News Category
From Date
To Date
Maximum Number of Result

දරුවා අනතුරුදායක වැල්පාලමෙන් ආරක්ෂිතව ඉදිරියට ගත්තා... හුණුවටය නාට්‍යයේ අසඩක් වගේ නිවැරදි තීරණ ගන්න - ජනපති රනිල් සුබ ආරංචියෙන් ඉල්ලයි

Jun 27, 2024 at 06:18 AM
|

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජාතිය අමතා සිදු කරන ලද විශේෂ ප්‍රකාශය…

"අද අපේ රටේ මෑත ඉතිහාසයේ වැදගත් දවසක්. සුවිශේෂී සංධිස්ථානයක්. පසුගිය කාලය පුරාම අප වෙහෙසුණු කාර්යයක යහපත් ප්‍රතිඵල දැන් අපේ රටට ලැබිලා තිබෙනවා. අද පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණා. ඒ වගේම චීනයේ එක්සිම් බැංකුව සමඟත් අප අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණියා. මීට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතිනවා. රටට සැබැවින්ම ආදරේ අයට මේක සුබ ආරංචියක්.Sri Lanka Won …. !!

ද්වීපාර්ශ්වික ණය හිමියන් සමඟ මෙවැනි එකඟතාවකට එළැඹීම සඳහා අප පසුගිය වසර දෙක පුරාම වෙහෙසුණා. දීර්ඝ ලෙස සාකච්ඡා කළා. පසුගිය කාලය තුළ ලබා ගත් ආර්ථික සාර්ථකත්වය මේ සාකච්ඡාවලදී අපට ලොකු ශක්තියක් වුණා.මේ සාකච්ඡා සාර්ථක කර ගැනීම සඳහා අපේ ණය හිමියන් වන චීනය සහ චීනයේ එක්සිම් බැංකුවත්, නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිත්වය දරන ඉන්දියාව, ජපානය සහ ප්‍රංශයත්, ඒ කමිටුවේ අනෙකුත් සාමාජිකයන් සහ පැරිස් සමාජයීය ලේකම් කාර්යාලයත් අපට ලබා දුන් සහාය පිළිබඳව මම කෘතඥ වෙනවා. මේ සාකච්ඡාවලට එක්වු ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් රටවල නියෝජිතයන් සහ අපට උපදෙස් ලබා දුන් ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් ආයතන නිලධාරීන්ටත් ස්තූතිවන්ත වෙනවා.

මේ එකඟතාවන් සමඟම විදේශ රටවල සියළු ද්විපාර්ශ්වික ණය වාරික ගෙවිම් 2028 වසර දක්වා කල් දමා ගැනීමට අපට හැකි වේවි. ඉන් පසු සහනදායි කොන්දේසි මත සියළු ණය ගෙවා අවසන් කරන්නට 2043 දක්වා දිගු කාලයක් ලබා ගන්නටත් අපට අවස්ථාව ලැබේවි. 2023 වසරේ අප දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් කළා. දැන් විදේශීය රටවල ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සාර්ථකව අවසන් කර ගැනීමට අපට හැකි වී තිබෙනවා.

ඊළගට අපට තිබෙන්නේ විදේශීය බැදුම්කර හිමියන් ද ඇතුළත් වාණිජ ණය හිමියන් සමඟ එකඟතාවකට එළැඹීම. මේ මාර්ගයේම ඉදිරියට යාමෙන් අපට එම එකඟතාව ඇති කර ගන්න පුළුවන්. ඒ පිළිබඳ සාකච්ඡා අප අඛණ්ඩවම පවත්වාගෙන යනවා.

අද අප ඇතිකරගත් එකඟතාවන් නිසා අපේ ආර්ථිකයට හුස්මක් ගන්නට පුළුල් අවකාශයක් ලැබෙනවා. 2022 අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2%ක ප්‍රමාණයක් විදේශ ණය ගෙවීම් සඳහා වැය කිරීමට අපට සිද්ධ වුණා. 2027 සිට 2032 දක්වා කාලය තුළ ණය ගෙවීම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%කටත් අඩු ප්‍රමාණයක පවත්වාගෙන යාමට දැන් අපට ඉඩ සැලසේවි.

