News Category
From Date
To Date
Maximum Number of Result

2024 අයවැයෙන් මොකද වෙන්නේ? - අයවැය සම්පූර්ණ කතාව මෙන්න


2024 අයවැය රටේ අනාගතය නිර්මාණය කරන අයවැයක් මෙන්ම වත්මන් ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට අනුකූල නව ආර්ථික ක්‍රමවේදයක පදනම දමන අයවැයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එම වැඩපිළිවෙළ සමඟ රටට අලුත් අනාගතයක් නිර්මාණය කිරීමට එක්වන ලෙස තමා පක්ෂ විපක්ෂ සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.

“සවිමත් අනාගතයකට පෙරවදනක්” යන තේමාව යටතේ 2024 අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

2024 අයවැය සම්පුර්ණ කතාව පහත පරිදි වේ.

බුද්ධ දේශනාවේ සමජීවිකතා කියා යෙදුමක් තියෙනවා. බුදුන්වහන්සේ සමජීවිකතා ගැන දේශනා කළේ ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ. අයවැය සමසේ සකස් කර ගැනීම ගැන තමයි, සමජීවිකතා ඔස්සේ අපට කියලා දෙන්නේ.

අඩු ආදායමක් ලබමින්, සාටෝප උදාර ජීවිතයක් ගත කිරීම වැරදි බවත්, සැබෑ අවබෝධයක් ඇත්තා අය-වැය සමව ගෙන ජීවිකාව හැඩ ගස්වා ගත යුතු බවත් එහිදී පෙන්වා දෙනවා.

වියදම් කළ යුත්තේ ආදායමට සරිලන විදියටයි. ඒක තමයි බෞද්ධ ආර්ථික දර්ශනයෙන් අපට පෙන්වා දෙන්නේ. හැබැයි නිදහසින් පසු අවුරුදු 75 ක් තිස්සේ හුඟක් වෙලාවට අපි ආදායමට සරිලන ලෙස වියදම් කළේ නෑ. මම මෙහෙම කිව්වාම මේ රටේ ආණ්ඩු නාස්තිකාර වියදම් කළා කියා කෙනෙකුට හිතන්න පුළුවන්. ආණ්ඩු විතරක් නෙවෙයි. මේ රටේ අපි හැමෝම ඒ වැරැද්ද කළා.

රස්සාවල් දුන්නේ, පඩි වැඩි කළේ, නිකම් හාල් දුන්නෙ, සහන දුන්නෙ, රාජ්‍ය ව්‍යවසායයන් නඩත්තු කළේ එක්කෝ ණය වෙලා. නැත්නම් සල්ලි අච්චු ගහලා. මැතිවරණ දිනුවෙ මෙන්න මේ වගේ පොරොන්දුවලින්. ආණ්ඩුවෙ රස්සා. රාජ්‍ය සම්පත් රැක ගැනීම. සහන මළු, බඩු මිල අඩු කිරීම්, වැඩි පඩි. ඔන්න ඔය වගේ ආදායමට නොගැලපෙන සාටෝප උදාර ජීවිත ගත කරන්න අපි රටටත්, ලෝකයටත් ණය වුණා.

බුදුන් වහන්සේ සාමඤ්ඤඵල සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ ණය ගත යුත්තේ ආයෝජනය සඳහා මිස පරිභෝජනය සඳහා නොවන බවයි. හැබැයි අපි ණය ගත්තේ පරිභෝජනයට. මේ ආකාරයෙන් ණය ගැනීම සහ පොළී ගෙවීම අන්ත අනතුරුදායක බව අංගුත්තර චක්ක නිපාතයේ ඉණ සූත්‍රයේ සඳහන් වෙනවා.

සමජීවිකතා සහ බෞද්ධ ආර්ථික දර්ශනය නොතකා හැරීමේ ප්‍රතිඵලයක් හැටියට නිදහසින් වසර 75 ක් ගත වෙද්දී අපි අන්ත අසීරුතාවයට පත්වුණා. අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. බංකොලොත් රාජ්‍යයක් බවට පත්වුණා.

පෙට්‍රල් ලීටර දෙක තුනකට මිනී මරා ගත්තා. ගෑස් ටැංකියකට දබර කර ගත්තා. දවසට පැය දහය පහලොව කළුවරේ හිටියා. සුපිරි වෙ‍ළෙඳ ශාලා දරමිටි විකුණන්න පටන් ගත්තා. ව්‍යාපාර කඩා වැටුණා. සංචාරක කර්මාන්තය බිඳ වැටුණා. රස්සාවල් නැතිවුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ නැත්තටම නැති වුණා. හැම තැනම පෝලිම්. පොදු ප්‍රවාහන සේවා කඩා වැටුණා. පාසැල් වැසුණා. විභාග පවත්වන්න බැරිවුණා. පොහොර හිඟය නිසා ආහාර අර්බුදයක් ඇති වුණා. අපට ඉතුරු වෙලා තිබුණෙ රටක් නෙවෙයි අපායක්.

මේ අපායෙන් රට මුදවා ගැනීමේ අභියෝගය බාර ගන්න කිසිවෙකුත් කැමති වුණේ නෑ. අන්දරේ ගල ඉස්සුවා වගේ විවිධ හේතු කියමින් ඔවුන් අභියෝගය හමුවේ කර ඇරියා. සමහරු කේන්දර බැලුවා. තවත් සමහරු ව්‍යවස්ථානුකූලව ඉටු කරන්න බැරි කොන්දේසි දැම්මා.

ඔන්න ඔහොම පසුබිමක තමයි මම මේ රට බාර ගත්තෙ.

ඒ වෙලාවෙ මම බාරගත්තෙ මරණාසන්න ලෙඩෙක්. අපායක් බවට පත්වුණු රටක්. පීලි පැන, හතර ගාතෙ ඇද වැටී තිබුණු ආර්ථිකයක්.

අපි විවිධ බාධක හා දුෂ්කරතා මැද්දේ, විධිමත් හා ක්‍රමවත් සැලැස්මක් යටතේ දිවා රෑ නොබලා වැඩ කරන්න පටන් ගත්තා. රට අපායෙන් මුදවා ගන්න වෙර දැරුවා. රාජ්‍ය නිළධාරීන් වෙහෙසෙමින්, කැප වෙමින් රට ගොඩගැනීමේ වෑයමට උදව් කළා. අපේ මිත්‍ර රටවල් සියල්ලම උපරිමයෙන් අප ගැන සොයා බැලුවා. සහන සැලසුවා.

ඒ අවස්ථාවේ දී මම ප්‍රසිද්ධියේම ඔබ සැමට කියා සිටියේ පරිපූර්ණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඔස්සේ ආර්ථිකය යළි නඟා සිටුවීමටත්, ආර්ථික අපා දුකින් ජනතාව බේරා ගැනීමටත් මම කැපවී වෙහෙසී කටයුතු කරන බවයි. මේ වෙහෙසීමට හා කැපවීමට දායක වුණේ මම විතරක් නෙවෙයි. මේ රටේම ජනතාව ඒ වෙනුවෙන් වෙහෙසුණා. ඒ වෙනුවෙන් කැපවුණා. එසේ නොකර රට ආපස්සට ඇද දමන්නට වෙහෙසුණු පිරිසකුත් හිටියා. නමුත් ඒ අයගේ අපේක්‍ෂාවන් සුන් කරමින් රට කිසියම් ස්ථාවරත්වයකට පත් කරන්නට දැන් අපට පුළුවන් වෙලා තියෙනවා.

