රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා)..
ඇය නමින් එච්.කේ. කරුණාවතීය. සම්පූර්ණ නම කුකුළේ කංකානම්ගේ කරුණාවතී ය. පක්ෂය ඇයට කීවේ කළු අක්කා කියාය. උපත වසර 1960 නොවැම්බර් 29 වැනිදා ය. ඇය උපන්නේ මතුගම වළල්ලාවිට ප්‍රාදේශීය කොට්ඨාශයේ ඉත්තෑපානේ ය. හරියට ම කිවහොත් පහළවෙල පරෙයිගම හික්ගහවත්ත ය. පියා කේ.කේ. පීටර් ය. ඔහු ලංකා සමසමාජ පක්ෂයේ කලක් ක්‍රියාකාරිකයෙකි. කළු අක්කාගේ පවුලේ සොයුරු සොයුරියන් ගණන 6 කි. ඉන් තිදෙනෙක් ගැහැනු ය. තිදෙනෙක් පිරිමි ය. කළු අක්කා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයෙක් වූයේ 1978 දී ය.
එතැන් පටන් ඇය රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට ද පූර්ණකාලීනයෙකි. රෝහණ විජේවීර උලපනේදී අත්අඩංගුවට ගන්නා විට සිද්ධිය සියසින් දුටු ඒ නිවසේ සිටි නිවැසියන් 7 දෙනාගෙන් එක් අයෙකි. සෙසු අය වූයේ විජේවීරගේ බිරිය චිත්‍රාංගනී, ගෙයි මුරකරු ලෙස සේවය කළ සයිමන් ඒකනායක, සේවිකාවන් ලෙස සේවය කළ කරුණාවතී සහ හම්බන්තොට ‘සෙව්වන්දි‘ සහ විජේවීරගේ නැඟණිය චිත්‍රාංගනී ඇතුළු සය දෙනෙකි. ලේලිය චිත්‍රාංගනී සමඟ අදිසි විරසකයක් ඇති කරගෙන සිටි විජේවීරගේ මව සිටියේ පාදුක්කේ ය.
කරුණාවතී විජේවීරගේ නිවෙසේ සේවයට පැමිණියේ විජේවීර අත්අඩංගුවට ගැනීමට හරියටම වසර දෙකයි මාස තුනකට පෙරදී ය. පක්ෂයේ පණිවිඩයක් අනුව පාදුක්කේ මීගොඩට පැමිණි ඇය, ජවිපෙ උපනායක වූ උපතිස්ස ගමනායකගේ මෝටර් රථයෙන් විජේවීරගේ නිවසේ සේවයට පැමිණියේය. උපතිස්ස ගමනායක මීගොඩට පැමිණෙන ලෙසට කරුණාවතීට දැන්වූ ඒ පණිවිඩය දී තිබුණේ කරුණාවතීගේ වැඩිමහල් සොහොයුරා වන කුකුළේ කංකානම්ගේ සයිමන් හරහා ය. සයිමල් ජවිපෙ පූර්ණකාලීනයකු වූයේ 1976 පෙබරවාරි මස සිට ය. වසර 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ 2වැනි කැරැල්ලේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල නායකයකු වූයේ ද සයිමන් ය. වැලිපන්න පොලිසිය විසින් 1989 සැප්තැම්බර් 18 සයිමන් අත්අඩංගුවට ගැනීමට තැත් කළ අවස්ථාවේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් සයිමන් ද මරුමුවට පත්විය. එහිදී වැලිපන්න පොලිසියේ උපපොලිස් පරීක්ෂක රණවීරගේ අත ද තුවාල විය.
විජේවීර අත්ඩංගුවට ගැනීමේදී එහි සිටි අනෙක් සේවිකාව වූ සෙව්වන්දි හම්බන්තොට පදිංචිකාරියකි. අපොස (උසස් පෙළ) හදාරමින් සිටියදී ඇය ජවිපෙට එක්ව සිටියාය. විජේවීරගේ නිවසට පැමිණියේ ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ ඇයගේ පෙම්වතා හරහා ය.