2022 දී රජයේ වාර්ෂික දළ මූල්‍ය අවශ්‍යතාව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 34.6ක්. මේ එකඟතාවයන් නිසා එය 2027 – 2032 කාලය වන විට මෙම අවශ්‍යතාවය සියයට 13කට වඩා අඩු වේවි. 2022 අප්‍රේල් මාසයේ  ශ්‍රී ලංකාව ලංකාව ණය ගෙවන්න බැරි බව නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශයත් සමඟම ලෝකයේ රටවල් අපත් සමඟ ගනුදෙනු කිරීම නවතා දැමුවා. ණය ගෙවන්න බැරි තරමට බංකොලොත් වුණු රටක් සමඟ මූල්‍ය සම්බන්ධතා පවත්වන්න කිසිම රටක් ඉදිරිපත් වන්නේ නැහැ. ණය ලබා දෙන්නේ නැහැ. අඩු තරමින් ණයවර ලිපියක් පවා පිළිගන්නේ නෑ. මේ පසුබිම මත විදේශීය ණය ආධාර මත අපේ රටේ ක්‍රියාත්මක වූ සියලු ව්‍යාපෘති නැවතුනා. ඒ රටවල් සිය ව්‍යාපෘති කාර්යාල වසා දමා තම තමන්ගේ රටවලට ආපසු ගියා. සංවර්ධන කටයුතු මුළුමනින්ම ඇණ හිටියා.

නමුත් දැන් මේ අප ණය ප්‍රතිව්‍යුහගත කාර්යයේ වැදගත්ම පියවර සාර්ථක කරගත් නිසා විදේශ අරමුදල් යොදාගෙන සිදු කළ ඒ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ඒ ඒ රටවලට නීත්‍යානුකූල අවකාශය උදා වෙනවා. කටුනායක ගුවන් තොටුපොළ සංවර්ධනය, සැහැල්ලු දුම්රිය මාර්ගය, අධිවේගි මාර්ගය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් යළි ආරම්භ වෙනවා. ඒ විතරක් නොවෙයි අලුත් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් අපට ලබා ගැනීමට පුළුවන්.

ද්විපාර්ශ්වීය ණය හිමියන් අප සමඟ එකඟත්වයට පැමිණීම නිසා අපේ රට පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය වැඩි වැඩියෙන් තහවුරු වෙනවා. මෙය එක්තරා අන්දමක ජාත්‍යන්තර සහතිකයක්. අපේ ණයවර ලිපියක් පවා පිළිගන්නේ නැතිව සිටි ජාත්‍යන්තරය දැන් අපට විශ්වාසය පිළිබඳ සහතිකය ලබා දෙන තත්ත්වයට පත්ව සිටිනවා.

අද අප ඇතිකරගත් මෙම එකඟතාවන් දෙකම අප පාර්ලිමේන්තුව හමුවේ තබනවා. අපේ අගමැතිතුමා ලබන ජූලි 02 වනදා පාර්ලිමේන්තු විශේෂ සභා වාරයකදී එම එකඟතාවන් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. එය අනුමත කරන්න කියා පාර්ලිමේන්තුව නියෝජනය කරන රටට ආදරය කරන සියලු කණ්ඩායම්වලින් මම ඉල්ලා සිටිනවා.

අප මෙතෙක් ආවේ ලෙහෙසි පහසු ගමනක් නොවෙයි. පසුගිය කාලයේදී ද දුෂ්කර හා කටුක මාවතක අප ගමන් කළා. අපේ ඇමතිවරු, නිලධාරින් මේ කාර්යය වෙනුවෙන් වෙහෙසුණා. අපේ රටේ බහුතර ජනතාව ඉවසීමෙන් යුතුව අපට සහාය වුණා. අප සියලුදෙනාම විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. අසීරුතාවන්ට මුහුණ දුන්නා. තවමත් මුහුණ දෙනවා.

සුළු පිරිසක් මේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට උත්සාහ කළා. තවමත් කරනවා. හැබැයි මේ ගමන නැවැත්වීමට ඔවුන්ට බැහැ. අනාගතයේ දවසක ඔවුන්ට රටට ද්‍රෝහී වීමේ හේතුව මත තම තමන්ගේ දූ දරුවන් ඉදිරියේත් ලැජ්ජාවට පත් වෙන්න සිදුවේවි.