පීලි පැන ඇද වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට දැන් අපට හැකි වී තියෙනවා. අප ඒ සඳහා ආනයන සීමා කිරීම් වැනි තාවකාලික පියවර රැසක් ගත්තා. නමුත් එවැනි සීමා කිරීම් දිගින් දිගටම පවත්වා ගෙන යෑම ආර්ථිකයට හිතකර නැහැ. දැන් අපි දීර්ඝ කාලීන හා තිරසර පියවර ගත යුතු කාලයයි. පීල්ල මත තැබූ ආර්ථිකය යළිත් පීලි මත දුවවන්නට හැකි වන්නේ එවිටයි. මරණයෙන් බේරා ගත් ආර්ථිකය පූර්ණ වශයෙන් සුවපත් කිරීමට හැකි වන්නේ එවිටයි.

ඒක ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. නමුත් අපට එය කරන්න පුළුවන්. අප යන මේ මාර්ගය ඔස්සේ, තව තවත් නව සංකල්පවලින් පෝෂණය වෙමින් ඉදිරියට ගියොත් අපට මේ අභියෝගය ජයගන්න පුළුවන්.

සමජීවිකතා සංකල්පයෙන් පිට පැන, දේශපාලන වාසියක් ලබා ගත හැකි කරුණු පමණක් උලුප්පමින් විසඳුම් සෙවීම අසාර්ථක බව ඉතිහාසය ඔප්පු කර තියෙනවා. ඇයි ඉතින් අසාර්ථක බව දැන දැනම තව තවත් ඒ වැඩේම කරන්නෙ?

සුරංගනා කතා කීවාට රටක් ඉදිරියට යන්නේ නෑ. සිහින මාළිගාවලින් පොරොන්දු වී රටක් දියුණු කරන්න බෑ. කාලයක් තිස්සේ එක් එක් දේශපාලන පක්‍ෂ ලබා දුන් ඡන්ද පොරොන්දු නිසා රට ආපස්සට ගියා. එහි අවසාන ප්‍රතිඵලය රට බංකොලොත් වීම බව ඇස් ඉදිරියේ සනාථ වුණා. ඒත් අවාසනාවට රටේ සමහර කණ්ඩායම් මේ තත්ත්වය තවමත් අවබෝධ කර ගෙන නැහැ.

මම යළි යළිත් ඔබෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් මිත්‍යාව පැතිරවීම නවත්තමු. අපි අපිටම අවංක වෙමු. දේශපාලනයට වඩා රට ගැන හිතමු. රට ඉහළට ඔසවා තබන්න එක්වෙමු. රට ශක්තිමත් වුණාට පසු දේශපාලන අරමුණු ගැන හිතමු.

අවුරුද්දකට කලින් අපේ රටේ තත්ත්වයට වඩා දැන් තත්ත්වය යහපත්. මම මේ කියන්නේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම යහපත් තත්ත්වයකට පත්වෙලා කියලා නෙවෙයි. එදාට වඩා සංසන්දනාත්මකව අද යහපත්. ඒ තත්ත්වය අප ලබා ගත්තේ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින්. කැපවීම් කරමින්. අමාරුකම් හමුවේ ජීවිත ගැටගසා ගනිමින්.

අප මේ යන දුෂ්කර මාවතේ අඩියෙන් අඩිය ඉදිරියට ගියොත් නොබෝ කලකින් මීට වඩා යහපත් ආර්ථික පරිසරයක් අපට අනිවාර්යෙන්ම නිර්මාණය කර ගන්න පුලුවන්. අප යන මේ මාවත නිවැරදි බව පසුගිය වසර දෙස ආපසු හැරී බලද්දී සියයට 100 ක්ම සනාථ වෙනවා. පෙට්‍රල් ලීටරයකට මිනී මරා ගත් රටක් අද පෝලිමකින් හෝ සීමාවකින් තොරව පෙට්‍රල් ලබා ගන්නවා. ගෑස් ටැංකියක් ලබා ගැනීමට සති ගණන් පාරේ රස්තියාදු වූ රටක් අද එක දුරකථන ඇමතුමකින් ගෙදරටම ගෑස් ටැංකිය ලබා ගන්නවා. දවසකට පැය දහයක් දොළහක් විදුලිය නැතිව සිටි රටක් අද අඛණ්ඩව විදුලි බලය ලබා ගන්නවා. සුපිරි වෙළෙඳසැලේ සිට සිල්ලර කඩය දක්වා දර මිටි අවි කළ රටක් අද වෙනස් වී තිබෙනවා. ඒ කියන්නේ අප යන මාවත නිවැරදියි. අපේ සැලසුම් නිවැරදියි. අපේ උපාය මාර්ග නිවැරදියි. ඒ නිසා අමාරුවෙන් වුණත් අපි මේ ගමනේ ඉතිරි ටිකත් ඉදිරියටම යමු.

මේ ගමන් මග මෙතෙක් ඉදිරියට එද්දී යම් යම් අඩුපාඩු සිද්ධ වුණා. ඒවා අප හඳුනාගෙන තියෙනවා. අප ඉතා නිහතමානීව ඒ අඩුපාඩු සහ වැරදි නිවැරදි කරගන්නට ක්‍රියා කරනවා.

පීලි පැනපු ආර්ථිකය යළිත් පීල්ල මත තැබූ පමණින් අපට සෑහීමකට පත් වෙන්න බෑ. ඒ පමණින් අපට ලොකු සහනයක්, පහසුවක් සැලසෙන්නෙත් නෑ. අපේ දුෂ්කර සමය තවම ඉවර වෙලත් නෑ. මුළු රටම විවිධ අන්දමින් දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා.

උද්ධමන වේගය තනි ඉලක්කමක් දක්වා අඩු කරලීමට අපට හැකි වුණ නිසා අධි උද්ධමනකාරී විනාශයෙන් රට ගලවා ගැනීමට අපට පුළුවන් වුණා. නමුත් මේ දරුණු අර්බුදය නිසා ඉහළ ගිය ජීවන වියදමට සරිලන පරිදි වැටුප් හා ආදායම් වැඩි කර ගැනීමට අපට තවමත් හැකි වී නැහැ. ඉන්ධන සහ විදුලි බිල තියුණු ලෙස ඉහළ යෑම සෑම පවුලකටම අනර්ථකාරී ලෙස බලපෑවා. බදු ඉහළ නැංවීම නිසා තනි පුද්ගලයන් පමණක් නොව, කුඩා ව්‍යාපාරවල සිට මහා පරිමාණ ව්‍යාපාර දක්වා තිගැස්සීමකට ලක්වී තියෙනවා. නිෂ්පාදන වියදම් ඉහළ ගොස් තිබෙනවා.

රටේ ජනතාව විදින මේ දුක් පීඩාවන් ගැන අප හොඳින්ම දන්නවා. ස්ථාවර සහ සංවර්ධිත ආර්ථිකයක් කරා යන ගමන සුන්දර නැහැ. දුෂ්කරයි. කටුකයි. අභියෝගාත්මකයි.

බංකොළොත් රටක් යළි ප්‍රකෘතියට පත් කිරීම මහා දුෂ්කර ව්‍යායාමයක්. මේ දුෂ්කර කාලය ගෙවා ගතහොත් අපට සහනදායී සුන්දර සමාජයක් නිර්මාණය කර ගන්න පුලුවන් වෙනවා. එහෙම නැතුව බලය ලබා ගැනීමේ දේශපාලන අරමුණු මතින් ජනතාවට සහන ලබාදීමේ සිහින මාළිගා ඉදිකරන්නට ගියොත් අවසානයේ රට යළිත් බංකොළොත් වෙනවා.

