දෙවන ලෝක යුද්ධයේ කොන්දේසි විරහිත යටත්වීමේ 81 වැනි සංවත්සරයේදී යසුකුනි යුද සිද්ධස්ථානය වන්දනා කළ ජපාන දේශපාලනඥයන්ට චීනයෙන් දැඩි විරෝධය
යසුකුනි යුද සිද්ධස්ථානය සම්බන්ධයෙන් ජපානය විසින් ගෙන ඇති අහිතකර ක්‍රියාමාර්ග පිළිබඳව චීනය දැඩි කනගාටුව පළ කරන අතර, ජපානයට එරෙහිව බරපතළ විරෝධතාවක් ඉදිරිපත් කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අද(15) ප්‍රකාශ කළේය. දෙවන ලෝක යුද්ධයේදී ජපානය කොන්දේසි විරහිතව යටත් වූ 81 වැනි සංවත්සරය යෙදී ඇති දිනයේ, පළමු පන්තියේ යුද අපරාධකරුවන්ට ගෞරව දැක්වෙන යසුකුනි යුද සිද්ධස්ථානය වෙත ජපාන දේශපාලනඥයන් ගොස් ගෞරව දැක්වීමට ප්‍රතිචාර වශයෙන් චීනය මෙම විරෝධය පළ කර තිබේ.
එවැනි සංවේදී දිනයකදී ජපාන අගමැති සනේ ටකායිචි විසින් කුප්‍රකට යසුකුනි සිද්ධස්ථානය වෙත චාරිත්‍රානුකූල පූජා භාන්ඩ යවන ලද අතර, ආරක්ෂක අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි ඇතුළු පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ (LDP) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එහි පෞද්ගලිකව ගොස් ගෞරව දැක්වූහ. මේ හේතුවෙන් ජපානයේ වඩාත් සක්‍රිය වෙමින් පවතින මෙවැනි ක්‍රියාමාර්ග නව-මිලිටරිවාදයක් (neo militarism) දෙසට ගමන් කරන භයානක හැරීමක් සනිටුහන් කරන බව චීන විශේෂඥයෝ අනතුරු ඇඟවූහ.
ජපාන පුවත් සේවය වන කියෝඩෝ නිවුස්, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ මහලේකම් ෂුනිචි සුසුකි උපුටා දක්වමින් අද(15) වාර්තා කළේ, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ සභාපතිවරිය ලෙස සිය පෞද්ගලික මුදල් භාවිත කරමින් ටකායිචි යසුකුනි සිද්ධස්ථානයට “තමගුෂි” නම් චාරිත්‍රානුකූල පූජා භාන්ඩ යවා ඇති බවයි. කෙසේ වෙතත්, ටකායිචි පෞද්ගලිකව එහි ගොස් නැත. එහෙත් කොයිසුමි අද(15) උදෑසන එම සිද්ධස්ථානයට පෞද්ගලිකව ගොස් තිබේ. ටකායිචිගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු වන හිටෝෂි කිකාවඩා ද එහි ගොස් ඇත.
මේ අතර, කියෝඩෝ නිවුස් සහ ෂින්හුවා පුවත් ඒජන්සියට අනුව, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ මහලේකම් සුසුකි, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ මහා සභා සභාපති හරුකෝ අරිමුරා සහ මැතිවරණ උපායමාර්ග කමිටු සභාපති යසුතෝෂි නිෂිමුරා යන මහත්වරු අද(15) එකට එක්ව යසුකුනි සිද්ධස්ථානයට ගොස් තිබේ.
ජපානයේ Mainichi Shimbun පුවත්පත අද(15) වාර්තා කළේ, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අගෝස්තු 15 වැනිදා සාමූහිකව එහි ගිය අවස්ථාව “අසාමාන්‍ය” එකක් බවයි.
චීන රාජ්‍ය රූපවාහිනී සේවය වන CCTV ඇතුළු චීන මාධ්‍ය වාර්තා කළේ, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සාමූහිකව මෙම සිද්ධස්ථානයට ගිය පළමු අවස්ථාව මෙය බවයි.