ආර්ථිකය යහපත් වෙන්න, වෙන්න අප සහන ලබා දුන්නා. ඒ සහන ලබා දුන්නේ ආර්ථිකයට හානියක් නොවන ආකාරයටයි. ඉදිරියටත් එහෙමයි. නිවැරදි මාර්ගයේ ගියොත් ආර්ථිකය ශක්තිමත් වෙද්දි, වර්තමානයේ විදින දුෂ්කරතා දවසින් දවස අපට අඩු කර ගන්න පුළුවන්. දැන් අප දරන බර ක්‍රමයෙන් අඩු කර ගන්න පුළුවන්. වර්ජනවලින්, තර්ජනවලින් මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බැහැ. අප සියලුදෙනා එක් වී ආර්ථිකය ශක්තිමත් කරන්න, කරන්න අපට විසදුම් මෙන්ම සහනත් ලැබෙනවා.

මීට අවුරුදු දෙකකට පෙර රට භාරගත් අවස්ථාවේ අපට ගමන් කරන්න තිබෙන්නේ අතිශය දුෂ්කර මාර්ගයක බව මම පෙන්වා දුන්නා. සතියෙන්, දෙකෙන්, මාස තුන හතරකින්, අවුරුද්දකින් මේ ප්‍රශ්න විසඳන්න බැරි බව මම කිව්වා. අපට යන්න තිබෙන්නේ පතුල නොපෙනෙන දරුණු ආගාධයක් උඩින් වැටුණු වැල් පාලමේ ගමනක් බව “හුණුවටයේ කතාව” නාට්‍යය උදාහරණ කර ගනිමින් මම අවධාරණය කළා. එදා අපේ රට ආර්ථික අපායකට වැටිලා තිබුණෙ.

රට එතැනින් ගලවා ගැනීමට ඉදිරිපත් වෙන්න බොහෝ දෙනෙක් මැලි වුණා. බය වුණා. “නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයකුයි, තවත් ටිකකුයි ඕන” කිව්වා වගේ එක එක හේතු කිව්වා. මුළු ආණ්ඩු බලයම දෙනවා නම් අප රට භාර ගන්නවා කියලා එක් පිරිසක් කිව්වා. ඇමති මණ්ඩලයට තමන්ගේ අය පත් කරන්න දෙනවා නම් භාර ගන්නම් කියලා තවත් පිරිසක් කිව්වා. ජනාධිපතිකම දුන්නොත් භාරගන්නවා කියලා තවත් අය කිව්වා.

හැබැයි මම කිසිම කොන්දේසියක් නොමැතිව මේ අභියෝගය භාරගත්තා. අපේ රට, අපේ රටේ ජනතාව ආර්ථික ආගාධයෙන් ගලවා ගන්න ශක්තිය මට තිබුණා. වැඩ සැලැස්මක් මට තිබුණා. මේ වගේ අවස්ථාවලින් රටවල් ගොඩ ආපු විධි ක්‍රම ගැන අවබෝධයක් සහ අත්දැකීම් මට තිබුණා. ඒ වගේම මගේ සැලැසුම් සහගත ප්‍රතිපත්තිවලින් හා කැපවීමෙන් ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගය දිනා ගන්න මට පුළුවන් බව මම දැනගෙන හිටියා. මට තිබුණේ එච්චරයි. මටම කියා මන්ත්‍රීවරු හිටියේ නැහැ. මටම කියා ඇමති මණ්ඩලයක් හිටියේ නැහැ. මටම කියා ආණ්ඩුවක් තිබුණෙත් නැහැ. නමුත් මම එම අභියෝගය බාරගත්තා.

ඒ වෙලාවෙ මට මතක් වුණේ ලෝක ප්‍රකට නිර්මාණවේදී වෝල්ට් ඩිස්නිගේ කියමනක්. “යමක් ආරම්භ කිරීමේ නිවැරදි ක්‍රමය, කයිවාරුව නවතා වැඩේට අත ගැසීමයි! මම බය නැතුව වැඩේට අත ගැහුවා.2022 අගෝස්තු 03 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ කතාවේදී මම කඩා වැටී තිබුණු ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා අනුගමනය කරන සිව් වැදෑරුම් සැලැස්ම රටට ඉදිරිපත් කළා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කොට විස්තීරණ ණය පහසුකම් ලබා ගැනීම සහ රට තුළ මුල්‍ය විනයක් ඇති කිරීම.

