News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියානු උපාය මාර්ගික සැලසුම ඉදිරියට!

Jun 20, 2026 at 02:27 PM
|

ඉන්දු-ලංකා ගිවිසුමට සමාන්තරව දෙරටේ භූමිය එකිනෙකට එරෙහිව යොදා නොගැනීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර 1987 ජුලි මාසයේ 29 දින එකඟතාවයක් ඇතිවිය. මූලික වශයෙන් ආරක්ෂාව පිළිබඳව ඇතිකර ගත් එම එකඟතාවයට අනුව ත්‍රිකුණාමලයේ වරාය ඇතුළු අනෙකුත් වරායන් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කිසිදු විදේශීය රටකට යොදා ගැනීමට ඉඩ නොදීමට ශ්‍රී ලංකාව පොරොන්දු විය. එම ලිඛිත ගිවිසුමේ සඳහන් ප්‍රධානතම කරුණක් වූයේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීය-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමයි. 

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය ගාන්ධි අතර ඇති කර ගත් 1987 ගිවිසුම අද වනවිට විශාල වපසරියක් ඇති ක්‍රියාදාමයක් බවට පත්වී ඇත. ඒ 2003 LIOC ගිවිසුම, 2017 අවබෝධතා ගිවිසුම, 2022 ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සහ 2024 ජාජබ ආණ්ඩුව සහ ඉන්දියාව අතර 2024/2025 ඇතිවූ එකඟතා හරහාය. කොළඹ නැව් තටාකාංගනය ඉන්දීය ආරක්ෂක അමාත්‍යාංශයට අනුබද්ධිත සමාගමක් විසින් 2025 දී තම පාලනයට ගැනීම ඒ සමස්ත ක්‍රියාවලිය තුළ (උපාය මාර්ගික සැලසුම) විමසා බැලිය යුතුය. දැනට කොටස් 51% හිමි ඉන්දියාව වැඩි කලක් නොගොස් තම ගොඩ වැඩි කර ගනු ඇත. 

ඉන්දීය-ශ්‍රී ලංකා සම්බන්ධතා සහ ඉන්දීය උපාය මාර්ගික සැලසුම සාකච්ඡා කිරීමේදී මෙම කලාපයේ ඇමරිකානු භූමිකාව, චීනයට එරෙහි ඇමරිකානු-ඉන්දීය ව්‍යාපෘතිය සහ ද්වීපාර්ශ්වික ශ්‍රී ලංකා - චීන සම්බන්ධතා නොසලකා සාකච්ඡා කළ නොහැක. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2024 ජනවාරි 1 දින වසරකට විදේශීය පර්යේෂණ යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කිරීම තවමත් ක්‍රියාත්මකයි. ඒ තීරණය ඇමරිකාවේ සහ ඉන්දියාවේ බලපෑම අනුව ප්‍රකාශයට පත් කළේය. වසරකට පැනවූ තහනම ඊට මාස 16 කට පසුවත් ක්‍රියාත්මක වීම අවධාරණය කරන අවාසනාවන්ත තත්ත්වය තේරුම් ගැනීම අපහසු නැත.

ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය හමුදා සහ වෛද්‍ය උපකරණ තොගයක් නිල වශයෙන් භාරදීම ජූනි 16 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදුවිය. ඊට ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජ්හා සහභාගි විය. එම අවස්ථාව සුවිශේෂී විය. ඒ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව මෑතකදී කළ හදිසි ඉල්ලීමකට අනුව එම උපකරණ තොගය නොමිලේ යුද හමුදාවට ලබා දුන් බැවිනි. එම උපකරණ එක්සත් ජාතීන්ගේ මෙහෙයුමකට එක්වීමට නියමිත යුද හමුදා කණ්ඩායමක අවශ්‍යතාවයන් සපුරාලීමටය. ඒ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදන යුද උපකරණ තොගය සම්බන්ධයෙන් කිසිදු විස්තරයක් සැපයුවේ නැත. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය විසින් කැරිබියන් හි පිහිටි හයිටි හි සන්නද්ධ කල්ලි මර්ධනය කිරීමට පසුගිය වසරේ සැප්තැම්බර්යේ තීරණය කළේය. නුදුරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත එම මෙහෙයුමට ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වීමට අවස්ථාවක් ලැබී ඇත. එම මෙහෙයුම අනතුරුදායකය. නමුත් ත්‍රස්තවාදය පරාජය කළ ආරක්ෂක හමුදාවට සහ ශ්‍රී ලංකාවට ආඩම්බර විය හැකි අවස්ථාවකි. හයිටි මෙහෙයුමට දායකත්වය දැක්වීමට ශ්‍රී ලංකාව එකඟවූ නමුත් ඊට අවශ්‍ය දේවල් සපයා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකිය. ප්‍රශ්නය ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බව අමුතුවෙන් කිවයුතු නැත. 