ටෝකියෝ නුවර චියෝඩා ප්‍රදේශයේ පිහිටි යසුකුනි සිද්ධස්ථානයේ දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වරදකරුවන් වූ ජපාන පළමු පන්තියේ යුද අපරාධකරුවන් 14 දෙනෙකුට ගෞරව දක්වනු ලැබේ. එය දිගු කලක් තිස්සේ ජපානය සහ එහි අසල්වැසි රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික ගැටුම්වල මූලාශ්‍රයක් වී තිබේ.
ෂින්හුවා පුවත් ඒජන්සියට අනුව, ජපාන නිලධාරීන් විසින් මෙම මතභේදාත්මක සිද්ධස්ථානයට සංචාරය කිරීම සහ චාරිත්‍රානුකූල පූජා පැවැත්වීම සෑම අවස්ථාවකදීම ජපානයේ මෙන්ම විදේශයන්හිද දැඩි විවේචනයට හා විරෝධයට ලක්ව තිබේ. විශේෂයෙන්ම ජපානයේ යුද කාලීන ආක්‍රමණවලට ගොදුරු වූ චීනය, දකුණු කොරියාව ඇතුළු රටවල ජනතාවගේ හැඟීම් එමගින් රිදවා තිබේ.
ඓතිහාසික යුක්තියට අපහාසයක්
“යුද අපරාධකරුවන් පිළිබඳ තීන්දුව වෙනස් කිරීමටත්, ජපානයේ යුද අපරාධ වසන් කිරීමටත්, ඓතිහාසික කරුණු විකෘති කිරීමටත්, යළි මිලිටරීකරණය වේගවත් කිරීමට මාර්ගය සකස් කිරීමටත් ජපාන දේශපාලනඥයන් දරන සැබෑ අරමුණ කිසිදු නිදහසට කරුණකින් සැඟවිය නොහැකිය,” යනුවෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයාගේ අද(15) කළ ප්‍රකාශයේ සඳහන් විය.
“මෙය ඓතිහාසික යුක්තියට කරන අපහාසයක්, ශිෂ්ටාචාරයේ මූලික සම්මතයන්ට කරන අභියෝගයක් සහ පශ්චාත් යුද ජාත්‍යන්තර පර්යායට කරන ප්‍රකෝපකාරී ක්‍රියාවකි. එවැනි හැසිරීම් ජාත්‍යන්තර ප්‍රජාවේ අතිමහත් බහුතරය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත.”
මෙම වසර ටෝකියෝ නඩු විභාග ආරම්භ කර වසර 80ක් සපිරීම සනිටුහන් කරන බවද ප්‍රකාශයේ සඳහන් විය. ඉතිහාසය නිවැරදිව අවබෝධ කරගෙන එයට නිවැරදි ආකාරයෙන් සැලකීම, ජපානය පශ්චාත් යුද සමයේ ජාත්‍යන්තර ප්‍රජාව වෙත නැවත එක්වීම සඳහා වැදගත් පූර්ව කොන්දේසියක් බවත්, අසල්වැසි රටවල් සමඟ ජපානයේ සබඳතාවල දේශපාලන පදනමක් බවත්, එමෙන්ම සාමකාමී සංවර්ධනය සඳහා ජපානය දක්වන කැපවීම මැන බැලීමේ ප්‍රධාන සාධකයක් බවත් චීන විදේශ අමාත්‍යාංශය පැවසීය.
“ආක්‍රමණශීලී ඉතිහාසය සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස ස්වයං විමර්ශනයක යෙදෙන ලෙසත්, මිලිටරිවාදයෙන් පැහැදිලිවම වෙන්වන ලෙසත්, නිශ්චිත ක්‍රියාමාර්ග මගින් සිය ආසියානු අසල්වැසියන්ගේ සහ ලෝකයේ සෙසු රටවල විශ්වාසය දිනා ගන්නා ලෙසත් අපි ජපාන පාර්ශ්වයෙන් ඉල්ලා සිටිමු,” යනුවෙන් ප්‍රකාශකයා පැවසීය.