අප මෙතෙක් පැමිණි ගමන් මගේ සාර්ථකත්වයට හේතුව අප ආරම්භ කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළයි. 2022 දී මෙන් ආර්ථික අපායකට නොවැටී ඉදිරියට යන්නට මේ ප්‍රතිසංස්කරණ වැඩසටහන පදනම දමා තිබෙනවා.

2013 වසරේ සිට විදුලි උත්පාදනය සඳහා රජය වැය කරන මුදලට සරිලන පරිදි විදුලි බිල සංශෝධනය කිරීමේ පිළිවෙතක් අනුගමනය කෙරුණේ නැහැ. මේ නිසා විදුලි බල මණ්ඩලය බරපතළ ලෙස පාඩු ලැබුවා. 2022 වන තෙක්ම මේ පාඩු පියවීම සඳහා රාජ්‍ය බැංකු දෙකෙන් මුදල් ලබා ගත්තා. ඒ වගේම හිතා ගන්නට බැරි තරමේ පාඩු ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව පියවා ගත්තේ ද රාජ්‍ය බැංකු දෙකේ මුදල්වලින්. මේ තත්ත්වය කොයි තරම් බරපතළ වුණා ද කිවහොත් මේ වන විට රාජ්‍ය බැංකු දෙකේම ශේෂ පත්‍ර දුර්වල මට්ටමකට ඇද වැටී තියෙනවා. මේ බැංකු දෙක ශක්තිමත් කරලීම සඳහා මුදල් යෙදවීමට ආණ්ඩුවට සිදු වී තිබෙනවා. ඒ මුදල් ලබා ගන්නේ කොහෙන්ද? ඒ මුදල් ලබා ගන්න වෙන්නෙ ජනතාවගෙන් අය කරන බදු මුදල්වලින්.

පාඩු ලබන රාජ්‍ය ආයතනවල පාඩුව පියවන්න රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගන්නවා. ඒ නිසා රාජ්‍ය බැංකු දුර්වල වන විට බැංකු කඩා වැටීම වැළැක්වීම සඳහා ආණ්ඩුව මුදල් ලබා දෙනවා. ඒ මුදල් උපයා ගැනීමට නම් ජනතාවට වැඩි වැඩියෙන් බදු බර පැටවීමට සිදු වෙනවා.

සමහර කණ්ඩායම් පඩි වැඩි කරන්න කියා උද්ඝෝෂණ කරනවා. මේ දවස්වල රජයේ සේවකයන්ට විතරක් නෙවෙයි. මුළු රටටම අමාරුයි. මේ දුෂ්කර තත්ත්වයෙන් ගොඩ එන්න අපි දවසින් දවස, පියවරෙන් පියවර ඉදිරියට යා යුතුයි. එය අසීරු ගමනක්. වැඩ වර්ජන නිසා එක පැත්තකින් ඉදිරි ගමන අඩාල වෙනවා. අනික් පැත්තෙන් රටේ බහුතර ජනතාවක් පීඩාවට පත් වෙනවා.

පඩි වැඩි කිරීම ගැනත් මම වචනයක් සඳහන් කළ යුතුයි. පඩි වැඩි කිරීම් හිතුමතේ කරන්න බෑ. රජයේ සේවකයන්ට පඩි ගෙවීම සඳහා රජයේ බදු ආදායමෙන් සියයට 35 ක් වැයවෙනවා. තවත් පඩි වැඩි කරන්න නම්, රජයේ ආදායම් වැඩි කරගන්න ඕනෑ.

රජයේ ආදායම් වැඩි කරගන්නේ නැතුවත් ඕනෙ නම් පඩි වැඩි කරන්න පුළුවන්. ඒ කොහොමද? එක්කෝ සල්ලි අච්චු ගහන්න ඕනෑ. නැත්නම් පිටරටකින් ණය ගන්න ඕනෑ. ඒත් නැත්තම් අලුතෙන් බදු ගහන්න ඕනෑ. ඒ පිළිවෙත සමජීවිකතා සංකල්පයට විරුද්ධයි. එවැනි පියවරවලින් වෙන්නේ රට නැවතත් අගාධයට ඇද වැටීමයි.

විදුලි බල මණ්ඩලය විදුලිය උත්පාදනය සඳහා විශාල මුදලක් වැය කරනවා. මේ නිසා මහා පරිමාණ අඩු වියදම් පුනර්ජනනීය බලශක්තිය ප්‍රධාන විදුලි ජාලයට එක් කිරීමට අවශ්‍ය සියලුම නීතිමය බාධක අපි ඉවත් කළා. අකාර්යක්‍ෂම විදුලි බල මණ්ඩලය වෙනුවට කාර්යක්‍ෂම ආයතනයක් ලෙස එය ප්‍රතිව්‍යුහගත කිරීමේ නීති රීති දැන් සම්පාදනය වෙමින් පවතිනවා. විදුලි බල උත්පාදනය කාර්යක්‍ෂම ලෙස ඉටු කළ හැකි ආයතනික වෙනස්කම් සිදු කිරීමෙන් පසු ජනතාවගේ විදුලි බිල මීට වඩා සැහැල්ලු වෙනවා.

සමහර දේශපාලන කණ්ඩායම් විදුලි බල මණ්ඩලය කාර්යක්‍ෂම ආයතනයක් ලෙස ප්‍රතිව්‍යුහගත කරනවාට විරුද්ධයි. ඔවුන් කියන්නේ කෙසේ හෝ විදුලි බිල පහත දමන ලෙසයි. එවැනි දේකින් සිද්ධ වෙන්නේ නැවතත් අප අර විෂම චක්‍රයේ ගොදුරක් බවට නැවත පත් වීමයි. සමජීවිකතා සංකල්පයට පිටුපෑමයි.

රාජ්‍ය බදු ඉහළ දැමීම ගැනත් බරපතළ විවේචන තියෙනවා. බදු ඉහළ දැමීමට අපට සිදු වූයේ ඇයි? බදු ව්‍යුහයන් වෙනස් කිරීම සහ බදු ප්‍රතිසංස්කරණ අප කාලයක් තිස්සේ නොසලකා හැරියා. මේ නිසා රාජ්‍ය මූල්‍ය අංශය දුර්වල වුණා. එය යළි ශක්තිමත්ව පවත්වා ගෙන යාමට නම් අනිවාර්යෙන්ම බදු ක්‍රමයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කළ යුතු වුණා.

සෑම මාසයකම රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීමට රුපියල් බිලියන 93 ක් වැය වෙනවා. අස්වැසුම, ඖෂධ, විශ්‍රාම වැටුප් ආදී මහජන සුබසාධනය වෙනුවෙන් මසකට රුපියල් බිලියන 30 ක් වැය වෙනවා. ඒ සමඟම රුපියල් බිලියන 220 ක් ණය පොලී ගෙවීමට වැය වෙනවා. මෙම කාරණාවලට පමණක් වැය වන මාසික රාජ්‍ය වියදම රුපියල් බිලියන 383 ක්. 2023 පළමු මාස 9 තුළ අපේ මාසික බදු ආදායම රුපියල් බිලියන 215 යි. රුපියල් බිලියන 168 ක් හිඟයි. මේ හිඟය පියවන්න නම් තව තවත් ණය ගත යුතු වෙනවා.