අර්බුදකාරී ආර්ථික තත්ත්වය තුළ ආරක්ෂක හමුදාවල අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වයට නොදීම පිළිබඳව පුදුම විය යුතු නැත. හයිටි යෑමට නියමිත හමුදා කණ්ඩායමේ අවශ්‍යතා වහාම සපුරාලීමට ඉන්දියාවේ පිහිට පැතීම හැර වෙන විකල්පයක් ශ්‍රී ලංකාවට තිබුණේ නැත. නරේන්ද්‍ර මෝදිගේ ඉන්දියාව දෙවරක් සිතුවේ නැත. ඉන්දීය හමුදා අවශ්‍යතා සඳහා තිබූ එම උපකරණ ශ්‍රී ලංකාවට ලබාදීමට වහාම කටයුතු කළේය. පොරොන්දු වූ පරිදි අදාළ උපකරණ ඉන්දීය නාවික හමුදාව විසින් පසුගිය 10 වන දින කොළඹ වරායට ගෙන ඒම සිදුවිය. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සැලකිය යුතු කාලයක සිට එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්වලට සහභාගි වන අතර මීට පෙර මේ ආකාරයේ ඉල්ලීමක් ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් කර නැත. ඉන්දියාව කළ ක්ෂණික මැදිහත්වීම නොවන්නට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට නියමිත පරිදි පිටත්වීමට ලැබෙන්නේ නැත.

සිව්වන ඊළාම් යුද්ධය (අගෝස්තු 2006 සිට මැයි 2009) කාලයේදී පවා පාබල හමුදා බලඇණියක් හයිටි හි ස්ථානගත කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිය. ඒ 2004 සිට 2010 කාලයේදීය. පළමු වරට 1957 දී සුවස් යුද්ධයේදී ස්ථාපිත කළ එක්සත් ජාතීන්ගේ මෙහෙයුමකට දායකත්වය දැක්වූ ශ්‍රී ලංකාව 1960 දී කොංගෝවට කුඩා හමුදා කණ්ඩායමක් යැවීය. ඊට පසුව එක්සත් ජාතීන්ගේ මෙහෙයුමකට දායකත්වය දැක්වීමට 2004 වනතුරු අවස්ථාව ශ්‍රී ලංකාවට උදා වූයේ නැත. 

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට අනුව ඔවුන් කළ මැදිහත් වීම සුළුපටු නැත. නොමිලේ ලබා දුන් සමස්ත උපකරණ තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන (ඇ.ඩො.මි) 5.5 කි. ඉන්දීය ආධාරය මහා භාණ්ඩාගාරයේ වගකීම් විරහිත ක්‍රියාකලාපය තුළ මෑතකදී ශ්‍රී ලංකාවට අහිමි කළ ඇ.ඩො.මි. 2.5 මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. මහා භාණ්ඩාගාරය රටට අහිමි කළ මුදල රුපියල්වලින් කෝටි 100ක පමණකි. නැතහොත් ආසන්න වශයෙන් රුපියල් බිලියනයකි. අප විසින් නැතිකරගත් මුදල සහ ඉන්දීය ආධාරය සංසන්දනය කළ විට ශ්‍රී ලංකාව පත්වී ඇති අතිශය අර්බුදකාරී ආර්ථික තත්ත්වය තේරුම්ගත හැකිය. 

මහා භාණ්ඩාගාරය විසින් විදේශීය ණය සැපයුම්කරුවෙකුට ගෙවීමට නියමිත ඇ.ඩොමි 2.5 මුදලක් වංචනිකයන් පිරිසකට පූජා කිරීම හේතුවෙන් දැඩි ඩොලර් හිඟයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට අදාළ මුදල නැවත ගෙවීමට සිදුවේ. ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ දැඩි අවදානම් කලාපයකය. ආර්ථික අර්බුදයකින් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අතිශය තීරණාත්මක සමයකය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහනෙහි කොන්දේසියක් මත, මෙතෙක් කල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ රජයේ ණය කළමනාකරණය කිරීමේ කටයුතු මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවන ලද නව ආයතනයක් වන "රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය" (PDMO) වෙත පැවරීම මෑතකදී සිදු විය. 