ජාත්‍යන්තර මුල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතන සමඟ එක්වී ණය ස්ථාවර කරලීමේ සැලසුම සකස් කිරීම හා ණය හිමියන් සමඟ සාකච්ඡා කොට එකඟත්වයකට එළැඹීම

විදේශ ආයෝජන තහවුරු කර ගැනීම හා අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති, නීති රීති සහ වැඩසටහන් සම්පාදනය කිරීම සහ ඩිජිටල් හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීම

මේ වැඩපිළිවෙල ඔස්සේ 2048 වෙද්දි ණය බරින් තොර දියුණු ආර්ථිකයක් නිර්මාණය කිරීම සහ සංවර්ධිත දේශයක් බවට පත්වීම

මම එදා සඳහන් කළ වැඩ සැලැස්ම පිළිබඳවත්, එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබදවත් සියළු තොරතුරු මම විටින් විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ කිසිදෙයක් අප රහසිගතව කළේ නෑ. සියල්ල සිදු කළේ පාරදෘශ්‍ය භාවයෙන්.සිව් වැදෑරුම් වැඩපිළිවෙලේ මුල් කරුණු තුනම දැන් සාර්ථකව ඉදිරියට ගමන් කරනවා. එයින් සනාථ වන්නේ අපේ වැඩ සැලැස්මත්, අප ගමන්ගත් මාර්ගයත් නිවැරදි බවයි.ණය ගෙවාගන්න බැරුව, බංකොලොත් ලේබලය වැදී සිටි රටක් හැටියට, වසර දෙකක් තුළ මෙවැනි ප්‍රගතියක් ලබා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක්,

අපි වගේම ආර්ථික ආගාධයකට වැටී තිබුණු අනෙක් රටවල්වලට මෙවැනි සාධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට දීර්ඝ කාලයක් ගත වුණා. මෑත ඉතිහාසයේ ලෝකයේ කිසිම රටක් කෙටි කාලයක් තුළ මේ වගේ සුවිශේෂි ජයග්‍රහණයක් ලබාගෙන නැහැ.අපේ ආර්ථිකය වැටී තිබුණු ආගාධය ගැන පැහැදිලි අවබෝධයක් අපට තිබුණා. ඊට ලබා දිය යුතු නිවැරදි විසඳුම් අප දැන සිටියා. අපේ දැක්ම, සැලැස්ම සහ කැපවීම නිසා මේ තත්ත්වය උදාකර ගැනීමට අපට පුළුවන් වුණා.

ඉතින් මේ මාර්ගයේම ගියොත් හතරවැනි කරුණ, එනම් 2048 වන විට සංවර්ධිත දේශයක් බවට පත්වීමත් සාර්ථක කර ගන්න පුළුවන් බව දැන් පැහැදිලි වෙලා තිබෙනවා.2022 වසර වෙද්දි පතුලටම ඇද වැටී ආර්ථික ආගාධයක තිබුණු රටක වර්තමාන තත්ත්වය මොකද්ද?එක දිගට කාර්තු 6ක් හැකිලෙමින් තිබුණු අපේ ආර්ථිකය 2023 වසරේ තුන්වැනි කාර්තුවේ සිට වර්ධනය වෙන්න පටන් ගත්තා.2022 අප්‍රේල් වෙද්දි පත්ලටම හිඳී නන්නත්තාරව තිබුණු අපේ විදේශ සංචිත දැන් ඩොලර් මිලියන 5500 ක් දක්වා ඉහළ නැංවී තියෙනවා. රුපියල ශක්තිමත් වෙලා. බැංකු පොළී අනුපාත අඩුවෙලා.2022 සැප්තැම්බරයේ සියයට 70 ක්ව පැවති උද්ධමනය දැන් සියයට 0.9ක් දක්වා පහළ වැටිලා. අය වැය ප්‍රාථමික ගිණුමේ ශේෂය, අතිරික්තයක් ලෙස පරිවර්තනය කිරීමට හැකි වෙලා.