බණ්ඩාරවෙල නෙළුව වත්තට ආරක්ෂක අංශ කඩා වදින්නේ 1989 නොවැම්බර් 08 වැනිදා පස්වරු 8.00ට පමණ ය. ඒ 1989 නොවැම්බර් 05 වැනිදා හෝමාගමදී ‘ඇම්බුස්‘ උගුලකට (සැඟවී සිට එම ස්ථානයට පැමිණෙන අය අත්අඩංගුවට ගැනීම) අසුවීමෙන් අත්අඩංගුවට පත් පැටියා හෙවත් වික්‍රම සමඟ ය. වික්‍රම ජවිපෙට අයත් බණ්ඩාරවෙල නෙළුව වත්තේ වැඩ කළ සේවකයන් 4 දෙනාගෙන් එක් අයෙකි. එහිදී නෙළුව වත්තේ සියලුම සේවකයන් ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්විය. එක් අයකු වූ නිව්ටන් උපන් ඇඳුමින්ම කැලයට පැන ගත් අතර දෙදෙනෙක් ආරක්ෂක අංශ විසින් නොවැම්බර් 9 වැනිදා මත්තේගොඩ යුද හමුදා කඳවුරට ගෙන එන ලදී. තවත් අයෙක් නෙළුව වත්තේ බට පඳුර අසලම ඝාතනයට ලක්ව පිළිස්සී දැවී ගියේය.
මත්තේගොඩට නොවැම්බර් 9 වැනිදා ගෙනාවේ නෙළුව වත්තේ සිටි නෙවිල් හෙවත් ලියන මහත්තයා සහ ධර්මේ හෙවත් නන්දසේන ය. කලක් විජේවීර නැවතී සිටි එමෙන්ම ඒ වන විට ද ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීම් සඳහා භාවිතයට ගත් ගලහ නිවස දැන ගෙන සිටියේ එම දෙදෙනාගෙන් නෙවිල් හෙවත් ලියන මහත්තයා පමණි. මෙම ලියුම්කරුට වැටලීමට සහභාගි වූ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකුම දීර්ඝ ලෙස විස්තර කළ පරිදි නෙවිල් සමඟ ආරක්ෂක අංශ ගලහට ගියේය.ඒ 1989 නොවැම්බර් 12 වැනිදා උදෑසන ය. එහිදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් වූ පියදාස රණසිංහ සහ එච්.බී. හේරත් ද සිටියේය. එමෙන්ම ඒ වන විට මිය ගොස් සිටි දේශපාලන මණ්ඩල සභික නන්දතිලක ගලප්පත්තිගේ වැන්දඹු බිරිය රංජනී ගමගේ සහ එකම දරුවා වූ ඉසුරු අකලංක ද දන්දෙනිය ආරච්චිගේ කරුණාවතී ද ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් සහ ක්‍රියාකාරීන් දෙදෙනකු ද විය. කාන්තාවන් පසුදින නිදහස් කළ අතර සෙසු අය අත්අඩංගුවට පත්විය.
මෙම මෙහෙයුම සඳහා පැමිණියේ කර්නල් ජානක පෙරේරා, ක්ෂණික විහිදුම් බළකායේ අණදෙන නිලධාරියා වූ කපිතාන් ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමකි. අත්අඩංගුවට ගත් පියදාස රණසිංහ සහ එච්.බී. හේරත්ට අනේකවිධ වද වේදනා හේතුවෙන් අවසානයේ සිදුවූයේ ඔවුන් සමඟ විජේවීරගේ උලපනේ නිවස දක්වා පිටත්වීමට ය.
දිනය 1989 නොවැම්බර් 12 වැනිදා පෙරවරු 11.37 ය. පියදාස රණසිංහගේ මෝටර් රථය දුටු මුරකරු සයිමන් ඒකනායක ගේට්ටුව විවෘත කළේය. අනතුරුව විනාඩි 5කින් පැමිණියේ වෑන් රථයකි. විජේවීර සාලයේ පුටුව උඩ වාඩි වී සිටියේය. ඒ උපනායක උපතිස්ස ගමනායක හෙවත් කළු අයියා පැමිණෙන තෙක් ය. වෙනත් නිවෙසකට මාරු වීමට විජේවීර ඒ වන විටත් අදහස් කරගෙන සිටි අතර ඒ සඳහා පණිවිඩය ගෙන ඒමට සිටියේ ගමනායක ය. විජේවීර එදින උදෑසන ආහාරය ලෙස ගත්තේ කැකුළු බත්, කිරිහොදි සහ ලුණු මිරිසකි. ඔහු බොහෝවිට කෑමට ප්‍රිය කළේ රතුකැකුළු බත් සමඟ ඇඹුල්තියල් කරන ලද බලමාළු සහ පොල්සම්බෝල ය. අතුරුපස ලෙස ඔහු බොහෝවිට ගත්තේ දිවුල්කිරි හෝ ගස්ලබු ය. එළවළු තම්බා කෑමට ද ආශාවක් දැක්වූ අතර මස් කෑවේ ඉඳහිටය. විජේවීර ඉවීමට දක්ෂයෙකි. ඉඳහිට ඉඩ ලැබුණු විටෙක ඉවුම් පිහුම් කටයුතු ද සිදුකළේය.