නැගෙනහිර ආසියානු අධ්‍යයන විශේෂඥයෙකු සහ Liaoning Academy of Social Sciences හි මහාචාර්යවරයෙකු වන ලූ චාඕ අද(15) Global Times වෙත පැවසුවේ, මෙම දිනයේ යසුකුනි සිද්ධස්ථානය සම්බන්ධයෙන් ජපාන දේශපාලනඥයන් දක්වන ආකල්පය, ජපානයේ දේශපාලන බලවේග සිය යුද කාලීන ආක්‍රමණ සහ වගකීම සැබෑ ලෙස පිළිගන්නේද යන්න තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව දිගු කලක් භාවිත කළ වැදගත් “පරීක්ෂණයක්” වී ඇති බවයි.
“මෙම වසරේ විශේෂයෙන්ම අනතුරුදායක කරුණ වන්නේ මෙම දේශපාලන සංඥා මෙතරම් විවෘතව නිකුත් වීමයි,” ලූ පැවසීය. “අගමැතිවරයාගේ පූජාව, වත්මන් ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරය සහ පාලක පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සම්බන්ධීකරණය වූ සංචාරය යන සියල්ල එකට ගත් විට, මෙය හුදෙක් පුද්ගලික ශෝක ප්‍රකාශ ලෙස බැහැර කළ නොහැකිය.”
ටකායිචි පෞද්ගලිකව එහි නොගියද, ඇය විසින් යවන ලද පූජාව ඇගේ දේශපාලන ආකල්පය පැහැදිලිව ප්‍රදර්ශනය කරන බව ලූ පැවසීය.
“පෞද්ගලිකව නොගිය පමනින් එම ක්‍රියාවේ දේශපාලන ස්වභාවය මූලික වශයෙන් වෙනස් වන්නේ නැත,” ඔහු පැවසීය. රාජ්‍යතාන්ත්‍රික හා දේශීය පීඩනය හේතුවෙන් ටකායිචි එම ආකාරය තෝරාගෙන තිබිය හැකි නමුත්, එයින් ඇගේ දේශපාලනයේ යටිතල ස්ථාවරය අනිවාර්යයෙන්ම වෙනස් වී ඇති බව අදහස් නොවන බවද ඔහු පෙන්වා දුන්නේය.
විශේෂ අවධානයක් අවශ්‍යයි
“පාලක පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයන්ගේ සාමූහික ක්‍රියාමාර්ග විශේෂ අවධානයකට ලක්විය යුතුයි,” ඔහු පැවසීය. “ජපානයේ දේශපාලන බලධාරීන් සිය ආක්‍රමණ සහ යුද අපරාධ පිළිබඳ නිවැරදි අවබෝධයක් සැබවින්ම වර්ධනය කරගෙන තිබේද යන ප්‍රශ්නය එමගින් මතු කරයි.”
චීන හමුදා කටයුතු පිළිබඳ විශේෂඥයෙකු වන සොං ෂොංපිං අද(15) Global Times වෙත පැවසුවේ, ජපානයේ කොන්සර්වේටිව් දේශපාලනඥයන් සහ රජයේ නිලධාරීන් යසුකුනි සිද්ධස්ථානයට යාම අලුත් දෙයක් නොවන අතර, එය ටකායිචි පාලනයට පමණක් සීමා වූ හුදකලා සිදුවීමක් ලෙස නොසැලකිය යුතු බවයි.
හිටපු අගමැති ජුනිචිරෝ කොයිසුමි අවස්ථා ගණනාවකදී සිද්ධස්ථානයට ගොස් ඇති අතර, 2006 අගෝස්තු 15 වැනිදා අගමැතිවරයාව සිටියදීද එහි ගියේය. ෂින්සෝ අබේ අගමැතිවරයාව සිටියදී 2013 දෙසැම්බර් මාසයේදී එහි ගියේය. ෂින්ජිරෝ කොයිසුමි ද 2025 අගෝස්තු 15 වැනිදා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී යසුකුනි සිද්ධස්ථානයට ගියේය.