මෙම අපරාධය රටට හෙළිදරව් කළ ෆ්‍රී ලෝයර්ස් (Free Lawyers) ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් "ණය කළමනාකරණය" යනු සරලවම රජය විසින් ලබා ගෙන ඇති විදේශ සහ දේශීය ණය නිසි කලට, නිවැරදි පාර්ශවයන් වෙත ආපසු ගෙවීමේ සහ ඒවායේ වාර්තා පවත්වා ගෙන යෑමේ ක්‍රියාවලියයි. "මෙම රාජකාරිය මහ බැංකුවෙන් භාණ්ඩාගාරයට මාරු වන සංක්‍රාන්ති සමයේදී නිසි පාලන ක්‍රමවේද අනුගමනය නොකිරීම සහ ආයතන දෙක අතර ඇති වූ ගැටුම් හේතුවෙන්, ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 100 කට ආසන්න) අතිවිශාල මහජන මුදලක් වංචනිකයන් විසින් වෙනත් විදෙස් ගිණුම් වෙත හරවා ගෙන ඇත. මෙය හුදෙක් තාක්ෂණික දෝෂයක් නොව, පාලන තන්ත්‍රයේ ඇති බරපතළ අඩුපාඩුවල සෘජු ප්‍රතිඵලයකි. එක් නිලධාරියෙකුගේ ජීවිතය පවා අහිමි කළ මෙම ඛේදවාචකය මූල්‍ය පාඩුවකට පමණක් සීමා වූවක් නොවේ." 

ශ්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතාවය සපුරාලීම පිළිබඳව ඉන්දියාවට ස්තුතිවන්ත විය යුතුය. ශ්‍රී ලංකාව කළ හදිසි ඉල්ලීමට ඉන්දියාවේ ප්‍රතිචාරය තේරුම් ගැනීම අපහසු නැත. එය සමස්ත ඉන්දීය උපාය මාර්ගික ව්‍යාපෘතියේ කොටසකි. ශ්‍රී ලංකාව තව දුරටත් එම ව්‍යාපෘතිය තුළ කිසිදා ගැලවිය නොහැකි ලෙස සිරවෙමින් සිටී. ඇත්ත වශයෙන්ම රට අසරණයි. අන්ත අසරණයි. ආර්ථිකය සංවේදියි. අතිශය සංවේදියි. බොරු සංදර්ශනවල යෙදීම තේරුමක් නැත. ආර්ථිකය අර්බුදකාරී තත්ත්වයකය. එම තත්ත්වය තවදුරටත් පිරිහෙමින් පවතියි. 

කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහි යුද්ධය පසුගියදා අවසන් කිරීම ශ්‍රී ලංකාවට සැලකිය යුතු සහනයකි. බොරතෙල් සහ ගෑස් දරා ගත හැකි මිලකට ලබා ගැනීමට හැකිවීම තුළ සමස්ත ආර්ථිකයටම හුස්ම ගැනීමට හැකිවීම සතුටට කරුණකි. නමුත් ඇමරිකා - ඉරාන් යුද්ධය අවසන් වීමට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාජබ ආණ්ඩුවට දැඩි අනතුරු ඇඟවීමක් කළේය. හිටපු ජනාධිපතිවරයා පසුගියදා තම මල් පාරේ කාර්යාලයේදී පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට කළ ප්‍රකාශය දේශපාලනිකයි, භයානකයි. එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක වික්‍රමසිංහ කළ ප්‍රකාශය මෙලෙස සඳහන් කර තිබිණි: "අද රටේ භාරදූර තත්ත්වයක් උද්ගතවී තිබෙනවා. එවැනි අවස්ථාවක අප කොහොමද ක්‍රියාකළ යුත්තේ ආණ්ඩුව හැම පැත්තෙන්ම හිරවෙලා. එක පැත්තකින් ආර්ථිකය වැටෙනවා. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්න යන ආකාරය තව ටික කලක් ගියාම පෙනේවි."

ආර්ථිකය අර්බුදයක බව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ තේරුම්ගත යුතුය. බටහිර ආසියාවේ යුද්ධය අවසන් වූ පමණින් සියලු අර්බුද අතුරුදන් වන්නේ නැත. ඇමරිකානු-ඉන්දීය මැදිහත්වීම තුළ 2022 සිදු කළ රාජ්‍ය තන්ත්‍ර පෙරළියෙන් පසුව නැවතත් අර්බුදකාරී තත්ත්වයකට වසර 5 ක් යෑමට පෙර තල්ලුවීම ඛේදවාචකයකි. නමුත් ජාජබ ආණ්ඩුව තවමත් අනුණ සහ අහංකාර ලෙස කටයුතු කරයි. තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළෙහි සිටින ශ්‍රී ලංකාව 2026 වසරේ ජනවාරි -මාර්තු කාලය තුළ වාහන ආනයනයට පමණක් ඇමරිකානු ඩොලර් මිලියන (ඇ.ඩො.මි) 600 ක් පමණ වැය කිරීම අසමසම ඛේදවාචකයක් නොවේද?