නිවෙසට සිවිල් ඇඳුමින් ඇතුළු වූ ආරක්ෂක අංශවලට අයත් භටයන් ඉදිරිපස හා පසුපසට මුරකාවල් තර කළේය. සිදුවන්නේ කුමක්දැයි නිවසේ සිටි සියල්ලන්ටම අවබෝධ වී හමාරය. විජේවීර නිවස පිටුපසින් රහසේම යන්නට තැත් කළේය. ඉදිරිපසින් ගේ ඇතුළට පැමිණි හමුදා නිලධාරීන් විජේවීර කොහිදැයි විමසූ විට බිරිඳ චිත්‍රාංගනී කියා සිටියේ වත්තට ගිය බව ය. එහෙත් නිවස පිටුපස මුරට සිටි සිවිල් ඇඳුමින් සැරසුණු හමුදා භටයකු මඟහැර යන්නට තැත් දරන විජේවීර අතින් අල්ලා ගෙන නිවසට ඇතුළට ගෙනාවේය. හමුදා නිලධාරීහු විජේවීරට උපැස් යුවළ පලඳන්නයි අණ කළහ. ඉන්පසු විජේවීර තම අනන්‍යතාව පිළිගත්තේය.
පැමිණි වෑන් රථයේ බිම වැතිර සිටියේ එච්.බී. හේරත් සහ පියදාස රණසිංහ ය. ඔවුහු සිටියේ තදබල ලෙස වද හිංසාවලට ලක්වී බිම වැතිරගෙන ය. ඇඳගෙන සිටියේ සරොම් ය. හමුදා භටයෝ 5 දෙනකු එහි මුර සිටියෝ ය. වෑන් රථය අසලට පැමිණි විජේවීර ඇතුළු නිවසේ පිරිසට ඔවුහු හඳුනා ගැනීමට අවස්ථාව ආරක්ෂක අංශ විසින් උදා කළේ ය.
විජේවීරගේ දරුවෝ හඬන්නට පටන් ගත්හ. නිවසේ සිටි අයට සිදුව ඇත්තේ කුමක්දැයි අවබෝධ විය. තමා සියලු දේ පිළිබඳව වගකීම බාර ගන්නා බවත් පවුලේ කිසිවකුගෙන් ප්‍රශ්න නොකරන ලෙසත් විජේවීර හමුදා නිලධාරීන්ගේ ඉල්ලා සිටියේය. විජේවීර අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන් වහාම එම ස්ථානයෙන් දරුවන් සමඟ පිටව යාම ආරක්ෂාකාරී බව විජේවීරගේ බිරියට කියා සිටියහ. යාමට මුදල් අවශ්‍ය දැයි හමුදා නිලධාරීහු ඇයගෙන් විමසූහ. හමුදා නිලධාරීන් සමඟ වාහනයට ගොඩවූ විජේවීර මීටර් කිහිපයක් ගොස් යළි පැමිණ බිරියට කියා සිටියේ මොරටුවට යාම අනාරක්ෂිත බැවින් පාදුක්කට යන ලෙස ය. එමෙන්ම චිත්‍රාංගනීගෙන් ඉල්ලා සිටියේ සිය දරුවන් වෙනත් ආගමකට යොමු නොකරන ලෙසය. සිය බිරිය ගැබිණි මවක් බව ද ඔහු ආරක්ෂක නිලධාරීන්ට හෙළි කළේය. විජේවීර කොළඹ ගෙනියන බව ආරක්ෂක අංශ බිරියට දැනුම් දෙන ලදි.