මෙතෙක් මේ හිඟ මුදල් පියවා ගත්තේ කොහොමද? විදේශ ණය ලබා ගන්නවා. ලංකාවේ බැංකුවලින් අයිරා ලබා ගන්නවා. මේ ක්‍රම දෙකෙන් හිඟ මුදල් පියවා ගැනීමට බැරි වූ විට මුදල් අච්චු ගහනවා.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් අපට විදේශ මුදල් හා විදේශ ණය ලබා ගත හැක්කේ ඉතා සීමාසහිතවයි. 2021 වසරේ රුපියල් බිලියන 900 ක බැංකු අයිරා ලබා ගෙන තිබුණා. දැන් බැංකු අයිරා ලබා ගැනීම රුපියල් බිලියන 70 දක්වා පහත මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. නව මහ බැංකු පනත අනුව මුදල් අච්චු ගසන්නටත් බෑ. මේ නිසා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 සිට සියයට 15 දක්වා ඉහළ නංවා ගත්තේ නැත්නම් අපි නැවතත් ආර්ථික අපායකට ඇද වැටෙනවා. බදු අඩු කිරීමක් කළහොත් වෙනත් ආකාරයකින් තවත් පිරවීමක් කළ යුතුයි. සමහර කණ්ඩායම් ප්‍රකාශ කරනවාක් මෙන්, සරල – සුන්දර පොරොන්දුවලින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

මේ අවුරුද්දේ අප ඉලක්ක කරන ලද රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3,415 ක්. මේ දක්වා අප උපයා ගෙන ඇති ආදායම රුපියල් බිලියන 2,410 ක්. ඒ කියන්නේ අප ඉලක්කගත ආදායම උපදවා ගන්නට අසමත් වෙලා. මේ කරුණුත් අප දැඩි ලෙස සැලකිල්ලට ගත යුතුයි. ඉලක්කගත රාජ්‍ය ආදායම උපයා ගැනීමට වෙහෙසිය යුතුයි.

අලුතෙන් බදු ලිපි ගොනුවක් ලියාපදිංචි කරන ලෙස වැඩි ආදායම් ඇති අයගෙන් අප අවස්ථා කීපයකම ඉල්ලා සිටියා. නමුත් බහුතරයක් එසේ කළේ නෑ. එයට මූලික හේතුව බදු ගොනුවක් විවෘත කිරීමෙන් පසු නැති කරදරවලට මුහුණ දෙන්නට සිදුවෙතැයි කියන විශ්වාසය. ඒක ඇත්ත. බදු අය කිරීම් සම්බන්ධයෙන් අනවශ්‍ය සංකීර්ණතා තියෙනවා. සමහර නිලධාරීන්ගේ අනවශ්‍ය බලපෑම්වලට යටත් වෙන්නට සිදුවෙන අවස්ථා තියෙනවා. බදු ගෙවීම හිසරදයක් වෙන තරමට සමහර ගෙවීම් ක්‍රම සංකීර්ණයි.

අපේ බදු ක්‍රමයේ ඇති මෙවැනි බරපතල අඩුපාඩු ගණනාවක් අප හඳුනාගෙන තියෙනවා. වර්තමානයේ සමස්ත ඍජු බදු බර සමාජයේ සීමිත කොටස් කිහිපයක් මත පැටවී තියෙනවා. ආදායම් එකතු කිරීමේ ක්‍රමවේදයන්හි කාලයක් තිස්සේ පවතින දුර්වලතා සහ නොසලකා හැරීම් නිසා බදු පැහැර හැරීම් සිදු වෙනවා.

මෙම අඩුපාඩු සකස් කර ගැනීමේ යෝජනා ගණනාවක් මේ අයවැයට අප ඇතුළත් කර තියෙනවා. මෙම යෝජනා එක රැයෙන් ක්‍රියාත්මක කළ හැකි වන්නේ නෑ. ඒවා ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළ යුතුයි. එම යෝජනා ඔස්සේ රාජ්‍ය ආදායම් වැඩි කර ගත් විට අපට අදට වඩා බදු සහන ලබාදීමේ අවකාශය උදා වෙනවා.

රාජ්‍ය වියදම් අඩු කර ගැනීමෙන් ජනතාවගේ බදු බර අඩු කරන්නට පුළුවන් බව සමහරු පවසනවා. නමුත් රාජ්‍ය වියදම්වලින් වැඩි ප්‍රතිශතයක්, එනම් සියයට 35 ක් වැය වෙන්නේ රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවීමටයි.

දැනට රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය මිලියන 1.3 ක්. සංඛ්‍යාව වැඩි වුවත් අපට ඔවුන්ව රැකියාවලින් ඉවත් කිරීමට බැහැ. එසේ කළහොත් දැවැන්ත සමාජ අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මෙම ගැටලූවලට ඉතා පරිස්සමින් සහ සංවේදීව අප මුහුණදිය යුතුයි.

හැබැයි අපි රජයේ නාස්තිකාර වියදම් අවම කළ යුතුයි. රජයේ ආයතනවල මොන තරම් මුදල් නාස්තියක් සිද්ධ වෙනවාද? මොන තරම් කාල නාස්තියක් සිද්ධ වෙනවාද? මේවාත් අප වළක්වාගත යුතුයි. රජයේ ආයතනයක වැඩක් කරන්න ගියාම සාමාන්‍ය පුරවැසියෙකුගේ කාලය, ශ්‍රමය සහ මුදල් මොන තරම් අපතේ යනවාද? මෙන්න මේ අඩුපාඩු සහ වැරදිත් අප හදා ගත යුතුයි.

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් නිසා රටේ ජනතාව පීඩා විඳිනවා. ඒවායේ පාඩුව සම්පූර්ණයෙන්ම දරන්නෙ ජනතාව. ඒවා ජාතික සම්පත් කිය කියා තවදුරටත් ඒවායේ බර ජනතාව පිට පටවන දේශපාලන කණ්ඩායම් කරන්නේ රට ආපස්සට ඇදීමක්.

ඒ වගේම දූෂණය හා වංචාව රට පුරා පිළිකාවක් සේ පැතිරිලා. රටේ ධනය හොරකම් කිරීම වැළැක්වීමේ පණත් අප දැන් ඉදිරිපත් කර තියෙනවා. රටේ ධනය සහ සම්පත් සොරකම් කළ බවට විවිධ අයට විවිධ චෝදනා තියෙනවා. හැබැයි රටේ ධනය සහ සම්පත් හොරකම් කළ අය ගැන වගේම රටේ අනාගතය හොරකම් කළ අය ගැනත් අප සිතා බැලිය යුතු වෙනවා.

සමහර දේශපාලන කණ්ඩායම් සාර්ථක ව්‍යාපාර ජනසතු කර රටේ අනාගතය හොරකම් කළා. තවත් සමහරු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වැනි නිරපරාදේ නාස්ති වෙන තැන් වෙනත් රටකට බදු දීමට විරුද්ධ වී රටේ අනාගතය හොරකම් කළා. තවත් සමහරු ඇඟළුම් කර්මාන්තයට විරුද්ධ වී රටේ අනාගතය හොරකම් කළා. වරාය දියුණු කරනවාට විරුද්ධ වී අනාගතය හොරකම් කළා. මේ ලැයිස්තුව තව දිගයි. මතක තියාගන්න. ඒ අයත් කරන්නෙ හොරකම්.

හැම සංවර්ධන ව්‍යාපෘතියකටම විරුද්ධ වෙන දේශපාලන කණ්ඩායම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කරන්න ඉඩ දුන්නේම නෑ. ඒ තෙල් ටැංකි දිරාපත් වෙන්න ඉඩ ඇරියා වගේ ඔවුන්ට අවශ්‍ය නුවරඑළිය තැපැල් කාර්යාලයත් කඩා වැටෙන තත්ත්වයට පත් කරන්න.

නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක කර්මාන්තය සඳහා වෙන් කිරීම හුදෙකලා සිද්ධියක් නෙවෙයි. නුවරඑළිය සංවර්ධන සැලැස්මේ කොටසක්. අනාගතයේ නුවරඑළියේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමේ බලාපොරොත්තුවත් අපට තියෙනවා. තවත් දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් නුවරඑළියේ ක්‍රියාත්මක වෙනවා. මේ සියළු දේ කරන්නේ නුවරඑළියේ පරිසරයත්, එහි ඓතිහාසික ගොඩනැගිලිත් ආරක්‍ෂා කර ගැනීම සඳහායි.

ගාලු කොටුවේ තිබූ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලටත් මේ අය සිද්ධ කළේ මේ දේමයි. දැන් ඒ ගොඩනැගිල්ල කඩා වැටිලා. නිසි අවස්ථාවේ ඒ ගොඩනැගිල්ල සංචාරක කර්මාන්තය වෙනුවෙන් වෙන් කළා නම් ඒ ඓතිහාසික ගොඩනැගිල්ලත් අපට තියෙනවා. විදේශ විනිමයත් ලැබෙනවා.

මෑතකදී මුහුණු පොතේ සුසන්ත ආරියරත්න නැමති ආර්ථික විශ්ලේෂකයා ලියූ සටහනක් මම මෙහෙදී උපුටා දක්වන්න කැමතියි.

“රාජ්‍ය සම්පත් රැකගන්න තියෙන ෆෝමියුලා එක රාජ්‍ය සම්පත්වලට අත නොතබනු කියලා පෙළපාලි යන එක නෙවෙයි. ඒ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න එකයි. එතකොට ඒවා කාටවත් බරක් වෙන්නේ නෑ.”

අපි මෙතෙක් කල් ක්‍රියා කළේ රාජ්‍ය සම්පත් රැක ගැනීම කියන සටන් පාඨයට මුවාවෙලා ඒවායින් ප්‍රයෝජන නොගැනීම. ඒවා රටට දරන්න බැරි තරම් බරක් බවට පත් කිරීම.

හිතා බලන්න. මෙතෙක් අපේ රටේ ක්‍රියාත්මක වුණු දේශපාලන සහ ආර්ථික සංකල්ප අසාර්ථකයි. කරුණාකර ඒ බව තේරුම් ගන්න. ඔබේ අසල්වැසියාටත් ඒ බව තේරුම් කර දෙන්න. අප අලුත් දේශපාලන සහ ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරගත්තේ නැත්නම් මෙතැනින් එහාට ගමනක් නෑ.

රටේ මෙතෙක් පැවති දේශපාලන ක්‍රමයත්, ආර්ථික ක්‍රමයත් සම්පූර්ණයෙන්ම කණපිට හැරවිය යුතුයි. මම පසුගිය අයවැය ලේඛනයේදීත් ඒ බව පෙන්වා දුන්නා. සුගතපාල ද සිල්වා ‘මරා සාද්’ නාට්‍යයේ කියන පරිදි – කොට්ට උරයක් මෙන් කණපිට හරවා, අලුත් ඇහැකින් බැලියි යුතුයි.

අතීතයේ සිට අපේ රටේ මුල් බැස තිබූ සමාජ සම්මුතිය වූයේ රජය සියලූ දේ සිදු කළ යුතුයි යන්නයි. ඒ නිසා තමයි පුද්ගලික ව්‍යාපාර අඩපණ කරමින්, ඒ ව්‍යාපාර පවරා ගනිමින් සියලු ව්‍යවසායික කාර්යයන්ට රජය මැදිහත් වුණේ. හැබැයි ඒ සමාජ සම්මුතිය අසාර්ථක, යල් පැන ගිය එකක් බව දැන් තහවුරු වෙලා තියෙනවා.

අතීත අත්දැකීම්, ගෝලීය ප්‍රවණතා, අනාගත අභියෝග යන සියල්ල සලකා බලා අපටම අනන්‍ය ආර්ථික හා දේශපාලන ක්‍රමයක් අප නිර්මාණය කරගත යුතුයි. නව සමාජ සම්මුතියක් සකසා ගත යුතුයි.

මේ නව ක්‍රමයට පදනම දමමින් අපි පසුගිය වසර තුළ අනුගමනය කළ නිවැරදි පිළිවෙත් සහ ක්‍රමවේදයන් නිසා ආර්ථිකය සුවපත් වෙමින් පවතිනවා. දැන් හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. සියයට 30 ක් දක්වා ඉහළ නැග තිබූ පොලී අනුපාත දැන් සියයට 15 ක් පමණ දක්වා පහත වැටී තිබෙනවා. විදුලි බලය අඛණ්ඩව සැපයෙනවා. පොහොර හිඟයක් නැහැ. 2021 වසරේ අපේ ප්‍රථමික අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.7 ක්. 2023 මුල් භාගයේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගැනීමට අප සමත් වුණා. ගැඹුරු ආර්ථික අවපාතය මැද මේ වසරේ මුල් මාස 6 තුළ බදු ආදායම සියයට 50 කින් ඉහළ නංවා ගන්න අපට පුළුවන් වුණා. 2022 සැප්තැම්බර් මාසයේ සියයට 70 දක්වා ඉහළ නැංවී තිබූ උද්ධමනය පසුගිය ඔක්තෝබර් වෙද්දී සියයට 1.5 දක්වා අඩු වුණා. බිංදුවට වැටී තිබූ විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් දක්වා ඉහළ ගියා. විදේශීය රටවල්වල විශ්වාසය යළි තහවුරු වුණා. හැබැයි යන්න තියෙන දුර තව බොහොමයි.

පසුගිය වසර තුළ වර්ධනාත්මක ප්‍රගතියක් අපට ලබා ගැනීමට හැකි වූයේ මේ රටේ බහුතර ජනතාව රට ගැන වූ අවංක චේතනාවෙන් යුතුව සිදු කළ කැප කිරීම් නිසයි.

විවිධ දුෂ්කරතා හමුවේ ඔවුන් පළ කළ ධෛර්යය නිසයි. මෙම දුෂ්කරතා සමනය කරන්නට අවශ්‍ය පසුබිම රජය ක්‍රමානුකූලව ලබා දෙනවා. අපේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙද්දී, අපේ ආර්ථිකය ස්ථාවර වෙද්දී වඩාත් වැඩි පහසුකම් ජනතාවට සපයන්නට ඇප කැප වෙනවා.

නැවතත් 2022 වසරේ අපේ රට ඇද වැටුණු අපායට වැටෙන්නට අපට බැහැ. සමහර කණ්ඩායම් දිවා රෑ නොබලා උත්සාහ කරන්නේ නැවතත් රට ඒ තත්ත්වයට ඇද දමා ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමටයි. හැබැයි අපට දේශපාලන අරමුණක් නැහැ. අපට ඇති එකම අරමුණ රට ඉහළට ඔසවා තැබීම පමණයි.

මේ අයවැය මැතිවරණ අයවැයක් කියා සමහරු හඳුන්වනවා. එහෙම හඳුන්වන්නේ ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරණයත් පවත්වන නිසා. මැතිවරණ අයවැයකින් කරන්නේ ඡන්දය දිනාගැනීමේ අරමුණ ඇතිව කෙළවරක් නැති සහන සහ පඩි වැඩිවීම් ලබා දීම. නිදහසින් පසු අවුරුදු 75 ක කාලය තුළ බොහෝ අවස්ථාවල සිද්ධ වුණේ එයයි.

හැබැයි මේ අයවැය වෙනස්. මේ අයවැය රටේ අනාගතය නිර්මාණය කරන අයවැයක්. වත්මන් ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට අනුකූල නව ආර්ථික ක්‍රමවේදයක පදනම දමන අයවැයක්. සවිමත් අනාගතයක පෙරවදනක්.

