනය කරන්නේ නැහැ" යන පොරොන්දුව පිට බලයට පත් වූ
රජය, දැන් ගොවියන්ට තර්ජනය කරමින්
සිටිනවා. ලාල් කාන්ත මහතාට අවංක හෘද සාක්ෂියක් තිබේ නම්, ඔහු තර්ජනය කළ යුත්තේ ගොවියන්ට නොව තමන්ගේම සහෝදර අමාත්‍යවරයකු
වන වසන්ත සමරසිංහ මහතාටයි. නිර්ධන පන්තියේ නියෝජිතයන් ලෙස පෙනී සිටි ලාල් කාන්තලා වැනි
අය අතින් අද ගොවි ජනතාව මීහරකුන්, ගොන්නු සහ මෝඩයන් බවට පත්වෙමින් තිබෙනවා. ඔවුන්ට ඒ පිළිබඳ කිසිදු ලැජ්ජාවක්
හෝ බියක් නැහැ.
මාධ්‍යවේදීන්:
"ගොවියන් පව්"
කියා ඩඩ්ලි සිරිසේන මහතා පවසා තිබෙනවා. ඒ ගැන කුමක් සිතෙන්නේද?
පිළිතුර: අන්න
ඒකයි, අවසානයේ ඩඩ්ලිගේ හෘද සාක්ෂිය
හෝ අවදි වී තිබෙනවා ගොවියන් "පව්" කියා පවසන්න. ඩඩ්ලි පවසන්නේ වී කිලෝවක
මිල අවම වශයෙන් රුපියල් 150ක්වත් විය යුතු
බවයි. නමුත් ලාල් කාන්ත මහතා පවසන්නේ උද්ඝෝෂණ සියයක් කළත් අස්වනු නෙළන තෙක් වී මිලදී
නොගන්නා බවයි. ඒ අනුව බලන කල ලාල් කාන්තලා තමන්ගේ හෘද සාක්ෂිය මේ වන විටත් උකස් කර
අවසානයි.
මාධ්‍යවේදීන්:
තෙල් මිල සහ ජනතාවට
දිය යුතු අනෙකුත් සහන පිළිබඳ ඔබේ ස්ථාවරය කුමක්ද?
පිළිතුර: ඉන්ධන
මිල වහාම අඩු කළ යුතුයි. ලෝක වෙළඳපොළේ මිල පහළ යද්දී එහි වාසිය ජනතාවට ලබා නොදී,
රජය කරන්නේ ජනතාව ගසාකෑමයි. ඔවුන් සූදානම් වන්නේ
ගල්අඟුරු වංචාවේ බරද ජනතාව මත පැටවීමටයි. වසර 77ක මෙරට ඉතිහාසය තුළ මෙවැනි චෞර රජයක් බිහි වී නැහැ. එබැවින්
පෙර පැවති අඩු මිලටම ජනතාවට ඉන්ධන ලබා දෙන ලෙස අප බලකර සිටිනවා.
මාධ්‍යවේදීන්:
අවසාන වශයෙන්,
ඔබතුමන්ලා සුගීශ්වර
බණ්ඩාර මහතාගේ සුවදුක් බැලීමට ගියේද?
පිළිතුර: නැහැ,
අපට සුගීශ්වර බණ්ඩාර මහතාව බැලීමට යාමට අවස්ථාවක්
ලැබුණේ නැහැ. නමුත් අපි අවධාරණය කරන්නේ දේශපාලන නායකයෙකු වරදක් කර තිබේ නම්,
ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට ශිෂ්ඨ සම්පන්න
ක්‍රමවේදයක් තිබිය යුතු බවයි. මෙම රජය සිදු කරන්නේ ජනතාව බිය ගන්වමින් මහා භීෂණයක්
පැතිරවීමයි. විපක්ෂ බලවේග මර්දනය කිරීම සඳහා පාවිච්චි කරන මෙම නිරවි භීෂණය අප පිළිකුලෙන්
යුතුව හෙළා දකිනවා.