ගේට්ටුව විවෘත කළ සයිමන් ඒකනායක මුර වැඩයට අමතරව වත්තපිටිය ද බලා ගත්තේය. වෘත්තියෙන් ඔහු ගොවියෙකි. ඒ වනවිට වයස 55ක් පමණ විය. අනුරාධපුර පදවියේ පදිංචි දෙදරු පියෙකි. ජවිපෙට සම්බන්ධ වූයේ 1970 දී ය. වසර 1971 අප්‍රේල් කැරැල්ලේදී අත්අඩංගුවට පත්ව පසුව පුනරුත්ථාපනය වී 1975 දී නිදහස් විය. ජවිපෙ සමඟ 1978 සිට යළි පූර්ණකාලීනයකු වී රජරට පළාතේ නියමුවා, රතුලංකා සහ මාලිමා පුවත්පත බෙදාහැරීමේ වගකීම දැරීය. ඒකනායක විශ්වාසවන්තයකු ලෙසින් විජේවීරට හඳුන්වා දුන්නේ මැදවච්චියේ එච්.බී. හේරත් ය. හේරත් ඔහු හොඳින්ම හඳුනා ගත්තේ කලක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ව සිටි දයාරත්න මඟිනි.
ගේට්ටුව විවෘත කිරීමෙන් පසු ඒකනායක විජේවීර ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කරමින් සිටියදී අලුත්ම කමිසයක් ද ඇඳගෙන වත්තෙන් බැහැරව ගියේය. පැමිණ සිටි ආරක්ෂක අංශ විජේවීර හැර කිසිවකු පිළිබඳව අවධානයක් යොමු කිරීමට උනන්දුවක් නොදැක්වීය. පසුව අසල කැලයක සැඟවුණු ඒකනායක ප්‍රවාහන පහසුකම් සපයා ගනිමින් කොළඹට පැමිණ එදින රැය ගත කළේ කොටුව දුම්රියපොළේ ය. පසුදින මහරගම කන්දේ පන්සලට ගොස් සිද්ධිය දැනුම් දී රාජාංගනයේ පහේ කණුව අසල සිටින සිය නැඟණියගේ නිවෙසට ගොස් නිහඬ ජීවිතයක් ගත කළේය. පසුව 1998 පෙබරවාරි මස ජවිපෙ අනුරාධපුර කාර්යාලයට පැමිණ තමා හඳුන්වා දී දීර්ඝ විස්තරයක් කළේය. (ඒකනායක 2006 දී මියගිය අතර ඔහු මිය යෑමට ප්‍රථම ලියුම්කරු ඔහු හමුවී ඔහුගේ කතාව පටිගත කරන ලදී.)
විජේවීර උලපනේ නිවසේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු නිවසින් පිටවීමට විජේවීර බිරිය චිත්‍රාංගනී වහවහා කටයුතු කරන ලදී. ඒකනායක හොර රහසේම ගොස් ඇති බව සියල්ලන්ටම වැටහිණි. නිවෙසට නිතර ගන්නා රියදුරා වන කළු මල්ලීට නිවසේ සේවිකා සෙව්වන්දී අත පණිවිඩයක් යවන ලද්දේ ඒ අනුවය. එම පණිවිඩය වූයේ නෑයෙක් හදිසියේ නැතිවී ඇති බැවින් කොළඹ යා යුතු බවය. කළු මල්ලී ජවිපෙ අයකු නොවේ. ඔහු ගමේ රියදුරෙකි.
කළු මල්ලීගේ රථයෙන් විජේවීරගේ බිරිය චිත්‍රාංගනී සහ දරුවන් ද විජේවීරගේ නැඟණිය වන චිත්‍රානි ද නිවසේ සේවිකාවන්ව සිටි ජවිපෙ පූර්ණකාලීනයන් වූ සෙව්වන්දී සහ කරුණාවතී ද මහරගම පැමිණියහ. අනිද්දාට යළි නිවෙසට පැමිණි විට මුදල් ලබාගත හැකි බව කළු මල්ලී කියා සිටියේය. පසුව හයර් කාර් රථයකින් මහරගම නිවසකට පැමිණියේය. නිවසේ අයට සිද්ධිය කීවේ නැත. ඒ වන විට නොවැම්බර් 13 වැනිදා උදෑසන 5.15 පමණ විය.පසුව එදිනම සවස 3.00 ට පාදුක්කට පැමිණියහ. හදිසියේ ගත් නිසා කුලී රියට ගෙවන ලද මුදල රු. 1,300කි. ඉන් බැස තවත් හයර් රථයකින් මීගොඩ නිවසට පිරිස ගියහ. එය ලංගම වැඩ කළ ජවිපෙ ක්‍රියාකාරී හිතවතකුගේ නිවසකි. විජේවීර ආගිය තැනකි. විජේවීරගේ මව ද පිරිස යනවිට එම නිවසේ නතරව සිටියාය.