ඒ වගේම ගිය අවුරුද්දේ අපේ විදේශ ගිණුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කරගන්න අප සමත් වුණා. මෙසේ අතිරික්තයක් ඇති කරගන්නට අප සමත් වුණේ 1977න් පස්සෙ මුල් වතාවට. මේවා යහපත් ආර්ථික කළමණාකරණයක් ඔස්සේ බංකොලොත්භාවයෙන් මිදීම සඳහා අප අත්පත් කරගත් ජයග්‍රහණ.මේ ජයග්‍රහණ නිසාත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපේ නිල ණය හිමියන් එකඟත්වය පළ කළ නිසාත් දැන් යළිත් ජාත්‍යන්තර විශ්වාසය අප වෙත ලැබී තිබෙනවා. මේ සමඟම අප මෙතෙක් පැමිණි ගමන් මඟ නිවැරදි බව යළි යළිත් සනාථ වෙලා තිබෙනවා. එය ජාත්‍යන්තරය ද පිළිගෙන තිබෙනවා.

එදා මේ වැඩපිළිවෙළ පාර්ලිමේන්තුව හමුවේ තබමින්, රට ගැන සිතා මේ වැඩ පිළිවෙළට එක්වෙන්න කියලා සියළු දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම්වලට මම ආරාධනා කළා. සමහර දේශපාලන පක්ෂ ඒ ආරාධනාව පිළිගෙන අදත් මා සමඟ එකට එක්ව මේ ගමනට සහාය දක්වනවා. හැබැයි තවත් සමහර දේශපාලන පක්‍ෂ විවේචනය කර කර ඉන්නවා. මේ විවේචන ගැනත් යමක් සඳහන් කිරීම වැදගත්.ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්න කාලෙ අයිඑම්එෆ් එකෙන් තොර විසඳුමක් නෑ කියලා පම්පෝරි ගහපු අය දැන් කියන්නෙ අයිඑම්එෆ් එපා කියලා.

ජනතාව දුෂ්කරතා විඳිද්දි ආර්ථිකය දියුණු කරලා වැඩක් නැහැ කියපු අය දැන් කියන්නේ, ඒ අය බලයට ආවාම කිරි තේ වෙනුවට කහට බොන්න වෙනවා කියලා.මේ සමහර අය කරන්නේ ජනප්‍රිය දේශපාලනය, නැත්නම් ඉස්කොල දේශපාලනය. ඔවුන්ගෙ දේශපාලන, ආර්ථික සහ රාජ්‍ය ධර්ම දැනුම ප්‍රාථමික පංතියෙන් ඉහළට ගිහින් නෑ.කොහොම වුණත් මේ අර්බුදය ඇතිවුණු අවස්ථාවේදීම මම මේ ප්‍රශ්නයේ දිග පළල ගැඹුර තේරුම් ගත්තා. පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙක් හැටියට මම මේ ගැටළුව ගැන කතා කළා. විසඳුම් පෙන්වා දුන්නා.

නමුත් සමහර අයට තාමත් මේ බරපතලකම සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට බැරි වෙලා තියෙන්නේ. මම මේ රට බාර ගත්තාට පස්සෙ රට ගොඩ නැංවීමට පියවර ගණනාවක් ගත්තා. ඒ පියවර නිවැරදියි කියලා තේරුම් ගන්න මේ අයට අවුරුදු දෙකක පමණ කාලයක් ගත වුණා. වර්තමානයේ මම ගන්නා පියවර නිවැරදියි කියලා තේරුම් ගන්නත් ඔවුන්ට තව අවුරුදු කීපයක් ගත වේවි.නිවැරදි දේ තේරුම් යන තුරු ඔවුන් කරන්නේ කෑ ගහන එක. එහෙම කයිවාරු ගහන අය දිගටම කයිවාරු ගහයි. පම්පෝරි ගහන අය දිගටම පම්පෝරි ගහයි. ඒ ගැනත් මම ඔබට යමක් කියන්න කැමතියි.අපේ රට අයිඑම්එෆ් සහාය ලබා ගත් පළවෙනි වතාව මේක නෙවෙයි. මීට කලින් 16 වතාවක් අපේ රට අයිඑම්එෆ් සහාය ලබාගෙන තිබෙනවා. ඒ හැම වතාවෙම  ශ්‍රී ලංකාව ලංකාව අසාර්ථක වුණා. ඇයි, අපි කොන්දේසි කැඩුවා. පොරොන්දු වූ දේවල් කළේ නෑ. මූල්‍ය විනය රැක්කේ නැහැ.