මැතිවරණ ජයග්‍රහණයට වඩා මට වැදගත් වෙන්නේ රටේ ජයග්‍රහණයයි. මේ අයවැය රටේ ජයග්‍රහණය වෙනුවෙන් සකස් කළ අයවැයක්. බෞද්ධ ආර්ථික දර්ශනය අනුව සකස් කළ අයවැයක්. සමජීවිකතා සංකල්පය පදනම් කරගෙන රටටත්, රටේ අනාගතයටත් ජය සැලසෙන යෝජනා ගණනාවක් මේ අයවැය ලේඛනයට ඇතුළත් කර තියෙනවා.

මම දැන් 2024 අයවැය යෝජනා මේ ගරු සභාව ඉදිරිපත් කරන්නම්.

1. රාජ්‍ය සේවක වැටුප්

රජයේ සේවකයන්ට 2015 වසරෙන් පසු වැටුප් වැඩි වීමක් ලැබී නැහැ. මේ නිසා රාජ්‍ය අයවැයෙහි සමබරතාවය නොබිඳෙන අයුරින් රාජ්‍ය සේවකයන්ට සහනයක් ලබා දීමට මා යෝජනා කරනවා.

රජයේ සේවකයන් සංඛ්‍යාව මිලියන 1.3 (1,300,000) ක් පමණ වෙනවා. ඔවුන්ගේ පවුල්වල සමස්ත සාමාජික සංඛ්‍යාව මිලියන 5 කට වැඩියි. මේ රජයේ සේවකයන්ට දැනට හිමිවෙන්නේ රුපියල් 7,800 ක ජීවන වියදම් දීමනාවක්. අපි 2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව 17,800 දක්වා රුපියල් 10,000කින් වැඩි කරනවා.

මහා භාණ්ඩාගාරයට වසරේ ආදායම් ලැබෙන්න පටන් ගන්නේ පෙබරවාරි, මාර්තු මාස වන විටයි. ඒ නිසා මේ දීමනාව වැඩි වීම මාසික වැටුපට එකතු කරන්න අපට සිදු වෙන්නේ අප්‍රේල් මාසයේ සිටයි. ජනවාරි සිට මාර්තු දක්වා හිඟ මුදල ලබන ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස හයක් තුළ ලබා දීමට අප පියවර ගන්නවා.

2. විශ්‍රාම වැටුප්

රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන් ගණන 730,000 ක්. ඔවුන්ට දැනට ලැබෙන්නේ රුපියල් 3,525 ක මාසික ජීවන වියදම් දීමනාවක්. අපි රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 6,025 දක්වා රු. 2500 කින් වැඩි කරනවා. මෙම වැඩි වීම 2024 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වනවා. 2024 වසරේ දී රු. බිලියන 386 ක් විශ්‍රාම වැටුප් වෙනුවෙන් වැය කරනවා.

3. වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප

වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප, සේවකයන් සිය මූලික වැටුපෙන් සියයට 6‐7 ක දායකත්වය ලබා දෙනු ලබන දායකත්ව විශ්‍රාම වැටුපක්. වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප ගෙවීම සඳහා රජය වසරකට රු. බිලියන 65 ක් පමණ වැය කරනවා. සේවකයන්ගෙන් වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා වන වාර්ෂික දායකත්වය රු. බිලියන 38 ක් වනවා. එම නිසා, රාජ්‍ය සේවකයන්ගෙන් අය කර ගනු ලබන මුදල වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීමට ප්‍රමාණවත් වන්නේ නැහැ.

2024 අප්‍රේල් මාසයේ සිට සියලුම සේවා අංශවල මෙම විශ්‍රාම වැටුපට වූ දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය සියයට 8 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මෙම ගැලපීම මඟින් වසරකට රුපියල් බිලියන 9 ක් එකතු කර ගැනීමට හැකි වෙනවා. එමෙන්ම, වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ අඛණ්ඩතාවය ඒ මඟින් තහවුරු කරගන්නට පුළුවන් වෙනවා.

4. ආහාර හා නවාතැන් දීමනා

පොලිස් සේවයේ නියුතු නිලධාරීන් දුර බැහැර රාජකාරී කටයුතු සඳහා යන එන අවස්ථාවන්හි දී ඔවුන්ට ලබා දෙන ගමන් දීමනාව වර්තමානයට ගැලපෙන්නේ නැහැ. එබැවින් දැනට ක්‍රියාත්මක එම දීමනාව වෙනුවට පොලිස් නිලධාරීන් කණ්ඩායම් තුන සඳහා සුදුසු ගැලපීම් සහිත ආහාර හා නවාතැන් දීමනාවක් ගෙවීමට අප ක්‍රියා කරනවා.

5. ආපදා ණය

රටේ පැවති දුෂ්කර ආර්ථික තත්ත්වය හේතුවෙන්, රාජ්‍ය වියදම සැළකිලිමත්ව කළමනාකරණය කිරීමට ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කළා. එම ක්‍රියාවලිය තුළ, රාජ්‍ය සේවකයන් විසින් මුහුණ දෙන අනපේක්ෂිත හා සූදානම් නොවූ දුෂ්කරතාවයන්වල දී ඔවුන්ට ලබා දෙන ආපදා ණය හිමිකම යම් සීමා කිරීම්වලට යටත් කෙරුණා. 2024 ජනවාරි මස 1 වැනි දින සිට සියලු රාජ්‍ය සේවකයින්ට ආපදා ණය පහසුකම පෙර පරිදිම ලබා දීමට යෝජනා කරනවා.

6. අස්වැසුම

අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම අප ආරම්භ කළේ ලෝක බැංකුව ද ඇතුළු සංවර්ධන හවුල්කරුවන්ගේ සහය ඇතිවයි. නමුත්, ඉදිරි වසරේ අප ජනතාවට ප්‍රතිලාභ සලසන්නේ අපේම මුදලෙන්. මේ වැඩසටහන සඳහා පෙර වසරවල අප වැය කළේ රුපියල් බිලියන 60 ක මුදලක්. දැන් එය රුපියල් බිලියන 183 ක් දක්වා ඉහළ නංවා තියෙනවා. සමාජ ආරක්‍ෂණ වැඩසටහන් සඳහා පෙර වසරවල වැය කළ මුදල මෙන් තුන් ගුණයක් 2024 වසරේ දී අස්වැසුම වැඩසටහන සඳහා වියදම් කිරීමට අපේක්ෂා කරනවා. මේ නිසා ප්‍රතිලාභී පවුල් මිලියන 2 කට සහන සැලසෙනවා.

අස්වැසුම වැඩසටහන පදනම් වන්නේ සාධාරණ තෝරාගැනීමේ නිර්ණායක මතයි. නව වැඩසටහන වෙත මාරු වීමේ දී ඇති වී තිබෙන ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් නිවැරදි කෙරෙමින් පවතිනවා. අසාධාරණයක් සිදු වූ පවුල්වලට සාධාරණය ඉටු කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි. ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වූ, සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ට අතීතයේ සිට බලපැවැත්වෙන පරිදි ගෙවීම් සිදු කිරීමට පියවර ගන්නවා.

සමෘද්ධි නිලධාරීන්ගේ අත්දැකීම් සහ දැනුම අප අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම සඳහා උපයෝගී කරගන්නවා.

ආබාධිත පුද්ගලයන් හා වකුගඩු රෝගීන් 130,000 කට පමණ රු. 5,000 ක මාසික දීමනාවක් ගෙවනු ලබනවා. මෙම දීමනාව රු. 7,500 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා. එය සියයට 50 ක වැඩි වීමක්. වැඩිහිටි පුරවැසියන් වෙත දැනට ලබා දෙන රු. 2,000 ක මාසික දීමනාව ද රු. 3,000 දක්වා වැඩි කරනවා. මෙමගින් පුද්ගලයන් 530,000 කට වඩා ප්‍රතිලාභ සැලසෙනවා.

