ඉදිරි ඡන්දයෙන් තීරණය වන්නේ රටේ ජය හෝ පරාජයයි - ජනපති රනිල් කියයි
ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටී නම් එම ක්‍රමවේදය සමඟ ඉදිරියට යා හැකි බවත් එසේ නොමැති වුවහොත් නැවතත් කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක ඖෂධ, පොහොර සපයා ගත නොහැකිව මෙන්ම ඉන්ධන සහ ගැස් පෝලිම්වල දුක් විඳීමට ජනතාවට සිදුවන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තු ආංශික අධික්ෂණ කාරක සභා සඳහා සහභාගිවන තරුණ නියෝජිතයන් සමඟ ඊයේ (11) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවට එක්වෙමිනි.
අද වේදිකා මත විවිධ පොරොන්දු දෙන පිරිසට රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, මැතිවරණවලදී පුද්ගලයන් දෙස බලා තීරණ ගැනීමේ අතීත වැරද්ද නැවත සිදුනොකරන ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබා දෙන ලෙස ද මෙහිදී සියලු දේශපාලන පක්ෂ වෙතින් ඉල්ලා සිටි ජනාධිපතිවරයා ඒ හැර වෙනත් ක්‍රවේදයක් කිසිවෙකුට තිබේ නම් එය රටට ඉදිරිපත් කරන ලෙස ද දන්වා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,
"අද ඔබ මෙම ස්ථානයට පැමිණ සිටින්නේ ආංශික අධීක්ෂණ කාරක සභාවල සාමාජිකයන් ලෙසයි. මම ජනාධිපති ධූරයට පත්වූ පසුව කරු ජයසූරිය මහතා සමඟ සාකච්ඡා කිරීමේදි එතුමා ලබාදුන් අදහසක් තමයි අද මේ අයුරින් දියුණු කර තිබෙන්නේ. තරුණ නායකයන්ට රටේ ඉදිරි සැලසුම් වෙනුවෙන් තම අදහස් සහ යෝජනා ලබා දෙමින් ආණ්ඩුවේ කටයුතුවලට දායක වීමට මෙමඟින් අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අනුව අප එම සියලු අදහස්වලට ඇහුම්කම් දෙනවා.
අද රටේ ආර්ථික බංකොළාත්භාවය පිළිබඳ සියලු දෙනා කතා කරනවා. මම ඊට එකඟ නැහැ. මේ රට ආර්ථික වශයෙන් පමණක් නොවෙයි දේශපාලන වශයෙන්ද බංකොළොත්භාවයට පත්ව තිබෙනවා. මේ කරුණු දෙකම අද වෙන් කළ නොහැකි ගැටලුවක් වී තිබෙනවා.
මීට හේතු වී තිබෙන්නේ රට තුළ විධිමත් ආර්ථික ක්‍රමවේදයක් නොතිබීමයි. අපේ රට තුළ මෙතෙක් ක්‍රියාත්මක වූණේ ආනයනය පදනම් කරගත් ආර්ථික ක්‍රමයක්. අප අවශ්‍ය සියලු දේ ආනයනය කළා. නමුත් ඒවාට ගෙවීමට අවශ්‍ය මුදල් අප සතුව තිබුණේ නැහැ. ඒ අතරතුර අපට යුද්ධය වෙනුවෙන් ද වියදම් කිරීමට සිදු වුණා. නමුත් යුද්ධය අවසන් වීමෙන් පසුව සීග්‍ර ආර්ථික දියුණුවක් ලබා ගැනීමට මෙරටට හැකියාව තිබුණා. යුද්ධය අවසන් වී වසර 15ක් ගත වුණද අප එම දියුණුව ලබා ගත්තේ නැහැ. අප පැරණි ක්‍රමවේදයම අනුගමනය කළා. මුදල් නැති වන විට ණය ලබා ගන්න පටන් ගත්තා. ඒ ණය ආපසු ගෙවීමට නොහැකි වුණා.
මේ කාලයේ ඇත්ත කතා කිරීමට කිසිවෙකු කැමති වුණේ නැහැ. නමුත් රටේ ආර්ථිකය වෙනස් විය යුතු බව අප ප්‍රකාශ කළා. ඒ සඳහා මැතිවරණවලදී පොරොන්දු ලබා දුන්නා. මේ කටයුතු කරගෙන යන විට රට විකුණන්න යනවා කියමින් ඇතැමුන් රට තුළ විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියා. නමුත් අවසානයේ අප බංකොළාත් රටක් බවට පත් වුණා.
රටට ආදායම් අවශ්‍ය නිසා 2015 වසරේදී අගමැතිවරයා ලෙස සිටියදී බදු වැඩි කිරීමට මට සිදු වුණා. 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට භාරගෙන බදු අඩු කළා. මෙම බදු අඩු කිරිමත් සමඟ රටට ආදායම් අහිමි වුණා. ඒ සමඟම කොවිඩ් වසංගතයත් පැමිණියා. රටට විදේශ විනිමය ලෙස ඩොලර් බිලියන 03ක් අවශ්‍ය වුණා. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසිවෙකු ඒ පිළිබඳ කතා කළේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අප ඒ පිළිබඳ සඳහන් කළා. වෙන කිසිවෙක් ඒ පිළිබඳ කතා කළේ නැහැ. ඒ වෙනුවට කළේ ඉටු කළ නොහැකි බව දැනගෙන වුවද ජනතාවට විවිධ පොරොන්දු ලබා දීමයි. එහි අවසාන ප්‍රතිඵලය වුණේ එක්සත් ජාතික පක්ෂයට එක් ආසනයක් පමණක් හිමි වීමයි.