පසුගිය වසරේ වාහන ආනයනයට වැය කළ මුදල ඇ.ඩො.මි ඩොලර් බිලියන දෙකකි. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෑතකදී වාහන ආනයනය පිළිබඳව අනතුරු ඇඟවීමක් කළේය. මේ ආකාරයට 2026 ඉතිරි කාර්තුව තුනේ වාහන ආනයනය සිදු කළහොත් මේ වසරේ වැයවන මුදල ඇ.ඩො. බිලියන 2.4ක් වන බව ප්‍රකාශ කළේය. කවුරු වාහන ආනයනය කළත් වැයවන්නේ රටේ මුදල් සංචිතය. වාහන ආනයනයට එක් කාර්තුවකට ඇ.ඩො.මි 600 ක් වැය කළ රටකට යුද හමුදාවේ අවශ්‍යතාවයන් සපුරාලීමට නොහැකි වීම පුදුමාකාර තත්ත්වයකි. රටේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා නිවැරදිව හඳුනා ගත යුතුය. ඒ අනුව ක්‍රියාකළ යුතුය. 

ඉන්දියාව කළ ඇ.ඩො.මි 2.5 ක මැදිහත්වීම රටේ ආර්ථිකය මෙහෙයවන දේශපාලන - ඉහළ නිලධාරී කණ්ඩායමේ අවධානයට යොමු විය යුතුය. කෝටි ප්‍රකෝටි ගණන් මුදල් කාබාසිනියා කරන රටකට යුද හමුදාවේ අවශ්‍යතා සපුරාලීමට නොහැකිවීම තේරුම්ගත නොහැකිය. එම අසමත්කම අවධාරණය කරන සත්‍යය තේරුම් නොගැනීම නැතහොත් නොසලකා හැරීම ද්‍රෝහී හැසිරීමකි. පසුගිය වසරේ ක්‍රියාත්මක කළ ආන්දෝලනාත්මක ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය හේතුවෙන් සමස්ත ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවිය. விදේශීය ආයෝජන අවශ්‍යයි. විදේශීය රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජන එක එක රටවල් සමස්ත දිගුකාලීන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට ක්‍රියාත්මක වන උපාය- මාර්ගික සැලසුම් ලෙස නොසලකා කටයුතු කිරීම අනතුරුදායකය. ණයක් ලෙස ලබා නොගත්තත් සෑම නොමිලේ ලැබෙන දේකටම මිලක් ඇත; කවදා හෝ "ගෙවීමක්" කිරීමට සිදුවේ. 

අපේ රටේ අවාසනාවකට කවුරු බලයේ සිටියත් භූමියේ තත්ත්වය වෙනසක් නැත; අප රටේ ආර්ථිකය කඩා වැටීම තුළ විදේශීය බලපෑම් තීව්‍ර වී ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩු සමයේ එම රජයේ ඉල්ලීම මත ඉන්දියාව කළ මැදිහත්වීම අද කාටත් අමතකයි. එම තත්ත්වය අප රට සම්පූර්ණයෙන්ම ඉන්දීය බලපෑම්වලට විවෘත කළ අතර එම තත්ත්වය නොසලකා ඉන්දීය උපාය-මාර්ගික සැලසුම් කිසිසේත්ම සාකච්ඡා කළ නොහැක. ඉන්දීය මෙහෙයුම නව වටයකින් ආරම්භ වූයේ 2021 දෙසැම්බර් මාසයේ මුල් සතියේ බැසිල් රාජපක්ෂ නව දිල්ලියේ කළ සංචාරයෙන් පසුය. 

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් දෙසැම්බර් 3, 2021 නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකට අනුව ශ්‍රී ලංකාව මුහුණ දෙන අතිශය තීරණාත්මක සහ අභියෝගාත්මක තත්ත්වයට මුහුණ දීමට අංශ හතරක් ඔස්සේ එකඟතාවයන් ඇතිකර ගැනීමට සාකච්ඡා කළ බව සඳහන් කර ඇත. (I) බෙහෙත් සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉන්දියාවෙන් මිලදී ගැනීම සඳහා ණය මාර්ගයක් (II) ඉන්ධන මිලදී ගැනීමට ණය මාර්ගයක් සහ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නවීකරණය (III) ගෙවුම් ශේෂ ගැටලු විසඳීමට ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා මුදල් හුවමාරුවක් පිරිනැමීම සහ (IV) ඉන්දීය ආයෝජන. එතැන් සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා (2022 ජූලි දක්වා), නිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා (2022 ජූලි සිට 2024 සැප්තැම්බර්) සහ අනුර කුමාර ජනාධිපතිවරයා (2024 සැප්තැම්බර් සිට) ඉන්දීය උපාය - මාර්ගික සැලැස්ම තුළ කටයුතු කර ඇත.  