අපේ රටේ ඉතිහාසයටම අයිඑම්එෆ් වැඩ සැලැස්මක් සාර්ථක කරගත් මුල්ම අවස්ථාව මෙයයි. කලින් 16 වතාවෙම අප අයිඑම්එෆ් සහය ඉල්ලුවේ ණය ගෙවා ගන්න බැරි රටක් විදියට නෙවෙයි. නමුත් බංකොලොත් ලේබලය වැදී තිබුණ රටක් හැටියට සහාය ඉල්ලා එවැනි සාර්ථකත්වයක් ලැබූ අවස්ථාවට නායකත්වය දීම පිළිබඳ මම සතුටු වෙනවා.අවසානය මෙතැන නෙවෙයි. මේ අපේ ගමනේ සංධිස්ථානයක් පමණයි. මෙතැනින් අප අලුත් ආරම්භයක් ලබා ගත යුතුයි. දැන් අපට ජාත්‍යන්තර සහතිකය ලැබී තිබෙනවා. යළිත් ජාත්‍යන්තර විශ්වාසය ලැබී තිබෙනවා. අපි එයින් ප්‍රයෝජන ගෙන දියුණු ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. පූර්ණ සාර්ථකත්වය ලබා ගත යුතුයි. අපි පූර්ණ සාර්ථකත්වය ලබා ගත්තොත් ආයෙ කවදාවත් අපේ රටට අයිඑම්එෆ් යන්න අවශ්‍ය වෙන්නේ නෑ. මම වෙහෙසෙන්නේ අන්න ඒකටයි.

මම වෙහෙසෙන්නෙ නැවත කිසි දිනෙක අයිඑම්එෆ් යන්න අවශ්‍ය වෙන්නෙ නැති, ශක්තිමත් සහ විනයානුකූල දියුණු ආර්ථිකයක් මේ රටේ බිහි කිරීමටයි.ඒ සඳහා අප වැඩ කරනවා. මමත්, අපේ ඇමති මණ්ඩලයත්, අපේ ආණ්ඩුවත් වැඩ කරනවා. වැඩ කරනවා විතරක් නෙවෙයි ඒවායේ ප්‍රතිඵලත් අප පෙන්නනවා.අපව විවේචනය කරන සමහර කණ්ඩායම්වලට අවශ්‍ය දේශපාලන බලය ලබා ගැනීම පමණයි. අනාගතයේ බලයට පැමිණීමට අපේක්ෂා කරන මේ දේශපාලන කණ්ඩායම් මේ වන විට ජනාධිපතිවරු පත් කරගෙනත් ඉවරයි.

සමහරු මේ දිනවල ගැඹුරෙන් සාකච්ඡා කරන්නේ බලයට පත් වූ විට පත් කරන ඇමති මණ්ඩලය ගැනයි.තවත් අය දැනටම ඇමතිකම් බෙදා ගෙන. එහෙම සමහර සිහින ඇමතිලා තමන්ගෙ ඇමතිකම බිරිඳට ලබා දෙන විදිය ගැනත් සැලසුම් කරන බව අපට ආරංචියි.සිහින ඇමතිකම් වලින් ඔළුව කුරුවල් කරගත්තු අය කීදෙනෙක් අද මම මේ කරන ප්‍රකාශය ගැන රටට මොන තරම් බොරු කිව්වාද? පුවත්පත් සාකච්ඡා පවත්වමින් බොරු කිව්වා. අද මම මේ කරන කතාව සම්බන්ධයෙන් ඔවුන් කියූ සියල්ල බොරු බව දැන් රටම දන්නවා.රටට කිසියම් ජයක් ලැබෙන එකට ඒ අය මේ තරම් කුපිත වෙන්නේ ඇයි? රටට ලැබෙන සුබ ආරංචියක් ඔවුන් අසුභ විදියට දකින්නේ ඇයි? හැම දෙයකින්ම දේශපාලන වාසි ලබා ගන්න ඔවුන් උත්සාහ කරන්නේ ඇයි? බලය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් රටට ද්‍රෝහි වෙන්නේ ඇයි? මෙවැනි අවස්ථාවාදී දේශපාලන සංස්කෘතියක් ඔවුන් නඩත්තු කරන්නේ ඇයි?