පොරොත්තු ලේඛනයේ සිටි සහ දැනටමත් මූල්‍ය සහය ලබා ගන්නා ප්‍රතිලාභීන් 2024 වසරේ සිට ප්‍රතිලාභීන්ගේ ලේඛනයට ඇතුළත් කර ගන්නවා. මේ සඳහා රුපියල් බිලියන 138 ක් වෙන් කරනවා.

සමහර පවුල් හදිසි ආපදාවන්ට ගොදුරු විය හැක. පවුලේ ආදායම් උපයන්නා මිය යා හැක. අනතුරකට ලක් විය හැක. රැකියා අහිමි විය හැක. ඒ වගේ අවස්ථාවන්වල මුළු පවුලම අසරණ වෙනවා. මෙන්න මේ වගේ පවුල්වලට වර්තමාන ක්‍රමය අනුව අස්වැසුම ලබා ගන්න සෑහෙන කලක් බලා සිටින්නට සිද්ධ වෙනවා. නමුත් අප ඉදිරියේ දී මාස 6කට වරක් අස්වැසුම ප්‍රතිලාභීන් සමාලෝචනයකට ලක් කරනවා. අලුත් පවුල් ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභී ලැයිස්තුවට එක් කර ගැනීමේ අවකාශය මෙමඟින් උදාවෙනවා.

අස්වැසුම වැඩසටහන සහ ආබාධිත පුද්ගලයන්, වකුගඩු රෝගීන් හා වැඩිහිටියන් සඳහා වන දීමනා සඳහා වෙන් කරන මුදල ලබන වසරේ දී රුපියල් බිලියන 205 දක්වා වැඩි කරනවා.

ගර්භනී මව්වරුන් වෙත රුපියල් 4,500 ක මාසික දීමනාවක් ලබාදීමේ ක්‍රමවේදයේ අඩුපාඩු සහ දුර්වලතා රැසක් අප හඳුනාගෙන තියෙනවා. එම අඩුපාඩු සකසා මෙම වැඩසටහන වඩා ක්‍රමවත් කරන්නට රුපියල් බිලියන 10 ක් දැනටමත් වෙන් කර තිබෙනවා.

සම්බන්ධිත පුවත් | Related News

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ආණ්ඩුවට එකතුවී එම්.ඒ සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයාට ආණ්ඩුවේ විදේශ ඇමැති ධුරය ලබාදීමට එකඟතාවයක් ඇතිවී තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
කුමන ආණ්ඩුව බලයට පැමිණියද මෙරට සහල් ඒකාධිකාරය පවතින්නේ මහා පරිමාණ මෝල් හිමියන් පස්දෙනෙකුගේ අත බවත්, රට තුළ සහල් අර්බුදයක් නිර්මාණය කරන්නේ ද ඔවුන් විසින් බවත් ජාතික ගොවිජන එක මුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
දේශපාලන විසඳුම් සහ සහයෝගීතාවයේ අවශ්‍යතාව අවධාරණය කරමින්, අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව සමඟ කටයුතු කිරීමට සිය පක්ෂයට කිසිදු ගැටළුවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ප්‍රකාශ කළේය.
පසුගිය 30 වනදා රාත්‍රියේ නැඟෙනහිර ස්පාඤ්ඤයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දකුණු ස්පාඤ්ඤයේ මලගා නගරයේ සිට නැගෙනහිර ස්පාඤ්ඤයේ වැලෙන්සියා දක්වා වන ප්‍රදේශයේ විශාල ගංවතුර තත්වයක් ඇති විය.
නව වසරේදී ශ්‍රී ලංකාවේ නව රජයේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීන රජය කටයුතු කරන බවත්, එහිදී ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසකට චීනයේ දී පුහුණු ලබාදීමටත් එම පුහුණු වැඩසටහන් නිශ්චිත විෂයන්ට අදාළව වඩාත් ඵලදායී ආකාරයට සිදුකිරීමට අපේක්ෂා කරන බවත් මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.
උදය ආර් සෙනෙවිරත්න වාර්තාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ධුරයෙන් හරිනි අමරසූරිය මහත්මිය ඉල්ලා අස්විය යුතු බවත් අසත්‍ය පැවසූ පසු ඉල්ලා අස්වීම සම්ප්‍රදායක් බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද (31) "The Island" පුවත් පතේ පලවූ "Economic stress set to heighten globally as conflicts rage (ගැටුම් උග්‍ර වන විට ගෝලීය වශයෙන් ආර්ථික පීඩනය ඉහළ යයි)" ලිපියේ සඳහන් සාවද්‍ය කරුණු සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය සිය නොසතුටට පළ කර සිටියි.
දශක හයකට වැඩි කාලයක් කියුබාවට එරෙහිව වොෂින්ටනය පනවා ඇති සම්බාධකවලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව නැවත වරක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඊයේ(30) ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කළේය.
පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනකි අල්විස් කොමිසමේ නිර්දේශ නිරාවරණය වූ පසුව ශානි අබේසේකර හා රවි සෙනවිරත්න යන අයවළුන් තවදුරටත් පාස්කු ප්‍රහාරය සෙවීමේ කාර්යයට සහ පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක නොවන බව පෙන්වා දෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනාධිපතිවරයා වෙත නිවේදනයක් යොමුකර තිබේ.

ප්‍රධාන පුවත්

සුමන්තිරන්ට විදේශ ඇමැතිකම දී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ රට බෙදන කොන්දේසිවලට ආණ්ඩුව එකඟ වෙලා - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක් (වීඩියෝ)

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ආණ්ඩුවට එකතුවී එම්.ඒ සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයාට ආණ්ඩුවේ විදේශ ඇමැති ධුරය ලබාදීමට එකඟතාවයක් ඇතිවී තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

සහල් ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නේ මේ රටේ මහා පරිමාණ මොල්හිමියො පස් දෙනෙක්... ගොවියා සූරා කාලා, පාරිභෝගිකයා විනාශ කරලා, ආණ්ඩු මට්ටු කරන ඔවුන්ගේ සෙල්ලමට තිත තියන්න ඕනේ - අනුරාධ තෙන්නකෝන්

කුමන ආණ්ඩුව බලයට පැමිණියද මෙරට සහල් ඒකාධිකාරය පවතින්නේ මහා පරිමාණ මෝල් හිමියන් පස්දෙනෙකුගේ අත බවත්, රට තුළ සහල් අර්බුදයක් නිර්මාණය කරන්නේ ද ඔවුන් විසින් බවත් ජාතික ගොවිජන එක මුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

ආණ්ඩුව එක්ක එකට වැඩකරන්න සුමන්තිරන්ලා සූදානමින්

දේශපාලන විසඳුම් සහ සහයෝගීතාවයේ අවශ්‍යතාව අවධාරණය කරමින්, අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව සමඟ කටයුතු කිරීමට සිය පක්ෂයට කිසිදු ගැටළුවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් ප්‍රකාශ කළේය.

දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයේ දරුණුතම ගංවතුරෙන් දුසිම් ගනනක් මිය යයි (වීඩියෝ)

පසුගිය 30 වනදා රාත්‍රියේ නැඟෙනහිර ස්පාඤ්ඤයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දකුණු ස්පාඤ්ඤයේ මලගා නගරයේ සිට නැගෙනහිර ස්පාඤ්ඤයේ වැලෙන්සියා දක්වා වන ප්‍රදේශයේ විශාල ගංවතුර තත්වයක් ඇති විය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීනය කටයුතු කරනවා - ශ්‍රී ලංකාවේ චීන තානාපති

නව වසරේදී ශ්‍රී ලංකාවේ නව රජයේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීන රජය කටයුතු කරන බවත්, එහිදී ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසකට චීනයේ දී පුහුණු ලබාදීමටත් එම පුහුණු වැඩසටහන් නිශ්චිත විෂයන්ට අදාළව වඩාත් ඵලදායී ආකාරයට සිදුකිරීමට අපේක්ෂා කරන බවත් මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.

බොරු කියපු නිසා හරිනි අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි - හිටපු ජනපති රනිල් කියයි

උදය ආර් සෙනෙවිරත්න වාර්තාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ධුරයෙන් හරිනි අමරසූරිය මහත්මිය ඉල්ලා අස්විය යුතු බවත් අසත්‍ය පැවසූ පසු ඉල්ලා අස්වීම සම්ප්‍රදායක් බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"The Island" පුවත් පතේ ලින් ඔකර්ස් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නන් විසින් මෙහෙයවනු ලබන්නෙක්දැයි සැකයි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය

අද (31) "The Island" පුවත් පතේ පලවූ "Economic stress set to heighten globally as conflicts rage (ගැටුම් උග්‍ර වන විට ගෝලීය වශයෙන් ආර්ථික පීඩනය ඉහළ යයි)" ලිපියේ සඳහන් සාවද්‍ය කරුණු සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය සිය නොසතුටට පළ කර සිටියි.

කියුබාවට අත නොතබනු!එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලෝක ජනයා ඇමරිකාවට තදින් කියයි

දශක හයකට වැඩි කාලයක් කියුබාවට එරෙහිව වොෂින්ටනය පනවා ඇති සම්බාධකවලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව නැවත වරක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඊයේ(30) ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාර විමර්ශන කමිටු වාර්තාවලින් චෝදනා ලැබූ රවි, ශානි රජයේ ඉහළ තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක ද? - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනපති අනුරගෙන් අසයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනකි අල්විස් කොමිසමේ නිර්දේශ නිරාවරණය වූ පසුව ශානි අබේසේකර හා රවි සෙනවිරත්න යන අයවළුන් තවදුරටත් පාස්කු ප්‍රහාරය සෙවීමේ කාර්යයට සහ පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක නොවන බව පෙන්වා දෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනාධිපතිවරයා වෙත නිවේදනයක් යොමුකර තිබේ.

මග පෙන්වන විපක්ෂයක භූමිකාව ඉෂ්ඨ කිරීම වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා... තරුණ්‍යයේ හීන මියගිය බිමක එම හීන යථාර්ථයක් කිරීම වෙනුවෙන් කැප වෙනවා - උවිඳු මහනුවරදී කියයි

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දෙවන පරපුර පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජනහමු මාලාව දෙවන පරපුරේ නායක, උවිඳු විජේවීර මහතාගේ සහභාගීත්වයෙන් පෙරේදා (29) දින දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පැවැත්විණි.

රන්ජන්ගේ පක්ෂය පුපුරයි! ඇතුළේ ගේම් රැසක් හෙළිවෙයි (වීඩියෝ)

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය කාගෙදැයි ප්‍රශ්නයක් මතුවී ඇති බවත්, ව්‍යවස්ථාව කුමන පක්ෂයකදැයි ප්‍රශ්නයක් පැන නැගී ඇති බවත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ අපේක්ෂකයන් ප්‍රශ්න කරයි.

රවි සහ ශානි පාස්කු ප්‍රහාරයේ විමර්ශන සිදු කළ යුතුම යැයි ආණ්ඩුව කියන්නේ ඊබ්‍රහීම්ව බේරගන්න... තමන්ගේ සගයන් බේරාගන්න ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍ය කුඩුපට්ටම් කරන්න සැරසෙනවා - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් (වීඩියෝ)

ආණ්ඩුව පාස්කු ප්‍රහාරය පිළිබඳව විර්ශනය කළ කමිටු වාර්තා දෙකම ප්‍රතික්ෂේපකර ඇති බවත්, අල්විස් කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන අවස්ථාවේ විජිත හේරත් ඇමැතිවරයා හේතුව ලෙස පැවසුවේ සභාපති විනිසුරුවරියට විෂමාචාර චෝදනා ඇති නිසා එම කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව යැයි ද, එහෙත් එම විනිසුරුවරිය විෂමාචාර චෝදනාවට වැරැදිකරු බවට ඔප්පුකරන ලෙස තමන් පැවසූ විට ඇමැතිවරයා නිහඩව සිටි බවත්, එබැවින් ඔහු පැවසූ බොරුව දැන් හෙළිවී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නගාසිටුවීමට රුසියාවේ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති පොරොන්දු වෙයි

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සංවිධානය කරන ලද “Gem Sri Lanka 2025 ප්‍රදර්ශනය” හඳුන්වාදීමේ වැඩසටහනට ඊයේ(29) දින රුසියානු තානාපති ලෙවන් ධගාරියන් මහතා සහභාගී විය.

අනාගත චීන-එක්සත් ජනපද සබඳතා මහා බල ගැටුමේ ඛේදවාචකය සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරන න්‍යාය වැරදි බව ඔප්පු ඇතැයි මම බලාපොරොත්තු වනවා- චිකාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් මර්ෂයිමර්

2024 වර්ෂයේ ඔක්තෝබර් මස මැද භාගයේදී, චිකාගෝ විශ්ව විද්‍යාලයේ, 77 හැවිරිදි මහාචාර්ය John Mearsheimer (ජෝන් මර්ෂයිමර්) චීනයේ චාරිකාවක නිරත විය. ඔහු චීන විශ්ව විද්‍යාල කිහිපයක දේශන පැවැත්වූ අතර සින්හුවා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ‍Yan Xuetong සමඟ ගෝලීය අනුපිළිවෙල සහ එක්සත් ජනපද-චීන ​​සබඳතා පිළිබඳ විවාදයක නිරත විය. ඡායාරූප ගැනිමට සහ සුහද සාකච්ඡාවට වෙන් කර තිබූ කාලය අතරතුර, චීන පාඨකයින් විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

රනිල්ට උත්තර දෙන්න හරිනි බබාට බැරිනම් විජිත හේරත්ට හෝ අනුර දිසානායකට කොන්ද පණ තියෙන්න ඕනෙ! - ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාර

"සියල්ල හරියට කරලා රට බාරදුන්නා... දැන් තියෙන්නෙ කරගෙන යන්න පමණයි... හරිනි ව්‍යවස්ථාව දන්නේ නැතිනම් කියල දෙන්න පුලුවන්" යැයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අගමැති හරිනි අමරසූරිය විසින් පිළිතුරු නොබැඳීම පිළිබඳව ලංකා ලීඩර් පාඨකයන් විසින් අදහස් යොමුකරති. එම අදහස්වල සම්පිණ්ඩනය මෙසේ දැක්විය හැකිය.

විජිත හේරත් ඇමැතිවරයා සතුරන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු බැඳීම වෙනුවට තමන් කරන්නේ කුමක්දැයි කියනවා නම් වඩා හොඳයි - ජාතික සංවිධානවලින් අවවාදයක්

නව රජය විසින් මුදල් අච්චු ගැසීම පිළිබඳව එල්ලවන චෝදනා සහ ඊට අමාත්‍ය විජිත හේරත් ලබාදෙන පිළිතුරු පිළිබඳ ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.