පාස්කු ප්‍රහාරය සිදුවූ 2019 සිට ජනාධිපතිවරණ දෙකක් පැවැත්වූ අතර ජනාධිපතිවරු තිදෙනෙක් පත්වී ඇත; අනුර කුමාර දිසානායක තුන්වැන්නාය. තීරණාත්මක 2014 මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය ධුරය ලබා ගත් නරේන්ද්‍ර මෝදි තවදුරටත් තම පාලනය ශක්තිමත් කර ගනිමින් සිටී. ඉන්දීය උපාය -මාර්ගික සැලැස්ම තුළ 2025 අප්‍රේල් කොළඹදී අත්සන් කළ අවබෝධතා ගිවිසුම් හතක් හරහා ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ඒකාබද්ධ වී ඇත. අපේක්ෂිත ලෙස අත්සන් කළ ආරක්ෂාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ද ඊට අයත් වූ අතර එම ගිවිසුම අමතක කර පසුගියදා ශ්‍රී ලංකා යුද හමුදාවට ලබාදුන් ඇ.ඩො.මි 5.5 වටිනා උපකරණ තොගය පිළිබඳව සාකච්ඡා කළ නොහැක. ඊට දින දහයකට පමණ පෙර ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් "සුරක්ෂා" යාත්‍රාවට අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් නොමිලේ ලැබිණි. වත්මන් දේශපාලන තත්ත්වය කුමක් වුවත් ශ්‍රී ලංකා-ඉන්දීය සම්බන්ධතා 2025 අප්‍රේල් කොළඹදී අත්සන් කළ අවබෝධතා ගිවිසුම් හත මත සෘජුව රඳා පවතී. 

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය දැරූ 2001-2003 සමයේදී ඉන්දියාව සමඟ ආරක්ෂක ගිවිසුමක් පිළිබඳව යම් කතාබහක් ඇතිවිය. එකල වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු වූ මිලින්ද මොරගොඩ ඊට සැලකිය යුතු දායකත්වයක් දැරීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ කණ්ඩායමේ යම් පුද්ගලයන්ගේ විරෝධතා නොතකා මොරගොඩ 2019 බල පෙරළියෙන් පසුව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කළේය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2021 දෙසැම්බර් මාසයේ නව දිල්ලියේදී ඇතිකරගත් ගිවිසුමට මොරගොඩ සැලකිය යුතු දායකත්වයක් කළේය. 

මෝදි අග්‍රාමාත්‍යවරයා විසින් 2024 දෙසැම්බර් මාසයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා නවදිල්ලියේ කළ ඔහුගේ පළමුවන නිල සංචාරයේදී ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව හෙළිදරව් කළේය. දෙරටේ නායකයන්ගේ නිල සාකච්ඡාවලින් පසුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ ආරක්ෂක ගිවිසුමක් පිළිබඳව සඳහන් නොවිය. නමුත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද මෝදි අග්‍රාමාත්‍යවරයා විසින් හින්දි භාෂාවෙන් කරන ලද කතාවේ ඉංග්‍රීසි පරිවර්තනය ආරක්ෂක ගිවිසුම පිළිබඳව හෙළිදරව් කර තිබිණි. ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවද එම ගිවිසුම් මුළුමනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නොදකී. එම ගිවිසුම් පිළිබඳව වග කීමක් ඇති පුද්ගලයන් ද්වීපාර්ශ්වික/බහුපාර්ශ්වික ගිවිසුම් සියල්ල කුමන පාර්ශ්ව අතර ඇතිකර ගනු ලැබුවත් මොනයම්ම තත්ත්වයක් යටතේදිවත් සම්පූර්ණයෙන් ජනතාව ඉදිරියේ තැබිය නොහැකි බවයි. එම දැනුවත් කිරීම වැදගත්ය. 

ජාජබ ආණ්ඩුව 2025 අප්‍රේල් කොළඹදී අත්සන් කළ අවබෝධතා ගිවිසුම් හත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැත. ඒ පිළිබඳව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ස්ථාවරය සක්සුදක්සේ පැහැදිලිය. ජාජබ ආණ්ඩුව සමඟ ඉදිරියට යෑමට ඉන්දියාව සූදානම්ය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත තත්ත්වය මෙරට ක්‍රියාත්මක ඉන්දීය උපාය මාර්ගික සැලසුමට පහසුකම් සලසයි. මෙතුවක් කල් ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාදාමයට එරෙහිව 1987 දී අවි ගත් සහ ඊට පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත දැඩි ලෙස විරෝධය පළ කළ ජවිපෙ අද ජාජබ යේ ප්‍රධාන පක්ෂය ලෙස ඉන්දියාව සමඟ සම්මුතියකට එළඹී ඇත. 