මෙන්න මේකයි හේතුව.ඒ අය ජනාධිපති තනතුර වෙනුවෙන් වෙහෙසෙනවා. අපි රට වෙනුවෙන් වෙහෙසෙනවා.ඒ අය තමන්ට ලැබෙන තනතුරු සහ පට්ටම් ගැන හීන මවනවා. අපි රටේ දියුණුව ගැන හීන මවනවා.ඒ අය ඇමතිකම් බෙදා ගන්න සැලසුම් කරනවා. අපි රට ගොඩනංවන සැලසුම් හදනවා. ඒ අය  ලංකාව පුරා ඇවිදිමින් බලය ඉල්ලනවා. ඉස්කෝල ගාණේ ගිහින් බලය ඉල්ලනවා. ලෝකය පුරා සංචාරය කරමින් බලය ඉල්ලනවා. දිවා රෑ නොබලා බලය වෙනුවෙන් වෙහෙසෙනවා.

මම දිවා රෑ නොබලා රට වෙනුවෙන් වෙහෙසෙනවා.  ලංකාව පුරා ඇවිදිමින් ජනතා අවශ්‍යතා ඉටු කරනවා. ආර්ථිකය ශක්තිමත් කරලීමේ වැඩ සටහන් දියත් කරනවා. මම ලෝකය පුරා යමින් අපේ රට දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට කටයුතු කරනවා.

එවන් පසුබිමක මම ඔබෙන් මෙන්න මේ ප්‍රශ්නය අහන්න කැමතියි.මුලදීම ප්‍රශ්නය තේරුම්ගෙන ඊට ප්‍රායෝගික විසඳුම් ලබා දී ප්‍රතිඵල පෙන්වූ මා සමග එක්වී රට ඉදිරියට ගෙනයනවාද? එහෙමත් නැත්නම්, තවමත් ප්‍රශ්නය තේරුම් ගෙන නැති, අඳුරේ අතපත ගාමින් බලය වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායම් සමඟ එක් වෙනවාද? මෙතෙක් පැමිණි නිවැරදි මාර්ගයේම ඉදිරියට ගොස් ඔබේත්, රටේත් අනාගතය යහපත් කරගන්නවාද? නැතිනම් මාර්ගය වෙනස් කරනවාද? වැරදි පාරකට හැරුණොත් නැත්නම් පාර වරද්දා ගත්තොත් එහි භයානකකම අප සියලුදෙනා දන්නවා. ඒ නිසා නිවැරදි තීරණය ගන්න. ඒ තීරණය ගැනීමේ පූර්ණ අයිතිය සහ නිදහස ඔබට තිබෙනවා.

ඔබ ගන්නා තීරණයෙන් තීන්දු වෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අනාගතය නෙවෙයි. රටේ අනාගතයයි. ඔබේ අනාගතයයි. ඔබේ දුවා දරුවන්ගේ අනාගතයයි.බංකොලොත්ව, ආර්ථික ආගාධයකට ඇද වැටී තිබුණු රට මම ගොඩ ගත්තේ මගේ පක්ෂයට බලය තිබූ පාර්ලිමේන්තුවක් සමඟ නෙවෙයි. මම පත් කළ රාජ්‍ය නිලධාරීන් සමඟ නෙවෙයි. මම පත් කළ ඇමති මණ්ඩලයක් සමඟ නෙවෙයි.

ඒත් ඒ කිසිවක් නැතුව අවුරුදු දෙකක කාලයක් තුළ ලෝකයම විස්මයට පත් කරන ආකාරයට ආකර්ශනීය ස්ථාවර මට්ටමකට රට ගොඩගන්න මට පුළුවන් වුණා.ටිකක් හිතන්න. මීට අවුරුදු දෙකකට කලින් පාරට බැස්සාම අපි දැක්කෙ මොනවාද? අද අපි පාරට බැස්සාම දකින්නේ මොනවාද? මම එදා ඔබට පොරොන්දු වුණා වගේම ලංකා මාතාව කියන දරුවා අනතුරුදායක වැල්පාලමේ මෙතෙක් ආරක්ෂිතව ඉදිරියට ගෙන එන්නට මට පුළුවන් වෙලා තිබෙනවා.