ලෝකයේ කිසි තැනක එක් ආසනයක් පමණක් තිබු පුද්ගලයෙක් අගමැති හෝ ජනාධිපති ලෙස පත්වී නැහැ. එසේ සිදු වුයේ මේ රටේ තිබු දේශපාලන බංකොළොත්භාවය නිසයි. රටේ වගකීම භාරගෙන ආර්ථික ප්‍රශ්න විසඳිමට වෙනත් කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. ඒ අනුව මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තා.
ඉන් පසුව තරුණයන්ට ද මෙම වගකීම් භාරදී ඔවුන් තුළ අවබෝධයක් ඇති කළ යුතුයි කියා අප තීරණය කළා. මෙම වැඩසටහන ආරම්භ වුණේ ඒ අනුවයි. රටේ ආර්ථිකය හදන්න ක්‍රමවේදයක් තිබෙනවා. එම වැඩපිළිවෙළ භාරගෙන රට ඉදිරියට ගෙන යාමට තරුණ පිරිස සූදානම් කළ යුතුයි.
අද ඇතැම් දේශපාලනඥයන් විවිධ පොරොන්දු ලබා දෙනවා. නමුත් ඔවුන් කිසිවක් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර නැහැ. විපක්ෂ නායකතුමා සහ අනුර දිසානායක මහත්මයා කොහොමද, කොතැනද වාද කරන්නේ කියා තෝරා ගන්න මාසයක් වාද කළා. අවසානයේ එක් අයෙක් පැමිණියේ නැහැ. මේ එක් අයෙකුගෙන්වත් රටේ ආර්ථිකය ගොඩනැඟීමට ප්‍රතිපත්තියක් ඉදිරිපත් වී නැහැ.
ඒ නිසා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට අමතරව තවත් ක්‍රමයක් තිබෙනවද කියලා ඔවුන් පැවසිය යුතුයි. නමුත් කිසිවෙක් එවන් ප්‍රකාශයක් සිදුකර නැහැ. ඔබේ ආනගතය භාර ගැනීමට ඔවුන් සූදානම් නැත්නම් ඔබ ඔබේ අනාගතය ගැන සිතා ඉදිරියට යා යුතුයි. එහිදී මෙවන් වැඩසටහන් ඉතා වැදගත් වෙනවා. ඔබේ දැනුම වැඩිකර ගැනීම වෙනුවෙන් අනෙක් නිලධාරීන් සහ පුද්ගලික අංශය හමුවීමට අවස්ථාව සලසා දිය හැකියි. නව යෝජනා ඉදිරියට ආ යුතුයි. පැරණි ක්‍රමවේදයේ තවදුරටත් සිර වී නොසිට අපි රටක් ලෙස වේගයෙන් ඉදිරියට යමු කියා මා සියලු දෙනාට ආරාධනා කර සිටිනවා."
ප්‍රශ්නය - රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ එම අභියෝගය භාරගෙන ඔබතුමා සාර්ථකව ඊට මුහුණ දුන්නා. නමුත් යම්කිසි ආකාරයකින් ඔබතුමා ඊළඟ මැතිවරණයෙන් පරාජයට පත්වුවහොත් වත්මන් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට නායකත්වය ගැනීමට කිසිවෙක් සිටිනවාද?
"මෙම මැතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය හෝ පරාජය නොවෙයි. එහිදී තීරණය වෙන්නේ රට පරාජය වෙනවාද නැද්ද යන්නයි. අප මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ආර්ථික වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීමට ආර්ථික පරිවර්තන නීතිය ගෙනවිත් තිබෙනවා. එය බිඳවැටුණහොත් අපට නැවතත් විදේශ විනිමය නැති වෙනවා. නැවතත් ඖෂධ, පෙට්‍රල්, ගෑස් නොමැතිව පෝලිම්වල දුක් විඳීමට සිදුවෙනවා. ඒ නිසා ආණ්ඩුවේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යනවාද නැද්ද කියා තීරණය කළ යුතු වෙනවා.
මෙම ආර්ථික පරිවර්තන නීතියට සහාය දෙන ලෙස මම සියලු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොමැති නම් විකල්පයක් ඉදිරිපත් කරන්න. මෙවර මැතිවරණයේදී තෝරා ගැනීමට සිදු වන්නේ පුද්ගලයන් නොවෙයි, ක්‍රමයයි. මේ ක්‍රමය ඉදිරියට ගෙන යා යුතුයි කියා ඔබ සෑහීමට පත් ව තිබෙනවා නම් මේ ක්‍රමය සමඟ ඉදිරියට යමු. එසේ නොමැතිව නැවත කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක්, විදේශ විනිමය නැති ඖෂධ, පොහොර නැති රටක් අවශ්‍ය නම් වෙනත් පාර්ශ්වයක් තෝරාගත හැකියි. රටක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය නම් රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා හැකියි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?