නැගෙනහිර සිංහල ජනයාගේ අයිතිය රැකගන්න අම්පිටියේ සුමනරතන හිමියන් මානව හිමිකම් කොමිසමට... විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් අම්පිටියේ හිමියන්ගේ සහායට එයි
Oct 23, 2023 at 07:00 PM
|
නැගෙනහිර පළාතේ දිවුලපොතාන ඇතුළු ගම්මාන කිහිපයක වෙසෙන සිංහල ජනතාව පළවා හැරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් හා නැගෙනහිර පළාත් වර්තමාන ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් යන අය විසින් දැඩි උත්සාහයක නිරතවී සිටින බව පෙන්වා දෙමින් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.
අම්පිටියේ සුමනරතන හිමියන් අද(23) මානව හිමිකම් කොමිසමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ජීවත්වන සිංහල ජනයාට සිංහල හා බෞද්ධ වීම නිසාම ඇතිවී තිබෙන ගැටලු රාශියක් පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට මානව හිමිකම් කොමිසමට පැමිණි බවය.
වසර සිය ගණනක සිට අදාළ ප්‍රදේශයේ සිංහල ජනතාව සිටි බවද යුද්ධය පැවති කාලයේ එම ප්‍රදේශයෙන් ඉවත් වූ එම ජනතාව නැවත යුද්ධයෙන් පසුව එම ප්‍රදේශයේ පදිංචි වූ බවත්, එම පිරිස පළවා හැර දැවැන්ත ඉඩම් මංකොල්ලයක් සිදුකිරීමට මෙයට සම්බන්ධ පිරිස් උත්සාහ දරමින් සිටින බවත් උන්වහන්සේ මෙහිදී පැවසූහ.
විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, මාධ්‍ය අමතමින් ඒ මහතා පැවසුවේ අන්තවාදී දේශපාලකයන් මේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ රට බෙදීමේ සැලසුමේ එක් කොටසක් බවය.
එම ප්‍රදේශයෙන් සිංහල ජනයා පළවාහරිමින් තමන්ට අවශ්‍ය භූමිය ඔවුන් අත්පත් කරගනිමින් සිටින බවත්, ජනාධිපතිවරයා ද ඔවුන්ගේ ඡන්ද ගුන්ඩුවලට යටත් වී ඇති බවත් එහිදී ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...