දැන් වෙලා තියෙන්නෙ මොකද්ද? හුණුවටයේ කතාව නාට්‍යයේ වගේම අසීරු අවස්ථාවේ දරුවා රැක ගන්න බය වුණු කණ්ඩායම්, දරුවා රැක ගන්න කිසිදු සහයෝගයක් නොදුන් කණ්ඩායම් දැන් මේ දරුවාගේ අයිතිය ගන්න සටන් කරනවා. වැල් පාලමෙන් එගොඩ වෙන්න කලින්ම දරුවාව අයිති කරගන්න වෙහෙසෙනවා. දරුවාව දෙපැත්තට විතරක් නෙවෙයි, හැම පැත්තටම අදින්න හදනවා.හැබැයි අප දන්නා හුණුවටයේ කතාව අවසානයේ දරුවාගේ හිමිකම සැබෑ මව් ගුණය ඇති අම්මාටම ලැබෙනවා.

නාට්‍යයේ පොතේ ගුරු මෙන්න මෙහෙම කියනවා.“දෙයක් වේ නම් යම් – සුදුස්සාටම ලැබිය යුතු ය..රියකරු මනාවූ ලැබිය යුතු වූ සේම අස්රිය…..”ඉතින් හුණුවටය නාට්‍යයේ විනිසුරු අසඩක් වගේම ඔබ නිවැරදි තීරණය ගන්න.එතකොට සුදුස්සාට සුදුසු දේම ලැබේවි. අපේ රටට දීප්තිමත් අනාගතයක් උදාවේවි.ස්තුතියි."


සම්බන්ධිත පුවත් | Related News

ලබන වසරේ මුල් කාලය දක්වා අපේක්ෂිත උද්ධමනය මීට පෙර සඳහන් කළ අගයන්ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බව මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති වාර්තාව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අගෝස්තු 12 වැනිදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ සම්පූර්ණ, සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයෙන් ඉල්ලීමක් කර තිබේ.
භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලද බව කියන ආන්දෝලනාත්මක බහාළුම් 323ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෝ ලේඛනයක් තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා රේගුව දැනුම් දී තිබේ.
ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවta (HHS) අනුව, බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමට අදාළ වෛද්‍ය සේවා වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් විසින් ඩොලර් මිලියන ගණනක මුදල් අයකර තිබේ.
ඉන්දුනීසියාවට අද (15) අලුයම ඇතිවූ භූකම්පන තත්ත්වයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
රාජ්‍ය නායකයන් අවදානම් ගත යුත්තේ රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් මිස සිය පුටුවේ හෝ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් නොවන බව සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ල මහතා පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 90 දක්වා ඉහළ දැමුවහොත් තමන් යළිත් නඩු ඇසීමට සූදානම් බව හිටපු විනිසුරුවරයෙකු මෙන්ම උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
බෞද්ධ හිමිවරුන් සිරගත කරන ලෙස ඉල්ලා සිටින්නේ බෞද්ධ විරෝධී පිරිස් බවත්, යූ ටියුබ්කරුවන්ගේ හෝ ඇතැම් කාන්තා සංවිධානවල අත්තනෝමතික ඉල්ලීම් හමුවේ නීතිය යටපත් නොවන බවත් පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු සඳහන් කරති.
මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරියේදී යළි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ප්‍රධාන පුවත්

බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව

ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවta (HHS) අනුව, බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමට අදාළ වෛද්‍ය සේවා වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් විසින් ඩොලර් මිලියන ගණනක මුදල් අයකර තිබේ.

87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..

1980 දශකයේ අගභාගයේදී (1987-1989) මෙරට ඇති වූ දේශපාලන අර්බුදය හා භීෂණකාරී යුගය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළිදරව් කර ගැනීමටත්, ඒ හරහා අගතියට පත් සියලු පාර්ශ්වයන්ට හා විපතට පත් වූවන්ට සාධාරණය ඉටු කිරීමටත් ස්වාධීන හා අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..

පලාලි ප්‍රදේශයේ පිහිටා ඇති යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය (SFHQ-Jaffna) හදිසියේම වෙනත් ස්ථානයකට රැගෙන යාමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා වන අතර, එම පියවර රටේ ජාතික ආරක්ෂාවට සහ උපායමාර්ගික ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වන බවට ආරක්ෂක විශ්ලේෂකයෝ සහ හමුදා විශේෂඥයෝ අනතුරු අඟවති.

නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.