“වැදගත් කරුණ වන්නේ මෙම ප්‍රවණතාව දශක ගණනාවක් පුරා ජපානයේ දක්ෂිණාංශික දේශපාලනය තුළ පැවතීමයි,” සොං පැවසීය. “අප දකින්නේ එය හදිසියේ මතුවීමක් නොව, එය වඩ වඩාත් විවෘතව ප්‍රකාශ වීමයි.”
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කොයිසුමිගේ වර්තමාන තනතුර හේතුවෙන් ඔහුගේ සංචාරයට විශේෂ දේශපාලන වැදගත්කමක් ලැබෙන බවද සොං පෙන්වා දුන්නේය.
“ආරක්ෂක අමාත්‍යවරයෙකුගේ යුද කාලීන ඉතිහාසය පිළිබඳ අවබෝධය හුදෙක් පෞද්ගලික ආකල්පයක් ලෙස සැලකිය නොහැකිය,” ඔහු පැවසීය. “එය ජපානයේ ආරක්ෂක ප්‍රතිපත්තිය සහ ස්වයං ආරක්ෂක හමුදා කුමන දිශාවකට ගමන් කරන්නේද යන ප්‍රශ්නය මතු කරයි.”
මෙවැනි කනස්සල්ල මතුවන්නේ ටකායිචි රජය ජපානයේ හමුදා හැකියාවන් ශක්තිමත් කිරීමට සහ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා කටයුතු කරමින් සිටින පසුබිමකය.
ජපානය දැනටමත් ආරක්ෂක වියදම් ඉහළ නංවා ඇති බවත්, ඊනියා “ප්‍රතිප්‍රහාර හැකියාවන්” සංවර්ධනය කර ඇති බවත්, පවතින ව්‍යවස්ථාව යටතේ ආරක්ෂක උපකරණ හුවමාරුව සම්බන්ධ සීමා ලිහිල් කර ඇති බවත් සොං අවධාරණය කළේය. එබැවින් එවැනි සියලු ක්‍රියාමාර්ග සඳහා ව්‍යවස්ථා සංශෝධනය නීතිමය පූර්ව කොන්දේසියක් ලෙස වැරදි ලෙස නිරූපණය නොකළ යුතු බවද ඔහු පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ වඩාත් දැඩි අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ ඓතිහාසික සංශෝධනවාදය, ව්‍යවස්ථා සංශෝධනය සහ හමුදා ව්‍යාප්තිය එකිනෙක ශක්තිමත් කරමින් ඉදිරියට යන්නේද යන්න බවයි.
“කුප්‍රකට යසුකුනි සිද්ධස්ථානය සම්බන්ධ ප්‍රශ්නය හුදෙක් ශෝකය පළ කිරීමක් පමණක් නොවේ,” සොං පැවසීය. “දේශපාලන බලවේග ආක්‍රමණශීලී ඉතිහාසයට සෘජුව මුහුණ දීම ප්‍රතික්ෂේප කරන අතරම, වැඩි හමුදා හැකියාවන් සහ පශ්චාත් යුද සීමා අඩු කිරීම සඳහා කටයුතු කරන්නේ නම්, අසල්වැසි රටවලට අවදියෙන් සිටීමට සෑම හේතුවක්ම තිබේ.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දෙවන ලෝක යුද්ධයේ කොන්දේසි විරහිත යටත්වීමේ 81 වැනි සංවත්සරයේදී යසුකුනි යුද සිද්ධස්ථානය වන්දනා කළ ජපාන දේශපාලනඥයන්ට චීනයෙන් දැඩි විරෝධය
නීතීඥ සභාපති ජනපතිගේ මූණටම කිවුව කතාව එළියට..
බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව
87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..