මෙම ලියුම්කරු දකින ආකාරයට ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විරුද්ධ වීමට හෝ අවම වශයෙන් විකල්ප ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුව තුළ කිසිදු පක්ෂයකට නොහැකිය. කවුරු කවුරුත් එකම මාර්ගයේය. පාර්ලිමේන්තුවේ ආසන 225 න් 159ක් හිමි ජාජබ ඉන්දියාව සමඟ අනුගමනය කරන ක්‍රියාමාර්ගයට හිටපු ජනාධිපති වික්‍රමසිංහ මෙහෙයවන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයට විරුද්ධ වීමට හේතුවක් නැත. වික්‍රමසිංහ මෑතකදී නැවතත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගොඩබිම් මාර්ගයක් ඔස්සේ සම්බන්ධ විය යුතු බවට ප්‍රකාශ කළේය. වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කණ්ඩායම 5 දෙනෙකි. නමුත් ඊට තවත් කණ්ඩායම් ගණනාවක් එකතු වී ඇත.

ප්‍රධාන විපක්ෂය වන සජබ ද ඉන්දියාව සමඟය. නාමල් රාජපක්ෂ නායකත්වය දෙන පොහොට්ටු පක්ෂයට දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළට කිසිසේත්ම විරුද්ධ විය නොහැකිය. ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකළ ඉන්දියාව සහ ඇමරිකාවේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කළ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමට පෙර පොහොට්ටු පක්ෂය ඉන්දියාව සමඟ 2021 දෙසැම්බරයේ ඇතිකර ගත් ගිවිසුම නොසලකා වෙනත් ස්ථාවරයක් ගැනීමට එම පක්ෂයට නොහැකිය. ඉන්දියාව සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ස්ථාවරය පිළිබඳව කීමට අවශ්‍ය නැත. ශ්‍රී ලංකාව එක මිටට ඉන්දියාව ගෙන ඇත. භූමියේ තත්ත්වය එයයි.

  • ෂමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ 

    (2026 ජුනි මස 21 වැනි ඉරිදා දිවයින පුවත් පත)  

සම්බන්ධිත පුවත් | Related News

බ්‍රිතාන්‍ය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය දේශපාලනය සහ අධිකරණ පද්ධති පිළිබඳ දිගුකාලීන නිරීක්ෂකයෙකු වෙමින්, එම ක්ෂේත්‍ර දෙක අතර විටින් විට දක්නට ලැබෙන විකෘති අන්තර්ක්‍රියා පිළිබඳවද අවධානයෙන් සිටි අයෙකු ලෙස, 2011 අප්‍රේල් මාසයේදී ග්‍රීක රජයේ බැඳුම්කරවල සිදුකළ ආයෝජනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකුට එරෙහිව අපරාධමය “දූෂණ” චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහාධිකරණ “ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක්” (Trial-at-Bar) පත් කර තිබීම මා පුදුමයට පත් කළේය.
2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයෙන් උසස් පෙළට සිසුන් 225,748 සුසුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි සඳහන් කළේය.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා ඉකුත් දා කටුනායක ගුවන් තොටුපොළෙන් අලුයම පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානයකට අකුණු පහරක් වැදී තිබූ සිදුවීම මේ වන විට සසමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්වූ මාතෘකාවක් වී තිබේ.
"මම ඊශ්‍රායල රජයේ කැබිනට් මණ්ඩලයේ සිටියා නම්, මට මුළු ලෝකයෙන් ම ඉතිරි වෙලා ඉන්න බලවත් ම සගයාට පහර ගහන්න යන්නේ නෑ... පසුගිය මාස තුන තුළ ඔබේ රට බේරාගත්ත අවිවලින් තුනෙන් දෙකක් ම ඇමෙරිකාවේ නිෂ්පාදනය කරපු ඒවා වගේ ම, ඒවාට මුදල් වියදම් කරලා තියෙන්නේ ඇමෙරිකාවේ බදු ගෙවන ජනතාව."
ලන්ඩන් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි ‘කැපිටල් මෙටල්ස්’ (Capital Metals PLC) සමාගම විසින් දේශීය සමාගම් කිහිපයක් හා එක්ව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මහා පරිමාණ බර ඛනිජ වැලි (Heavy Mineral Sands) කැණීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ල වෙමින් පවතී.
2025 වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.
මියන්මාර සහ තායිලන්ත දේශසීමා ආශ්‍රිතව ක්‍රියාත්මක වූ චීන ජාතිකයන් මෙහෙයවූ "ඔන්ලයින්" මූල්‍ය වංචා සහ විදුලි සංදේශ ජාලයන් මැඩලීමට චීන රජය දැඩි පියවර ගැනීමත් සමඟ, එම වංචාකරුවන් ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් මතුව ඇතැයි කරුණු වාර්තා වන අතර, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ මෙම වංචාවන් සඳහා චීන ජාතිකයන් පමණක් වගකිව යුතු බවට සමාජය තුළ පවතින මතය සාධාරණ නොවන බවයි.
ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉටුකළ කාර්යභාරය අතිමහත් බව මුලතිව් හිටපු ආඥාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදිත රාජපක්ෂ මහතා පවසයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) විසින් 2026 ජුනි 17 වන දින කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් (SL-UDI) ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බරපතළ අනාවරණයක් සිදු කරන ලදී. එහිදී එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කළේ, ලාංකික පුරවැසියන්ගේ අතිශය සංවේදී ජෛවමිතික දත්ත ඇතුළත් ටෙන්ඩරය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සමීප සබඳතා ඇති ඉන්ෆොසිස් (Infosys) සමාගමට ලබාදීමට වත්මන් රජය සූදානම් වන බවයි.