විජේවීරගේ නැඟණිය චිත්‍රානි නීතිඥයෙක් සොයන්නැයි කියා ගිය ද යළි පැමිණියේ නැත. චිත්‍රාගනීගේ නොපැමිණීම පොලිස් අත්අඩංගුවට ගැනීමක් හෝ බියපත්ව සිදු කළ පලා යාමක් හෝ දැයි නිවසේ අය සිතූහ. (සතියකට පසුව චිත්‍රානි විජේවීර මහරගම පොලිසියට බාර වූයේ චිත්‍රාංගනී සහ දරුපවුල හමුදාවට බාර වූ පසුවය.) පක්ෂයේ නායකයාගේ බිරිය සහ දරුවන් තනිකර පලා යෑමට කළු අක්කාගේ සිත කිසිසේත්ම ඉඩ දුන්නේ නැත. මීගොඩ නිවසේ සිට චිත්‍රාංගනීගේ උපදෙස් පිට පොලිස්පතිට, හමුදාපතිට සහ ජනාධිපති ප්‍රේමදාසට ලිපි කිහිපයක් ද ලියා තැපැල් කරන ලදී. අක්කර භාගයකින් පමණ සමන්විත මීගොඩ නිවසේ එළවළු ද වගාකර තිබිණි. මීගොඩ නිවසේ සිවුදිනක් පමණ සිටින විට නිවසේ සිටීම තමනට ද අනතුරුදායක බව නිවැසියන් සිතුවාට සැක නැත. එබැවින් විකල්පයක් අනුගමනය කිරීමට විජේවීර බිරියට සිදුවිය.
නොවැම්බර් 19 වැනිදා උදෑසන 8.30ට විජේවීර බිරිය, සිය දරුවන් පස්දෙනා ද, නැන්දම්මා ද, සේවිකාවන් දෙදෙනා ද රැගෙන හංවැල්ලට පැමිණියේය. ඒ කුලී වෑන් රථයකිනි. ගෙවන ලද මුදල රු. 1,050 කි. පසුව එහි සිට කොළඹ කොටුවට පැමිණියේය. ඒ ද කුලී රථයකිනි. අනතුරුව තවත් කුලී රථයකින් හමුදා මූලස්ථානයට පැමිණියේය. වෙනත් විකල්පයක් චිත්‍රාංගනී විජේවීර සතු නොවන්නට ඇත.
හමුදා මූලස්ථානයට ගිය විජේවීර බිරිය එහි නිලධාරියකුට තමා හඳුන්වා දුන්නාය. ඔවුනට වාඩිවීමට කඩිනමින් ඉඩ සැලසිණි. ළමයින්ට බීම සහ බිස්කට් ද ලැබිණි. හමුදාපති හැමිල්ටන් වනසිංහ විනාඩි 25ක් තුළ එහි පැමිණියේය. සියලුදෙනා ආදරයෙන් පිළිගත්තේය. හමුදාපති, ජනාධිපති ප්‍රේමදාසට ද දුරකථන ඇමතුමක් දුන්නේය. විජේවීර බිරිය සමඟ දුරකථනයෙන් ජනාධිපති ප්‍රේමදාස අදහස් හුවමාරු කර ගත්තේය. පසුව කොළඹ යුද හමුදා කාන්තා මූලස්ථානයට ඔවුහු රැගෙන ගියහ.
මාස දෙකකට පසු විජේවීරගේ බිරිය සහ දරුපවුල ගණේමුල්ලේ හමුදා මූලස්ථානයට මාරු කරන ලදි. වෙනම නිවසක් ද සැපයිණි. කාන්තා සෙබළුන් දෙදෙනෙක් ද සහායට යොදවන ලදී. මාස හතක් එම නිවසේ වාසය කළ විජේවීරගේ බිරිය සහ දරුපවුල පසුව ත්‍රිකුණාමලයට ද අනතුරුව වැලිසර ද හමුදා ආරක්ෂාව යටතේ පසුවිය.
වර්තමානයේ ද විජේවීරගේ බිරිය චිත්‍රාංගනී විජේවීර සිටිනුයේ වැලිසර හමුදා කඳවුරේ ය. මෙම ලියුම්කරු සමඟ ඇය හත් අට වරක්ම හමුවී දීර්ඝ ලෙස අතීත තොරතුරු ආවර්ජනය කළා ය. චිත්‍රාංගනී සමඟ අද ඇයගේ තනි නොතනියට වැලිසර සිටිනුයේ තෙවැනි දරුවා වන මාෂා ය. ලොකු දුව ඊෂා සහ දෙදරු මවක් වූ දෙවැනි දියණිය ද ලංකාවේය. එක් පුතකු රුසියාවේ ය. අනෙක් පුතු සහ එක් දියණියක් ඕස්ට්‍රේලියාවේ ය. ඉන් දෙදෙනෙකුම ආචාර්ය උපාධිය හදාරනු ලබයි.