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ ග්‍රීක බැඳුම්කර නඩුව සහ ඇලිස්ගේ අරුම පුදුම ලෝකය

බ්‍රිතාන්‍ය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය දේශපාලනය සහ අධිකරණ පද්ධති පිළිබඳ දිගුකාලීන නිරීක්ෂකයෙකු වෙමින්, එම ක්ෂේත්‍ර දෙක අතර විටින් විට දක්නට ලැබෙන විකෘති අන්තර්ක්‍රියා පිළිබඳවද අවධානයෙන් සිටි අයෙකු ලෙස, 2011 අප්‍රේල් මාසයේදී ග්‍රීක රජයේ බැඳුම්කරවල සිදුකළ ආයෝජනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකුට එරෙහිව අපරාධමය “දූෂණ” චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහාධිකරණ “ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක්” (Trial-at-Bar) පත් කර තිබීම මා පුදුමයට පත් කළේය.

ඉන්දියානු උපාය මාර්ගික සැලසුම ඉදිරියට!

ඉන්දු-ලංකා ගිවිසුමට සමාන්තරව දෙරටේ භූමිය එකිනෙකට එරෙහිව යොදා නොගැනීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර 1987 ජුලි මාසයේ 29 දින එකඟතාවයක් ඇතිවිය. මූලික වශයෙන් ආරක්ෂාව පිළිබඳව ඇතිකර ගත් එම එකඟතාවයට අනුව ත්‍රිකුණාමලයේ වරාය ඇතුළු අනෙකුත් වරායන් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කිසිදු විදේශීය රටකට යොදා ගැනීමට ඉඩ නොදීමට ශ්‍රී ලංකාව පොරොන්දු විය. එම ලිඛිත ගිවිසුමේ සඳහන් ප්‍රධානතම කරුණක් වූයේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීය-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමයි.

225,748ක් උසස් පෙළට සුදුසුකම් ලබයි.. විෂයන් 9ටම A සාමාර්ථ 11,790කට.. 7,419ක් සියලුම විෂයන් අසමත්..

2025 අපොස සාමාන්‍ය පෙළ විහාගයෙන් උසස් පෙළට සිසුන් 225,748 සුසුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරි සඳහන් කළේය.

ගුවන් යානාවලට හෙණ ගහනවාද?.. - පහළ උසාවියෙන්ම නඩුව විසිවෙන හැටි ගැන කියන කැප්ටන් එල්මෝ ජයවර්ධන..

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා ඉකුත් දා කටුනායක ගුවන් තොටුපොළෙන් අලුයම පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානයකට අකුණු පහරක් වැදී තිබූ සිදුවීම මේ වන විට සසමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්වූ මාතෘකාවක් වී තිබේ.

ඊශ්‍රායලය බේරුණේ ඇමෙරිකානු ආයුධ නිසා.. - එක්සත් ජනපද උප ජනපතිගෙන් ඊශ්‍රායල් අමාත්‍යවරුන්ට විවේචනයක්

"මම ඊශ්‍රායල රජයේ කැබිනට් මණ්ඩලයේ සිටියා නම්, මට මුළු ලෝකයෙන් ම ඉතිරි වෙලා ඉන්න බලවත් ම සගයාට පහර ගහන්න යන්නේ නෑ... පසුගිය මාස තුන තුළ ඔබේ රට බේරාගත්ත අවිවලින් තුනෙන් දෙකක් ම ඇමෙරිකාවේ නිෂ්පාදනය කරපු ඒවා වගේ ම, ඒවාට මුදල් වියදම් කරලා තියෙන්නේ ඇමෙරිකාවේ බදු ගෙවන ජනතාව."

කටු පොල් සහ ඉඩම් මංකොල්ලය නිසා ලයිබීරියාවේ එළවා දැමූ ‘කැපිටල් මෙටල්ස්’ ලංකාවේ ඛනිජ සම්පත් මංකොල්ලයට බැහැලා..

ලන්ඩන් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි ‘කැපිටල් මෙටල්ස්’ (Capital Metals PLC) සමාගම විසින් දේශීය සමාගම් කිහිපයක් හා එක්ව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මහා පරිමාණ බර ඛනිජ වැලි (Heavy Mineral Sands) කැණීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් පරිසරවේදීන් සහ ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය එල්ල වෙමින් පවතී.

ලංකාව තුළ සිදුවන සයිබර් වංචා චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගීතාව බිඳ දැමීමට ක්‍රියාත්මක වන මෙහෙයුමක් ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්

මියන්මාර සහ තායිලන්ත දේශසීමා ආශ්‍රිතව ක්‍රියාත්මක වූ චීන ජාතිකයන් මෙහෙයවූ "ඔන්ලයින්" මූල්‍ය වංචා සහ විදුලි සංදේශ ජාලයන් මැඩලීමට චීන රජය දැඩි පියවර ගැනීමත් සමඟ, එම වංචාකරුවන් ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් මතුව ඇතැයි කරුණු වාර්තා වන අතර, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ මෙම වංචාවන් සඳහා චීන ජාතිකයන් පමණක් වගකිව යුතු බවට සමාජය තුළ පවතින මතය සාධාරණ නොවන බවයි.

සුරේෂ් සලේ, රට වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ විශාල සේවාවක් කළා.. - මුලතිව් හිටපු ආඥාපති මේජර් ජෙනරාල් උදිත රාජපක්ෂ

ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඉටුකළ කාර්යභාරය අතිමහත් බව මුලතිව් හිටපු ආඥාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදිත රාජපක්ෂ මහතා පවසයි.

මෝදිගේ ‘ඉන්ෆොසිස්’ උගුලේ ලංකාවේ දත්ත හිරවෙයිද? - හැඳුනුම්පත් ටෙන්ඩරය පිටුපස ඇති ඉන්දීය න්‍යාය පත්‍රය කුමක්ද?

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) විසින් 2026 ජුනි 17 වන දින කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් (SL-UDI) ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බරපතළ අනාවරණයක් සිදු කරන ලදී. එහිදී එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කළේ, ලාංකික පුරවැසියන්ගේ අතිශය සංවේදී ජෛවමිතික දත්ත ඇතුළත් ටෙන්ඩරය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සමීප සබඳතා ඇති ඉන්ෆොසිස් (Infosys) සමාගමට ලබාදීමට වත්මන් රජය සූදානම් වන බවයි.

ගෝඨාභයගේ නඩුව මැද CID ශානිට සහ රවී සෙනෙවිරත්නට දැඩි දෝස්මුරයක්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ඊයේ (18) යළි සලකාබැලුණි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනම සමාගමක් කිරීමට රජයේ අවධානය..

ලෝක බැංකු සමූහයේ දේශිය කළමනාකාර ගෙවෝගර් සාගර්සයාන් මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් සහ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

යුද්දයට කලින් මිලටත් වඩා ලෝක ඉන්ධන මිල පහළට..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපතිවරයා අතර ඇති වූ තාවකාලික සාම ගිවිසුමකට අනුව දෙරට අතර පැවති යුදමය තත්ත්වය අවසන් කර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට එකඟ වීමත් සමඟ ජූනි 18 වනදා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළ බැස තිබේ.

සුගීෂ්වර අත්අඩංගුවට පත්වෙද්දී, ආනන්ද විජේපාලටත් ආයතන දෙකකින් වැටුප් ගත් බවට චෝදනා!..

රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර බණ්ඩාර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇතිවී තිබෙන පසුබිමක, මෙවැනිම ආකාරයෙන් ආයතන දෙකකින් වැටුප් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතාටද සමාජ මාධ්‍ය තුළ චෝදනා එල්ලවෙමින් පවතී.

අපි එක්සත් ජනපදය පරාජයට පත් කළා.. - ඉරානය

ඇමරිකා එක්සත් ජනපදය සමඟ අලුතින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යුද ශක්තියෙන් ලබාගත් රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් ලෙසත් වොෂින්ටනය ඔවුන්ගේ කිසිදු අරමුණක් මිලිටරිමය වශයෙන් සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වූ බවට සාක්ෂියක් ලෙසත් ඉරාන නිලධාරීන් විසින් අවබෝධතා ගිවිසුම අර්ථ දක්වා ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.