උලපනේදී අත්අඩංගුවට ගත් විජේවීර 1989 නොවැම්බර් 13 අලුයම 1.35 ට බොරැල්ල කනත්තේදී ඝාතනයට ලක්විය. විජේවීර සිටි ස්ථානයට ගලහ සිට ආරක්ෂක අංශ සමඟ විජේවීර උලපනේදී අත්අඩංගුවට ගන්නා විට පැමිණි දේශපාලන මණ්ඩල සභික එච්.බී. හේරත් ද විජේවීර ඝාතනයට විනාඩි 5 කට පමණ පසු අලුයම 1.40ට එම ස්ථානයේදී ඝාතනය විය. එමෙන්ම ගලහ සිට එච්.බී. හේරත් සමඟ ආරක්ෂක අංශ සමඟ උලපනේට පැමිණි පියදාස රණසිංහ ද මත්තේගොඩ කඳවුරේ රඳවා තබා ගැනීමෙන් පසු 1989 නොවැම්බර් 15 ඝාතනයට ලක්විය.
කළු අක්කා හෙවත් කරුණාවතී විජේවීරගේ බිරිය සහ දරුපවුල සමඟින් හමුදාවට බාර වීමට සිදුවුව ද ඇයට ද අවසානයේ උරුම වූයේ බන්ධනාගාරයයි. හමුදාව මඟින් වැලිපැන්න පොලීසියට බාර දුන් වැලිපැන්න පොලීසියේ දෙසතියක් පමණ අත්අඩංගුවේ පසුවිය. පසුව මතුගම උසාවිය හමුවේ ඇයට නඩු පැවරිණි. අවසානයේ වැලිකඩ සහ තංගල්ල බන්ධනාගාරයන්හි වසරකට අධික කාලයක් සිටීමෙන් අනතුරුව නිදහස ලැබිණි. එහිදී ඇය බැලීමට හෝ චිත්‍රාංගනීගේ නොපැමිණීම පිළිබඳ ඇයට කනගාටුවක් ද නොවීය.
කරුණාවතී හෙවත් කළු අක්කට මේ සියල්ල පිළිබඳ පසුතැවීමක් නැත. ඒ ඇය අරමුණක් වෙනුවෙන් පෙනී සිටි බැවිනි. සිය ජීවිත කාලය ම ඇය පක්ෂයේ අරමුණු වෙනුවෙන් කැප කළ හෙයින් අදට ද අවිවාහකය. බස්නාහිර පළාතේ කම්හලක ශ්‍රමය වගුරන ඇයට තමා කළ කැපකිරීම් පිළිබඳව කිසිදු කනගාටුවක් ද නැත. තවමත් ජවිපේ දැයි මම සමුගන්නට මොහොතකට පෙර ඇයගෙන් ඇසුවෙමි. එම පක්ෂය සමඟ වර්තමානයේ නැති වුවද අදටත් එම අරමුණු වෙනුවෙන් පෙනී සිටින බව ඇය අවධාරණය කළා ය.
එඩිතර ගැමි තරුණියකගේ මහා දිගු කතාවක් වරුවකට පමණ සීමා විය. වසර 34ක් පුවත්පත්කලාවේදියකුට නොකී කතාව ඇය මා හමුවේ දිගහැරියේය. අපගේ සාකච්ඡාව පැවතියේ එළිමහනේදීය
Copied by
@ By Dharman Wickremaretne ධර්මන් වික්‍රමරත්න විසිනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ පුද්ගල කේන්ද්‍රීය 22 වන ව්‍යවස්ථා සංශෝධනයට සමාජයේ සෑම අතකින්ම විරෝධය පළවී අවසන්.. - උදය ගම්මන්පිල
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි..
ලාල් කාන්ත ඇමතිකමෙන් එලවන තුරු අරගල කරනවා.. - අනුරාධ තෙන්නකෝන්
මහ සඟ සමුළුව අද කොළඹදී..
අමෙරිකාව සහ ඉරානය තාවකාලිකව ප්‍රහාර අත්හිටුවයි..
වේගවත් ආර්ථික වර්ධනය හමුවේ ඉන්දියාව දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී සහ රැකියා අර්බුදයක - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට
ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්
"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..
"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර
පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි..
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..